විවාහ දිවියේ සුබ අසුබ කියන විවිධ රේඛා සලකුණු


විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාවකි. එය කෙනෙකුට රෝසමල් යහනාවක් සේ සුන්දර එකක් විය හැකි අතර තවත් අයෙකුට එය කටු පඳුරු වලින් පිරුණ වන වදුලක් සේ අසුන්දර විය හැක. එය තමන්ගේ පෙර පින් අනුව සිදු විය හැක්කකි. විවාහය පිළිබඳව තොරතුරු ඔබේ කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම වගේම ඔබේ අත්ලේ පිහිටි විවිධ රේඛා හා සලකුණු මහින් ද අනාවරණය වෙයි. විශේෂයෙන් ඒ පිළිබඳව විවාහ රේඛා ප්‍රධාන වේ. අත්ල අයිනේ සුළැඟිල්ල මුලටත් (බුධ මණ්ඩලය) හෘදය රේඛාවටත් අතර ඇති කෙටි රේඛා විවාහ රේඛා නමින් හැඳින්වෙයි.   


යමෙකුගේ අතේ මෙවැනි රේඛා කිසිවක් නොමැතිනම් ඔහු හෝ ඇය තුළ කිසිවෙකු කෙරෙහි ප්‍රේම හැඟීම් නොමැති බව කියැවේ. මෙවැනි රේඛා කීපයක් තිබුණොත් ඔහුගේ හෝ ඇයගේ සිත දුටුදුටුවන් කෙරේ ස්වභාවයක් ඇත. ගැඹුරු ස්වභාවයෙන් යුත් පැහැදිලි තනි රේඛාව වාසනාවන්ත විවාහයක් ප්‍රකට කරයි. 


විවාහ රේඛාවේ කෙළවර හෘදය රේඛාව දෙසට බෑවුම් වූයේ නම් එය අශුභදායක තත්ත්වයකි. සහකාරයා හෝ සහකාරියගේ වෙන්වීමක් හෝ මරණයක් එමගින් පෙන්නුම් කෙරේ. අග බෙදුණු කරුවක් මෙන් පිහිටි විවාහ රේඛාව ද (1) කුමන හේතුවක් නිසා හෝ අඹුසැමි වෙන්වීම හෙළි කරයි. වෙන්වීමට හේතුව ස්වාමි පුරුෂයා හෝ භාර්යාව රැකියාවකට හෝ වෙනත් කාර්යයක් සඳහා දුර ප්‍රදේශයක හෝ විදේශ රටක වූයේ නම් ප්‍රශ්නයක් ඇති නොවේ. නමුත් එකට ජීවත්වීමේ දී සාමය නැතිවූ නිසාම හෝ ප්‍රේමය පලුදුවීමක් නිසා නම් දික්කසාදයකට ඇති ඉඩකඩ බලවත් වේ. 


විවාහ ​රේඛාව හෘදය රේඛාවට ළංව පිහිටීම ඉක්මන් විවාහයකට මෙන්ම ප්‍රේමය මුල් කොටගත් විවාහයකට හේතුවක් ලෙස සැලකේ. විවාහ රේඛාව දෙකඩ වීමද (2) විවාහයේ බිඳවැටීම පෙන්නුම් කිරීමකි. විවාහ රේඛාව ආරම්භයේදී සිහින්ව පසුව ගැඹුරට ප්‍රබල වී නම් මුලදී යන්තමින් පැවති ආදරය පසුව බලවත් වෙයි. රේඛාව ආරම්භයේ ගැඹුරුව පසුව සිහින්ව නොගැඹුරු වී නම් මුලදී පැවති ආදරය පසුව හීන වී යයි (3) විවාහ රේඛාවේ මැද හෝ අවසානයේ දූපත් සටහන් දර්ශනය වී නම් විවාහ ජීවිතය බලවත් අවාසනාවන්ත සිද්ධීන්ගෙන් ගහන එකක් විය හැක. විවාහ රේඛාවේ කෙළවර තරුවක ලකුණක් වී නම් (5) ප්‍රේම සම්බන්ධය දබරයකින් කෙළවර විය හැක. විවාහ රේඛාවේ කෙළවර කීර්ති රේඛාවට සම්බන්ධ වී ඇත්නම් ඔහුට හෝ ඇයට ධනවත් අයකු හා විවාහ වීමට ලැබෙයි. (4) එහෙත් විවාහ රේඛාව කීර්ති රේඛාව ඡේදනය කරයි නම් (කැපී ඇත්නම්) අශුභයි. විවාහය නිසා නොයෙකුත් දූෂමාන ආරංචි පැතිරයාම එයට හේතු වේ. 


අත්ලක විවාහ රේඛා වැඩි ගණනක් පිහිටීම සම්බන්ධතා වැඩි ගණනක් පෙන්නුම් කිරීමකි. එම රේඛා අතරින් පැහැදිලිව පෙනෙන දිග රේඛාව විශේෂයෙන් විවාහය පෙන්නුම් කරයි. 


විවාහ රේඛාවද වෙනස් වන සුලුය. එම රේඛා සැලකිල්ලෙන් පරීක්ෂා කර එවැනි අසුභ සිදුවීම් ඇතිනම් එවැනි සිදුවීම් හා අවස්ථා මැඩ පවත්වා ගැනීමට උත්සාහ ගත යුතුය. උත්සාහයේ නිසි ඵල ලැබෙන විට රේඛාවන් ක්‍රමයෙන් වෙනස්වනු ඇත. 


කෙනෙකුගේ දෛව රේඛාව (1) ශීර්ෂ රේඛාව (2) මත දී අවසන් වේ නම් ඔහුගේ හෝ ඇයගේ විවාහය සිදුවනුයේ හදිසි තීරණයක් අනුවය. දෛව රේඛාවේ වයස් සීමාව අනුව එය අවුරුදු 35 ට පළමු සිදුවනු ඇත. දෛව රේඛාව හෘදය රේඛාවෙන් (3) අවසන් වේ නම් එය ප්‍රේම සබඳතාවකින් සිදුවිය හැක. 


විවාහ ජීවිතය පිළිබඳව සැලකීමේ දී විවාහ රේඛා හැරෙන්නට තවත් ස්ථාන කීපයක්ම පරීක්ෂා කිරීම වැදගත් වෙයි. සිකුරු මණ්ඩලය, ගුරු මණ්ඩලය, හෘදය රේඛාව ප්‍රධාන වන අතර දෛව රේඛාව පිළිබඳව ද සැලකිල්ල යොමු කළ යුතුය. සිකුරු මණ්ඩලය තුළ දැල් සලකුණු තිත් සලකුණු තාරකා සලකුණ වැටීම විවාහ ජීවිතයට සුභ නොවේ. වඩාත් උස්ව පිහිටි සිකුරු මණ්ඩලයක් හිමි අයෙකු තුළ කෙළිලොල් විනෝදකාමී ගතිය සීමාව ඉක්මවා වැඩිවීමත් යහපත් විවාහයකට බාධාගෙන දෙයි. 


එසේ වුවද මනා ලෙස පිහිටි සිකුරු මණ්ඩලයක් හිමි අය කාගේත් සිත් ගන්නා සේම යහපත් විවාහයකට හේතු වේ. සිකුරු මණ්ඩලයේ කොඩියක සලකුණක් වේනම් එය රාජ යෝගයකි. එය සිංහාසන යෝගයේ එක් අවස්ථාවක් ලෙස සැලකේ. උසස් තනතුරු සැප පහසු වාහන නිවාස ලාභ ලබන මහා ධන යෝගයකි. මත්ස්‍ය සලකුණ ද (මාළුවා) සිකුරු මණ්ඩලයට ඉතා භාග්‍යමත් සලකුණක්. රේඛා බණ්ඩි ගැසීමෙන් පිහිටන මෙම මත්ස්‍ය ලකුණ විවාහ ජීවිතයේ සතුට මෙන්ම අනේක විධ භව භෝග සම්පත් ලැබීමට ද හේතු වෙයි. 
කාන්තාවකගේ අතක මාළුවෙකුගේ ලකුණක් ලැබේ නම් ඇයට ලක්ෂ්මි යෝගය උදාවන බවයි ශාස්ත්‍රීය නියමය. වාසනාවන්ත පුරුෂයෙකුට බිරිඳ වන ඇය සුපින්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය. 


දබර ඇඟිල්ල මුල පිහිටි ගුරු මණ්ඩලය ද විවාහයට වැදගත් ස්ථානයක්. ඔබේ අතෙහි පිහිටි ගුරු මණ්ඩලය මත ඉතා පැහැදිලි පුංචි කතිරයක් පිහිටියේ නම් ඔබ හැබෑම වාසනාවන්තයෙක්. ආදරවන්තයින්ගේ කතිරය හෙවත් වැලන්ටයින් කතිරය නමින් එය හඳුන්වයි. මෙම කතිරය වෙනත් බාධක රේඛා වලින් තොරව පැහැදිලිව තිබීම වඩාත්ම සුබඵල ගෙන දෙයි. 


ඔබේ අත්ලේ මෙම කතිර සලකුණ ඇත්නම් ඔබට උගත් ධනවත් දේපළ සම්පත් හිමි ආදරණීය පෙම්වතියක් හෝ පෙම්වතකු ලැබීම නිසැකය. අත් දෙකේම මෙම සලකුණ පැහැදිලිව පිහිටියේ නම් එය අනිවාර්යයෙන්ම සාර්ථක වන බව සාමුද්‍රික ශාස්ත්‍රයේ සඳහන් වෙයි. එය පසු කලෙක මැකී ගියහොත් යුග දිවියේ සතුට සැනසුම පලුදු වීමටද හේතුවක් විය හැක. 
ගුරු මණ්ඩලයේ අල්ල පැත්තට වැටෙන කෙටි රේඛා වලින් ද පෙන්නුම් කරන්නේ ප්‍රේම සම්බන්ධතාවක් මත කෙරෙන විවාහයකි. හෘදය රේඛාවත් විවාහය හා ආදර සම්බන්ධතා පිළිබඳ විවිධ තොරතුරු හෙළිකරයි. 


හෘදය රේඛාවේ සිට පහළට වැටෙන රේඛා වලින් ප්‍රේම සම්බන්ධතා හා මිත්‍රත්වය වැනි කටයුතු කඩා වැටෙන බව පෙන්වන අතර හෘදය රේඛාව ශනි මණ්ඩලය පහළින් ශීර්ෂ රේඛාව මතට වැටීම විවාහය අසාර්ථක වන බව පෙන්නුම් කෙරේ. ගුරු මණ්ඩලය යට දී හෘදය රේඛාව පහතට වැටීම තමන්ට නොගැළපෙන අයෙකු හා විවාහවීමෙන් ජීවිතයට විපත් ගෙන දෙයි. ගුරු මණ්ඩලය දක්වාම දිස්වෙන හෘදය රේඛාව ද විවාහයට සුභ ඵල දේ. මැණික් කටු සන්දියෙන් පටන් ගන්නා දෛව රේඛාව ත්‍රිශූල සලකුණකින් ශනි මණ්ඩලයෙන් කෙළවර වීම වඩාත් වාසනාවන්ත සලකුණකි. 


එහෙත් එම රේඛාව අත්ල මැදදී දෙකඩව කැඩී පැවතීම ජීවිතය නව මගකට පෙරළීමකි. නැතහොත් එය දෙවෙනි විවාහයක් විය හැකිය. සිකුරු මණ්ඩලයෙන් පටන්ගත් රේඛාවක් ජීවන ශීර්ෂ හා හෘදය රේඛාව ඡේදනය කරමින් බුධ මණ්ඩලය දෙසවිහිදා යා නම් විවාහය දික්කසාදයකින් කෙළවරවී සැමියා අහිමිව භාර්යාව වැන්දඹු භාවයට පත් වේ. එමෙන්ම හෘදය රේඛාව කැඩී බිඳී තිබීම ද ප්‍රේම වියෝගවලට හේතු විය හැකිය. 


පෙර සඳහන් කළ ලකුණු අනුව විවාහයේ සුබ අසුබ ඵල එසේ වුවත් අත්ලේ පිහිටි ග්‍රහ මණ්ඩල හා වෙනත් රේඛාව අනුව එම පල අපල අවම විය හැකිය. එහෙයින් කෙනෙකුගේ පලාපල ප්‍රකාශ කිරීමට පළමු සමස්තයක් ලෙස අත්ලම පරීක්ෂා කිරීම වැදගත් වෙයි. 

 

 


හිඹුටානේ පියතිලක ද අල්විස් 
158, හිඹුටාන, (රෝහල ඉදිරිපිට) 
මුල්ලේරියාව නව නගරය