විජේවීර සැඟවී සිටි වනයේ හමුදා මෙහෙයුමක්


විජේවීර සැඟව සිටි හම්බෙගමුව හේන් සොයා ගිය ගමන   

 හම්බෙගමුව කැලේ දිය පිරුණු තැනක් 

 

 

පාර දෙපැත්තේ පොහොන් පඳුරු ඇති ගුරු පාර වළ සහිතය. තැනින් තැන අතහැර දැමූ හේන් ය. ඒ හේන් මැද උසැති ගහක් දෙකකි. කන්න කිහිපයකින් හේන් නොකළ නිසා ඇමටියා, වරා ආදී පඳුරුය. ගුරුපාර ඔස්සේ ඉදිරියට ඇදෙන විට පාරේ දකුණු පැත්තේ කටුමැටි නිවසකි. එය හේන් වැඩකරන පිරිස නවාතැන් ගන්නා තැනකි. නිවසේ පැත්තක හේන් හදද්දී කපා ඉවත්කළ සාමාන්‍ය ප්‍රමාණයේ දැවය. ඇද වී ගිය ඒ දැව දරවලට හෝ අඩි හතරෙ පහේ කැබලිවලට කපා බිත්ති වැරන්වීමට ගන්නා මැටිපාවලට නම් සුදුසුය. 
මේ මීට අවුරුදු තිස් හතරකට තිස් තුනකට පෙර මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තණමල්විල- වේලිඔය බී 528 පාරේ යනවිට හමුවුණ හම්බෙගමුව ගමෙන් අලුත්වැවට යන පාරේ තැනක තිබූ ස්වරූපයයි. 


සෑම වසරකම මාස් කන්නයට මාසයකට එක හමාරකට පෙරදී හම්බෙගමුව මහ කැලේ හේන් හදන්නට එන පිරිස් මුලින්ම නවතින තැන් කිහිපයක් තිබේ. ඉන් එකක් ලෙස ඉහත දැක්වූ විස්තර සහිත තැන බොහෝ දෙනෙක් දැන සිටියහ. මේ කටුමැටි නිවසට යාබදව ඉලුක් හෙවිලි කළ තවත් මඩු කිහිපයකි. පිටස්තරින් හේන් කරන්න එන්නන්ගේ බඩු බාහිරාදිය ඒවායේ දමා තිබේ. කැත්තේ උදැල්ලේ සිට අත්ට්‍රැක්ටරය, මහ ට්‍රැක්ටරය දක්වා මෙහි සමහර අවස්ථාවල තිබේ. කරත්ත කිහිපයක් ගෙවත්තේ වූ අතර කරත්ත රෝද ඇතුළු උපකරණත් තැන තැනය. 


මේ දේවල් දකින විට මෙතැන හේන්කාරයන්ගේ නවාතැනක් බව නිසැකය. හේන් ගැන සැලකිල්ලක් දැක්වූ විට හේන්වලට ද අයිතිකරුවෝ සිටිති. සමහරු ගම්බාරෙලාය. එදා ගමේ සිටි හරකාබාන වැඩියෙන් ඇති, කුඹුරු වතුපිටි ඇති තැනැත්තා ගම්බාරෙය. ගම්බාරෙට අතවැසියෝ බොහෝමය. වලව් පැලැන්තිය මෙන් නැතත් ගම්බාරෙද සෑහෙන ධනවතෙකි. නමුත් වලව්වල හාමුලා මෙන් යමකදී අණ දීම පමණක් ගම්බාරෙලාගේ චර්යාව නොවේ. සිය අතවැසියන් සමග උරෙනුර ගැටී වැඩපොළෙහි යෙ​ෙදන ගම්බාරෙලා අතවැසියන්ගේ සිත් දිනා ගත් පිරිසකි. 


එවැනි ගම්බාරෙලා කිහිප දෙනෙක් ඒ කාලේ හේන් කරන්න ආව ගි​ෙයා්ය. ගම්බාරෙගෙ ගොන්නු දෙන්නා බැඳි බර කරත්තයෙන් මාසයකට හමාරකට උවමනා කෑමබීම මෙන්ම හේන් කපන්න කැති, පිහියා, උදලු, වගාවට අවශ්‍ය බීජ ආදිය ද එකවර ගෙන ඒම සමහරුන්ගේ සිරිතය. එසේ ගෙ​ෙනන දේ ඉහත කී ස්ථානය වැනි අතරමැදි හුවමාරු පොළවල පරිස්සමට තබා හේන කොටා පුලුස්සා, පැල් තනා වැසි සමය එනවිට ටික ටික හේන්වලට ගෙනයාම සිරිතය. 


අලුත්වැව පාරේ එවැනි තැන් කිහිපයක් තිබූ නිසා ඒ තැන් හේන් වාරයේ පමණක් නොව අවාරයේ දී මිනිසුන් නිතර රැඳෙන තැන් බවට පත්ව තිබුණි. 


කළු ජූලියත් සමග 83 තහනමට පත් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී ප්‍රධානින් මෙතැන හේන් ගොවියන්ගේ ස්වරූපයෙන් සිටි බව බොහෝ දෙනෙක් දැන ගත්තේ 1989 ජවිපෙ නායකයන්ගේ අවසානයත් සමගය. 


‘සේකර’ හම්බෙගමුවට යාබද ගමේ පදිංචි එකල ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. 1983 වනවිට ඔහු අවුරුදු විසි පහක තරුණයෙකි. අද පනස් අට වන වියේ පසුවන ඔහු දේශපාලන කටයුතුවලින් මිදී සාමාන්‍ය ජීවිතයක් ගත කරයි. ඉහත විස්තර කළ අපූරු අතරමැදි නවාතැන්පොළ එදා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් රැස් වූ සහ දිගම්පැලැස්ස ඇතුළු මහ කැලෑවේ ‘කඳවුරු හේන්’ සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයූ තැනක් විය. මේ ‘සේකරගේ’ මතකයයි. 


‘අපි ජේවීපී කරන අය හින්දා ටිකක් පරිස්සමින් හැසිරෙන ලෙස අපිට තෙලුල්ලේ සහෝදරයා වගේම වැල්ලවායේ දිසා සහෝදරයා උපදෙස් දීලා තිබුණා. මේ කාලේ පක්‍ෂය තහනම් කරලා තියන හින්දා පක්‍ෂයේ වැඩ එළිපිට කළොත් මර්දනයට ලක්වෙනවා. ඒ හින්දා අපි කළේ රහසිගත දේශපාලනයක්.’ 


“දේශපාලනය කරන අතර බඩවියත රැකගන්න හේනක් කරන එකත් කළා. ඇත්තටම මම හේන්වල වැඩ කළේ අඩුවෙන්. මම පක්‍ෂයේ පණිවිඩ ගෙනියන එක කළා. සමහර වෙලාවට මම තෙලුල්ලේ සහෝදරයාට පණිවිඩ ගෙනිච්ච අවස්ථාත් තිබ්බා. මම මේ කකුල් දෙකෙන් ඒ කාලේ දවසට කිලෝමීටර් පනහ හැට එහා මෙහා බයිසිකල් පැදලා ඇති.” සේකර විස්තර කරයි. 

 


“මම ඒ යන එන අවස්ථාවල මේ අලුත්වැව පාරේ ඔය ‘අතරමැදි හුවමාරු’ කියලා කියපු තැනට එනවා. එහෙම කිව්වාට එතැන ඔය වාගේ නමකින් හැඳින්නුවේ නෑ. අපි හිතුවෙ හේන්වලට යන එන අය නැවතුන මහපාරට ආසන්නම තැනක් විදියට. සමහර වෙලාවට මෙතන ඉන්න කෙනෙක් මගෙන් ඉල්ලනවා ඇතුළේ තියන හේනකට බඩුමල්ලක් ගිහිං දීලා එන්න පුළුවන් ද කියලා. බඩු මල්ලක් කිව්වාට ඇත්තටම ඒක පෝර කවරයක්.” 


“මේ වගේ අතරමැද නවතින තැන්වලට යන එන මිනිස්සු ගැන, එයාලා යන හේන් ගැනත් සොයා බැලීම මට පක්‍ෂයෙන් පවරලා තිබුණ වගකීමක්. ඉතිං මට මේ බඩු ගෙනයන්න ලැබීම මගේ රාජකාරියට වාසියක් හින්දා මම කැමැත්තෙන් ඒක කළා. ඇත්තටම මම දැනගෙන හිටිය නෑ ​ෙමතන ජනතා විමුක්ති පෙරමුණට අයිති තැනක් කියලා. අසූහතෙන් පස්සේ මම මේ පැත්තට ආවේ නෑ. මම සන්නද්ධ කල්ලියට බැඳුණට පස්සේ ගොඩාක් පරිස්සමින් තමයි වැඩ කළේ.” 


“මම එස්ටීඑෆ් එකට අහුවෙලා, පුනරුත්ථාපනය වෙලා අවුරුදු ගණනාවකින් නිදහස් වෙලා ආවට පස්සේ තමයි දැනගත්තේ මෙතන ජනතා විමුක්ති පෙරමුණේ ගබඩා මධ්‍යස්ථානයක් කියලා. මෙතන බංකරයක් තිබිලා තියනවා. පොළොව යට අඩි දහයේ දහයේ ගබඩාවක් තිබිලා තිබුණා. උඩින් ලොකු කොන්ක්‍රීට් එකක් දාලා, ඒක යට තමයි බංකරය තිබිලා තියෙන්නේ. වියළි ආහාර වගේම අවි ආයුධ තමයි මෙතැන ගබඩා කරලා තිබිලා තියෙන්නේ. මම බූස්ස කඳවුරේ ඉඳලා ආවාට පස්සේ මේ පැත්තට දවසක් දෙකක් ආවා. කැලේට වැහිලා තිබුණ බංකරේ කඩලා දාලා තිබුණා දැක්කා. දැන් නම් ඒවා තිබුණ තැනක්වත් නෑ. දැන් ඒ තැන්වල ගෙවල් හදලා. හේන් කළ තැන් කියලා කියන්නවත් බෑ.” සේකර අතීතය මතක් කරමින් පැවසුවේය. 


ඔහු පවසන ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ වකවානුවේ දෙවන කැරැල්ල සංවිධානය කිරීමට පක්‍ෂ නායකයන් හම්බෙගමුව මහ කැලේ කඳවුරු බැඳගෙන සිට ඇත. විවිධ ප්‍රදේශවල සිට පැමිණෙන දිස්ත්‍රික් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන පෙළේ ක්‍රියාකාරීන් වෙන්ව වෙන්ව තැනින් තැන හේන් කඳවුරු පවත්වාගෙන ගොස් තිබේ. 
එවැනි කඳවුරුවලට ආහාර මෙන්ම ආරක්‍ෂාවට අවි ආයුධ සපයා ඇත්තේ අප මුලින් සඳහන් කළ අලුත්වැව පාරේ බංකරයෙනි. ගමේ ජවිපෙ ක්‍රියාකාරීන්ට පවා නොදැනෙන ලෙස එම කඳවුර රහසිගතව පවත්වාගෙන ගොස් තිබුණේ ආරක්‍ෂාවටය. 


“නමුත් 1989 මුල් කාලයේ දී මෙතැන ආරක්‍ෂක අංශවලින් වටලා විනාශ කර තිබුණ. මෙතැන ජනතා විමුක්ති පෙරමුණේ බංකරයක් තිබුණු නිසා එය අල්ලාගත් කාලයේ ඒ ඉස්සරහ පාරෙන් දිගන්පැලැස්ස පැත්තටවත් කිසිවෙක් ගියේ නෑ. හේතුව වූයේ ඔත්තු බලන්නට එන ජවිපෙ සාමාජිකයන් බවට සැකකර අල්ලා ගැනීම” බව ‘සේකර’ පැවසුවේය. 
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර හම්බෙගමුව ප්‍රදේශයේ බාධාවක් නොමැතිව රහසිගතව දේශපාලන කටයුතුවල නිරත වන්නට ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරින්ට හැකි විය. නමුත් 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඊට එරෙහි විරෝධතා ක්‍රියාත්මක කළ ජනතා විමුක්ති පෙරමුණ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ පැවති එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ දැඩි මර්දනයට ලක් විය. 


“අසු හතේ අග භාගය වෙනකොට ජේවීපී ක්‍රියාකාරකම් වැඩි වුණා. ඉන්දු ලංකා ගිවිසුමට කැමති යූඇන්පී ආණ්ඩුවට ගැතිව අපේ ගමේ හිටිය සමහරු ඝාතනය කරලා තිබුණා. ඒ ඝාතන ජේවීපී එකෙන් කළා කියලා තමයි චෝදනා එල්ලවුණේ. මම ජේවීපී කළාට ඒ අයව මැරුවේ කවුද කියලා මමවත් දැනගෙන හිටියේ නෑ. ඊට පස්සේ හම්බෙගමුවට හමුදාව ආවා. වෙනදා වගේ නිදහසේ කටයුතු කරන්න තිබුණ අවස්ථාව නැතිවෙලා ගියා. ගමේ කොල්ලෝ එකාදෙන්නා හමුදාවෙන් අල්ලාගෙන යන්න වුණා. ඒ හින්දා මම බොහොම පරිස්සම් වුණා. ගමේ අලුතින් ජේවීපී කියලා කියපු තරුණයන් එක්ක මට සම්බන්‍ධවෙන්න අවස්ථාව තිබුණේ නෑ. ඒ හින්දා මාව කවුද කියන්න අලුත් තරුණයෝ දැනගෙන හිටියේ නෑ.” අද හැටපස් වන වියේ පසුවන ‘පාල’ මීට පෙර මෙන් තවත් විස්තරයක් ඉදිරිපත් කළේ ය. තමන්ගේ සැබෑ නම හෙළිකරනවට ඔහු අකමැති වූ නිසා මුල සිටම අපි ඔහුට ‘පාල’ යැයි කීවෙමු. 

 

 කැලේ මැද වැවක් 

 

 කැලේ මැද වන අලි 

 

 ගල්කෙමනක් 

 

 


‘පාල’ පවසන ආකාරයට 87 අවසන් මාස කිහිපයේ සිට 89 අවසන් වන තෙක් ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ ක්‍රියාකාරීන් හම්බෙගමුවේ දී එකට රැස් වී ඇත්තේ වරින් වරය. නමුත් තැනින් තැන වූ කඳවුරුවල සහ හේන්වල වාඩිවල ආරක්‍ෂාවට නැවතී ආරක්‍ෂක අංශවලින් මිදී පලාගිය බව ඔහු කියයි. ඒත් එසේ ගියේ ජවිපෙ ප්‍රබලයකු බව ඔහු දැනගෙන තිබුණේ ද පසුවය. 


උඩවලව වනෝද්‍යානය පැත්තේ සිටින වල් අලි හම්බගමුව වේලිඔය පාර මාරුවී කරමැටියවැව හරහා කොස්ලන්ද පැත්තට යන්නේ බෝගහපට්ටිය අලිමංකඩ හරහා ය. සමහර අවස්ථාවල මේ අලි ගමන් මාර්ගයට සමගාමීව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ද එහා මෙහා ගමන් කළ බව ‘පාල’ කියයි. එසේම අලුත්වෙල, බලහරුව ආදී ප්‍රදේශවල පිහිටවනු ලැබූ කඳවුරු ආශ්‍රිතව නොසිඳෙන ගල් කෙමනවල් තිබූ බවද ඇතැම් අවස්ථාවල ඒ කඳවුරුවල ජල අවශ්‍යතා සපුරා ගනු ලැබුවේ ද මේ ගල්කෙමනවල වතුරින් බවද පාල කීවේ ය. 


“කරමැටිය වැවට ඉහළින් කැලේ පුහුණුව ලබමින් ඉන්නකොට හමුදාවෙන් මෙහෙයුමක් පටන් අරං තියනවා කියලා අපිට දැනුම්දීමක් කළා. අපේ පැත්තට හමුදාව එන පාර අනුමාන කරලා ඒ පැත්තේ හිටිය සාමාජිකයෝ පාරේ ගස් කිහිපයක් බාගෙට කපලා. හමුදාවේ වාහන එනකොට අර ගස් කපලා හමුදාව දෙපැත්තටම කොටුකරලා. අපේ අය හැංගිලා. ඊට පැය ගණනකට පස්සේ හමුදාව යන ගමන් ගමේ ගෙවල්වල හිටිය කොල්ලෝ කිහිප දෙනෙක් අරං ගිහිං තිබුණා. නමුත් හමුදාව මේ පැත්තට ආවේ නෑ.” 


“මේ කියන දවසේ දවල් මේ සිද්ධිය ආරංචි වෙන්න ඉස්සර අපේ කඳවුරට පක්‍ෂයේ ක්‍රියාකාරීන් දෙන්නෙක් ආවා. වෙනදට එහෙම එන්නේ නෑ. නමුත් පහළ හමුදා මෙහෙයුමක් නිසා ඒ සහෝදරුවරු අපි ඉන්න පැත්තට ආරක්‍ෂාව පතා ඇවිත් තිබුණේ. හැන්දෑ වෙනකම් හිටියා. 


ඊට පස්සේ මෙතනින් කාල්කන්ඔය පැත්තෙන් හපුතලේ බළන්ගොඩ පාර පැත්තට යන්න අඳුරු වැටුණට පස්සේ ගියා. එදා ඒ ඇවිත් තිබුණේ රෝහණ විජේවීර සහෝදරයා කියලා දැනගත්තේ පස්සේ. එහෙම යන්නේ එන්නේ කවුද කියලා අපිට කියන්නෙත් නෑ. අපි අහන්නෙත් නෑ. 


“නෝමිස් අයියා” හම්බෙගමුවේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකි. අසූ ගණන්වල අවුරුදු හතළිහක් පමණ වූ ඔහු ද ගුණවික්‍රමරත්න මෙන් කාගේත් සිත් දිනාගත් තැනැත්තෙකි. ‘ නෝමිස් අයියා’ කොහෙන් ආ කෙනෙක්ද යන්න කවුරුත් වැඩිය නොදනී. එවැනි තැනැත්තන් බොහෝ දෙනෙක් හම්බෙගමුව සහ ඒ අවට ගම්වල අදටත් පදිංචිව සිටින බව ගම්වාසීහු කියති. නෝමිස් අයියා ද අද ජීවතුන් අතර නැත. නමුත් 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළ වකවානුවේ පක්‍ෂයට සම්බන්‍ධ වී ඔහු දෙවන කැරැල්ල සංවිධානයට සහාය දුන් කෙනකු බව හම්බෙගමුවේ පැරණි ජවිපේ සාමාජිකයන්ගේ අදහසයි. 


“දෙවන කැරැල්ල සංවිධානය කරන්න ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ හේ හම්බෙගමුවේ කඳවුරු බැන්දා කියලා නෝමිස් අයියාවත්, ගුණවික්‍රමරත්න සහෝදරයාවත් දැනගන්න නැතුව ඇති. ඒ අය අපට වඩා පක්‍ෂයේ ඉහළ අය සමග සම්බන්‍ධකම් පවත්වපු අය. එහෙව් එකේ අපි කවුද? අනික පක්‍ෂයේ ක්‍රියාකාරින් මෙහෙ ඉන්නවා කියලා දැනගන්නට ලැබුණා නම් ඒක පිටතට ආරංචි වෙන්න තිබුණ ඉඩකඩ වැඩියි. ඒ නිසා ඒ නායකයෝ අනන්‍යතාව හෙළි නොකර ඉන්න ඇති.” සේකර, පාල, දාස, ගුණේ වැනි අද මැදිවිය ඉක්මවා සිටින ජනතා විමුක්ති පෙරමුණ සමග මීට දශක තුන හතරකට පෙර සම්බන්ධව සිටි ප්‍රබලයෝ පැවසූහ. 


රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත්, පියදාස, වනිගසිංහ, නිහාල් ගලප්පත්ති, සෝමවංශ අමරසිංහ, ඩී.එම්. ආනන්ද, සමන් පියසිරි, ශාන්ත බණ්ඩාර වැනි ප්‍රබලයන් 1984 - 85 වකවානුවල හම්බෙගමුවේ සිටි බව දැනගන්නට ලැබුණ බව ද මේ සේකර, පාල, දාස, ගුණේ පැවසුහ. 


ඒ අතර සේකර තවත් අපූරු කතාවක් හෙළි කළේය. 


“මම වැඩ කළ හේනට ටිකක් එහායින් දිගම්පැලැස්සේ හේනක් තිබුණා. දඬුවැටවල් දාලා මේ හේනත් ගොඩාක් ලොකු එකක්. එක හේනක් ඇතුළේ හේන් ගණනාවක්. මට මතක හැටියට තිලකරත්නගේ හේන කියලා ඒකට කිව්වේ. මේ හේනටත් අනිත්වාට වගේම ලේසියෙන් කෙනෙකුට යන්න බෑ. දඬුවැට අතරින් මිනිස්සුන්ට යන්න තියන තැනින් මිස වෙන තැනකින් ඇතුළුවෙන එක භයානකයි. සමහර වෙලාවට තුවක්කු බැඳලා තියෙන්න පුළුවන්. අපේ හේනෙත් එහෙම නිසා අපි ඒ බව දන්නවා. වෙලාවකට මම මේ හේනේ ඉඳලා ගමට යද්දී ආ​ෙය එනකොට තිලකරත්න මං ලව්වා පොඩි පොඩි දේවල් ගෙන්නා ගන්න වෙලාවල් තියනවා. ඒවා දෙන්න හේනට යනකොට ඈත පැලක ඉන්න කෙනෙක් තද අව්ව තියන වෙලාවට පොතක් කියවනවා දැකලා තියනවා. ඒ විජේවීර බව දැනගත්තේ ඉතිං කාලෙකට පස්සේ.” 


“හේන්වල අස්වැන්න නෙළා ගත්තාම සිංහල අවුරුදු වෙනකොට සාමාන්‍යයෙන් ඒවා අත් අරිනවා. එතකොට හේන්වල කවුරුවත් නෑ. කැලේ ඇවිදින වෙලවකදී මහන්සියක්, තෙහෙට්ටුවක් දැනුණ සමහර වෙලාවට පිපිඤ්ඤා ගෙඩියක් තියනවද කියලා බලන්න ඔය අත්හැර දාපු හේනකට යන එක සිරිතක්. මම දවසක් සීනුක්ගල පැත්තෙ හේනකට ගියා. මේ හේනට ගියේ වෙන ගමනක් ගිය ගමන්. (ඒ ගිය ගමන කුමක්දැයි පැවසීමට මැළි විය) අතහැර දාලා තිබුණ පැල් කොටේකට එබිලා බැලුවා. ඇතුළේ පෝර කවර වගයකින් වහපු මොනවදෝ පොඩියට තිබුණා. මම එහාමෙහා කරලා බැලුවම පොත් වගයක්.” 


“ඒ ලෙනින්ගේ තෝරා ගත් කෘති කියලා වෙලුම් අංක එකේ ඉඳලා දොළහ දක්වා පොත් දොළහක්. පිටකොළේ සුදු පාටයි. පොත්වලට හානියක් නොවෙන්න ඒවා ඔතලා තිබුණේ. එකත් එකටම ඒ කාලේ මේ පොත් ගැන අපේ දේශපාලන පාඩම්වල දී දැනුම්වත් වෙලා තිබුණා. මට ඒවා ගෙනියන්න ආසාවක් තිබුණා. ඒ වුණාට පක්‍ෂය තහනම් කරලා තිබුණ හින්දා ළඟ තියාගන්නත් බයක් තිබුණා.” 


“ඊටත් වඩා මට ගැටලුවක් වුණේ මේ පොත් මේ මහ කැලේ හේනකට ආවේ කොහොමද කියන එකයි. මම අහලා තිබුණ විදියට කොමියුනිස්ට්කාරයෝ ළඟ මේ පොත තිබුණලු. එහෙනම් කොමියුනිස්ට් එකත් තහනම් කරලා තියන හින්දා කවුරුහරි කොමියුනිස්ට්කාරයෙක් හේන් වැඩ කරන ගමන් කියවන්න ගේන්න ඇති කියලා මට හිතුනා. හැබැයි අපි ජනතා විමුක්ති පෙරමුණ හැටියට කොමියුනිස්ට්කාරයොත් නව සමසමාජ ඒ කියන්නේ වාසුගෙ අයයි එක්ක ඉන්දු ලංකා ගිවිසුම නිසා දේශපාලන වශයෙන් විරුද්ධවයි හිටියේ. 83 දී අපි තුන්ගොල්ලොගෙම පක්‍ෂ තහනම් කළා තමයි. ඒ වුණාට ඉන්දු-ලංකා ගිවිසුමට පක්‍ෂපාතවීම නිසා කොමියුනිස්ට් පක්‍ෂයෙයි, නව සමසමාජ පක්‍ෂයෙයි තහනම ඉවත් කරන්න ජේ.ආර්. ආණ්ඩුව කටයුතු කරලා තිබුණා.” සේකර දේශපාලන ඉතිහාසයක් කියයි. මම ඔහුට සවන් දිය යුතුය. අවසානයේ ඔහු යම් වැදගත් සංධිස්ථානයකට ඒවි යැයි මම උපකල්පනය කළෙමි. 

 

බෝගහපට්ටිය අලි මංකඩ 

 

 


“මම අර පොත් ටික ඔතලා තිබුණ විදියටම ගෙදර අරගෙන ආවා. මේවා ගෙයි තියන එක අනතුරුදායකයි. ආමි එක හිටපු ගමන් ගෙවල් සෝදිසි කරන්න එනවා. පිරිමි ළමයෙක් හිටියොත් එයා ඉන්න කාමරය වැඩිපුර පරීක්‍ෂා කරනවා. ඒ හින්දා මම ගෙනා පොත් ටික අපේ ගෙට යාබදව තියන ඔය අබලි දේවල් දාලා තියන ගැරේජ් කෑල්ලේ තිබ්බා. මට ඒ පොත් ටික කියවන්න ලොකු උවමනාවක් තිබුණා. ඒ වුණාට වෙලාවක් තිබුණේ නෑ. 


දවසක් මම ගුණවික්‍රමරත්න සහෝදරයට ඒ ගැන කිව්වා. එයා කිව්වා මමත් ඔය පොත් හොය හොයා හිටියේ. ඉස්සර නම් සෝවියට් පොත් ප්‍රදර්ශන වල විකුණන්න තිබුණලු. ඒත් ගන්න වුණෙ නෑ කියලා. එහෙම කියලා දවස් දෙකකට විතර පස්සේ මම ඒ පොත් පාර්සලය එහෙමම ගුණවික්‍රමරත්න සහෝදරයාට ගෙනත් දුන්නා. ගෙනත් දීලා දවස් දෙකක් ගියේ නෑ ආමි එකෙන් මාව හොයාගෙන ගෙදරට අැවිත් මුළු ගේම කණපිට පෙරළලා. ගැරේජ් එකත් අවුස්සලා. හොඳ වෙලාවට මොනවත් තිබිලා නෑ. නැත්නම් ඉතිං ගෙදර කවුරුහරි අරං යනවානේ.” සේකර පැහැදිලි කළේය. 


ජනතා විමුක්ති පෙරමුණේ වර්තමානයෙ වෘත්තීය සමිති නායකයෙක් වූ සේපාල ලියනගේ ද එකල හේ හම්බෙගමුවේ හේන්වල රැඳී සිටි බවට නම හෙළි නොකරන්නැයි කී අද වන විට මැදිවිය ද පසුකර දේශපාලනයෙන් ඈත් වී හුදකලාවේ සිටින “රත්නේ” පැවසුවේය. ඔහුගේ සැබෑ නම රත්නේ නොවුණත් ඔහු ද ක්‍රියාකාරීව දේශපාලනය කළ බව කීවේය. 
“ජේ.ආර්. මහත්තයා පළාත් සභා තියලා උතුරත් නැගෙනහිරත් වෙනම ආණ්ඩුවක් විදියට දෙමළ ජාතිකයන්ට දීලා රට බෙදයි කියන ස්ථාවරයේ මමත් හිටියා. ඊට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කළ නිසා මමත් සහාය දෙන්න තීරණය කළා. හැබැයි මම ජනතා විමුක්ති පෙරමුණේ පන්තිවලට හෝ වෙනත් කටයුතුවලට සම්බන්‍ධ වුණේ නෑ. ඒ මතයේ හිටියා. ඒ කාලේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක වැනි නායකයන් සමග සේපාල ලියනගේත් මෙහෙ ආවා ගිය බව පස්සේ දැනගත්තා.” රත්නේ කීවේ ය. 


ඉතිරි කොටස ලබන සතියට: 


“හිටපු පොලිස්පති ඉලංගකෝන් හම්බෙගමුවේ උගන්වයි:”

 

 

අජිත්ලාල් ශාන්තඋදය සහ හම්බෙගමුව මහින්ද අබේරත්න