ලොව පුරා ව්‍යාප්ත වන ඉස්ලාමීය අන්තවාදය


 

 

ප්‍රජාතන්ත්‍රවාදයට, පවත්නා නීතියට, එකිනෙකාගේ ස්වාධීනත්වයට, එකිනෙකාට ගරුකිරීම, ආගමික විශ්වාසයන්ට හා මති මතාන්තරවලට එරෙහිව වෙන ඉස්ලාමීය ක්‍රියාදාමය ඉස්ලාමීය අන්තවාදය ලෙස (Islamic Extremism) බ්‍රිතාන්‍ය රජය අර්ථ දක්වා ඇත. මධ්‍යස්ථ මුස්ලිම් විචාරකයන්ගේ මතය අනුව මුස්ලිම් අන්තවාදය 7 වැනි සියවස තෙක් ඈතට දිවයයි. වර්තමානයේ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන 120 කට වඩා ඇති බව වාර්තා වේ.   


සක්‍රීය ඉස්ලාමීය සටන්කරුවන්ගේ ක්‍රියාදාමය ආරම්භ වෙනුයේ 1980න් පසුවය. ප්‍රථම ඉස්ලාමීය අන්තවාදී සංවිධානය ලෙස සනිටුහන් වෙන්නේ අයතුල්ලා කුමේනිගේ අනුගාමිකයන්ගේa සහයෝගයෙන් ෂියා ඉස්ලාමීය සටන්කාමීන් හා ජිහාඩ් අනුගාමිකයන් එක්ව ආරම්භ කළ හිස්බුල්ලා සංවිධානයයි. සයිඩ් හසන් නසරල්ලා මෙහි නායකත්වය දරන අතර සටන්කරුවන් 1000කට වඩා සිටින බැව් වාර්තා වේ. 1982 සිට ඊශ්‍රායලයට විරුද්ධව රොකට් ප්‍රහාර රාශියක් හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා ප්‍රහාර එල්ලකොට මහත් විනාශයක් සිදුකර ඇත. කාලිඩ් මෙෂාල් (Khaled meshaal) නායකත්වය දරන හමාස් සංවිධානයේ 16,000 කට වැඩි සටන්කරුවන් සිටින බැව් වාර්තා වේ. මෙය ඊජිප්තු මුස්ලිම් සහෝදරත්ව සංවිධානයේ අංකුරයක් ලෙස ආරම්භ වේ. 1988 එම සංවිධානයේ ඇතිවූ දැඩි පසුබෑමක් නිසා, ඊශ්‍රායලය විනාශකොට පෞරාණික පලස්තීන දේශය ගොඩනැගීම සඳහා ජිහාඩ් ක්‍රියාමාර්ගයක් ගැනීමට යොමුවිය. 1988 සිට ඊශ්‍රායලයට එරෙහිව රොකට් ප්‍රහාර රාශියක් හා මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා ප්‍රහාර එල්ලකොට ඇත. ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන මෙම සංවිධානයේ 16,000 කට වැඩි බළකායක් සිටින බැව් වාර්තා වේ.

   
සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළ අවධියේ ඇමරිකාව එය ව්‍යර්ථ කිරීම සඳහා ඔවුන්ට සහාය දැක්වීමට ඔසාමා බින් ලාඩන් ඇතුළු පිරිසකට යුද පුහුණුව ලබා දුණි. සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටව ගිය පසු ගරිල්ලා පුහුණුව ලැබූ මොවුහු අබ්දුල්ලා අසාම් යටතේ අල්කයිඩා සංවිධානය ආරම්භ කළත් ඔහුගෙන් පසුව නායකත්වයට පත් ඔසාමා බින් ලාඩන් (1989-2011) අව්‍යාජ මුස්ලිම් රාජ්‍යයක් ගොඩ නැගීමටත්, ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමටත් මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් නොවන රටවලින් බේරා ගැනීමටත්, විශේෂයෙන් ඇමරිකාවට එරෙහිව දැඩි ප්‍රහාර දියත් කිරීමටත් කටයුතු කළේය. 2011 වසරේ දී ඇමෙරිකාව විසින් ඔහු කුරිරු ලෙස ඝාතනය කිරීමෙන් පසු වර්තමාන නායකයා ලෙස අයිමන් අල් සවාහීර් (Ayman al Zawahiri) කටයුතු කරයි. භටයින් 3000 කට වඩා සිටින අතර ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වේ. 4400 කට වඩා මිනිස් ඝාතන සිදුකර ඇත.   


අල්කයිඩා සංවිධානයේ ශාඛාවක් ලෙස බිහිවුණු AQAP (Al Qaeda in the Arabian Peninsula) සංවිධානය යේමනයේ සිට ක්‍රියාත්මක වෙන ඉස්ලාමීය අන්තවාදී සංවිධානයකි. අල්කයිඩා සංවිධානයේ මැද පෙළ නායකත්වය දුර්වලවීම නිසා මෙම සංවිධානය බිහි විය. ඇමෙරිකාව විශ්වාස කරනුයේ අල්කයිඩා සංවිධාන අතරින් වඩාත්ම බිහිසුණු සංවිධානය මෙය බවයි. දුර සිටින සතුරන්ට පහරදීමටත් ඉතාමත් සැලසුම් සහගතව විදේශීය රටවල සිටින තම සතුරාට පහර එල්ල කිරීමටත් මොවුන් දක්‍ෂතාවයක් දක්වන බව වාර්තා වේ. 2000කට වැඩි භටයන් සංඛ්‍යාවක් සිටින අතර නිර්මාතෘ වූයේ නෆීර් අල් වුහාෂිය. (2011-2015) වත්මන් නායකයා ලෙස කටයුතු කරන්නේ කාසිම් අල් රයිම්ය. (Qasim al Raymi) 250 කට වැඩි මිනිස් ඝාතන සිදුකර ඇත.   


අබ්දෙල් මලික් ඩ්‍රවුක්ඩෙල් (Abdel malek Droukdel) නායකයා ලෙස කටයුතු කරන AWIM (Al Qaeda in the Islamic Meghreb) ඉස්ලාමීය මිලිටරි සංවිධානය කබ්ලි කඳුකරයෙහි හා ඇල්ජීරියාවේ (Kabylie mountains, Algeria) සිට ක්‍රියාත්මක වේ. 800-1000 ක් අතර භට සංඛ්‍යාවක් සිටින බව වාර්තා වේ. 200 කට වැඩි ජීවිත ගණනක් විනාශකර ඇති මෙම සංවිධානයේ අපේක්‍ෂාව ඇල්ජීරියානු රජය පෙරළා මුස්ලිම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමයි.   


අල්කයිඩා සංවිධානයට අනුබද්ධ තවත් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වනුයේ අල් මොරාබිටෝනි ය. (Al Mourabitoun) මොක්තාර් බෙල්මොක්තාර් (Mokhtar Bel mokhtar) මෙහි නායකයා වන අතර මාලි, නයිජර් හා ලිබියාව කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වේ. ප්‍රංශ වාර්තා අනුව භටයන් සංඛ්‍යාව 100ට අඩුය. 2015 වසරේ දී මෙම සංවිධානය බමාකෝ හෝටලය වෙත එල්ලකරන ලද ප්‍රහාරයකින් 27 දෙනකු ජීවිතක්‍ෂයට පත් වූ බව වාර්තා වේ.   


අල්කයිඩා සංවිධානය සමග සම්බන්ධකම් ඇති තවත් අන්තවාදී සංවිධානයක් වනුයේ මොහමඩ් යූසුප් ආරම්භ කළ බොකොහරාම් ය. ඊසාන දිග නයිජීරියාව, චැඩ්, නයිජර් සහ උතුරුදිග කැමරූන් කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වේ. වර්තමාන නායකයා ලෙස කටයුතු කරන්නේ අබුබකර් ශේකුය. මොවුන්ගේ භටයන් සංඛ්‍යාව 500-9000 අතර වෙන බැව් වාර්තා වේ. 2009 සිට කරන ලද ප්‍රහාරවලින් 20,000ක් පමණ ජනතාවක් ඝාතනය වී මිලියන 2-3 අතර සංඛ්‍යාවක් අවතැන් වී ඇතැයි වාර්තා වේ. බටහිර අධ්‍යාපනය පවක් ලෙස මොවුන් සලකන අතර වහාබ් සංවිධානයේ බලපෑම මත ෂරියා නීතිය තදින්ම ක්‍රියාත්මක කෙරේ.   


අල් කයිඩා සංවිධානය සමග කටයුතු කරන තවත් අන්තවාදී සංවිධානයක් වනුයේ ආසිම් උමාර්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වෙන AQIS (Al Qaeda in the Indian Subcortinent) සංවිධානයයි. ඉන්දියාව, පාකිස්ථානය හා බංග්ලාදේශය කේන්ද්‍රකොට ගෙන ක්‍රියාත්මක වේ. මෙම ඉස්ලාමීය මිලිටරි සංවිධානය පාකිස්ථානය, ඉන්දියාව මියැන්මාරය හා බංග්ලාදේශය රජයන්ට පහරදී ඉස්ලාමීය රාජ්‍යයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටී. මොවුන්ගේ භටයන් සංඛ්‍යාව 300ක් පමණ වෙන බැව් වාර්තා වන අතර මිනිස් ඝාතන කීපයක් ද සිදුකර ඇත.   


අබු බකර් බෂීර් යටතේ ක්‍රියාත්මක වන JI ජෙමා ඉස්ලාමියා සංවිධානය, ඉන්දුනීසියාව මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව හා තායිලන්තය වැනි ගිනිකොන දිග ආසියාවේ රටවල් කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වේ. 5000ක පමණ සටන්කරුවන් සිටින මෙම සංවිධානය අග්නිදිග ආසියාවේ ඉස්ලාම් රාජ්‍යයක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම ත්‍රස්තවාදී සංවිධානය 2002 වසරේ සිට ඉන්දුනීසියාව පුරා කරන ලද බෝම්බ ප්‍රහාරවලින් 250කට වැඩි පිරිසක් ජීවිතක්‍ෂයට පත් වී ඇත.   


මව්ලානා ෆසුල්ලාගේ (Maulana Fazlullah) නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන TTP (Tehrik I Taliban Pakistan) සංවිධානය තවත් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධානයකි. වයඹදිග පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වේ. නොයෙකුත් ඉස්ලාමීය ත්‍රස්ත සාමාජිකයන්ට සෙවණ දෙන අන්තවාදී මිලිටරි සංවිධානයක් ලෙස මෙය හැඳින්වේ. මොවුන් සතුව 25,000ක බළඇණියක් තිබෙන බව වාර්තා වන අතර කරන ලද මනුෂ්‍ය ඝාතන සිය ගණනකට වැඩිය. 

 

 

 


මේ වසරේ අප්‍රේල් මස 21 දින (පාස්කු ඉරු දින) කරන ලද ප්‍රහාර මාලාවේ වගකීම ISIS සංවිධානය භාර ගන්නා බව වාර්තා විය. මේ සමගම ISIS සංවිධානය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය යොමුවෙන්නට විය. මෙම සංවිධානය බොහෝ විට හඳුන්වන්නේ ISIL (Islamic Stale of Iraq and the Levant) යනුවෙනි. රාජකාරී කටයුතුවලදී IS (Islamic State) යනුවෙන්ද අරාබි භාෂාවෙන් Daesh යන නමින් ද හැඳින්වේ. සිරියාව කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන මෙම අන්තවාදී සංවිධානයේ නායකයා ලෙස හැඳින්වෙන්නෙ අබුබකර් අල් බග්ඩාඩිය. සුන්නි ඉස්ලාමීය සලාෆි (Salafi) මතවාදය අනුගමනය කරන මූලධර්මවාදී සලාෆි ජිහාඩ් මිලිටරි සංවිධානය ලෙස මෙය හැඳින්වේ. ෂරියා නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම මොවුන්ගේ අභිප්‍රායයි. ISIL සංවිධානය ලෝක අවධානයට යොමුවූයේ 2014 වසරේ ඉරාක රජයේ හමුදා බටහිර දිග ඉරාකයෙන් පලවා හැර මොසුල් ඇතුළු ප්‍රධාන නගර කීපයක් අල්ලා ගැනීමෙනි. ISIL සංවිධානය ආරම්භ වූයේ 1999 වර්ෂයේ අල් කයිඩා සංවිධානයට පක්ෂපාතීත්වය දක්වන බවට කරන ලද ප්‍රතිඥාවෙනි. මේ අනුව 2003 වසරේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේ දී ඉරාක ත්‍රස්තවාදීන් සමග එක්ව බටහිර රටවලට එරෙහිව යුද වැදුණි. 2014 ජුනි මාසයේ මෙම කණ්ඩායම ඉස්ලාමීය රාජ්‍ය සංකල්පය ප්‍රකාශයට පත් කළේය. (Qd Dawlah al Isla miyah) සිරියාවේදී සිරියන් රජයේ හමුදාවට විරුද්ධව යුද වැදුණි. 2015 දෙසැම්බර් වන විට බටහිර ඉරාකයේ සිට නැගෙනහිර සිරියාව දක්වා වූ විශාල භූමි ප්‍රමාණයක් අත්කර ගැනීමට හැකි වූ අතර ඔවුන්ගේ පාලනය යටතේ සාමාන්‍ය වැසියෝ මිලියන 8-12 ත් අතර ප්‍රමාණයක් ජීවත් වූහ. මෙම ප්‍රදේශ තුළ ISIL සංවිධානය දැඩි ලෙස ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය.   


2017 ජූලි මාසයේ ඉරාක හමුදා විසින් මොසූල් ඇතුළු ප්‍රධාන නගර නැවත තම පාලනය යටතට ගන්නා ලදී. 2017 ඇමෙරිකානු හමුදා ප්‍රකාශ කළේ ISIL ත්‍රස්තවාදීන්ගෙන් ඉරාක භූමිය බේරාගත් අතර ඔවුන්ට දැන් හිමිව ඇත්තේ 2% ක පමණ භූමි ප්‍රමාණයක් බවත්ය. 2017 දෙසැම්බර් 10 වැනි දින ඉරාක අගමැති හයිදර් අල් අබාඩි (Haider al Abadi) සඳහන් කළේ ISIL ත්‍රස්තවාදීන් ඔවුන්ට ඉතිරිව තිබූ බිම් තීරුවෙනුත් පලවා හැරිය බවය. 2019 මාර්තු වනවිට මැද පෙරදිග ISIL බලය සුළු ප්‍රදේශයකට පමණක් සීමා විය.   


2013 අප්‍රේල් මාසයේ ISIL බලය සිරියාව දෙසට ව්‍යාප්තවීමත් සමග මෙම සංවිධානයේ නම Islamic State of Levant යනුවෙන් වෙනස් කළේය. සමහර තැන්වල ඔවුන් හඳුන්වා ඇත්තේ Levant වෙනුවට Grater Syria යනුවෙනි. මෙයින් පැහැදිලි වනුයේ ඔවුන්ගේ එක් එක් අවශ්‍යතාවන් අනුව ඔවුන්ගේ සංවිධානයේ නම වෙනස් කරන බවය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, ඇමරිකාව, කැනඩාව, තුර්කිය, ඕස්ට්‍රේලියාව, රුසියාව හා මහා බ්‍රිතාන්‍යය මෙම සංවිධානය හැඳින්වූයේ ISIL නමිනි. අරාබිය මොවුන් හැඳින්වූයේ DEASH යන නමිනි.   


ISIL සංවිධානයේ ප්‍රධාන තේමාව වූයේ අල්ලා හැර වෙන දෙවියකු නොමැති බවයි. ඔවුන් විසින් ස්ථාපිත කරනු ලබන ඉස්ලාම් රාජ්‍යයේ නායකයා විය යුත්තේ කාලිෆ් (Caliph) වරයකු බව ප්‍රකාශ කළ ISIL සංවිධානය එහි නායකයා වන අබු බකර් අල් බග්ඩාඩි සම්පූර්ණ බලය ඇති කාලිෆ්වරයකු ලෙස පත්කළ බව 2014 ජුනි මස 29 දින ප්‍රකාශයට පත් කළේය. ISIL සංවිධානයේ බලය මැද පෙරදිගින් හීන වී විශාල පසුබෑමකට ලක්ව සිටි නිසා නැවත ආත්ම ශක්තිය ඇති කරගැනීම සඳහා 2017 ජුනි මස 6 වැනි දින ටෙහෙරාන්වලටත්, 2017 මැයි 22 එක්සත් රාජධානියේ මැන්චෙස්ටර්වලටත් 2017 ජුනි 3 ලන්ඩන්වලත් බෝම්බ පිපිරවීමක් කළ බව පිළිගැනේ.   


 ISIL සංවිධානයේ යුද ආරක්ෂක කමිටුවල වැඩි ප්‍රමාණයක් සිටිනුයේ සදාම් හුසේන්ගේ “බාත්” රජයේ සිටි බුද්ධි අංශ නිලධාරීන් බව වාර්තා වේ. 2016 අගෝස්තු 16 වැනි දින බටහිර බුද්ධි අංශ වාර්තා කළේ ISIL සංවිධානය සතුව 2014 පිහිටවූ අරාබි බසින් හැඳින්වෙන එමිනි (Emini) නම් වූ රහස් සේවාවක් තිබූ බවයි. මෙම රහස් සේවාව 2016 අගෝස්තු මස ගුවන් ප්‍රහාරයකින් මියගිය මොහමඩ් අල් අඩ්හානි (Mohamad Al Adhani) යටතේ වූ බව සොයා ගැනුණි.   


2015 වසරේ මුල් කාලය වෙනුවට ISIL හමුදා බළ ඇණිය 10,000ත් 20,000ත් අතර පමණ වූ බව වාර්තා විය. මාධ්‍යවේදිනියක වූ මේරි ඈන් වීමර් සඳහන් කළේ මෙම සටන්කරුවන්ගෙන් අඩක් පමණ විදේශීය රටවලින් පැමිණි අය බවය. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව 15,000ක් පමණ සටන්කරුවන් විවිධ රටවල් 80කට වැඩි ප්‍රමාණයකින් පැමිණි පුද්ගලයන්ය. 2015 පෙබරවාරි වෙන විට විදේශීය රටවලින් පැමිණි සටන්කරුවන් 20,000ක් පමණ වූ බවත් ඉන් 3400ක් පමණ බටහිර රටවලින් පැමිණි පුද්ගලයන් බවත් වාර්තා වේ. 2015 සැප්තැම්බර් වන විට විදේශීය රටවලින් පැමිණි 30,000ක පමණ පිරිසක් අයි.එස්.අයි.එල්. සංවිධානය හා සම්බන්ධ වූ බව CIA සංවිධානය හෙළි කළේය. 2014 අයි.එස්.අයි.එල්. සංවිධානය මොසුල් නගරය අත්පත් කරගත් පසු මොසුල් විශ්වවිද්‍යාලයේ තිබූ රසායනික ද්‍රව්‍ය මොවුන් අතට පත්විය. බොහෝ අවස්ථාවල මොවුන් මෙම රසායනික අවි භාවිත කර ඇත.   


අයි.එස්.අයි.එල්. සංවිධානය ඉරාක රජයට විරුද්ධව කළ සටනේ දී ෂියා මුස්ලිම්වරුන්, ක්‍රිස්තියානි යසිඩීස් (Yazidis) ජාතිකයන් හා සුළු ජාතීන් 30,000කට වඩා ඝාතනය කළ බව සඳහන් වේ. නමුත් 2016 අගෝස්තු 30 වැනි දින ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය කළ සමීක්‍ෂණයක දී අයි.එස්.අයි.එල්. පාලනය කළ ප්‍රදේශයේ තිබී සමූහ මිනී වළවල් 72ක් සොයා ගත්තේය. එක් සමූහ මිනී වළක එම සංවිධානය (ISIL) ඝාතනය කළ මළ සිරුරු 15,000 ක් තිබූ බව වාර්තා කළ අතර තවදුරටත් කියා සිටියේ ජන සංහාරයක් කර ඇති බවය. සිරියාවෙන් මෙවැනි සමූහ මිනී වළවල් 17ක් ද ඉතිරිය ඉරාකයෙන් ද හමුවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පළ කළ වාර්තාවකින් කියවුණේ අයි.එස්.අයි.එල්. සංවිධානය විසින් ඝාතනය කර මිහිදන් කළ සමූහ මිනී වළවල් 200කට වඩා ඇති බවත් එක් සමූහ මිනී වළක 12,000ක් මළ සිරුරු හමුවූ බවත්ය. උතුරු හා බටහිර දිග ඉරාකයේ Nineveh, Kirkak හා Salah- al Din හා Anbar ප්‍රදේශවලින් මෙම සමූහ මිනී වළවල් සොයා ගත් බව තවදුරටත් වාර්තා විය.   


අයි.එස්.අයි.එල්. සංවිධානය මානව හිමිකම් කඩ කළ බටවත්. යුද අපරාධ සිදුකර ඇති බවටත් චෝදනා එල්ල වී ඇත. මේ හැර අන්‍ය ආගමික හා සුළු ජන කොටස් ඝාතනය කිරීම, ළමා සොල්දාදුවන් යොදවා ගැනීම, ලිංගික හිංසනය, වහල් සේවයේ යෙදවීම. මාධ්‍යවේදීන්ට පහරදීම, විරුද්ධවාදීන්ගේ බෙලි කපා දැමීම, කුරිරු මිනිස් ඝාතන සිදුකිරීම රසායනික අවිභාවිත කිරීම, සංස්කෘතික හා ආගමික උරුමයන් ඇති ස්ථාන විනාශ කිරීම වැනි චෝදනා ද එල්ල වී ඇත.   


මෙම වසරේ මැයි මුල දී ISIL නායක අබු බකර් අල් බග්ඩාඩි අවුරුදු පහක පමණ කාලයක නියැඬියාවකින් පසු වීඩියෝ දර්ශනයක පෙනී සිටිමින්, මාලි, බුර්කිනා ෆාසෝ (බ. අප්‍රිකාවේ ඇති රටකි) ඇෆ්ගනිස්ථානය තුර්කිය හා ශ්‍රී ලංකාවේ වෙසෙන ISIL සංවිධානයට සම්බන්ධ ජිහාඩ් සාමාජිකයන් ඔහුට පක්‍ෂපාතීත්වය දක්වා දිව්රුම් දුන් බව ප්‍රකාශ කළේය.   


2018 දෙසැම්බර් 19 වැනි දින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ISIL සංවිධානය පරාජය කොට ඇති බවය. එහෙත් එක්සත් රාජධානියේ කනිෂ්ඨ ආරක්‍ෂක අමාත්‍ය ටෝබියස් එල්වුඩ් ප්‍රකාශ කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ කීමට එකඟ නොවන බවය. ජර්මන් විදේශ තානාපති Heika Maas ප්‍රකාශ කළේ අයි.එස්.අයි.එල්. සංවිධානයේ ක්‍රියාකාරකම් පසුබෑමකට ලක් වී ඇතත් තර්ජනය අවසන් වී නොමැති බවය. අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින ශ්‍රී ලංකාවේ කීප ස්ථානයකටම කරන ලද ප්‍රහාරවලින් පෙනී යන්නේ ISIL සංවිධානය ශ්‍රී ලංකාව ඇතුළු ගිනිකොනදිග ආසියානු රටවල් තුළ තම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට පෙළඹී සිටින බවයි. ඉහත සඳහන් කළ සියලුම ඉස්ලාමීය අන්තවාදී සංවිධාන කුමන හෝ අයුරකින් අල්කයිඩා සංවිධානය සමග සම්බන්ධකම් පවත්වා ඇති බව පෙනේ. ඉස්ලාමීය අන්තවාදීන්ගේ පාලනය පැවති සියලුම ප්‍රදේශවල ඔවුන් ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇති බව පැහැදිලිය. මෙයින් පිළිබිඹු වෙන්නේ ෂරියා නීතිය කොතන ද එහි ඉස්ලාමීය අන්තවාදය ක්‍රියාත්මක වෙන බවයි. එම නිසා ශ්‍රී ලංකාවේ දේශපාලකයින් පටු දේශපාලන හා ආර්ථික වාසි පසෙකලා මෙම ඉස්ලාමීය අන්තවාදයෙන් ගැලවීමට ඉහත සඳහන් කරුණු ගැන බුද්ධිමත් තීරණයක් ගත යුතුව අැත.   
   

 


පී.ඩබ්ලිව්. ගුණතිලක   
තැපැල් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික අධීක්‍ෂණ නිලධාරි