රාජසිංහ මාවතට පහළ මහවැලියේ බිහිසුණු ඉසව්ව


මහවැලි ගඟේ බිලි ගන්නා තැන්

 වඳුරුපෙණහැල්ලෙන් පහත ප්‍රදේශයට ජලය ගලාගෙන යද්දී   

 

වඳුරු පෙණහැල්ල දෙසින් මහවැලි ජලය ගලා යන අයුරු (උඩින් ඈතින් පෙනෙන්නේ හන්තාන ප්‍රදේශයයි)   

 

 

ස්වභාව ධර්මය මිනිසා ඇතුඵ සත්ව ලෝකයට අපූර්ව දායාද තිළිණ කර තිබේ. එහි සුන්දරත්වය අත්විඳීමට නම් එම ලෝකයට පිවිසිය යුතුමය. ශ්‍රී ලාංකීය ජනතාවට අමිල තිළිණයක් බඳු වූ මහවැලි නදීතීරය දිගේ ඇවිද යන අපගේ දෙනෙත් පිං කර ඇති බව දැනෙන්නේ ඒ නිසාය. එහෙත් කනගාටුවට කරුණ නම් එම සුන්දරත්වයට යටින් අමිහිරි, අපූර්ව කතා ද බොහොමයක්ම සැඟවී පැවැතීමය.  
 
අප මොහොතකට අතරමං කරන මහවැලි ගඟේ සුන්දරත්වයට නොපෙනෙන එවන් බිලි ගන්නා තැන් කිහිපයකට මෙවර ද ඔබ කැඳවාගෙන යන්නෙමු. මෙහිදී විශේෂයෙන් ම මතක් කළ යුත්තක් තිබේ. එනම් මෙවන් සුන්දර තැන් ඈත සිට නැරැඹුව ද ඔබ කිසි දිනෙක එම ස්ථානවලට යාමට, ජලයට බැසීමට උත්සාහ නොකරන ලෙස කරන ඉල්ලීමය.   


මහවැලි ගඟේ බිලි ගන්නා තවත් එක තැනක් වශයෙන් (පළමු ලිපියේ) දෙවන රාජසිංහ මාවතට පහළින් ඇති ස්ථානයක් ගැන සඳහන් කළෙමු. එහි ඇති විශේෂත්වය නම් ඊට බිලි ගන්නා ස්ථාන පහක් අයත් වීමය.   
“යුද්ධ සුසාන භූමියට යාමට ඉංග්‍රීසින් විසින් මහවැලි ගඟට ඉහළින් මුල්ගම්පොළ සිට පාරක් සාදා තිබුණා. පසුව අනෙක් ප්‍රදේශය වන දොඩම්වල හන්දියේ සිට ‘දෙවන රාජසිංහ මාවත’ නමින් පාරක් සාදා ඊට සම්බන්ධ කරන ලද්දේ, 1935 වසරේදී ෆොන්සේකා නමැති ඉංජිනේරු මහතකු විසිනි. දැන් ඒ සම්පූර්ණ මාර්ගය ම හඳුන්වන්නේ ඒ නමිනි. එවකට මහනුවර කොමිෂනර් වශයෙන් සේවය කළේ විලියම් ගොපල්ලව මහතායි.” යැයි මහනුවර හිටපු ක්‍රීඩා උපදේශකවරයකු වන එච්.එම්.එල්.බී. හේරත් මහතා පවසයි.   


ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.   


“දෙවන රාජසිංහ රජතුමා පෘතුගීසින් දහස් ගණනක් මුල්ගම්පොළ, ගන්නෝරුව, ගැටඹේ ආශ්‍රිතව සමූල ඝාතනය කර තියෙනවා. ඒ නිසා මහනුවර නගර සභාව දෙවන රාජසිංහ රජතුමාගේ නම ඔය පාරට යෙදුවා.   
මෙම ගඟ දෙපස නැතිනම් දෙවන රාජසිංහ මාවතෙන් ඉහළ සහ වරාතැන්න ප්‍රදේශයේ පහළ එදා ජීවත් වූයේ දළදා මාලිගාවට ආවතේව කළ පිරිසකි. අද ද ඔවුන්ගෙන් පැවත ගෙන එන බොහෝ දෙනෙක් එහි සිටිති.   
එදා තරමක් අවදානම් සහිත මාර්ගයක් වශයෙන් එය ප්‍රසිද්ධියට පත් වී තිබුණා. හොල්මන් තිබෙනවා කියාත් බොහෝ දෙනෙක් පවසනවා. මමත් එහි අත්දැකීමකට මුහුණ දුන් එක් කෙනෙක්. එදවස රාත්‍රියේ ඔය පාරේ කිසිවෙක් යන්නේ නැහැ. 1990 වසරේ එක් දවසකදී තවත් දමිළ සේවකයෙක් සමඟ මුල්ගම්පොළ සිට දොඩම්වල දක්වා රාත්‍රී නවයට පමණ කාරයක අපි ගමන් කරමින් සිටියා. එම මාර්ගයේ ගඟ ඉද්දර පිහිටා තිබෙන තැන වංගුවක් තියෙනවා. ඒ හරියෙන් යනකොට පාරක් නැති බව පෙනුණා. මට හිතා ගන්න බැහැ කුමක් කළ යුතු ද කියා.. දැන් ගඟ පැත්තට කාරය යනවා. මම අනෙක් පැත්තට කාරය කැපුවා.. ඒ පැත්ත කන්ද.. කන්ද උඩට ගොස් රෝද හතර උඩට සිටින ආකාරයට පෙරළී කාරය පාර උඩට වැටුණා. කාරයේ වහල පොඩි වුණා. එහෙත් සේවකයාටවත්, මටවත් සීරීමක්වත් තරම් දෙයක් සිදු වුණේ නැහැ.. අදටත් ඒ සිදුවීම මට අදහා ගන්න බැහැ.   
මහවැලි ගඟේ හාස්කමක් ගැනත් මම කියන්නම්. පසුගිය කාලේ දොඩම්වල ගමේ පුද්ගලයෝ කිහිප දෙනෙක් එම ප්‍රදේශයෙන් ගලා බසින ගඟෙන් වැලි ගොඩදානවා, පාරු උපයෝගී කරගෙන. ඒ රජයේ අවසරයක් ලබාගෙන. වැලි ගොඩදාන මිනිසුන්ගෙන් එක්කෙනෙක් පාරුවේ සිට ජලයට මුත්‍ර කරනවා. මම එය දැක්කා.. ‘මල්ලී.. ඔය වැඩේ හොඳ නැහැ.. පහළින් තියෙන්නේ ජල පොම්පාගාරය. මිනිසුන්ට ජලය පිරිසිදු කර බොන්න දෙන්නේ කොහොම ද? එපමණක් නොවෙයි.. දළදා හාමුදුරුවන්ටත් පූජා කරන්නේ ඔය ජලය.. ඕක අපරාධයක්...’   


ඔහු මගේ කීම සතේකට ගණන් ගත්තේ නැහැ.. හිනා වුණා.. පහුවදා මට ආරංචි වුණා.. පාරුව පෙරළී ඔහු ජලයට වැටී මියගොස් ඇති බව.. ඊට පසු වැලි ගොඩදාන අය හඳුන්කූරු පත්තු කර, මල් පහන් පූජා කර, බුදුන් වහන්සේට, දෙවියන්ට භාරවෙලා සමාව අරගෙන.. නැවත වැලි ගොඩදාන්න පටන් ගත්තා.. ” 

 


ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පදිංචි දේවනාරායන ක්‍රිෂාන්ත පියදාස (44)   


“ගැටඹේ දියකපනාතොට නැතිනම් ගැටඹේ අලුත් පාලම ළඟ සිට මහවැලි ගඟ ගැන මම හොඳටම දන්නා පුද්ගලයෙක්. කුඩා කාලයේ සිට හැදී වැඩුණේ මේ ගඟ ආශ්‍රිතවයි. දියකපනාතොට සිට පහළ වරාතැන්නේ සීමාමාලකය දක්වා පාර මට්ටමින් කිලෝමීටර 3ක පමණ දුරක් පිහිටා තියෙනවා. මෙම කිලෝමීටර තුන ගැන මම හොඳටම දන්නා පුද්ගලයකු හැටියට කියන්න පුඵවන් කරුණු බොහොමයක් තියෙනවා.   
ඉන් එකක් නම් මෙම ප්‍රදේශය බිලි ගන්නා ස්ථාන පහක් තිබෙනවා. මිනිසුන් ගඟට බිලි ගත්තත්, දුප්පත්කම නිසාම අපට ගඟ සමඟ ගැටෙන්න සිදු වුණා. ජීවත් වුණේ ගඟ නිසයි.”


 ඔහු තම ජීවිත කතාව පවසන්නේ හැඟිම්බර ව ය. ගඟ අද්දර හෝටලය ළඟ තියෙන බිලි ගල සිට වරාතැන්නේ හත්කිඳ නැතිනම් හැමිළිවළ දූපත් දක්වා වූ, අලියා ගල, පනින ගල, ඇල්ල, කුමාරි වළ, වඳුරුපෙණහැල්ල, දක්වා ස්ථාන පහ අයත් වෙනවා. (වරාතැන්නේ හත්කිඳ ගැන මීට පෙර සඳහන් කළෙමු.)   


මහවැලි ගඟේ කුඩාම තැන පිහිටා තිබෙන්නෙත් දෙවන රාජසිංහ මාවතට පහළින් වඳුරුපෙණහැල්ල ආසන්නයේ බව බොහෝ දෙනෙක් දන්නේ නැත. එතැනින් අඩි හයක ප්‍රමාණයක ජලය ගලාගෙන ගියත්, අඩි 12ක පරතරයක් පිහිටා ඇත. වඳුරුපෙණහැල්ල ගල් කිහිපයක් හරස් කරමින් ගඟ මැදින් පිහිටා ඇති ලස්සන තැනකි. එතැනින් පහළට තරමක් ලොකු ගලක වඳුරු මුහුණක ආකාරයේ රූපයක් මවමින් ජලය ගලා බසී. එය නිතරම දැක ගැනීමට ලැබෙන්නේ නැහැ. ජලය තරමක් අඩුවෙන් ගලා යන විට දර්ශනය වේ. මෙතැනින් එක නිර්භීත වඳුරෙක් දවස් කිහිපයකට වරක් එගොඩ සිට මෙගොඩටත්, මෙගොඩ සිට එගොඩටත් මාරුවෙනවා දැකගත හැකියි.!   


කුමාරි වළට කිසිවෙක් වැටුණොත් නැවත උඩට එන්නේ නැතැයි කියමනක් ඇත. එතැන තවත් විශේෂත්වයක් තිබේ. එනම් මිනිසකුට දවස් කිහිපයක් වුව ද හැංඟී සිටිය හැකි වළක් මෙන් වූ ස්ථානයක් ද එහි පිහිටා තිබීම ය.   


“1980 ගණන්වල දෙවන රාජසිංහ මාවතේ ගෙවල් කිසිවක් සාදා තිබුණේ නැහැ. පාර පාඵවට ගොස් තිබුණා. රාජසිංහ මාවත ගඟට උඩින් දොඩම්වල හන්දිය දක්වා කිලෝමීටර් දෙක හමාරක පමණ දුරක් පිහිටා තියෙනවා. යාපනය, කුරුණෑගල, මහනුවර, මාතලේ ආදී වශයෙන් ලංකාවේ ඕනෑම තැනකට ගමන් කළ හැකි එකම මාර්ගය වශයෙන් ද මෙය හැඳින්වෙනවා.   


පෙබරවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මෙම ප්‍රදේශය බොහෝ දෙනකුගේ අවධානය දැඩිව යොමු වෙන පළාතක්. එයට හේතුව එම මාසවල නිවාඩු ඇති බැවින් වැඩි සංඛ්‍යාවක් විනෝදය සඳහා මෙම පළාතට පැමිණීමයි. ඒ අයුරින් විනෝදයෙන් පැමිණ වඳුරුපෙණහැල්ලට පහළ පිහිටා තිබෙන වැල්ලට පැමිණෙනවා. ඒ ආකාරයෙන් පැමිණි කාන්තාවක් නාන්න ගොස් ජලයේ ගහගෙන ගියා. යහඵවෙක් උණ බටයක් දැම්මා ඇයට අල්ල ගන්න. ඒත් එක්කම දිය රෙද්ද ගැලවුණා. ඇය උණ බටය අතහැර දිය රෙද්ද අල්ලන්න හැදුවා. කොහොම හරි අපි ඇය බේරා ගත්තා.   


2000 වසරේ පෙබරවාරි මාසයේ 4 දින ත්‍රිත්ව විදුහලේ ළමයෙක් “පනින ගලෙන් ” පැනගෙන පැනගෙන යන්න හැදුවා. මමත් ඒ අවස්ථාවේ එතැන සිටියා. ‘මල්ලි ඔතැනින් පනින්න එපා’ කියා මම කීවා. එතකොට ඔහු කියනවා, ‘මම පාසලේ පිහිනුම් ශූරයෙක්. අයියා මට කියා දෙන්න එන්න එපා’ කියා ඊළඟ මොහොතේ ඔහු ගඟට පැන්නා. පැනගෙන යනකොට ගලක පය ලිස්සා ගොස් ජලයට වැටුණා. එතැනින් වේගයෙන් ජලය ගලාගෙන යනවා. ටික වේලාවකින් ඔහු නොපෙනී ගියා. මෘත දේහය හමු වුණේ දින හතරකට පස්සේ ගල යට වළෙහි හිරවෙලා සිටියදීයි. එහි යට කොපමණ දුරක් තියෙනවා ද කියා හොයන්න බැහැ. අපි දිග උණ බට දමා බැලුවා. එහෙත් ඒවාටත් වඩා ගැඹුරයි. තවත් රත්නපුරේ ළමයෙකුත් ජීවිතය නැති කර ගැනීමේ අරමුණෙන් එතැනින් පැනල මැරුණා.   


“වඳුරුපෙණහැල්ල” කියන ස්ථානය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මහවැලි ගඟට උඩින් පාරෙ ගියත් බිලි ගන්නා තැනක් වශයෙන්. මම දන්නා කළුගමුවේ මල්ලි ටිපර් වාහනයක රියැදුරෙක්. ඔහු කුණු ටිකක් වත් පාරට දමන පුද්ගලයෙක් නොවෙයි. එහෙත් එතැනින් උඩ මාර්ගයේ දී වාහනය පස්සට ගන්න ගිහින් ගඟට පෙරලුණා. එදා තදින් වර්ෂාව පැවැතියා. ගඟේ ජලය බොරවෙලා. වාහනය අඩි නවයක පමණ ප්‍රමාණයක් ජලයට යට වුණා. එතකොට රාත්‍රී නවයට පමණ ඇති.   


ටික වේලාවකට පසු ගිනි නිවන හමුදාව, නාවික හමුදාව පැමිණියා. මම ඔහු සොයන්න ගඟට බහින්න හැදුවත් යාළුවෝ ඉඩ දුන්නේ නැහැ. පසුව ඇඳුම් ගලවා දමා මගේ තනි තීරණයට ජලයට පැන්නා. කිමිදිලා බලනකොට ළමයාගේ කකුල වාහනයට හිරවෙලා. එතකොට ඔහුට පණ තිබුණා. කොහොම හරි මම ඔහුගේ කකුල හිර වූ තැනින් ගලවගෙන උඩට පැමිණියත්, එතකොට ඔහුගේ පණ ගිහින්. අපි එතැන ගඟ පැත්තට වෙන්න විශාල කළු ගල් කිහිපයක් තැබුවා. දැන් එතැනින් වාහනයක් හරවන්න බැහැ.   

 

 වඳුරුපෙණහැල්ල ගලේ වඳුරු මුහුණ පෙන්වන ක්‍රිෂාන්ත   

 

මහවැලි ගඟ පැත්තට වන්නට දෙවන රාජසිංහ මාවතේ විශාල ගල් තබා ඇති අයුරු

 

 

 දවස් කිහිපයක් වුව ද හැංඟී සිටිය හැකි කුමාරි වළ   

 

 කුමාරි වළට ඉදිරියෙන් පිහිටා ඇති ගැඹුරු ස්ථානයක්   

 


මේ වනවිට මම, හත්දෙනෙක් බේරගෙන තියෙනවා. මල්වත්ත කියන ප්‍රදේශයෙන් පවුලක්ම බේරා ගත්තා. පසුගියදා කුවේට් සංචාරකයන් 9 දෙනෙක් සහ ශ්‍රී ලංකා මගපෙන්වන්නෙක් ඩිංගි බෝට්ටුවක නැගී ගඟ දිගේ පහළට එනකොට එ් බෝට්ටුව පෙරළුණෙත් වඳුරුපෙණහැල්ලේදීයි. එක ගැහැනු ළමයෙක් කොහොම හරි ගලක් අල්ලාගෙන ඊට ගොඩ වෙලා සිටිනවා. එතැනට මෙගොඩ සිට යන්න බැහැ. ජලය වේගයෙන් ගලාගෙන යනවා. මම කඹයක් ගෙන එය ඉනෙහි ගැට ගසා ඒ ළමයා සිටින තැනට පිහිනා ගොස්, ගලෙහි බැඳ, ඒ ආධාරයෙන් ඇය මෙගොඩට ගෙනාවා.   


මීට වසර දහයකට පමණ පෙර ළමයි පිරිසක් වඳුරුපෙණහැල්ල ළඟට ගොස් කුඩු උරල තියෙනවා. ළමයෙක් විහිළුවට වගේ පොලිසියෙන් එනවා කියලා අනෙක් ළමයි බය කරල. එක ළමයෙක් ජලයට පැන්නා. ඔහුගේ මෘතදේහය ගොඩ ගත්තේ දවස් දාහතරකට පස්සේ ගල් යට හිරවෙලා තිබියදී අයිවරි අයිලන්ඩ් කියන ස්ථානයෙන්. එතැනට වඳුරුපෙණහැල්ලේ සිට කිලෝමීටරයක් පමණ දුර තියෙනවා.”   


“කොහොම ද ඔබ දැනගත්තේ ඒ වගේ අයගේ මෘතදේහයන් තියෙන හරි තැන?” මම ඔහුගේ කතාවට බාධා කළෙමි.   


“එ්ක කියන්න තේරෙන්නේ නැහැ. මට ගඟ හොඳට පුරුදු නිසා එහෙම හිතෙනවා ඇති. ඔය සිද්ධිය වෙනකොටත් ජලය බොර වෙලා තිබුණේ. දිව එළියට ඇවිත්. පර්ස් එකේ මුදල් සහ හැඳුනුම්පත තිබුණා. ඔහුගේ තාත්තත් ඒ අවස්ථාවේ එතැන සිටියා. එහෙත් පුතාගේ මෘතදේහය අල්ලන්න බැහැ කීවා. හම ගැලවිලා කෑලි අතට එන නිසා වෙන්න ඇති. මම අල්ලාගෙන ගොඩටත් ගෙනාවා. අම්මා සමග “සෙල්ෆි” ගහන්න ගිය දියණියක් ඇතුළු කිහිපදෙනකුම ගඟ පතුළේ සැඟවී සිටියදී මම සොයා ගෙන තියෙනවා.”   


ස්තුතිය - ගැටඹේ දෙවන රාජසිංහ මාවතේ පදිංචි ඩී. ක්‍රිෂාන්ත පියදාසට සහ මහනුවර හිටපු ක්‍රීඩා උපදේශක එච්.එම්.එන්.බී. හේරත් යන මහත්වරුන්ට.   

 

 

 

 

 


සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර