රවි මාරුව ඔබට කොහොමද?


ජීවිතයට   
   ජ්‍යොතිශය  

 

 

ග්‍රහලොව ප්‍රධානියා වන රවි ග්‍රහයා 2019 ඔක්තෝබර් මස 18 වන දින මෙතෙක් ගමන් කළ කන්‍යා රාශියෙන් සිකුරු හිමි තුලා රාශියට පැමිණෙයි. 2019 නොවැම්බර් 17 දක්වා රවි ග්‍රහයා තුලා රාශියේ නීචව ගමන් කරයි.  


කෝණ මාසය නිමවීමත් සමඟම 2019 ඔක්තෝබර් මස 18 වන දින සිට ඉදිරි කාලය තුළ නිවාසවලට මුල්ගල් තැබීමටද, විවාහ මංගල කටයුතුවලට ද අලුතින් ඉදිකරන ලද නිවාසවලට පදිංචියට යාමට ද ඉතා ශුභ කාලයක් උදා වේ.  


රවි මාරුව උපන් ලග්නවලට බලපාන අයුරු  


මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත්වැන්නට රවි පැමිණෙයි. හවුල් ව්‍යාපාරවලට තරමක බාධා ඇතිවිය හැක. තරුණ තරුණියන්ගේ මංගල යෝජනාවලට එතරම් යහපත් නොවේ. විවාහ සහකරු සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න.  


වෘෂභ - ඔබේ කේන්ද්‍රයේ හයවැන්නට රවි පැමිණීම සුබදායක වේ. ගෘහ ජීවිතය යහපත් වේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබීමට ඉඩ ඇත. සතුරු කරදර ජයගනී. අසනීපවලින් සුවය ලැබේ. ශනි අටේ ගමන් කරන බැවින් ආගමානුකූලව ජීවත් වන්න.  


මිථුන - ඔබේ කේන්ද්‍රයේ පස්වැන්නට පැමිණෙන රවි තරමක් අසුභ ඵල උදාකරන බව පෙනේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා ඇතිවිය හැක. ව්‍යාපාරවලට මුදල් ආයෝජනයට එතරම් යහපත් නොවේ. විවාහ අපේක්ෂිත පෙම් සබඳතාවලට අසතුටුදායක තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇත.  


කටක - සඳු හිමි කටක කටක ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ හතරවැන්නට රවි පැමිණෙයි. දෙවැන්න අධිපති රවි හතරවැන්නට පැමිණීමෙන් ගෘහජීවිතය සම්බන්ධව ගැටලු හෝ සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇත. පවුලේ වැඩිහිටියන් ගැන වෙනදාට වඩා අවධානය යොමු කරන්න. රුධිර පීඩනය හා හෘදයාබාධ ඇති අය ප්‍රවේශම් වන්න.  


සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන්වැන්නට රවි පැමිණෙයි. ලග්නාධිපති රවි තුන්වැන්නට පැමිණීම නිසා අසල්වැසියන් සමඟ ඉවසීමෙන් කටයුතු කරන්න. බාල සහෝදරයකුට අපලයි. නිෂ්ඵල ගමන්ද යෙදේ. ලිපි ලේඛනවලට අත්සන් කිරීමේදී සැලකිලිමත් වන්න.  


කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට රවි පැමිණීම නිසා මෙම මාසය සුබාසුබ මිශ්‍රඵල ගෙනදෙනු ඇත. ගෘහජීවිතය පිළිබඳව තරමක බාධා කරදර ඇතිවීමට ඉඩ ඇත. කතා කරනවිට දුරදිග බලා කතා කරන්න. තැන්පත් ධනය වැයවීමට කරුණු යෙදිය හැකි නිසා නිසි කළමනාකරණයෙන් මුදල් පාවිච්චි කරන්න. අැස්වල රෝග ඇතිවීමට ඉඩ ඇත.  


තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ලග්නයට රවි පැමිණෙයි. මිශ්‍රඵලදායක වේ. හවුල් ව්‍යාපාර කිරීමේදී වඩාත් සැලකිලිමත් වන්න. ඔබේ වැඩිමහල් සහෝදරයකුට හෝ යහළුවෙකුට අපලදායක වේ. ආදායම් මාර්ගවලට තරමක බාධා ඇතිවිය හැක. හිසේ රෝග, උෂ්ණාධික රෝගවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සෞඛ්‍යය රැකගැනීමට උනන්දු වන්න.  


වෘශ්චික - ඔබේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට රවි පැමිණීම නිසා තරමක් අපලදායක වේ. උසස් කෙනෙකු හෝ රැකියා ප්‍රධානියෙකු අමනාපවීමට ඉඩ තිබේ. රජයේ රැකියා කරන අය විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය. බලාපොරොත්තු වූ විදේශ රැකියා හෝ විදේශ ගමන් සාර්ථක වේ. වියදම් පාලනය කර ගන්න. ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.  
ධනු - ඔබේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට රවිගේ පැමිණීම සුබඵලදායක වේ. ආදායම් මාර්ග යහපත් වේ. රජයේ රැකියාවල නිරතවන අයට වැඩිපුර ගරු සැලකිලි නම්බුනාම හා තනතුරු ලැබේ. උසස් අයගේ ඇගයීමට ලක්වේ. නීතිමය අංශවල ද ආධාර උපකාර ලැබේ. රැකියා අපේක්ෂාවෙන් සාර්ථක වේ. සහෝදරයින්ට සුබයි. සෙනසුරු අපලයට අදාළ ග්‍රහ ශාන්තිකර්මවල නිරත වන්න.  


මකර - ඔබේ කේන්ද්‍රයේ රවි නීචව දසවැන්නට පැමිණ දිග්බලවීම නිසා මෙම මාසය සුබාසුබ මිශ්‍රඵල ගෙනදෙනු ඇත. ඔබේ රැකියා හා ව්‍යාපාර කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ද ඉඩ ඇත. මේ අතර රැකියා හා ව්‍යාපාරවලදී උසස් අය සමඟ කටයුතු කිරීමේදී කල්පනාකාරී වන්න. ශරීර සෞඛ්‍යය රැකගැනීමට උනන්දු වන්න.  
කුම්භ - කුම්භ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නමවැන්නට රවි පැමිණෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ උසස් අධ්‍යාපන කටයුතුවලට තරමක බාධා ඇතිවීමට ඉඩ ඇත. දුර වන්දනා ගමන් හෝ විදේශ ගමන්වලදී ප්‍රවේශම් වන්න. යහපත් ගුරුවරුන්ගේ උදව් උපකාර ලැබේ.  


මීන - ගුරුහිමි මීන ලග්නයෙන් උපන් ඔබේ කේන්ද්‍රයේ අටවැන්න රවිගේ පැමිණීම සුබඵලදායක නොවේ. රැකියා හා ව්‍යාපාර කටයුතුවලට සේවක පක්ෂයේ සහයෝගය අඩුවීමට ඉඩ ඇත. රුධිර පීඩනය හා උෂ්ණාධික රෝගවලින් ප්‍රවේශම් වන්න.  


මේ අනුව රවි මාරුව සමහර ලග්නවලට සුබ ඵල මෙන්ම ලග්න කිහිපයකට අසුබ ඵලත් ඇති කරන බව පෙනේ. රවි අපලය ඇති අය බුද්ධ පූජා, බෝධි පූජා හා ආලෝක පූජා තැබීම සුබය. සූර්ය පිරිත කියවීමත් යහපත් වේ. මව්පියන්ට උපස්ථාන කිරීම සුබය.  

 

 


ජ්‍යොතිර්වේදිනී  අජන්තා ඒකනායක  
මාංගොඩ, මැදමහනුවර