රජ මිදුලක් ගිලගෙන බිහිවූ රාජාංගණ ජලාශය


නිරතුරුව ජලයෙන් පිරී පවතින රාජාංගණය මහා ජලාශය: වැව් බැම්මේ එක් කොනක් පූට්ටු කර ඇත්තේ මෙහි පෙනෙනා කාඩිගල පර්වතයටය

 

රාජ-අංගණය යනු රජ මිදුලයි. රාජාංගණ ජලාශයේ බැම්මට උරදී පවතින කාඩිගල නම් වූ දැවැන්ත පර්වතයේ මුදුනට යා හැකි පඩිපෙළක් පවතී. වෑදිය සිඳී ගියවිට මෙම පර්වතය පාමුල ගල්ගෙඩිවලින් වට කළ දැවැන්ත මිදුලක් පවතින බව දැකිය හැකිය. මෙම පර්වතය තුළ පවතින ගල්ලෙනට මුහුණලා රාජ අංගණය හෙවත් රජ මිදුල පවතී.   


මෙම සංකේත හා සම්බන්ධ ඉතිහාසය මැකී ගොස් ඇති නමුත් වසභ රජු විසින් ඉදිකරන ලද්දේ යයි සැලකෙන අංගණමුව වැව, ලුණු වැව, මානෙල් වැව ආදිය මේ අවට පවතින හෙයින් වසභ රජුගේ තාවකාලික නවාතැනක් මෙහි පැවැතියේ යයි සමහරු කියති.   


ඉතිහාසයේ වැව් කප්පිත්තෙකු වන වසභ රජු මෙම ස්ථානයේ කලා ඔය හරස් කොට වැවක් නොබැන්දේ මන්දැයි සමහරු ප්‍රශ්න කරති. ධාතුසේන රජතුමා කලා ඔය උඩාවතින් හරස්කොට කලා වැව බැන්දාක් මෙන් කලා ඔය යටාවතින් හරස්කොට වසභ රජු වැවක් නොබැන්දේ මන්දැයි ඉතිහාසය තුළ කුකුසක් පවතී. කෙසේ වුව ද පැරැණි රජ දරුවන්ට අතපසු වූ මේ කාර්යය 1964 කාලයේදී ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සී.පී. ද සිල්වා මහතා රාජාංගණ ජලාශය ඉදිකිරීමට 1964 අප්‍රේල් 26 වැනිදා මුලපුරා ඇත.   
සිංහල වාපි ශිල්පය නව තාක්ෂණයෙන් ශක්තිමත් කොට ජලය අක්කර අඩි 81,600ක් රඳවන අඩි 1,175ක් දිගැති වාන්වේල්ල බැඳ වාන් දොරටු 32ක් තබා ඉදිකරන ලද මේ මහා ජලාශය දෙවැනි වන්නේ ධාතුසේන රජුගේ අක්කර අඩි එක්ලක්ෂ දහදාහක් රඳවන කලා වැවට පමණි. වැව් බැඳි හෙළ රජ දරුවන්ගේ නාමාවලියට රාජාංගණ මහා ජලාශය ඉදිකිරීමෙන් සී.පී. ද සිල්වා නාමය ද එකතු වෙයි. මේ වනවිට රාජාංගණ ජලාශය ඉදිවී වසර 56ක් ගතවී ඇත.   


රාජාංගණය මහ ජලාශය ඉදිකිරීමේදී රුපියල් හතරේ දවසේ පඩියට එහි කම්කරුවකු ලෙස දායක වූ අදටත් රාජාංගණය යාය එකේ පදිංචිව සිටින කේ. වෝල්ටර් සී. පෙරේරා මහතා රාජාංගණය ඉදිකිරීමේ ඉතිහාසය මෙසේ විස්තර කළේය.   


“තරුණ ගොවි සමාජයක ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස රාජාංගණ ප්‍රදේශයේ ඉඩම් කලඑළි කරන්නට රජයේ ඉඩම් ලබාගෙන මාත් එක්ක තරුණයන් නවදෙනකු රාජාංගණය මහ කැලෑවට පැමිණියා. අපේ කණ්ඩායමට අක්කර දහයක ගන කැලෑවක් එළි කරන්නට දුන්නා. අපේ දවසේ වැටුප රුපියල් හතරයි.   


අපි පොල්අතුවලින් වාඩියක් හදාගෙන එහි නැවතී දිනපතා කැලය එළිකරන්නට පටන්ගත්තා. අපට කැලෑ කැපීම ගැනවත් ගස් කොළං ගැනවත් අවබෝධයක් නෑ. කළුවර බුරුත මිල්ල ආදී දැවැන්ත ගස් රාජයන් අපේ අතින් බිමට පෙරළුණා. පරිසරයේ අන්දර ගස් පිරිලා. අතේ පයේ අන්දර කටු ඇනිලා ලේ ගලාගිය වාර අනන්තයි. කිනිතුල්ලන් එමට. ඒ කාලෙ මැලේරියා උණත් තිබුණා. මේ සියලු දුක් කරදර විඳගෙන අපට පැවැරූ වගකීම ඉටුකරන්නට අපි රෑ දවල් වෙහෙසුණා.   


එක දවසක් කැලේ මැද වැඩ කරගෙන යද්දි ගිනි අව්ව. හොඳටම දිය තිබහා. ගෙනගිය දියලබ්බේ වතුර ඉවරයි. ගහක මුදුනට නැගලා දිය පොදක් දකින්න වටපිට බැලුවා. ඈත දියකදුරක් ගලාගෙන යන බව දැක්කා. අපි කැලේ පීරාගෙන ඒ දියකදුර සොයාගෙන ගියා. ඒ කලා ඔය අද වගේ නෙමෙයි. එහෙම ගලා ගිය කලා ඔයේ ජලය හරිම පිරිසිදුයි. අපි තිබහා යනතුරු වතුර බීලා දිය ලබ්බත් පුරෝගෙන ආයිත් වැඩබිමට ගියා.   
1964 අගෝස්තු වෙද්දි රාජාංගණ ජලාශයේ ඉදිකිරීම් පටන් අරගෙන. මෙහි ඉදිකිරීම් භාරව සිටියේ සී.ඩී.ඊ. (සිලෝන් ඩෙවලොප්මන්ට් ඉංජිනියර්ස්) සමාගමයි. ප්‍රධාන ඉංජිනේරුවරයා වූයේ ඩග්ලස් වෛද්‍යරත්න මහතා. පිටරටවලින් එක සුද්දෙක්වත් ඇවිත් හිටියේ නෑ. රාජාංගණ ජලාශය ඉදිකිරීමේ කෙරුමො ඔක්කොම අපේ සිංහල මිනිස්සු. වැලි කඳු ගල් කඳු කොන්ක්‍රීට් කඩියන් සේ දාඩිය පෙරාගෙන වැඩ කරන කම්කරුවන් එහා මෙහා දුවන පනින ඉංජිනේරුවරු අපි ඇස් දෙකෙන් දැක්කා.   


අපට ද මේ වැඩබිමට යාමට සිදු වුණා. ගිනි පුකුළු අව්වේ රුපියල් හතරේ දවසේ පඩියට අපිත් වැඩ කළා. පතුලේ සිට අඩි 35ක් උස කොන්ක්‍රීට් බැම්ම අඩි 1175ක් දිගට. වාන් දොරටු 32යි. ඒ පැත්තේ දිග අඩි 308යි. වාන් නැති පැත්ත අඩි 195යි. මෙහිදී සිද්ධ වුණේ ධාතුසේන රජු උඩත්තාවේදී කලා ඔය හරස් කරලා කලා වැව බැන්දා වගේ සී.පී. ද සිල්වා ඇමැතිතුමා යටත්තාවේදී කලා ඔය හරස් කරලා රාජාංගණය ජලාශය හැදීමයි. දෙදෙනාම එක සමානයි. කලා වැවත් රාජාංගණ ජලාශයත් අද දෙනෝදාහක් ගොවි ජනතාවට සෙත සලසනවා.”


රාජාංගණ ජලාශය ඉදිකිරීමෙන් පසු ඊළඟ අරමුණ වූයේ ගොවි ජනපද පිහිටුවීමය. රාජාංගණ ජලාශයේ ජලය අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්ක තුනේ යම් යම් පැතිවලට බෙදී යයි. එම ජලය බෙදී යන පැතිවල පරිපාලනයට තඹුත්තේගම, ගිරිබාව, ගල්ගමුව, රාජාංගණය, කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ වී සිටී. පටන් ගැනීමේදී මේ ප්‍රදේශවල රළුවට පිහිටුවන ලද ජනපදවල දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තෝරාගනු ලැබූ ගොවි පවුල් 12,000ක් පමණ පදිංචි කරවන ලද අතර මේ වනවිට පවුල් හතළිස් දහසක් පමණ රාජාංගණයේ ජනපදවල පදිංචි වී සිටිති.   


ආරම්භ කළ යුගයේදී මෙම ජනපදවලට යාමට හරි හමන් මාර්ග නොවීය. එසේම යාන වාහන ද නොවීය. තඹුත්තේගම පුංචි කඩමණ්ඩියේ සිට අඩි පාරවල් ඔස්සේ බඩුමුට්ටු පොදි බැඳගෙන දරු පැටියන් කරපින්නාගෙන තමන්ට ලැබී ඇති ජනපද ඉඩම් කරා යාමට එකල ජනපදිකයන්ට සිදුවිය. මුල් දිනවල ඉදිකරගත් පුංචි වරිච්චි ගෙවල් සෙවිලි කරගැනීමට පොල්අතුවත් නොවීය. ඒ වෙනුවට ඉලුක්, මානා ආදිය යොදාගැනිණ. ආහාර දුෂ්කරතා අපමණය. බීමට ජලය සපයා ගත්තේ අලි ලගින වළවල්වල එකතු වී තිබූ ජලයෙනි. මේවායින් මැටි කළවලට හෝ ලබු ගෙඩිවලට ජලය පුරවාගෙන ගෙදර ගෙන ගොස් ඒවායේ පතුලේ ඉඟිණි ඇට උරච්චි කොට රැයක් ගතකොට පසුදා පානයට ගත්හ. සබන් වර්ග හිඟවීම නිසා පෙනල ගෙඩි පොඩි කොට ඒවා මුහුකොට රෙදිපිළි සෝදා ගන්නා ලදී.  


නයා, පොළඟා, මාපිලා, පිඹුරා වැනි සතුන් පරිසරයට වහ වැටී සිටියහ. එසේම අලි ඇතුන් කොටියා වළහා ගෝනා මුවා වැනි වන සතුන් ද හිඟ නොවීය. කුඩා දරුවන්ට වලිප්පු ගාය පාචනය නිව්මෝනියාව වැනි රෝග බහුල විය. ඒ අතර මුළු ජනාවාසම මැලේරියාවෙන් ගිලගෙන තිබිණ. මෙම අතුරු අනතුරු ලෙඩ දුක් පැවැතියත් කිට්ටුව පාතක බෙහෙත් ශාලාවක් නොවීය. ලෙඩට දුකට බොහෝ අය අත්බේත් යොදාගත් අතර අකාලයේ මියගිය අයගේ ද සීමාවක් නොවීය. දුර්භික්ෂය රෝග බිය සර්ප බිය වන සත්ව බිය යක්ෂ ප්‍රේත බිය මේ සියලු උවදුරුවලින් සමස්ත ජනපද ගිලගෙන තිබිණ. නමුත් ඒ ආදී අභිමානවත් ගොවියෝ රාජාංගණයේ ජනපද හැර නොගියහ.  


පරිසරයෙන් මතු වූ මෙම අසහනකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා ජනතාවගේ සැබෑ එකමුතු බවක් පැවැතිණ. කිසියම් පවුලකට ලෙඩක් දුකක් කරදරයක් සිදු වූ විට අසල්වැසියන් එකතු වී එම දරු පවුලේ දුක සැප බෙදාගත්හ.  


“රාජාංගණ ජලාශයේ දියවර බෙදා ගැනීමේදී අඬදබර නෑ. තමන්ගෙ කුඹුරට වගේම යටාවතේ කුඹුරටත් දියවර දීමට උදව් වුණා. ගොවිතැනට අවශ්‍ය අන්‍යෝන්‍ය සහාය ගොවියන් අතර හොඳට තිබුණා. යාබදව තියෙන්නෙ විල්පත්තුව මහ කැලය. ඒ හින්දා මේ පැත්තෙන් වන සතුන් නිතර හක්කොළං කළා.
සියලු ජනපදිකයන් බෞද්ධයන් වුණත් පන්සලක් විහාරයක් ළඟ පාතක තිබුණේ නෑ. ඉලුක් මානා සෙවිලි කරල කටුමැටි බිත්තිවලින් වටවී තිබූ ගෙවල් ටිකෙන් ටික පොල්අතු ගෙවල් බවට පත්වුණා. අව්වැසි සුළං වසංගත රෝග වැනි පීඩාවලට මැදිව දුක් කන්දරාවකට මැදිව රාජාංගණ වැසියන් මුලදී කල දවස ගෙවූ නමුත් දැන් නම් දුක් කරදර අඩු දියුණු ප්‍රදේශයක්.  


වර්තමානයේ කෙරෙන හැම වගාවකටම කෘෂි රසායන යොදනවා. මෙසේ යොදනු ලබන කෘෂි රසායන වෙල්පහු වතුරට මුහුවී රාජාංගණය ජලාශයට ගොඩගැහෙනවා. ඒවගේම මෙම කෘෂි රසායන මුහු වූ ජලය කලා ඔය, සියඹලංගමුව ඔය, කලංකුට්ටිය ඇළ ආදියේ ජලයත් සමග රාජාංගණය ජලාශයට එකතු වෙනවා. එසේම කෘෂි රසායන ඉසිනලද ටැංකි සෝදන්නෙත් රාජාංගණය ජලාශයට. මේ නිසාම රාජාංගණය ජලාශයේ ජලය පානයට නොගන්නා ලෙස පසුගියදා අණක් පනවා තිබුණා.”


රාජාංගණ ජලාශය බාහිර උවදුරුවලින් බේරා ගැනීමට ගොවි ජනතාව නිරන්තරයෙන්ම විවිධ උද්ඝෝෂණ පවත්වති. “අපේ ජලාශය රැකදෙන්න. ජලාශයට වස විෂ මුහුකිරීම නවත්වන්න. එසේම වැව්තාවලු වගාව නවත්වන්න.” ගොවියන්ගේ හඬ තුළ ගැබ් වී ඇත්තේ මේ පණිවිඩයන්ය.  

 

කතාව 
එප්පාවල රත්න බී. ඒකනායක   
පින්තූර - තලාව වසන්ත බණ්ඩාර කළුආරච්චි