යුදගණාව දාගැබ කඩොල් ඇතාගේ සොහොනද?


කඩොල් ඇතු ගැමුණු කුමරුට හිමිවූ හා කඩොල් ඇතු මියගිය ස්ථානයේ පිහිටි යුධඟනාව දාගැබ

 

මෙරට පැවැති තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීමේ සටනේදී යුද, ගුවන්, නාවික හා පොලීසියේ වීර දූ පුතුන් ඉටුකළ කාර්යභාරය අතිවිශාලය. එසේම එම සටනේදී මෙරට ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා වළලා ඇති බිම් බෝම්බ සොයා ගනිමින්, ත්‍රස්තවාදීන් රහසේ ප්‍රවාහනය කළ අවිආයුධ හඳුනා ගනිමින්, සූක්ෂවම අසුරාගෙන ගිය මත්ද්‍රව්‍ය සොයා ගනිමින්, සොරුන් හා මිනීමරුවන් අල්ලා ගනිමින් පොලිස් නිල සුනඛයන් ඉටුකළ කාර්යය ද අතිවිශාලය. ඒ අනුව යුද ජයග්‍රහණයත් සමග එයට දායකත්වය දුන් මෙම තිරිසන් සත්වයා ද වීරයෙක් බවට පත්විය. එය එසේම විය යුතුවිය.   


නූතනයේ මෙරට ජාතික ආරක්ෂාවට සුනඛයන් සෘජුවම දායකත්වය ලබාදුන්න ද මෙරට අතීත යුද සටන් පිළිබඳව සොයාබැලීමේදී එම සටන් සඳහා සුනඛයන්ගේ දායකත්වයක් ලැබුණු බවට වංශකතාවෙන් හෝ චිත්‍ර, මූර්ති, කැටයම් මගින් සාධක ලැබී නොමැත.   


අතීත යුද සටන්වලදී රහස්‍ය පණිවුඩ හුවමාරු කරගැනීම පිණිස පක්ෂීන් යොදාගත් බවට ජනප්‍රවාදයේ පවතී. පක්ෂීන් දූතයා කරගනු ලැබූ සන්දේශ කාව්‍යය කිහිපයක් (සැළලිහිණි, ගිරා, කොවුල්, හංස, පරෙවි) එකල රචනා වූයේද මෙම පණිවුඩ හුවමාරුවේ ජනප්‍රවාදිත ආභාසය නිසා විය හැකිය. එසේම අතීත යුද සටන්වලදී අශ්වයන්ට ද විශේෂ තැනක් හිමිවූයේ චතුරංගනී සේනාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටුකළ නිසාවෙනි. ඇත්, අස්, රිය, පාබළ යන චතුරංගනී සේනාවේ ඉදිරි පෙළ හා ශක්තිමත්ම අනුඛණ්ඩය වූයේ ඇත් සේනාවය. මෙරට අතීත යුද කටයුතුවලදී ඇත් අශ් සේනාවන්ගේ දායකත්වය පිළිබඳ වංශකතාවේ සඳහන් වුවද මෙරට නිදහස වෙනුවෙන් සටන් වැදි සත්වයින් අතරින් වංශකතාවේ නාමිකව සඳහන්වන පළමු සත්වයා ලෙස හඳුනාගත හැක්කේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වූ කඩොල් ඇතුය. ලක්දිව වීර සත්ව පරපුරේ ආරම්භකයා ලෙස කඩොල් ඇතු හැඳින්වීම යුක්ති සහගත වන්නේ අදින් වසර 2177කට පෙර පැවැති මෙරට ප්‍රථම නිදහස් සටනේ දී ලක්දිව ඒකීයභාවය වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉටුකළ නිසාවෙනි.   


මෙරට වංශකතා සාහිත්‍යය අනුව කඩොල් ඇතා යනු ගැමුණු කුමාරයා වෙනුවෙන්ම ඉපදුණු මංගල හස්ති රාජයෙකි. මහාවංශයේ එන පරිදි,   


“ඒ බිසව් සුදුසු කල පින්වත් උතුම් පුතෙකු වැදුවාය. රජ කුලෙහි මහත් ආනන්දය ද විය. ඒ කුමරහු පුණ්‍යානුභාවයෙන් එදවස් නා නා රත්නයන්ගෙන් සම්පූර්ණ නැව් සතෙක් ඒ ඒ රටින් අඩුය. එම කුමරහු පින් තෙදින් ඇතෙක් තෙමේ ජද්දන්ත කුලයෙන් ඇත් පැටවෙකු ගෙණවුත් මෙහි තබා පලා ගියේය. තොට විල්තෙර පඳුරු අතුරෙහි සිටියා වූ ඒ ඇත් පැටවා දැක කණ්ඩුල නම් බිලිවැදි රජහට දැන්වීය. එකෙණෙයි රජතෙමේ ඇතුන් බඳනවුන් යවා ඒ ඇත් පැටවා ගෙන්වා පෝෂණය කරවීය. කණ්ඩුල නම් තැනැත්තහු විසින් දුටු හෙයින් ඒ ඇත් කණ්ඩුල නම් වී.” (මහාවංශය. පරි: 22, ගාථාඃ 59-63)   


මහාවංශයේ එන එම විස්තරය අනුව කණ්ඩුල ඇතු හමුවූයේ මාගම් පුරවරයේ සිටියදීය. එම විස්තරයේ සඳහන් ස්ථානය වර්තමාන රැකව කළපුව ලෙස හඳුනාගන්නා අතර ඇත් පැටවා අල්ලා ගැනීමට ගිය ඇත් ගොව්වන් රැකවල්ලා සිටි හෙයින් රැකව වූ බව ජනප්‍රවාදගත මතයයි. එසේම ඇත්පැටවා අල්වා ගැනීමට හැකිවුවහොත් එම ස්ථානයේ විහාරයක් කරවීමට කාවන්තිස්ස රජු භාරයක් වූ බවත් එම නිසා එම ස්ථානයේ කණ්ඩුල චෛත්‍යය ඉදිකළ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. එම චෛත්‍යය වර්තමානයේ ද කණ්ඩුල චෛත්‍යය ලෙස හැඳින්වීම මගින් එම ජනප්‍රවාදයන්ගේ සත්‍යතාව වඩාත් තහවුරු කරයි.   


එළාර රජු සමග යුද වැදීමට අකැමැති වූ කාවන්තිස්ස රජුට ස්ත්‍රී ආභරණ යැවීම නිසා රාජ උදහසට ලක්වූ ගැමුණු කුමරු රජ මාළිගයෙන් නික්මී මාගම් පුරවරයේ රැඳී සිටිමින් එළාර රජුගෙන් රට මුදවා ගැනීමට සේනා රැස් කරන්නට විය. මෙම කාලයේ සහෝදර තිස්ස කුමරු තම පිය රජුගේ ඇවෑමෙන් පසු කණ්ඩුල ඇතුගේ භාරකාරත්වය හිමි වූ අතර තම සොයුරාට බියෙන් තම මෑණියන් හා කඩොල් ඇතු ද රැගෙන දිගා වැවට ගොස් තිබේ.   


ගැමුණු කුමරු කඩොල් ඇතු හා මෑණියන් තම භාරයට ලබාදෙන ලෙස තම සහෝදරයාට හසුන් යැවුව ද යහපත් පිළිතුරක් නොලැබුණු හෙයින් ඔහුට විරුද්ධව යුද්ධයකට එළැඹිණි. වර්තමාන යුධගනාව දැගැබ අසල දී සිදුවූ මෙම සහොදර සංග්‍රාමයෙන් පසු කඩොල් ඇතු ගැමුණු කුමරු යටතට පැමිණෙන ලදී. එහිදී තිස්ස කුමරු පැරදී පලා යද්දී කඩොල් ඇතු ගැමුණු කුමරුට නමස්කාර කිරීමත් සමග ඔහුට මංගල හස්තියාගේ පක්ෂපාතිත්වය හිමිවිය. එය රාජ්‍යත්වයේ සංකේතයක් ලෙස හැඳින් වේ.   


අනුරාධපුර ඉතිහාසයේ සූරතිස්ස රජුගෙන් පසු ද්‍රවිඩ පාලකයන් වෙත මෙරට පාලන බලය හිමිවන අතර ඒ අනුව සේන හා ගුත්තික යන ද්‍රවිඩ පාලකයන් වසර 20ක් ද, අසේල රජු වසර 16ක් ද ඉන්පසු එළාර රජු වසර 40ක් ද වන ලෙස වසර 76ක් මෙරට පාලන බලය ගෙන යන්නට විය. යුද විරෝධී සාමකාමී රාජ ප්‍රතිපත්තියක් අනුගමනය කළ කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු මේ ලක්දිව එක්සේසත් කර බුදුදහම නඟා සිටුවීමේ මෙහෙවර භාරගත් ගැමුණු කුමරුට එළාර රජු පැරද වූ දැවන්ත සටනේ දී කඩොල් ඇතුගෙන් ලැබුණු සහාය මහාවංශයේ දී ඉතා උත්කර්ශවත් ලෙස අගය කර තිබේ. මහාවංශයේ 23වන පරිච්ජේදයේ ආරම්භයේදීම කතුවරයා කඩොල් ඇතු හඳුන්වා ඇත්තේ, 

 
“ඒ කඩොලැත් තෙමේ බල ලක්ෂණ රුවින් හා තේජස් ජව ගුණයෙන්ද අග්‍ර වූයේ මහා කඳ ඇති විය.”

(මහාවංශය. පරිඃ 23, ගාථා: 1,2)   


තවදුරටත් කඩොල් ඇතුගේ වීර ධීර ගුණාංග අගය කරන මහාවංශ කතුවරයා,   


‘‘දකුණු දොර කඩොලැතුය, නන්දමිත්‍රය, සුරනිමලය යන ඒ තුන්දෙනා ඉතිරි චාරිත්‍රයෙහි යුද්ධ කළෝය. ඒ නුවර වනාහි පරිබාත්‍රයක්ද උස්වූ පවුරු තොරණ්ය. ලොහොකම් කළ දොරය (යන මෙයින්) සතුරන් විසින් බිඳ හෙලීය හැක්කේ නොවේ. ඒ ඇත් තෙමේ දෙදණින් හිඳ දෙදළින් ගල්සුණු ගඩොල් බිඳ යදොරට පැමිණියේය. තොරණහුන් දෙමළු අනෙක ප්‍රකාර ආයුධයන් ද කකියා ගිය ලොහො ගුළිද එසේම කකාල මැළියම් ද දැමූය. පිටලූ ලහට දුමන කල කඩොලැත් තෙමේ දුවමින් වේදනාවෙන් මිරිකෙමින් උදක ස්ථානයට ගොස් එහි ගිලිණි.   
ගොඨයිම්බර තෙමේ මේ තට සුරාපාන නොවෙයි යදොර හැරීමය. යව දොර බඳවයි කීය. ඒ උතුම් ඇත් තෙමේ මන් උපදවා කුංචනාද කොට දියෙන් ගොඩ නැගී එඩි ඇතිව ගොඩ සිට ගත්තේය. ඇත් වෙද තෙමේ ලහටු ගලවා බෙහෙත් කළේය. රජ තෙමේ ඒ ඇතු නැගී අතින් කුම්භස්ථලය පිරිමැද දරුව කණ්ඩුලය මුළු ලක්දිව රජය තට දෙන්නෙමිය, ඒ ඇතු තුටු කරවා වර බොජුන් කවා සඑවෙන් වෙලා මනා සන්නාහ ලවා සන්නාහ මතුයෙහි සත් ගුණ කළ මීසම් බඳවා ඊ මත්තෙහි තෙල් සම් එලවා ඒ ඇතු මෙහෙයි. ඒ ඇත්තෙමේ සෙන හඬ මෙන් ගුගුරමින් උපද්‍රවයන් ඉවසමින් ගොස් දෙදදින් ලැහැලි බින්දේය. එලිපත පයින් පහලේය. දොරබා සහිත ඒ යදොර ගුගුරා ගෙණ බිම හෙනි.”   


මෙම යුද්ධය අවසානයේදී එළාර රජු පර්වත ඇතු පිටද ගැමුණු කුමරු කඩොල් ඇතු පිට ද නැගී ද්වන්ධ සටනකට යොමුවන අතර එහිදී එළාර රජුගේ තෝමර පහරින් වැළකෙන ගැමුණු කුමරු කඩොල් ඇතු ලවා පර්වත ඇතුට දෙදදින් ඇණ වට්ටවා එළාර රජුට තෝමර පහරක් දී මරණයට පත්කරන ලදි. මෙසේ දුටුගැමුණු රජු සමඟ ඉතා සමීපව කටයුතු කළ කඩොල් ඇතු තම ස්වාමියාගේ අකල් වියෝවෙන් කම්පාවීම නිසා රෝගාතුර විය. 

 
මේ පිළිබඳව කම්පා වූ සද්ධාතිස්ස රජු ඇත්ගොව්වන්ගේ උපදෙස් පරිදි කඩොල් ඇතුගේ උපන් ප්‍රදේශය වූ මාගම් පුරවරයට එම ඇතුව රැගෙන යන ලදී. මෙසේ රැගෙන යන අතරතුර දැඩි ලෙස රෝගාතුර වූ කඩොල් ඇතු යුධගනාව දාගැබ දෙසට නමස්කාර කරමින් මිය ගොස් ඇත. කඩොල් ඇතුගේ දේහය මීට සමීප පොරමැඬිල්ල නම් ස්ථානයේ මිහිදන් කර ඇති අතර එහි දී වෙන්කරගත් දළ යුගලය කතරගම දේවාලයට පූජා කර ඇති බව මත පළවේ.   


නමුත් ලාංකේය රාජ්‍යයෙන් පවා පිදීමට ලක්වූ කඩොල් ඇතුගේ දළ යුගළ වර්තමානයේ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයක ද යන්න මෙරට ජනයාට පවතින කුකුසකි. ඇතැමුන් සඳහන් කරන්නේ මෙම දළ යුගළ දුටුගැමුණු රජු ඉදිකළ මහාථූප මළුවේ තැන්පත් කර ඇති බවයි. ගැමුණු කුමරු උපන් දිනයේම උප්පත්තිය ලද කඩොල් ඇතුගේ දළ යුගළ තම ස්වාමියා කාලක්‍රියා කළ මහාථූපය අසල නිදන් කර ඇතැයි යන්න පිළිගැනීම සාධාරණ හේතු මත පදනම්වන බව පෙනේ. නමුත් මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් තම “අනුරපුර මහාවිහාරය” ග්‍රන්ථයේ දී සඳහන් කරන්නේ මෙබදු අදහසකි.   


“රුවන්වැලි සෑයේ මෑත දී ප්‍රතිසංස්කරණය කරන ලද ආයක (වාහල්කඩ) දෙපස අර්ධ කවාකාර කුඩා ප්‍රමාණයේ සුදු පැහැති ගල් කැබැලි දෙකක් දක්නට ලැබේ. මේවා කඩොල් ඇතාගේ දළ සේ සමහරුන් විසින් හඳුන්වාදීම දක්නට ලැබේ. සත්‍ය වශයෙන්ම මේවා ආයකය ප්‍රතිසංස්කරණය කිරීමේ දී මට්ටම් (මිනුම්) ගැනීම සඳහා යොදාගන්නා ලද ගල්බව සැලකිය හැකිය. මෙම වර්ගයේ ගල් කැබලි රුවන්වැලි සෑ පංසල ඉදිරිපිට පොකුණ කැණීමේදී හමුවිය.” (40 පිටුව)   


එසේ නම් කඩොල් ඇතුගේ දළ යුගළ තැන්පත් කර ඇත්තේ කුමන ස්ථානයක ද යන පැනයට පිළිතුරු සෙවීමේ දී මීළඟ අවධානය යොමුවන්නේ රුහැණු කතරගම මහා දේවාලය වෙතය. සුමිත් රණසිංහ මහතා විසින් රචිත “කතරගම් පුවත” නම් ග්‍රන්ථයේ දී (2011 ප්‍රථම මුද්‍රණය) කතරගම ඇසළ පෙරහරේ චාරිත්‍ර ගෙනහැර පාන අතර දී පෙරහැර මංගල්‍යයේ 6 වෙනි දින චාරිත්‍ර අතරට කඩොල් ඇතුගේ දළ යුගළ ප්‍රදර්ශනය කිරීම ද දක්වා ඇත. එහි සඳහන් වන්නේ එදින ක්‍රියාත්මක කරන ප්‍රධාන චාරිත්‍ර 5 අතරේ දී කඩොල් ඇතුගේ දළ ප්‍රදර්ශනය ද සිදු කරන බවයි.   


“ගබඩාපිළි හා ගොටුමහන පිළේ නියෝජිතයන්ගේ සහායෙන් දුටුගැමුණු මහරජතුමන්ගේ මංගල හස්තිරාජයා වූ කඩොල් ඇතාගේ ඇත් දළ දෙක ප්‍රධාන දේවාලයේ දොරටුව දෙපස ප්‍රදර්ශනයට තැන්පත් කිරීම ද මෙදින සිදුවේ.” (පිටුව 84)   


කතරගම දේවාලය හා බැඳි ඉතිහාසය පිරික්සීමේ දී අනාවරණය වන්නේ ගැමුණු කුමරු කතරගම දෙවියන් සමග පැවැගි දැඩි සම්බන්ධය හේතුවෙන් කඩොල් ඇතුගේ දළ යුගළ සද්ධාතිස්ස රජු දේවාලයට පූජාකරන්නා ඇති බවය. ඌව වෙල්ලස්ස කැරැල්ල සමයේ දී මෙම දළ යුගළ දේවාලයෙන් ගෙනගොස් ගල් ගුහාවක සඟවා තබා පසුව නැවත ගෙනවිත් ඇති බවට ද මත තිබේ. ඇත් දළය ලෙස හඳුනාගන්නා අලින්ගේ උඩුහනුවෙන් එළියට ඇදෙන කෘන්තක දත් දෙක පිළිබඳව සලකා බැලීමේ දී වර්තමානයේ දැකගත හැකි සාමාන්‍ය ඇතෙකුගේ දළ යුගළට වඩා කතරගම දේවාලයේ තැන්පත් කර ඇති කඩොල් ඇතාගේ යැයි සැලකෙන දළ යුගළ ප්‍රමාණයෙන් විශාල බව පෙනේ.   


එසේම වර්තමානයේ ඒවා මඳක් අවපැහැ ගැන්වී ඇත. ඒ අනුව කතරගම මහා දේවාලයේ ඉතිහාසය, පෙරහර චාරිත්‍ර, ජනප්‍රවාද හා දැනට දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක අනුව අපට අනුමාන කළ හැක්කේ කඩොල් ඇතුගේ දළ යුගළ තැන්පත් කර ඇත්තේ කතරගම දෙවයන් සමීපයේ කතරගම දේවාලය තුළ බවයි. මෙරට එක්සේසත් කිරීමට දුටුගැමුණු රජුට සහාය දෙමින් විජිතපුර බලකොටුවේ දොර අගුළු සිඳලු ඒ විස්මිත ඇත් දළ යුගළ වසරක් පාසා කතරගම පෙරහැර මංගල්‍ය පවත්වන අවස්ථාවේ දී සියලුම ලාංකිකයන්ට දැකබලා ගැනීමේ හැකියාව උදා වේ.   


එළාර රජුගේ වසර 40ක පාලන කාලය ද ඇතුළුව වසර 76ක් පුරා බෙදී තිබූ පුරාණ ලක්දිව එක්සේසත් කිරීමේ පළමු නිදහස් සටනට දායකත්වය දුන් මෙරට පළමු යුද වීර සත්වයා වන කඩොල් ඇතු මිහිදන් කළ ස්ථානය වර්තමානයේ පැලවත්ත සීනි සමාගමට අයත් භූමි ප්‍රදේශයක පිහිටා ඇති අතර එම ස්ථානය පිළිබඳව ජනප්‍රවාදයේ පවතින මතයක් වන්නේ එම භූමියේ අදට ද අලි ඇතුන් ගැවසෙන බව හා කිසිදු ගසක් එම ස්ථානයේ පැළ නොවෙන බවයි. ඇතැම් මනුසතුන් රට ජාතිය ගැන නොසිතද් දී ඇතැම් වනසතුන් තම මාතෘ භූමිය වෙනුවෙන් කැපවීම මනුසතුන්ට ලබාදුන් මනා ආදර්ශයකි.

 

 

කේ. උදේනි අරුණසිරි   
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව   
රත්නපුර