මිනිසුන්ගෙන් පින් ලබාගැනීමට පැමිණෙන දෙවි දේවතාවෝ


ධර්ම ගවේෂී

සසර ගමනේ අනාථ නොවෙමු-2   

 

සංසාරික ජීවිතයෙහි ළඟ පමණක් බලා දුර නොබලා කරනු ලබන කටයුතුවල අනිසි ප්‍රතිඵල වින්දනය කරන විට සෝ සුසුම් හෙළනුයේ සිතා ගැනීමටවත් නොහැකි ආකාරයෙන්ය. මේ නිසා තමන්ගේ ජීවිතය මෙන්ම තම කුටුම්බයෙහි ජීවිතයන් පිළිබඳව වඩාත් ප්‍රඥාවන්තව කළමනාකරණය කළ යුතුය. ඇතැම් විටෙක තමන්ගේ මව වූයේ පියා වූයේ ස්වාමි භාර්යාවන් බවට පත් වූයේ දූ දරුවන් දැසි දස්සන් බවට පත් වූයේ සසර ගමනෙහි බොහෝ කාලයක් නිරයේ මහා දුක් වින්දනය කොට පැමිණි සසර ගත සත්ත්වයෙකු විය හැක. කල්ප ගණනාවක් සා පිපාසයෙන් මහත් පීඩා විඳ ප්‍රේත ලෝකයේ දුකට පත් වූවෙකු විය හැක. තිරිසන් ලෝකයේ නිරන්තර බිය හා තැනි ගැනීමෙන් යුක්තව කුසට අහරක් නොමැතිව අන්‍ය සත්ත්වයින් විසින් පණ ගැහි ගැහී තිබිය දී ආහාරයක් බවට පත් කර ගත් අසරණ සත්ත්වයෙක් විය හැක. අනන්ත නින්දා අපහාසයන්ට ලක් වෙමින් විවිධ තාඩන පීඩනයන්ට ලක් වෙමින් ශරීරය පුරා මාරාන්තික දුක් වේදනා රෝග පීඩාදියෙන් පීඩාවට පත්ව දුක් විඳි මනුෂ්‍යයෙකු විය හැක.   


දිව්‍ය සම්පත් ලැබුව ද නැවතත් තුනුරුවන් ඇසුරෙහි මනුෂ්‍ය ලෝකයේ දී පින්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පැමිණි පින් ගෙවී යන දේවතාවෙකු දේවතාවියක විය හැක. මේ සියලු දෙනාටම තම තමන් ලබා ගත් මිනිසත් බවට සාධාරණයක් ඉටු කොට දීමට අපි සියලු දෙනාම වගකීමෙන් යුතුව බැඳී සිටිමු.   


මේ බව අවබෝධ කර ගත් පින්වත් නුවණැතියෝ පමණක් තමන්ගේත් අන්‍යයන්ගේත් ජීවිතය හැම අතින්ම සාර්ථක කර ගැනීම සඳහා මෛත්‍රී පූර්වාංගම අවවාදානුශාසනාවෝ ලබා දෙති. ඔවුහු යහපත් ධර්ම මාර්ගයක සංවර කිරීමේ අවශ්‍යතාව ද දනිති.   


මේ ජීවිතයේ ආචාර්ය මහාචාර්ය පදවි ලබා සම්භාවනාවට ලක් වන ගෞරව නම්බු නාම කොතරම් ලැබුවත් අනතුරුව ලබන ආත්ම භාවය නිරයේ හෝ ප්‍රේත ලෝකයේ හෝ තිරිසන් යෝනියේ හෝ නින්දා සහගත පහත් යැයි සම්මත මනුෂ්‍ය උපතක් නම් මේ ආත්මයේ ලබා ගත් නම්බුනාම සම්භාවනාවන්ගෙන් සසර ගමනට කිනම් අර්ථයක් සපයා ඇත්තේ දැයි ඔබ සිතන්නේ ද? බුද්ධ කාලයේ අසූ කෝටියක නිධන් ගත ධනයට හිමිකම් කියූ ​තෝදෙය්‍ය බ්‍රාහ්මණතුමාට සුනඛව උත්පත්තිය ලබන්නට සිදු වීමට සමාන නොවන්නේද? තෝදෙය්‍ය බ්‍රාහ්මණයා යනු රජ්ජුරුවන්ගේ ප්‍රධාන ආර්ථික උපදේශකවරයාය. තමන්ගේ රාජ්‍යයේ රාජ්‍ය ආර්ථික උපදේශකවරයාගේ ඊළඟ උත්පත්තිය සුනඛ ආත්මභාවයක් නම්, එම ආත්මභාවයෙහිදීත් තෝදෙය්‍ය උත්පත්තියෙහි සේම භාග්‍යවතුන් වහන්සේට පරිබව කිරීමට ගොස් අවීචිමහා නරකාදියේ අද වන විටත් පැසෙමින් දුක් විඳීමට සිදුවීම කොතරම් අභාග්‍ය සම්පන්න වේද?   


ධර්මය නොදන්නා නිසා රාජ්‍යයේ ආර්ථික උපදේශකයෙකු වශයෙන් කටයුතු කොට නිරයගාමී වූ අන්ධ බාල පෘථග්ජනයෙකු ලෙස ඔහු හැඳින්විය හැක. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිත කාලයෙහිදීම ජීවිත දෙකකදීම සම්මුඛ වීමට ලැබීම මොන තරම් භාග්‍යයක් වන්නේ ද?   


නමුත් එසේ සම්මුඛ වූ තථාගතයන් වහන්සේට මිනිසත්ව සිටිය දී දොස් කීමටත්, සුනඛව බිරීමටත්, නිරයගාමී වීමටත් මොන තරම් අවාසනාවක් වී දැයි සලකා බැලීම ද වටී. වර්තමානයේ ද මෙවැනි යම් යම් ලෞකික තත්ත්වයෙන් උසස් යැයි සම්මත උගතුන් තුනුරුවන් විෂයෙහි සාවද්‍ය අයුරින් ක්‍රියා කොට දෙලොවම විනාශ කර ගන්නේ නොවේද?   
මේ නිසා අනන්ත දුක් විඳි සසරෙහි පූර්ව පුණ්‍ය බල මහිමයේ ආනිසංස වශයෙන් දුර්ලභව ලබා ගත් මිනිසත් බවෙන්, පංචකාමයන් කෙරෙහි පමණක් අවධානය යොමු නොකොට ආර්ය්‍ මහෝත්තමයින් වහන්සේලා නෙක්ඛම්මයෙන් දැකිය යුතු ශ්‍රී සද්ධර්මය පුරුදු පුහුණු කර මේ ජීවිතය අතිශය සාර්ථක ජීවිතයක් බවට පත් කර ගැනීමට නිරන්තරයෙන් වීර්යවත් විය යුතුය. ඔබගේ මිනිසත් බවට මෙන්ම ඔබ සමග වාසය කරන සියල්ලන්ගේම ආත්මභාවයන් සාංසාරිකව සුඛිත මුදිත කිරීමට උත්සාහවත් විය යුතුය. එසේ ශ්‍රද්ධාවන්තවත් ප්‍රඥාවන්තවත් කටයුතු කිරීමෙන් දුර්ලභ මිනිසත් බව වඩාත් සාර්ථක කර ගනිමින් මෙලොවත් පරලොවත් සාංසාරික ජීවිතයත් ජය ගෙන බුද්ධාදී මහෝත්තමයින් වහන්සේලා අවබෝධ කොට දේශනා කළ නිර්වාණ සම්පත් ළඟා කර ගැනීමට මහත් ශක්තියක් ආශිර්වාදයක් ඔබට ලැබෙනු නොඅනුමානය.   


ගුණ සම්පත්තියෙන් හා රූප සම්පත්තියෙන් ලොවට සැනසුම දුන් බුදුරජාණෝ ....


බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන මේ රත්නයන් තුන ලෝකයේ ඇති අත්‍යුත්තම රතනයන් තුන වේ. එය තමන්ගේ ලෞකික ලෝකෝත්තර විමුක්තිය ලෙස පිළිගන්නා තැනැත්තා බෞද්ධ නම් වේ. මේ බෞද්ධයාම නිරන්තරයෙන් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ඇසුරු කරමින් ඒ වෙතම එළැඹෙන නිසා උපාසක උපාසිකා යන ගෞරව නාමයෙන් ද හඳුන්වති.


නිතර ඇසුරු කිරීම නම් ලෞකික සුවයත් ලෝකෝත්තර විමුක්තියත් අපේක්ෂාවෙන් පූර්ව භාග ප්‍රතිපදාමය වශයෙන් සීල, සමාධි, ප්‍රඥා යන ගුණධර්මයන් හා සංසාරික විමුක්තිය බලාපොරොත්තුවෙන් විමුක්ති විමුක්ති ඥාන දර්ශනය වර්ධනය කිරීමෙහි ලා ප්‍රතිපදාමය වශයෙන් ඇසුරු කිරීම වේ. යැදීම පිණිස හෝ ප්‍රාර්ථනාවන් ඉටුකර ගැනීමේ පුහුදුන් අපේක්ෂාවෙන් උසස් මානසිකත්වයකින් යුතු බෞද්ධයා තුනුරුවන් ඇසුරු නොකරයි. හුදෙක් ජාති ජරා ව්‍යාධි මරණාදී සාංසාරික දුක් රැසින් මිදෙන උදාර සිතුවිල්ලෙන් යුක්තව තුනුරුවන් ඇසුරු කරයි.


බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම ලෝකයෙහි පරම දුර්ලභ වන්නේය. එයට හේතුව බුදුබව ප්‍රාර්ථනා කරන මහා වීර්ය පුරුෂයන්ගේ දුර්ලභ බවත් එම ප්‍රතිපදාවෙහි අවසානයට පැමිණෙන්නන් ඉතා සුළු සංඛ්‍යාවක් වීමත්ය. මහා වීර්ය ඇත්තෙකුට මහා පුණ්‍යවන්තයෙකුට මිස අන්‍ය පුද්ගලයන්ට එම මාර්ගය වැඩීම අතිශය දුෂ්කර කාර්යක් වන බැවිනි. එමෙන්ම එවැනි උදාර සිතුවිල්ලක් පහසුවෙන් අන්‍ය සත්ත්වයන්ට ඇති නොවීමත්ය.


බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීම කොතරම් දුර්ලභ වන්නේද? එපමණකටම ධර්ම රත්නයේ පහළ වීමද දුර්ලභ වන්නේය. ඒ බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීමෙන්ම පමණක් ශ්‍රී සද්ධර්මය ලෝකයට දේශනා කරණු ලබන බැවිනි. බුදුරජාණන් වහන්සේලාගේ ලොව පහළ වීමත් ධර්ම රත්නයේ පහළ වීමත් යම් කාලයක සිදු වන්නේද එකල්හිම පමණක් රහත් මහ රහත් උතුමන් වහන්සේලාගේ පහළ වීම සිදු වේ. බුද්ධ ශූන්‍ය කාලයක ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක, මහා ශ්‍රාවක රහත් මහරහත් තෙරුන් තෙරණීන් වහන්සේලා සහ සක්විති රජවරු වැනි ගිහි පැවිදි මහෝත්තමයින් වහන්සේලා ලෝකයේ දර්ශනය නොවෙති . බුද්ධෝත්පාද සහ අබුද්ධෝත්පාද කාලයක විනා බුද්ධ ශූන්‍ය කාලයක මේ මහා පුණ්‍යවන්තයෝ පහළ නොවන බැවිනි.


තථාගත සම්බුද්ධ දේශනාවෙහි බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම කොතරම් ශ්‍රේෂ්ඨ වන්නේදැයි මෙසේ දේශනා කර තිබේ.


එනම් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මනුෂ්‍ය ලෝකයෙහි උත්පත්තිය ලැබීම බොහෝ සත්ත්වයන්ගේ සුවය පිණිස පවතින බවත් ලෝකයට අනුකම්පා පිණිස පවතින බවත් දෙවි මිනිසුන්ට අර්ථය පිණිස පවතින බවත් අංගුත්තර නිකායේ ඒක පුද්ගල වර්ගයෙහි දේශනා කර තිබේ. ලෝකයේ විවිධ පුද්ගලයන් වාසය කරති. ඇතැමෙක් ලෞකික ජීවිතයෙහි ජයග්‍රාහකයෝව සිටිති. ඇතැමෙක් ආධ්‍යාත්මික ජීවිතයෙහි ජයග්‍රාහකයෝව සිටිති. මේ දෙපිරිසම සූර වීර පුද්ගලයන් ලෙස හැඳින්වීම වරදක් නැත. නමුත් තථාගතයන් වහන්සේලා ආත්මාර්ථය ද පරාර්ථය ද ජයගෙන ලෝක සත්ත්වයන්ට විමුක්ති මාර්ගය දර්ශනය කිරීමෙහි ලා වඩාත් දක්ෂ වෙති. මේ නිසා ලෝක සත්ත්වයා අතර උන්වහන්සේලා එකම මහා උත්තමයන් වහන්සේලා ලෙස සැලකෙති. එසේ එකම පුද්ගලයා ලෙස භාග්‍යවතුන් වහන්සේලා පිළිබඳව සලකනු ලබන්නේ උන්වහන්සේලා කෙරෙහි දක්නට ලැබෙන විශේෂතා දෙකක් නිසා බව අංගුත්තර නිකාය අටුවාවෙහි විස්තර කර තිබේ. එනම් අසමාන බැවින් හා ගුණ විශේෂය හේතුවෙනි.


සාමාන්‍ය පුද්ගලයන් හා අසමාන බැවින් ද ගුණ සමුදායෙන් අසමාන බැවින් ද බුදුවරු ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් ලෙස සලකන නමුත් තථාගතයන් වහන්සේලා තවත් එවැනිම තථාගතයන් වහන්සේලා හා සමාන වන්නේය. ලෝකයේ මහා වීර්යවන්තයෝම පමණක් දස පාරමිතා දී උසස් ගුණාංගයෝ සම්පූර්ණ කරති. පංචකාමය තුළ ඇලී ගැලී සිටින පෘථග්ජන සත්ත්වයාට නෙක්ඛම්මයෙන් දැකිය යුතු ඒ ආර්ය සත්‍ය ගෝචර නොවෙති. එම ආර්ය සත්‍ය තුළ සංවර විය යුතු යැයි ඔවුහු කල්පනා නොකරති. මේ නිසා සසර පුරාවටම එම සත්ත්වයෝ ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් අතිශය පීඩාවට පත්ව දුක් විඳිති. නමුත් කාමයන්ගෙන් කොතරම් වෙළාගෙන ඇත්ද? යන්න ඔවූහු නොදනිති. මාරයාගේ බැඳීම එතරම් සූක්ෂම වේ. ඉන් මිදී යෑම වීර්ය ඇත්තෙකුට විනා කුසීතයෙකුට කළ හැක්කක් නොවන්නේ එබැවිනි. දස පාරමිතා දස උපපාරමිතා දස පරමාර්ථ පාරමිතා යන විශිෂ්ට ගුණාංගයන් පිරීමෙන්ම අන්‍ය දෙවි මිනිසුන්ගෙන් මහා බෝධිසත්ත්වයෝ විශිෂ්ට ස්ථානයක වැඩ වෙසෙන්නේ මේ මාර පාශය සිඳ බිඳ දැමීමට සමත් වූ බැවිනි.
තවද රූප සම්පත්තියෙන්ද, ගුණ සම්පත්තියෙන්ද සියලු‍ තථාගතයන් වහන්සේලා අසමාන වෙති. රූප සම්පත්තියෙන් බෝධිසත්ත්වයන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලා අසමාන වන එක් අවස්ථාවක් මෙසේ දැක්විය හැක. භාග්‍යවතුන් වහන්සේ අනෝමා ගං තීරයෙහි උතුම් වූ පැවිදි භූමියට පත්ව අනෝමා නදිය සමීපයේ පිහිටි අනුප්‍රිය නම් අඹ වනයෙහි පුරා දින සතක කාල පරාසයක් නෙක්ඛම්ම සුවය විඳිමින් විවේකීව වාසය කරන්නට විය. අනතුරුව අටවන දින පිඬු පිණිස රජගහ නුවරට වැඩම කළ මහා බෝධිසත්ත්වයන් වහන්සේ සුදුසු පමණින් ඉදිරිය බලමින් සංවර ගමනින් වැඩම කරණු දුටු මහා ජනතාව බෝධි සත්ත්වයන් වහන්සේ දෙවියෙක් ද, මාරයෙක් ද යක්ෂයෙක්ද, නාගයෙක්ද නැතිනම් ආශ්චර්යවත් මනුෂ්‍යයෙක්ද කියා වටහාගත නොහැකිව කටයුතු කරන තත්ත්වයකට පත් වූහ. මේ නිසා බිම්බිසාර රජුට රාජපුරුෂයන් යවා පරීක්ෂාකර බලන්නට පවා සිදුවිය.


රන්වන් රශ්මි ධාරා විහිදෙන අසහාය සපරිපූර්ණ දේහයකට හිමිකම් කියන බෝධිසත්ත්වයන් වහන්සේ දැක නගරයම ඇලළී ගියේය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හා අනු ව්‍යංජනයන්ගෙන් ද අනෙකුත් සර්ව මංගල දේහ ලක්ෂණයන්ගෙන් සපරිපූර්ණ රූප සම්පත්තියෙන් යුක්ත වීම මෙයට හේතුවයි. පෙර කිසිදා දැක නොතිබුණු දෑස් අදහාගත නොහැකි රූප සෞන්දර්යකින් යුතු වීමත් තාපස පැවිද්දෙහි ඇවතුම් පැවතුම් ආදියෙන් සුසංවර බැවිනුත් රූපාලංකාරයෙන් හා ගුණ සම්පත්තියෙන් උන්වහන්සේ අන්‍ය පැවිදි ශ්‍රමණයන් අතික්‍රමණය කර සිටියහ.


ගිහිව සිටින කාලයෙහි පවා සීලාදී ගුණධර්ම පිරීම කෙරෙහි මහත් වීර් යෙන් හා අවබෝධයෙන් කටයුතු කළ සිද්ධාර්ථ කුමාරයාගේ පැවිදි සීලය ආශ්චර්යමත් හා මහත් ආනුභාව සම්පන්න වූ ආකාරය ගැන බෝධිසත්ත්ව චරිතය අධ්‍යනය කිරීමෙන් වඩාත් අවබෝධකරගත හැක. සිද්ධාර්ථ බෝධිසත්ත්ව අවදියෙහි උන්වහන්සේ ආරක්ෂා කරන ලද සීලය කිසිම දිනයක භේදනය වී නොමැත.


ලෝකයට බිහි වූ දිනයෙහි පටන් අභිනිෂ්ක්‍රමණය කොට වයස අවුරුදු තිස්පහේදී ලොව්තුරු බුද්ධත්වය සාක්ෂාත් කිරීම දක්වාත් එකම ශික්ෂාණ පදයකුත් නොකඩා සීලාදී ගුණධර්ම රැකීම කොතරම් අපහසු කර්තව්‍යක් ද යන්න මනා පරිචයක් ඇත්තෙකුට දෛනිකව සිල් නොපුරන ජීවිතයක් හා සැසඳීමෙන් දැනගත හැකිය. බෝධිසත්ත්වයන් වහන්සේ ඡන්න ඇමතියාත් කන්ථක අසුත් සමග ගිහිගෙන් නික්මෙන අවස්ථාවේ නගර ද්වාර ඉහළ ආකාසයෙහි සිට අභිනිෂ්ක්‍රමණය වැළක්වීමට උත්සාහවත් වූ මාර දිව්‍ය පුත්‍රයා අවසානයේ එම කටයුත්ත නවතාගනු නොහැකිව කරන ලද ප්‍රකාශයෙන් මේ බව දත හැක. සිද්ධාර්ථ යම් අවස්ථාවක ගිහිගෙන් නික්මුණු ඔබගේ සිතට එකම කාම විතර්කයක් හෝ වෙනත් අකුසල විතර්කයක් ඇතිවුවහොත් මම ඔබ අත් නොහරිමි යන තර්ජනය කිරීමෙන්ම පැහැදිලිවනු ඇත. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව පසු අවස්ථාවක නැවත බුදුරජාණන් වහන්සේ සම්මුඛව එවැනි එකම කාම විතර්කයක් හෝ වෙනත් අකුසල විතර්කයක් තමන් බෝධිසත්ත්වයන් වහන්සේගෙන් නොදුටු බවත් මාර දිව්‍ය පුත්‍රයා විසින් සඳහන් කිරීමෙන්ම උන්වහන්සේගේ සීල තේජස පිළිබඳව සම්පූර්ණ අවබෝධයක් ඇතිකර ගැනීමට ප්‍රමාණවත් වනු ඇත.


උන්වහන්සේගේ ගුණස්කන්ධය තබා ශරීර ප්‍රමාණයවත් ප්‍රමාණාත්මකව සලකන්නට සමත් පුද්ගලයෙකු දෙවි බඹුන් අතරවත් නොමැත. බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය අවතක්සේරුවට පත්කොට උන්වහන්සේ දකින්නට පැමිණි රාහු අසුරයාට අවසානයේ දී සිදුවූ දෙයින් එය මනාව වටහාගත හැක. එනම් සියලු‍ දෙවි බඹුන් බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණියත් රාහු අසුරයා තමන්ගේ දේහයේ විශාලත්වය පිළිබඳව මාන්නයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ දකින්නට නොආවේය. ඔහුගේ දිව්‍ය ශරීරයේ උස යොදුන් හාරදහස් අටසියයක් හෙවත් සැතපුම් හැත්තෑ හයදහස් අටසියයක් පමණ වන වන නිසා අඩි හයක් පමණ උස බුදුරජාණන් වහන්සේ දකින්නටවත් නොලැබෙන බව කියමින් පුරසාරම් දොඩමින් බුදුරජාණන් වහන්සේ දකින්නට යාම මගහරිමින් සිටියේය. නමුත් දිනක් දෙවියන්ගේ දෝශාරෝපනයෙන් මිදීමේ අදහසින් බුදුරජාණන් වහන්සේ දකින්නට පැමිණියේය. ඒ වනවිට බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ කොසම්බ කුටිය සමීපයේ සක්මන් කරමින් වැඩහිඳ මදක් විවේක ගැනීම පිණිස තමන් වහන්සේගේ සඟල සිවුර සතර පට කොට නවා මදක් සැතපී වදාළ සේක. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙස සිට හිස දෙසටත් හිස දෙස සිට සිරිපතුල් දෙසටත් තමන් වහන්සේගේ සුළඟිල්ලේ නියපොත්තෙහි පළලින් අඩක් පමණවන ප්‍රමාණයට උස යමෙකු ඒ මේ අත දිවයනු දුටු බුදුරජාණන් වහන්සේ රාහු අසුර දෙව් රජ ඔබ ඒ මේ අත දිවයමින් කුමක් කරන්නේ දැයි විමසූහ. එවිට අපහසුවට පත් රාහු අසුර දෙව් රජ තමන් බුදුරජාණන් වහන්සේගේ මුව කමල යන්තමින්වත් දැකගැනීමට උත්සාහ කරමින් ඒ මේ අත දිවයන බව පැවසීය. එවිට බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයේ පරිවිතක්කයක් තබාගෙන තමන් වහන්සේ දැකිය නොහැකි බවත් තමන් වහන්සේගේ රූප සම්පත්තිය දැකීමට පළමුවෙන්ම තමන් ගැන ඇතිකරගත් මාන්නය දුරුකරගත යුතු බවත් වදාළහ. මේ කරුණෙන් එතෙක් මාන්නධිකව සිටි අසුර දෙව් රජ දමනය විය.


දහසක් ලෝක ධාතු ආලෝකමත් කළ හැකි ශරීර ප්‍රභාවක් ඇති මහා බ්‍රහ්මයාගේ රූප සම්පත්තිය දකින්නට දෙවියන් පවා අශාවෙන් සිටිති. ඒ ශරීර අලංකාරය බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය අභියස කදෝපැණියෙකුගේ ආලෝකය තරම්වත් නොවන්නේය. අනන්ත සක්වළ සියලු‍ සත්ත්වයෝ උන්වහන්සේගේ ශරීර ස්වභාවය දැක මහත් ප්‍රීති සොම්නසට පත්වූහ. දිව්‍ය මනුෂ්‍යද සම්පත් ළඟාකර ගත්හ. නිවන් සුවයෙන් සැනසුනහ. මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා සෝතාපන්න ඵලයට පත් වුයේත් වක්කලී තෙරුන් ධර්මය අවබෝධ කළේත් උන්වහන්සේගේ රූප සම්පත්තිය නිසාය.


වේසාලික උග්ග සූත්‍ර දේශනාවේ සඳහන් ආකාරයට උග්ග ගෘහපතිතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව ප්‍රථමයෙන්ම ප්‍රසාදයට පත්වන්නේ උන්වහන්සේගේ රූප සම්පත්තිය නිසා බව සඳහන් කර ඇත. මෙසේ බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය නිමිති කොටගෙන උපදින්නා වූ ශ්‍රද්ධාව නව අරහාදී බුදුගුණයන්ගෙන් සුගත බුදු ගුණයට අයත් වන අතර යමෙකුට බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය අරමුණු කරගෙන උපදින ශ්‍රද්ධාව ඒකාන්ත වශයෙන්ම සුගතිගාමීත්වය පිණිස හේතුවන බව ධර්මයෙහි සඳහන් වේ.
එමනිසා ප්‍රඥාවන්ත බෞද්ධයන් වශයෙන් දුර්ලභව ලැබුනා වූ මනුෂ්‍ය ජීවිතයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණයන් පිළිබඳව පවත්නා දැනුම වඩාත් වර්ධනය කරගෙන සසර සුවපත් කර ගැනීමට උත්සාහවත් විය යුතුය.


ඒ සඳහා ඔබට අනන්ත තෙරුවන් බෙලෙන් සියලු‍ ශක්තිය උදා වේවායි මෙත් සිතින් ආශිර්වාද කරන්නෙමු.


තෙරුවන් සරණයි !