මත්පැන් ගඳ වහනයෙන් බීමත් බව තීරණය කිරීම විද්‍යාත්මකව නිවැරදිද?


‘හහ්’  
‘අද නම් හොඳටම බීලා’  
‘ළඟින් යන්න බෑ අරක්කු ගඳයි’  


එදිනෙද‌ා ජීවිතයේදී යම්කිසි පුද්ගලයකුගේ ප්‍රාශ්වාස වාතයෙන් වහනය වෙන මත්පැන් සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් එම තැනැත්තා මත්පැන් පානය කර ඇතැයි තීරණය කිරීමට අප බොහෝ දෙනා පුරුදුව ඇත. දැනට මේ පිළිබඳව සමාජයේ පොදුවේ මුල් බැස ඇති මතය නම් එලෙස ප්‍රාශ්වාස වාතය ආඝ්‍රාණය කිරීමෙන් මත්පැන් පානය කිරීම පිළිබඳව නිගමනයකට එළඹීම නිවැරදි බවයි. මෙම සාම්ප්‍රද‌ායික සමාජයීය විශ්වාසය ඉන් ඔබ්බට ගොස් ලාංකික නීති පොතට ද ඇතුළත්ව තිබේ. එහෙත් සැබැවින්ම පුද්ගලයකුගේ ප්‍රාශ්වාස වාතයෙන් පැමිණෙන මත්පැන් සුවඳ ඔහු හෝ ඇය මත්පැන් පානය කර ඇති බව මොනවට පෙන්වන නිවැරදි දර්ශකයක්ද?  


උත්තරය ‘නැත’ යන්නයි.  


මත්පැන්වල ප්‍රධාන සංඝටක දෙකකි. ඉන් පළමුවැන්න එතිල් මධ්‍යසාරයයි. එතිල් මධ්‍යසාරය යනු ගඟක් සුවඳක් නොමැති අවර්ණ රසායනික ද්‍රව්‍යයකි. රසායනාගාර තුළ පවතින සියට සීයක් සාන්ද්‍ර එතිල් මධ්‍යසාරය මීට හොඳම උද‌ාහරණයයි. එහි අපද්‍රව්‍ය කිසිවක් නොමැති බැවින් එය අවර්ණය. ගඳක් සුවඳක් නොමැතිය.  
මත්පැන්වල ඇති අනෙක් සංඝටකය නම් එහි ඇති අපද්‍රව්‍ය කොටසයි. එය ‘Congeners' හෙවත් 'Fusel' මධ්‍යසාරය ලෙස හැඳින්වේ. මේවා මත්පැන් නිෂ්පාදනයේදී ස්වභාවිකවම නිපදවන විවිධ රසායනික ද්‍රව්‍ය වේ. ගඳක් සුවඳක් වර්ණයක් නොමැති එතිල් මධ්‍යසාරයට ගඳක් සුවඳක් සහ වර්ණයක් ලබා දෙනුයේ මෙම අපද්‍රව්‍ය සංඝටකය මඟිනි.  


අපද්‍රව්‍ය සංඝටකය රසායන ද්‍රව්‍ය කීපයක එකතුවකි. ඇසිටේට්, ඇසිටැල්හයිඩ්, එස්ටර, ටැනින් ඒ අතර ප්‍රධාන ​වේ. සත්‍ය වශයෙන්ම කිවහොත් මත්පැන්වලට ගඳක් සුවඳක් හෝ වර්ණයක් ලබා දෙන්නේ ඉහත කී රසායනික සංයෝග මඟිනි. එබැවින් යම්කිසි පුද්ගලයෙකු මත්පැන් පානය කිරීමෙන් පසුව ඔහුගේ ප්‍රාශ්වාස වාතයෙන් හමන ලාක්ෂණික සුවඳ ඇති කරන්නේ මෙම අපද්‍රව්‍ය සංඝටකය මඟිනි.  
සමහර මත්පැන්වල මෙම අපද්‍රව්‍ය සංඝටකය අඩංගු වන්නේ නොගිනිය හැකි මට්ටමින් හෙවත් ඉතාමත්ම අවම මට්ටමකිනි. එබැවින් එවැනි මත්ද්‍රව්‍ය පානය කිරීමෙන් පසු ප්‍රාශ්වාස වාතයේ මධ්‍යසාර ගඳක් ඇතිවන්නේ නැත.   


අපද්‍රව්‍ය සංඝටක ලෙස ඉහත සඳහන් කළ සියලුම රසායනික ද්‍රව්‍ය මත්පැන් පානය කිරීමෙන් හැරෙන්නට වෙනත් ක්‍රමවලින්ද මිනිස් සිරුර තුළට ඇතුළු විය හැකිය. ටැනින් සහ එසටර බහුල වශයෙන් විවිධ එළවළු පලතුරු ආදියේ අඩංගු වේ.  


මීට අමතරව ඇසිටේට් සහ ඇසිටැල්හයිඩ් යන රසායනික සංයෝග විවිධ රෝග සුව කිරීමට ගන්නා බටහිර ඖෂධවල සහ පෙරදිග ඖෂධීය ශාකවල අඩංගු වේ. එබැවින් යම් කිසි රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා රෝගියෙකුට මෙම ද්‍රව්‍ය ඉහත සඳහන් කළ ඖෂධ මාර්ගයෙන් ස්වභාවිකවම ශරීරයට ඇතුළු විය හැකිය. එම අවස්ථාවේදීද මෙම රසායනික ද්‍රව්‍ය එම තැනැත්තාගේ ප්‍රාශ්වාස වාතයේ මත්පැන් සුවඳ ඇති කිරීමට හැකිය.  
මීට අමතරව මෙම රසායනික ද්‍රව්‍ය බොහොමයක් ශරීරය තුළ සිදුවන ස්වභාවික පරිවෘත්තිය ක්‍රියාවලද නිපදවනු ලබයි. එවන් අවස්ථාවලදීද මෙවැනි ද්‍රව්‍ය අද‌ාළ තැනැත්තාගේ ප්‍රාශ්වාස වාතයේ මත්පැන් සුවඳ ඇති කිරීමට හැකිය.  


අනෙක් අතට මත්පැන් පානය කළ පුද්ගලයකුගේ ශරීරය තුළ ඇති සම්පූර්ණ එතිල් මධ්‍යසාර ප්‍රමාණය ශරීරයෙන් පහ වූ පසුවද අපද්‍රව්‍ය සංඝටක ශරීරයේ රැඳී තිබෙන්නට පිළිවන. එවන් අවස්ථාවකදී සත්‍ය වශයෙන්ම ඔහු හෝ ඇය බීමත්ව සිටින්නේ යැයි කිවහොත් එය නිවැරදි නොවේ. එහෙත් එවන් අවස්ථාවක වුවද අපද්‍රව්‍ය සංඝටක ශරීරයේ රැඳී තිබීමෙන් සහ ඉන් නිකුත්වන ලාක්ෂණික සුවඳින් ඔහු කෙරෙන් මත්පැන් සුවඳක් වහනය වන්නේ යයි වෙනත් පුද්ගලයෙකු හෝ බීමත්කම පිළිබඳව පරීක්ෂා කරන වෛද්‍යවරයෙකු වරදවා වටහා ගත හැක. එවැනි වැරදි නිගමනයකින් සිදුවිය හැක අනිසි ඵලවිපාක බොහොමය.  
මෙම තත්ත්වය වඩාත්ම බලපාන්නේ තත්කාලයේ පවත්නා සමහර නීති රීති ක්‍රියාත්මක කිරී​මේදීය. 1979 අංක (000) දරණ බීමත්වීමෙන් අනතුරුව සිදුකරන වැරදි පිළිබඳව පනත මීට හොඳම උද‌ාහරණයයි. එම පනතට අනුව වරදකාරයකු වීමට නම් ඔහු හෝ ඇය මත්පැන් පානය කිරීමෙන් පසු බීමත්ව සිටිය යුතුය. එම පුද්ගලයාගේ ප්‍රාශ්වාස වාතයෙන් මත්පැන් සුවඳ වහනය වෙන්නේ නම් ඔහු හෝ ඇය මත්පැන් බී වෙරි වී සිටියා යයි මෙම පනත අනුව සැලකේ. ඒ අනුව එම පනතේ සඳහන් නිශ්චිත වරදක් සිදු කිරීමෙන් පසුව ප්‍රාශ්වාස වාතයෙන් මත්පැන් සුවඳ වහනය වීම මෙම පනත යටතේ දඬුවම් ලැබීමට ප්‍රමාණවත්ය.  
මෙම පනත යටතේ නිශ්චිත වරදක් කිරීමෙන් පසුව අද‌ාළ පුද්ගලයාගේ ප්‍රාශ්වාස වාතයෙන් නිකුත්වන මත්පැන් සුවඳ සත්‍ය වශයෙන්ම මත්පැන් ශරීරගත වීම නිසා නොව පෙර සඳහන් කළ පරිදි විවිධ ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම, වෛද්‍ය නිර්දේශය මත නීත්‍යානුකූල ඖෂධ භාවිතා කිරීම හෝ ශරීරය තුළ අද‌ාළ රසායනික සංයෝග ස්වභාවිකව නිපදවීම නිසා විය හැකිය. මෙවන් අවස්ථාවකදී අද‌ාළ චූදිත පුද්ගලයා බීමත්ව සිටියි යැයි සලකා මෙම පනත යටතේ දඬුවම් විද්‍යාත්මක පදනමකින් බැලූ කල කිසිසේත්ම නිවැරැදි වන්නේ නැත. 

 
අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව මත්පැන් පානය කර ඇතැයි සැක කෙරෙන පුද්ගලයෙකු රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ පරීක්ෂාව සඳහා යොමු කිරීමට යම්කිසි පොලිස් ස්ථානාධිපතිවරයෙකුට බලය තිබේ. එසේ යොමු කිරීම සිදුකරනු ලබන්නේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමය සමඟිනි. ඒ අනුව අද‌ාළ බීමත් යැයි සැකකරන තැනැත්තා පරීක්ෂා කරන වෛද්‍යවරයා එම අධිකරණ වෛද්‍ය පෝරමය නිසි ලෙස පුරවා පොලිස් ස්ථානාධිපතිවරයාට යැවිය යුතුය. මෙම අධිකරණ වෛද්‍ය පරීක්ෂණ පෝරමයේ පිරවිය යුතු එක් අංගයක් වන්නේ අද‌ාළ තැනැත්තාගේ ප්‍රාශ්වාස වාතයෙන් මත්පැන් සුවඳ වහනය වූවා යැයි සඳහන් කරන වෛද්‍යවරයා සිදුකරන්නේ අගතියක්ම මිස වෙන යමක් නොවේ. එය සාධාරණ යුක්තිය පසිඳලීමට කිසිසේත් ඉවහල් නොවේ. ඉහත සඳහන් කළ විද්‍යාත්මක සොයා ගැනීම් සහ සංසිද්ධිවලින් මෙය තවදුරටත් මොනවට පැහැදිලි වෙයි.