මත්කුඩු අල්ලන්න ගිය පොලිස් නිලධාරියාත් මතට හුරුවෙලා


මඟ වැරදුණු ජීවිතය යළි යහ මගට

 

 

වැටලීම්වලට ගිහින් තමන්ම අත්අඩංගුවට ගත් අයත් සමග පුනරුත්ථාපනය වෙන්න කිසියම් පොලිස් නිලධාරියෙකුට සිදුවුණොත්? ඒ අත්දැකීම කෙබඳු විය හැකිද? එවැනි අත්දැකීමක් දුෂ්‍යන්ත සතුව තිබෙනවා.   


අපිට දුෂ්‍යන්ත මුණගැසුණේ කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේදීයි. ඔහු එහි ඇවිත් තිබුණේ මාස තුනකට කලින්. ඔහු නීතිය හා සාමය රකින්නට කැපවුණ නිලධාරියෙක් ලෙස කටයුතු කළ තරුණයෙක්. ඔහුට කන්දකාඩුවට එන්න සිදුවුණේ ඇයි? කවුද එ්කට මුල් වුණේ? දුෂ්‍යන්ත තමයි ඒ කතාවේ අඳුරු අහුමුලු සියල්ල දන්නේ. ඒ නිසා අපි ඔහුගෙන්ම ඒ කතාව අහලා බලමු. 


“මගේ පවුලේ හිටියේ අය්යයි මායි විතරයි. තාත්තයි අම්මයි දෙන්නම රජයේ රස්සා කළා. මම ඉස්කෝලේ ගමන සාමාන්‍ය පෙළ ලිව්වට පස්සේ නැවැත්තුවා. ඒ වෙනකොට අය්යා ජපන් ගිහින් හිටියේ. ගෙදර හිටියේ මම විතරයි. මටත් කම්මැලි හිතුනා ගෙදර ඉන්න. රස්සාවක් කරන්න ඕනෑ කියලා හිතුණා. ඉතිං උසස් පෙළ ඉගෙන ගන්න එක පැත්තකින් තියලා මම පොලිසියට යන්න ඇප්ලිකේෂන් දැම්මා. අම්මා ඒ ගැන දැනගත්තේ මට ඉන්ටවීව් යන්න ලියුම ලැබුණාමයි. 


ඇත්තටම පොලිසියට යන්න මම තීරණය කරන්නේ මගේ තිබුණ තවත් පුරුද්දක් පවත්වාගෙන යන්න මුදල් ඕනෑ වුණ නිසයි. ඒ ගංජා භාවිතයයි. ඒත් පොලිසියට ඇවිත් පුහුණුවීම්වලට මාස කීපයක් ඉන්න කොට අර පුරුද්ද මගෙන් ඈත් වුණා. ඊට පස්සේ දුම්වැටියක් භාවිතා කළා නම් හෝ මත්පැන් කිසිවක් භාවිතා කළා නම් මිසක් මම වෙනත් මත්ද්‍රව්‍යයක් භාවිතා කළේ නැහැ. 


එ්ත් රස්සාව විසින්ම මාව වෙනත් තැනකට අරන් ගියා. ඒක හරිම දෛවෝපගත සිදුවීමක් වගෙයි මට දැනුණේ. මට පොලිසියේදී වෙන් කෙරුණේ දූෂණ විමර්ශන අංශයයි. ඒ නිසා අපිට මත්ද්‍රව්‍ය භාවිතා කරන අය, මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර බෙදාහරින අය අත්අඩංගුවට ගැනීමත් පැවරී තිබුණා. ඒ අනුව පළමු වැටලීම් සිදුකරන්නට තිබුණේ ගංජා ගෙන්වන කෙනෙක් අත්අඩංගුවට ගන්න. මාව තමයි අපේ අංශයෙන් උපායදූතයා විදිහට යෙදෙව්වේ. මම මේ ජාවාරම කරගෙන යන පුද්ගලයාගේ ළඟින්ම ආශ්‍රය කරන කෙනෙක් අල්ල ගත්තා. මිනිහගේ විශ්වාසය දිනාගන්න මම එයත් එක්ක ගමේ කසිප්පු තිප්පොලට ගිහින් බිව්වා. එයා යන එන තැන්වල ගියා. ඊට පස්සේ ඔහොම ගිහින් මම කියනවා එක වෙලාවකදී අපිට ගංජා ඕනෑ කියලා. මම මිනිහා එක්ක ගංජා බොනවා. ඔහොම ගිහින් විශ්වාසය දිනාගත්තාට පස්සේ තමයි ගංජා ලොකු ප්‍රමාණයක් ගෙන්වාගෙන ඔහුව අත්අඩංගුවට ගන්නේ. 


ඔය විදිහට අපිට කුඩුකාරයොත් අත්අඩංගුවට ගන්න සිදුවෙනවා. මම උපායදූතයෙක් ලෙස යොදවා කළ වැටලීම් සාර්ථක වුණා. ඉතිං ඒකේ රහස වුණේම මම කුඩුකාරයින්ව හොඳින්ම වටහාගෙනම මෙම වැටලීම්වලට සම්බන්ධ වූ නිසා තමයි වඩාත් සාර්ථකව අදාළ පුද්ගලයා සමග ජාවාරමේ නිරතවූවන් ද අත්අඩංගුවට ගන්න හැකි වුණේ. මෙහෙම බොන එක ඇත්තටම කළයුතුම දෙයක් නෙවෙයි. ඒකට වෙනත් උපක්‍රම භාවිතා කරන්න තිබුණා. එහෙත් මට පරණ ඇබ්බැහියන් මතක් වෙලා වැටලීම වෙනත් ආකාරයකට සිදුකළා. ඒකයි මෙතන සිදුවුණේ. කොහොම වුණත් අවසානයේ මම කුඩුකාරයෙක් බවට පත්වුණා. කුඩු භාවිතය වෙනුවෙන්මත් මම ස්වයංව ඉදිරිපත් වෙලා වැටලීම් කළා. ඒ හැම කෙනාගෙන්ම කප්පමක් ගන්නත් මම වැටලීම් කළා. අවසානයේදී මම අන්තිම නරක ලෙසම ඇබ්බැහි වුණ කුඩුකාරයෙක් බවට පත්වුණා. වැටලීම් නොවූ අවස්ථාවල මම පඩියෙන් වියදම් කරලා කුඩු ගැහුවා. පොලිසියේ කිසිම කෙනෙක් මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අවුරුදු තුනකට විතර පස්සේ මාව මාරු කරනවා වෙනත් පොලිසියකට. එහෙදී මාව වෙන් කෙරෙන්නේ අපරාධ අංශයට. ඒ නිසා වැටලීම්වලට සම්බන්ධ වෙනවා අඩුයි. මම කුඩු ජාවාරම්කරුවන් අඳුනගෙන ඔවුන් බය කරලා කුඩුගත්තා. අතේ තියෙන මුදල් ටික වියදම් කර කර කුඩු ගැහුවා. අන්තිමේදී ගෙදර තියෙන දේවලුත් අරන් උගස් තියලා අරක මේක කරලා සල්ලි හොයාගෙන කුඩු ගැහුවා. 


අන්තිමේදී අවුරුදු පහක් රස්සාව කරලා මම එළියට බැහැලා ආවා. ඇත්තටම එළියට බැහැලා ආවා නෙවෙයි මට රස්සාව නැතිව ගියා. ඊට පස්සේ ගෙදර ඇවිත් ගාමන්ට් එකකට ගියා. එතනදී තමයි මට මගේ ආදරණීය බිරිඳ ශ්‍රියා මුණගැහෙන්නේ. අපේ සම්බන්ධය හොඳට පැවතුණා. ගෙවල්වලින් බාධා නොවන්න අපි තවම පෙම්වතුන් වෙන්නත් තිබුණා. අපේ ගෙදරින් නෙවෙයි මේ බාධාව ඇති වුණේ ශ්‍රියාගේ පැත්තෙන්. ශ්‍රියාගේ අය්යලා මා ගැන හොයලා තිබුණා. ඒ හොයනකොට දැනගෙන තියෙනවා මම රස්සාව නැතිකරගත් විදිහ. මේක නවත්වන්න කියලා අය්යලා මට තර්ජනය කළා. එයා මගෙන් කලින් කළ රස්සාව ගැන ඇහුවා. මිනිස්සු කියන කතා ඇත්ත ද කියලත් ඇහුවා. 

 

අපිට කුඩුකාරයොත් අත්අඩංගුවට ගන්න සිදුවෙනවා. මම උපායදූතයෙක් ලෙස යොදවා කළ වැටලීම් සාර්ථක වුණා. ඉතිං ඒකේ රහස වුණේම මම කුඩුකාරයින්ව හොඳින්ම වටහාගෙනම මෙම වැටලීම්වලට සම්බන්ධ වූ නිසා තමයි වඩාත් සාර්ථකව අදාළ පුද්ගලයා සමග ජාවාරමේ නිරතවූවන් ද අත්අඩංගුවට ගන්න හැකි වුණේ. මෙහෙම බොන එක ඇත්තටම කළයුතුම දෙයක් නෙවෙයි. ඒකට වෙනත් උපක්‍රම භාවිතා කරන්න තිබුණා. එහෙත් මට පරණ ඇබ්බැහියන් මතක් වෙලා වැටලීම වෙනත් ආකාරයකට සිදුකළා. ඒකයි මෙතන සිදුවුණේ. කොහොම වුණත් අවසානයේ මම කුඩුකාරයෙක් බවට පත්වුණා. කුඩු භාවිතය වෙනුවෙන්මත් මම ස්වයංව ඉදිරිපත් වෙලා වැටලීම් කළා. ඒ හැම කෙනාගෙන්ම කප්පමක් ගන්නත් මම වැටලීම් කළා. අවසානයේදී මම අන්තිම නරක ලෙසම කුඩුවලට ඇබ්බැහි වුණ කුඩුකාරයෙක් බවට පත්වෙලා අවසන්. වැටලීම් නොවූ අවස්ථාවල මම පඩියෙන් වියදම් කරලා කුඩු ගැහුවා.


මම බොරු කියන්න ගියේ නැහැ. මොකද ඒ වෙනකොට මම තීරණය කර අවසන් නිසා ඇත්තම කිව්වා. ඇත්ත කියලා එයා මාව දාලා යයි ද කියන බයත් තිබුණා. ඒත් මට හොඳ විශ්වාසයක් තිබුණා ඇත්ත දැනගත්තාම එයා මට තවත් ආදරය කළා. අපි එයාලගේ ගෙදරට හොරෙන් කසාද බැන්දා. ඊට පස්සේ අපේ ගෙදර පදිංචි වුණා. බඳිනකොට මම ශ්‍රියාට පොරොන්දු වුණා ආ​ෙය කුඩුගහන්නේ නැහැ කියලා. එයා බැඳපු අලුත මම ඒක අකුරටම රැක්කා. ඒත් මාසයක් විතර යද්දී මම ඒක කැඩුවා. ඊට පස්සේ මගේ පඩියත් මදි වුණා කුඩු ගහන්න. මාසෙට හයදාහක විතර බිව්වා. සල්ලි මදිවෙනකොට මම වෙන අයව සම්බන්ධ කරගෙන ඒ අයට කුඩු අරන් දීලා කොමිස් එකෙන් බිව්වා. 


ඔය විදිහට කරගෙන යද්දී ශ්‍රියාට වැඩේ අහුවුණා. එයාට බොරු කරන්න මට බැරි වුණා. ශ්‍රියා අම්මලාට මේ ගැන කියලා තිබුණා. තරහකට නෙවෙයි, මාව හදාගන්න ඕනෑ නිසා. අම්මාගේ හිතවතෙක් හිටියා ඩොක්ටර් කෙනෙක්. අම්මා මගෙන් ඇහුවා මේක නවත්වන්න කැමති නම් ඩොක්ටර්ට කියලා උපදෙසක් ගන්න ද කියලා. මම මුලින්ම කැමති වුණේ නැහැ. ඒ වැඩේ අත්අරින්න වෙන නිසා නම් නෙවෙයි, උපදෙස් ගැන විශ්වාසයක් නොතිබුණ නිසයි. ඒත් පස්සේ මම කැමති වුණා. ඊට පස්සේ අර ඩොක්ටර් අපේ කිට්ටුවම තිබෙන ජාතික රෝහලේ වෛද්‍යවරයෙකුගේ නම කියා එයාට කතාකරන්න කියලා ලියුමක් දුන්නා. 


ඒ ඩොක්ටර් බේත් දුන්නා. ඒක මට ඇල්ලුවේ නැහැ. බේත් බිව්වාම කලන්තෙ වගේ. ඇඟට පණ නැහැ. නින්ද යන්නේ නැහැ. අන්තිමට මම අම්මට කියලා බෙහෙත් නැවැත්තුවා. ඊට පස්සේ දවස් කීපයක් හිතට අරන් කුඩු ගහන්නේ නැතිව හිටියා. ඒත් පස්සේ ආයෙම පුරුදු රස්සාව කරන්නා වගේ කුඩු භාවිතා කළා. ඊට පස්සේ ගෙවුණ පෝයටත් මම ශ්‍රියා එක්ක පන්සල් ගියා. ගිහින් ඇවිත් නිදාගත්තා. උදේ එළිවෙනකොට පොලිසිය ඇවිත් මගේ දෑත්වලට මාංචු දානකොට තමයි ඇහැරුණේ. ඒ ආපු ගමන තමයි අද මෙතන නැවතිලා තියෙන්නේ. 


ඇත්තටම මේක අපේ පවුලේ හැමෝගෙම වැඩක්. කවදාවත් නැතිව මගේ බිරිඳ එදා රස්සාවට ගියේ නැතුව නැවතිලා. ඒ නිසා මම හිතනවා මේක එයත් දැනුවත්ව කරපු දෙයක් කියලා. ඒ ගැන මගේ තරහක් නැහැ, ආදරයක් මිසක්. මොකද මම දන්නවා එයා මේ වැඩේ කළේ මට තියෙන ආදරයට කියලා. එ්ත් මුලින්ම නම් මට තරහක් ආවේ නෑ කිව්වොත් වැරදියි. ටික දවසක් ගියාම සේරම හරි ගියා. 

 

රැඳැවියන් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයක්


මෙතන ගොඩක් හොඳා තැනක් පුනරුත්ථාපනය වෙන්න කැමති කෙනෙකුට. මොකද මෙතනදී අපේ ඔළුව සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ගුරුවරු සමත් වෙනවා. මෙහේ එන්න කලින් තිබුණේ ගොඩක් දුර්මත. මෙම ස්ථානය හමුදාවෙන් පාලනය කරන්නේ, ඒ නිසා පොඩ්ඩ වැරදුණ ගමන් පහර දෙනවා වගේ දේවල් තමයි අපි අහලා තිබුණේ. ඒත් ඒක එහෙම නෙවෙයි. මෙතන ගොඩක් හොඳයි. නීති තියෙනවා. එහෙම නැතුවත් අපි වගේ අයත් එක්ක වැඩ කරන්න අමාරුයිනේ. ඒ නැතත් ඕනැම තැනක් පාලනය කරන්න නීතියක් එපායෑ. එහෙම නැතිව මෙතන දඬුවම් නැහැ. අපිට පිටතින් කිසිම දෙයක් ගේන්න නොලැබීම තමයි මෙතන තියෙන හොඳම වැඩේ. අනෙක් හැම පුනරුත්ථාපන සෙන්ටර් එකකම පිටතින් දෙමාපියන්ට බලන්න එන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ කන්න බොන්න ගෙන්න ගන්න පුළුවන්. ඉතිං ඒවත් එක්ක කෙනෙකුට කුඩුත් ගෙන්න ගන්න පුළුවන්.

මෙතන අම්මලාට මාස තුනකට පස්සේ බලන්න එන්න පුළුවන්. ඒත් කෑමක් බීමක් අරන් දෙනවානම් ඒක මෙහේ කැන්ටිමෙන් තමයි අරන් දෙන්න වෙන්නේ. ඒ තරමටම එයාලා අපිව ආරක්ෂා කරනවා. මෙතනදී තමයි මම මගේ හැංගුණ දක්ෂතා හඳුනාගත්තේ. මම කවදාවත් කවියක් ලියලා නැහැ, පෙම් හසුනක් ලියන්නවත් දන්නේ නැහැ. ඉතිං මම ඉන්න ගමන් පොත පත කියෙව්වා. ලියන්න ගත්තා. කවියක් දෙකක් මගෙන් ලියවුණා. අනෙක් අය ඇහුවා, ඒවා අගය කළා. ඒ නිසා මම තව තවත් කවි ලිව්වා. දැන් මගේ පොත් දෙකක් පිරෙන්න මේ මාස තුනට කවි ලියලා ඇති. අපිට හැමදාම සැඳෑහමු තියෙනවා. ඒ අවස්ථාවල අපේ දක්ෂතා පෙන්වන්න පුළුවන්. ඉතිං මමත් එතනදි ලියාගත් කවි කියවනවා. 
මම පොලිසියේ ඉන්න කාලේ වැටලීම් ගණනාවක් කරලා තියෙනවා. එහෙම කරපු වැටලීම්වලදී අත්අඩංගුවට ගත්ත, සමහරවිට උපායක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරද්දි එකට හිටපු ඇතැම් අය අද මේ කන්දකාඩුවේදිත් හමුවෙනවා. මටම ලජ්ජා හිතුණා මං ගැන. ආපහු නම් මේ වගේ දෙයක් කරන්න හිතන්නෙවත් නැහැ.” 


(මෙහි එන නම් ගම් මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සලකන්න) 


විශේෂ ස්තුතිය - පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් ජානක රත්නායක හා නියෝජ්‍ය පුනරුත්ථාපන කොමසාරිස් බ්‍රිගේඩියර් දර්ශණ ලියනගේ, අධ්‍යක්ෂ පුනරුත්ථාපන හා පශ්චාත් පුනරුත්ථාපන කර්නල් එම්. අසාද් ඉසඩීන් කන්දකාඩුව හා සේනපුර මධ්‍යස්ථාන දෙකෙහි අධ්‍යක්ෂකවරුන් වන කර්නල් චමින්ද පැස්කුවල් හා ලුතිනන් කර්නල් විරාජ් විමලසේන මහත්වරුන්ට. 

 

 


සටහන හා ඡායාරූප -
මුදිතා දයානන්ද