බස්රථයේදී ගසාකන ‘කොළඹ මිතුරියෝ’


කොළොම්පුරේ ජීවිතේ

 

 

කොළඹ පිටකොටුවේ ලංගම මධ්‍යම බස්නැවතුම්පොළ ලංකාවේ ප්‍රධානම බස් පොළයි. දිවයිනේ සතර දිග්බාගයෙන් දහස් ගණන් මගීන් රැගෙන අගනුවරට එන ලංගම බස් ගිමන් නිවන ප්‍රධානම තැන වන්නේ ද මෙයයි.   


මෙම බස් පොළ එක්තරා ආකාරයකින් අරුම පුදුම තැනකි. මේ තුළ ඇති ආසනයක ටික වේලාවක් ඉඳගෙන සිටියහොත් විවිධාකාර දර්ශන, විවිධාකාර පුද්ගලයන් ගේ විවිධාකාර ක්‍රියාවන් දැක බලාගත හැකිය.   


එක්තරා කාලයක කිසිදු නඩත්තුවකින් තොරව ‘‘බල්ලාට ගොසින්’’ තිබූ මේ බස් පොළ ඉන්පසු කාලයකදී සුද්ද බුද්ද කර මුර සේවා ක්‍රියාත්මක කර මගීන්ට අවම පහසුකම් හෝ ලබාදෙමින් වර්තමානයේදී විධිමත් පාලනයක් යටතේ පිරිසිදුව පවත්වාගෙන යාම පැසසිය යුතුය.   
පිටකොටුව බස්පොළ ‘‘නොනිදන ස්ථානයකි’’ ඒ පැය 24 පුරාම ජනතාව ගැවසෙන නිසාය. නමුත් උදේ - සවස - රාත්‍රි කොයිවේලාවේත් ආසන මත නිදිකරන එකෙක් දෙන්නෙක් සිටිති. රටේ කෙළවරක සිට රෑ තිස්සේ බසයෙන් පැමිණ එළිවෙන ජාමයේ පිටකොටුවෙන් බසින ඇතැමෙකු උදේ වරුවේ ආසන මත නිදිකිරති.   
නින්ද කොපමණ සැරද යත් එවන් අයෙකු හැඳ සිටින සරම බොහෝ විට ආසනය පල්ලේය. ඒ පිළිබඳව වගේ වගක් නැති ඔවුහු කටවල් බාගෙට ඇරගෙන එකකට එකක් පරයමින් දෙකන්වලට වදින ඝෝෂාකාරි ශබ්දයක් ගණනකට නොගෙන සිත් සේ නිදිසුව විඳිති.   
දහවල් හා සවස් භාගයේදී මෙසේ නිදියන්නේ ‘පදමට වැදුණු’’ පිරිස්ය. මගීන්ද මේ අතර නැතුවා නොවේ. මෙසේ නිදන පුද්ගලයන්ට ළංවන තවත් පිරිසක්ද වෙති. මොවුහු ‘ශර්ලොක් හොලම්ස්’’ ට නොදෙවනි සේ බස් පොළේ නිදන අය දෙස අඩ පැයක් හෝ ඊට වැඩි වේලාවක් සූක්ෂම නිරීක්ෂණයක යෙදේ. පුද්ගලයාගේ නින්දේ තරම වටහාගත් පසුව ඔහු වෙත ළංවන්නේ සුහද සිනාවක් මුවට ආරූඪ කරගෙනය.   


‘‘අයියේ උඹ තාමත් බුදිද, මොකද බං වෙලා තියෙන්නෙ. ඔය සරමත් කැඩිලා. ලැජ්ජ නැද්ද බං තවත් මිනිස්සු ගෑනු මෙතන ඉන්නවනේ’’ ව්‍යාජ මිතුරා නිදියන පුද්ගලයාට මහ හඬින් අමතන්නේ වටපිට සිටින අයට හොඳින් ඇසෙන සේ වටපිටද බලමිනි. අනතුරැව එහෙට මෙහෙට වී ඇති ඇඳුම් සකසයි. පැත්තට ඇද වි බිමට පාත් වි තිබෙන බෙල්ල කෙළින් කරයි. ඒ නින්ද නොකැඩෙන පරිදිය. නිදා සිටින්නා අවදිවුවහොත් ඔක්කොම ඉවරය.   
බලන්නකෝ මහත්තය මේ අපි දෙන්න ගලෙන් බිඳුණු වැවෙන් බස් එකට නැංගෙ ඊයෙ රෑ 7 ට. මෙසේ ළඟ සිටින අයටත් මහා පච වට්ටෝරුවක් දිග හරියි. මේ සියලු දේ කරන්නේ අසල තිබෙන කුටියේ රාජකාරි කරන ලංගම නිලධාරින්ට හෝ පිවිසුම් දොරටුවල රාජකාරියේ නියුතු ආරක්ෂක නිලධාරින්ගේ ඇස නොගැටෙන පරිදිය.   
‘‘බලපං මට උදේට කන්න අතේ කීයක්වත් නෑ. සල්ලි ඔක්කොම උඹ ළඟනේ’’ නිදා සිටින්නාට මේ කිසිවක් ඇසෙන්නේ නැත. යන්තමට හෝ ඇසුනත් ඔහු සිතන්නේ ඒ හීනයක කොටසක් බවයි. මෙසේ කියන ගමන්ම නිදියන්නාගේ උඩ සාක්කුවට අත දමන මිතුරා එහි මුදල් තිබේනම් සියල්ල ඩැහැගනී.   
එසේම ඇඳුම් සකසන විටදි මුදල් පසුම්බිය තිබෙන්නේ කොතැනදැයි දැන ගැනීමේ පුදුමකාර ඉවක් මොවුන් සතුය. කමිසයේ උඩ සාක්කුවේ මුදල් නොතිබුණ හොත් කිරි පල්ල අතගා හෝ මුදල් සොයාගෙන මිස මොවුහු පසු නොබසිති.   


නිදා සිටින මෙවැනි පුද්ගලයන් නිරතුරුව බස් පොළේ සිටින බැවින් ඔවුන් පැමිණියේ කා සමගින්ද, කොපමණ වේලාවක් සිට එහි සිටින්නේද යන්න නිලධාරීන්ට හෝ ආරක්ෂකයන්ට නිච්චියක් නොමැත්තේ ඔවුන්ටද දහසකුත් එකක් වැඩ රාජකාරි ඇති හෙයිනි. එහෙත් හොරා කවුද, අහිංසකයා කවුදැයි යන්න හඳුනා ගැනිමේ මනා හැකයාවක් මෙහි සේවයේ නියුතු ලංගම නිලධාරින් සතුව ඇත්තේ මෙතැන වසර ගණනාවක් සේවය කර ලද පළපුරුද්දෙන්මය.   
ඒ කවුරු සිටියත් සියල්ලන්ගේම ඇස්වලට වැලිගසා තම කාර්යය සපුරා ගැනීමට මෙම කපටි සුත්තර කාරයෝ හරිම සූරයෝය. අසල රැඳී සිටින සමහරු වැඩි වේලාවක් එහි ගත කරන්නෝ නොවෙති. තම තමන් බලාපොරොත්තුව හිඳින බස්රථය පැමිණි වහාම ඔවුහු ඉවත්ව යති. තරුණ තරුණියන් පමණක් නොව මැදිවියේ අයද තම තමන්ගේ ජංගම දුරකතන සමග දැහැන්ගතවී සිටීම මේ හොර මිතුරන්ට වාසි සහගතය. ඔවුන් ‘‘ගේමට’ බහින්නේ මේ සියලු දේ පිළිබඳව ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමෙන් පසුවය.  
ගේම අවසන් වන්නේ ඇතැම්විට නිදිසුව විඳින පුද්ගලයාගේ ගමන් බෑගයද සමග හොර මිතුරාද එතැනින් අතුරුදන්වූ පසුවය. ඇහැරී බලනවිට ඉතිරිව ඇත්තේ ඇඳිවත පමණය. දැක දැක හුන් සිහිනයේ අවසන් ජවනිකාව ලෙසට දවල් තරු පෙනෙන්නේ එවිටය. නිද‌ා නොගත්තත් වැඩි වේලාවක් එකම තැන ඉඳගෙන හෝ හිටගෙන සිටින කාන්තාවන් වෙත සමීපවන කාන්තාවන් පිරිසක්ද මෙහි වෙති. ඇතැම්විට ඇඳුමෙන් පැලඳුමෙන් පමණක් නොව හැසිරීමෙන්ද මොවුන් පෙන්නුම් කරනුයේ තමන්ද දුර ගමනක් යාමට සිටින එකියක් ලෙසටය.   


දෙඅත්, දෙකන් රත්තරනින් පොරවාගෙන ඇඟට කිටි කිටියේ හිර ජින්ස් කලිසමකින් හා ඊටම ඔබින බ්ලවුසයකින් සැරසී අතට හිරවූ විශාල ප්‍රමාණයේ මුදල් පසුම්බිය හා දෙපාමුල රැඳි තඩි ගමන් බෑගයද මේ සියල්ල තහවුරු කරයි. පසුම්බියේ පිරී පිම්බි ඇත්තේ කඩද‌ාසි කොළ මිටියකිනි. ගමන් බෑගයේ   පරණ ඇඳුම්ය. මොවුන් බස්පොළේ කාන්තාවන් වෙත ළංවන්නේ එක්කෝ දුර යන බස් රථයක් නවත්වන ස්ථානය අසමිනි. නැතහොත් කන් දෙක ළඟටම පළල් වන කට පුරා සිනාසෙමිනි.   
මෙම රැවටීම ක්‍රම දෙකකින් ක්‍රියාත්මක වේ. තමන් වසඟයට ගනු ලබන කාන්තාව සමග හොඳහැටි කුලුපඟවී හදිසි අවශ්‍යතාවකට වැසිකිළියට යාමට බෑගය ‘මිතුරිය’ වෙත තබා යාමෙන් පසු එයද රැගෙන ක්ෂණයකින් අතුරුදන්වීමයි. දෙවැන්න තමන්ද ඇය යන ගමනාන්තයට යන බව පවසා ගමනේදී දැනෙන පාළුව, කාන්සිය මඟහරවා ගැනීමට මිතුරියක් හඳුනාගැනීමට ලැබීම වාසනාවක් බව පවසමින් 64 මායම්වලින් දෙක තුනක් අත්හදා බලා, එකම බසයේ එකම ආසනයේ ගමනට මුලපිරීමය.   
මොවුන් බොහෝවිට මිතුරු ගමන සඳහා තෝරාගන්නේ බස්රථයේ පිටුපසම ආසනයේ පුවරුව පිටුපස වීදුරුවෙන් ආවරණය කර තිබෙන කොටු වූ ආසන දෙක හෝ පිටුපසට වන්නට තිබෙන ආසනයි. මේවා වැඩේට පහසුය. පොදු වාහන ගමනකදී ගෑනුන්ගේ ‘චරෝ බරෝව’’ ට කෙළවරක් නැති නිසා මොවුන්ගේ කතාබහ බසයේ යන අනෙක් මගීහු එතරම් ගණන් නොගනිති.   


එසේම දුර ගමන් බස් රථයක යන එන බොහෝ දෙනෙකුට ගමන් මල්ල රාක්කයේ අසුරා හෝ උකුල මත තබාගත් සැනින් නින්දයති. එසේ වූ විට තවත් පහසුය. අගනුවර සීමා මායිම් පසුකරමින් බසය ඉදිරියට ඇදෙනවිට දෙමිතුරියන් ලෙන්ගතුවී හමාරය. මෙවන් කටයුත්තකදී මොවුන් වාඩිවීමට තෝරාගන්නේ බස් රථයේ මැද හරියේ නම් ආසන දෙකේ පේළියය. ආසන තුනක් සහිත තැනක ඉඳගතහොත් තව කෙනෙකු එතැනට පැමිණේ. එවිට වැඩේ ‘‘අවුල්’’ වේ.   
කොළඹින් ඕනෑම මාර්ගයක් හරහා දුර පළාත්වලට යන බස්රථ තේ බීමට, දිවා, රාත්‍රී ආහාර ගැනීමට නවත්වන ප්‍රදේශ පිළිබඳව ඉතා නිවැරැදි අවබෝධයක් මේ ‘මිතුරියන් සතුය. කොළඹ - අනුරාධපුර පාරේ නම් ඔමාරගොල්ලේ හෝ තලකිරියාගම ප්‍රදේශයේ බස්රථ එසේ නතර කෙරේ.   
ගාලු පාරේ නම්, අම්බලන්ගොඩ නගරයට මදක් ඔබ්බෙන් හෝ කහව හා හික්කඩුව අතරය. ඇඹිලිපිටිය, මොනරාගල, අම්පාර, බලංගොඩ නම් පරකඩුවේ හෝටලයකය. බදුල්ල බලා යන එන බස් රථයක් නම් බලංගොඩ, ඉඹුල්පෙ ප්‍රදේශයේය.   


හැටන් මාර්ගයේ නම් කරවනැල්ල හෝ අඟුරුවැල්ලේ දීය. තේ බිමට අතරමග නතර නොකරන බස් රථද තිබේ. මේවා ගැනද මොවුන් හොඳින් දන්නා අතර කොළඹ - බලන්ගොඩ ලංගම බස්රථ ඉන්තේරුවෙන්ම පරකඩුවේ තේ බොන බවද මොවුහු අත්දැකීමෙන්ම දනිති. මෙම ‘‘හෝටල’’වල හැටි හා මිල ගණන් පිළිබඳව යන්තමින් හෝ අවබෝධයක් ඇති මගීන් මෙහිදි බස් රථයෙන් බසිනුයේ වැසිකිළි කැසිකිළි යාමට පමණක් නමුත්, සමහරු නම් හොඳහැටි කාබී අනෙකුත් උවමනාවන්ද සපුරා ගනිති. මගීන් නොකෑවත් රියදුරන්ට හා කොන්දොස්තරවරුන්ගේ අවශ්‍යතාව මත බස්රථ මෙම හෝටල් අසල නතර කෙරෙන්නේ එහිදී ඔවුන්ට සියලු දෑ නොමිලයේ සැපයෙන බැවිනි.   
කෙසේ හෝ මෙම ආපන ශාලාවන්හි පවතින අපිරිසිදුතාව, ගිනි ගණන් මිල මේ ආදී දේ ගැන ‘‘කොළඹ මිතුරිය’’ තම අාගන්තුක හිතවතියට පහද‌ාදීම අරඹන්නේ හෝටලයට කිලෝමීටර 30, 40 ක් දුර තියාය. එසේම ඒ වන විට සිය අලුත් මිතුරිය ආවේ කොහි සිටද? යන්නේ කොතනටද? ඒ කුමකටද? යන්න පමණක් නොව නෑ පරපුරේ සියලු තොරතුරුද කොළඹ ‘‘හොර’’ මිතුරිය ඉතා උපායශීලීව ඇගෙන් දැනගෙන හමාරය.   
තම උපක්‍රම ක්‍රියාත්මක කිරීමට මොවුන් කාන්තාවන් තෝරාගැනීමේ ක්‍රමවේදයක්ද තිබේ. සාමාන්‍යයෙන් වයස 17, 18, 19 ආදී හිරිමල් තරුණියන්ට දැළ එළන්නේ නැත. මැදි වයසේ තනිවම ගමන්බිමන් යන සම්ප්‍රදායික සාරි ඔසරි හැඳ ගෙඩිමාළ, පරම්පරාගත රන් ආභරණ පැලඳ සිටින කාන්තාවන් වැඩි වශයෙන් ඉලක්ක කරගන්නේ එවැන්නියන් ඕපාදූප කතා බහට වඩාත් ලැදි බවක් දක්වන හෙයිනි. ගමනේ අඩක් දුර ගෙවන විට තම පවුලේ අයෙකුටත් වඩා අලුත් මිතුරිය ගැන විශ්වාස කරන තැනට උක්ත කාන්තාව පත්වී හමාරය.   
බස් රථය තේ පානයට නතරකරනවාත් සමගම, අනේ මම නම් දුර ගමනක් යනකොට අතරමග කඩවල ජරාව කන්නේ නෑ. ඕව කන්නත් හොඳ නෑ. දවස් ගණන් පරණ කෑම. මම ගෙදරින්ම හදාගෙන එනව. තම සුපිරි ගමන් බෑගයට අත දමන ඇය. මනාලෙස සකසා කුඩා ප්ලාස්ටික් පෙට්ටියක අසුරා තිබෙන රෝල්ස්, කට්ලට්, පැටිස් හෝ සැන්විච් මිතුරිය වෙත දිගුකරයි.   


ඊට පෙර තම මිතුරිය ‘වෙජිටේරියන්දැයි’ ඇයගෙන්ම දැන ගැනීමද අමුත්තිය විසින් සූක්ෂම ලෙස දැන ගනියි. එවැන්නියක් නම් කන්න මේව වෙජිටේරියන් යැයි ලෙන්ගතුව පවසා ඇසුරුම දිගු කළ විට නොකා බැරි තත්ත්වයට පත්වේ. මිතුරිය ‘‘තෑන්ක්ස්’’ කියමින් ඉන් එකක් අතට ගත් පසුව ඇයද එකක් ගෙන රස බලයි.   
දෙවනුව ඇය අතට පවත්වන උණුසුම් බෝතලයෙන් නෙස්ටෝ මෝල්ට් හෝ වෙනත් රස පානයක් උණු උණුවේ කෝප්පයක්ම ලැබේ. හඳුනාගෙන පැය කීපයකින් මේතරමට සලකන මේ ලෙන්ගතු යුවතියට හිතෙන් දහස්වාරයක් පින්දෙමින් ආසනයෙන් නැගිට වැසිකිළියටද ගොස් පැමිණෙන කාන්තාව යළිත් අසුනේ හරි බැරි ගැසෙන්නේ ගමනේ ඉතිරි අඩ නිමකිරීමටය. හිතත් කුසත් නිසි ලෙස පිරී ඇති නිසා ඇය පසුවන්නේ මහත් තෘප්තියෙනි.   
තමන් අනුභව කළ චයිනීස් රෝල හෝ පැටිසය එසේත් නැතිනම් කට්ලටය ක්‍රියාත්මකවීමට පටන් ගන්නේ බසය හෝටලයෙන් ගමන ආරම්භකර කිලෝ මීටර 5 ක් 6 ක් ගිය තැනදීය. කාන්තාවට ඉතා සැහැල්ලුවට නින්දයයි. එය ඔබ අපට මෙන් කුකුල් නින්දක් නොව පැයක් දෙකක් පවතින ගැඹුරු නින්දකි.   


මගීන් සිතන්නේ ගමන් මහන්සියට මෙසේ නින්දට වැටී සිටින බවයි. එසේම ගමන පටන්ගත් මොහොතේ පටන් පැවති දෙදෙනාගේ කතා ලතාව හා කුළුපග හැසිරීමට අනුව මේ දෙදෙනා මව සහ දුව හෝ පවුලේ ඥාතින් බවට අනෙක් මගීන්ට දැනේ. එසේ දැනෙන පරිදි සියලු ක්‍රියාකාරකම් සිදුකිරීම ‘‘හොර මිතුරියගේ’’ උපක්‍රමයකි.   
මේ වන විට අමාරු කොටස ඉවරය. ඊළඟ වැඩ කටයුත්ත බොහොම ලේසිය. අපේ කතානායක මිතුරිය හෙමි හෙමින් ‘සුද්දය දීමට පටන් ගනී’’ මැදි වයසේ කාන්තාව ගේ නින්ද අහවර වන්නේ බසය සිය ගමන නිමකිරීමෙන් පසුව කොන්දොස්තරවරයා පිටට කීප වතාවක් තට්ටු කිරීමෙන් පසුවය.   
ඇස් ඇර බලනවිට දෙකනේ රැඳි කරාබු ජෝඩුව හා ඇඳි වත හැරෙන්නට අනෙකුත් වටිනා කියන සියලු දෑ ඇයට අහිමිවී හමාරය. නින්දේ දුටු හිනයේ බියකරුබව දැනෙන්නේ එවිටය. කරාබු දෙක නොගලවා ඇත්තේ නින්ද නොකැඩුණත් අනෙකුත් මගීන් දකී දැයි ඇති බය නිසාය. අත, කර ගමන් බෑගයේ තිබූ වටිනා දේ සුද්දකිරීමට එතරම් වේලාවක් ගත නොවන්නේ මෙවැනි හොර මිතුරියන් මේ කලාව ඉතාමත් හොඳින් ප්‍රගුණ කර ඇති හෙයිනි.   


අත් බෑගය උකුළ මත ඇතත් ඒ තුළ වූ ජංගම දුරකතනය ඇතුළු සියලු දේ අතුරුදන් වී ඇත. ළඟම මිතුරිය බසයෙන් බැසගත්තේ කොතැනින්දැයි සහසුද්දෙන් කිව හැකි කිසිවෙකු මගීන් අතර නැත. පොලිසියට පැමිණිලි කිරීමද ඵලක් නොවන්නේ ‘‘හොර මතුරිය’’ තමන්ව හඳුන්වා දුන් තොරතුරු එකක් නෑර බේගල් වන හෙයිනි.   
සියල්ල සිදුව ඇත්තේ තේ පානයේදී මිතුරිය දුන් කැවිල්ලේ තිබු රසායනිකය ශරීරය තුළදී ක්‍රියාත්මක වී සිහිමුර්ජා තත්ත්වයට පත්වීමෙනි. පිටකොටුවේදී දැනහඳුනාගත් අලුත් මිතුරියට පින් සිදුවන්නට කාන්තාවට සිදුවනුයේ ඇඳිවත හැර අනෙක් වටිනා සියලු දේ දන් දී බස්රියේ මගීන් එකතු කර දෙන මුදලකින් හෝ නගරයේ දන්නා හඳුනන අයෙකුගෙන් මුදලක් ඉල්ලාගෙන තම වාසස්ථානය වෙත යාමටය.   


කාන්තාවන් අතර පමණක් නොව පුරුෂ පක්ෂය අතරත් මෙවැනි ‘මිතුරුකම්’ ඇතිවේ. මෙහිදී ‘සුද්දෝධනලා’ ප්‍රයෝජනයට ගනු ලබන්නේ එක්කෝ විස මුසුකරන ලද දුම්වැටියකි. නැතහොත් ‘‘සූස්තියකි. (ගංජා) මේ දෙකටම කෑදර පිරිමි හඳුනාගැනීමට ‘සුද්දෝදනලාට’ ඇත්තේ සහජ දක්ෂතාවයකි. විස රසායනික මිශ්‍ර කර ලංකා දුම්කොළ සමාගමටත් වඩා හොඳින් දුම්වැටි සැකසීමට අගනුවර - මෝදර, මට්ටක්කුලිය, කාක දූපත සාවියේ උපන් හපන්නු සිටිති.   
උන්ට මේවා ‘ටොයිස්’ වැඩය. හොර බඩු අලෙවියෙන් ලැබෙන මුදලින් කොටසක් මේ අයටද ලැබේ. රාත්‍රියේ බසයකින් දුර ගමන් යන තරුණයෙකුට හෝ මැදි වයසේ කෙනෙකුට සූස්ති පාරක් යනු දෙවියන් විසින් එවනලද සම්පතකි. දුම්පානය නොකර මත්පැනට ලොල් නම් තේ පානය කරන ස්ථානයේ අඳුරු මුල්ලකදි මිතුරා විසින් ‘‘විශේෂ’ වොඩ්කා හෝ ජින් අඩියක් ලබා දේ.   
මෙම ජින්ද මෝදර හෝ තොටලඟදී දෙහි හා සීනි දමා සැකසෙන Made in modara බඩුය. මේ දෙකටම නැති මැදි වයසේ අංකල්ලාට පදමට ‘සුපිරි බුලත් විටකි.’ මේ එකකින්වත් මෙල්ලකර ගැනීමට නොහැකිනම් කට්ලට්, පැටිස්. මාළු පාන් තිබේ.   


රන් බඩු පමණක් නොව ඇඳුම් පවා සුද්දකරන මේ අය ගෙනෙන ඕනෑම ‘‘අයිටම්’’ එකක් ‘පටස් ගා’’ මිලට ගන්නා තැන් පිටකොටුවේ හා ඒ අවට ඕනෑ තරම් තිබේ. රන් හා පබළු ආභරණ හෙට්ටි වීදියටත් (සෑම ආයතනයක්ම නොවේ) ඇඳුම් අයිත්තම් හරස් වීදියේ කඩවල්වලටත් ලබාදේ. මේ ඇඳුම් සෝදා ඩ්‍රයික්ලීන් කර ලාබෙට විකුණන රෙදි පිළි අතරට වැටේ. කාන්තාවන්ගේ යටසාය, බ්‍රෙසියර පවා මෙසේ රිකන්ඩිසන්වේ. ගමන් මලුවල පරණ පාට නැතිකර පදික වේදිකාවට දමති. ජංගම දුරකථන නම් සිම් කාඩ්පත් දෙකඩ කඩා විසිකර එවේලේම ‘මස්​’’ කෙරේ. මෙම බස් සොර කල්ලිවල සාමාජික සාමාජිකාවන් බොහෝ දෙනෙකු මත් කුඩු ලෝලීන්ය.   
මොවුන්ගේ අවශ්‍යතාව වන්නේ එදිනෙදා කුඩු මිලදී ගැනීමට මුදලක් උපයා ගැනීමය. හොඳට පදම්ව සිටින කුඩ්ඩෙකුට තම ‘සික්’ එක නිවා ගැනීමට නම් රු: 15,000/-ක වත් බඩු වුවමනාවේ. තවමත් ‘සික්’ තත්ත්වයට පත්ව නැති අයෙකුගේ දවසේ කුඩු වියදම රු. 5000/- 6000/- අතර වේ. සික් එක හැදුනු විට දැනෙන මරණයේ වේදනාව දන්නේ මත් ලෝලියාට පමණකි.   
ශරීරය වෙව්ලයි. බඩ දඟලා වමනයට එයි. එම තත්ත්වයට පත්වූ විට අහල පහළ සිටින අයද පේන්න බැරිය. මේ වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාරද නැත. අසනීපය කුමක්දැයි දොස්තරටවත් සොයා ගැනීමට බැරිය. ECG මේ කිසිදු පරීක්ෂණයකට කුඩු සික් එක හසු නොවේ.   
තමන් මත් කුඩවලට ඇබ්බැහි වී සිටින බවත් කුඩු නොමැති නිසා මෙසේ අසනීප වූ බව කිසිදු කුඩ්ඩෙක් වෛද්‍යවරුන්ට පවසන්නේ නැත. ඉතින් මරණය සික් එක හදාගැනීමට කිසිදු කුඩ්ඩෙක් කැමති නැත. සික් යන වචනයත් මොවුන්ට නයාට ඇඳුකොළ මෙනි.   
මේ නිසා මොන මගඩියක් කර හෝ දවසට අවශ්‍ය කුඩු සලාකය ලබාගැනීමට මුදල් සොයා ගැනීමට මොවුන් උත්සුක වෙති. තම ‘‘රාජකාරියට බස් රථවලින් කොපමණ දුර ගියත් හැන්දෑවට හෝ පසුදා හිමිදිරියේ මොවුන් කොළඹය. මන්ද මත්කුඩු ස්පොට් වැඩිපුරම ඇත්තේ අගනුවර වන නිසාය.   
තදින්ම මුදල් හිඟ වූ දිනවලට පිළිකා නාශක ඖෂධ හෝ මානසික රෝග සඳහා නියම කෙරෙන පෙති හෝ කරල් අහුරකින් සික් එක ළාවට මකාගත හැකි නමුත් මේවා කරන්නේ කරකියාගත හැකි කිසිවක්ම නැතිවන දවස්වලටය. බස් රථයකදි හෝ මධ්‍යම බස් නැවතුම් පොළේදී බැස්ටියන් මාවත පෞද්ගලික බස් ගාලේදීය.
හසුවන ‘මාළුන්’ ගෙන් හොඳ ගාණක් ලබාගත හැකි වුවහොත් කුඩ්ඩන්ට එය දිනකට දෙකකට ප්‍රමාණවත්ය. සිංහල අලුත් අවුරුදු, නත්තල, පාසල් නිවාඩු කාල මේ සුද්දෝදනලාගේ ‘කරළ පැහේ. අලුත් අවුරුදු කටේ බස්වලට නගින්නට පොදිකන ජනතාව අතරට වැදී පොකට් පාරක් ගැසීමද ඒ කාලයට ප්‍රමාණවත්ය.   
මත්කුඩට ඇබ්බැහි වූ විට ගැහැනු - පිරිමි භේදයක් නැත. සික් එක හැදුණුවිට කාන්තාවන් පිරිමින්ට වඩා දරුණු වේ. මේ සෑම දෙනාගේම මුදල් සොයාගැනීමේ ප්‍රධාන ඉලක්කය අහිංසක ජනතාවයි.   


පිටකොටුව හා ඒ අවට කුඩ්ඩන් සියලු දෙනා ‘සුද්දෝදනලා’ නොවෙති. බස් රථ තුළ වෙ​​ළෙඳාම් කරන වෙ​ෙළඳුන් කොටස් දෙකකි. පළමු පිරිස ලංකා ගමනාගමන මණ්ඩලයේ අවසරය මත බස් ගාල තුළ වෙ​​ළෙඳාම් කරගෙන යන නිළ ඇඳුම් සහිත පිරිසයි. මොවුහු වංචාකරුවෝ නොවෙති.   
බසය කොළඹ නගර සීමාව තුළ වාහන තදබදයට හෝ මාර්ග සංඥා අතර හිරවූ විට ඒවාට ගොඩවී වතුර බෝතල රු. 100/- ට පොත් පහ හය අලෙවි කරන, කඩල, රටකජු, බුලත්විට ආදී දේ පිරුණු බේසමක් කරටගෙන සිටින අය මොනවාදෝ කුරුටු ගෑ තඹ පත් හෝ ලැමිනේට් කරන ලද බෞද්ධ හෝ ජාතික කොඩි මිටියක් රැගෙන බසය සිසාරා යන්නට එක තියුණු බැල්මක් හෙළා තරුණ තරුණියන් වෙත විශේෂයෙන් තරුණ ජෝඩු වෙත කිට්ටුකර ‘මචං මමත් උඹ වගේම කොල්ලෙක් උදව්වක් කරපං’’ යැයි පවසමින් ඇඟෙහි දැවටි දැවටී මුදලක් කඩාගැනීමට මාන බලන පිරිස දෙවන කණ්ඩායමයි. දවසේ ගතමනාව සොයාගෙන දරු පවුල් නඩත්තු කිරීමට වෙහෙසෙන උත්සහවන්තයින් මේ අතර සිටින නමුත් මින් වැඩි කොටස කුඩ්ඩන්ය.   
කිසිවෙකුහට වංචාකර මුදල් ඉපයීමක් නොකරන මොවුන් බොහෝවිට වතුර බෝතල, කුඩා දරුවන්ගේ කතා පොත් පින්තූර පොත් අලෙවි කර ලැබෙන මුදල කුඩු මාරයාට පුදකරති. පිටකොටුව අවට තිබෙන තොග වෙළෙඳසල්වලින් උදේම තමන්ට අවශ්‍ය දේ ලබාගන්නේ මොවුන් සවසට ගනුදෙනු බේරා ලාබය තමන් සතුකර ගනිති. ගතමනාව අඩු දිනවලදී දවල් මෙන්ම රාත්‍රි කාලයේදීද වෙ​ෙළඳාම් කරගෙන යති.   


එසේම රාත්‍රියට පමණක් වෙ​ෙළඳාම් කරන ජංගම වෙ​ෙළඳ කොට්ඨාසයක් බස් පොළේ වෙති. දිවා කාලයේදී වෙනත් කුමක් හෝ රැකියාවක නොඑසේනම් කුලී වැඩක නිරතවන මේ පිරිස රාත්‍රියට බස්පොළේ වෙළෙඳාම් කරති. මින් බහුතරය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි නොවූවන්ය.   
අගනුවර හා තදාසන්න ප්‍රදේශවල හැමද‌ාමත් අහස උසට ඉදිවන ගොඩනැගිලිය. මේවායේ වැඩකිරීමට කුලීකරුවන් අවශ්‍යය. සාමාන්‍ය අත්වැඩ කරන කුලීකරුවෙකුට මෙම වැඩබිම්වල දිනෙක වැටුප රු 1500/- 2000/- අතර වේ.   
මත්කුඩුවලට ඇබ්බැහිවූවෝ මෙම වැඩබිම්වල දවස් පඩියට වැඩ කරන්නේ උදයේම කුඩු වඩියකින් සප්පායම් වූ පසුවය. ගොඩනැගිලි ඉදිකිරිම් බාරව සිටින කොන්ත්‍රාත්කරුවන්ද මේ කුඩ්ඩන්ට කැමතිය. මන්ද කුඩු වඩියකින් පසුව මොවුන් කඩියන් සේ වැඩකරන නිසාය.   


ඇතැම් කොන්ත්‍රාත්කරුවන් දහවලට මොවුන් අතට මුදලක් ලබා දේ. අනෙක් කම්කරුවන් ඇතුළු පිරිස දිවා ආහාරය ගනිද්දි මුදල් අතට ගෙන සිටින පිරිස කුඩු වඩියකින් සප්පායම් වේ. කෑමටත් බීමටත් මොවුන් ප්‍රිය කරන්නේ කුඩුවලටම පමණි. ඉනේ ගසාගත් ෂොට් එකකින් නිරතුරුවම මොවුන් සන්නද්ධව සිටිති. කොන්ත්‍රාත්කරු හවසට පඩි බේරන්නේ දහවල දුන් මුදල අඩුකරගෙනය.   
ඊළඟ දිනයේදීත් මේ චක්‍රයම සිදුවේ. කොළඹ හා අවට පිහිටි සුපර් මාකට් (ප්‍රසිද්ධ ඒවා නොවේ) වල වියලි ආහාර වර්ග පැකට් කිරීමට දවසේ වැටුපට කාන්තාවන් බඳවා ගැනේ.   
කුඩ්ඩියන් දවසේ වඩියට ගතමනාව සොයාගනු ලබන්නේ එවැනි කුලී රැකියාවලිනි. සුවිසල් බෝ ගසට, මැනිං වෙළෙඳ පොළට හරස් විථිවල, නොඑසේනම් කොටුවේ දුම්රිය පොළට මුවාවීගෙන මේ සියලු ක්‍රියාකාරකම් සිදුවන්නේ ඔබ මා නිබඳ සරනා පිටකොටුවේමය.   

 


තිලක් පුෂ්පකුමාර