බත් හැලියේ පණුවෝ


මව්පියන්ගේ ආදරය මදිවුණු දරුවාගේ වැඩක්

රත් පැහැයෙන් දිගින් දිගට ඇදී එන පණු භූතයෝ පෙළින් පෙළට පොළව දිගේ ද ගස්වැල් දිගේ ද නිවසට එන්නට වූහ. දත් විලිස්සාගෙන එන පණු භූතයාගේ පිරිවරද මෙම භූතයාට නොදෙවෙනි ආකාරයට පෙළින් පෙළට නිවස කරා ළගා වන්නට වූහ. දිගින් දිගට රියන් කිහිපයක් පමණ දිගු වූ මේ පණු භූතයෝ උල් දත් විහිදාගෙන මුව අයාගෙන අඟල් කිහිපයක් පමණ දිගු දිවවල් ඒ මේ අත ලෙළවමින් සිටින්නාහුය. උන්ගේ මුඛයෙන් දිවෙන් වැගිරෙන කෙළ අප්‍රසන්න වූ ගන්දස්සාරයකින් ඒ නිවස පිහිටි වත්තේ හමා යන්නට විය. මෙය එසේ සිදුවූයේ ඇයි?   


වයස අවුරුදු දහයක් වන කවීෂට බාල නැගණියකුත් වැඩිමල් සහෝදරයෙකුත් විය. කවීෂගේ පියා පිළිගත් ආයතනයක කළමනාකාරවරයකු වන අතර, මව රැකියාවක් නොකළාය. ඇය ගෘහණියකි. කෑගල්ල ප්‍රදේශයේ ජීවත් වන මධ්‍යම පාන්තික පවුලක් වූ කවීෂගේ පවුලේ මද්දුමයා වූ කවීෂ තම බාල නැගණිය හෝ වැඩිමල් සහෝදරයා සමඟ කෙළිදොළෙන් ගතකරන්නකු නොවුවේය. කවීෂගේ පවුලේ කිසිදු අගහිඟකමක් නොතිබූ අතර, කවීෂගේ මව තම දරුවන් තිදෙනා රැකබලා ගනිමින් නිවසට වී කාලය ගත කළාය. තම සැමියා රැකියා කටයුතු අවසන් වී නිවස කරා පැමිණෙන තෙක් ඇය කළේ දරුවන්ගේ වැඩකටයුතුය.   


කවීෂගේ බාල නැගණියට වයස අවුරුදු අටකි. ඇය ඉතාමත් දඟකාරය. නිතරම කෙළිදොළෙන් පසුවන්නියකි. කවීෂගේ වැඩිමල් සහෝදරයාට වයස අවුරුදු දොළහකි. මොවුන් තිදෙනාම ඉගෙනීමට ඉතා දක්ෂ වූ නමුත් කවීෂ අනිත් දෙදෙනාට වඩා නිහඬ චරිතයක් වූයේය. නමුත් පාසල් අධ්‍යාපන කටයුතුවල දී තිදෙනාම එකම අයුරින් දස්කම් විස්කම් පෙන්වන්නෝ වූහ.   


තම පියා නිවසට පැමිණි පසු මව හා පියාගේ තුරුලේ දඟකරමින් සිටින ඔවුන් තිදෙනා රාත්‍රී නින්දට යන්නේද එකටමය. මෙසේ කාලය ගෙවී යද්දී කවීෂගේ නිවසට කණකොකා හඬන්නට පටන් ගත්තේය. ඉතාමත් සතුටින් විනෝදයෙන් ගත කළ කාලය අවසන් වන්නට ගතවූයේ කෙටි කාලයකි.   


දිනක් කවීෂගේ මව රාත්‍රී ආහාරය පිළියෙල කර තිබුණි. කෑම මේසයට සියල්ලන් වාඩි වීමට පෙර කෑම භාජන සියල්ල මේසයට ගෙනවිත් තැබීම ඇයගේ පුරුද්දකි. බත් හැළියේ ඇති බත්, දීසියට බෙදීමට හදන විටම හැන්දේ තිබුණේ බත් පමණක් නොව බත් මත දඟලන පණුවන් ද දැකගැනීමට ලැබුණි. කුමක් වී දැයි සිතාගැනීමටවත් නොහැකි වූ කවීෂගේ මවගේ අතින් බත් හැන්ද බිමට පතිත වුණි. ඒ හඬින් කලබලයට පත් වූ කවීෂගේ පියා කුස්සියට දිව ආවේ “මොකක්ද ඒ සද්දෙ” කියා අසමින්ය.   


“මේ බලන්නකෝ බත් හැළියේ පණුවෝ පිරිලා” බත් හැළිය අතට ගෙන පෙන්වමින් කවීෂගේ මව පැවසුවාය. “කොහෙන් හරි වැටිලා ඇති. ඕක ගණන් ගන්න එපා. මොනවාහරි ඉක්මනට ළිපේ තියලා ගන්නකෝ” කවීෂගේ පියා එතරම් ගණන් නොගෙන පැවසුවේය. එදින රාත්‍රි ආහාරය අලුතින් පිස ආහාර ගෙන සියල්ලෝම නින්දට ගියෝය.   


මෙසේ දින දෙකක් ඉක්මවද්දී නැවත ඉහත කී පණුවන් පෙර පරිදිම බත් හැළියේ දඟලමින් සිටිනු දක්නට ලැබුණි. මෙයින් තැතිගත් කවීෂගේ මව තම සැමියාට දුරකථන ඇමතුමක් දී නිවසට ඉක්මනින් පැමිණෙන ලෙසත් පෙර දින මෙන්ම මෙදිනද බත් හැළියේ පණුවන් සිටින බවත් පවසා සිටියාය. කවීෂගේ පියා ද සවස් වනවිට නිවසට පැමිණ බත් හැළිය​ ෙදස බලා ඒ පණුවන් විශේෂය කුමක්දැයි සොයා බැලීය. ඒ ගැඩවිලුන්ය.   
“ඔයා බත් හැළිය ඉදුනාට පස්සේ වහන්න. ඇරලා කොහේවත් යන්න එපා. ඔය කොහෙන් හරි වැටිලා ඇති” කවීෂගේ පියා නැවතත් තම බිරිඳ අස්වැසුවාය. එදිනෙන් පසු කවීෂගේ මව ආහාර පිස අවසන් වූ සැණින් සියලු කෑම බඳුන් වසා තැබීම පුරුද්දක් කර ගත්තාය. නමුත් විශ්මයට කරුණකි. තවත් දිනක් මේ ආකාරයෙන්ම බත් හැළියේ ගැඩවිලුන් වැනි පණු විශේෂය දක්නට ලැබුණි. මෙය නම් අද්භූත සිද්ධියක් බව කවීෂගේ මවට හැඟුණි. කිසිදිනෙක මෙවන් දෙයක් සිදුවී නොමැති නිසා මේ වන්නේ කුමක්දැයි ඇයට සිතාගැනීමටවත් නොහැකි වුණි. මෙය බලාසිටින්නට හොඳ තත්ත්වයක් නොවන බව ඇයගේ මතය විය. රාත්‍රියේ නින්දට යනවිට තම සැමියාට මේ ගැන පැවසූ කවීෂගේ මව කියා සිටියේ “මං හැම හැළියක්ම හොඳින් වැහුවා. ඒත් මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලයි මට හිතාගන්න බැහැ. මේක අද්භූත දෙයක් වෙන්න බැරිද” යනුවෙනි. “අපි බලමු” කවීෂගේ පියා තම බිරිඳ අස්වැසීය.   


බත් හැළියේ පමණක් දඟලන්නට වූ පණුවන් දැන් දැන් පරිප්පු වෑංජනයේද අනිකුත් වෑංජනවලද දක්නට විය. සාම්ප්‍රදායික සිතුම් පැතුම්වලින් හෙබි කවීෂගේ මවත් පියාත් විශ්වාස කළේ ප්‍රේතයින් භූතයින් විසින් ආහරවලට වැලි දමන අයුරු අසන්නට තිබෙන බැවින් මෙයද එවැනි දෙයක් බවයි. තම නිවසට ද අදෘෂ්‍යමාන බලවේගයක් ඇතුල්වී ඇත්දැයි සැකයක් ඔවුන්ගේ සිත් තුළ ජනිත විය.   


“අපි හොඳ කට්ටඩි මත්තයෙක් ගෙනල්ලා බලමු මොකක්ද වෙලා තියෙන්නෙ කියලා. මේක හැමදාමත් මෙහෙම වෙනවනම් මෙතන මොකක් හරි අමනුස්ස බලපෑමක් තියෙන්න ඕනේ” කවීෂගේ පියා රැකියාවට ගියේ හවස එද්දි කපු මහතකු කැඳවාගෙන ඒමේ බලාපොරොත්තුවෙන්ය. කපු මහතා නිවසට පැමිණ සියල්ල සොයා බලා පැවසුවේ මෙය නම් අනිවාර්යෙන්ම ප්‍රේතයෙකුගේ වැඩක් බවය. ප්‍රේත තටුවක් තබා පුංචි ශාන්ති කර්මයක් කළහොත් මෙය මඟහැරී යන බවත් පැවසූ කපු මහතා එයට දිනයක්ද වේලාවක්ද වෙන්කරගෙන පැමිණෙන බව පවසමින් සමුගත්තේය.   


බෙරහඬ නින්නාද වෙමින් තිබේ. ගෙජ්ජි සැලෙන රාවය සුන්දරය. මල් සුවදත් සුවඳ දුමත් එක් වූ දුම්මල කීරි පහරින් දැල්වෙන තිගැස්සෙන පහන්, විලක්කු, පන්දම් ඒ මේ අත වැනේ. ඒ අඳුර කපා එන මහා භූත යක්ෂ, ප්‍රේතයන්ගේ නින්නාදය ඒ රඟමඩලලෙහි සටහන් කරමිනි. ඇසෙන නොඇසෙන වදනින් යක් අඳුරා තෙපළන යක් මන්ත්‍ර සිත ද, ගත ද බියපත් කරන්නට සමත්ව තිබේ. දොළ පිදේනි තටු හතකි. ඒවායේ ගොඩ මස්, දිය මස්, මාලු ද දැකිය හැකිය. ගොඩ දිය මුහුදු දිය, ගංගා දිය ද, බෙන් වතුර ද, ඇළ දොළ වැව් ජලය ද, කම්මල් වතුර ද පිදේනි තටුවල තටු ගසා සකස්කර ගත් ගොටුවල දැකිය හැකිය. සෙම්, සොටු පමණක් නොව රා, අභිං, ගංජා වැනි මත්ද්‍රව්‍ය ද, සුරුට්ටු හා සිගරට් ද බීඩි වැනි ධූම පානයන් ද, රට බීම ද පෙළින් පෙළට එම පිදේනි තටුවල මද පමණනට තැම්පත් කර ඇත.   


ගංගා වැලි, මුහුදු වැලි ද, ඇළ දොළ වැලි ද, සරමක්, බැනියමක්, පිඟානක් කෝප්පය් ද විවිධ මල් හා කැවිලි පෙවිලි ද, මේ පිදේනි තටුවල අඩුවක් නැතිව තැම්පත් කර ඇත. යක් ඇදුරන්ගේ මහ ඇදුරු නම් වූ මහත දෙහෙත යකැදුරා දුම්මල කීරි ගසමින් පන්දම් විලක්කු දල්වාගෙන මේ පේත තටු දිෂ්ඨි කරන්නාහූය. එය බිය ජනක දසුනක්. තොයිල් ගෙදර එරඟමඩළහි දැකිය හැකිවිය.   


තොයිල් ශාන්තිකර්මය පැවත්වුණි. දෙගොඩහරිජාමේ වනතුරු පැවති ශාන්තිකර්මයෙන් අනතුරු කපු මහතා පැවසුවේ ප්‍රේතයා නිවසින් පිටත්ව හැරිය බවයි. නැවත ප්‍රේත දෝෂයක් ඇති නොවන බවයි. අදෘශ්‍යමාන ප්‍රේතයා පළවා හැර දින පහළොවක් ගතවූ පසු නැවත ප්‍රේතයා නිවසට පැමිණ තිබේ.   


මෙදිනද බත් හැළියේ මෙන්ම මාළු වෑංජනයේද පණුවන් දඟලමින් සිටිනු පෙනුණි. පසුදින තම සැමියාව ද කැටුව කවීෂගේ මව දේව වරමින් සාත්තර කියන පුද්ගලයෙකු ​ෙවත ගියහ. සාත්තර කියන්නා පවසා සිටියේ මළගිය ප්‍රණියෙකු ප්‍රේතයකු වී ඇති බවත් ඒ ප්‍රේතයා විසින් මෙසේ කරන බවත්ය. මෙම ප්‍රේතයා බෝතලයකට දමා මුහුදට දැමිය යුතු බවත් ඒ සඳහා විශාල මුදලක් වියදම් වන බවත් සාත්තර බලන පුද්ගලයා පැවසීය.   
එලෙසද විශාල මුදලක් වැයකර ප්‍රේතයා බෝතලයක සිරකර මුහුදට දැම්මත් දින දහයක්වත් ගත නොවුණි. නැවත නැවත ආහාර බඳුන් තුළ පණුවන් දඟලන්නට වූහ. බොහෝ මුදල් වැයකර ප්‍රේතයා මුහුදට දැමුවත් ප්‍රේත දෝෂය ඉවත් වී නැති බැවින් කවීෂගේ පියා තදබල ලෙස කුපිත විය. සාත්තරකරු වෙත පිවිසි ඔහු එම පුද්ගලයාගෙන් මේ බව විමසීය. බෝතලයේ පියන හරිහැටි වැසී නොමැති බවත් එසේ හෙයින් මළගිය ප්‍රාණියා නැවත නිවසට ඇතුලු වී ඇති බවත් ඔහු නිදහසට කරුණු වශයෙන් පැවසීය.   


නැවත වරක් ශාන්ති කර්මයක් සිදුකළහොත් කිසිදු දිනෙක මළගිය ප්‍රාණියට නිවසට ඇතුලුවීමට ඉඩ නොතැබෙන බව සාත්තරකරු පැවසුවත් කවීෂගේ පියා මෙවර එයට එකඟත්වයක් නොදැක්වීය. මේ සඳහා වෙනත් පිළියමක් යෙදිය යුතු බව ඔහුට හැඟී ගියේය.   


ඒ අනුව කවීෂගේ පියා ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා හමුවට ගියේය. මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා කවීෂගේ නිවසට පැමිණීමට දිනයක් වෙන්කර ගත්තේය. වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා අදාළ ස්ථානය වෙත පිවිසුණි. සියල්ල නිරීක්ෂණය කොට බලා තම සායනයට නිවසේ සියලු දෙනාටම පැමිණෙන ලෙස දන්වා වෛද්‍යවරයා පිටත්ව ගියේය.   


එදින ක​ාවීෂත් නැගණියත් වැඩිමල් සහෝදරයත් තම මව හා පියා සමඟ වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතාගේ සායනයට පැමිණියෝය. වෛද්‍යවරයාගේ හා පර්යේෂණ කණ්ඩායමේ අවධානය මේ වන විට යොමුවී තිබුණේ කවීෂ වෙතයි. මුලින්ම කවීෂව මෝහන ප්‍රතිගමනයට පත්කළ යුතු බව වෛද්‍යවරයාගේ අදහස විය. 

 
කවීෂව මෝහනයට පත් කළ පසු සිද්ධිය මෙසේ පැහැදිලි වුණි.   


වෛද්‍යවරයා: ඔබ කවුද?   


කවීෂ: මම කවීෂ   


වෛද්‍යවරයා: ඇයි ඔබ මේ වගේ දෙයක් කළේ?   


කවීෂ: මොකක්ද මම කළේ?   


වෛද්‍යවරයා: ඇයි ඔබ කෑමවලට පණුවන් දැම්මේ? එහෙම කළේ කොහොමද කියලා ඔබ මට පැහැදිලිව දැන් කියන්න.   


කවීෂ: අපේ ගේ ළඟ කානුවක් තියෙනවා. ඒකේ පණුවො ඉන්නවා මං දැකලා තියෙනවා. මං ඒ පණුවො අරගෙන හොඳ වතුරෙන් සෝදලා බත් එකටයි හොදිවලටයි දැම්මා. ඒත් කෑමවල රස්නෙට සමහර පණුවෝ මැරිලා.   
වෛද්‍යවරයා: මට කියන්න ඇයි ඔබ එහෙම කළේ? මොකක්ද එයින් ඔබ බලාපොරොත්තු වුණේ.   


කවීෂ: අම්මයි තාත්තයි මට වඩා නංගිටයි අයියටයි ආදරෙයි. මට මොනවා හරි දෙයක් අරන් දුන්නොත් ඊට වඩා වැඩියෙන් එයාලට අරන් දෙනවා. මට එක ඇඳුමක් අරන් දුන්නොත් නංගිටයි අයියටයි ඇඳුම් දෙක දෙක අරන් දෙනවා. මං ඉතින් එතකොට අඬනවා. ඒත් අම්මයි තාත්තයි කියන්නේ එයාලට අරන් දීපු ඇඳුම්වලට වඩා මට අරන් දීපු එක ඇඳුම ගොඩක් වටිනවා කියලයි. ඒ වටිනාකමටයි එයාලට ඇඳුම් දෙක දෙක ගත්තේ කියලා කියනවා. ඒත් මට එහෙම හිතෙන්නෙ නැහැ. ඒ නිසයි මං මෙහෙම කළේ. එතකොට එයාලා මට ගොඩක් ආදරේ වෙයි කියලයි.  


වෛද්‍යවරයා: මට දැන් තේරෙනවා. ඒත් පුතේ නංගිටයි අයියටයි වගේම අම්මයි තාත්තයි ඔයාටත් ආදරෙයි. ඒකේ වෙනසක් නැහැ. නංගිටයි අයියටයි වඩා ඔයාට තමයි එයාලා වැඩියෙන්ම ආදරේ. ඒකනේ වටිනාම දේ ඔයාට අරන් දෙන්නේ. ඔයා නංගියි අයියයි එක්ක ආදරෙන් ඉන්න ඕනේ. බලන්න දැන් ඔයා කරපු දෙයින් අම්මයි තාත්තයි කොච්චර දුක් වුණාද කියලා.   


වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා කවීෂගේ මවටත් පියාටත් කියා සිටියේ කවීෂට තව තවත් සමීප වන ලෙසත් ඔහුට බෙහෙවින් ආදරය දක්වන ලෙසත්, දරුවන් තිදෙනාගෙන් කිසිවකුටත් අවදානමක් ඇති නොවන ලෙස ආදරයෙන් සෙනෙහසින් සිටින ලෙසත් සියල්ලන් කෙරෙහිම එකම අවධානයකින් සිටින ලෙසත්ය. මින්පසු කවීෂගේ නිවසේ කෑමවලට පණුවන් ගැසුවේ නැත. එය දෙමාපියන්ගේ ආදරය ලබාගැනීමට සිතූ කවීෂ කළ දෙයක් බව පැහැදිලි කරදුණි.   


(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර, මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)   

 

 

 


සටහන :
හබරාදුව නිමල් අල්ගෙවත්ත