පෘතුගීසි නාවික වස්කෝද ගාමාගේ ගමට ගිය ගමන


රටකින් රටකට   

 

 

වස්කෝ ද ගාමා (Vasco da Gama) ඉපදුණේ පෘතුගාලයේ සිනෙස් (Sines) නමැති මුහුදුකර ගම්මානයේදීය. (1469) අදටත් සිනෙස් ධීවර වරාය වස්කෝ ද ගාමාගේ මතකයන් අවදි කරවන තැනකි. ගම්මානය අවට නවීන පන්නයේ ධීවර නිවාස දක්නට ඇත.   


ඉතිහාසඥ ලුයිස් අඩාඕ ඩ ෆොන්සේකා සම්ප්‍රදායානුකූලව වස්කෝ ද ගාමා උපන් ස්ථානය ගැන සඳහන් කරයි. එනම් පරම්පරා ගණනාවක ජනතාව පවසා ඇති පරිදි ගාමා පවුල ජීවත් වී ඇත්තේ ‘බරෝකා’ හෝ ‘ඩොම් වස්කෝ’ (Dom Vasco) එළවළු වත්ත ඉදිරිපිට පිහිටි නිවෙස්වල බවයි. දැන් එය කසාඩි වස්කෝ ඩ ගාමා ලෙස හඳුන්වයි. මෙම දේපළ වර්තමානයේ පුද්ගලික හිමිකාරීත්වය දරන අතර එය පිහිටා ඇත්තේ වර්තමාන රුආ වස්කෝ ඩ ගාමා නම් මාවතෙහිය. මෙහි සඳහන් වන පරිදි අවසාන ස්ථානය සැබැවින්ම වස්කෝ ද ගාමා ඉපදුණු ස්ථානය විය හැකිය.   


1516 දී සිනෙස් ගම්මානයේ ‘සන්තියාගෝ සාන්තුවරයාගේ නමින් නම් කරන ලද ආගමික හා හමුදා සංවිධානයේ’ (Order Of Santiago) නියෝජිතයින් නැරඹීමෙන් පසු, නිවස සහ එහි උද්‍යානය, සංචාරය පිළිබඳ වාර්තා කරන ලියවිල්ලක සඳහන් කර ඇත. එය වස්කෝ ද ගාමාගේ උපන් ස්ථානය ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශනය කළ යුතු නමුත් මෙම ලේඛනය නිසා එම ස්ථානය නිසැකවම ද ගාමා පවුලට සම්බන්ධ බව තහවුරු වේ.   


ඉතිහාසඥ අර්නාල්ඩෝ සොලෙඩේඩ් විශ්වාස කරන්නේ ඔහු උපත ලැබුවේ සිනෙස් මාලිගයේ දෙවන මහලේ බවයි. 

 
වස්කෝ ද ගාමා මුහුදු ගවේශකයෙකු ලෙස ඉතිහාසගත වී ඇත්තේ මෙයට වසර 523 කට පෙර යුරෝපයේ සිට පෙරදිග මුහුදු මාර්ගය සොයාගත් ප්‍රථම නාවිකයා ලෙසටයි. ද ගාමා විසින් 1497 දී ඉන්දියාවට මුහුදු මාර්ගය සොයා ගැනීම නිසා පෘතුගීසීන්ට ආසියාවේ දීර්ඝකාලීන යටත් විජිත අධිරාජ්‍යයක් පිහිටුවීමට හැකිවිය. පෘතුගාලයෙන් පිටතට හා නැවත පෘතුගාලයට ආපසු එන මුහුදු ගමන් වල ඇති දුර ප්‍රමාණය දෙස බැලූ විට, මෙම ගවේෂණය එතෙක් මෙතෙක් කර ඇති දීර්ඝතම මුහුදු ගමන බවට පත්වේ. එය ලොව වටා පූර්ණ මුහුදු ගමනකට වඩා දිගු එකක් වේ. වස්කෝ ද ගාමා කෙටි කලක් තම රජුගේ නියෝජිතයා ලෙස ඉන්දියාවේ යටත් කරගත් ප්‍රදේශයේ පාලන බලය හෙබවීය.   

 

වස්කෝ ද ගාමා උපන් නිවස


වස්කෝ ද ගාමා තුන් වතාවක් ඉන්දියාවට යාත්‍රා කළේය. ඔහුගේ සුප්‍රසිද්ධ පළමු ඉන්දියානු සංචාරයෙන් පසු (1497 - 1499) පළමුවන මනුඑල් (Manuel 1) රජු විසින් ද ගාමාට ‘‘ඩොම්’’ (Dom ඩොම් යනු නම්බු නාමයකි. එය දළ වශයෙන් දෙවියන් වහන්සේට සමාන වචනයකි) යන ගෞරව නාමය ප්‍රදානය කළේය. එපමණක් නොව කෘසාඩෝ (Cruzado) 1000 ක වාර්ෂික විශ්‍රාම වැටුපක් (කෘසාඩෝ යනු මුල් යුගයේ පෘතුගීසි කාසියකි) සහ වතු පිටිද ලබාදුන්නේය.   


ද ගාමාගේ ජයග්‍රහණය ප්‍රයෝජනයට ගැනීම සඳහා පළමුවන මනුඑල් රජු විසින් පෘතුගීසි නාවිකයා වන පේද්‍රෝ ආල්වාරෙස් කබ්රාල්ව (Pedro Alvares Cabral) කැලිකට් වෙත නැව් 13 කින් පිටත්කර හරින ලදි. මෙම ගවේෂණයේ ලාභය කෙතරම්ද යත්, තුන්වන නාවික බළඇණියක් ද ඉක්මනින් ලිස්බන් නුවර වරායේ සූදානම් කර තිබුණි.   


මෙම බළඇණියට අණ දෙන ලෙස නියම කරන ලද්දේ 1502 ජනවාරි මාසයේ දී අද්මිරාල් පදවිය ලැබූ ද ගාමාටය. ද ගාමා නැව් 10 කට අණ දුන් අතර, ඒ සඳහා නැව් පහ බැගින් වූ ෆ්ලොටිලා (Flotilla) දෙකක් (ෆ්ලොටිලා යනු කුඩා නැව් සමූහයකි) සූදානම් කරන ලදී. සෑම ෆ්ලොටිලා එකක්ම ඔහුගේ ඥාතියෙකුගේ අණ යටතේ පැවතුණි. 1502 පෙබරවාරියේ දී, වස්කෝ ද ගාමාගේ දෙවන ඉන්දියානු සංචාරය ආරම්භ විය.   
වස්කෝ ද ගාමාගේ යාත්‍රාව ප්‍රථම වරට කේප් වර්ඩ්ස් දූපත් අසල නතර වී නැගෙනහිර අප්‍රිකාවේ සොෆාලා වරායට ළඟා වූයේ 1502 ජූනි 14 වනදාය. මොසැම්බික්හි ඔවුන් ටික දිනක් නතර වී පසුව කිල්වා වෙත යාත්‍රා කරන ලදී. (කිල්වා යනු වර්තමානයේ ටැන්සානියාවට අයත් දූපත් නගරයකි) කිල්වා හි පාලකයා වූ අමීර් ඉබ්‍රාහීම් කබ්රාල්ට හිතවත් නොවීය. අමීර් පෘතුගීසීන්ට යටත් නොවී මැනුවෙල් රජුට පක්ෂපාතී බවට දිවුරුම් නොදුනහොත් කිල්වා නගරය පුලුස්සා විනාශකර දමන බවට ද ගාමා තර්ජනය කළේය.   


දකුණු අරාබිය දිගේ යාත්‍රා කිරීමෙන් පසු, ද ගාමා ගෝආ (Goa) හි නතර වී නිරිතදිග ඉන්දියාවේ කැලිකට් වලට උතුරින් පිහිටි කැනනෝර් (Cannanore) වරායට පැමිණ අරාබි නැව් පැමිණෙන තෙක් බලා සිටියේය. දින කිහිපයකට පසු අරාබි නැවක් වෙළෙඳ භාණ්ඩ සමඟ පැමිණි අතර කාන්තාවන් සහ ළමුන් ඇතුළු මගීහු 200 ත් 400 ත් අතර සංඛ්‍යාවක් පැමිණියහ. බඩු තොගය අල්ලා ගැනීමෙන් පසු, ද ගාමා නැවට ගිනි තැබුවේය. නැව ගිනි තැබුවේ එහි සිටි මගීන් ද සමඟය. ගාමා අප සිතන තරම් තැන්පත් මිනිසෙකු නොවීය. ඔහු මිනිසුන් පණපිටින් ගිනි තබන්නට තරම් දරුණු හදවතක් ඇත්තෙකු බව මෙයින් ගම්‍ය වේ.   


සැමරින්ගේ සතුරෙකු වූ කැනනෝර් හි පාලකයා සමඟ ද ගාමා සන්ධානයක් ඇති කර ගැනීමෙන් පසු (සැමරින් Zamorin යනු කැලිකට් Calicut හි පාලකයා වේ) නාවික හමුදාව කැලිකට් වෙත යාත්‍රා කළේ එහි වෙ​ෙළඳාම විනාශ කර සැමරින්ට ද දඬුවම් කිරීමේ අරමුණින්ය. හේතුව සැමරින් මුස්ලිම් වෙළෙඳුන්ට සහාය දීමයි. සැමරින් මුස්ලිම්වරුන්ට ඔවුන්ගේ වෙ​ෙළඳ ව්‍යාපාර වැඩිදියුණු කිරීම සඳහා සියලු පහසුකම් ලබාදුන්නේය. පෘතුගීසීන් එයට විරුද්ධවූ අතර ඔහුට පාඩමක් ඉගැන්වීමට ඔවුන්ට අවශ්‍ය විය. ද ගමා කැලිකට් වරායට බෝම්බ දමා ප්‍රාණ ඇපකරුවන් 38 දෙනෙකු අල්ලා සමූල ඝාතනය කළේය. පෘතුගීසීන් පසුව කෝචින් (Cochin) වරායේ දකුණට යාත්‍රා කළ අතර එහි පාලකයා (සැමරින්ගේ සතුරෙකු) සමග සන්ධානයක් ඇති කරගත්තේය.   
සැමරින් වෙතින් ‘‘ද ගාමා’’ වෙත කළ ආරාධනයකින් ඔහු අල්ලා ගැනීමට ගත් කපටි උත්සාහයක් දැරූ බව ඔප්පු වූ පසු පෘතුගීසීන් කැලිකට් සිට අරාබි නැව් සමඟ කෙටි සටනක් කර අරාබි නැව් සම්පූර්ණයෙන්ම පළවා හරින ලදී. 1503 පෙබරවාරි 20 වන දින පෘතුග්‍රීසි නාවික හමුදාව කැනනෝර් නුවරින් පිටත් වී මොසැම්බික් හරහා ආපසු සිය රට බලා පිටත් විය. ඔවුන් ඔක්තෝබර් 11 වන දින පෘතුගාලයට ළඟා විය.   
1524 වන වසරේදී වස්කෝ ද ගාමාගේ තුන්වන ඉන්දීය සංචාරය සිදුවිය. පළමුවන මැනුවෙල් රජු මියගිය අතර නව රජු තුන්වන ජෝන් රජු ඉන්දියාවේ පෘතුග්‍රීසි විශාරදයා ලෙස වස්කෝ ද ගාමා නම් කළේය. 1524 සැප්තැම්බරයේ දී ගෝආ නගරයට පැමිණිය ද ගාමා වහාම ඔහුගේ පූර්වගාමීන් යටතේ සිදුවූ බොහෝ පරිපාලන අපයෝජනයන් නිවැරදි කිරීමට සූදානම් විය. ඔහු ඉක්මනින්ම අසනීප වී එම වසරේම දෙසැම්බර් මාසයේ දී කෝචින් හිදී මිය ගියේය.   


වස්කෝ ද ගාමා ගේ ගමන් ගැන ඉතා හොඳින් ලේඛන ගත කර ඇති මුත්, ඔහුගේ තරුණ කාලය ගැන සටහන් වන්නේ ඉතා අල්ප වශයෙනි.   


1460 ගණන්වල විසෙව් (Viseu) හි ආදිපාදවරයා වූ ඉන්ෆාන්ටේ ෆර්ඩිනන්ඩ්ගේ (Infante Ferdinand - ‘‘Infante’’ යනු කුමාරයා යන තේරුමයි) නිවසේ නයිට්වරයකු ලෙස සේවය කළ වස්කෝ ද ගාමාගේ පියා එස්ටේවව් ද ගාමාය. 1460 ගණන් වලදී එස්ටේවව් ද ගාමා සිනෙස් (Sines) හි අල්කයිඩ - මෝර් (alcaide-mor සිවිල් ආණ්ඩුකාරවරයා) ලෙස පත්වී 1478 දක්වා එම තනතුර හොබවන ලදී. ඉන්පසු ඔහු බදු එකතු කරන්නෙකු සහ කලාපයේ ඉඩකඩම් පිළිබඳ වගකීම් දරන්නා ලෙස කටයුතු කළේය.   


එස්ටේවව් ද ගාමා විවාහ වූයේ ඉංග්‍රීසි සම්භවයක් ඇති ප්‍රභූ පවුලක සාමාජිකයෙකු වන ජෝආඕ සොඩ්රේ ගේ දියණියක වූ ඉසබෙල් සොඩ්රේ සමඟය. මේ දෙදෙනාට පුතුන් පස් දෙනෙක් ද දියණියක ද වූහ. පුතුන් පස්දෙනාගෙන් තුන්වැන්නා වස්කෝ ද ගාමාය.   


මෙහිදී සඳහන් කළයුතු සුවිශේෂී දෙයක් වනුයේ වස්කෝ ද ගාමාගේ පියාට (එස්ටේවව් ද ගාමාට) ‘‘වස්කෝ ද ගාමා’’ නමින්ම පුතුන් දෙදෙනෙකු සිටීමය. එකෙකු සහජාතකය. අනෙකා අවජාතකය. සහජාතකයා වන්නේ දේශ ගවේෂක වස්කෝ ද ගාමාය. වයස් අනුපිළිවෙළින් අනුව, පවුලෝ ද ගාමා, ජොආඕ සොඩ්රේ මොහු මවගේ වාසගමින් නම් කර ඇත්තේ කුමන කරුණක් නිසාදැයි කිසිවෙකු නොදනී.) වස්කෝ ද ගාමා පෙඩ්රෝ ද ගාමා සහ අයිරිස් ද ගාමා යනු පවුලේ සහෝදරයින් පස්දෙනාය. ඊට අමතරව තෙරේසා ද ගාමා නමින් එක් සහෝදරියක් ද වස්කෝ ද ගාමාට සිටියේය.   


1492 වසරට පෙර වස්කෝ ද ගාමාගේ ජීවිතය පිළිබඳ ලේඛන ගත කර ඇති විශේෂ කරුණක් වන්නේ ඔහු 1480 දී ‘‘Order Of Santiago’’ සන්තියාගෝ සාන්තුවරයාගේ නමින් නම් කරන ලද ආගමික හා හමුදා සංවිධානයේ ලියාපදිංචි කිරීමයි. එකල පිරිමි ළමයින් පැවිදි කරන වයස වූයේ වයස අවුරුදු 11 ක් හෝ 12 කි. වස්කෝ ඔහුගේ ‘‘ප්‍රීමා ටොන්සුරා’’ (Prima tonsura කොණ්ඩය කැපූ ආගමික උත්සවය) පැවැත්වූයේ ඔහුගේ සහෝදරයන් වන පාවුලෝ, ජොආඕ සොඩ්රේ සහ වස්කෝ ද ගාමා සමඟ සිනෙස් හි පිහිටි ඉග්‍රේජා මට්‍රිස් ඩි සාඕ සල්වදෝර් දේවස්ථානයේදීය.   


ඔහු තම මවගේ සම්ප්‍රදායන්ට වඩා පියා අනුගමනය කළේය. ඔහුගේ මවගේ පවුල (සොඩ්රෙස් - the Sodres) සිටියේ ක්‍රිස්තුස් වහන්සේගේ පිළිවෙළටය. 1481 දී පෘතුගාලයේ දෙවන ජෝන් රජු ලෙස සිංහාසනාරූඪ වූ ජෝන් කුමරු ‘‘සන්තියාගෝ සාන්තුවරයාගේ නමින් නම් කරන ලද ආගමික හා හමුදා සංවිධානයේ’’ ප්‍රධානියා විය. දෙවන ජෝන් රජු එම සංවිධානයට මහත් ඇළුම් කළ අතර, ඒ අනුව ගාමාගේ අපේක්ෂාවන් ඉහළ ගියේය.   


1492 දී පෘතුගීසි නාවික හමුදාවට එරෙහි සාමය කඩ කිරීම නිසා එයට පළිගැනීමක් ලෙස ප්‍රංශ නැව් අල්ලා ගැනීම සඳහා දෙවන ජෝන් සෙටූබල් වරායට සහ අල්ගාර්ව වෙත ‘‘ද ගාමා’’ පිටත් කර හැරියේය. ඉන් වසර කිහිපයකට පසු එනම් ක්‍රි.ව. 1497 දී ඔහුට ඉන්දියාවට යාත්‍රා කිරීමට නියම කර ඇත.   


වස්කෝ ද ගාමා සහ ඔහුගේ බිරිඳ කටරිනා ඩි අටයිඩ් හට පුතුන් හයදෙනෙක් සහ එක් දියණියක් සිටියහ.   


1. ඩොම් ෆ්‍රැන්සිස්කෝ ද ගාමා (Dom Francisco da Gama) තම පියාගේ 2 වන ‘‘නයිට්’’ පදවිය පෘතුගාලයේ විඩිගුඑයිරා (Vidigueira) නගරයේ දැරූ අතර ඒ හා සමගාමීව ‘‘ඉන්දියාවේ, අරාබියේ සහ පර්සියාවේ මුහුදුවල් වල 2 වන අද්මිරාල්’’ ලෙස කටයුතු කළේය. ඔහු පෘතුගාලයේ රැඳී සිටියේය.   


2. ඩොම් එස්ටේවව් ද ගාමා (Dom Estevao da Gama) 1524 දී ඉන්දියානු මුර සංචාරයේ ධූර කාලයෙන් පසු ඔහු වසර තුනක කාලයක් මලක්කාවේ කපිතාන්වරයෙකු ලෙස පත් කරන ලද අතර, 1534 සිට 1539 දක්වා සේවය කළේය. (ඔහුගේ බාල සොහොයුරු පාවුලෝගේ ධූර කාලය අවසන් වසර දෙකද ඇතුළුව) පසුව ඔහු 1540 සිට 1542 දක්වා ඉන්දියාවේ 11 වන ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන ලදී.   


3. ඩොම් පවුලෝ ද ගාමා (Dom Paulo da Gama) 1533 සිට 1534 දක්වා මලක්කාවේ කපිතාන්වරයෙකු වූ ඩොම් පවුලෝ ද ගාමා (ඔහුගේ මාමා වන පවුලෝට සමාන නමක් ඇති) මලක්කාවෙන් ඔබ්බෙන් වූ නාවික මෙහෙයුමකින් මිය ගියේය.   


4. ඩොම් ක්‍රිස්ටොවාඕ ද ගාමා 1538 සිට 1540 දක්වා මලක්කාවේ නායකයා වූ අතර, 1542 දී ඉතියෝපියානු අඩාල් යුද්ධයේදී අහ්මඩ් ඉබන් ඉබ්‍රාහිම් විසින් ඝාතනය කරන ලදී.   


5. ඩොම් පෙඩ්රෝ ද සිල්වා ද ගාමා 1548 සිට 1552 දක්වා මලක්කාවේ නායකයා ලෙස පත් කරන ලදී.   


6. ඩොම් අල්වාරෝ ඩි අටයිඩ් ද ගාමා 1540 ගණන් වලදී මලක්කා බළඇණියේ නායකයා ලෙසත්, 1552 සිට 1554 දක්වා මලක්කාවේම නායකයා ලෙසත් පත් කරන ලදී. 

 
7. එකම දියණිය වන ඩෝනා ඉසබෙල් ඩි අටයිඩ් ද ගාමා පළමු ලින්හර්ස් ප්‍රාන්තයේ ‘‘නයිට්’’ වරයෙකුගේ පුත් ඉග් නාෂියෝ ඩි නොරොංඤා සමඟ විවාහ විය.   


වස්කෝ ද ගාමා ගේ වංශකතාකරුවෙකු හා සමකාලීනයෙකු වන ජොආඕ ඩි බරෝස් (Joao de Barros) වැඩිහිටි වස්කෝ ද ගාමා ගැන විස්තර කළේ සාමාන්‍ය උස, තරමක් බර, විශ්වාසවන්ත, ඕනෑම අභියෝගයක් භාර ගැනීමට සූදානම් කටුක අණ දෙන දැඩි කිසියම් අසාධාරණයක් සිදුවූ විට දඬුවම් කරන, වෙහෙස මහන්සි වී වැඩ කරන සහ විශිෂ්ට ලෙස ක්‍රියාකරන මිනිසෙකු ලෙසය. වස්කෝ ද ගාමා ගැන දැන සිටි තවත් වංශකතාකරුවෙක් ඔහුව විස්තර කළේ ඉතා ස්වාධීන, උද්යෝගිමත් බිය සහ කීකරු, විචක්ෂණශීලී සහ බොහෝ විෂයයන් පිළිබඳව විශාල දැනුමක් ඇති පුද්ගලයෙකු ලෙසය.   


1524 නත්තල් දිනයේ දී ඉන්දියාවේ කෝචින් නගරයේ මැලේරියාවෙන් වස්කෝ ද ගාමා මිය ගියේය. ඔහුගේ මළ සිරුර එහි තැන්පත් කරන ලදී. 1538 දී ඔහුගේ දේහය නැවත පෘතුගාලයට යවා කපෙලා ඩි විඩිගුඑයිරා හි තැන්පත් කරන ලදී. 1880 දී ඔහුගේ සිරුර ලිස්බන් හි සුප්‍රසිද්ධ මොස්ටයිරෝ (ආරාමය) ඩොස් ජෙරෝනිමස් වෙත ගෙන යන ලදී.

 

ජයන්ත අශෝක ගමලත්ගේ   
පෘතුගාලයේ සිට...