පංචායුදයේ රහස්


ඇස්වහ කටවහ ​දෝෂ වැළැක්වීමත්, අයහපත් ග්‍රහ අපල සමනය කර ගැනීමත්, යක්ෂ භූත පිසාචයන්ගෙන් වන ගැහැට වළක්වා ගැනීමත් අරමුණු කරගෙන කුඩා දරුවන්ට පංචායුද පැලඳවීම අතීතයේ සිට මෙරට පැවැතෙන සිරිතකි.   

හක්ගෙඩිය - චක්‍රය - මුගුර - දුන්න කඩුව යන ආයුධ පහක් සංකේත කරන ලද ලෝහ තැල්ලකට පංචායුදය (ආයුධ පහ) යන නම භාවිත කෙරේ.   


වර්තමානයේ මෙන් නවීන අවි ආයුධ නොවූ අතීතයේ ඉහත සඳහන් ආයුධ සොර සතුරන්ගෙන් ආරක්ෂාවීම සඳහා වැදගත් විය. මෙම අවි පිළිබඳ සංකේත පැලඳීමෙන් පවා ආරක්ෂාව සැලසෙන බව අපේ පැරණි අයගේ විශ්වාසය විය.   


ඇතැම් වැඩිහිටියන් පංචායුදය පලඳවනුයේ පිරිමි ළමුන්ට පමණි. තවත් බොහෝ දෙනා මෙය පලඳවනු ලබන්නේ ඉඳුල් කටගාන දිනයේය. තවත් සමහරු ළදරුවන් උපත ලබා දින පහක් ගතවූ පසුව පංචායුදය පලඳවති.   
බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පංචායුද කුමාරයාගේ කතාව අනුව පංචායුද පැලඳවීම ව්‍යවහාරයට එන්නට ඇතැයි විශ්වාස කළ හැකිය.   


ඈත අතීතයේ සිට පංචායුද නමැති කුමාරයෙක් දුර බැහැර ගොස් ශිල්ප ශාස්ත්‍ර හදාරා ආපසු ගමට යාමට පිටත් විය. ඔහු යායුතු මාර්ගය මහ වනයක් මැදින් විය. අතර මගදී විඩා දැනීම නිසා කුමරු විශාල ගසක් යට නැවතී ගිමන් හැරියේය. ගමන් වෙහෙස වැඩි නිසාදෝ නොදැනුම්වත්වම කුමාරයාට නින්ද ගියේය. ඒ අවස්ථාවේ එම ගසට අධිපති බලවත් යක්ෂයා ගසින් බැස කුමාරයා දෙසට කඩා පනිත්ම කුමාරයා අවදි විය.   


බලාපොරොත්තු රහිත විපත්ති දායක අවස්ථාවකම මුහුණ පෑවද ඔහු සතුව තිබූ එඩිතර බවත් තේජවත් බවත් නිසා කුමාරයා බිය නොවීය. ඒ සඳහා උපායක් කල්පනා කළේය. අවසාන වශයෙන් තමා මරා කෑමට පෙර තමාගේ කතාවට සවන් දෙන ලෙස යක්ෂයාගෙන් ඉල්ලා සිටි බව කියැවෙයි. අනතුරුව කුමරුගේ නම කුමක්දැයි යක්ෂයා විමසීය.   


තමාගේ නම පංචායුද කුමාරයා බවත් ඉහත කී පංචායුද සියල්ල තම ශරීර ගතවී ඇති බවත් කීය. යම්කිසි අයුරකින් යක්ෂයා තමා මරා කෑවොත් යක්ෂයාගේ බඩ එම ආයුධ වලින් කැපී ගොස් යක්ෂයා ද මරණයට පත්වන බව කුමරු එඩිතර ලීලාවෙන් පැවැසීය.   


මෙය අසා සිටි යක්ෂයා බියෙන් තැතිගෙන කුමාරයාට වැඳ පලාගිය බව සඳහන් වෙයි. කුමාරයා සතු ස්ථානෝචිත ප්‍රඥාවත්, එඩිතර කමත් තේජාන්විත බවත් මින් හොඳින් ප්‍රත්‍යක්ෂ වන බව පැහැදිලි වෙයි.   
කුමාරයා යක්ෂයාගෙන් ආරක්ෂා වූයේ ඉහත සඳහන් පංචායුද දරමින් සිටි බව යක්ෂයාට ඒත්තු ගැන්වීමෙනි. එයින් පසුව ආරක්ෂාව සඳහා කුඩා ළමයින්ට පංචායුද පැලඳවීම චාරිත්‍රයක් බවට පත්ව ඇතැයි විශ්වාස කළ හැකිය.   


අතීතයේ ඉන්දියාවේ සංචාරක ගෝත්‍රිකයන් තම ශක්තිය උරගා බැලීමට ද මෙම අවි පාවිච්චි කළ බව සඳහන් වෙයි. හින්දුන්ගේ පූජනීය ග්‍රන්ථයක් වන භගවත් ගීතාවේ සඳහන් වනුයේ යුද බිමේ මියයන වීර සෙබළු දෙවියන් බවට පත්ව තම ගෝත්‍රිකයන්ට උපකාර කරන බවකි. එම නිසා දේව රූප නිර්මාණ කිරීමේ දී මෙම යුද ආයුධ සමග දෙවියන් සිටින බව පෙන්වීමට ඔවුහු ක්‍රියා කළහ.   


ඒ අනුව පංචායුදයට අයත් ආයුධ දෙවියන් වෙනුවෙන්ද වෙන් කිරීමට හින්දු බැතිමත්හු පුරාණයේදී කටයුතු කළහ. ඉන්දු දුර්ගා කාලි යුදයට අධිපති දෙවිවරුන් ලෙස ජනතාවට සැලකූහ.   


සූරයින් හා අසුරයින් අතර යුද්ධයේදී ශිව දෙවියන්ගේ පාර්ශ්වය සමගියට උත්සාහ දරන විට කෝපයට පත් පාර්වතී දේවියගේ හිසෙන් පැන නැගි දුර්ගා කාලි යක්ෂ අවතාරය සිංහ වහනාරූඩව යුද බිමට ගොස් මහිස අසුරයා විනාශ කර දැම්මේය.   


​දේව පුරාණයට අනුව දුර්ගා කාලිට අත් අටළොසකි. දුනු හී පාරාවළලු, ත්‍රිශුල වේලායුධ වැනි බියකරු අවි ඇය අත දරා සිටින්නීය. ඉන්ද්‍ර දෙවියන් අත වජ්‍රායුදයකි. විෂ්ණු දෙවියන් අත පාරාවලල්ලකි. ශිව දෙවියන් අත තිශුලවි නම් අවියකි. යුද්ධයට අධිපති කන්දකුමාර දෙවියන් අතද කඩු දුනු ත්‍රිශුල වේලායුධ වැනි අවිය.   


සූනියන් විභීෂණ කතරගම කාලි දුර්ගා යන දෙවිවරු කඩු දරති. විෂ්ණු ස්කන්ද දුර්ගාකාලි අත තිබෙන සක්ගෙඩිය ද යුද බිමට අවශ්‍ය උපකරණයක් විය. ගැමුණු එළාර යුද්ධයේ දී ඵුස්සදේව යෝධයා එය පාවිච්චි කළේය. සක්ගෙඩිය අද දේව පූජාවල දී සංගීත භාණ්ඩයක් ලෙස සැලකුව ද එදා යුද බිමේ ජය හැඟවීමට භාවිත කළේය. දේව පූජාවලදී භාවිත කරන තම්මැට්ටම, බෙර, හේවිසි ද පැරණි යුද බිමේ අත්‍යවශ්‍ය භාණ්ඩ විය. යුදයට කැඳවීම විධාන දීම සඳහා ඒවා භාවිත විය.   


ශිව සූනියම් යන දෙවිවරුන්ගේ රූපවල ගිනි කබලක්ද අතින් ගෙන තිබෙනු දක්නට ලැබේ. සතුරන්ට අයත් දේපොළ ගිනි තැබීමට යුද්ධයේදී ගින්දර අවශ්‍ය විය. අද මෙන් එදා ගින්දර පහසුවෙන් සපයාගත නොහැකි විය. එම නිසා ගිනි කබල අවශ්‍ය වූවා විය හැකිය.   


උරගයන් ගෙන් ගත සරසා ගැනීම ද සතුරන් බිය ගැන්වීමේ උපක්‍රමයක් වූවාට සැක නැත. විෂ්ණු ශිව සූනියම් යන දෙවිවරු නාගයන් පැලඳ ඇත්තේද මේ නිසා විය යුතුය.   


පේන කියන අය දේවාරූඪය සඳහා ප්‍රලයවීමේ දී කඩුව, ත්‍රිශුලය, වේවැල, වේලායුධය වැනි අවි අතට ගන්නා බව අප නිතර දැක ඇත. දේව රූප වෙනුවට දේවාභරණ පිදීම මෙරට තවමත් පවතින සිරිතකි. 

 
යකුන් ප්‍රලය කිරීමට ඇදුරන් තණන ඊගහ ද ත්‍රිශූලය අනුගමනය කිරීමකි. මෙරට ඇදුරන් භාවිත කරන යන්ත්‍ර සටහන්වල මුළුවල ත්‍රිශුල සටහන යොදා ඇති බව දක්නට ලැබේ. එය ද ආරක්ෂක උපක්‍රමයක් වනු ඇත.   


මෙසේ මුල්බැසගත් විශ්වාසයන් නිසා දරුවන්ගේ ආරක්ෂාව සඳහා පංචායුදය (ආයුධ පහ) ආභරණයක් ලෙස පැලඳ වීමට වැඩිහිටියන් පෙළඹී ඇතැයි විශ්වාස කළ හැකිය.   

 

 

 

 


සටහන   
ගම්පහ අබේසේන හේරත්