නිවස වාස්තු විද්‍යානුකූල විය යුත්තේ ඇයි ?


නිවස යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ අප සෑම කෙනෙකුටම සැප, නිරෝගීබව, ආයු බල හා සතුට පෙරදැරි කරගෙන ජීවත්වීමට සුදුසු ස්ථානයයි. මිනිසාගේ බුද්ධි වර්ධනය මෙන්ම ගංගා ඇළ දොළ ආශ්‍රිතව තිබූ සම්පත් උපයෝගී කර ගනිමින් අව්වෙන් වැස්සෙන් ආරක්ෂාවී දිවා - රාත්‍රි ජීවත්වීම පිණිස නි​ෙවස තැනීම ආරම්භ කරන ලදී. මෙහි අවසාන ඉලක්කය වූයේ විශ්ව ශක්තීන් මිනිසාට හිතකර අයුරින් හඳුනාගනිමින් ඒවායේ උපරිම ඵල නෙළා ගැනෙන ආකාරයට තම නිවස ඉදිකර ගැනීමයි.   


ඒ අනුව සිරිත් විරිත් සම්ප්‍රදායන් ලෙස භාවිතයට විත් පසුව රීතීන් මාලාවක් ඔස්සේ වර්ධනය වන විද්‍යාවක් බවට පරිවර්තනය වී ව්‍යාප්ත වන්නට විය. විශ්වයේ පවතින ග්‍රහ වස්තූන් සැලකිල්ලට ගනිමින් පුරාණ ඍෂිවරයන් විසින් මිනිසාට යහපත් ලෙස ජීවත්වීමට ඉවහල් වන සියලු අංගෝපාංග (නිවාස, ළිං, මංමාවත්) කිසියම් රිතීන් මාලාවක් ඔස්සේ කළ යුතු ආකාරයට වාස්තු විද්‍යාව මගින් පෙන්වා දී ඇත. ඒ අනුව මිනිසා විසින් වාස්තු ශිල්පමය ක්‍රම පිළිබඳව නැඹුරුවක් දක්වමින් තම වාසස්ථාන තනාගැනීම ආරම්භ කරන ලදී. 
නිවසක් සෑදීම සඳහා භූමියක් තෝරා ගන්නා තැන සිටම අප ඉතා කල්පනාකාරී විය යුතුය. මෙහිදී ඉඩමේ පිහිටීම, ඉඩමේ හැඩය, ඉඩමේ ඇති පස වැනි දෑ පිළිබඳව අවධානය යොමු කළ යුතුය. ඉඩමක උතුර නැගෙනහිර දිශාවන් පහත්ව තිබීමත් දකුණ බටහිර දිශාව උස්ව තිබීමත් යහපත්ය. උතුරු නැගෙනහිර දිශාවන් පහත්ව තිබීම ධනාත්මක ශක්තීන් පාලනයට යහපත් වේ.


උතුරින් හා නැගෙනහිරින් ධන ශක්තීන් ලැබෙන අතර ඊට මැදි වූ ඊසානයෙන් ධන ශක්ති දෙගුණ වී ලැබේ. එයට විරුද්ධවූ නිරිත පෙදෙසේ පවතින්නේ ඍණාත්මක ශක්තීන්ය. එම දිශාවන්ට අයත් මෙම ශක්ති පදාර්ථයන් නිවැරැදිව තේරුම් ගැනීම තුළින් වාස්තු විද්‍යානුකූල නිවසක් සැලසුම් කළ හැකිවේ. 


මේ අතර අප ඉඩමක පාද ගැන කථා කරමු. සෑම ඉඩමකම ප්‍රේත පාද, ​දේව පාද, මනුෂ්‍ය පාද, බ්‍රහ්ම පාද යනුවෙන් කොටස් 4 කට බෙදා දක්වයි. මෙමගින් නිවසක් තනා ගැනීමේදී ප්‍රේත පාදය ඉවත් කළ යුතු වන්නේ අනාරක්ෂිත බව නිසාය. වැට මායිමක් අසල නිවසක් ඉදිකිරීම තුළින් ආරවුල්, අපිරිසිදුකම, අනතුරු ආදී දේ ඇතිවන්නට ඉඩ​ තිබේ. මේ නිසා ප්‍රේත පාදය නිවාස ඉදිකිරීමේදී අත්හල යුතුවේ. 


මිනිසාගේ හදවත බඳු වූ ඉඩමේ බ්‍රහ්ම පාදය අපිරිසිදු නොකොට තැබිය යුතුය. ඉඩමේ බ්‍රහ්ම පාදය ඉතා වැදගත් වේ. නිවස මත බ්‍රහ්ම පාදය පෑගීම සුදුසු නොවේ. බ්‍රහ්ම පාදයක් බිත්තියක් මතට වැටීමද සුදුසු නොවේ. එමගින් බිත්තියෙහි සවි ශක්තිය නැතිව යයි. 


විශ්ව ශක්තිය නිවස තුළට ගලා එන්නේ බ්‍රහ්ම පාදය පිහිටි ස්ථානයටයි. නිවස පුරා එම ශක්තිය විසිරී යන්නේ ඉන් පසුවයි. නිවසෙක ගිනි කතුරට අසුවන ලෙස නිවසේ කුමන හෝ උප කොටසකට දොර තබා භාවිතා කරන්නේ නම් එම කොටස පාළුවට යන අතර යම් හෙයකින් භාවිත කරන්නේ නම් භාවිතා කරන අයට අනේක විධ නීතිමය ප්‍රශ්නවලට මුහුණ පාන්නට සිදුවන අතර එසේ නැතහොත් නිතර කේන්ති ඒම, නුරුස්නා ගති මෙන්ම අනේකවිධ ව්‍යාකූලතා ඇතිවේ. 


නිවසක් සම චතුරස්‍රාකාර නොවන පරිදි දිග පළල නියමිත පරිදි යොදාගෙන පාද බෙදා වර්ගඵලය ගණිතමය ක්‍රම අනුව සකස් කරන්නේ නිවසක අන්තිවාරම් බිත්ති මෙන්ම වහළ ස්වභාවික උවදුරු, අව්වැසි, සොර සතුරු මෙන්ම තිරිසන් සතුන්ගේද උපද්‍රවවලින් තොරව ගොඩනගා ගැනීමටය. ඒ අනුව වාස්තු පුරුෂ සංකල්පය කරුණු 3 ක් පිළිබඳ සලකා බැලේ. 


1. සමබරතාවය 
2. සමතුලිතතාවය 
3. අංගසම්පූර්ණත්වය 


සමබරතාව යනු නිවසේ බර​ භෞතික පොළොව මත යොදන වර්ගඵලයට සෑම තැනින්ම සමාන තෙ​රපීමක් හෙවත් පීඩනයක් ඇතිවන පරිදි ස්ථානගත කිරීමයි. ඒසේ සමබර නොවූ විට බිත්ති පිපිරීම ගිලා බැසීම, ඇළවීම, යන​ භෞතික අයහපත් තත්ත්ව ඇති වන අතරම යක්‍ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ, පිසාච ආදී ශක්තීන්ද අසමබර පද්ධති තුළ වාසයට ප්‍රිය බැවින් ඔවුන්ද ස්ථානගතවීමේ ඉඩකඩ වැඩිවේ. 


සමබර පද්ධතියක ශක්ති සම්ප්‍රේෂණය සමතුලිතතාවයයි. තෙරපීම අඩු වැඩි වශයෙන් පවතින විට සම්ප්‍රේෂණයද අසමතුලිත වේ. ඉහත කී අයහපත් ශක්තීන්ගේ බලපෑම් නිරන්තරයෙන්ම නිවසට එල්ල වේ. 


අංගසම්පූර්ණත්වය සම්බන්ධයෙන් කතා කරන විට දෝෂ වර්ග 4 ක් පිළිබඳ පෙන්වා දිය හැකි. මෙය පොරෝ තල හැඩ ලෙස සමාජ ගතවී ඇත. 


වාස්තු පුරුෂ සංකල්පයට අනුව නිවසේ ඊසාන, ගිනිකොන, නිරිත සහ වයඹ යන කොන් සතර අඩුවීමෙන් නිර්මාණය වන මෙම පොරෝ හැඩතල නි​වාසවල දෝෂකාරී තත්ත්ව මතුවන බව පෙනේ. මේ නිසා නිවසක අංගසම්පූර්ණත්වයද වැදගත් වේ. 


නිවසක කාමර හරි හතරැස් වීමද අශුභදායක වේ. එමගින් වාසය කරන්නන් තුළ නිතර​ කේන්ති පැමිණීමේ තත්ත්වයන් වර්ධනය වේ. එකිනෙකා නුරුස්නා ස්වභාවයක් වර්ධනය වේ. නිවසක එක් පැත්තක් පමණක් කාමර පිහිටුවීම දෝෂ සහිතයි. නි​ෙවසේ සමබරතාව නැතිව යන අතර එනිසාම සමතුලිතතාවද බිඳ වැටේ. මෙවැනි නිවාසවල කරන කියන දේවල සමබරතාව හා සමතුලිතතාව නොරැකේ. නිවසක් සත්‍ය වශයෙන්ම පවුලක් සංකේතවත් කරයි. මුදුන් බිත්ති, යට ලී, ප්‍රධාන උළුවස්ස, ගිනි කතිරය. මේ සියල්ල නිසි අයුරින් සකස් විය යුතුය. ගෘහයක් තුළද ගෘහ මූලික ශක්තිමත් නොවී සිටියහොත් පවුලේ ගරා වැටීම සහතිකය. පවුලක වුවත් යුතුකම්, වගකීම්, අයිතිවාසිකම්, සීමා බන්ධන සෑම දෙයක්ම සොබා දහමට අනුව පිහිටුවිය යුතුය. 


නිවසක ඒකාදශ පොරොන්දම් බැලීමෙන් නිවසක් අනාගතය සඳහා පිහිටුවන්නේ ඒ නිසාවෙනි. එම නිවස ජීවිත කිහිපයක සෙවණක් ආරක්ෂාවත්, සමෘද්ධියත් සහ පවුල් ඒකකයක මූලික පැවැත්මත් නිසාය. නිවසකටද අයවැය පොරොන්දම, ආයුෂ පොරොන්දම ඇත්තේද එබැවිනි. මිනිසා මහ පොළව මත ඉපිද වාසයකොට වැළලෙන හෙයින් දෙ‌ා්ෂ විෂමතාවන් ගහන බිමක ජීවත් වේ. මේ නිසා නිවාස තැනීමේදී ඉතාම සුපරීක්ෂාකාරී විය යුතුය. වාස්තු විදයා ගුණාංග රකිමින් ඉදිකරන නිවස සම්පතක් වන්නේ ඒ නිසාය. 
නිවසක් තැනීමේදී ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යා හා පාරම්පරික මත පිළිබඳ අප සැලකිල්ලක් දක්වන්නේ ඒ තුළ කිසියම් ගුප්තමය ​හෝ හරවත් යමක් පියවි ඇසින් නොදකින නොපෙනෙන යමක් අත්පත් කරන නිසාවෙනි. 


මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී අපට හැඟී යන්නේ වාස්තු විද්‍යාව හුදෙක් විශ්වාසය මත පදනම්වූවක් නොවන අතර ඒවායේ සැලකිය යුතු අන්දමක විද්‍යාත්මක පසුබිමක්ද තිබෙන බවයි. 

 

 


ජ්‍යොත්ෂවේදී / වාස්තුවේදී 
තුෂාර වික්‍රමසිංහ 
317, දාගොන්න (වැව පාර) මීගමුව.