දළදා හිමිට පෙර පාත්‍රා ධාතුව සෙංකඩගලට ලැබුණේ කෙසේද?


ගැමි රසවිත

 

අනුරාධපුර කල පටන්ම පාත්‍රා ධාතුව දළදා මැදුරේම තබා වන්දනාමාන කළ අතර රජමැදුර අසලම දළදා මැදුර තනා දළදා පාත්‍ර රැක ගැනීම සිංහල රාජ චාරිත්‍රය විය. රජකමට අයිතිය කියාපෑමට දළදා හිමි හා පාත්‍රා ධාතුව රජු සතුවිය යුතුය. ගම්පල බිඳවැටී කෝට්ටේ හා ඉන්පසු සීතාවක අගනුවර වන විට අපට දළදා හිමි පමණක් විනා පාත්‍රා ධාතුව ගැන තොරතුරු හමුනොවෙයි. කෝට්ටේ හයවැනි බුවනෙකබාහු රජු කල (ක්‍රි.ව. 1470-1478) අන්තිම වරට පාත්‍රා ධාතුව ගැන ශිලා ලිපියක සඳහන් වෙයි. දළදා මැදුරේම තබා වන්දනා මාන කළ පාත්‍රා ධාතුවට මින් පෙර ​හෝ සමකාලීනව කුමක් සිදුවී දැයි පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණයි.  


පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි අදහස් කරනුයේ චන්ද්‍රභානුගේ දඹදෙණි කල ලංකා ආක්‍රමණයට පසු පාත්‍රා ධාතුව චීනයට ගෙන ගිය බවයි. පාණ්ඩ්‍යයන් පැහැර ගෙන ගිය දළදාව හා පාත්‍රා ධාතුව තුන්වැනි පරාක්‍රමබාහු රජු යළි පාණ්ඩ්‍ය රටට ගොස් ඉල්ලා ගෙන ලංකාවට ගෙනා බව චූලවංශය කියයි. පාත්‍රා ධාතුව දහසය වැනි සියවස මැද සෙංකඩගල ප්‍රාදේශීය රජුන්ට ලැබී සෙංකඩගල රජමැදුර අසල දාගැබක නිදන් කළ බව චූලවංශය හා රාජරත්නාකරය කියයි. ඒ රාජරත්නාකරයේ වීරවික්‍රම හා චූලවංශයේ වීරපරාක්‍රම ලෙස ඉතා උත්කර්ෂයෙන් වර්ණනා කරන සෙංකඩගල ආරම්භකයා ලෙස ජනප්‍රවාද හා වංශකතා කියන රජු කල සිදු විය.  


පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් පළ කළ ලංකා ඉතිහාසය දෙවැනි වෙළුම ඉංග්‍රීසි ග්‍රන්ථයේ දී ටිකිරි අබේසිංහ පෙන්වා දෙන පරිදි වංශකතා කියන වීරවික්‍රම හා වීර පරාක්‍රම යනු ජනප්‍රවාදවල හා ඓතිහාසික වෘතාන්ත අනුව සෙංකඩගල ගොඩනැගූ සේනාසම්මත වික්‍රමබාහු වන අතර ඔහු ක්‍රි.ව. 1474-1511 දක්වා අවුරුදු 37 සෙංකඩගල රජ කර ඇත. රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ 32 කලාපයට ලිපියක් සපයන කොඩ්රින්ටන් කොබ්බෑකඩුව ගල්ගනේ හා වන්නිපොල යන සන්නස් තුන මේ සේනාසම්මත වික්‍රමබාහු රජු දී ඇති බව කියයි.  


එපිග්‍රාපියා සෙයිලනිකා සංග්‍රහයේ 4 කාණ්ඩයේ දී කොඩ්රින්ටන් කරුණු දක්වමින් ගඩලාදෙණිය හා අලුත්නුවර ශිලා ලිපි දෙකද සෙංකඩගල ආරම්භකයා වූ සේනාසම්මත වික්‍රමාබුහු පිහිටුවා අති අතර වංශකතාවල එන වීරවික්‍රම ඔහු බව කියයි. සේනාසම්මත නම අනුව ඔහු හමුදාවේ උදව් ඇතිව බලයට පත්වූ බව පෙනී යයි යැයි පරණවිතාන මහතා කියයි. සේනාසම්මත වික්‍රමබාහු හා වීරවික්‍රම එක් අයෙකු වීමට ඉඩ ඇති අතර ඒ සැක කිරීමටද හැකි බව ලිපිමාලා ග්‍රන්ථයේ දී මහාචාර්ය පරණවිතාන කියයි. සෙංකඩගල අගනුවර වූයේ සීතාවක රාජසිංහ රජු පරදවා පළමු විමලධර්මසූරිය රජු ක්‍රි.ව. 1592-1604) උඩරට 1592 රජවීමෙනි. සීතාවක දෙල්ගමුවේ තිබූ දළදා හිමි හිරිපිටියේ දිව නිලමේ, දෙවනගල රත්නාලංකාර හිමි, ඇල්ලේපොල මංගල හිමි, ගලඋඩ හිමි මූලිකව 1592 සෙංකඩගලට වැඩම විය. දළදා පුවත නමැති සමකාලීන කවිපොත අනුව පළමු විමලධර්මසූරිය රජු ඇමතීන් පිරිවරා අම්පිටියට ගොස් දළදා හිමි පිළිගෙන දළදා මැදුර නිම වනතුරු පළමුව අස්ගිරි ගෙඩිගේ විහාරය හා ඉන්පසු රජමැදුරේම සඳ දක්නා ගේ නම් මැදුරේ තබා පිදුවේය. ඒ වැඩම වූයේ 1592 දළදා හිමි පමණය. පළමු විමලධර්මසූරිය රජු එසේ වැඩම වූ දළදා හිමිට පළමුව දෙමහල් දළදා මැදුරක් කළ බව චූලවංශය කියන අතර පසුව ඒ රජු තුන්මහල් දළදා මැදුරක් කළ බව දළදා පුවත හා සිංහල දළදා වංශය කියයි.  


සෙංකඩගල අගනුවර වීමෙන් පසු වැඩම වන ලද්දේ දෙල්ගමුවේ වැඩ සිටි දළදා හිමි පමණකි. 1592 වර්ෂයට පෙරාතුව පාත්‍රා ධාතුව සෙංකඩගලට ලැබුණු බව පෙනෙයි. ඒ ගම්පල අග කාලයේ ගම්පල රාජ්‍ය බලය අභිබවා සෙනෙවිවරුන් බලවත් වූ කාලයේ විය හැක. මුල්කල සේනාධිලංකාර ඉන්පසු අලගත්කෝණාර පෙළපත රජවරුන්ට වඩා ප්‍රබල විය. ගම්පල අග කල වන විට සෙංකඩගල ඇළ සාමන්ත රජ පරපුරක් සිටි බව දුම්බර විත්ති පොත අස්ගිරි තල්පත අස්ගිරි උපත කියයි. ගම්පල අග කල පාත්‍රා ධාතුව නොලැබුණා නම් ධර්මපාල රජු 1557 බෞතීස්ම වීමට පෙර කෝට්ටේ පෘතුගීසි බලපෑම් වැඩි වන විට හිරිපිටියේ දිව නිලමේ තුළ හෝ එයට පෙර පාත්‍රා ධාතුව සෙංකඩගල රජුන්ට ලැබුණා විය යුතුය.  


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පල කළ ලංකා ඉතිහාසය දෙවැනි වෙලුම ඉංග්‍රීසි ග්‍රන්ථය අනුව සේනාසම්මත වික්‍රමබාහු රජු පසු උඩරට ජයවීර ක්‍රි.ව. 1511-1551 කරල්ලියද්දේ ක්‍රි.ව. 1551-1582 පසු උඩරට සීතාවකට යටත් විය. අස්ගිරි තල්පත අනුව සේනාසම්මත වික්‍රමබාහු ක්‍රි.ව. 1463-1483 රජුට පසු පළමු ජයවීර, තුනයම, දෙවැනි ජයවීර, වීර වික්‍රමබාහු කරල්ලියද්දේ ක්‍රි.ව. 1551-1551 රජුට පසු උඩරට සීතාවක ම රජ විය. ඒ කාලය තුළ රජවරුන් හය දෙනෙකු සිටි බව අස්ගිරි තල්පත කියයි. උඩරට සේනාසම්මත වික්‍රමබාහු හෙවත් වීරවික්‍රම රජු රජමැදුරට නුදුරු දා ගැබක පාත්‍රා ධාතුව තැන්පත් කළ බව චූලවංශය කියයි. ඒ දාගැබ පෝයමළු විහාර දාගැබ නැත්නම් මහනුවර නාථ දේවාල දාගැබ විය යුතුය. ඒ දාගැබ් දෙකේම ශෛලීය උස මහත සමානය. නාථ දේවාල දාගැබේ ඇති බව සිතීම වඩා සාධාරණය. ඒ රජමැදුරට වඩා ළඟ බැවිනි. බෞද්ධ විශ්වාසයද මහනුවර නාථ දේවාල දාගැබේ පාත්‍රා ධාතුව ඇති බවයි.  

 

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ 
එස්.කේ. ජයවර්ධන