ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ගිනි සිළුව


 

ලොව ජනප්‍රිය ක්‍රීඩා අතර කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩාවටද හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. සමතුලිත බව, ශක්තිය, නම්‍යශීලීතාව, ශීඝ්‍රතාව, දරාගැනීමේ ශක්තිය සහ දැඩි සංයමයක් අවශ්‍ය ක්‍රීඩාවක් වන  ජිම්නාස්ටික් ක්‍රීඩාවට දරු දැරියන් යොමුවන්නේ ළමා වියේ සිටය. ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ලොව ජයගත් ක්‍රීඩිකාවෝ විශාල පිරිසක් සිටිති. වර්තමානයේ ලොව අංක එකේ ජිම්නාස්ටික් ක්‍රීඩිකාව ලෙස ප්‍රකටව සිටින්නී රුසියාවේ ආලියා ෆාර්ගතොව්නා මුස්තාෆිනාය. 2010 වසරේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ සියලු අංශවලින් ලෝක ශූරිය ලෙසද, 2012 සහ 2016 වසරේ අසමතුලිත පෝල අංශයෙන් ඔලිම්පික් රන් පදක්කම් දිනූ ඇය ඔලිම්පික් පදක්කම් 7කට හිමිකම් කියන්නීය. 2012 ගිම්හාන ඔලිම්පික් තරගාවලියේ පදක්කම් හතරක් දිනූ ඇය එම තරගාවලියේ ඉතා වර්ණවත් ඉදිරිපත් කිරිම කළ ක්‍රීඩිකාව වශයෙන්ද ආකර්ෂණය දිනා ගැනීමට සමත් වූවාය. 

 

2016 ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී ඔලිම්පික් තරගාවලි දෙකකදී නොකඩවා දෙවරක් සියලුම අංශවලින් ඔලිම්පික් පදක්කම් දිනාගත් එකම ක්‍රීඩිකාව බවට පත් වූයේ ආලියාය.


ආලියා මුස්තාෆිනා සැප්තැම්බර් 30 වැනිදා රුසියාවේ යෙගොරියෙව්ස්ක්හිදී උපත ලැබුවාය. ඇයගේ පියා ෆර්හාත් මුස්තාෆින්ය. ඔහු වොල්ගාවේ යූරල් කලාපයේ ටාටර් ජාතිකයෙකි. 1976 ගිම්හාන ඔලිම්පික් තරගාවලියේදී මල්ලවපොර ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම දිනා ගන්නා ලද්දේ ෆර්හාත් විසිනි. මව භෞතික විද්‍යා ගුරුවරියක වන යෙලේනා මුස්තාෆිනාය. ආලියාට එක් සොහොයුරියක සිටී. ඇය නයිල්යාය. නයිල්යා රුසියානු කණිෂ්ඨ ජිම්නාස්ටික් කණ්ඩායමේ සමාජිකාවක වශයෙන් කටයුතු කළ ක්‍රීඩිකාවකි.


ආලියාගේ ක්‍රීඩා විලාසය දුටුවන් මන්මත් කරන්නකි. විශේෂයෙන් අසමතුලිත පෝල මත ඇය පාන හරඹය නරඹන්නන් මවිත කරවනසුලුය. ඇයගේ ලාලිත්‍යය සහ තැන්පත්කමට ප්‍රේක්ෂකයෝ ආදරය කරති. කිලෝ ග්‍රෑම් 48ක් බරැති, අඩි 5 අඟල් 4ක් උසැති ආලියාගේ මුහුණේ සෑම මොහොතකම ඇත්තේ මන්දස්මිතයකි. විවිත්‍රවත් සරඹ ක්‍රීඩා ඉසව්වලදී ඇයගේ ඉරියව් බලා සිටින්නට ප්‍රියය. විදුලියක වේගයෙන් ඇය පිනුම් ගසන්නීය. ජීම්නාස්ටික් ක්‍රීඩාවේ කාන්තාවන් සඳහා ඉසව් හතරක් තිබේ. සරඹ ක්‍රීඩා, සමාන්තර දණ්ඩ, අසමතුලිත පෝල සහ පිමි එම ඉසව්ය. මේ සියලු ඉසව්වලින් ඇය තම හැකියාව ප්‍රකට කර තිබේ. ආලියා ජිම්නාස්ටික් ක්‍රීඩාවට අවතීර්ණ වූයේ හය හැවිරිදි දැරියක ලෙසිනි. ඇගේ මව්පියන්ගේ මග පෙන්වීම යටතේ ක්‍රීඩාවට එක් වු ආලියා මේ වන විට ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ගිනි සිළුව බවට පත් වී හමාරය.


මුස්ති, අල්කා යන සුරතල් නම්වලින් හඳුන්වන ආලියාගේ පළමු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලිය වූයේ 2007 මොන්ට්‍රියල්හි පැවැති ජාත්‍යන්තර ජිම්නික්ස් තරගාවලියයි. එහිදී ලකුණු 58.825ක් ලබා ගත් ඇය සමස්ත තරගවලින් දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වූවාය. ඉන් මසකට පසු කියුහි පැවැති ස්ටෙලා සකරෝවා ශූරතාවලියේදීද සියලු අංශවලින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට ඇයට හැකි විය. 2007 සැප්තැම්බරයේ ජපානයේ යොකෝහාමා ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලියේ අංශ හතරෙන්ම ලකුණු 59.88ක් ලබා දෙවැනි ස්ථානයට පත් වූවාය. ඇය ජාතික කණ්ඩායමට එක්වූයේ 2007 වසරේය.


2008 ප්‍රංශයේ පැවැති යුරෝපා කාන්තා ජිම්නාස්ටික් තරගාවලියට සහභාගී වූ ඇය රිදී පදක්කමට හිමිකම් කීවාය. 2009 සහ 2010 වසරවල දේශීය සහ ජාත්‍යන්තර තරග රැසකට සහභාගී වූ ආලියා එම තරග වැඩි සංඛ්‍යාවක් ජය ගැනීමට සමත් වූවාය. 2010 බර්මින්හැම්හි පැවැති යුරෝපා කුසලාන ජිම්නාස්ටික් තරගාවලියේදී සියලු අංශ ජයගනිමින් කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ඇයට හැකි විය. 2010 ඔක්තෝබරයේ රොටර්ඩෑම්හි පැවැති ලෝක සෞන්දර්යාත්මක ජිම්නාස්ටික් ශූරතාවලියේදී ප්‍රථම වරට සියලු ඉරියව් අවසාන සහ ප්‍රධාන අංශ 4 අවසාන වටවලට සුදුසුකම් ලැබීමට ඇයට හැකි විය. 1996 පසු එවැනි දස්කමක් කරන ලද පළමු ක්‍රීඩිකාව ඇය වුවාය. එහිදී ඇය ඒකල අංශයේ සියලු තරග ජයගනු ලැබුවේ ලකුණු 61.032ක් ලබා ගනිමිනි. එම තරගාවලියේදී රන් පදක්කම් පහක් දිනූ ඇය එතෙක් පිරිමි හෝ කාන්තා හෝ ජිම්නාස්ටික් ක්‍රීඩකයකු ලබා ගත් ඉහළම පදක්කම් සංඛ්‍යාව දිනු ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට එක් වූවාය. එම වසරේ නොවැම්බරයේ ඉතාලි ජිම්නාස්ටික් ගෝන් ෆ්‍රී තරගාවලියේදී සමාන්තර දණ්ඩ අංශයෙන් පළමු ස්ථානයට පත් වූවාය.


2011 ෆ්ලොරිඩාහි පැවැති ඇමෙරිකානු කුසලාන තරගාවලියේදී ඇයට දෙවැනි ස්ථානයට පත් වූ අතර බර්ලිනයේ පැවැති යුරෝපා තරගාවලියේ පුහුණු තරගවලින් ප්‍රථම ස්ථානය දිනා අවසන් වටයට සුදුසුකම් ලැබුවාය. එහෙත් තරගය අතරතුරකට භාජනය වූ ඇයට ශල්‍යකර්මයකට බඳුන් වීමට සිදු විය.


2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේදී අසමතුලිත පෝල අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට ඇය සමත් වූයේ වසර 12ක් පුරා කිසිදු රන්පදක්කමක් දිනා ගත නොහැකි වූ රුසියාවට එම අවස්ථාව හිමි කර දෙමිනි. ඇයගේ විශිෂ්ටත්වය අගය කළ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ක්‍රෙම්ලින් මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදී ‘ඕඩර් ඔෆ් ෆ්‍රෙන්ඩ්ෂිප්’ නමැති විශේෂ සම්මානයෙන් ඇය පිදුවේය. එම වසරේ දෙසැම්බරයේ ජර්මනියේ ස්ටුට්ගාඩ්හි පැවැති ලෝක ජිම්නාස්ටික් තරගාවලිය අවසන් වූයේ රුසියානු කණ්ඩායමට රන් පදක්කම උරුම කර දෙමිනි.


2013 කසාන්හි පැවැති ගිම්හාන යුනිවර්ස්ඒඩ් ශූරතාවලියේදී ඇය උණ රෝගයෙන් පීඩාවට පත්ව රෝහල් ගත කිරිම මත  තරගාවලියට සහභාගීවිම අවිනිශ්චිත විය. එහෙත් ඇය කෙසේ හෝ තරගාවලියට සහභාගී වූ අතර සරඹ, කරණම්, අසමතුලිත පෝල සමාන්තර දණ්ඩ යන අංශවලින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුවාය. සමස්ත ඉරියව් අංශවලින් අවසන් වටයට සුදුසුකම් ලද ඇය අංශ දෙකකින් රන් හා රිදී පදක්කම් දිනා ගත්තාය.


2014 බල්ගේරියාවේ සොෆියා නගරයේ පැවැති යුරෝපා ශූරතාවලියට සහභාගී වූ ආලියා ඇතුළු රුසියානු කණ්ඩායමට හිමි වූයේ තුන්වැනි ස්ථානයයි. 2014 චීනයේ නැනිංග්හි පැවැති ලෝක ශූරතාවලියේදී රුසියානු කණ්ඩායමට හිමි වූයේ තුන්වැනි ස්ථානයයි. 2015 වසරේ විවිධ ආබාධවලට ලක්වීම හා ආතතිය මත ඇයට යුරෝපා ශූරතාවලිය නියෝජනය කිරීමට නොහැකි විය. 2015 බාකුහි පැවැති යුරෝපා ක්‍රීඩා උළෙලේදී ඒකල රන් පදක්කම දිනූ ඇය තම කණ්ඩායමට කණ්ඩායම් රන් පදක්කම දිනා දීමට සමත් වූවාය.


2016 මාර්තුවේ කොඳුඇට පේළියේ ඇති වූ ආබාධයක් හේතුවෙන් ඇය රෝහල් ගත කෙරිණි. සුවය ලබා රෝහලින් නික්මී දින කිහියකට පසු ඇයට පෙන්සාහි පැවැති රුසියානු ශූරතාවලියට සහභාගී වීමට සිදු විය. එහිදී පෝල සහ දණ්ඩ තරගවලින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් වු අතර කණ්ඩායම් තරගයෙන් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. බර්න්හි යුරෝපා ශූරතාවලියට සහභාගී වූ ඇය එම තරගාවලිය පස්වන වරටත් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර යුරෝපා ශූරතාවලි තරගවලින් 12 වැනි පදක්කමද දිනා ගැනීමට සමත් වූවාය. 

 


ඇයගේ ඊළඟ ඉලක්කය වූයේ 2016 රියෝ ඔලිම්පික් තරගාවලියයි. ආලියා සමස්ත ඉරියව් තරග අංශවලින් අවසන් වටයට සුදුසුකම් ලබන්නට ආලියා සමත් වූවාය. ලකුණු 58.098ක් ලබාගත් ඇයට දෙවැනි ස්ථානය හිමි වූ අතර කණ්ඩායම් තරගයෙන් තුන්වැනි ස්ථානය දිනා ගැනීමට රුසියානු කණ්ඩායමට හැකි විය. ඉන් දින තුනකට පසු ඒකල සමස්ත තරග අංශය සඳහා සහභාගි වූ ආලියා ලෝකඩ පදක්කමට හිමිකම් කීවාය. අසමතුලිත පෝල අංශයෙන් ජයගත් ඇය රන්පදක්කම දිනා ගන්නා ලද්දේ එම අංශයෙන් නොකඩවා දෙවරක් රන් පදක්කම් දිනාගත් ජිම්නාස්ටික් ශූරිය බවට පත් වෙමිනි.


මේ වන විට ඇය දිනා ඇති සමස්ත පදක්කම් සංඛ්‍යාව 38කි. ඔලිම්පික් තරගවලදී රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක්ද, ලෝක ශූරතා තරගාවලිවලදී රන් පදක්කම් 3ක් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 5ක්ද, යුරෝපා ක්‍රීඩා තරගවලදී රන් පදක්කම් 3ක් සහ රිදි පදක්කමක්ද, යුරෝපා ශූරතාවලින්හිදී රන් පදක්කම් 5 රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක්ද, ගිම්හාන යුනිවර්ස්ඒඩ් තරගවලදී රන් පදක්කම් 3 සහ රිදී පදක්කමක්ද දිනා ගැනීමට ඇය සමත් වූවාය.


සර්ගෙයි ස්ටාර්කින්, රෙයිසා ගනිනා, ඔල්ගා සිකොරෝ, සර්ගෙයි සෙලික්සන් එව්ගිනි ග්‍රෙබන්කින් සහ වැලන්ටිනා රොඩියෙනෙකෝ ඇයගේ පුහුණුකරුවෝය.


22 හැවිරිදි වියේ පසුවන ආලියා යුග දිවියට එළඹුණේ  ඇලෙක්සි සයිට්සෙව් සමඟය. ඔහු හිම මත කෙරෙන ක්‍රීඩාවක් වන බොබ්ස්ලෙඞ් රථ ධාවන ශූරයෙකි. 2018  දකුණු කොරියාවේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලියේදී ඔහු රුසියානු නියෝජනයයි. වසරක පමණ කාලයක් පෙම්වතුන් ලෙසින් ඇසුරු කළ ඔවුන් දෙදෙනා 2016දී විවාහ වුහ. ඔවුන් දෙදෙන පළමුවෙන් හමු වී ඇත්තේ අනතුරුවලට ලක්ව මොස්කව් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය. ඔවුන්ගේ සිහිනය කුමක්දැයි මාධ්‍ය ඇසූ විට ‘අපිට ගොඩාක් දරුවන් අවශ්‍යයි‘ යනුවෙන් ආලියා සහ ඇලෙක්සි කියා තිබිණි. 2017 ජුනි 14 දා ඇය දියණියක බිහි කළ බැව් වාර්තා විය. ඇයට ඇලීසා යයි නම් තබා තිබේ. වසරකින් පමණ ආලියා යළි ජිම්නාස්ටික් පිටියට පිවිසෙනු ඇතැයි ඇයගේ පුහුණුකාරිය වන වැලන්ටිනා රොඩියෙනෙකෝ සඳහන් කරයි. 


ආලියාගේ සමස්ත වත්කම ඩොලර් මිලියනයකි. වාර්ෂික වැටුප ඩොලර් 50,000කි.


ඇයගේ ජයග්‍රහණයේ රහස කුමක්දැයි ඇසූ මාධ්‍යවේදියකුට ඇය පැවසුවේ “මට අවශ්‍ය දේ කුමක්ද? මම ඒ දේ කරනවා” යනුවෙනි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා


 

 

කාන්තා ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඉතිහාසය...

ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ආරම්භය සිදු වූයේ පුරාණ ග්‍රීසියේ ඇතන්ස් සහ ස්පාටා යන නගරවලිනි. පුරුෂයන් සඳහා යුද පුහුණුව ලබා දීමේ ක්‍රියාවලියක් ඇසුරින් එය ආරම්භ වු බැව් පැවසේ. සටන් පුහුණුව ලද සිසුන්ගේ විසිර යාමේ උත්සවයේදී ඔවුහු නිලධාරින් ඉදිරියේ මෙම නැටුම් ඉදිරිපත් කළහ. ජිම්නාස්ටික් ක්‍රීඩාවේ මූලික ලක්ෂණ බිඳී ආවේ ස්පාටාවේ පැවැති මෙම ප්‍රදර්ශන යුද සටන් නැටුම් කලාවේ ආභාසයෙනි. අවිආයුධ රැගෙන නිරුවතින් මෙම නැටුම් ඉදිරිපත් කෙරිණි. ඇතැන්ස් නුවර මෙය ශාරීරික පුහුණුවක් මෙන්ම අධ්‍යාපනික ක්‍රියාවලියක් වශයෙන්ද ක්‍රියාත්මක විය.  පැලස්ට්‍රාවේ ශාරීරික අධ්‍යාපන මධ්‍යස්ථානයේදී  ලබා දුන් පුහුණුව ශාරිරික හා මානසික ඒකාග්‍රතාව රැකෙන පරිදි දුන් පුහුණුවක් විය. අවසානයේ මධ්‍යස්ථානයෙන් ශිෂ්‍යයන් නික්ම  ගියේ සෞන්දර්යාත්මක මනසකින් හා දැඩි හික්මීමකින් යුතු ශක්තිසම්පන්න පුද්ගලයකු  ලෙසිනි.

 

18 වැනි සියවසේ අගභාගයේ සහ 19 වැනි සියවසේ මුල් භාගයේ ජර්මානු ජාතික ශාාරිරික සුවතා ගුරුවරුන් දෙපළක් වූ යොහාන් ෆීඩ්රිෂ් ගුට්ස්මුත්ස් සහ ෆීඩ්රිච් ලුඩ්විග් යාන් තම සිසුනට ලබා දුන් ශාරිරික අභ්‍යාස පුහුණුව නුතන ජිම්නාස්ටික් ක්‍රීඩාවට මග පෑදීය. දොන් ෆ්‍රැන්සිස්කෝ අමරොස් ඔන්ඩියානෝ නමැති  ස්පාඤ්ඤ් කර්නල්වරයා නූතන ජිම්නාස්ටික් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන්  පුද්ගලයා ලෙසින් ඉතිහාසයට එක්වෙයි. සමාන්තර දණ්ඩ, වළලු සහ තිරස් පෝල යන ක්‍රීඩා අංග ජාත්‍යන්තර ක්‍රීඩාවට මුලින්ම හඳුන්වා දුන්නේ ඔහුය. එහි ඒ ආභාසයෙන් නූතන ජිම්නාස්ටික් ක්‍රීඩාව නිර්මාණය වූයේය. 


ජාත්‍යන්තර ජිම්නාස්ටික් ෆෙඩරේෂනය ආරම්භ වූයේ 1881දි ලීග් නුවරය. 19 වැනි සියවස අවසන් වන විට ජිම්නාස්ටික් ක්‍රීඩාව ලොව බොහෝ රටවල පිරිමින් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් බවට පත් වී තිබිණි. 1896දී ඔලිම්පික් තරග සඳහා එය හඳුන්වා දෙනු ලැබීය. කාන්තාවන් ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු වූයේ 1920 වැනි කාලයේය. ජිම්නාස්ටික් ක්‍රීඩාව වර්තමානයේ පවතින ප්‍රමිතියට අනුව ඔලිම්පික් ක්‍රීඩාවට එක් වූයේ 1954දීය. 


මුල් කාලීන ජිම්නාස්ටික් ක්‍රීඩාවේදී දැඩි සංයමයකින් යුතුව අසීරු ඉදිරිපත් කිරීම් කරන ලද්දේ සෝවියට් දේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි. පසු කාලයේ ජිම්නාස්ටික් ක්‍රීඩාව කෙරෙහි වැඩි ආකර්ෂණයක් ඇති වූයේ රූපවාහිනියෙන් ඒවා ප්‍රචාරය කිරීම ඇරඹීමත් සමඟය.


ජිම්නාස්ටික් ක්‍රීඩාව හැඳින්වෙන්නේ සෞන්දර්යාත්මක ක්‍රීඩාවක් ලෙසිනි. පිරිමින් සඳහා ඉසව් හයක් ලෙසින්ද  කාන්තාවන් සඳහා ඉසව් හතරක් ලෙසින්ද එය වර්ගීකරණය කර තිබේ. සරඹ, පැති අශ්වයා, වළලු, පැනීම්, සමාන්තර දණ්ඩ සහ තිරස් පෝල පිරිමින් සඳහා වෙන් වූ අතර පැනීම්, අසමතුලිත පෝල, සමාන්තර දණ්ඩ සහ සරඹ කාන්තාවන් සඳහා වෙන් වි තිබේ. 1950 ගණන්වල සෝවියට් දේශයේ පමණක් කාන්තාවන් සඳහාද වළලු, තිරස් පෝල, සමාන්තර දණ්ඩ යන ඉසව් පැවතියද පසුව ඒවා  අභාවයට ගියේය.


කාන්තාවන් සඳහා රිද්මයානුකූල ජිම්නාස්ටික් වශයෙන් හැඳින්වෙන ඉසව්වක්ද තිබේ. එය බැලේ, ජිම්නාස්ටික් හා නැටුම් යන අංගවල එකතුවකි. ඒ සඳහා පන්දු, පීත්ත පටි, වළලු, වරපට වැනි දෑ භාවිත කෙරේ.


ප්‍රියන්ජන් සුරේෂ්