ජාති මාමා


ගැමි රස කතා

 

ජාති මාමා කියන්නෙ අදටත්​ දෙහිවල වෛද්‍ය පාරේ හොඳින් ජීවත්වෙන එක්තරා අපූරු චරිතයකි. ඔහුගේ නම ජඹුරෙගොඩ පතිරණගේ කරුණාපාල අබේවික්‍රම. ඔහුව හුඟදෙනෙක් දන්නෙ නං ඒ කියන නමින් නොවේ. හුඟදෙනෙක් ඔහු අඳුනන්නේ කළු අබේ නැත්තං අබේ කියාය. කළු අබේ කියන්නෙ චණ්ඩි චරිතයක්. ඔහු චණ්ඩි චරිතයක් කළේ ඔහු වටා ඒ දවස්වල දැවටුණු අනේකවත් යාළු මිත්‍රයන් විසිනි. 


කොහොම නමුත් ජාති මාමට හොඳ පිරිස් බලයක් තිබිණ. කාටවත් කොහෙත්ම ඔහු භයත් නැත. කියන්න ඕන දේ එක එල්ලේම කියයි. හොරකමක් කැතකමක් වැරැද්දක් දැක්ක තැන ඒවෙලේම ඒ අයගෙ මූණටම කියන එක පුරුද්දය. මේ හින්දා මාමත් එක්ක හුඟදෙනෙක් තරහ බව කියති. මේ ඔහුගේ කතාවය. 


මට අදටත් මතකයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මහා දැවැන්ත වාහනයකින් කැඩිලැක් එකකින් පාවෙලා වගේ අපේ කඩේ ඉස්සරහින් යද්දි එතුමා ජාති මාමාට අත වනාගෙන යනව දත් නොපෙනෙන හිනාවකිනුත් මූණ පුරෝගෙන. ඉස්සර අපේ ගේ ඉස්සරහ, ඉඩම් කෑලි ටික අයිතිවෙලා තිබුණෙ එතුමට කියල ආච්චි අපිට කියනව මතකයි. මහා හල්මිල්ල ගස් දෙකක් අහසටත් උඩින් වගෙ තියෙනව ඒ වත්තෙ. එතුමගෙ ඥාතියෙක් හිටියා ඒ ළඟ ගේක. එයාල තමයි ඒ වතුත් බලාකියා ගත්තෙ. කාරෙකෙන් එතුමා යන්නෙ ඒ ගෙදරටයි. 
මුලින්ම මාමා හොඳ සමසමාජකාරයෙකි. පිබිදීගෙන එන තරුණ රැල්ලෙ ඒ දවස්වල පෙරමුණ ගත්තෙ ජාති මාමායි. කොල්වින් ආර්. ද සිල්වා මහත්තයට සැලකුවෙ දෙයියන්ට වගේයි. ක්‍රමක්‍රමයෙන් ඒ අදහස් වෙනස්වීගෙන ගියා කාලයත් එක්ක. ජාති මාමා එක කාලයක් දෙහිවල නගරසභා (urban council) ඡන්දෙටත් ඉල්ලුවා. හැබැයි ස්වාධීන අපේක්ෂකයෙක් විදියට පාට කහ. මේජර් එල්.වී. ගුණරත්න මහත්තය තමයි මාමාට විරුද්ධව අත ලකුණින් තරඟ වැදුණෙ පාට නිල්. කවුරුත් හිතුවෙ නං ජාති මාමා ඡන්දෙ දිනයි කියල. ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී මේජර් එල්.වී. ගුණරත්න මහත්තය ඡන්ද එක්දාස් ගණනක් අරන් දිනුවා. මාමා ඡන්ද හත්සිය ගණනක් අරං දෙවැනියා වුණා. සමසමාජෙන් තරග කළ කෙනාට ඇපත් නැහැ කියලයි කියවු​ෙණ්. 


ඒ දවස්වල ගෙවල්වලින් එකතු කරගත්තෙ මුත්‍රායි, අශුචියි බාල්දි පිටින්. වළ කක්කුස්සිත් තිබුණ ඒ කාලෙ. ඒවා එකතු කරගන්න කරුපෙ කෙනෙකුත් හිටියා. කරුපෙ ඒවා එකතු කරන් අර මුත්‍රා ලොරියට වක්කරනව. ඒ දවසට කොල්ලො කෑගහනව ඔන්න ඔන්න මුත්‍රා ලොරිය එනවෝ කියල. එකතු කරගන්න ඒ අපද්‍රව්‍ය දෙහිවල ඇළට පාත් කරනව ලොරියෙන්ම. 


කුණු එකතු කරන්නත් එනව ලොකු ගොන් බැඳපු කරත්තයක්. කුණු එකතු කරගන්නෙ නිප්පට්ටු. නිප්පට්ටුට ඒ දවස්වල ළමයි බයයි. නිප්පට්ටු කුණු එකතු කරගෙන රුද්‍රා මහත්තයගෙ තණකොළ කොටුවෙ හිඩැස්සක දානව. ඒ දවස්වල බයක් නං නෑ කුණු ඔක්කෝම පෝර වෙනව. ඇයි පොලිතීන් නැති හින්දා. සැලෝලයිට් බෝනික්කො කෑලි, රබර් බෝල එහෙම ළමයි ඇවිත් කුණු ගොඩෙන් එකතු කරන් යනව. මෙන්න මේ ක්‍රමවේදය කිසියම් වෙනසක් දකින්න ඕන වෙලයි ජාතිමාමා ඡන්දෙට ඉදිරිපත් වුණේ. ඒ එක්කම දෙහිවල රැකියා විරහිත තරුණ පිරිස්වලට පුංචි පුංචි රැකියාවන් අරං දෙන්නත් මාමගෙ අදහසක් තිබුණා. ඡන්දෙන් පැරදුණත් එක්කම මේ අපේක්ෂාවන් සියල්ලම ගිලිහී විසිරී බිඳී ගියා. 
ජාති මාමාගෙ පිටේ පිහිඇනුම් පාරවලින් වෙච්ච කැළල් කීයක් තියෙනවද කියල, ඉස්සර මං ගණන් කරනව. පිහි ඇනුම් පාර කෑවෙ ඉස්සර දෙහිවල හිටපු ප්‍රසිද්ධ ගණන්කාරයෙක්ගෙන්. නම කර්තේලිස්. ඔහු ගණන්කාරයෙක් වුණේ පිහියෙන්, කඩුවෙන්, කිණිස්සෙන්, කිරිච්චියෙන් මනුස්සයන්ට කොටල. හොරෙන් කසිප්පු පෙරන එකයි, ගංජා විකුණන එකයි හුඟවෙලාවට කෙරුවෙ. 


ජාති මාමානං කිසිම අවි ආයුධයක් පාවිච්චි කළේම නැහැ, මනුස්සයෙක්ව යටපත් කරගන්න පාවිච්චි කළේ අතපය විතරයි. ඊටත් වඩා ඔහුගේ නොසංසිඳෙන ආත්මශක්තිය. හිතේ පෙරන් ගාපු ආත්ම ධෛර්ය හා නිර්භීතකම තමයි ඔහු ඉස්සරහටම ඇදගෙන ගියේ. 


පිහියෙන් ඇනපු කර්තේලිස් දෙහිවල හන්දියේ ඉඳල දෙහිවල පාලම ළඟට වෙනකම්ම ජාතිමාමා පන්නගෙන ගිහින්. එතකොට තමයි ජාතිමාමගෙ හත්පළකට විතර කර්තේලිස් පිහියෙන් ඇනල තියෙන්නෙ. ජාති මාමාගෙ පිටෙන් ලේ පෙරි පෙරී තියෙද්දිත් ඔහු දුවගෙන ගිහිං තියෙන්නෙ කර්තේලිස්ව අල්ලගන්න. අන්තිමට පාලම යට කසිප්පු තිප්පලේ ඔහු හැංගිලා. ජාති මාමා ඔහුව මෙල්ල කෙරුවෙ තමන් සතු වීර්ය වික්‍රමයෙන් යෝධ ශක්තියෙන්. මේ කියන සිද්ධිය ඇතුළු සිද්ධීන් ගණනාවකටම ජාති මාමාට යන්න සිද්ධ වුණා පොලිසියට චූදිතයෙක් විදියට චූදිතයෙක් නොවීත්. 


සමහර දවස්වලට ජාති මාමා පොලිසියෙ රිමාන්ඩ් කූඩුවට දැම්මට පහුවදා එළිවෙන්න කලින් එයා බේරගන්න ආච්චිට පුළුවන් වෙනව. අඳුනන දේශපාලන බලවතුන් පොලීසියට කතා කරල, ජාතිමාමාව නිදහස් කරනව නඩු නොදාම. හුඟක් වෙලාවට වැරැද්දට වඩා නිවැරැද්දට පොලීසියට එන්න කියනව. 


එහෙම ගිය එක වෙලාවක පොලීසියෙ මහත්තුරුත් ආච්චිගෙන් අහල තියෙනව මේ විදිහෙ ශක්තියක් එන්න මොනවද පුතාට කන්න දෙන්නෙ කියල. ආච්චි ගත්කටටම පුතා පාන්දර නැගිටල හීල් බත් තමයි කන්නෙ මහත්​ෙතය. එළකිරි ජෝග්ගුවකුත් බොනව දොවපු ගමන්... කියලා තියෙනවා. 


ඊටත් අමතරව කලින් දවසෙ රෑට පෙඟෙන්න දාපු කොණ්ඩ කඩල නෑඹිළියක් පාන්දර වෙද්දි අමුවටම කන්න ජාති මාමා පුරුදු වෙලා හිටියා. ගෙදර ඇති කරන කිරි වැස්සියන්ගෙන් දොවන කිරිත් යන්තමට වගේ උණු කරල ජාති මාමටම කියල ගෙනාපු ලොකු අැලුමිනියම් ජෝග්ගුවෙන් බොන්න දෙනව ආච්චි. 


අපේ ගෙදර හැමදාමත් තිබු​ෙණ කොළමැල්ලුම්, තෝර, පරා, බල, කෙළවල්ලු වගේ මාළුවක්. එළවළුවක් දෙකක්, පරිප්පු නැත්නම් අල. කිසිම මස් මාංශයක් නං ගෙනාවෙ නෑ ගෙදර පැත්ත පලාතට. ඉඳහිට කට්ට, තෝර හාල්මැස්සන් කරවලත් වරද්දන්නෙ නැහැ. 


ජාති මාමා ඒ දවස්වල වත්ත පහළ ලොකු ළිඳෙන් තමයි නාන්නෙ. ළිඳ උඩටම සිමෙන්තියෙන් බැඳලා. බිමටත් සිමෙන්ති දාලා. අපි දෙන්නව දෙපැත්තෙ ඉන්දවල ළිඳෙන් වතුර ඇදල ජාති මාමා අපිව නාවනව. හුඟක් වෙලාවට ඒ කටයුතු කෙරෙන්නෙ හවස්වරුවට නැත්තං පාන්දර. 


පස්සෙ දෙහිවලට පයිප්ප ලයිං වැටුණයින් පස්සෙ පයිප්ප වතුර. ටැංකියට පුරෝ​ගන අපි නාන්න ගත්​ෙත්. 


දෙහිවල වෛද්‍ය පාරට මහ විශාල යකඩ වතුර බට හයි කරන්න පටං ගත්තා මාස ගණනාවක ඉඳං.. අඩි ගණනක් පොළොව යට තමයි ඒ යකඩ බට හයිකෙරුවෙ. ආච්චිගෙ වත්ත මැද්දෙනුත් යකඩ කටවල් වැළලුණ වතුරවලට කොන්ත්‍රාත්තුව ගත්තු ප්‍රංශ සමාගමට විරුද්ධව ආච්චි නඩුත් කිව්වා. වන්දියක් විතරක් ලැබුණා. පාර්ක් වීදියට වතුර පාර ගන්න වෙන විදියක් නැතිහින්දලු ආච්චිලගෙ වත්ත මැද්දෙන් අරන් තියෙන්නෙ. 


ඒවා මේවා එක පිට එක සිද්ධවෙද්දිත් ආච්චිගෙ හිත නං වැටුනෙ නෑ. ආච්චි සුපුරුදු විදියට කඩේ ඉඳන් සිල්ලරයි, කෑමයි විකිණුවා. සති දෙකකට වරක්වත් ආච්චි කඩේ වහල කොළඹ යන්න පුරුදු වුණා බඩු ගේන්න. ආච්චි හිටියෙ හිනාවේගෙන. සුදු හාමිනේම තමයි ආච්චි නං. ඇය ඇන්දෙත් දකුණු පළාතට හුරුපුරුදු වැළමිටට දිග බෝරිච්චි අත්දාපු සුදු හැට්ටෙයි. සුදු රෙද්දයි. සුදු රෙද්ද අඳිද්දිත් සාය වෙනුවට තව රෙදි දෙකක් පටල ගන්නව යටට. ආච්චිගෙ කෙට්ටු සිරුරට ඒ ඇඳුම් බරක් වුණෙම නෑ. ගමනට ඇන්ඳෙත්, ගෙදෙට්ට ඇන්ඳෙත් ආච්චි එකම විදියට. වෙනසකට තිබුණෙ රත්තරං ඇට වැලක් විතරක් ආච්චිගෙ හැට්ටෙ බොත්තං කාසිවලට අමුණා තිබීමයි. 


ආච්චි කවරදාකවත් කරාබු කුට්ටමක් මාලයක් දාලා නැහැ. තෙණේරිස් අබේවික්‍රම අප්පුහාමි වියෝවෙච්ච දවසෙ ඉඳලම ආච්චි ඇඳල තියෙන්නෙ ඒ විදියට. පිටකොටුවෙ මාරකැට්ටුවට ගිහිං සීනි, තේකොළ, දුම්කොළ, මඩ පුවක්, රට පුවක්, කම්බි ලේන්සුවෙන් වහපු බුලත් අත්, සබන්, නිල් පැකට් වගේ එකේක සුළු බඩු අරං ලොරියකට පැටෙව්ව ආච්චි ගිනිගහන අව්වෙ කරවෙවී පයට සෙරෙප්පුවත් නැතුවයි ආච්චි මේ ගමන් යන්නෙ. තවත් කාලයක් ගිහිං ගිහිං ජාති මාමගෙ වදේටමයි ආච්චි දෙපයට සෙරෙප්පු දැම්මෙ. 
ලොරියට බඩු පටවල ආච්චි ආපහු කඩේට එන්නෙ බස්සෙකෙන්. එනකොටත් එන්නෙ පන් මලු දෙකක බඩු පුරෝගෙන. හවස ලොරියෙන් බඩු බාද්දි ආච්චි කඩේ කැෂියර් කූඩුවෙ. 
​ඔන්න ඔය කාලෙදි තමයි බෙලිඅත්තෙ මන්ත්‍රීතුමා ඩී.ඒ. රාජපක්ෂ මහත්තයගෙ පුතා, අපේ ගෙවල් උඩැහින් නවාතැන් අරං ඉන්නවයි කියල ආරංචි වුණේ. පානදුරේ අයියගෙ ගෙයක් කුලියට ගත්ත මුලටියන ඉස්කෝලෙ මහත්තයෙක් ළඟ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා නවාතැන් අරන් හිටියෙ. ​ෙහාඳ චබ්බ ඇඟපතක් එතකොටත් තිබුණා ඔහුට. කොට කලිසමක් ඇඳං පොත් ගොන්නකුත් අරං මහින්ද රාජපක්ෂ කියන ඒ පාසල් සිසුවා තර්ස්ටන් කොලීජියට යන හැටි අපිට පෙන්නුව ජාති මාමා. ඔහු යන්තං මඳ සිනහවකින් මූණ සරසගෙන. ඒ මුලටියන ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ගෙදර බෝඩිං වෙලා හිටපු පිරිමි ළමයා පස්සෙ පහුවෙලා ලංකාවෙ ජනාධිපතිතුමා වුණා නේද කියල හිතෙද්දි දැනෙන්නෙත් පුදුම සතුටක්. ජාති මාමා කොහොමටත් එදත් අදත් එතුමාට ළැදියි. 


ජාති මාමා නොදන්න කෙනෙක් තවත් ඉන්නවද මංදා. හැමෝවම දන්නව. හැමෝවම අඳුරනව. අළුතෙන් වෛද්‍ය පාරෙ ගේකට ආපු කෙනෙක් නම් අඳුරගන්නමයි බලන්නෙත්. බාල පුංචි අයට නම් කට පුරෝලම ඔහුගේ තරුණ කාලෙදිත් ජාති මාමා කිව්වෙ පුතා කියලමයි. වැඩිහිටියෙක් නං අක්කා නැත්තං අයියා. ඉංග්‍රීසි දෙමළ චතුර විදියට කතා කරන්න පුළුවන් ජාති මාමාට. දෙමළ පුළුවන් වුණෙ පුංචි කාලෙ ජාති මාමයි, දාස මාමයි යාපනේ සෙන්ට් පැට්ට්‍රික්ස් විද්‍යාලයේ නේවාසිකව ඉගෙන ගත්ත හින්දා. 


ඒ කාලෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මනෙ ඉගෙන ගත්තෙත්. බෝඩිං ගාස්තු හුඟාක් වැඩි වෙද්දි, ආච්චි පුත්තු දෙන්නවම යාපනෙන් අස්කරගෙන ඇවිත් කොළඹ ආනන්ද විද්‍යාලයට දැම්මා. දාස මාමා කියන්නෙ ජාති මාමා ළඟින්ම හිටපු අයියා. ඊටත් වැඩිමල් ලොකු මාමා. එයාගෙ නම ගිල්බට් අබේවික්‍රම. ආනන්ද විද්‍යාලය පරම විඥානාර්ථ සමාගමෙන් පාලනය වුණු බෞද්ධ ඉස්කෝලයක්. එතකොටත් මාධ්‍ය ඉංග්‍රීසි භාෂාවයි. අපේ ආච්චි රෙදි හැට්ටනෙ ඇන්දෙ. ළමයි දෙන්නත් අරං ඉස්කෝලෙට ගියාට ඒ දවස්වල හිටපු ප්‍රින්සිපල් මහත්තයා ආච්චිව ගණන් අරගෙනම නෑ. පස්සෙ ලොකු මාමා තමයි ඉංග්‍රීසියෙන් කතා කරල මල්ලිල දෙන්නව ඉස්කෝලෙට දාල තියෙන්නෙ. රෙද්ද හැට්ටෙ ඇන්දත් ආච්චිටත් පුළුවන් තරමකට ඉංග්‍රීසි කතා කරන්න. දෙමළත් චතුර විදියට කතා කෙරුව. දෙහිවල හන්දියේ කංශාස් රෙදි ස්ටෝරුවෙ හිටපු කන්දයිය, යාපනේ සුරුට්ටු අරන් කඩේට එද්දි ආච්චියි ජාති මාමයි දෙන්නම කතා කරන්නෙ දෙමළෙන්. 


කොහොම හරි ආනන්දෙදි තමයි ජාති මාමට කළු අබේ කියන නම පටබැඳුණෙ. උත්පත්තියෙන්ම මාම කළුයි. නම අබේවික්‍රම. නමේ මුලත් කේ වෙනුවට කරුණාපාල කළු අබේ වුණේ මාමා එහෙමයි. වැඩියක්ම කොල්ලො එක එක කල්ලි ගැහිල වලියක් දාගත්තහම කළු අබේව තමයි ඉස්සරහට ගෙනියන්නෙ. කළු අබේ ඉන්න පැත්තයි දිනන්නෙ හැම තිස්සෙම. 


කළු අබේට කියනවයි කිව්වහම වැරදි අසාධාරණ වැඩ කරන අය කොහොමටත් බයයි. හොඳට බඩකට පුරා කන්න වෙන හින්දා. අසාධාරණය රිස්සුම් නැහැ. සිංහලේ ගැන බෞද්ධාගම ගැන තියෙන්නෙ ලොකුම ලොකු ආදරයක්, කැක්කුමක්. දෙහිවල, වැල්ලවත්ත, අත්තිඩිය, කළුබෝවිල, බම්බලපිටිය ඔය කොයි පැත්තෙත් හයිරන්කාරයෙක්ව දපනේ දාගන්න තරුණ කැල අරන් යන්නෙ කළු අබේව. 


බය නැතිකමත් එක්කම ජාති මාමා කටත් කියවනව. කියවන වචනත් සැර වැඩියි. ඒවා වදින අයට වදිනව. වෛද්‍ය පාරෙනුත් හොඳ සල්ලිකාර පෝසතෙක් මතුවුණා. තරුණ කළු අබේ ඔහුට රිස්සුම් දුන්නෙ නැහැ. කාලයක් යද්දි නිරායුධ ජාති මාමාව ආයුධයෙන් බිම හෙළන්නයි ඔහුට ඕන වුණේ. 


ජාතිමාමත් ඕනවට වැඩියෙ කටමැත දොඩවන එකත් නරකටයි හිටියෙ. ආච්චිවත් අම්මාවත් වෙන කවුරු කිව්වත් ජාති මාම නං අහන්නෙම නෑ. ජාති මාමගෙ කියවිලි කෙරුවාවල් ඔක්කොම රිංගනව ඇලෝෂියස් මහත්තයගෙ කනටත්. මාමට එකක් කියල අනෙක් පැත්තෙන් ඇලෝෂියස් මහත්තයට ගතු කියන අයත් හිටියා. ඇලෝෂියස් මහත්තයලගෙ ගේ ඉස්සරහ සිංඤ්ඤා මහත්තයගෙ වත්ත ළඟ මැරයො ටිකක් හැංගිල ඉඳල ජාති මාමට කඩුවෙන් කොටන්න. වෙනදා සුපුරුදු විදියට ජාති මාමා කීපදෙනෙක් එක්ක ගෙදර ඉඳන් යන්න ගියා වෛද්‍ය පාරෙන්. මේ හැම ගමනක්ම පිටත් වෙන්නෙත් මුලින් බුදුන් වැඳල ඊළඟට අම්මටත් වැඳලයි. 


පපුව ඉස්සරහට දාගෙන මූණෙ හිනාව පුරෝගෙනයි යන්නෙ ජාති මාමා. හැංගිලා හිටිය මැරයො ටික කඩුත් අරං මාමාව කපන්න පැන්නා එළියට. පාරේ යමින් හිටපු පොඩිහාමි අක්කා මහා හයියෙන් බෙරිහන් දීගෙන විලාප ගහල කෑගහන්න ගත්තා. මෙන්නෝ අබේ මහත්තයව මරනවෝ කියල. 


අපෙ අම්මයි එදා විදුලියක් වගෙ පැනගෙන ආවෙ කඩේ ඉඳල පොඩිහාමි අක්කගෙ කෑගැහිල්ලට. අම්මා පැනගෙනම ගියා ජාති මාමා ළඟට. දෙවෙනි කඩු පාර ඔළුවට උස්සනවත් එක්කම අම්මා ඊට ඔළුව දුන්නා. ඉස්සුණු කඩුව ඉලක්කය වැරදී කකුලට කෙටුණා. කඩුවෙන් කැපී ලේ පෙරෙන ජාති මාමාව මහ ඉස්පිරිතාලෙටම අරන් ගියා. පැමිණිල්ලක් කරන්න ගියේ පොලිසියට පාම් හවුස් එකේ ජයරත්න අංකල් ද කොහෙද. 


මේ සිද්ධිය සහසුද්දියෙන්ම දැක්කෙ පොඩි හාමි අක්කා. එයාට අක්කා කිව්වට අපේ අම්මටත් වැඩියෙ වැඩිමල්. පොඩිහාමි අක්කගෙ කෑගැහිල්ල නැත්තං අම්මට එන්න වෙන්නෙත් නෑ එතෙන්ට. කඩු පාර වැටෙන්නෙ එහෙනං මාමගෙ බෙල්ලටමයි. ඇලෝෂියස් ප්‍රනාන්දු මහත්තයටයි, ඔහුගේ මැරයොන්ටයි විරුද්ධව නඩු වැටුණා. පොඩි හාමි අක්කගෙ සාක්ෂිය තමයි ප්‍රබලම වුණේ. ඇලෝෂියස් මහත්තය නං බේරුණා. චක්ගෝල මැරයො දෙන්නා තුන්දෙනා හිරේ ගියා මාස ගණනක්ම නඩු ඇහැව්වයින් පස්සෙ. 


ජාති මාමගෙ කකුල කැඩිල මාස දෙකක් විතර හිටියා ඉස්පිරිතාලෙ කොළඹ. අන්තිමට තුවාල ඔඩු දුවල කැඩුම් බිඳුම් හොඳ වෙන්නෙ නැති හින්දා වෛද්‍යවරු තීරණය කෙරුවෙ කකුල කපන්න දණිහ ගාවින්ම. කකුල කපන්න... ජාති මාමගෙ...! 


ආච්චිට හුස්මක් වැටෙන්නෙ නැති ගාණයි. ගහක් ගලක් වගෙ හිටිය ජාති මාමගෙ කකුල කපන්නද යන්නෙ...? ආච්චි උදේ හවසට පාන තියද්දි මං ආච්චි ළඟ ඉඳං බුදුහාමුදුරුවන්ට දෙවියන්ට කියන්නෙත් අනේ අපේ ජාති මාමව බේරල දෙන්න කියල. ආච්චි අන්තිමට අන්තිමට, හොයා ගත්ත කැඩුම් බිඳුම්වලට හොඳ වෙද මහත්තයෙක්ව. 


පන්නිපිටිය වෙද මහත්තයා උදේට හවසට වෙද මහත්තයව ගෙන්නුව ගෙදෙට්ට. ජාති මාමව මහ ඉස්පිරිතාලෙන් බලෙන්ම ටිකට් කප්පවගෙන ගෙදර ගෙනාවා. 


හැමදාම උදේට හවසට ගෙදර බුදු පහන දැල්ලෙනව. ජාති මාමා දැන් ගෙදර. අමාරුවෙන් නැගිට ගන්නෙ කිහිලි කරුවල අත් ඇන්දට බරදීලා. වෙද මහත්තය තෙල් බෙහෙත්, පත්තු පොට්ටනි බැඳල කසාය බොන්න දීල උදේට හවහට එනව. යනව. මාස තුනක් තරම එක දිගටම සිංහල බෙහෙත් කෙරුව. පුංචිම පුංචි කැළලක් ඉතුරු වෙනකං වෙද මහත්තයා කකුලෙ තුවාලෙට බෙහෙත් බැන්දා. 


දැන් නැගිට ගන්න පුළුවන් ජාති මාමට. කිහිලිකරු නැතුව ඇවිද ගන්නත් හයිය හත්තිය ඇවිදිං. පන්නිපිටියෙ වෙද මහත්තය නං බුදු වෙන්නෝන ආච්චි විතරක් නෙවේ මාමට ආදරය කරන හැමෝම වගෙ වෙද මහත්තයට පින් දුන්නා. ඊටමත් ඒ වෙද මහත්තයගෙ කරුණාව පිරීතිරෙන මූණ කඩු පාර වැදුණු තැන කකුලෙ පුංචි ඇදයක් විතරක් ඉතුරු කරල. දැන් ජාති මාමා හොඳට ඇවිදිනව. මාස අටකට විතර පස්සෙ එදා අම්මා නොහිටින්න ජාති මාමගෙ කකුලට නොවෙයි කොටන්නෙ එහෙනං කෙළින්ම ඔළුවට. එතකොට අපිට ජාති මාමා කෙනෙක් නැති වෙනව. 


හොඳටම හොඳ වෙලත් ලෙඩ ඇඳේ ඉන්දැද්දිත් ජාති මාමා කතා කෙරුවෙත් දේශපාලනය ගැනමයි. ඒක තමයි එකම මාතෘකාව. 


දැන ජාති මාමා නිහඬයි. කළු අබේ නිහඬයි. ඔහුට දැන් වයස අවුරුදු අසූ නවයයි. 1929 ජුනි 13 දා කොළඹ කොල්ලුපිටියෙයි ජාති මාමා ඉපදුණේ. එන අවුරුද්දෙ 2019 දී ජාති මාමාට අවුරුදු අනූවයි. ජාති මාමාගෙ දෑස දැන් පේන්නේ යාන්තමට වගෙ කියලයි කියන්නෙ. ඔහුගේ හිතේ හයිය නං පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ. 

 


ලක්ෂ්මි බෝම්බුවල