ගෙදරටම ඇවිත් බාල බඩු විකුණන ජංගම වෙළෙන්දෝ


අතීතයේ අප නිවෙස්වලට ආවේ මනි බඩු වෙළෙන්දාත්, රෙදි වෙළෙන්දාත්, පත්තර බයිසිකලේත්, කිරි වෙළෙන්දාත්, මාළු වෙළෙන්දාත්, බෝතල් පත්තර වෙළෙන්දාත්ය. දැන් ඒ සියල්ල නවීකරණය වී හමාරය. එම වෙළෙඳුන් වෙනුවට ඩිමෝ බට්ටා ලොරි හෝ වෑන් රථ වලින් විවිධාකාර භාණ්ඩ හා උපකරණ අලෙවි කරන විෂම වෙළෙන්දෝ දැන් ගමට පමණක් නොව නගරයට ද පැමිණෙති.   


ඔවුන්ගෙන් ඇතැමුන් ගෙන එන්නේ විදුලි භාණ්ඩය. තවත් අය මෙට්ට, ඇඳ ඇතිරිලි යනාදිය ගෙනෙති. තවත් අය කුස්සියට අවශ්‍ය ප්ලාස්ටික් ඇලුමිනියම් භාණ්ඩ යනාදියත්, තව සමහරෙක් නිවසට අවැසි ගෘහ භාණ්ඩ ද ගෙනෙති. තවත් අය පාසල් උපකරණ, මල් පෝච්චි, මල් පැළ වර්ග, ධාන්‍ය වර්ග දේශීය පිටි වර්ග යනාදිය ද අලෙවියට ගෙනෙති.   


පරණ යකඩ, පරණ රෙදි හෝ නිවසින් ඉවත් කරන භාණ්ඩ මිලට ගන්නා පරණ බඩු වෙ​ෙළන්දෝ ද ගෙයින් ගෙට පැමිණෙති.   


ඇතැම් ජංගම වෙළෙඳුන් පැමිණෙන්නේ යතුරු පැදි හෝ පාපැදිවලය. සමහරු ලොකු බෑග්වල භාණ්ඩ දමාගෙන පා ගමනින් එති. මේ සියලු දෙනාම එදිනෙද‌ා බඩවියත රැක ගැනීමට එක හා සමාන බැරෑරුම් උත්සාහයක යෙදෙති. එසේ වූවද ඔවුන් ගෙනෙනා බොහෝ දේවල් එයට වඩා අඩු මිලට ඉහළ ප්‍රමිතියකින් යුක්තව ගුණාත්මක මෙන්ම හොඳ සන්නාම යටතේ ඇති නිෂ්පාදන සාමාන්‍ය වෙළෙඳපොළේ ද පවතී.   


ඉමහත් තරගකාරී බවක් පෙන්වමින් බොරු බේගල් මවාපා කෙසේ හෝ එය පාරිභෝගිකායගේ ඇගේ ගැසීම මොවුන්ගේ අභිප්‍රායයි. පාරිභෝගියාට තමා විකුණන භාණ්ඩයේ නැති හොඳ මවා පාමින් ආකර්ෂණය කරගැනීමට ඔවුහු උත්සහ දරති.   


මේ උපක්‍රම නිසා අැතැම් පාරිභෝගිකයෝ මොවුන්ට රැවටෙති. ඇතැම් විට ඔවුන් මිලට ගත් භාණ්ඩයේ වෙළෙන්දා කියූ තරම් ගුණාත්මක බවක් වටිනාකමක් නැතිවා විය හැකිය. ඇතැම් වෙළෙන්දෝ විවිධ කූට උපක්‍රම භාවිත කර ගෙහිමියන් නොමග යවා බොහෝ විට පරණ බඩු මිලට ගන්නා වෙළෙන්දන් ගෙවත්තේ ඇති භාවිතයට ගන්නා හෝ ගත හැකි උපකරණ හා භාණ්ඩ හොර රහසේ හෝ පටවා ගෙන යති. එසේ නැතහොත් හොරට කිරුම් මිනුම් කර වටිනා මිලට වඩා අඩු මිලක් දෙති.   


ජංගම වෙළෙඳුන් කරන තවත් එක් උපක්‍රමයක් නම් බීමට වතුර වීදුරුවක් ඉල්ලීමයි. තමන් නිවසට වැද්දා ගැනීම ප්‍රතිෂේප කළ විට ඔවුහු එම උපක්‍රමය බහුලව භාවිත කරති. ඒ මගින් ලබා ගන්නා ක්ෂණයේ දී තම ජීවිතයේ දුක්ඛ දෝමනස්ස බව අලෙවි කරමින් කෙසේ හෝ භාණ්ඩය මිලට ගැනීමට හෝ උපක්‍රමශීලීව පෙලඹවීමට උත්සහ දරති.   


ඇතැම් වංචනිකයෝ නිවසේ අය නිවස තුළට වතුර ගෙන ඒමට ගිය විට නිවසේ ඇති වටිනා දෙයක් හොරෙන් රැගෙන ගෙන යයි.   


ඒ ජංගම වෙළෙඳුන් හැර තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ කාර්යය ප්‍රසිද්ධ වෙළෙඳ සමාගම්වල අලෙවි උපදේශකයන් ලෙස පත්වීම් ලබා දෛනික ලකුණු ලබා ගැනීමට උත්සහ කරන බැව් පවසා මිල අධික ආනයනික භාණ්ඩ අලෙවි කිරීමයි. 

 
ඇතැම් අයට මෙම භාණ්ඩ රුපියල් දහසේ සිට තිස් හතළිස් දහස දක්වා වටිනාකමින් යුතු බවත් එදින මිලට ගතහොත් මිල අඩුකර විශේෂ බෝනස්, වරප්‍රසාදයක් දෙන බවත් කියති. බොහෝ විට මෙසේ පැමිණෙන්නේ වයස අවුරුදු 25ට අඩු තරුණ තරුණියන්ය. චතුර කතාබහකින් යුක්ත මොවුහු කෙසේ හෝ භාණ්ඩ අලෙවියට උත්සාහ කරති. දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි බව පවසා ඔවුහු සිය ජීවන ගැටලු ද පාරිභෝගිකයන් හමුවේ පවසති. එයද තවත් උපක්‍රමයකි.  


මෙවන් ජංගම වෙළෙඳුන්ගේ කූට උපක්‍රම පිළිබඳව විටින් විට රටේ තැන් තැන්වලින් අසන්නට හා ජනමාධ්‍යවලින් දැනගන්නට ලැබේ. සෑම ජංගම වෙළෙන්දෙකුම එසේ පාරිභෝගිකයා රවටන බවත් අපි නොකියමු. නමුත් වැඩිපුරම ඇසෙන්නේ එවැනි ක්‍රියාවන් ගැන තොරතුරුය. පාඨකයාගේ අවබෝධය පිණිස එවැනි සිදුවීම් කිහිපයක් මෙසේ පෙළගස්වමු.   

එද‌ා මම ගෙදර ඉන්නකොට සුදුවෑන් එකකින් පිරිමි දෙන්නෙක් ආවා. දෙන්නා වෛවාරණ විදුලි බඩු ගැන කියවන්න ගත්තා. අපේ ගෙදරට ඒවාගේ වාහනවලින් එන බඩු ගන්නේත් නෑ. සාමාන්‍යයෙන් ගෙදරට එන්න දෙන්නෙත් නෑ. මගදීම හරවල යවනවා. ඒත් එදා ආව දෙන්නා කියවන් ගිය විදියට අවංකයි වගේ පෙනුණේ. ඒ නිසා ටිකක් බලන්න හිතුණා. අතේ සල්ලි තිබ්බෙත් නැහැ. ගෙදර අනික් අයත් ඇවිත් බලල ගියා.   
‘‘බ්ලුරේ ඩීවීඩී ප්ලේයර් එකක් ගත්තම ඉන්ඩස්ට්‍රියල් කුකර් එකක් නොමිලේ දෙනවා.’’ කිව්වා ඒ දෙකම පෙන්නුවා එකකට එකක් වාසි දෙනවා. ඒ නිසාම මගේ හිතත් පොඩ්ඩක් ඇදිලා ගියා වගේ. ඒත් මම ඇඟෙව්වේ නැතිව ගෙදරට එන්න හැදුවා.  


‘‘මිස් ඩීවීඩී එක 22,000ට අපි දෙන්නේ ඉස්සෙල්ලම මිස්ල බලපු නිසා 20,000කට දෙන්නම්. මේකක් කඩේ රුපියල් තිස්ද‌ාහක් විතර වෙනවා. මේ ගානට හම්බෙන්නේ නෑ.’’   


අරක ද මේක ද යැයි කියමින් මගේ පස්සෙන් ආවා. මුලින් මම එ්ක බලන්න ගියෙත් සල්ලි නම් නැහැ කියලා. ඒත් උන් කිව්වා ‘‘සල්ලි නැති වුණාට කමක් නෑ නිකන් ඇවිත් බලන්න’’ කියා.  


ඒ කොහොම වුණත් මේ දෙන්නා පාර ගාව ඉඳන් අපේ ගෙදරටම ආවා. පාර ළඟ ඉදන් ගේ ළඟටම මීටර දහයක් විතර තියෙනවා. ඉවරයක් නෑ කියවිල්ල. ඒ පාර ගෙදර අයත් එපාම කිව්වා. මේ දෙන්නගේ කියවිල්ල ඉවරයකුත් නැහැ. මටත් ටිකක් ඒකක් ගන්නත් හිතිල කඩේකින් බලලත් තිබුණේ.’’  


බැරිම තැන මම කිව්වා ‘‘දැන් මා ළඟ සල්ලි නෑ. පස්සේ ගමු කියලා. ඒ පාර එයාල කිව්වා ‘‘බැංකුවෙන් ගන්න තියෙනවා නම් යමු අපිත් එක්කම’’ කියලා. යෝජනාවත් හොඳ හින්දා ගෙදර අය එපා කියද්දීත් මම රියැදුරයි තව කෙනෙකුයි එක්ක ගිහින් සල්ලි අරන් ආවා. එක්කෙනෙක් එතකම් අපේ ගෙදර හිටියා.  


ගමේ අනික් ගෙවල්වලටත් කලින් ගිහින් එක එක ඒවා අරන් තිබුණා කියාත් ඔවුන් කිව්වා. අනෙක මේ වාහනේ මාස දෙක තුනකට සැරයක් වගේ ගමටත් එන නිසා විශ්වාසයකුත් තිබුණා. පොඩි පොඩි දේවල් ගමේ අය අරන් එහෙම තිබුණා.  


මම වෑන් එකෙන් බැහැල ස්තෝ්ප්පුවේදීමයි සල්ලි දුන්නෙත් බිල ලිව්වෙත්. ආ තව දෙයක් බිලේ එඩ්‍රස් එක තිබුණේ කුරුණෑගල රෙඩි ලයන් එක තියෙන්නේ දැන් එතනට අල්ලපු තැනක ලිපිනයක්. දුරකථන අංකත් එක්ක තිබ්බ බිලක්. ලොකු පෙට්ටි දෙකක දාලා බඩු දෙකම ගෙදරටම ගෙනත් දීලා ගියා. පැකින් කඩල බලද්දී තේරුණේ බ්ලුරේ එකක් වෙනුවට සාමාන්‍ය ඩීවීඩී ප්ලේයර් එකක් දීල තිබුණේ කියලා. ළිප නම් පෙන්නපු එකමයි.   
අපි දීපු නම්බර්වලට කතා කළත් ඒවා වැඩ කළේ නැති නිසා බිලේ තිබ්බ එඩ්‍රස් එකට ගියා. එතන එහෙම එකක් නැහැ. පෞද්ගලික විදුලි බඩු ආයතනයක් තිබුණේ. ඒ වාරියපොළින් අපට හමුවූ දිලිනි ප්‍රියදර්ශනී අපට කියූ කතාවය.  


මේ එවන් තවත් කතාවකි. ඔවුන් නිකවැරටිය, මාගල්ල ප්‍රදේශයේය. පුත්තලම පාරේ සිට මීටර සියයක පමණ දුරින් පිහිටි ඔවුන්ගේ නිවසට දිනක් සුදු වෑන් රථයකින් ජංගම වෙළෙඳුන් දෙදෙනෙක් පැමිණ ඇත. බිරිඳත්, සැමියාත්, දියණියන් දෙදෙනාත් ඒ මොහොතේ නිවසේ සිටියහ.   


වෑන් රථයේ විවිධාකාරයේ ප්ලාස්ටික් මෙන්ම විදුලි උපකරණ විය. නිවසට ගැනීමට උවමනාවක් නූනත් බලකිරීම මත සැමියා පමණක් වෑන් රථය තුළට එබී බලා වැඩක් නෑ මැණිකේ, අපේ ගෙදර මේ සේරම වගේ තියෙනවනේ. ඕනේ නෑ යන්න මහත්තයලා’’ යයි කියා ඇත.  


එහෙත් වෙළෙන්දන් දෙදෙනා බොහෝ සෙයින් කපටිය. ඔවුන් නේක වර්ණනා, වාසි මොහුට පවසා ඇත. ඔහු නිවසට ආවත් වාහනයේ සිට විවිධ අයිතම ගෙන එමින් ඒවා පෙන්වමින් මිලට ගන්නා තැනටම පත්කර තිබේ.  
කතාව අහන් ඉන්නට බැරිම තැන බිරිඳ හොරෙන් කිව්වා. ඕන් ඔහේ පොඩි දෙයක් ගම්මු කියලා. එයත් වෑන් එක ගාවට ගිහින් බලල ටී සෙට් එකක් පෙන්නුවම ඒකට රුපියල් හත්සීයක් කියනවා මට ඇහුණා. තවත් මොකක්ද එකකට පන්සීයක් කිව්වා. ඒ පාර ‘‘ඒක දෙන්න කියල එයා ගෙට ගියා. මට දුව අතේ සල්ලි එව්වා.   


අර මිනිස්සු එතකොට වෑන් එක හරවාගෙන ස්ටාර්ට් කරගෙනත් හිටියේ. අපිට එච්චර වෙලා කියවපු කෙනා බොක්ස් එකක් අතට දීලා සල්ලි අරන් ගියා. ඒ එක්කම වෑන් එකත් වේගෙන් ගියා. ඇරල බලද්දී එක එක ප්‍රමාණයේ බන්දේසි තුනක් තිබුණේ.  


නෝනා ඉල්ලලා තිබුණේ ටිකක් පොඩි පීරිසි කෝප්ප සෙට් එකක්. උන් කපටිම කපටි මිනිස්සු. එදායින් එද‌ා පාඩමක් ඉගෙන ගත්තා. ඒ වගේ අය ආයේ නම් ගෙවල් පැත්ත පළාතකට වැද්දගන්නේ නැහැ. ගෙදර අයටත් කියලා තියෙන්නේ.   


රුපියල් තුන්සියයක්වත් වටින්නේ නෑ ඒ බන්දේසි තුන. ඔය විදියට තව කී දෙනෙක් රවට්ටල ඇති ද?’’ ඔහු අප හා පැවසුවේය.   


මේ දඹදෙණිය ප්‍රදේශයේ වැඩිහිටි කාන්තාවක් කී කතාවකි. ඇයගේ දූ දරුවන්ගෙන් කිහිප දෙනෙකු විවාහ වී සිටි නිසා නිවසට පැමිණෙන ඥාතීන් වෙනුවෙන් මෙට්ටයක් ගැනීමට සිතක් පහළ වූයේ දිනක් නිවසට පැමිණි මෙට්ට වෙළෙන්දන් පිරිසක් නිසාය. තරමක් ලොකු ලොරියක පුරවාගෙන ගම පුරා ගිය මෙට්ට වෙළෙන්දන්ගෙන් මෙට්ට ගමේ අය ද ගෙන තිබූ බවක් ඔවුන්ම ඇයට පවසා තිබුණි. ඒ නිසාම ඇය ද ගෙදර තිබූ රබර් මිශ්‍ර කොහු මෙට්ටයක් වෙනුවට අලුත් මෙට්ටයක් ගැනීමට සිතුවාය.  


මෙට්ට අල්ලා බලමින් ඇය තරමක් ලොකු මෙට්ටයක් තෝරා එය දෙන ලෙස පැවසුවාය. සාධාරණ මිලක දී කියූ අතර එය වාර දෙකක දී ගෙවා නිම කරන ලෙස ද  ඔවුන් කියා ඇත. එනිසාම ඇය රුපියල් 1400ක් ගෙවා මෙට්ටය නිවස තුළට ගෙනවිත් දෙන ලෙස ද කීවාය. ඇය පෙන්වූ මෙට්ටයේ කවරයට වඩා ටිකක් වෙනස්වූ නිසා ඇය ඒ ගැන විමසුවත් නෑ නෑ මැඩම්, එ් වර්ගයමයි. ටිකක් කවරයේ පාට ටිකක් වෙනස්. මැඩම් මේ වගේ එකක් කඩේ රුපියල් තුන්දාහකට වඩා වටිනවා.’’ යැයි ද ඇයට කියමින් එය ගෙතුළට ගොස් බිම තබා පැමිණ ඇත.   


ඇය එය බිත්තියට හේත්තු කරන්නට උත්සහ දරද්දී එසේ කිරීමෙන් කුෂන් එකට හානි වේ යැයි පවසමින් ඔවුන් එය බිම දමා හෝ ඇඳක්මත තබන ලෙස දන්වා ගොස් ඇත. දින කිහිපයකට පසු ඥාතීන් පිරිසක් පැමිණි අතර ඔවුන්ගේ කුඩා දරුවෙකු මෙට්ටයේ මුත්‍රා කිරීම නිසා කවරය ගලවා සේදීමට උත්සහ දරන විට එය කුෂන් මෙට්ටයක් නොව රබර් මිශ්‍ර කොහු මෙට්ටයක් බැව් හෙළි වී ඇත.  


ඊළඟ මාසයේ වාරික එකතු කිරීමට ඔවුන් පැමිණ නැති අතර තවත් මසකට පසු පැමිණ හිඟ මුදල ඉල්ලා ඇත. තමාට මෙට්ටය මාරු කර දෙන ලෙස ඉල්ලා සිටියත් පාවිච්චි කර තිබූ නිසා මාරු කර දිය නොහැකි බැව් පවසා අනුකම්පා සහගතව කතා කියමින් බොහෝ හෙට්ටුකර තරමක මුදලක් රැගෙන ආපසු ගොස් ඇත.  


පෞද්ගලික ආයතනයක සේවය කරන කාන්තාවක අපට කීවේ මෙවැන්නකි. ඇයට සිය වැටුපෙන් එකවරම මුදලක් ගෙවා මිලට ගත නොහැකි. නිවසට අවැසි බොහෝ භාණ්ඩ ඇය ලබා​ෙගන ඇත්තේ එවන් ජංගම වෙළෙඳුන්ගෙනි. ඒද මාසික වාරික ක්‍රමයට. ගෙවීමටය. කුළුබඩු රාක්කයක්, පීරිසි කෝප්ප සෙට්, ගෑස් ළිපක්, වතුර ෆිල්ටරයක්, ටවල් රැක් එකක්, ස්ථාවර දුරකථනයක් පවා එලෙස ඇය මිලට ගෙන ඇත.   
‘‘සමහර විදුලි බඩුවලට මාස 06ක වගකීම් කාලයක් පවා ලබා දීලා තියෙනවා. අවුරුදු තුනකට කලින් ගෑස් ලොකු රයිස් කුකර් එකක් ගත්තම මේස විදුලි පංකාවක් නොමිලයේ ලැබුණා. ඒවා තාමත් පාවිච්චි කරනවා. මම නම් තවම අර කීව වගේ එකවර ගෙවන ක්‍රමවලට බඩු අරගෙන නැහැ. ජංගම වෙළෙඳුන්ගෙන්. අපට එකවර ගන්න මුදලක් තිබුණනම් වගකීමක් සහිත හොඳ සන්නාම සහිත ආයතනයකින් මිලට ගන්නවනේ. ඒත් මේ අපි වගේ සාමාන්‍ය මිනිසුන්ට එහෙම ලොකු වත්කම් නැහැනේ’’ ඇය අපට එලෙස කීවාය.  


ජංගම වෙළෙඳාම දැන් බොහෝ සෙයින් පුළුල් වී ඇත. එය සමහර ප්‍රසිද්ධ වෙළෙඳ ආයතනවල ගෘහ භාණ්ඩ, විදුලි උපකරණ පවා කොටස් ගෙවීමේ ක්‍රමයට ලබා දිය හැකි බැව් පවසමින් ඔවුන්ගේ නියෝජිතයෝ නිවෙසින් නිවසට ගමන් කරති. එමෙන්ම දෛනික, සති හෝ මාසික වාරික ක්‍රමයට ද ඒවා ලබාදීම සිදු කරයි. නමුත් මිලට ගැනීමට පෙර කියන සුරංගනා කතාවන් භාණ්ඩමය මිලට ගෙන වාරික ගෙවනා විට දැකගත නොහැකි බැව් එවන් පාරිභෝගිකයෝ පවසති.  


ජංගම වෙළෙඳ‌ාම මගින් කරනා විදුලි උපකරණ අලෙවියේ දී ප්‍රසිද්ධ සන්නාම භාවිත කරන බව අපි මෙයට පෙර කීවෙමු. ඇතැම් විටෙක ප්‍රසිදධ සන්නාමයේ අකුරු පිළියෙල වෙනස් කර හෝ අවරෝහණ ක්‍රමයට දැක්වෙන ආකාරයට මේ සන්නාමයන් මුද්‍රණය කර ඇති බව ද ඇතැම් පාරිභෝගිකයෝ කීහ. ඔවුන්ට ප්‍රසිද්ධ සන්නාමය හොඳින් හුරු නිසා එය එක්වරම දකින විට ඒ සන්නාමය යැයි කියා සිතා මිලට ගෙන රැවටී ඇත.  


ජංගම වෙළෙඳ‌ාමේ යෙදෙන සියලු ආයතන හෝ පුද්ගලයන් කූට උපක්‍රම භාවිත කරතැයි අපි නොකියමු. පොදු ජනයාගේ යහපත වෙනුවෙන් එවන් දෑවලට ලක්වෙනා බහුතරයකගේ සුබ සිද්ධිය උදෙසා මෙසේ ලියා තැබූවෙමු.  

 

 

 


සටහන : පුෂ්පා වීරසේකර