කුරුඳු ගොවීන්ගේ කැරැල්ලට නායකත්වය දුන් මුදලිවරු


ලංකාව බැබළ වූ මහ සිටුවරු

ගාලු කොටුවේ ඔරලෝසු කණුව

බලපිටිය මාදුගඟේ තෝන්දූව දූපතේ රජමහා විහාරය

 

 

ටියුඩර් රාජපක්ෂ මුදලිතුමා කොළඹ - ගැදරම් වලව්වේදී ජීවිතයේ අවසන් දින කීපය ගෙවා දමා තම ජාතික ආගමික මෙහෙවරට සමුදුන්නේ 1959 වසරේදීය. බළපිටිය කප්පින වලව්වෙන් බිහිවූ අවසන් මුදලිවරයා වන්නේද එතුමාය.

   
මේ 1985 වසරේදී මහාකප්පින වලව්වේදී සිදුවූ සිද්ධියකි.   


අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන හා හිටපු අගමැති ආර්.ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත දිනට පෙර දිනයයි. එම නිකායේ මහානායක තලල්ලේ ධම්මානන්ද මහනාහිමි ඇතුළු මහා සංඝරත්නය හා ගිහි සංවිධායකවරුන් යුහුසුලුව සංවිධාන කටයුතුවල නිරතව සිටියේ කඩිගුලක් ඇවිස්සුණා සේ ය.   


ගතවූයේ මොහොතකි. ක්ෂණිකවම ඇති වූ මහා සුළඟකින් වලව් භූමි​ෙය් තිබූ මහා ගස් ඇඹරෙමින් පැද්දෙමින් ඉගිළ යන්නට විය. නොසිතූ මොහොතක ඇති වූ සුළි සුළඟ නිසා තලල්ලේ මහානායක හිමියන් හා මහා සඟරුවන ඇතුළු එහි සිටියවුන් කිසිවත් සිතාගත නොහැකිව වික්ෂිප්තව සිටියහ.   


වලව් භුමිය වසා සිටි දැවැන්ත නාගස් කීපයක අතු කඩාවැටී පියඹා අවුත් දාන ශාලා ගොඩනැගිල්ල මත පතිතවුණි. කෙටි කාලයක් තුළ කප්පින වලව්ව හරහා හමාගිය මෙම සුළි සුළගින් පසු වලව් භූමිය දිස්වූයේ යකුන් නැටු පිටියක් මෙනි. කීපදෙනකු තුවාල සිදු වී බළපිටිය රෝහලට ඇතුළත් කරන ලදි. උපසම්පදා උළෙල කල් දැමුණි.   
මහා කප්පින වලව්වට පමණක් එදා හමාගිය සුළි සුළග ගැන ප්‍රදේශවාසින් අද ද කතා කරන්නේ බියමුසු හැඟීමෙනි.   


එවන් සිද්ධි රැසකින් මෙන්ම හාස්කම්වලින් පිරුණ මහා කප්පින වලව්වේ විසූ මහ මුදලිවරුද එදා සුද්දන්ට අණ දුන්නා පමණක් නොව සුද්දන් දණ ගැස්වූ මුදලිවරු බවට පහත දැක්වෙන කතාව ඊට හොඳම නිදසුනකි.   


පාරිශුද්ධ උපසම්පද‌ාව එක් රටේ කොටසකට පමණක් සීමාවී තිබූ යුගයක එදා ජීවිත පරිත්‍යාගයෙන් තවත් හිමිවරුන් කීපදෙනකු සමග රුවල් නැවක නැගී බුරුමයේ (වත්මන් මියැන්මාරය) අමරපුර රාජධානියට ගොස් උපසම්පද‌ාව ලබා යළි ලක්බිමට පැමිණ උස් පහත් හෝ කිසිදු බේදයකින් තොරව ජනසතු කරන ලද්දේ අමරපුර නිකාය පිහිටුවා වද‌ාළ මහා ධම්ම රාජාධිරාජගුරු වැලිතොට (බළපිටිය) මහකරාවේ ශ්‍රී ඥානවිමල මහානාහිමිපාණන් විසිනි. ඒ 1803 වසරේ දී ය.   


බුරුමයේ සිට පාරිශුද්ධ උපසම්පද‌ාව ගෙන ආ මහකරාවේ ඥානවිමල මාහිමියන්ගේ මහානායක ධුරය එදා සිට අධිරාජවාදී පාලකයන් පිළිගත්තේ නැත. පහතරට ජනතාව ඉතා සූක්ෂම ලෙස බේද බින්න කළ පරගැතියන් නොඉවසවූ බළපිටිය මහා කප්පින වලව්වේ මහමුදලි පුත්තලමේ සිට කුඹුක්කන්ඔය දක්වා තොටමුණු හයක කුරුඳු වර්ජනය (කුරුඳු කැරැල්ල) මෙ​ෙහයවීමට නායකත්වය දුන්නේ බුදු සසුනේ පැවැත්ම වෙනුවෙනි.   


එද‌ා බළපිටියෙන් නායකත්වය දී සුද්දන් දණගැස්වූ කැරැල්ල ලංකාවේ මුල්ම වර්ජනය ලෙසට ඉතිහාසගත වී ඇත. වර්ජනයේ ප්‍රතිඵල ලෙස ඥ‌ානවිමලතිස්ස හිමියන්ගේ මහානායක ධුරය පිළිගත්තා මෙන්ම පැවිදි කිරීමේ බලයද ලිඛිතවම ලැබුණි.   


සිය උපන් දේශයට ආගම දහමට අමරණීය සේවයක් කළ බළපිටිය කප්පින පරපුරේ මහමුදලිවරු එද‌ා මිෂනාරිගෙන් බුදු දහම බේරා ගැනීමට නොබියව ඉදිරියට ආ බළපිටියේම උපන් වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද නාහිමියන් ආගමික ශාසනික මහා මෙහෙවර ශක්තිය නුදුන්නා නම් බුදු සසුනක් නොමැතිවන්නට ඉඩ තිබුණි.   
කොළඹ කෞතුකාගාරය ඉදිකිරීමට සිය ඉඩම් පරිත්‍යාග කළා පමණක් නොව රටේ පමණක් නොව තමන් උපන් බළපිටිය වෙනුවෙන් අභිමානවත් මෙහෙවරක් ඉටු කළේය.   


කොත්දුව රජමහා විහාරය, බළපිටිය රේවත විදුහල අසල කප්පින මුදලින්දාරාමය, ගොඩගෙදර ගොදුව ගංගාරාමය වැනි විහාරස්ථාන අද ද ශාසනික මෙහෙවර ඉටුකරන්නේ මහාකප්පින වලව්වේ විසූ අනේපිඩු සිටු පරපුරේ මහමුදලිවරුන්ගේ ශ්‍රී නාමය ද සිහිපත් කරමිනි.   


කප්පිනවරුන් භාරතයේ සිට ලංකාවට පැමිණ ඇති බව ඉතිහාසය සොයා යෑමේදී පෙනේ. භාරතයේ ‘ශාලිග්‍රාම’ සිට පැමිණි මෙම වංශවත් බ්‍රාහ්මණිකයින් ලංකාවට පැමිණීම ගැන මත දෙකක් පළ වේ.   


ඉන් එක මතයකට අනුව කප්පින පෙළපතේ ඉතිහාසය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙරටට වැඩම කර වූ දේවානම්පියතිස්ස රජු දවස තෙක් දිවයයි. එදවස ඇඹලව රහත් ගල්වෙහෙර ලෙස හැඳින්වූ විශාල ප්‍රදේශය අද අහුන්ගල්ල - ගල්වෙහෙර ප්‍රදේශයයි.   


ගල් වෙහෙරට නැගෙනහිරින් වැලිනි නදිය හෙවත් සල්ගමු ඔය ගලා බසී. බළපිටියේ මාදු ගඟ ලෙස හැඳින්වෙන්නේ එදා හැඳින් වූ වැලිනි නදියයි.   


බෝධිවංශයට අනුව ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේ​ෙගන් පැනනැගී දෙතිස්ඵල බෝධියේ අවසන් අංකුරය රැගෙන ගල්වෙහෙරට ආ රාජකීය පිරිසේ කප්පින බ්‍රාහ්මණතුමා සිටි බව සඳහන් වේ. මෙම කප්පින මුදලිවරයා ප්‍රදේශයේ සුන්දර පරිසරයට වශී වී මාදුගඟ ආසන්නව පදිංචිවූ බවද ඉතිහාස කතා පුවත්වල සඳහන් වේ.   


භාරතයේ සිට මෙම බ්‍රාහ්මණයන් අවසන්වරට ලංකාවට පැමිණෙන්නේ පළමු විජයබාහු රජු දවස (ක්‍රි.ව 1056-1111) රජ දවස බව ප්‍රධාන වශයෙන් පිළිගැනෙන මතයකි. පෙරියමුදලි මරික්කාර්ගේ තඹ සන්නසින් හා හෙළදිව බමුණුවත නම් වූ අමුද්‍රිත පුස්කොළ පොතෙන් මේ බව තහවුරු වේ   


සොලීන්ට විරුද්ධව සටන් කොට මුළු රටම එක්සේසත් කළ දකුණේ උපන් කීර්ති කුමරු වර්ෂ 1088 දී වෙසක් පුන් පොහෝදින රුවන්වැලි සෑ මළුවේදි මහා විජයබාහු නමින් රාජභිෂේක වන්නේ උභයකුල පාරිශුද්ධ බ්‍රාහ්මණයන්ගේ ප්‍රධානත්වයෙනි. පළමු වන විජයබාහු ලෙස හඳුන්වන්නේ මෙම කීර්ති කුමරාය.   
රාජභිෂේක මංගල්‍යයට පැමිණි කප්පින හා නම්බුඨදාරි, වීරසිංහ, වීරක්කොඩි, ඉදිරිමුණි, වලිමුණි එදිරිසිංහ යන බ්‍රාහ්මණයන් හත්දෙනා රජුගේ ඉල්ලීම පරිදි සිය රට නොගොස් මෙහි නතර විය. පොළොන්නරු රජ මාළිගය ආසන්නයේ නිවෙස් හා පහසුකම් දී පදිංචි කරවා තෙදැතිසාමි, කොම්බිසාමි, මැණික්සාමි, පබලිසාමි, නිමල්සාමි, රංසාමි හා දිල්ලිසාමි යන රදළ කුමාරිකාවන් විවාහ කරදුන්බව දැක්වේ.   


දඹදෙණි යුගයේ ජීවත් වූ කප්පින අදිකාරම් කෙනකු ගැන ‘පදසාධන’ නම් පාළි ව්‍යාකරණ ග්‍රන්ථයේ සඳහන් වේ. මෙම ග්‍රන්ථයේ කර්තෘ පියදස්සී හිමියන් සඳහන් කරන්නේ කදලි විහාරයට තිලකයක් බදු වූ ගම්ප්‍රධානී තම මයිලණුවන් කප්පින අධිකාරම්තුමා කරන ලද ආරාධනයක් අනුව පදසාධනය නම් ව්‍යාකරණ ග්‍රන්ථය රචනා කළ බවයි.   
කප්පින පෙළපතේ ඉතිහාසය සොයා යන අපට සීතාවක යුගයේදී ජීවත් වූ මහා කප්පින සේනානායක මුදලි ලෙස හැඳින් වූ රණශුරයකු ගැන තොරතුරු අසන්නට ලැබේ. එවකට පහතරට පෘතුගීසින්ට යටත්ව තිබූ කාලයක කප්පින වලව්වේ ජීවත්ව සිටි මෙම රණශුර මුදලිවරයා පෘතුගීසින් සමග සටන් කළ බවත් එතුමා සමග සටන් කළ සේනාවට සීතාවක රාජසිංහ රජු ‘හීතක’ යන ගෞරව නාමය පිරිනමා ඇති බවත්ය. හීතක වාසගම භාවිත කරන සේනා පරපුරෙන් පැවත එන්නන් අදත් මේ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වෙති.   


මෙම රණශුර කප්පින මුදලිගේ දක්ෂතා ගැන අසා තිබූ කෝට්ටේ ධර්මපාල රජු කප්පින මුදලිගේ මුහුණ දැක්වූවෙකුට තෑගි භෝග පිරිනමන බව ප්‍රසිද්ධ කළහ.   


නයිනංකඩ නමින් හඳුන්වන ගඟේ නාමින් සිටි රණශුර කප්පින මුදලි දුටු කිතුලක සිටි රා මදින්නෙකු මුදලිවරයා හඳුනාගෙන දියේ ගිලෙමින් නාමින් සිටි රණශුර කප්පින මුදලිගේ හිස කදින් වෙන්කොට රජ වාසලට ගෙනවිත් රජුන් ඉදිරියේ තැබුවේ බොහෝ තෑගි භෝග වස්තුව ලබාගැනීමේ අරමුණින් යුතුවය. 

 
රණශුර කප්පින මුදලිගේ කඳෙන් වෙන් වූ හිස දුටු රජු මහත් කම්පාවට පත් වී තමාට අවශ්‍ය වූයේ කප්පින මුදලි පණපිටින් ගෙන්වා ගැනීම බවත් කියා මහත් කෝපයට පත් වී රා මදින්නා උල තබා මැරවීය.   


එසේම එක් තැනක සඳහන් වන්නේ කප්පින රණශුර මුදලිගේ හිස දුටු රජු සතුටු වී රා මදින්නට බොහෝ තෑගි භෝග දී පිටත්කර හැරි බවය.   


කෙසේ වෙතත් මෙම සිද්ධිය ගැමි ජනයා දැක ඇත්තේ මෙලෙසිනි.   


දොර කඩ කිතුලෙ රන් බන්දනවා දුටිමි   
රිදීපාන ගෙයි දැල්වෙනවා දුටිමි   
පුෂ්පරාග ගල්කප්පනවා දුටිමි   
කප්පින මුදලි හීනෙන් වැටුණා දුටිමි   
හිස ගෙන ගොසින් සීතාවකට දී පුළු   
කඳ ගෙන ගොසින් බගවත්තේ දමා පුළු   
රුවගෙන ගොසින් තොඩිලන්දේ ලියා පුළු   
කප්පින මුදලි නයිනංකඩ මරා පුළු   
ගාල්ලේ කොනින් වඩිනා කල මුදලි   
වේල්ලේ කොනින් කෙටුවා වැනි විදුලි   
වීදි දොරින් යනදා සොඳ වූ මඟුලි   
කප්පින මුදලි නැති දා මේ රට නොදිලි   


කප්පිත මුදලි නමින් හැදින් වූ තවත් මුදලිවරයකු ගැන පෘතුගීසි කලවකවානුවේ තොරතුරු දැක්වේ.   


බෙන්තුසාල් මැගිලියන් වීරසිංහ සේනානායක නමින් හැඳින්වුණ මෙම මුදලිතුමාද යුද සෙන්පතියෙකි. කැරැල්ලක් මැඩ පැවැත්වීමට කොචින් රටට ගොස් ඇත්තේ මෙම මුදලිවරයා බව සඳහන් වේ.   


ලන්දේසි අවධියේදීද මහමුදලි පදවිය දැරූ මෙම පරපුරේ සෙන්ද්‍රික්කුද සොයිසා රාජපක්ෂ සහබන්ධු නම් මුදලිවරයකු පිළිබද තොරතුරු ද හමුවේ.   


රාජපක්ෂ සහබන්ධු මුදලිතුමාගේ පියා වැලිතොට මහමුදලි පදවිය දැරූ වත්තුමහරාළ ය. පුතුන් දෙදෙනකු හා දියණියක මෙම මුදලිතුමාට සිටි බව කියැවේ.   


කප්පින වලව්ව අසල තිබූ පෘතුගීසි පාසලට තම පුතුන් දෙ​ෙදනා යැවූ වත්තුරාළ මහමුදලි මෙම පාසලේ ගුරුවරයා ලෙස කටයුතු කළ තම සහෝදරයාගෙන් දරුවන් දෙදෙනාට අනතුරක් වේ යැයි සිතා නාඔටුන්නේ මුදලි වෙත යැව්වේය. එහිදී ඇති වූ සිද්ධියකට පලා ආ දරුවන් දෙදෙනා ගාලු වරායේ නවතා තිබූ නැවකට නැග්ගේ වෙනත් පිළිසරණක් නැති නිසාවෙනි.   


එම දරු දෙදෙනාගේ වාසනාවට දරුවන් නැති සුදු ජාතික පවුලක් පුතුන් දෙ​ෙදනා භාරගත්තේ තම දරුවන් ලෙස හද‌ාගැනීම සඳහා සිය රටට ගෙන යාමේ අදහසිනි. එක් දරුවෙක් නැවේදී හදිසියේ අසනීප වී මියගිය අතර, අනිත් දරුවා ඕලන්දයට ගොස් සිප් සතර මෙන්ම යුද පුහුණුවද හොඳින් හද‌ාරා ඕලන්ද රජුගේ සිත් දිනාගෙන ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.   


කාලයකට පසුව සිය මව්රටට පැමිණි මෙම කපිතාන්වරයා මහමුදලි පදවියටද පත්ව තිබේ. සහබන්ධු මුදලිවරයාගේ කොඩියේ විස්තර මෙසේ කියැවේ.   


සදේ තාරුකා හතරයි මල් බින්දු   
බඳේ ගෝමරයි මුදලිගේ සහබන්ධු   
රට රටවල රජ්ජුරුවරු නම බැන්දු   
කොතනත් ගුණ කියති වැලිතර සහබන්දු   


ඕලන්ද යුගයේදී මෙම පරපුරේ දෝනාතු මැගලියන් නන්එදිරි 1708 දී දඩල්ල මුදලි පදවියද දරා ඇති අතර විවිධ කාල වකවානුවල තනතුරු දරා කුරුදු වගාවට සම්බන්ධ මහබද්දේ පදවියද දරා පසුව 1830 දී කුරුදු ඒකාකාධිකාරය විදේශීන්ගෙන් ස්වදේශික තමන් අතට ගෙන ස්වාධීන ව්‍යාපාරයක් ලෙස කප්පින මුදලිවරු කටයුතු කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.   


1959 වසරේ ජුලි මස 01 දින නිකුත් වූ ඉරිද‌ා ලංකාදීප පුවත්පතේ කතුවැකිය සටහන් පිටුව පුරා බළපිටිය මහකප්පින වලව්ව ගැන පළවූ විශේෂ ලිපියක වලව්වේ ඡායාරූපයක් මත ශීර්ෂපාඨය වූයේ ‘ශත වර්ෂ දෙකක්ම ජාතියට මහත් සේවයක් කළ මෙම ස්ථානය සංඝයාට කප්රුකක් විය’ යනුවෙනි.   


මහකප්පින වලව්වේ අවසන් මුදලිවරයා වූ ටියුඩර් රාජපක්ෂ මහතා වලව්ව හා වලව් භූමිය පූජා ඔප්පුවකින් ලියා අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායට පරිත්‍යාග කළේ නිකායේ වාර්ෂික උපසම්පදා මහෝත්සවයට මෙන්ම රටේ සිව් දිගින් වඩින මහසඟරුවන වෙනුවෙනි.   


මෙම වලව් ඉඩම නොවිකුණන ලෙස හා බදු නොදෙන ලෙසත් ඉදිරි කටයුතු කරගෙන යන අාකාරය ‘කොඩි සිල්පත’’ තුළින් දීර්ඝ ලෙස කොන්දේසි පනවා නිකායට බලය පැවරෙන පරිදිය. ටියුඩර් රාජපක්ෂ අවසන් මුදලිවරයාගේ අවසානයත් සමග වසරින් වසර කප්පින වලව්වද අවසානය කරා ළඟා විය.   


කල්යත්ම ගරාවැටී විනාශයට ලක් වූ කප්පින වලව්ව කැලෑවෙන් යටවී ගියේ මෙහි විසූ බලසම්පන්න මහමුදලිවරුගේ නාමයද ජාතියට රටට යටපත් කරමිනි.   
එද‌ා අක්කර විස්සකට වඩා තිබූ කප්පින වලව් භූමිය අද වන විට අක්කර තුනකට පමණ කොටු වී තිබේ.   


කප්පින වලව්ව කැලෑවෙන් යටවී තිබූ වසර ගණනාවකට පෙර මාදු ගඟ ගැන රටට ලෝකයට කියන්නට මෙන්ම ලියන්නට බළපිටියට ආ කෘතහස්ත මාධ්‍යවේදියකු වූ දිවංගත ධර්මසිරි ගමගේ සූරින් සමග මෙම ලියුම්කරු වන මමද කප්පින වලව්වේ නටබුන් සොයා ගියේ වලව්වේ එද‌ා අපිටත් වඩා උසට වැවී තිබූ කැලෑ පඳුරු අතරිනි.   
ගරාවැටී කඩා වැටුණ වලව්ව දැකීමෙන් අප හදවත් තුළ මහත් සංවේගයක් එදා ඇතිවුණි. රටට - ජාතියට මහා මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයන්ට හා පින්බිමකට අප සලකා තිබුණේ එලෙසිනි. එදා අප තුළ බලවත් කම්පාවක් මෙන්ම ලජ්ජාවක් ඇති වුණි.   


1959 වසරේ ඉරිද‌ා ලංකාදීපයේ පළව තිබූ ඒ ප්‍රතාපවත් අභිමානවත් මහා කප්පින වලව්ව මෙන්ම වලව් භූමියේ සුන්දරත්වය කාලයේ කැලෑවෙන් යට වී ගොස් තිබුණි. මෙහි විසූ කප්පින පෙළපතේ මුදලි මුහුන්දරම්වරු සියවස් ගණනාවක් රටේ විරාජමානව සිටි ශ්‍රේෂ්ඨයන්ගේ මතක පවා මේ වන විට අමතක වී යමින් තිබේ. 

 
ගම්පෙරළියේ කයිසාරුවත්තේ මුහන්දරම් ඇතුළු නන්ද‌ා, හාමිනේ ඇතුළු වලව්වේ ඇත්තන් ගැන ප්‍රවීණ සිනමාකරුවෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය චිත්‍රපටියෙන් හා ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වූ බර්ට්‍රම් නිහාල් පුංචි තිරයෙන් ගෙන ආ ගම්පෙරළිය ටෙලිනාට්‍යයෙන් පමණක් බළපිටියේ මහා කප්පින වලව්ව දැක ගැනීමට ලැබීමත් වාසනාවකි.   


හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ලියූ මේ ගම්පෙරළිය නවකථාවේ මෙන් මහා කප්පින වලව්වද සමාජ පරිවර්තනය හසුවී ​ගොස් තිබේ.   


එහෙත් ජාතියේ පෙර පිනකට හා වාසනාවකට මෙන් දශක කීපයක් ගරාවැටී කැලෑවෙන් වැසී තිබුණ මහා කප්පින වලව්ව යළි ප්‍රතිනිර්මාණය වී තිබීම සතුටට මෙන්ම අභිමානයට ද කරුණකි.   


අමරපුර සිරි සද්ධම්ම වංශ නිකායේ මහානායක අහුන්ගල්ලේ සිරි සීල විසුද්ධි මහානාහිමියන්ගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි නිකායේ සමලේඛකාධිකාරි මහෝපාධ්‍යාය බලපිටියේ සිරි සීවලී නාහිමියන්ගේ මූලිකත්වයෙන් යළි ඉපදුන මහා කප්පින වලව්වේ අභිනව සංඝාවාසය සීමාමාලකය ප්‍රතිසංස්කරණ දාන ශාලාව ඇතුළු ගොඩනැගිලි හා ප්‍රධාන දොරටුව දර්ශනීය ලෙස ගොඩනගා තිබේ.   


අමරපුර සිරිසද්ධම්මවංශ මහා නිකායේ මූලස්ථානය වෙන මෙම පින්බිමේ දී නිකායික ‘සුධර්මා’ කාරක සංඝ සභාව රැස්වේ. අමරපුර සිරි සද්ධම්මවංශ, මූලවංශික හා චූලගණ්ඨි යන නිකායත්‍රයේ වාර්ෂික උපසම්පදා පුණ්‍යකර්මය මෙන්ම ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ සිප්සතර හදාරන්නට රටේ සිව්දිගින් වැඩම කළ තරුණ භික්ෂුන් වහන්සේලා මෙහි නේවාසිකව වැඩ වසන්නේ කප්පින පෙළපතේ රාජපක්ෂ මුදලිවරුන්ගේ ශාසනික හා ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යාමේ අරමුණින් යුතුවය.  


ටී. සී. ඇල්. රාජපක්ෂ, වයලට් රාජපක්ෂ, ජයනාත් රාජපක්ෂ, ගිරිජා රාජපක්ෂ, යැස්ටින් ෂෙරින් රාජපක්ෂ අබේසිංහ, ඇලෙක්සැන්ඩර් එඩ්මන්ඩ් රාජපක්ෂ අබේසිංහ, අධිනීතිඥ රුවනා රාජපක්ෂ යන කප්පින පෙළපතේ රාජපක්ෂ මෑත පරපුර මෙන්ම ඥාති මුණුපුරු අශෝක ද සොයිසා රාජපක්ෂ මහමුදලිගේ යන රාජපක්ෂවරුද මෙහිදී සිහිපත් කළ යුතුය.  


එදා මහා මුදලිවරු විරාජමානව බැබලුන මහා කප්පින වලව්ව යළි විරාජමානවී බැබලීමට පටන්ගෙන ඇත්තේ මහා සඟරුවන නිසාවෙනි.  


ඉදිරි දිනකදී මහා කප්පින වලව්ව බැලීමට නොවරදවාම එන ලෙස ඔබටද ආරාධනා කරමින් මහා කප්පින වලව්වෙන් මම සමුගනිමි. 


අමරපුර සිරිසද්ධම්මවංශ නිකායේ ලේඛකාධිකාරි බළපිටියේ සිරි සීවලී නාහිමියන්ට, අහුන්ගල්ලේ දෙ.සු.ද සොයිසා හා උෂාන්ත මෙන්ඩිස් යන මහත්වරුන්ට ස්තුතියි. 

 

එදා බලපිටියේ මුල්ම පාසලවූ වතුරේගම කනිටු විදුහල් භූමියේ අද අහුන්ගල්ල පොලිසිය පිහිටා ඇති අයුරු

ලංකාවේ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව අද අහුන්ගල්ල රාජපක්ෂ මහා විද්‍යාලය

 

 

 


සටහන සහ ඡායාරූප
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා