කඳුකරයේ යක්කු සහ වෙරළබඩ නාගයෝ


අවුරුදු 12,500 දක්වා අතීතයට දිවෙන හෙළ යුගය අමිශ්‍ර ජනතාවක් මෙරට විසූ යුගය වෙයි. හෙළ යුගයේ අවසන් රාජධානි වන ගිනිකොන දිග හා වයඹ දිග නාගයන් නොහොත් නාවුක වෙළෙඳුන් සිටියා වූ යුගයද සුවිශේෂය. මෙම නාගයන් කව්ද යන්න පැහැදිලි නැත. හිරන්යක් වැනි 12500ට පෙර සිටි පාලකයන් පවා යක් (යක්ෂ) වූ නිසා ඔවුන් කව්ද යන්න පැහැදිලිය. ක්‍රි.පූර්ව 6 සියවසේ බුදුන් ලංකාවට වැඩි සමයේ මෙම යකුන් හා නාගයන් ගැටුමකින් තොරව විසූ බව නම් පැහැදිලිය.  

 

පනිත මහරජු:-  

 

නාග පාලකයන් අතුරින් පළමුව තොරතුරු ලැබෙන්නේ පනිත රජු ගැනය. ඔහු ‘මහරජ’ පනිත පදයෙන් සෙල්ලිපිවල විස්තර වී ඇත. මේ නිසා විජයට පළමු රාජ සංකල්පය මෙරට පැවැති බව පැහැදිලිය. දිව්‍යාවද‌ානය නැමැති සංස්කෘත බසින් ඇති ඉන්දීය මහායාන ග්‍රන්ථයේ (01 සියවස) දැක්වෙන පරිදි නාග රජුගේ මෙම නාග භවනය පැවතුණේ දූවේගලය. නාග භවනයේ සිටි නාග කුමාරවරුන් දෙදෙනකුට විනය උගන්වන ලද්දේ සඟරකිත (සංඝරක්ඛිත) හිමියන් විසින්ය.  


එම සඟරකිත හිමි වැඩ සිටි ගල්ලෙනෙහි එහි වාසය ගැන ලිපියක් කොටා ඇත. ‘බරත සඟර කිතහලෙනේ’ (අංක 270 ලංකා ශිලාලේඛන සංග්‍රහය 1 වෙළුම) මෙම හිමියන් ගෞතම බුදුන්ගේ ශිෂ්‍ය තෙරනමකි. පනිත මහරජකු වීම නිසා විජයගෙන් රාජත්වය බිහිවූයේය යන සම්ප්‍ර‌‌ද‌ායික ඉතිහාස මතය බිඳ වැටේ. රට පුරා විහිදුණ මෙම ජනාවාස ගෝත්‍රිකත්වය ඉක්මවා ගමන් කර තිබුණි.  


 

සුමන සමන්:-  

 

සුමන සමන් දේවයා පනිත මහරජුගේ බෑනා හෝ පුත්‍රයා විය හැක. සුමන පළමුව පනිතගේ අයකැමි බව මුල් සෙල්ලිපිවල ඇත. පසු සෙල්ලිපිවල සඳහන්වන්නේ ඔහු මහරජුගේ භාණ්ඩාගාරික (මුදල් ඇමැති) බවය. සුමන රජුගේ මුදල් ඇමැති බව කියැවෙන ‘මහරජන පනිත බඩකරික පරුමක සුමනන ලෙණෙ..’ යන ලිපිය (අංක 1035 ශිලා ලේ. සංග්‍ර) මහ නන්නේරිය අසල තෝරමයිල්ලෑවේ ඇත.  


 

කාවන්තිස්ස හා රැජිනිය පනිතගේ මීමුනුබුරන් බව:-  

 

පනිත රජුගේ භාණ්ඩාගාරික සුමනගේ පුත් පරුමත චෙමශගේ ලෙණ....’ යනුවෙන් සඳහන් සෙල්ලිපිය සිතුල්පව්වේ කොරවක්ගල (අංක 621) ලෙණක ඇත. කාවන්තිස්ස හා විහාරමහා දේවි යුවළ පනිත රජුගේ සිට පස්වැනි පරම්පරාවට අයිතිය. මෙම යුවළ විසින් එම ලෙන සංඝයාට පූජාකර ඇති බව එහි සඳහන්ය.’ රජ තිශහ රජියශි නියතෙ අගත අනගත බගවත ශගශ...’ පනිත යන තම පිත ලෙස මෙහි සඳහන්ය. පිත මහ රජු යනු වලගම්බා බව මහාචාර්ය පරණවිතාන පවසයි පීතාරාජ නම් පටබැඳි නමක් වලගම්බාවන්ට වූ බව මහාවංශය පවසයි. සුමන සමන් පැහැදිලිවම විජයට පෙර සිටි නිසා එම කීමට වටිනා කමක් නොලැබේ. වලගම්බා සිටියේ කාවන්තිස්සට ද පරම්පරා 4ට පසුවය.  


 

මහබිය කුමරිය පනිතගේ දියණිය බව:-  

 

(1) මහබිය නොහොත් මහලොකු නමැති සුමන සමන්ගේ සහෝදරියක් ගැන ජනප්‍රවාදයේ එයි. ඇගේ සළුපිළි හා අාභරණ තැන්පත් කර ඇතැයි සලකන දේවාලයක් ද මහියංගණය අසල ඇත. ශිලා ලේඛන අංක 37 දරණ මිහින්තලේ ලිපිය පනිතගේ දියණිය ‘මහබිය’ ගැන පවසයි. මෙතැනදී පනිත රජු හඳුන්වන්නේ ‘දීපරාජ’ නමිනි. දූවේගල (දිඹුලාගල අසල) නමැති මහවැලි ගඟ මැද දූපතේ රජ මාළිගය වූ නිසා ඔහු දීපරාජ වූ බව සංස්කෘත දිව්‍යවදානය කෘතිය පවසයි. සඟරකිත හිමි නාග දරුවන්ට (පැවිදි) විනය ඉගැන්වූයේද මෙම නාග භවනයේදීය. මහ බිය පනිතගේ දියණිය නිසා සුමන සමන් ඇය හා විවාහ වූ බෑනා විය හැක.  


(2) කඩුවෙල කොරතොට විහාරයට අයත් ලෙනක නැවතත් මහරජුගේ දියණිය වූ මහබිය ගැන සඳහන්ය. (අංක 1103) මහරජුගේ දියණිය මහබියගේ ලෙණ..’ යනුවෙනි. ඒ වයඹ පළාතේ මහනාන්නේරිය, උතුරුමැද මිහින්තලේ දකුණෙහි සිතුල්පව්වේ කොරවක්ගල හා බස්නාහිර කඩුවෙල යන ස්ථානවල පනිත නාමය සඳහන් වන්නේ (දියණියගේ සමග) ඔහු මුළු රටටම අධිපති වූ නිසා බව සිතිය හැක. නාගයන් මුහුදු වෙළෙඳුන් වන අතර රට මැද මිහින්තලේ පනිතගේ දියණියගේ ලිපියක් තිබීම පුදුමයකි. දිඹුලාගල රට මැද වුවත් මහවැලි නදිය නිසා නාග භවනයට යාත්‍රා කළ හැක.  


 

සුමන සමන්:-  

 

සමන් දේවයා පරුමත (ප්‍රාදේශීය පාලක) තත්ත්වයේ සිට බඩතරික (භාණ්ඩාගාරික මුදල් ඇමැති) තත්ත්වයට ආ බව සෙල්ලිපිවලින් පැහැදිලිය. බුදුන්වහන්සේ සුමනගේ ගුවන් යානයෙන් ශ්‍රීපාද කඳු මුදුනට ගමන් කළ බව බළන්ගොඩ ප්‍රදේශයේ ජනප්‍රවාදයකි. බළන්ගොඩ අසල බොල්තුඹේ දේවාලයේ විශාල අඳුරු කාමරයක මෙම ගුවන්යානය හෝ එහි ආකෘතියක් විය.  

 


1880 දී පමණ රත්නපුර සුදු දිසාපතිවරයා එහි ගොස් එම කාමරය හැර තමාට ගුවන් යානය පෙන්වන ලෙස ප්‍රධාන කපු මහතාට කීවේ රිවෝල්වරය අතැතිවය. අසරණ වූ කපු මහතා ඊට අවනත විය. අනතුරුව මහා අකල් වැස්සක් වැස හැම තැනින්ම ජලය ගලා අවුත් අශ්වයාගේ පය ලිස්සා ඌ ඇද වැටුණි. ගම්වාසීහු අලියකු ගෙනැවිත් පුටුවක් පිටෙහි බැඳ ඇත්ගොව්වන් සමග දිසාපතිවරයා බළන්ගොඩ කඩමණ්ඩියට එවූහ. රාත්‍රියේදී තදබද ලෙස උණගැනුණ ඔහු 6 වැනි දින ඉන් මිය ගියේය. එබැවින් දුටු දේ අදටත් රහසක්ව පවතී. මෙම තොරතුරු අඩංගු බොල්තුඹේ ගම් මුලාදෑනියාගේ (ආරච්චි) කට උත්තරය (ප්‍රකාශය) පමණක් රාජ්‍ය ලේඛනාගාරයේ ඇත.  


සමන් දෙවියන්ගේ අඩවිය පලතුරු උයනක් බවද ශ්‍රීපාද වන්දනාවේ ගොස් අතරමං වූවන් දින ගණන් පලතුරු අනුභව කරමින් ඇවිද පාරට ඇවිත් ආපසු ඒම ජනප්‍රිය කතා පුවතකි. අඩවියෙන් පිටට ගෙනා පලතුරු කුණු වී තිබීමද අසන්නට ඇත. 1982 වසරේදී පළාත් පාලන සේවා දෙපාර්තමේන්තුවේ සේවය කළ මැණික් ගැන හොඳින් දත් මෙම ලියුම්කරුගේ ශාඛාවක සිටි රණසිංහ නැමැති ලිපිකරුවෙක් ශ්‍රීපාද අඩවියේ මැණික් ගැරීමට ගියේ තම මිතුරන් සිව් දෙනකු සමගය. අඟල් 12 හාරන විට ඉල්ලම් විය. ගරා ගත් වටිනා මැණික් පොට්ටනියද ගමන් බෑගයේ දමා ​ෙගන කුරුවිට තම නිවසට අවුත් පොදිය ලිහා බැලීය. සියලුම ගල් පැලී හෝ ඉරි දිවීම නිසා ආලෝකය නැතිව පළුදු වී තිබුණි. එම මැණික් කීපයක් රණසිංහ විසින් මෙම ලියුම්කරුටද පෙන්වන ලදී.  


සුමන සමන් දේවයා මරණින් පසු අප විසින් දේවත්වයට නංවා අද සුමන සමන් දෙවියන් ලෙස පුද ලබයි. ප්‍රාලාද රජුන් දවස (වසර 10,000ට ප්‍රථම) බෘගු මහර්ෂි ඇරඹූ දේව අධ්‍යාපනයේ ආරම්භක ශක්‍ර (ප්‍රධානියා) බ්‍රැගු වූ අතර අන්තිමයා වූයේ සුමනයි. දේව අධ්‍යාපනය හා සෘෂිවරුන් බිහිවීම ඉන් අවසන් විය. බුදු දහම් අසා ඔහු සෝවාන් වූ බව මහාවංශය පවසයි. ලෞකික වි‌ද්‍යාවන් සුමන විසින් අත්හලේ ඒනිසා විය හැක.  


 

සුමන පුත් දස බෑ සොහොයුරන්:- 

 

සෙල්ලිපි මගින් දක්වන පරිදි සුමනට පුතුන් දස දෙනකු විය. ඉන් වැඩිමලා ‘සව’ නම් විය. සවගේ දෙටු පුත්‍රයා ‘දමරජ’ විය. දමරජගේ පුත් ‘මහතිස අය’ නොහොත් කැලණිතිස්ස විය. මහාවංශයේ නැති මෙම නාග රජ පරම්පරාව ගැන ඇත්තේ පානම අසල බෝවත්තෙගල ඇති ශිලා ලිපි අංක 549 හිය.  


සමනල කන්දට නගින ගල්පඩි පෙළ බැන්දේ දමරජ බවට මතයක් ඇත. එමෙන්ම යමරජ පරම්පරාව නැමැති රජ පරම්පරාවක් වූ බව මහාචාර්ය පරණවිතාන පවසයි. යමරජු පාතාලයේ නොහොත් අපායේ (යමලොව) අධිපතියා ලෙස බෞද්ධ සාහිත්‍යය විසින් හඳුන්වයි. විද්‍යාත්මකව ‘ඇස්ට්‍රල් ලෝකය’ ලෙස හඳුන්වා මරණින් මතු උපදින’ පරලොව’ මීට වෙනස්ය.  


දමරජ යනු යමරජ බවද යමයා බවද ඉතිහාසඥ නිකොලොස් පවසයි.   


 

මහාවංශයේ මහානාග යුවරජු හා සෙල්ලිපිවල උපරාජ නාග:- 


දෙවනපෑතිස් රජුගේ බාල සොහොයුරු මහානාග යුවරජ කෙනකු ගැන මහාවංශය පවසයි. ඔහු වැවක් තනමින් සිටි තැනට රජුගේ දේවිය විසින් විෂයෙදූ අඹ ගෙඩියක් සහිතව අඹ බඳුනක් යැව්වේ දෙවනපෑතිස් ළඟට ඔහු රජවීමට නියමිත නිසා. යුවරජුව මරා තම පුත්‍රයාට රජකම ලබාදීමේ චේතනාවෙනි. නමුත් උපාය වැරදී උඩම තිබූ විෂ අඹය කෑවේ එහි ක්‍රීඩා කරමින් සිටි රජුගේ පුත්‍රයාය. කුමරු මියයාම නිසා රාජ උදහසට ලක්වන බැවින් තම ගැබ්බර දේවිය ද රැගෙන මහානාග යුවරජු රුහුණට පලා ගියේය. යටාල වෙහෙර අසලදී (තිස්ස) පුත්‍රයෙකු ඇය බිහි කළ අතර ඔහු යටාල තිස්ස විය. ඔහුගේ පුතා ගෝඨාභයය. ගෝඨාභයගේ පුත්‍රයා කාවන්තිස්සය. මෙම ප්‍රවෘත්තිය සහිත මහාවංශය ලියවුණේ සිද්ධියෙන් අවුරුදු 700 ට පසුවය.

 
සෙල්ලිපියක් කෙටවනුයේ සමකාලීනවය. එබැවින් එහි ප්‍රවෘත්ති වටිනාකම හැමවිටම වැඩිය. අම්පාර දිස්ත්‍රික්කයේ කොටදැවුහෙල ඇති අංක 556 දරන සෙල්ලිපිය දමරජගේ පුත් මහතිස අයගේ (කැලණිතිස්ස) දියණි අබිසවෙර (විහාරදේවි) අබය පුත (ගෝඨාභය පුත්) කාවන්තිස්සගේ බිසව වූ අබිසවෙර විසින් ලෙණ මහා සංඝයාට දුන් බවයි.  
සමකාලීන සෙල්ලිපි අනුව මහානාග යුවරජු යනු සුමන පුත් දස බෑ සොහොයුරන්ගේ නාවුක ප්‍රධානී වූ උපරාජ (යුවරජ) මහනාගයි. ඔහුගේ පුත්‍රයා ගෝඨාභය බව හා ගෝඨාභය පුතු කාවන්තිස්ස බව සෙල්ලිපිවලද සඳහන්ය. අම්පාර දිස්ත්‍රික්කයේ මොට්ටයාකල්ලු ලිපිවල සඳහන් පරිදි මහානාග කව්ද යන්න පැහැදිලිය.  


සමකාලීන සෙල්ලිපිය වඩා නිවැරැදිය.  

 

අංක 487 ලිපිය මෙසේ කියයි. දසවතිකයන්ගේ නාවික ප්‍රධානී උපරාජ නාගය. උපරාජ නාගගේ මුනුපුරා වූ මහාපාසාදික අබය රජුගේ පුත් ග්‍රාමනී තිස්සගේ විහාරය පැමිණි නොපැමිණි සියලු භික්ෂු සංඝයාට දෙන ලදී. ගෝඨාභය (මහාපාසාදික අබය) උපරාජ නාගගේ මුනුපුරා බව මෙහිදී කියවෙන නිසා යටාල තිස්ස පුත්‍රයා වීම නිවැරැදිය. ග්‍රාමනී තිස්ස යනු කාවන්තිස්සය.  


 

නාග රජපවුල දෙකට බෙදීම හා එදිරිවාදිකම්  


මඩුකසලිය ප්‍රගියන නමැති නැව් සමාගමේ (ප්‍රගියන යනු සමායතනයයි) අයිතිය ලබා ගැනීමට ගෝඨාභය විසින් දස බෑ කුමරුන් ඝාතනය කළ බව සිංහල බෝධි වංශයේ සඳහන් වේ. දසබෑයන්ගෙන් බිදී ගිය උපරාජ නාග විසින් මාගම රජ පරපුර අරඹයි. යඨාලතිස්ස, ගෝඨාභය, කාවන්තිස්ස එම පරපුරය. දස බෑ පරපුර දමරජ, කැලණිතිස්ස හා විහාරමහාදේවී (අබිසවෙර) ආදී වශයෙනි. මෙසේ බෙදුන රජ පවුල් දෙක නැවත එකතු වන්නේ කාවන්තිස්ස හා විහාරමහා​ දේවි විවාහයෙනි. ඉන් බිහිවන ගාමිණී අබය (දුටුගැමුණු) කුමරු අනුරාධපුරය දිනා රට එක්සේසත් කරයි.  
රට එක්සේසත් වීම නාග දුටුගැමුණුගෙන් සිදුවූ නිසා රට අභ්‍යන්තරයේ සිටි යකුන් ඊට පසු සිහසුන සඳහා තරග කරනු දැකිය හැක. ඉංග්‍රීසි ඉතිහාසඥයන් මෙය දුටුවේ ඔවුන්ගේම මනඃකල්පිත මෞර්ය හා ලම්බතර්ණ තරගයක් ලෙසටය.  


 

නාවුක වෙළෙඳුන් හා නැව් සමාගම්:-  

 

ප්‍රධාන නාග රාජධානි දෙකක් ලංකාවේ අග්නිදිග හා උතුරට හුරු වයඹ දිග දක්නට තිබුණි. මේ නාවුක වෙ​ෙළඳුන්ය. නාග යන්නෙහි අර්ථය නම් න-ආග (ආ පාරක් නැති) යන්නයි. ජලයේ යාත්‍රා කළද එසේ ආ ගිය පාරවල් නැතිවීම ඊට හේතුවයි. අද දින මුහුදු සේද මාර්ග ලෙස බ්‍රිතාන්‍යයන් විසින් අර්ථකථනය කර ඇති චීනයේ හා ඈත පෙරදිග සිට ඉන්දියන් සාගරය හරහා මැද පෙරදිග ඊජිප්තුව හා අරාබිය දක්වා වූ නාවික වෙළෙඳ කටයුතුවල මධ්‍යස්ථාන වුණේ අග්නිදිග ලංකාවයි. ඉහත දක්වා ඇත්තේ පනිත රජුගේ සිට සෙල්ලිපි මගින් හෙළිවන එම රාජ වංශයේ තොරතුරුය.  

එම විවාහයෙන් උපන් ගැමුණු කුමරු මුළු රට එකක් කරන ලදී.  


ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියා නාවුක විශ්වවිද්‍යාලය හා ලංකාවේ කැලණියේ (වත්මන් කැලණිය නොවේ) කැලණි නාවුක විශ්වවිද්‍යාලය ක්‍රි.පූ. 7, 6, 5 සියවස්වල ලොව පැවැති නාවුක විශ්වවිද්‍යාලයන් දෙක විය. එ් නිසාම කැලණි වරායේ හා නාග මුහුදු වෙළෙඳුන්ගේ විනාශය සහ එම ප්‍රදේශය මුහුදට ගිලා බැසීම පිළිබඳ විස්තර ඇලෙක්සැන්ඩ්‍රියා ජාතික කෞතුකාගාරයේ අදත් ඇත.  


ප්‍රගියන යන නමින් සමායතනය යන අර්ථය දුන් නැව් සමාගම් 4ක නම් සෙල්ලිපිවලින් දකිත හැක. මඩුකසලිය ප්‍රගියන ඉන් ප්‍රධාන වේ. ​අල්පවත මහා ප්‍රගියන, කාම්බෝජ ප්‍රගියන හා තුබදවසර ප්‍රගියන අනිත් සමායතන තුනයි. චීනය හා අප්‍රිකාව මැදපෙරදිග අතර මුහුදු වෙළෙඳාම් සිදුවුණේ මේ සමාගම් හතරෙනි. ලංකාවේ මැණික් ඉතා බහුල නිසා එහි ලෝක ඒකාධිකාරය නාගයන් සතු විය.  


එම මැණික් වෙළෙඳුන් දෙපස පදිංචි වී සිටීම නිසා මැණික් ගඟ යන නාමයටද ගඟට ලැබුණි. නාග පාලකයෝ ධනවත් වෙළෙඳුන් මැණික් ගඟ, කුඹුක්කන්ඔය, හැඩඔය යන ගංගා ආශ්‍රිත පහත් තැනිතලා, බිම්වල ගොවිතැන් කරගෙන ආහාර අවශ්‍යතා සම්පූර්ණ කර ගත්හ.  


මඩුකසලිය ප්‍රගියන නැව් සමාගම විශාල එකක් බව චීන වාර්තාවලින් පැහැදිලිය. චීන වරායන්ට ආ අඩි 300 දිග හා තට්ටු තුනකින් යුත් විශාල නැව් හෙළයන්ගේ බව එම වාර්තාවල සඳහන්ය. මඩුකසලීය සමාගමේ නැව් ලාංඡනයක් විය. එය සෙල්ලිපිවල ‘ම’ අක්ෂරයට යෙදුන අතර චීන බසේද ‘ම’ එයම විය.

 
ගෝඨාභය සහ දස බෑයන් සමකාලීනද?  


සුමනගේ පුත් දසබෑයන් ක්‍රි.පූ. 6 වැනි සියවසේදී බුදුන්වහන්සේට සමකාලීනව ජීවත් වූහ. මහා වංශයට අනුව දෙවන පෑතිස් රජු ක්‍රි.පූ. 3 වැනි සියවසට අයත්ය. මේ අනුව මහාවංශයේ මහානාග යුවරජු රුහුණට පලා යාමේ ප්‍රවෘත්තිය පිළිගැනීමට අපහසුය. සෙල්ලිපිවල එන උපරාජ නාග දස බෑයන්ගේ නාවුක ප්‍රධානියන් නිසා ගෝඨාභය විසින් ඔවුන් ඝාතනය කළා විය හැක. ‌උපරාජ දස බෑයන්ගෙන් මිදී යන්නෙත් ගෝ‌ඨාභය ඔවුන්ව ‌ඝාතනය කරන්නේත් නැව් සමාගම්වල අයිතිය පිළිබඳ අර්බුදයක් නිසාය.  


මහා වංශයේ කාල සීමාවන් සෙල්ලිපිවලින් හෙළිවන කාල සීමාවන් සමග එකඟ නොවේ. බුදුන් ලංකාවට වැඩම කරන කල සුමන භාණ්ඩාගාරික ඇතැම් විට පාලකයා වන්නට ද ඇත. ඔහුගේ පුතුන් ගෝඨාභය විසින් ඝාතනය කරන ලද අතර එම පාපය ගෙවීමට විහාරාරාම සිය ගණනක් ගොඩ නැංවූ නිසාම ‘මහාපාසාදික’ අබය විය. දසවතිකයන් විසින් මහියංගණයේදී බුදුන් දකින්නටද ඇත.