කඩුවෙල හෙල්ලූ පාතාල චණ්ඩි


පාතාල දඩබ්ම 

 

ප්‍රෞඪ ඉතිහාසයකට උරුම හරුමකම් කියූ කඩුවෙල පුරවරය ගැන කතා කරද්දී ක්‍රිස්තු පූර්ව 2වන ශත වර්ෂයට අයත් වූ කොරතොට රජමහා විහාරය ගැන මෙන්ම කෝට්ටේ යුගයට අයත් වූ නවගමු පත්තිිනි දේවාලය ගැන නිරන්තරයෙන් සිහියට නැගෙයි. එවන් පූජනීය අතීත උරුමයකට පාදක වූ මේ පුරවරයෙන් නොකියැවිය යුතු “පාතාලයන්’’ ගැන අසන්නට දකින්නට ලැබනේනේ මේ මෑත කාලයක සිටය. කඩුවෙල වසන්තලාගෙන් පටන් කරාටේ ධම්මිකලාගේ නම් කියැවෙන මේ කඩුවෙල පුරවරයට තවත් නම් එවන් නාමයන් අවශ්‍ය වන්නේම නැත.   


 මෑත කාලීනව කඩුවෙල, හංවැල්ල, රණාල, ජල්තර ආදී ප්‍රදේශයන් “රන්” කරමින් සිටි මේ කියන පාතාලයෝ දිවයිනේ අන් ප්‍රදේශයන්ට වඩා හාත්පසින්ම වෙනස් මගක් ගත් අය වූහ. මොවුන්ගේ සෙල්ලම වූයේ “කප්පම් ගැනීමය’’. මේ “කඩුවෙල කප්පම් කල්ලිය”, හෙරොයින් ජාවාරමට වඩා කප්පම් ගැනීමට ප්‍රසිද්ධය.   
 කඩුවෙල කප්පම් කල්ලි ගැන කතා කරද්දි “රණාලේ සමයං” ගැන කතා නොකරම බැරිය. කඩුවෙල ප්‍රදේශය සිය අණසකට යටත් කරගෙන සිටි “සමයං” අවසන් ගමන් යන්නේ ඉකුත් 2017 වර්ෂයේ පෙබරවාරි මස 27 වැනිදා කළුතර එතනමඩළ ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයක් තුළදීය. ලෙයට ලෙයින් පළියගැනීමේ අරමුණින් “මාකඳුරේ මධූෂ්” සහ “අංගොඩ ලොක්කා” මේ ඝාතන පිටුපස සිටි බවට ආරක්ෂක අංශ දැනුවත් වී සිටියේය. කොළඹ අපරාධ කොට්ඨාසය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ද මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබිණි.   


 “රණාලේ සමයං” ඝාතනය කළ අංගොඩ ලොක්කා ඉන්දියාවට පලායන්නේ මේ රටේ පොලිසියට ඇති බිය නිසාය. එහෙත් ‘අංගොඩ ලොක්කාට’ ඉන්දියාවේදී ගැහැනියකගේ අතින් අවසන් ගමන් යන්නට වූ බව කියැවෙයි.   


 අද මදූෂ් ලක්ෂිත නොහොත් “මාකඳුරේ මධූෂ්” ද, රණාලේ සමයං” ද, “අංගොඩ ලොක්කා” ද එලොව පාතාල රාජධානියක රජවී ඇත.   


 ‘සමයං’ ඝාතනය කර දමා අංගොඩ ලොක්කා සමග ඉන්දියාවට පලාගිය අනෙක් කෙරුමා වූයේ “ලඩියා” ය. මේ වනතෙක් ඔහු ගැන කිසිදු කතාවක් නැත. දැනට වසර දෙකක පමණ කාලයක සිට මේ ලඩියාට සිදුවූ දෙයක් ගැන කවුරුත් දන්නේ ද නැත. කියැවුණේ අංගොඩ ලොක්කා ගැන පමණි.   


 කඩුවෙල පාතාලයේ මහ කෙරුමා ව සිටි “රණාලේ සමයං” මෙහෙයවූ පාතාල කල්ලියේ සාමාජිකයන් වූයේ මාබුලගේ දිනිත් මෙලාන් මාබුල නොහොත් “ඌරුජුවා” සහ ඉඳුනිල් කුමාර නොහොත් “ඉන්ද්‍රා” ය. සිය නායකයාගේ මරණින් මතු ‘ලොක්කා’ වීමේ බල අරගලයකට මැදිවන “ඌරුජුවා” සහ “ඉන්ද්‍රා” නායකත්වය බෙදා ගැනීමට නොහැකිව එකිනෙකා මරා ගන්නට වූහ.   


 කෙසේ වෙතත් අද වනවිට ‘ඉන්ද්‍රා’ ද මදූෂ්ලාගේ, අංගොඩ ලොක්කලාගේ ලෝකයට ගොසින් ය. නවගමුව පොලිසියේ අත්අඩංගුවේ සිටි ඉඳුනිල් වජිර කුමාර නොහොත් “ඉන්ද්‍රා” පොලිසියෙන් වෙඩි කා නසින්නේ වෙට්ටු දමන්නට ගොසිනි. ඒ ඉකුත් අගෝස්තු මස 29 වැනිදාය. අවි ගත්තෝ නැසෙන්නේ ද අවියෙනි යන කියමන නැවත වරක් සනාථ කරමින් ඉන්ද්‍රා යන්නම යන්න ගියේ අවියකින් නිකුත් වූ උණ්ඩයකිනි.   

 


 “දැං ඒ කරදරේ ඉවරයි” කඩුවෙල ප්‍රදේශයේ ජනතාව එක් අතකින් සතුටට පත්වූයේ මොවුන් ඒ තරම්ම ප්‍රදේශවාසීන්ට සිදුකළ කරදර හිරිහැර නිසාමය.   


 “රණාලේ සමයං” ගේ මන්නා පිහි කල්ලියේ ප්‍රධානීන්ව සිටි මොවුන් දෙදෙනා “සමයං” ගේ අඩුව පුරවන්නට පටන් ගත්තේ ප්‍රදේශයේ සාමකාමී ජනතාවගේ කම්පාව සහ කලකිරීම මැද්දේය. දිනිත් මෙලාන් මාබුල යනු ඉක්මනින් කෝපයට පත්වන පුද්ගලයෙකි. නිතරම ඌරු ජුවල් යන මොහුට කල්ලියේ සගයෝ කීවේ ‘ඌරුජුවල්’ කියාය. ඌරුජුවල්, ‘ඌරුජුවා’ වී ඇත්තේ ඒ අයුරිනි. රණාලේ සමයං ගේ අඩුව පිරවීමට ඉදිරියට පැමිණි ඌරුජුවා, කඩුවෙල, නවගමුව, අතුරුගිරිය, මාලබේ ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම ධනවත් පුද්ගලයන්ගෙන් කප්පම් ලබාගැනීම පටන් ගත්තේ ඌරුජුවාය. මේ කප්පම් මුදල් බෙදාගැනීමේ අරගලයට ‘ඉන්ද්‍රා’ එන්නේ මේ අතරවාරේදීය. කඩුවෙල ප්‍රදේශයේ කප්පම් ලබාගැනීමේ ව්‍යාපාරය සිය සුරතට ගැනීමට මාන බලමින් සිටි ඉන්ද්‍රාට ඌරුජුවා කිහිප අවස්ථාවකදීම අනතුරු අඟවා තිබිණි.   


 “කඩුවෙලට අයියලා දෙකක් බැහැ. මං කියන විදිහට උඹට ඉන්න බැරිනම් උඹට යන්න පුළුවන්. අපිට එකුවෙලා වැඩ කරන්න බැරිනම් මෙහෙන් මාරුවෙලා පලයං. නැත්නම් මම උඹට බත් කන්න ඉඩ තියන්නේ නැහැ”   
 අවසානයේදී ඉන්ද්‍රා පාර්ශ්වය සහ ඌරුජුවා පාර්ශ්වය වශයෙන් කඩුවෙල පාතාලය බල අරගලයේ දෙපැත්තක් බිහිකෙරිණි. කෙසේ වෙතත් ඔවුන් දෙපිලකට බෙදී කළේ සමාජයට යහ වැඩක් නොවේ. අහිසංක ජනතාව තළලා පෙළලා බිය වද්දා මොවුන් සිය මඩිය තර කරගනිමින් ‘අයියලා’ ගේ උණ පෙන්වමින් සිටියහ. කඩුවෙල සහ අවට ප්‍රදේශවල ධනවතුන්ගෙන් කප්පම් මුදල් ලබාගන්නවා සේම වැලි පොළවල්වලින් කප්පම් ලබා ගැනීම ඉන්ද්‍රාගේ පාර්ශ්වයෙන් මෙන්ම ඌරුජුවාගේ පාර්ශ්වයෙන් ද දිගින් දිගටම සිදුකෙරුණු කටයුත්තක් විය.   


 ඌරුජුවාගේ කල්ලියට ගයාන් මධුසංඛ නොහොත් ‘ගයියා’, නයන කුමාර මුණසිංහ නොහොත් ‘මුණයා’, ශානුක ශලින් ද සිල්වා, නඳුන් රත්නායක නොහොත් “නන්දා” ඇතුළු පිරිසක් ම එක්වී සිටියහ.   
 ඉන්ද්‍රාගේ කල්ලියේ සිටියේ සුභාෂ් මධුෂාන්, උපුල් කිත්සිරි, බෙලිගොඩගෙදර සුරේෂ්, දිල්ෂාන්, තුෂාර ඇතුළු පිරිසකි. මත්ද්‍රව්‍ය මත්පැන් පානය නොකළ ඉන්ද්‍රා මත්ද්‍රව්‍ය ජාවාරමට කිසි දිනෙක එක්වූයේ ද නැත. ඔහුගේ එකම අරමුණ වූයේ ඌරුජුවා පරදා කඩුවෙල පාතාල බලය අල්ලාගනිමින් කප්පම් ගැනීම පමණකි.   
 ඉන්ද්‍රාගේ සමීප හිතවතෙකු වූ කඩුවෙල ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ගැනීමට ඌරුජුවා සිය ගෝලයන් මෙහෙයවන්නේ මේ අතරවාරයේදීය. මේ ව්‍යාපාරිකයා ඌරුජුවාගේ කීමට කිසිසේත්ම කප්පම් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළේ නැත. ඔහු තම මිත්‍ර ඉන්ද්‍රාට මේ බව කියා තිබිණි. 

 
 “ඕකා ඔය තරම් කෙරුමෙක් නෙමෙයි. ඕකා කියන ඒවා කරන්න යන්න එපා. මොනවා හරි වුණොත් මම බලා ගන්නම්”   


 ඉන්ද්‍රා වැලි ව්‍යාපාරිකයාට කියා තිබිණි. එහෙත් ඌරුජුවාගේ ගෝලයෝ කප්පම් ඉල්ලා වැලි ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් සිටි අවස්ථාවේදී ඉන්ද්‍රා එහි ගොස් මදි නොකියන්න ගුටි ප්‍රහාරයක් එල්ල කර ඌරුජුවාගේ ගෝලයෝ පන්නා දමා තිබිණි.   


 “තොපේ මහ එකාට කියපං මේ ඉන්ද්‍රා ඉන්නකල් හංවැල්ලේ සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නැහැ කියලා” ඉන්ද්‍රා ඌරුජුවාගේ ගෝලයන්ට ගුටි පූජාව දෙමින් “ජුවාට” පණිවිඩයක් ද යවා තිබිණි.   


 මේ සිද්ධියෙන් දැඩි ලෙස කෝපයට පත් ඌරුජුවා, සිද්ධිය වූ දින රාත්‍රියේම වැලි ව්‍යාපාරිකයාගේ නිවසට තම ගෝලයන් කිහිප දෙනකු පිටත් කර හැර ව්‍යාපාරිකයාගේ නිවසට ගිනි තබා විනාශ කර දැමුවේ ඉන්ද්‍රාට තම පාතාල බලය තහවුරු කර පෙන්වීමටය. මේ සිදුවීමෙන් පසු ඌරුජුවා සහ ඉන්ද්‍රා සදාකාලික බද්ධ වෛරක්කාරයින් බවට පත්වූහ. අළුයට ගිනි පුපුරු මෙන් මඳ සුළඟක් හමා ගියද ගින්න ඇවිළෙන්නට වැඩි වේලා ගත නොවිණි.   


 මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ද්‍රාගේ කල්ලියේ ප්‍රබලයකු වූ තුෂාර ජල්තර මහා විද්‍යාලයීය ක්‍රිඩාංගණයේදී ඌරුජුවාගේ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කරන්නේ මුළු කඩුවෙල පුරවරයම භීතියට පත් කරමිනි. එදිනම ඉන්ද්‍රාගේ කල්ලිය තවත් බිල්ලක් ගනිමින් ඌරුජුවාගේ සමීපතම ගෝලයකු වන ‘ජීවන්’ කපා කොටා ඝාතනය කරන්නේ හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදීය.   


 ඒ වනවිට උරුජුවා සිටියේ බන්ධනාගාරයේය. ජීවන් මැරූ පළියගැනීමට බන්ධනාගාරය තුළ සිට කල් මරමින් සිටි ඌරුජුවා, මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ඉන්ද්‍රාට සහ ඔහුගේ ගෝලයකු වන සුරේෂ් ට දරුණු ප්‍රහාරයක් එල්ල කිරීමට ගෝලබාලයින් යොමු කරනු ලැබුවේ “ඉන්ද්‍රාගේ බෙල්ල” ගෙන ඒමට නියෝග කරමිනි.   
 ඉන්ද්‍රාගේ කල්ලියේ කිහිප දෙනෙක් ඌරුජුවාගේ කල්ලියේ කිහිප දෙනෙකු සමග සම්බන්ධතා පවත්වන බව ඉන්ද්‍රා දැනසිටියේ නැත. ඉන්ද්‍රාගේ සියලු ගමන් බිමන් ගැන ඌරුජුවා දැනගත්තේ මේ අයගෙනි. ඉන්ද්‍රා නිතරම ගැවසුණේ තම ගෝල බාලයින් පිරිවරාගෙනය. තමන්ට කොයිම මොහොතක හෝ ඌරුජුවා ප්‍රහාරයක් එල්ල කරයි යන බිය ඔහුගේ සිතේ නළියමින් තිබිණ. කෙසේ හෝ ඉන්ද්‍රා අවිස්සාවේල්ල ප්‍රදේශයට යන බව ඔහුගේ ළඟම සිටි ගෝලයකු ජුවාට ඔත්තුවක් දුන්නේය. වහා ක්‍රියාත්මක වූ ජුවා, තම ළඟම හිතෛෂිවන්තයා වූ ‘ගයියා’ ඇමතීය.   


 “ඉන්ද්‍රාට වැඩක් දෙන්න අද තමයි හොඳම දවස. උඹලා රෙඩි වෙලා හිටපල්ලා” ජුවා මේ අණ දෙන්නේ වැලිකඩ බන්ධනාගාරයේ සිටිමින්ය. 

 
 ජුවාගේ ගෝලබාලයින් තමා ලුහුබඳිනා බව ඉන්ද්‍රා දැන සිටියේ නැත. තමන් ළඟම සිටින අය ජුවාට ඔත්තු සපයනවා කියා නොදත් ඉන්ද්‍රා, සුරේෂ් සමග අවිස්සාවේල්ලට ගොස් එමින් ගමන් හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේදී මාර්ගය අයිනේ රථය නවතා අසල පිහිටි වඩේ කඩයක් ළඟට ගියේය. සිතාගැන්මටත් බැරි අසුරු සැණින් ඔවුන් අසලට පැමිණි පිරිසක් සුරේෂ්ටත් ඉන්ද්‍රාටත් වෙඩි තබන්නට වූහ. වෙඩි වැදී බිම වැටී දඟලමින් සිටි සුරේෂ්ට ඌරුජුවාගේ ගෝල ගයියා සහ මුණයා ඇතුළු පිරිස මන්නා පිහිවලින් පහර දෙන්නට වූහ. කෙසේ හෝ වෙඩි පහර මෙන්ම මන්නා පහර කාගෙනම ඉන්ද්‍රා පලා ගොස් ජීවිතය බේරාගත්තේය. කිසිත් නොදන්නා ජීවන් නමැති අසල වඩේ ව්‍යාපාරය කරගෙන ගිය අහිංසකයකු ද මේ පාතාල නරුමයන්ගේ වෙඩි හුවමාරුවට හසුවී ජීවිතයෙන් වන්දි ගෙව්වේය.   


 කුරුමානම වැරදෙමින් සුරේෂ් ඝාතනයට ලක්වුවද ඉන් බේරී පලාගිය ඉන්ද්‍රා, කාලාන්තරයක් ඇඳක් උඩ දුක් වින්දේය. යන්තම් කකුල් දෙක පොළොවේ ගසා නැගී සිටි ඉන්ද්‍රා “කොයිම මොහොතක හරි ‘උරුජුවාට’ ගේමක් දෙනවා දෙනවාමයි” දිවුරමින් සිටියේය.   


 පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේදීත් ඉන්ද්‍රා සිටියේ සිය වම් අත එල්ලාගෙනය. තමන්ව සදාකාලිකවම අබ්බගාතයකු කළ ඌරුජුවාට යහතින් ඉන්නට දෙන්නේ නැති වගට ඔහු නිරතුරුවම මුමුණමින් සිට ඇති බව ප්‍රදේශවාසීහු කියති. අවසානයේ ඉන්ද්‍රා පොලිසියට කොටුවන්නේ හෙරොයින් සමගය. දින දෙකක් ප්‍රශ්න කරමින් සිටි පොලිසියට වෙට්ටු දමන්නට ගිය ඉන්ද්‍රා නැවත නො එන්නම ගියේය.   
 දැන් ඌරුජුවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේය. හෙට අනින්දා එළියට එන්නට සිහින මවන පාතාල අයියලා අතර ඌරුජුවාද එක් අයෙකි. ඉන්ද්‍රාගේ කඳින් වෙන්වූ බෙල්ල දැකීමට සිහින බලමින් සිටි ඌරුජුවාගේ සිහිනය ඉබේම ඉටුවී ගොස් තිබේ.   


 හංවැල්ල පොලිසිය සිදුකළ වැටලීමකදී ටී 56 අවියක උණ්ඩයක්, කඬුවක්, දුරකතනයක් සහ සිම්කාඩ් පත් 5ක් ද සමග රඛිත රවීශාන් ජයතිලක නොහොත් “පුයිටා” නමැත්තා අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2019 වසරේ ජුනි මාසයේ දිනකදීය. “පුයිටා” ඉන්ද්‍රාගේ අණින් හංවැල්ල ආශ්‍රිත ප්‍රදේශවල කප්පම් ලබාගැනීමේ නිරතව සිටි බවට ලද පැමිණිලි මත පොලිසිය මොහු එලෙස අත්අඩංගුවට ගෙන තිබිණි. බන්ධනාගාර ගතව සිටින ඉන්ද්‍රා සමග ජංගම දුරකතන අංක දෙකක් ඔස්සේ සම්බන්ධ වෙමින් පුයිටා සිය ක්‍රියාකාරකම් සිදුකර තිබිණි. දැන් මේ කියන පුයිටා ද ඉන්නේ එළියේය.   


 සේවකයෝ දහසක් පමණ සේවයේ නියුතුව සිටින නවගමුව රණාල එළිෆන්ට් හවුස් ආයතනය දින දෙකක් වසා තැබීමට තරම් මේ පාතාලයෝ ප්‍රබල වූහ. එහි මෑන් පවර් ආයතනයෙන් කප්පම් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධව පතිරගේ අරුණ ශාන්ත පෙරේරා හෙවත් සුද්දා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි. දැන් මේ කියන සුද්දා ද සිටින්නේ එළියේය.   


 රණාලේ සමයං ගේ තවත් ගෝලයකු බව කියන චමින්ද නමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට දුරකතන ඔස්සේ ඇතැම් පුද්ගලයින්ට තර්ජනය කරමින් සිටින බවටද පැමිණිලි ලැබී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. එසේම, ඔහුගේ ගෝලයකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් චමින්ද නමැත්තා නවගමුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට ද දුරකතනයෙන් කතා කොට තර්ජනයක් ද කර තිබිණි.   


 මේ කඩුවෙල කෙරුමන්ගේ කතාවයි. ලෙයින් ලෙයට පළිගන්නා දෙපාර්ශ්වයක එක් අණ්ඩක් කඩා දැමුවද අනෙක් අඬු තවමත් තැන තැන විසිරී පැතිරී තිබේ. කප්පම් ගැනීම් මෙන්ම පාතාල ක්‍රියාකාරකම් කිසිදු පුද්ගලයකු අනුමත නොකරන්නකි. එය දැහැමි සාධාරණ සමාජයකට ඕනේම නැත. පාතාලයේ අයියලාගේ අවසන් හෝරාව ගැන දැන් දැන් අමුතුවෙන් මේ අයට කියා දෙන්නට අවශ්‍ය ද නැත. අවිගත්තෝ නසින්නේ අවියෙන් බව පමණක් අවසන කියනු කැමැත්තෙමි.   

 

 

 නිරංගි අබේවික්‍රම