ඔබට නිවසක් හිමි කර ගත හැකිද ?


අද ශ්‍රී ලංකාවේ ඇති ප‍්‍රධාන ගැටලු අතර තමාටම කියා නිවසක් නොමැතිව ජීවත් වන විශාල පිරිසකගේ ගැටලු සංකීර්ණ පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතාවක් වන නිවසක් ලැබෙන ආකාර කිහිපයක් ඇත. තමාගේ දෙමාපියන්ගේ උරුමයෙන්ද, තව අය විවාහය නිසා ලැබෙන දායාදයෙන් ද තවකෙකු ඉතා අමාරුවෙන් උපයා ගත් මුදලින් හෝ බැංකු ණයක් මඟින් ද තම නිවාස සිහිනය සඵල කර ගනිති. 

තවත් පිරිසකට කෙතරම් මුදල් තිබුණද තම ජීවිත කාලය පුරාම කුලී නිවස තුළ ජීවත් වීමට සිදු වෙති. තවකෙකුට තම නිවස තුළ රැඳී සිටීමේ අවකාශ ඉතාම අඩු වේ. මේ සියල්ල අපගේ ජන්ම පත‍්‍රය තුළින් හඳුනාගත හැකි අතර යම් ගැටලුකාරී බවක් ඇත්නම් එයට පිළියම් සිදු කරගත හැකිය. 


සාමාන්‍යයෙන් ඉඩකඩම් හිමිකම් පිළිබඳව සැලකීමේදී හතරවැන්න ඉතාම වැදගත් වන අතර ඊට අමතරව පස් වැන්න, අට වැන්න, නව වැන්න, දස වැන්න හා එකොළොස් වැන්න වැදගත් වේ. යමකුගේ හතර වැන්නාධිපතියා පීඩා වීම ඔහුට, ඇයට නිවස පිළිබඳව තදින්ම බලපානු ඇත. යමකුගේ හතර අධිපතියා විසිදෙකර්ණාධිපති වීම හෝ ඔහුගේ අශුභ දෘෂ්ඨියට ලක්වීම ඉතාම අහිතකර ලෙස බලපානු ලබයි. 
යමෙකුට දෙමාපියන්ගේ ඉඩකඩම්, දේපළ ලැබුණ ද ඒවා රඳවා තබා ගැනීමට ඵලප‍්‍රයෝජන ගැනීමට වාසනාව තිබිය යුතුය. මේ පිළිබඳව ක‍්‍රිෂ්ණමූර්ති පඬිතුමාට අනුව සැලකිල්ල දැක්වීමේදී වඩාත්ම පැහැදිලි කරුණු කාරණා අවබෝධ කර ගැනීමට යම් ගැටලුවක් ඇත්නම් එයට පිළියම් යෙදීම පහසුය. 


යම් පුද්ගලයකුගේ හතර වන භාව උප අධිපති 4, 6, 9 හෝ 10 යන භාවයකට නිවේදකයකු වී කුජ හෝ සිකුරුට සම්බන්ධ වේ නම් ඔහුට හෝ ඇයට නිවසක් මිලට ගැනීමට හැකියාව ලැබේ. 


ය​ෙමකුගේ හතර වන භාව උප අධිපතියා සිකුරු වී 4, 11, 12 යන භාවයන් නිවේදනය කරයි නම් අලංකාර නිවසක් ගොඩනගා ගත හැකිය. 


තවත් අ​ෙයකුට තම පරම්පරාවෙන්ම නිවසක් උරුම වීම සිදුවේ. එසේවීමට හතර වන භාව උපාධිපති සෙනසුරු වීම හේතු වේ. එවැනි අයට පැරණි වලව්වක් හෝ තරමක් පැරණි පොල්, තේ වැනි වතුවල උරුමයන්ට වාසනාව ලැබේ. 


යමකුගේ 4 වන භාව උපාධිපති 11 සහ 12 වන භාව නිවේදනය කරයි නම් හෙතෙම තම මුදල් යොදවා නිවසක් ගොඩනගනු ඇත. යමකුගේ හතරවන හා උප කුජ වී 4 සහ 12 භාවවලට නිවේදකත්වයක් දීම නිවසක් සැදීමට ඉඩමක් මිලට ගැනීමට හැකියාව ලැබේවි. සමහර පුද්ගලයාට අන් අය උගසට තැබූ නිවාස උරුමවීමට හතරවන භාව උපාධිපති 3, 6 හෝ 12 වන භාවයට සම්බන්ධ විය යුතුය. 


යමකුගේ හතර වන භාව උපාධිපති 1, 4, 11 සහ 12 යන භාවයනට නිවේදකයකු වී කුජ, සිකුරු යන ග‍්‍රහයකුට සම්බන්ධව ඔහු තව නිවසක් ඉදිකර ගැනීමට හේතු වේවි. 


යමකුගේ හතරවන භාව උපාධිපති බුද හෝ ගුරුගේ දෙට, අස්ලිස, රේවතී, වීසා, පුනාවාස, පුවපුටු නැකතක වේ නම් විශාල මන්දිරයක් උරුම වනු ඇත. 4 වන භාව උපාධිපති 10 වන භාවාදිපතිගේ ශුභ දෘෂ්ඨියට ලක්වීම ද විශාල ගොඩනැගිලි හිමිවීමට හේතුයි. 


එමෙන්ම ය​ෙමකුගේ 4 වන භාව උපාධිපති 3, 8, 12 භාව නිවේදකයකු වීම ඔහුට ඇයට කුලී නිවසක ජීවත් වීමට පවා විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදුවේ. යමකුගේ 4 වන භාව උප 3, 6, 12 යන භාවයනට සම්බන්ධ නම් ඔහුට කුලී නිවසේදීම මියයෑමට සිදු වනු ඇත. යමකුගේ හතරවන භාව උප අධිපති ලග්නයට සම්බන්ධ නොවී 8 වන භාවය පමණක් නිවේදනය කිරීම නිසා නිවස උගස් තැබීමට සිදු වේ. 4 වන භාව උපාධිපති 8 සහ 12 යන භාව නිවේදකයකු වීම ණය තුරුස් පියවා ගැනීමට නිවස විකිණීමට හේතුයි. ය​ෙමකුගේ නිවස ගින්නෙන් විනාශ වීමට හෝ ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණී යාමට 4 වන භාව උප රවිට හා 8, 12 යන භාවවලට සම්බන්ධ වීම නිසා සිදු වේ. 


ඉහත කරුණු සැලකිල්ලට ගෙන ඔබගේ ජන්ම පත‍්‍රය තුළ නිවාස ඉඩකඩම් පිළිබඳව යම් ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කර ගැනීමට අදාළ පිළියම් සිදු කළ යුතුය. එමෙන්ම ඔබ නිවසක් ගොඩනැගීමේදී තමාට සුදුසු ප‍්‍රදේශයක සුදුසු කාලයක සිදු කළ යුතුය. එමෙන්ම නිවස ඉදිකිරීමේදී උපයෝගී කර ගන්නා නැකත ඉතාමත් වැදගත්ය. සමහර පුද්ගලයන් මුදල් නොමැතිවම පටන් ගත් නිවස සියලුම වැඩ නිමකර ගැනීමටත් තවකෙකු කෙතරම් මුදල් තිබුණත් තම ජීවිත කාලය පුරාමත් නිවස ඉදි කිරීම නිම නොවීමත් ඉහත කරුණු හේතුවේ. මේ සියල්ලට ජ්‍යෝතිෂය තුළ පිළියම් සඳහන්ව ඇත. 

 

 

 

 

 


ජ්‍යෝතිෂවේදී ග‍්‍රන්ථ කතෘ 
එන්.කේ. ධනසේකර 
381, පල්ලිය ඉදිරිපිට 
ගාලු පාර, වාද්දුව