ඉන්දියාව දිවා රාත්‍රී ටෙස්ට් තරග ප්‍රතික්ෂේප කරයි


එළැඹෙන ග්‍රීෂ්ම සෘතුවේ ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත වූ දිවා රාත්‍රි ටෙස්ට් තරගයට සහභාගී වීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර තිබේ. එම තරගයේදී රතු පන්දුව වෙනුවට රෝස පැහැති පන්දුව යොදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් තම විරෝධය පළකොට ඇති බැවින් එම තරගය දිවා තරගයක් ලෙස පැවැත්වීමටත්, සාම්ප්‍රදායික රතු පන්දුව යොදා ගැනීමටත් තීරණය වී තිබේ. 


අයිසීසීයේ තරග නීතිවලට අනුව තරගය සඳහා පහසුකම් සලසන රට දිවා රාත්‍රි ටෙස්ට් තරගයක් පවත්වන්නේ නම් එයට සංචාරක කණ්ඩායමේ ක්‍රීකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතුය. රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කිරීමට තමන් අකමැති බවත් එහෙයින් සාම්ප්‍රදායික රතු පන්දුවෙන් ක්‍රීඩා කළ යුතු බවත් කියා සිටි ඉන්දියානු ක්‍රිකට් බලධාරීන් දිවා රාත්‍රී ටෙස්ට් තරගයට සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ. 


දිවා රාත්‍රි ටෙස්ට් තරග සඳහා භාවිත කෙරෙනුයේ රතු හෝ සුදු පන්දු නොව රෝස පැහැති පන්දුවකි. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී රෝස පැහැති පන්දුව යොදා නොගන්නා රටවල් දෙකක් ඇත. ඒ ඉන්දියාව හා බංග්ලාදේශයයි. ඕස්ට්‍රේලියාව 2015 සිට රෝස පැහැති පන්දුව භාවිත කරමින් දිවා රාත්‍රි ටෙස්ට් තරග හතරක් පවත්වා ඇති අතර එම තරග හතරේම ජය හිමි වූයේ ඕස්ට්‍රේලියානුවන්ටය. 


ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඬේවිඩ් වෝනර් සහ ස්ටිව් ස්මිත්හට පනවා ඇති තරග තහනම මත ඕස්ට්‍රේලියායානු කණ්ඩාමේ ශක්තිය මඳක් හීන වී ඇති හෙයින් එම දිවා රාත්‍රී තරගයෙන් ඉන්දියාවට වැඩි වාසියක් අත්විය හැකි බවට ක්‍රීඩා විචාරකයන් සඳහන් කර තිබේ. 


ඉන්දියාව 2016 පැවැති ‘දුලිප් කුසලාන’ තරගාවලියේදී රෝස පැහැති පන්දුව අත්හදා බලා තිබේ. එහෙත් ඉන්දීය ක්‍රිකට් පරිපාලනය සහ ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ජාත්‍යන්තර තරග සඳහා රෝස පැහැති පන්දුව යොදා ගැනීමට කැමැත්තක් නොදක්වති. ලබන නොවැම්බර් 21 සිට ජනවාරි 19 අතර කාලයේ ඉන්දීය පිල ඕස්​ට්‍රේලියාවේ සංචාරය කිරීමට නියමිත වන අතර එහි දී ටෙස්ට් තරග හතරකට, එක්දින තරග තුනකට හා 20 විස්ස තරග තුනකට සහභාගී වීමට නියමිතය. ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙන්ම ඉන්දියානු නායක විරාත් කෝලි ද දිවා රාත්‍රී ටෙස්ට් තරගවලට මනාපයක් නොමැත. 


ලබන වසරේ ලෝක ටෙස්ට් ශූරතාවලියක් සංවිධානය කිරීමට අදහස් කර ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක ජේම්ස් සදර්ලන්ඩ් සඳහන් කරයි. ඒ අතර දිවා රාත්‍රී ටෙස්ට් තරග ද සංවිධානය කිරීම ඔහුගේ අරමුණ වී තිබේ. 


2015 ඇඩිලේඩ්හි නවසීලන්තය සමඟ පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගය ඉතා සාර්ථක වූ බවත්, එහෙයින් ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත තිබූ තරගය ද ඉතා සාර්ථක වනු ඇතැයි තමා විශ්වාස කළ බවත් ඔහු සඳහන් කර තිබේ. තරග නැරඹීම සඳහා විශාල පිරිසක් එක්වන හෙයින් ඉන්දියාව එම තරගයට සහභාගී වුව ද, නොවුවද අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට දිවා රාත්‍රි ටේස්ට් තරගවලින් විපුල ඵල ලබාගත හැකි බැව් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි. පසුගිය වසරේ ඇඩිලේඩ්හි පැවැති දිවා රාත්‍රී ටෙස්ට් තරගය නැරඹීම සඳහා 55317ක් වැනි වාර්තාගත පිරිසක් පැමිණ තිබේ. 


ඇඩිලේඩ් ක්‍රීඩාංගණය පිතිකරුවන්ගේ පාරාදීසයක් ලෙස ප්‍රකටය. පින්න සහිත රාත්‍රි කාලයේදී රෝස පැහැති පන්දුව දෝලනය වීමට ඇති ප්‍රවණතාව මත පිතිකරුවන්ට යම් අපහසුතාවක් ඇතිවිය හැකිය. මෙතෙක් පවත්වා ඇති දිවා රාත්‍රී තරගවල දී වැඩි වාසිය සැලසුණේ පන්දු යවන්නන්හටය. ඉන්දියානු පිතිකරුවන් රෝස පන්දුවට මුහුණ දීමට අකමැති වන්නේ ඔවුනට මෙම ආකෘතිය නුහුරු බැවින් ඕස්ට්‍රේලියානු භූමියේදී දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ජයගත නොහැකි වනු ඇතැයි යන බිය නිසා වෙනැයි ඕස්ට්‍රේලියානුවෝ පවසති.‍

 

 

 


- ප්‍රියන්ජන්