ඇසෑමයේ සැඟවුණු බෞද්ධ ගම්මානය


 

වර්තමානයේ අප මුහුණදෙන අභියෝග සියල්ලටම විසඳුම බුදු දහම යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසුවේ පසුගිය දා නවදිල්ලි අගනුවර පැවැති ධර්ම චක්‍ර දින විශේෂ උත්සවයට සහභාගි වෙමිනි. හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන මෝදි බුදු දහමට ළැදි අයෙකි


ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූවන් අතරින්, බුදු දහම වෙනුවෙන් කතා කරන, ඉන්දියාවේ බෞද්ධයන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරන අග්‍රාමාත්‍යවරයා මෝදි ය. පසුගිය දිනෙක කුෂිනගර් (පුරාණයේ කුසිනාරා නුවර) ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කරමින් නවීකරණය කෙරුණේ ද අග්‍රාමාත්‍ය මෝදිගේ උපදෙස් මතය. කුෂිනගර් ජාත්‍යන්තරයට ගෙන යමින්, බෞද්ධ කේන්ද්‍රස්ථානයක් කිරීමත්, දඹදිව වන්දනාවේ යෙදෙන බෞද්ධයන්ට දඹදිව වන්දනාව පහසු කරලීමේ අරමුණින්, කුෂිනගර් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් කෙරුණි‍. 


මේ සටහන බෞද්ධ බැතිමතුන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ දඹදිව වන්දනා ස්ථාන ගැන හෝ සාංචි පුදබිම ගැන හෝ නොවෙයි. ඉන්දියාවේ ඊසාන දෙසින් පිහිටි ඇසෑම් ප්‍රාන්තයේ මුල්ලක සැඟවුණු බෞද්ධ ගම්මානයක් පිළිබඳවය‍. මේ ගම්මානය නාම්-ෆාකේ ය‍. මෙම කුඩා ගම්මානට යෑමට නම්, තේ වතු සහ සුන්දර වෙල්යායක් ද පසු කරමින්, හරිත වර්ණයෙන් පිරි උණ බට වනාන්තරයක් පසු කළ යුතුය. ගූගල් මැප් හරහා මඟ සොයා යනවා නම් එය තරමක අභියෝගයකි. හේතුව ගම්මානයට ළං වෙද්දී ඇත්තේ තාර දැමූ හෝ කොන්ක්‍රීට් මාර්ගයක් නොව, සුදු වැලි ඇතිරූ මාර්ගයකි. මාර්ගය අවසන් වන්නේ රන් බුදු පිළිමයකින් යුත් පන්සලකිනි. මෙම පන්සල තායිලන්තයේ දැකිය හැකි ආකාරයේ එකකි‍. බැලූ බැල්මට ඉන්දියාවේ දසුනක් යැයි සිහියට නොනැගෙයි‍. පන්සලේ එක් පසෙකින් ඇත්තේ බූරී ඩිහිංග් නමැති ගංගාවය.‍ 


මේ පන්සල සහ එම පන්සල අයත් කුඩා ගම්මානය පිහිටුවා ඇත්තේ වසර දහස් ගණනකට පෙර මෙහි පැමිණ පදිංචි වූ බුරුම සහ තායිලන්ත වැසියන්ය. බුරුමය අද හැඳින්වෙන්නේ මියන්මාරය ලෙසිනි. මේ බුරුම සහ තායිලන්ත වැසියන් අද ඉන්දියානුවන්ය. මොවුන්ගේ පරම්පරා ගණනාවක් මෙම ගම්මානයේ වාසය කරති. ඒ සැමගේ ජීවිත පන්සල සමඟ බැඳී පවතී. කතා කරන භාෂාවෙන් පමණක් නොව, පෙනුමින් ද මෙම වැසියෝ ඉන්දියානුවෝ නොවෙති. මියන්මාර රජයෙන් පමණක් නොව තායිලන්ත රජයෙන් ද සෑම මාසයකට වරක් මෙම පන්සලටත් බෞද්ධ ගම්මානයටත් ආධාර ලැබෙයි. සෑම වසරකම වෙසක් පොහොයට පන්සල සහ ගම්මානය ඒකාලෝක වෙයි. විශේෂ පිංකම් රැසක් ද පැවැත්වෙයි. ඇසෑම් ප්‍රාන්ත රජයෙන් ඊට අනුග්‍රහය හිමිවෙයි. ඊට අමතරව, මියන්මාරයෙන් මෙන්ම තායිලන්තයෙන් ද බැතිමත්හු මෙහි පැමිණෙති. 


නාම්-ෆාකේ ගම්මානය ඉන්දියාවේ දේශීය සංචාරකයන් අතරේ ප්‍රකටය. ඒ, බොහෝ සංචාරකයන් ජෙයිපූර් වැසි වනාන්තරය නැරැඹීමට යන්නේ මෙම පන්සල සහ ගම්මානය හරහාය. ඒ අනුව, වෙසක් පොහොයට වාර්ෂිකව පැවැත්වෙන පිංකම්වලට අමතරව, වසරේ සෑම දිනකම පාහේ සංචාරකයන් පැමිණෙනු දකින්න ලැබෙයි. ජෙයිපූර් වනාන්තරය පිහිටා ඇත්තේ ගම්මානයේ සිට සැතපුම් කීපයක් දුරිනි. එපමණක් නොව, ඇසෑමයට පැමිණෙන බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ස්ථානයක් ලෙස ජෝකායි උද්භිද උද්‍යානය සැලකෙයි. 

 


ලු‍සිත ජයමාන්න 
ද වීක් සඟරාව ඇසුරිනි.