ඇලෙක්සැන්ඩර් ඉන්දියාවට ඇතුළු වෙයි


 ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ඉන්දියානු ආක‍්‍රමණය 5

 

 

ක්‍රි.පූ. 558ත් 530ත් අතර කාලයේ පර්සියාවේ සයිරස් අධිරාජයා නැගෙනහිර ඉරාන දේශ සීමාවේ සිට ඉන්දියානු මායිම් නගර ආක‍්‍රමණය කොට ඒවා අත්පත් කර ගත්තේය. එහි ප‍්‍රතිඵලය වශයෙන් ඉන්දියානු ප‍්‍රාන්ත රජවරුනට පර්සියාවට කප්පම් ගෙවීමට සිදු විය. ක්‍රි.පූ. 522 සිට 486 දක්වා රජ කළ පළමු වැනි ඩේරියස් පාලන සමයේ පර්සියානුවෝ ඉන්දියාවේ විවිධ ප‍්‍රදේශ ආක‍්‍රමණය කරන ලද අතර ඝන්ධාර ප‍්‍රදේශය පර්සියානු පාලනයට නතු විය. ඉන්දියාවේ ඇතැම් ප‍්‍රදේශ එකල පැවතියේ පර්සියානු සත‍්‍රප්වරයකුගේ (ප‍්‍රාදේශික පාලක) පාලනය යටතේය. සුසා මාලිගයේ ඇති සෙල්ලිපිය අනුව එම මන්දිරය ඉදිකිරීම සඳහා අවශ්‍ය වූ තේක්ක දැව ගෙන එන ලද්දේ ඝන්ධාරයෙන් බැව් සඳහන්ය. ඝන්ධාරය යනු වත්මන් පාකිස්තානයේ පේෂාවර් හා රාවල්පිණ්ඩි ප‍්‍රදේශයයි.   

ඩෙරියස් රජුගේ 20 වැනි සත‍්‍රප් රාජ්‍යය වූයේ ඉන්දියාවේ ඝන්ධාර ප‍්‍රදේශයයි. එහි සත‍්‍රප්වරයා සෑම මසකම පර්සියානු අධිරාජ්‍යයට රත‍්‍රන් කාසි 360 බැගින් කප්පම් ගෙවීය. එම රත‍්‍රන් සපයා ගන්නා ලද්දේ දර්දස්ථානයේ රන් ආකරවලිනි. ඩේරියස් ඉන්දියානු අභ්‍යන්තරයට තව තවත් සමීප වීමට උත්සාහ කරන ලද්දේ තව තවත් කප්පම් ලබා ගැනීමේ අභිප‍්‍රාය ඇතිවය.   


ඩේරියස්ගේ ආකිමෙනිඩ් අධිරාජ්‍යය තමන් සතු කරගත් ඇලෙක්සැන්ඩර්ගේ ඉදිරි අරමුණ වූයේ ඉන්දියාව ආක‍්‍රමණය කිරීමය. ආකිමෙනිඩ් අධිරාජ්‍යයේ සියලු ධනය හා සම්පත් අත්පත් කරගත් ඇලෙක්සැන්ඩර් ඉන්දියානු ධන සම්පත් කෙරෙහිද ආකර්ෂණය විය. ග්‍රීසියේ සෙරෙක්ස් රජු යටතේ ඉන්දියානු සොල්දාදුවන් රැසක් සේවය කර තිබිණි. ඔවුන්ගෙන් ලද තොරතුරුවලින් ඉන්දියාව කෙරෙහි කුතුහලයකින් පසු වූ ග්‍රීක හමුදාව ඉන්දියාව ආක‍්‍රමණය කරන්නට ඇලෙක්සැන්ඩර් පොළඹවාලූහ. 

 
ක්‍රි.පූ. 327 වසන්ත සෘතුවේ ඇලෙක්සැන්ඩර්ගේ 30,000ක හමුදාවක් හින්දුකුෂ් කඳුකරය ඔස්සේ ඉන්දියාවට ඇතුළු වූහ. ඉන්දු නදී තීරය ඔස්සේ ගමන් කළ මෙසිඩෝනියානු හමුදාව සමඟ මුලින්ම සටනට එළැඹියේ පුෂ්කලවතියේ රජතුමාය. පුෂ්කලවතිය ඝන්ධාර රාජධානියේ අගනගරය විය. (වර්තමාන පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා ප‍්‍රාන්තයේ චර්සද්දා ප‍්‍රදේශය) දින 30ක් පුරා තම රාජ්‍යය රැකගැනීම පිණිස සටන් වැදි ඔහු ඉන් පරාජය වූ අතර වීරයකු සේ මිය ගියේය. පුෂ්කලවතිය ඇලෙක්සැන්ඩර්ගේ හමුදා යටතට පත් වූ අතර නගරය අත්පත් කරගත් භට පිරිස ඇලෙක්සැන්ඩර්ගේ නායකත්වයෙන් යුතු භට කණ්ඩායම පැමිණෙන තෙක් එහි කඳවුරු ලා ගත්හ.   


හින්දුකුෂ් කඳුකරය ඔස්සේ පැමිණි ඇලෙක්සැන්ඩර් හා ඔහුගේ හමුදාව ඇෆ්ඝනිස්තානයේ කාබුල් නදියේ උතුරු දෙසට ළඟා වූහ. එම ගමනේදී ඔහුට විවිධ ප‍්‍රාන්ත පාලකයන් හා සටන් කිරීමට සිදු විය. මේ සියලු ප‍්‍රාන්ත පාලකයන් හා ගෝත්‍රික නායකයන් පරාජය කළ ඇලෙක්සැන්ඩර් අස්වකාසය ආක‍්‍රමණය කළේය. (වර්තමාන ඊසාන දිග ඇෆ්ඝනිස්තානය සහ පෙෂාවෝර් නිම්නය) අස්වක රජතුමා, අබිසරයේ රජතුමා සමඟ සන්ධානගතව ඇලෙක්සැන්ඩර්ගේ හමුදා සමඟ සටනට පිවිසියේය. ඔවුන් සතුව 2000ක අශ්වාරෝහක හමුදාවක්ද, 30කින් යුතු ඇත් හමුදාවක් සහ 30,000කින් යුතු පාබළ හමුදාවක්ද විය. ඇලෙක්සැන්ඩර්ගේ හමුදා සමඟ ඔවුහු බෙයිරා, මසගා සහ ඔරා යන ප‍්‍රදේශවලදී ඉතා නිර්භීත ලෙස සටන් වැදුණාහ. එම සටනට පිරිමින් හා සමව කාන්තාවන්ද එක් වූ බැව් ඉතිහාසයේ සඳහන්ය. අස්වකාසයේ අගනුවර වූයේ මසගාවය. ඇලෙක්සැන්ඩර් මසගා බළකොටුව අත්පත් කර ගත්තේය. මෙසිඩෝනියානු හමුදාවේ ඉන්දියානු සම්භවයක් සහිත කුලී හේවායන් රැසක් සිටියහ. තම මව්බිමේදී තව දුරටත් ඇලෙක්සැන්ඩර් වෙනුවෙන් සටන් කිරීම මේ පිරිස ප‍්‍රතික්ෂේප කළ බැවින් 7000ක් පමණ වූ එම භට පිරිස ඝාතනය කිරීමට ඇලෙක්සැන්ඩර් පියවර ගත්තේය.   


ඇලෙක්සැන්ඩර් අත්පත් කරගන්නා ලද සුවිශේෂී ජයග‍්‍රහණයක් වූයේ අමෝස් බළකොටුව දිනා ගැනීමය. ඉන් අස්වකාසයන්ගේ බලය පිරිහිණි. ඉතිහාසඥ දියදුරුස්ට අනුව අස්වකයේ සිටි 40,000ක පිරිසක් සහ ගවයන් 230,000ක් ග්‍රීක හමුදාවේ අත්අඩංගුවට පත් වූ බැව් සඳහන්ය. අස්වකාසයන් දක්ෂ ගව පාලකයන් හා ගොවියන් වූ අතර ඔවුන් සතුව මහා පරිමාණ ගව පට්ටි පැවතියේය. ඇලෙක්සැන්ඩර් අත්අඩංගුවට ගත් සියලු ගවයන් කෘෂිකාර්මික කටයුතු සඳහා මෙසිඩෝනියාවට යවන ලදැයි දියදුරුස් සඳහන් කරයි.   


අස්වකාසයන් පරාජය කිරීමෙන් පසු ඇලෙක්සැන්ඩර් හට ඉන්දු නිම්නයට පිවිසීමේ මාර්ගය විවර විය. ඔහු එහි ළඟා වන විට ඔහුගේ හමුදා නදිය තරණය කිරීම සඳහා බෝට්ටු හා පාලම් තනා තිබිණි. ඉන්දියාව යන්න ග්‍රීක හා ලතින් බසින් ‘ඉන්දු නදියේ පිහිටි රාජ්‍යය’ යන අරුත ගෙන දෙන්නකි. ක්‍රි.පූ. 326 දී ඇලෙක්සැන්ඩර් ඉන්දු නදිය තරණය කොට තක්ෂිලාවට (තක්ෂෂිලා) සම්ප‍්‍රාප්ත විය.   


තක්ෂිලාව ඉන්දු සහ ජේලම් නදියට මැදිව පිහිටි විශාල හා සෞභාග්‍යමත් රාජ්‍යයක් විය. එකල තක්ෂිලාවේ රජතුමා වූයේ අම්බි නොහොත් ඔම්පිස්ය. ඇලෙක්සැන්ඩර් තම රාජ්‍යයයට ඇතුළු වූ බැව් දැනගත් අම්බි රජතුමා පෙරමගට ගොස් ඔහු ගෞරවයෙන් පිළිගත්තේය. තමන් යටත් වන බැව් පැවසූ අම්බි ඇලෙක්සැන්ඩර් සමඟ සම්මුතියකට එළැඹිණි. රිදී කාසි 200ක්, තර ගවයන් 3000ක්, බැටළුවන් 10,000ක්, ඇතුන් 30ක් සහ අශ්වාරෝහකයන් 700ක් ඇලෙක්සැන්ඩර්ට ත්‍යාගයක් ලෙස ලබා දීමට අම්බි පියවර ගත්තේය. අම්බිගේ වචනය විශ්වාස කළ ඇලෙක්සැන්ඩර් මචාටාස්හි පිලිප් නමැති ග්‍රීක වංශාධිපතියා තක්ෂිලාවේ සත‍්‍රප්වරයා වශයෙන් පත් කළේය.   


අම්බි ඇලෙක්සැන්ඩර්ට උපරිම සහාය ලබා දීමට පියවර ගත් අතර ඇලෙක්සැන්ඩර්ගේ සමස්ත හමුදාව තක්ෂිලා අගනුවර රඳවාගෙන ආගන්තුක සත්කාර ලබා දීමට පියවර ගත්තේය. එවක සිටි බොහෝ ප‍්‍රාන්ත රජවරුන් අතර විවිධ අර්බුද පැවැතිණි. පෞරව රාජධානියේ පෝරස් හා අබිසර රාජ්‍යයේ රජු සමීප මිතුරන් වූ අතර තක්ෂිලාවේ අම්බි රජතුමා ඔවුන් දෙපළ සමඟ ආරවුල් ඇතිකරගෙන සිටියේය. අම්බි රජතුමාගේ ප‍්‍රධානම සතුරා වූයේ පෝරස් රජතුමාය. ඔහුගෙන් පළිගැනීමට අම්බි මාන බලමින් සිටි අතර ඇලෙක්සැන්ඩර්ට සහය දැක්වීමට උත්සුක වූයේ ඔහු ලවා තම සතුරා පරාජය කිරීමේ අරමුණිනි.   

 

ක්‍රි.පූ. 327 වසන්ත සෘතුවේ ඇලෙක්සැන්ඩර්ගේ 30,000ක හමුදාවක් හින්දුකුෂ් කඳුකරය ඔස්සේ ඉන්දියාවට ඇතුළු වූහ. ඉන්දු නදී තීරය ඔස්සේ ගමන් කළ මෙසිඩෝනියානු හමුදාව සමඟ මුලින්ම සටනට එළැඹියේ පුෂ්කලවතියේ රජතුමාය. පුෂ්කලවතිය ඝන්ධාර රාජධානියේ අගනගරය විය. (වර්තමාන පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා ප‍්‍රාන්තයේ චර්සද්දා ප‍්‍රදේශය) දින 30ක් පුරා තම රාජ්‍යය රැකගැනීම පිණිස සටන් වැදි ඔහු ඉන් පරාජය වූ අතර වීරයකු සේ මිය ගියේය. පුෂ්කලවතිය ඇලෙක්සැන්ඩර්ගේ හමුදා යටතට පත් වූ අතර නගරය අත්පත් කරගත් භට පිරිස ඇලෙක්සැන්ඩර්ගේ නායකත්වයෙන් යුතු භට කණ්ඩායම පැමිණෙන තෙක් එහි කඳවුරු ලා ගත්හ.   

 


අම්බිගේ ආගන්තුක සත්කාර විඳිනා අතර, තමන් බැහැදැක ගෞරවය දක්වන ලෙසට දන්වා ඇලෙක්සැන්ඩර් ප‍්‍රාන්ත රජවරුන්ට හසුන් පත් යැවීය. බොහෝ ප‍්‍රාන්ත රජවරු ඔහුගේ නියමය ඉටු කළද එක් රජෙක් එම ඉල්ලීම ඉටු කිරීම ප‍්‍රතික්ෂේප කළේය. ඒ පෞරව රාජ්‍යයේ පෝරස්ය.   


පෝරස් රජුගේ පෞරව රාජ්‍යය හයිදස්පස් (වර්තමාන ජේලම්) හා ඇසෙසින්ස් (වර්තමාන චේනබ්) යන ගංගාවලට මැදිව පිහිටියේය. ජාත්‍යන්තර වෙළෙඳාමෙන් ඉමහත් ධනයක් උපයා ගත් එය සෞභාග්‍යයෙන් පිරි රාජ්‍යයක් විය. ඉතා බලවත් රජකු වූ පෝරස් ඇලෙක්සැන්ඩර්ට යටත් වීමට අකැමැති විය. එහෙයින් ඇලෙක්සැන්ඩර් පෝරස් හා යුදයට සූදානම් විය. ඔහුට අවශ්‍ය වූයේ සමස්ත ඉන්දියාවම තම අණසක යටතට ගැනීමය.   


ඇලෙක්සැන්ඩර්ගෙන් ආක‍්‍රමණයක් එල්ල වන බැව් වටහා ගත් පෝරස් රජු හා ඔහුගේ හමුදා ආක‍්‍රමණයක් අපේක්ෂාවෙන් සුදානම් වූහ. ඔවුහු ජේලම් ගං ඉවුරේ කඳවුරු බැඳගත් අතර තක්ෂිලාවේ සිට පැමිණි මෙසිඩෝනියානු හමුදාව නදියේ අනෙක් පස කඳවුරු බැඳගත්හ. ඇලෙක්සැන්ඩර් නදිය තරණය කරනු වැළැක්වීම සඳහා පෝරස්ගේ පුතුන් ගං ඉවුර ආරක්ෂා කිරීමේ නිරතව සිටියහ.   

 

 

පෝරස්ගේ දේශ සීමාව ආක‍්‍රමණය කිරීම සඳහා ඇලෙක්සැන්ඩර්ගේ හමුදා සූදානම් වුවද ඔවුන් නදිය තරණය කිරීමට සුදානම්ව සිටි ප‍්‍රදේශය දැඩි ලෙස රැකවල් ලා තිබූ හෙයින් අශ්වාරෝහක හමුදාවට එම ස්ථානයෙන් ගැඹුරු ජේලම් නදිය තරණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. එහෙයින් උපායශීලී ඇලෙක්සැන්ඩර් ඒ සඳහා වෙනත් උපායක් යෙදීය. මෙසිඩෝනියානු හමුදා කඳවුරු ලා සිටි ස්ථානයට කිලෝමීටර් 27ක් පමණ උතුරු දෙසට වන්නට ජේලම් නදියේ වක ගැසුණු ස්ථානයක් තිබිණි. ඒ අසල කුඩා දූපතක් වූ අතර එය උපායමාර්ගික වශයෙන් ග්‍රීකයන්ට වැදගත් ස්ථානයක් වූයේය. මෙම ස්ථානයෙන් රහසිගතව නදිය තරණය කිරීමට ඇලෙක්සැන්ඩර් තීරණය කළේය. මෝසම් සමය ආරම්භ වී තිබූ අතර තද වැසි පැවතිණි.   


එක්තරා අකුණු සහිත රාත්‍රියක ඝන අඳුරේම ඇලෙක්සැන්ඩර්ගේ හමුදා ජේලම් නදිය තරණය කළහ. ජනරාල් ක්‍රෙ‌්‍ටරස් යටතේ ගමන් කළ එක් බළඇණියක් පෝරස්ගේ හමුදාවට නොදැනෙන ලෙස එතෙර වන්නට සමත් වූහ. ඉතිහාසඥ ඇරියන් සඳහන් කරන අයුරින් එම බළඇණිය 6000කින් යුතු පාබළ හමුදාවකින්ද 5000කින් යුතු අශ්වාරෝහක හමුදාවකින්ද සමන්විත වූහ. ඇලෙක්සැන්ඩර් ප‍්‍රමුඛ බළඇණිය නදිය තරණය කරන ලද්දේ ඉහත කී පිරිස එතෙර වීමෙන් පසුය. පෝරස්ගේ හමුදා ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට ප‍්‍රහාර එල්ල කළහොත් පසුපසින් ගොස් ඔවුනට ප‍්‍රහාර එල්ල කිරීමට ක්‍රෙ‌්ටරස් සූදානමින් සිටියේය.   


ඇලෙක්සැන්ඩර් එවැනි පියවරක් අනුගමනය කරනු ඇතැයි පෝරස් කිසි විටෙක නොසිතීය. යථාර්ථය වටහා ගන්නා විට ඔහු ප‍්‍රමාද වැඩි විය. ඇලෙක්සැන්ඩර් නදිය තරණය කළ ප‍්‍රදේශය භාරව සිටි පෝරස්ගේ පුත‍්‍රයාට ඇලෙක්සැන්ඩර්ගේ හමුදාවට මුහුණ දීමට ශක්තියක් නොවීය. වර්ෂාව අධිකව පැවැති හෙයින් ගං ඉවුර තදින් මඩ වී තිබිණි. පෝරස්ගේ පුත‍්‍රයා වූ කනිෂ්ඨ පෝරස් පරාජය වීමට එක් සාධකයක් වූයේ ඔහුගේ අශ්ව රථ සියල්ල මඩේ එරී යාමය. සටනේදී කනිෂ්ඨ පෝරස් මරණයට පත් වූ අතර ඇලෙක්සැන්ඩර් හයිදස්පස් ප‍්‍රදේශයට ඇතුළු වූ බවට වන ප‍්‍රවෘත්තිය පෝරස් රජුට සැල විය.   


පෝරස්ට පාබළ, අශ්වාරෝහක, යුද රථ සහ හස්තීන්ගෙන් සමන්විත අති විශාල හමුදාවක් විය. ඇලෙක්සැන්ඩර්ගේ හා පෝරස්ගේ හමුදා හයිදස්පස් නදියේ නැගෙනහිර ඉවුරේ (ජේලම් නදී ඉවුරේ) හයිදස්පස් (වත්මන් පාකිස්තාන පන්ජාබ් ප‍්‍රාන්තය) නම් ස්ථානයේදී මුහුණට මුහුණ හමු වූහ. දෙපිරිස අතර හයිදස්පස් සටන නමින් ප‍්‍රකට මහා සටන ඇවිළ ගියේය.   

 

 

 


මතු සම්බන්ධයි   


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා