ආධ්‍යාත්මික බලය සහ රෝග සුවය


නොපෙනෙන  ලෝකය

 

මොකක්ද හැබෑවටම ඔය විශ්ව ශක්තියෙන් අාධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුවකරනවා කියන්නේ? 


ඒ ගැන නොදන්නා කෙනෙකු එසේ ලෙඩ සුව කරගන්නට ගිය අයෙකුගෙන් ප්‍රශ්න කළ හොත් ඔහුගෙන් ලැබෙන පිළිතුර කුමක් විය හැකිද? 


බලි තොවිල් නටා රෝග සුව කරගත් රටක ජනතාවගේ අධික රුධිර පීඩනය වකුගඩු රෝග, දියවැඩියාව වැනි බෝනොවන රෝග පවා විශ්ව ශක්තියෙන් හෝ අධ්‍යාත්මික බලයෙන් සුවකිරීමේ අලුත් ක්‍රමයක් සමාජයට අවතීර්ණ වූයේ කෙසේද? 


භාවිතයෙන් වියැකී ගිය බොහෝ ශාස්ත්‍රවලින් ශේෂ වූ ඇතැම් ගුප්ත ශාස්ත්‍ර වත්මන් මිනිසුන් අතර තවමත් පවතී. 


ඒවා වසර සිය ගණනක් ඉපැරණිය. 


මිනිසාගේ ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගත් එවැනි ශාස්ත්‍ර මෙසේ ජන සමාජයෙන් ඈත්ව ගොස් ඇති නමුත් ඒවා නවීකරණයවීම නොවැළැක්විය හැකිය. 
බොහෝවිට ගුප්ත ශාස්ත්‍ර පරිහරණය කළ ශාස්ත්‍රධාරීන් ඒවා තමන්ට පමණක් සීමා කරගෙන මියගොස් ඇත. 


එය වෙනත් හැටියකට නිර්වචනය කරනවානම් ගුප්ත ශාස්ත්‍ර තමන්ගේ ඔළුකටුවටත් පපු කුහරයටත් සීමා කරගෙන ‘පිට නොදෙනු’ යන ශාස්ත්‍රලෝභීන් ලෙස ඔවුන් නැසී ගොස් ඇත. 


එවැනි ශාස්ත්‍ර පිළිබඳව තොරතුරු හිප්නොටිසම් ශාස්ත්‍රයට සමානකම් ඇති නළ ශාස්ත්‍රයෙන් විද්‍යමාන වෙයි. 


මැස්මරිසම් ශාස්ත්‍රය පරතෙරට අධ්‍යයනය කරන යම් අයෙකු වෙත්නම් ඔහුට ආශ්වාස ප්‍රාශ්වාස කිරීම හෙවත් හුස්ම ඉහළ පහළ දැමීමේ ක්‍රමවේද පිළිබඳව හදාරන්නට සිදුවෙයි. 
මිනිස් ඇසට නොපෙනුණත් සුළඟෙහි සියුම් හා ප්‍රබල ක්‍රියා අත්අදකින්නට අප කාටත් අපහසු නොවේ. 


හොඳ සහ නරක දෙකටම මෙම වායුබලය බලපාන බව තේරුම් ගැනීමට යම් කෙනෙකුට උපාධියක් හෝ කෙස් පැලෙන තර්ක විතර්ක අවැසි නොවේ. 
මෙලොවට බිහිවන සත්ව සංතතියට ඔක්සිජන් අවැසි බවත් එය නැතිවූ කල ප්‍රාණය නිරුද්ධ වන බවත් සාමාන්‍ය පිළිගැනීමකි. 


ලොව මැවූ දෙවියන් වහන්සේ මිනිසාට ජීවන හුස්ම ලබාදුන් බවට අතීත තොරතුරු ශුද්ධ වූ බයිබලයේ ද සඳහන් වෙයි. 


එමනිසා සියල්ලට ප්‍රධාන වන වායුව ජීවිතය හා ආයුෂය ලබාදෙන අතර කාන්දම් චිත්ත සහ වාග් යන ත්‍රිවිධ බලය මගින් රෝග සුවකිරීමේ එක් ශාස්ත්‍රයක් වන මැස්මරිසම් මගින් රෝග සුව කිරීම සඳහා වායු බලයද සුවිශේෂී වූ ආධාරකයක් කරගෙන ඇත. 


මෙම ශාස්ත්‍රය අවරදිගින් බිහිවූවක් වන නමුත් මෙරට ශාස්ත්‍රඥයින් දුර අතීතයේදී භාවිතා කළ ගුප්ත ශාස්ත්‍ර ගණයට අයත් නාඩි ශාස්ත්‍රය හෙවත් නළ ශාස්ත්‍රය හා යාවජීව ශාස්ත්‍ර ක්‍රමයක් බව ඉතා පැරණි පුස්කොළ පොත්වල තොරතුරුවලින් පෙනීයයි. 


අතීතයේදී මෙවැනි ශාස්ත්‍ර තිබුණාදැයි වර්මානයේ දැනසිටින්නේ අතළොස්සකි. 


එම නිසා මැස්මරිසම් ශාස්ත්‍රය විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකිරීම අාධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීම කෙරෙහි ඇතැමුන් තුළ විශ්වාසයක් පවතී. 
මෙවැනි කරුණු බුද්ධිමතුන්ගේ මෙන්ම ශාස්ත්‍රධාරීන්ගේ අවධානයට යොමුවීමද වැදගත්ය. 


බුදු දහමේ ඉගැන්වෙන ආනාපාන සති භාවනාව ඇතුළු තවත් භාවනා අාදීයේ මෙන්ම හුස්ම ඉහළ පහළ දැමීමේ ශාස්ත්‍ර ක්‍රම මත පදනම් වු නළ ශාස්ත්‍රයට සමාන කම් ඇති මැස්මරිසම් යනු කුමක්දැයි අපි මඳක් අවධානය කරමු. 


තෙල්, බෙහෙත්, ගුලි, කල්ක, නස්න, අංජනම් වැනි ඖෂධ හෝ යන්ත්‍ර මන්ත්‍ර කිසිවක් උපයෝගී කර නොගෙන මෙම ශාස්ත්‍ර ඇසුරින් ලෙඩ සුවකිරීම මෙහි ඇති කැපී පෙනෙන විශේෂත්වයකි. එය විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරනවාට සමානය. ඒ අනුව අාධ්‍යාත්මික බලයෙන් රෝග සුවකරන්නට ඇතැමුන් කටයුතු කරති. 
එහෙත් විවිධ රෝගවලට ගොදුරුවන බොහෝදෙනා මෙතරම් දියුණු ලෝකයක භාවිතා කරන අති නවීන වූ විද්‍යාත්මක පදනමක් ඇති වෛද්‍ය ක්‍රම තිබියදී වල්මත් වන අවස්ථාද අපට දැකිය හැකිය. 


තර්කානුකූලව නොසිතා මිථ්‍යාවේ සරණ පතා ගොස් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ එවැනි කනගාටුදායක පුවතක් පසුගියදා හොරොව්පතාන පොලිස් බල ප්‍රදේශයෙන්ද වාර්තා විය. 


මෙහිදී තවත් දහඅටදෙනෙකු පමණ රෝහල්ගත කරන්නට සිදුවිය. 


දෙපා හිරිවැටීම වැනි ආබාධ තිබෙන රෝගීන් තම රෝග සුවකර ගැනීමට නිරාවරණය වූ දෙපයින් වැලිමළු වටා භක්තියෙන් ඇවිදගෙන යන අවස්ථා අපි දැක ඇත්තෙමු. 
භක්තිය හා විශ්වාසය මත පිහිටා සිදුකරන මෙවැනි ක්‍රියා නිසා රෝගය සුව වෙනවාට වඩා දෙපා තුවාල වී එය තව තවත් උත්සන්නවීම සිදුවෙයි. 
හොරොව්පතාන රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී රෝග සුවකර ගැනීමට ගිය ජනතාවට සිදුවුණේද දැඩි උණූසුම බව පිළිගැනීමට සිදුවිය. 
තනි පුද්ගලයෙකුට විශ්ව ශක්තියෙන් හෝ චිත්ත ශක්තියෙන් රෝගීන් විශාල පිරිසකගේ විවිධ රෝග සුවකිරීමට කිසිසේත්ම නොහැකි බව තර්කානුකූලව සිතන කෙනෙකුට සිතා ගැනීම අපහසු නැත. 


විශ්ව ශක්තිය පිළිබඳ ඉතිහාසගත හාස්කම් සම්බන්ධව සලකා බලන කල ලොව මැවූ දෙවියන් වහන්සේ හෝ සක්‍රයාවත් නොකළ වැඩ ඇතැමුන් කරන්නට යන්නේ කුමන හේතුවක් මතදැයි චිත්ත බලය සම්බන්ධ උගත් විද්වතුන් මෙන්ම හේතුවාදී ප්‍රාඥයින්ටවත් සිතා ගත නොහැකිය. 


රසඖෂධ හෝ වනෟෂධ මෙන්ම පාන වර්ග නොමැතිව සිත දියුණුකරගත් අය චිත්ත ශක්තියෙන් රෝග සුවකර ඇත. එසේනම් බෙහෙත් බලයක් නැතිව චිත්ත ශක්තියෙන් ලෙඩ සුව කරන්නට පිළිවන්නම් එය කොතරම් භාග්‍යයක්ද?


අෂ්ටාංග සමන්නාගත ආයුර්වේදයට අනුවද මෙවැනි ප්‍රතිකාර දේශීය ශාන්තිකර්ම ගණයට ආදේශ කරගන්නට හැකියාවක් ඇත්නම් එය තවත් වැදගත් කරුණකි. 
මැස්මරිසම් හෙවත් කාන්දම් ශක්තිය උපයෝගී කරගෙන ලෙඩ සුවකිරීමේ පෙෂණ ක්‍රමය මගින් හස්ත ස්පර්ශය ශබ්දෝච්චාරණය හා චිත්ත බලය යන ත්‍රිත්වය ඒකාත්මික කරගෙන ලෙඩ සුවකිරීමේ ක්‍රමවේද බටහිර රටවල තිබී ඇත. 


එය වූකලි අප රටේ භාවිත කරන යන්ත්‍ර මන්ත්‍ර හෝ ස්තෝත්‍ර ගායනා බලි තොවිල් හෝ ඉන්දීය සම්භවයේ එන හෝම ක්‍රම මෙන් නොවන අතර සිත දියුණු කර රෝග නිවාරණය සඳහා යොදාගන්නා ප්‍රතිකාර ක්‍රමයකි. 


ජේසුන් වහන්සේ හස්ත ස්පර්ශයෙන් රෝගීන් සුවපත් කළ බව ශුද්ධ බයිබලයේ සඳහන් වේ. උන්වහන්සේ එසේ කළේ කාන්දම් ශක්තියකින් හෝ භෞතික බලවේගයකින්ද යන්න ගැන හෝ දේව පුත්‍රයා නිසාදැයි නිගමනය කිරීමට හැකි කෙනෙකු නැත. 


එහෙත් මිනිසාට ප්‍රගුණ කළ හැකි කාන්දම් ශක්තියක් ඇති බව හිප්නොටිම් ශාස්ත්‍රය ඇසුරින් ගම්‍යවෙයි. ඒ සඳහා විධිමත් පුහුණුවක් ලබාගත යුතුය. 
මන්දයත් ගැඹුර දක්වා අධ්‍යයනය නොකර නිගමනවලට බැස විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන්නට යාම සුදුසු නොවන බැවිණි. 


එම නිසා විශ්ව ශක්තිය මගින් හෝ මැස්මරිසම් මගින් ලෙඩ සුවකිරිීමට හොඳ පුහුණුවක් ලබා නොගෙන අනුන්ගේ රෝග සුවකළ නොහැකිය. 
මන්දයත් එය චිත්ත ශක්තිය බලය සමග කරන ආකර්ශනීය ශාස්ත්‍රයක් බැවිනි. එම ශක්තීන් කෙනෙකු විසින් තමන් තුළම ප්‍රගුණ කොට සියලු රෝග සුවකිරීමට හැකි බව මැස්මර් ශාස්ත්‍රය තුළින් පෙන්වා දෙයි. 


අප රටට ආවේණික වූ දේශීය ආයුර්වේදය හෙවත් ආයුෂ ලබාදෙන ශාස්ත්‍ර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ඇතුළු අනෙකුත් ශාස්ත්‍ර ධර්ම අගය කළයුතු වන අතර ඒවායින් සමාජ සංස්ථාවට වැඩක් මිස අවැඩක් නොවන බව පිළිගත් සත්‍යයකි. 


එහෙත් ඇලොපති වෛද්‍ය ක්‍රමයට අයත් ප්‍රතිකාර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේදී රෝගීන්ට බෙහෙත් ලබාගැනීම සඳහා අධික මුදලක් වැයකරන්නට සිදුවෙයි. 
එසේම හෝමියෝපති වෛද්‍ය ක්‍රමය හා නැචුරෝපති නොහොත් අප ගන්නා ස්වාභාවික ආහාරපාන වලින් රෝග සුවකිරීමටත් මැස්මරිසම් හෙවත් කාන්දම් ශක්තිය උපයෝගී කරගෙන ලෙඩ සුවකිරීමට වියදමක් දැරීමට අවශ්‍ය නැත. 


එමනිසා මෙවැනි වෛද්‍යකර්ම වර්තමානයේදී සමාන්‍ය ජනතාව අධ්‍යයනයකින් තොරව සොයා යති. 
එහෙත් යථාවාදීව සිතා බලන්නේ නම් විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකරන ස්ථාන සොයා යනවාද, නොයනවාද යන්න ජනතාව තීරණය කරනු ඇත. 
බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝගවලටද අධික මුදලක් වැය වන ඖෂධ මිලදීගැනීමට ජනතාව පෙලඹෙන්නේ ජීවත් වෙන්නට තිබෙන අපේක්ෂාව මෙන්ම ආයුෂය වර්ධනය කරගැනීමට ඇති අවශ්‍යතාව නිසාය. 


ඉහත වෛද්‍ය ක්‍රම ගැන කිසියම් අවබෝධයක් ලබන්නේ නම් සමාජයේ ජීවත්වන රෝගීන් සංඛ්‍යාව අඩුවීම, ආයුෂය සුරක්ෂිතවීම තම තමන්ගේ අාධ්‍යාත්මික ශක්තීන් ඇති කරගත හැකි බව නිගමනය කළ හැකිය. 


එහෙත් අප රටේ සෑම නගරයක් ගම්දනව්වක් පාසා සමීක්ෂණයක් කර බලන්නේනම් මනෝවෛද්‍ය ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන ගණන අතලොස්සක් වන බව අප කවුරුත් පිළිගන්නා කරුණකි. 


සමාජ මනෝවිද්‍යාඥයින්, මනෝවිශ්ලේෂකයින් මෙන්ම මනෝ උපදේශකයින් ගණනද අල්පයකි. 
එහෙත් මෙම අඩුව සපුරාලීමට කායික හා මානසික රෝග සුව කරන්නට පදනම් විරහිත රෝග සුවකරන්නන් මහජනතාවගේ මනස සූක්ෂම ලෙස කෙතෙක් දුරට ග්‍රහණය කරගෙන තිබෙනවාද යන්න ප්‍රබුද්ධ මනසක් ඇති බුද්ධිමත්හු දනිති. 


ඇතැමුන් චැනල් කරන්නට යන ගාස්තුවෙන් දුප්පත් පවුලකට මාසයක් දෙකක් ජීවත්විය හැකිය. 


මෙවැනි ඉසිවරුන්ට ගොදුරු වන අහිංසක ජනතාව සිය දහස් ගණනකි. විවිධ ප්‍රචාරණයන් සමාජ ජාල මගින්ද ලබාදෙනු ඇත. 


ඕනෑම රෝගයකට ගොදුරු වන මිනිසා තමන්ගේ ලෙඩ භාර දියයුතු වන්නේ වෛද්‍යවරයෙකුට විනා රොඩී දැහැන් නීචකුල බන්ධන කරන මෑණීවරුන්ට හෝ පියවරුන්ට හෝ ලෙඩ සුවකරන වේශධාරී කයිරාටික පුද්ගලයෙකුට නොව සැබෑ වෛද්‍යවරයෙකුටය. 


දුර අතීතයේ සිටි වෛද්‍යවරුන් කිසිම විටෙක රෝගියාගෙන් ගුරු පඬුරක් ගන්නවා හැරුණු විට අසාධාරණ ගාස්තු අය කළේ නැත. ඔවුන් තුළ තිබුණේ රෝගීන් සුවකිරීමේ කාරුණික ගුණාංගයක් පමණකි. 


එවැනි ගුණාංග ඇති දේශීය වෛද්‍යවරුන් මෙන්ම බටහිර වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදියන්ද දැකිය හැකිය. 


අසවල් දොස්තර මහත්තයාගේ, අසවල් දොස්තර නෝනාගේ කතාවෙන්ම ලෙඩ සනීප වෙනවා. පුදුම අත්ගුණයක් තියෙන්නේ. වැනි වදන් පවසන රෝගීන් අපි දැක ඇත්තෙමු. 
මෙවැනි ගුණාංගයන් මැස්මරිසම් ප්‍රගුණ කරන සෑම කෙනෙකුටම ඇති කරගැනීමට පිළිවන් බව එම ශාස්ත්‍රධාරීන්ගේ පිළිගැනීමකි. 


එබැවින් මැස්මරිසම් හෝ විශ්ව ශක්තියෙන් ලෙඩ සුවකිරීමට යාම ප්‍රවේසමෙන් කළයුතුය. එවැනි දෑ කිරීමට මානුෂීය වූ ගුණාංගයන්ගෙන් පරිපෝෂිත වියයුතුය. 
ග්‍රහ අපල අැති බවට ජෝතිෂඥයින් තීරණය කළවිට බලියාග පැවැත්වීමෙන් ලැබෙන මානසික සුවය මත රෝගියෙකුගේ ලෙඩ සුවවන්නට පිළිවන. 
එසේ සිත පැහැදීමෙන් ලෙඩ රෝග සුව වෙනවානම් එයට රුකුලක් ලෙස කාන්දම් බලයක් යොදාගැනීම කළහොත් ඕනෑම රෝගයක් සුව වන බව තවදුරටත් සනාථ වන බව මැස්මර්වාදීන්ගේ මතය වේ. 


ජර්මානු ජාතික වෛද්‍ය පෙඩ්රික් ඇන්තනී මැස්මර්තුමා මෙම ශාස්ත්‍රයේ ආදිතම නිර්මාතෘ වරයාය. 1734-1815 අතර කාලයේ ඕස්ට්‍රේලියාවේ වියානාහි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ මෙතුමා කාන්දම් බලය උපයෝගී කරගෙන රෝග සුවකර ඇති බව අවරදිග පෙෂණය හෙවත් මැස්මරිසම් ශාස්ත්‍රය පිළිබඳ තොරතුරුවලින් අනාවරණය වෙයි. 
එසේම පසුකාලීනව ගැස්නර් නමැති පූජකවරයෙකු කාන්දම් ශක්තිය උපයෝගී කරගෙන රෝග සුවකරන බව ප්‍රචලිත විය. 


ඉන් අනතුරුව මැස්මර්තුමාගේ පෙෂණ ක්‍රමයට චිත්ත බලයත් ශබ්දෝච්චාරණයත් ඇස්වල කාන්දම් ශක්තිය උපදවාගැනීමත් එකතු කොට මැස්මරිසම් ක්‍රමය උසස් තත්ත්වයකට පත්කර තිබේ. 


මේ අතර 1842 මැන්චස්ටර්හි ජේම්ස් නමැති ශාස්ත්‍රඥයෙක් මැස්මර්තුමාගේ පෙෂණ ක්‍රමය මූලාශ්‍ර ගැන පරීක්ෂණ පවත්වා මෝහන ක්‍රමය සොයාගෙන ඇති අතර ඔහු මිනිසා තුළ කාන්දම් ශක්තියක් ඇති බව ප්‍රතික්ෂේප කර ඇත. 


මෝහනය (හිප්නොටිසම්), ආකර්ශණය (මැග්නටිසම්), පෙෂණය (මැස්මරිසම්) යනුවෙන් කොටස් තුනකි. එහෙත් එය එකිනෙකට වෙනස්වෙයි. 
චිත්ත ශක්තිය දියුණු කිරීමෙන් මිනිසුන් විෂ්මිත ප්‍රාතිහාර්යයන් කර ඇත. 


දියුණු කරගත් සිත විදුලිය මෙන් සංවේදීය. විදුලි ධාරාවක් කම්බියකට සම්බන්ධ කළ විට එහි විදුලිය පවතින්නටත් එම සම්බන්ධතාව කපා හැරියවිට කම්බිය පමණක් පැවතීම සරල උදාහරණයකි. 


චිත්ත ශක්තියද එවැන්නකි. චිත්ත ශක්තිය ලෙඩ සුවකිරීමටද එවැනි කර්තව්‍යයන්හිදී ශබ්දෝච්චාරණයෙන් ලෙඩ සුවකිරීම සඳහා ඇස්වල සහ අත්වලට කාන්දම් ශක්තිය උද්දීපනය කරගෙන වාග් බලයද වඩවා ගතයුතුය. 


ඒ සඳහා අභ්‍යාෂයන් රැසක් ප්‍රගුණ කළ යුතුය. 


ඒ අනුව මානසික රෝග, නියපොතු විකීම, දුම්පානය කිරීම, අබින් සහ කංසා බීම, මිනීමැරීම ඇතුළු දරුණු අපරාධවලට ඇති ඇල්ම, අධික කාමාශාව, බොරුකීම, උන්මාදය, නින්ද නොයෑම, හිසේ රෝග ඇස්ලෙඩ, අන්ධ භාවය, දන්තාබාධ, උණ රෝග සහ කන් කැක්කුම, උදරාබාධ, මලබද්ධය, අර්ශස්, ප්‍රතිශ්‍යා, වයිරස් රෝග, ඉක්කාව, හෘද රෝග, සමේ රෝග, ගර්භාෂරෝග, ගර්භාෂය පහත්වීම, සන්ධි රෝග, ඇඹුල් කාරම හෙවත් ගැස්ට්‍රයිටිස්, ඇදුම රෝගය, රත්ක වාතය, නහරගත රෝග ඇතුලු තවත් රෝග සිය ගණනක් සඳහා ප්‍රතිකාර විධි හිප්නොටිසම් ශාස්ත්‍රයේ දැක්වේ. 


වත්මන් සමාජයේ බුද්ධිමත් ජනතාව රෝග පිළිබඳ දියුණු වෙදකම් සොයායාමට පෙලඹීමත් ප්‍රතිකාර කෙරෙහි දක්වන යථාවාදී ආකල්පයත් අගය කළ යුතුය. 
කෙසේ වුවත් විද්‍යාත්මක පදනමක් නැතිව අාධ්‍යාත්මික බලයෙන් රෝග සුවකරනවා යැයි පවසන ස්ථානවලට ගොස් එක් පුද්ගලයෙකු හෝ කීපදෙනෙකු පොදුවේ රෝගීන්ට විශ්ව ශක්තියේ බලය මුදාහැරීමට හැකියයි විශ්වාස නොකර තම රෝගවලට පිළිගත් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීම ඉතා සුදුසු බව අප කළ සමීක්ෂණ වලින් පෙනීයයි. 

 

 


සටහන - හිඟුරානේ 
නවරත්න සමරතුංග