65 හැවිරිදි ජනපතිගේ සිත සොරාගත් 25 හැවිරිදි සුරූපිනිය


 

 

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි දෙනකුගේ කතාබහට ලක්වන සුරූපිනියක ගැනයි මේ. සුරූපිනියගේ නම මරීයා වෙසිලෙවිච් ය. මැය බෙලරූස් (බෙලරුසියාව) ජාතික 25 හැවිරිදි තරුණියකි. පසුගිය නොවැම්බර් 17 වැනිදා බෙලරූස් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු අතර, ඊට ඉදිරිපත් වුණු මරීයා ජයග්‍රහණය කළාය. අද ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ද වෙයි.   


2018 දී චීනයේ පැවැති ලෝක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් සුරූපිනියන්ගෙන් කෙනකු වන්නේ මරීයා වෙසිලෙවිච් ය. මරීයා ට කිසිදු දේශපාලන අත්දැකීමක් නැත. දේශපාලන දැනුමක් නැත. මැතිවරණයට අදාළව ඇය කිසිදු ප්‍රචාරණ රැස්වීමකට සහභාගි වූයේ ද නැත. එසේ වුවත්, බෙලරූස් වැසියෝ මරීයා වෙසිලෙවිච් හොඳින් හඳුනති. ඒ, 2018 ලෝක රූ රැජින තරගාවලියේ තෙවැනි ස්ථානයට පත් වූ නිසාම නොවෙයි. බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ සිත සොරා ගැනීමට මරීයා සමත් වී සිටින නිසාය.   
2018 ලෝක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමට මරීයාට උදව් කළේ ජනාධිපති ලුකෂෙන්කෝ යැයි ද පැවැසෙයි. එපමණක් නොව, ඇය දේශපාලනයට ගෙන්වා ගැනීමට කටයුතු කළේ ද ජනාධිපතිවරයාය. ජනාධිපති ලුකෂෙන්කෝ විවාහකය. ලුකෂෙන්කෝ විවාහ වී ඇත්තේ 1975 දීය. ජනපතිවරයාට දරුවෝ තිදෙනෙකි. එම දරුවන්ට ද දරුවෝ සිටිති. ඒ අනුව, ජනපති ලුකෂෙන්කෝ සීයා කෙනෙකි. ජනාධිපතිවරයා සහ මරීයා වෙසිලෙවිච් අතරේ රහස් පෙම් හබයක් පවතින බව ප්‍රසිද්ධ රහසක් යැයි පැවැසෙයි.   


2018 ලෝක රූ රැජින තරගයෙන් 3 වැනි ස්ථානයට පත් වීමෙන් පසු මරීයා සහ ජනාධිපති ලුකෂෙන්කෝ දෙදෙනා නිතර මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. 2018 රුසියාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නැරැඹීමට ජනපති ලුකෂෙන්කෝ ගොස් සිටියේ ද මරීයා සමඟය. මෙම වසර උදා වෙද්දී, බෙලරූස් හි මින්ස්ක් අගනුවර පැවැත්වුණු සජීවී විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණු අතර ඊට සහභාගි වූ මරියා සහ ජනාධිපති ලුකෂෙන්කෝ එක් වී නර්තනයක් ද ඉදිරිපත් කළහ. බෙලරූස් යනු අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටකි. බෙලරූස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූයේ 1991 අගෝස්තු 25 වැනිදා ය. බෙලරූස් රාජ්‍යයට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සිදුවූයේ 1994 දීය. පළමු ජනපතිවරණය ඒ අනුව පැවැත්වුණු අතර, එදා සිට මේ දක්වා ජනාධිපති ධුරය හොබවන්නේ ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ය. ලුකෂෙන්කෝ හිටපු හමුදා නිලධාරියෙකි.   

 


ලුසිත ජයමාන්න   
‘ඩේලිමේල් ඇසුරිනි’