හොරුන්ට ගහලම එළවන්න ඕනෑ


 

කාලීන දේශපාලන කාරණා සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- අඟුණකොළපැලැස්ස අලුත් බන්ධනාගාරය විවෘත කිරීමේ උත්සවය ඔබ වර්ජනය කළේ ඇයි?  
පිළිතුර:-
අඟුණකොළපැලැස්ස අලුත් බන්ධනාගාරය කියන්නේ තිබුණ ආණ්ඩුව ම​ෙග් තංගල්ල ආසනයේ තරුණ පරම්පරාවට දීපු දායාදයක්. අපේ තංගල්ල ආසනයේ තරුණ තරුණියන්ට මේ බන්ධනාගාරය නිසා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.  

 


ප්‍රශ්නය:- මොකක්ද ඒ ලොකු ප්‍රශ්නය?  
පිළිතුර:- මං දැක්කා අද පත්තරේත් තියෙනවා වැලිකඩ බන්ධනාගාරයෙන් අනික් බන්ධනාගාරවල ඉන්න කට්ටියත් අච්චු කරපු ඔක්කොම මේ අලුත් බන්ධනාගාරයට ගේනවා කියලා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැඳවියොත් ගේනවලු. එතකොට ඔය බන්ධනාගාරවල අච්චු කරල ඉන්න නවුෆර්ලා ඇතුළු කුඩු මාෆියාවේ ඉන්න අය මෙහාට ගෙනාවම මෙහෙ ඉඳලා තමයි ඔය ව්‍යාපාරය මෙහෙයවන්නේ. එහෙම වෙනකොට තංගල්ල අවට ඉඩම් කොළඹ ඉන්න ඉන්න අය මිලදී ගත්තම. වටේ ඉන්න තරුණයන් අල්ල ගෙන කුඩු ව්‍යාපාරයට යොමු කරවාගෙන මහා විනාශයක් කරනවා. සංචාරක කලාපයක් වෙච්ච මේ දිස්ත්‍රික්කයේ ඒ හරහා විනාශ මුඛයට යන්​නේ නැද්ද? ඒ නිසා තමයි මම ඕකට විරුද්ධ. එදා ඉඳලම මම විරුද්ධයි. මම මේකට විරුද්ධව හඬක් නැගුවා.  

 


ප්‍රශ්නය:- නමුත් ප්‍රයෝජනයක් නෑ?  
පිළිතුර:-
ඔව්, කවුරුවත් මගේ හඬට ඇහුම් කන් දුන්නේ නැහැ.  

 


ප්‍රශ්නය:- ඔබේ ආණ්ඩුවක් තිබිලත් ඔබට බැරි වුණානේ මේක නවත්තගන්න?  
පිළිතුර:-
අපේ ආණ්ඩුවක් තිබුණා. මගේ හඬට දිස්ත්‍රික්කයෙ ඉන්නවනේ සජිත් ප්‍රේමදාස සහ මහින්ද අමරවීර කියන ඇමැතිවරුන්.  

 


ප්‍රශ්නය:- ඔවුන් ඔබට සපෝට් කළේ නෑ?  
පිළිතුර:-
නෑ...නෑ... ඒ ඇමැතිවරුන් දෙන්නත් මගේ හඬට සවන් දුන්නට කැබිනට් එකේ සාකච්ඡා කරන්න යොමු කරවගන්න මට බැරි වුණා. මම කැබිනට් ඇමැතිවරයෙක් නොවෙයිනේ. ඒ නිසා මේක කැබිනට් එකේ කතා කරලා මේක වෙනස් වැඩකට යොදාගන්න තිබුණා. මේක කැබිනට් එකේ සාකච්ඡා කළා නම් ඒ දෙන්නත් මේකට විරුද්ධයි. නමුත් කැබිනට් එකේ කතා කළේ නෑ.  

 


ප්‍රශ්නය:- ඇමැති සජිත් ප්‍රේමදාස ඔබට බොහොම සමීපයි. ඔහුවත් මේ ගැන කැබිනට් එකේ කතා කළේ නෑ.?  
පිළිතුර:-
ඒ දෙන්නම මේකට විරුද්ධ වුණා. දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ මම මේ ගැන කතා කළාම දෙන්නම මගේ යෝජනාවට එකඟ වුණා. අපි මේක ඉහළට ලිව්වා. නමුත් ප්‍රයෝජනයක් වුණේ නෑ.  

 


ප්‍රශ්නය:- මහජනයාගේ නොවෙයි ආණ්ඩුවේ ඉන්න මහජන නියෝජිතයන්ගේ හඬටවත් මේ ආණ්ඩුව කන් දෙන්නේ නැද්ද?  
පිළිතුර:-
මහජන නියෝජිතයන්ගේ හඬට කන් දෙනවා. ඒත් මේක වැඩ අවසන් කරපු ව්‍යාපෘතියක් නිසා වෙනස් කරගන්න බැරි වුණා කියලයි මම හිතන්නේ.  

 


ප්‍රශ්නය:- මාළුවල ගණන් ඇහුවම ඇඟේ මාළු නටනවා කියලයි මිනිස්සු කියන්නේ. යුරෝපා මත්ස්‍ය තහනම අයින් කළාම රටට හොඳ කලක් යනවා කියලයි ඉස්සර කිව්වේ?  
පිළිතුර:- 
මේකයි මේ මත්ස්‍ය තහනම අයින් කරගත්ත එකේ විශේෂ මාළු තෝරු, පරව්, කෙළවල්ලා, ඉස්සෝ, කකුළුවෝ අපනයන මත්ස්‍යවලින් හොඳ ආදායමක් අපේ රටට ලැබෙනවා. ඒ හරහාම හොඳ තත්ත්වයක් අපේ ධීවර ක්ෂේත්‍රයට ලැබෙනවා. පාරිභෝගිකයින්ට අවශ්‍ය මාළු සම්පත දැන් ලැබෙමින් පවතිනවා. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් ඇතිවෙලා.  

 


ප්‍රශ්නය:- හාල් ගිනි ගණන්. පොල් මිල ඇහුවම එළොව පොල් පේනවා. මාළු මිල ඇහුවම ඇගේ මාළු නටනවා. මේවා මේ මිනිස්සු කියන කතා?  
පිළිතුර:-
ජනතාවට ඉතින් මෙහෙමයි. පොල් ගණන් ගිහිල්ලා කියන්​ෙන් නියඟය නිසා හා විවිධ ස්වභාවික විපත් නිසයි. විවිධ රෝග හැදුණා. ඒවට පොල් පර්‌යේෂණ ආයතනය පරික්ෂණ කරගෙන යනවා. සහල්වල මිල මැඩ පවත්වාගෙන යනවා. රටේ ජනතාවට අත්‍යවශ්‍ය මාළු සම්පාදනය වෙමින් පවතිනවා. මේවා එච්චර දේවල් නොවෙයි. විවිධ ප්‍රශ්න මතුවෙන කොට මිල එහෙම මෙහෙ වෙනවා ඒක මේ අද නොවෙයි එදා ඉඳලම පවතින තත්ත්වයක්.  

 


ප්‍රශ්නය:- කොහොම වුණත් ආණ්ඩුවේ වැඩ කටයුතුවල නිසි කළමනාකාරිත්වයක් නැහැ නේද? වම් අත කරන දේ දකුණ අත දන්නේ නෑ?  
පිළිතුර:-
ඔව්. ඒක ඇත්ත තමයි. ඒකේ ඇත්ත කතාව මේකනේ. මේ ජාතික ආණ්ඩුව පිහිටුවා ගත්​ෙත් මිනීමරා ගත්ත පක්ෂ දෙකක් එකට එකතු වෙලානේ. එතකොට එහෙම මිනී මරාගත්ත පක්ෂ දෙකක් පිහිටුවා ගත්​ෙත් රටට යම් සෙතක් සලසන්නයි. නායකයෝ දෙන්නා ජාතික ආණ්ඩුවක් හැදුවේ රටට සෙත හදන්නයි. ඒත් නායකයො දෙන්නා කරගෙන යනවා. නමුත් පක්ෂ දෙකේම ඉන්න මැති ඇමැතිවරු යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ගංවතුරට අහුවෙලා ගහගෙන යන කොටසකට ජීවිතාරක්ෂාව පතා මුගටිය එක පැත්තකින් නගිනවා. අනික් පැත්තෙන් නයා නැගලා ඉන්නවා. නයත් පුම්බගෙන ඉන්නවා. මුගටියත් පුම්බගෙන ඉන්නවා. ඒකට හේතුව ඇරගන්න ගියොත් දෙන්නම මැරෙන බව දන්න නිසයි. ඒ නිසා දෙන්නම පුම්බගෙන ඉන්නවා. ගහගන්න යන්නේ නෑ. අන්න ඒ වගේ තමයි මේ ආණ්ඩුවත්. ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ ප්‍රශ්නවලට මුහුණ දීලා වාද විවාද කරගෙන අපේ වැඩ ටික කරගෙන අපි යනවා.  

 


ප්‍රශ්නය:- බැඳුම්කර කොමිසම හරහා රටට අනාවරණය වූ කාරණා ගැන මොනවද හිතෙන්නේ?  
පිළිතුර:
- බැඳුම්කර ව්‍යාපෘතිය ගැන මම තාම අධ්‍යයනය කරනවා. ඒක ගැන මම තාම හරියට දන්නේ නෑ. බරපතළ ප්‍රශ්න ගැටලු තියෙන බවක් පේනවා. කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා අපි තාම දන්නේ නෑ. ඒකාබද්ධ විපක්ෂය නම් රට පුරාම බොරු කිය කියා යනවා. අපි තාම ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්​ෙන්. දන්නේ නැති නිසා මට ඒ ගැන බොරුවට මුකුත් ප්‍රකාශ කරන්න අමාරුයි.  

 


ප්‍රශ්නය:- මේ ගැන පක්ෂය ඇතුළේ මුකුත් සාකච්ඡාවක් නැද්ද?  
පිළිතුර:-
නෑ. තාම එහෙම සාකච්ඡාවක් වුණේ නෑ.  

 


ප්‍රශ්නය:- රවි කරුණානායකට සහාය පළ කරලා දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ප්‍රවෘත්ති සාකච්ඡාවක් තිබ්බා. නමුත් ඔබේ සහෝදරයා ඒ සාකච්ඡාවට ගියේ නෑ.  
පිළිතුර:-
ඒක මම දන්නේ නෑ. සහෝදරයා ගැන මම මුකුත් දන්නේ නෑ. ඒ ගැන මගෙන් අහන්න එපා. ඒ ගැන මම දන්නේ නෑ.  

 


ප්‍රශ්නය:- මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ පක්ෂයේ සභාපතිවරයා විශාල මුදල් වංචාවකට අහුවුණා. මේවා යහපාලනයට ගැල​ෙපනවද?  
පිළිතුර:-
ඕවා ශුද්ධ කරන්න අපට අවශ්‍ය නෑ. හොරකම් කළා නම් මුන් හොරු. මුන්ට ගහලා පන්නන්න ඕනෑ. මගේ නම් මතය ඒකයි. හොරුන්ට ගහලම එළවන්න ඕනෑ.  

 


ප්‍රශ්නය:- මහින්ද අමරවීර ඔබේ ඇමැතිතුමා ඔබට වැඩ කරගෙන යන්න පූර්ණ බලතල හා අනෙකුත් හැම දෙයක්ම දීලා තියෙන්නේ කියල ඒ දවස්වලත් කිව්වා.  
පිළිතුර:-
බලතල දීලා තිබුණට ප්‍රතිපාදන ලැබෙන්නේ නැහැනේ. ඉතින් අපි හැකි විදියට කරගෙන යනවා. වාද බේද ඇතිකරගන්නේ නැතිව ඔහේ කරගෙන යනවා. වෙන මොනවා කරන්නද?  

 


ප්‍රශ්නය:- ප්‍රතිපාදන දෙන්නේ ඇමැතිවරයාද? මුදල් ඇමැතිවරයාද?  
පිළිතුර:-
ධීවර අමාත්‍යාංශය යටතේ මුදල් අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන වෙන් කරන්නේ. රාජ්‍ය ඇමැතිවරයාට කියල වෙනම ප්‍රතිපාදනයක් නෑ. අපි යෝජනා ඉදිරිපත් කළත් කෙරෙන නොකෙරෙන ඒවා තියෙනවා. කැබිනට් ඇමැතිතුමා තමයි මේ ප්‍රතිපාදන වෙන් කරන්නේ. වෙන් කළත් නොකළත් මම කරන්නෙත් ජනතාවට. ඇමැතිතුමා කරන්නෙත් ජනතාවට. එතුමා මේ ගෙදරින් සාක්කුවෙන් සල්ලි අරගෙන ධීවර ජනතාවට උදව් කරන්නේ නෑ. මමත් ගෙදරින් සාක්කුවෙන් සල්ලි අරගෙන ධීවර ජනතාවට උදව් කරන්නේ නැහැ. අපි පිහිටවපු යහපාලන ආණ්ඩුවෙන් ධීවර අමාත්‍යාංශයට මුදල් ඇමැතිතුමා වෙන් කරන සල්ලිවලින් ධීවරයා නගා සිටුවන්න, මේ කර්මාන්තය දියුණු කරන්න වැඩ කරනවා. මම කළත් එයයි කළත් ඒක කරන්නේ ධීවර අමාත්‍යාංශයෙන්. එයා කැබිනට් ඇමැති කියලා මම රාජ්‍ය ඇමැති කියලා අපි දෙන්නගේ වෙනසක් නෑ. එයා ඒ කරන දේට මමත් හවුල්කාරයෙක්. මම කරපු දේට එයත් හවුල්කාරයෙක්. අපි දෙන්නම කරන්නේ ජනතාවට.  

 


ප්‍රශ්නය:- ඔබ දෙදෙනාම එකම දිස්ත්‍රික්කයේ. ඒක ඔබට දේශපාලනිකව අවාසි නැද්ද?  
පිළිතුර:-
අවාසියක් වුණා කියලා මොනවා කරන්නද? අපට නායකතුමා කිව්වා රණ්ඩු දබර වෙන්නේ නැතිව පුළුවන් හැටියෙන් කරගෙන යන්න කියලා. ඉතින් මම රණ්ඩු දබර වෙන්නේ නැතිව මහ පොළොවේ පයගහලා ජනතාව අතරට ගිහිල්ලා ජනතාවට ඇත්ත කියලා ජනතාවත් එක්ක සුහදශීලීව අපි මේ කටයුතු කරගෙන යනවා. ඒකනේ ඉතින් ​ෙම් අපේ මනුස්සකම.  

 


ප්‍රශ්නය:- ජනවාරියේ පුංචි ඡන්දය තියනවා කියලා කිව්වා. නමුත් දැන ඕකත් කල් යන හැඩයි?  
පිළිතුර:
- දින නියම කරන්න තියෙන කොටසේ අර තවත් නුවරඑළියේ ප්‍රාදේශීය සභාවක ප්‍රශ්නයක් මතුවුණා. ඒකත් සතියකින් දෙකකින් විසඳුනාම ඡන්දයට දින නියම කරයි.  

 


ප්‍රශ්නය:- එතකොටත් තවත් මොකක් හරි ප්‍රශ්නයක් පටලවා ගනී?  
පිළිතුර:-
එක එක්කෙනාට ඒකාබද්ධ විපක්ෂයට ඕනෑ ඕනෑ විදියට ඡන්ද තියන්න බෑනේ. රාජකාරි මට්ටමෙන් නීත්‍යානුකූලවනේ කරන්න ඕන. බැසිල් රාජපක්ෂ කළා වගේ තමන්ටයි තමන්ගේ පවුලේ අයටයි ගොඩයන්න පුළුවන් විදියට සීමා නිර්ණ හදන්න බෑනේ. 

 

 
ප්‍රශ්නය:- සීමා නිර්ණ වගේ තාක්ෂණික ප්‍රශ්න ඉස්සරහට දැම්මට ඇත්තටම මෙතැන තියෙන්නේ ඡන්දවලට තියෙන බය නේද?  
පිළිතුර:-
අපි එක්සත් ජාතික පක්ෂය කිසිම ඡන්දයකට බය නෑ. ඕනෑම මැතිවරණයකට ඕනෑම වෙලාවක අපි ලෑස්තියි. එක්සත් ජාතික පක්ෂය ඡන්දවලට බය නෑ.  

 


ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂය ඡන්දවලට බය නෑ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දවලට බයයි කියන එකද?  
පිළිතුර:-
ඒක මම දන්නේ නෑ.  

 


ප්‍රශ්නය:- අයවැයක් එනවා. මොනවා වෙයිද?  
පිළිතුර:-
අයවැයෙන් ගිය අවුරුද්දට වැඩිය මේ පාර ජනතාවට සහන ලබාදෙන්න පුළුවන් වෙයි. රටේ ණය කන්දරාව ගෙවමින් පවතින නිසා ජනතාවට මේ අයවැයෙන් සහන සලසන්න පුළුවන් වෙයි මම හිතන විදියට.  

 


ප්‍රශ්නය:- සහන කිව්වේ කොත්තමල්ලි, කහ, සූදුරුවගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අඩු කිරීමද?  
පිළිතුර:-
ඊට වඩා ලොකු සහනයක් ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. හැමෝටම සහන ලැබෙන අයවැයක් තමයි මේ පාර එන්නේ.  

 


ප්‍රශ්නය:- අැමැති අනුර ප්‍රියදර්ශන යාපා කියලා තිබුණා ආර්ථික කමිටු එහෙම දාලා තිබුණට ජනතාවට වැඩක් නෑ. ඒ නිසා ඒවා විසුරුවා හරින්න කියලා?  
පිළිතුර:-
ආර්ථික කමිටු පත් කළේ සාකච්ඡා කරලා එපැයි මුදල් අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කරන්න. ඒ කමිටු විසුරුවා හැරලා කොහොමද?  

 


ප්‍රශ්නය:- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ ඇමැතිවරුන් නම් කියන්නේ බොහොම අමාරුවෙන් තමයි ආණ්ඩුවේ ඉන්නේ කියලා?  
පිළිතුර:-
එක්සත් ජාතික පක්ෂයේ අපි මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරලා ආණ්ඩුවක් පිහිටුවන්න ක්‍රියා කළාම අමාරු ඇති තමයි. ලැජ්ජා ඇති තමයි. ඒ ආණ්ඩුවේ ඉන්න.  

 


ප්‍රශ්නය:- පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් තංගල්ලේ හෝටලයක රැස්වෙලා ලොකු රැස්වීමක් තිබ්බා?  
පිළිතුර:-
ඔව්. ඔව්.  

 


ප්‍රශ්නය:- ඔබට ආරාධනාවක් නෑ?  
පිළිතුර:-
මටත් ආරාධනා කළා.  

 


ප්‍රශ්නය:- ගියේ නෑ?  
පිළිතුර:-
යන්න බැරි වුණා.  

 


ප්‍රශ්නය:- නොගියෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද?  
පිළිතුර:-
නෑ... නෑ... මමයි මහින්ද අමරවීර ඇමැතිතුමයි ත්‍රිකුණාමලයෙ ජනාධිපතිතුමාගේ ආහාර සුරක්ෂිත වැඩසටහනට ගියා. ඒ නිසයි යන්න බැරි වුණේ.  

 


ප්‍රශ්නය:- ඒ සාකච්ඡාවේදී ගත්ත තීරණ දැනුම් දුන්නද?  
පිළිතුර:-
මම කිව්වේ නෑ. මම හෙව්වෙත් නෑ. හොයන්න වුණෙත් නෑ. කට්ටිය කාලා බීලා විනෝද වෙලා මොනවා සාකච්ඡා කළාද දන්නේ නෑ.  

සාකච්ඡා කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්