සමාජවාදී සමාජ විප්ලවය තමයි අපේ ඉලක්කය


කුමාර් ගුණරත්නම් හෙවත් ‘කුමාර මහත්තයා’ 87-89 ශාපලත් අඳුරු භීෂණයේදී අහම්බෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ ජවිපෙ නායකයෙකි. අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ 1994 ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණවීම තුළ තිරය පිටුපස සිට ජවිපෙ නැවත ගොඩනැංවීමේ ක්‍රියාන්විතයේදී සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කළේය. 2000 දශකයේ ජවිපෙ අභ්‍යන්තරයේ මතුවූ මතවාදී සංග්‍රාමයේදී එක් කඳවුරකට නායකත්වය දුන් ඔහු අනතුරුව 2011 සැප්තැම්බර් පිපුරුමෙන් පසු එළිදුටු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පෙරටුගාමී නායකයෙකි. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- ඔබ මේ දවස්වල මොකද කරන්නේ?  
පිළිතුර:-
මේ දවස්වල අපේ පක්ෂයේ දේශපාලන කටයුතුවල නියැලිල ඉන්නවා.  

 


ප්‍රශ්නය:- ඔබ ලංකාවේ පුරවැසිභාවය ඉල්ලා සිටියා. දැන් ඒ ප්‍රශ්නය කොතනද තියෙන්නේ?  
පිළිතුර:-
නිල වශයෙන් ඒ ප්‍රශ්නය විසඳිලා තියෙන්නේ. මම දැන් ශ්‍රී ලාංකේය පුරවැසියෙක්. ලංකාවේ හැඳුනුම්පතකට උරුමකම් කියනවා.  


ප්‍රශ්නය:- ඔබ ඇයි ඕස්ට්‍රේලියානු පුරවැසි බව ලබා ගත්තේ? ආරක්ෂක උපක්‍රමයක් වශයෙන්ද? වෙනත් හේතුවක් නිසාද?  
පිළිතුර:-
පැහැදිලිවම ආරක්ෂක හේතු මත. මම ඒ කාලයේ නියෝජනය කළේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයයි. පක්ෂයේ දේශපාලන මණ්ඩලය ගත්ත තීරණයක් අනුවයි ආරක්ෂාව පතා මමත් මගේ බිරිඳ හා දරුවන් ඕස්ට්‍රේලියාවට ගියේ.  

 


ප්‍රශ්නය:- ඔබව පැහැර ගැනීමට ලක්වුණ පුවත කවුරුත් දන්නවා. එම කණ්ඩායම ඔබව මුදාහැරියාම පක්ෂ මූලස්ථානය හෝ පක්ෂයේ සහෝදරයකුගේ නිවෙසක් වෙනුවට ඔබ කෙළින්ම යන්නේ දෙමටගොඩ අපරාධ කොට්ඨාසයට. ඇයි පොලිසියම තෝරා ගන්නේ?  
පිළිතුර:-
ඔබ ඔය මතු කරන්නේ සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරක් මත ගොඩනගපු ප්‍රශ්නයක්. මාව පැහැර ගත්ත පිරිසම තමයි මාව අපරාධ කොට්ඨාසයට ගෙනියන්නේ.  

 


ප්‍රශ්නය:- ඔබ දන්නේ නෑ.  
පිළිතුර:-
ඔව්. මම දන්නේ නෑ. මගේ ඇස්බැඳලා තිබුණේ. මාව අතහරින්නේ දෙමටගොඩ අපරාධ කොට්ඨාසය ඉස්සරහා.  

 


ප්‍රශ්නය:- එතැනදී ඕස්​ට්‍රේලියානු මහ කොමසාරිස්වරිය ඇවිත් ඔබව බාර ගත්තා. ඒක අසාමාන්‍ය වගේම සැක කටයුතු සිදුවීමක්?  
පිළිතුර:-
නෑ. මහ කොමසාරිස්වරිය ආවා. එතකොට මම ඕස්ට්‍රේලියානු පුරවැසියෙක්. නොයෙල් මුදලිගේ නමින්. ඕස්ට්‍රෙලියානු මහකොමසාරිස් කාර්යාලය මැදිහත් වුණේ තමන්​ෙග් රටේ පුරවැසියකුගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකටයි. ඔවුන් කෙළින්ම ගනුදෙනු කළේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් සමඟයි.  

 


ප්‍රශ්නය:- නමුත් ඒ මැදිහත්වීම පුරවැසියකුට අදාළ කාරණාවකට වඩා එහා ගිය යමක් තිබුණා. ඔබ කිසියම් ඔත්තු සේවාවක් නියෝජනය කරනවද කියන ප්‍රශ්නයත් ඒ කාලයේ මතුවුණා.  
පිළිතුර:-
සාමාන්‍යයෙන් මම දන්න තොරතුරුවලට අනුව අවස්ථා ගණනාවකදීම ඕස්ට්‍රේලියාව වෙනත් රටවල්වලදී පවා දේශපාලන හේතු මත අනතුරට පත්වෙච්ච තමන්ගේ රටේ පුරවැසියන් සම්බන්ධයෙන් එහෙම මැදිහත්වීම් කරලා තියෙනවා. මට මතකයි මම ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන කාලයකදී ඊශ්‍රාලයට ගුවන් යානයක් පවා යැව්වා තමන්​ෙග් පුරවැසි​ෙයක්ව බේරාගන්න. එහෙම මැදිහත්වීම් කරලා තියෙනවා. ඒක මේ වෙනකොට ඒ රටවල් අනුගමනය කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ එක ස්වරූපයක්.  


ප්‍රශ්නය:- මේ දේශපාලන ක්‍රමය තුළ පෙරටුගාමීන් මොකක්ද කරමින් ඉන්නේ.  
පිළිතුර:-
අපේ මූලික බලාපොරොත්තුව ලංකාවේ සමාජවාදී සමාජයක් ගොඩ නැගීමයි. ඒක තමයි අපේ ඒකායන බලාපොරොත්තුව. එතකොට අපි දන්නවා ජනතා විමුක්ති පෙරමුණ තුළ අපි කාලයක් දේශපාලනය කළා. ඒක දශක ගණනාවක්. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඒ කාර්ය භාරය අතහැරියට පස්සේ ලංකාවේ සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අඛණ්ඩව දේශපාලනයේ යෙදෙනවා. මේක පරණ සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරපු ව්‍යාපාරයක්. නමුත් ඒ සියලු දෙනාම ප්‍රධාන දේශපාලන පක්ෂ ඉදිරියේ තම වැඩපිළිවෙළ දුර්වල කර ගත්තා. අවසානයේදී ජනතා විමුක්ති පෙරමුණත් ඒකට ගොදුරු වුණා. ඒ නිසා අපට සිද්ධ වුණා වමේ ව්‍යාපාරය ශක්තිමත් කරමින් ලංකාවේ සමාජවාදය ගොඩනගන්න.  

 


ප්‍රශ්නය:- ජනතා විමුක්ති පෙරමුණ අතිශය දුෂ්කර පරිසරයක් මැද 94 දී ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වෙලා මැතිවරණ පොරපිටියේ හාස්කම් පාමින් පෙරට ආවා. 2005 ජනාධිපතිවරණයේදී ජයග්‍රාහකයා තීරණය කළේත් පක්ෂයයි. එමගින් පක්ෂය පීලිපන්වන මතවාදය හදන්නේ ඔබලා?  
පිළිතුර:-
නෑ. ජනතා විමුක්ති පෙරමුණ ඔබ කිව්වා වගේම 2005 ජනාධිපතිවරණයේදී මැදිහත්වීම වි​ෙශ්ෂයි. ඒ වගේම එල්ටීටීඊ සංවිධානය උතුරේ ඡන්ද වර්ජනය කිරීමත් විශේෂයි. ඒකෙන් තමයි රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කළේ. ඉතින් අපේ ගමන තියෙන්​ෙන් මෙහෙමයි අපේ අදහස ඉතාම නිශ්චිතයි. මැතිවරණ අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මැතිවරණවලට ඉදිරිපත් වෙන්න ඕනෑ. හැබැයි මහජන මතය මැතිවරණයකින් පමණක් තීරණය කරන්න අමාරුයි. ඊට වඩා මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුයි.  

 


ප්‍රශ්නය:- ඡන්දයකින් සැබෑ මහජන මතය පිළිබිඹු වෙන්නේ නැත්නම් ඊළඟට තියෙන්නේ විප්ලවය. එහෙම නැත්නම් බුලට් එක. ඔබ වඩාත් සමීප ඡන්දයටද, උණ්ඩයටද?  
පිළිතුර:-
ඔය මතය හරි ජනප්‍රිය මතයක් වෙලා. අපි ජනතා විමුක්ති පෙරමුණෙන් ඛණ්ඩනය වෙලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ගොඩ නගද්දිත් ඔය ප්‍රශ්නය මතුවුණා. ගොඩාක් දේශපාලන කවයන් ඔය ප්‍රශ්නය ගෙනාවා. විශේෂයෙන්ම ආරම්භයේදීම අපිව මර්දනය කරන්න ඔය මතය ගෙනාවා. රාජපක්ෂ ජනාධිපතිවරයා හා ඔහුගේ දේශපාලන බලවේගයන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සමහර පිරිස් ඔය ප්‍රශ්නය මතු කළා.  

 


ප්‍රශ්නය:- ඒ කතාවේ කිසිම ඇත්තක් නෑ.  
පිළිතුර:-
ඔව්. කිසිම ඇත්තක් නෑ. ඡන්දය නැත්නම් උණ්ඩය නොවෙයි. ඒකයි මෙතැන තියෙන වැරැද්ද. විප්ලවය නරක දෙයක් නොවෙයි. ඒක හොඳයි. වෙනස. සැබෑ වෙනස. ඒක අවශ්‍යයි සමාජයට. ඒක තමයි ඕනෑ. සමාජවාදී සමාජ විප්ලවය තමයි අපේ ඉලක්කය. අපේ ඉලක්කය ඉතාම පැහැදිලියි. ජනතාව දැනුම්වත් කරමින්. ජනතාව අවබෝධයකට ගෙන එමින් ජනතාව දේශපාලනය කරන ජනතාවක් බවට පත්කර ගැනීම තමයි අපේ ඉලක්කය.  


මහජන ව්‍යාපාරයක් කියන්නෙ ජනතාව දේශපාලනයට කැඳවීම. ඡන්දදායකයෙක් බවට පමණක් පත් නොකර ඔහු අඛණ්ඩ දේශපාලන ක්‍රියාකාරීකයෙක් බවට පත් කළ යුතුයි. මේක ඉතාම අසීරු කටයුත්තක්. ඒ අසීරු කටයුත්ත කිරීම තමයි වාමාංශික ව්‍යාපාරයේ වගකීම. 

 

 
ප්‍රශ්නය:- 2004 මහ මැතිවරණයේදී දිස්ත්‍රික්ක එකක දෙකක හැර අනෙක් හැම දිස්ත්‍රික්කයකම අංක 1, 2, 3 ට ආවේ ජවිපෙ අපේක්ෂකයෝ. එතකොට ජනතාව ජවිපෙ එහෙම ඉහළින්ම ඔසොවා තැබුවේ ඔය ඔබ කියන දේශපාලන දැනුම්වත් බවින් තොරවද?  
පිළිතුරු:-
ටිකක් ගැඹුරින් සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. මේ ක්‍රමය පිරිපහදුවට ඉදිරිපත් වන රැඩිකල් කණ්ඩායම්වලට ඡන්ද දායකයන්ගෙන් එවැනි ප්‍රතිචාර ලැබෙනවා. හැබැයි තමන්ගේම වාමාංශික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරද්දී එහෙම ප්‍රතිචාර ලබා දෙන්නේ නැහැ. ඕක තමයි අපි අත්විඳලා තියෙන යථාර්ථය, ඒක තමයි මේ සභාග ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. නමුත් ගිහිල්ලා කරන්න වෙන්නේ මේ ක්‍රමය පිරිපහදු කිරීමට උත්සාහ දැරීමට විතරයි. ඒ හැරෙන්න සැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන් කමක් නෑ. ඒ නිසා අපි බලන්න ඕනෑ ජනතාව සැබෑ ලෙසම සමාජවාදය සඳහා පෙළගස්වන්නේ කොහොමද කියලා. ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරමින් ඔවුන්ට නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික නිදහස, ආදරය, දයාව, මනුෂ්‍යත්වය සපිරි සමාජයක් ගොඩනගන්න මේ සමාව ක්‍රමයට බෑ. ඒ ක්‍රමය ගේන්න නම් ජනතාව මීට වැඩිය සක්‍රිය දේශපාලන මැදිහත්වීමක් කළ යුතුයි. ඒක කරන්න බෑ. අපේ වචනවලින් කියනවා නම් ධනේෂ්වර පක්ෂත් එක්ක සංධානගත වෙලා.  

 


ප්‍රශ්නය:- ලෝකය තුළම සමාජවාදය බිඳ වැටිලා. ඔය ඔබ මතුකරන්නේ මනෝ රාජික අදහසක්?  
පිළිතුර:-
සමාජවාදය මනෝ රාජිකයි කියලා කියන්නේ සමාජවාදී අත්දැකීම් අපට විරළ නිසා හා සෝවියට් දේශය ඇතුළු නැගෙනහිර යුරෝපයේ සමාජවාදී කඳවුරක් තිබුණා. ඒවා බිඳ වැටුණා. ඒ නිසා සමාජය තුළ මතයක් තියෙනවා. විශේෂයෙන්ම ධනේශ්වර ලෝකයේ අධිරාජ්‍යවාදී ලෝකය ගොඩනගපු මතයක් තියෙනවා.’ සමාජවාදය අවලංගුයි. ධනවාදය සදාකාලිකයි.’ කියලා. නමුත් සදාකාලික ධනවාදය ජනතාවට ගෙනත් තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. අපේ රටේ විතරක් නොවෙයි. දකුණු ආසියාවේ අප්‍රිකාවේ ලතින් ඇමෙරිකාවේ මැද පෙරදිග ආදී ලෝකයේ හැම  තැනකම යුද්ධවලින් සාගතයෙන්, මන්දපෝෂණයෙන්, මහා දැවැන්ත ස්වභාවික විපත් කියලා හඳුන්වන නමුත් මේ ක්‍රමයේ සංවර්ධනය විසින් ගෙන ආපු ඛේදවාචක හරහා විශාල මිනිස් ඝාතන ප්‍රමාණයක් සිද්ධ වෙනවා. දිනකට විසිපන්දාහක් තිස්දාහක් පමණ කුසගින්නේ මිය යනවා. ඒක තමයි ධනවාදය අපට උරුම කරලා තියෙන දේ. අපේ රටේ තත්ත්වය ගැන අපි කාටත් ඉතා හොඳ වැටහීමක් තියෙනවා. ඔන්න ධනවාදයෙ තත්ත්වය. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. උත්තරය තියෙන්නෙ සමාජවාදය තුළයි. ඒ නිසා සමාජවාදය මනෝරාජික නෑ. හැබැයි මේක අමාරුයි. ඉතාම දුෂ්කර කාර්යයක්. හැබැයි මේ දුෂ්කර කාර්ය තමයි ජනතාවගේ විමුක්තියට තියෙන එකම මාවත.  

 


ප්‍රශ්නය:- පසුගිය මහ මැතිවරණයේදී මෙරට ජනයා කිසිම පක්ෂයකට තනි බලයක් දුන්නේ නෑ. ඒක තුළ ඔබලාට තනි බලයක් දෙයිද?  
පිළිතුර:-
අපි පැහැදිලිවම හිතනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයට නොවෙයි මේ රටේ ශක්තිමත් වාමාංශික ව්‍යාපාරයකට බලය ලැබිය යුතුයි කියලා. වාමාංශික ව්‍යාපාරයට බලය තහවුරු වෙන්න නම් මහජනතාව තමන්ගේ බලය තහවුරු කර ගන්න ඕනෑ. මැතිවරණ ක්‍රියාදාමයේදී ජනතාවගේ බලය තහවුරු වීමක් පේන්නේ නැහැ. නමුත් අපට අවශ්‍ය මම මුලිනුත් කිව්වා වගේ තමන්​ෙග් ජීවිතය මේ ධනේෂ්වර ක්‍රමය නිසා මුහුණ දීලා තියෙන ප්‍රශ්න, ගැටලු, ආතතිවලට එරෙහිව සටන් කරන මිනිසෙක් නිර්මාණය කළ යුතුයි. එවැනි සමාජයක් නිර්මාණය කිරීම තුළ විතරයි ජනතාව දේශපාලනයට කැඳවන්න පුළුවන් වෙන්නේ. අන්න එතැනට මේ සමාජය යොමුකර ගැනීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වයේ කාර්යභාරයක් කරනවා. නමුත් අපි ස්ථීරවම දන්නවා මෙහි ජයග්‍රහණය තියෙන්​ෙන් මේ රටේ සමස්ත වාමාංශික ව්‍යාපාරයට කියලා.  

 


ප්‍රශ්නය:- නන්දන ගුණතිලක, විමල් වීරවංශ වැනි නායකයන් පක්ෂයෙන් බිඳිලා ගියාට පස්සේ ඇතුළෙ ඇතිවෙච්ච අර්බුදය නිසා අන්තිමට ඔබලත් පක්ෂයෙන් බිඳුණා.  
පිළිතුර:-
නෑ. ජනතා විමුක්ති පෙරමුණත් දේශපාලනය වාමාංශික දේශපාලනය තුළ රැඳී සිටීමට අසමත්වීම නිසා තමයි විමල්, නන්දන හා තවත් එවැනි අය නිර්මාණය වීමට හේතු වුණේ. විමල්-නන්දලා නිසා පක්ෂය දෙදරුවා නොවෙයි පක්ෂය වැරදි පාරේ යන්න හදනකොට පක්ෂය වාමාංශික වැඩපිළිවෙළ අත්හැරියම නිර්මාණය වෙච්ච චරිත තමයි විමල් වීරවංශ හා නන්දන ගුණතිලක වැනි චරිත, ඒ වගේම අද වෙනකොට ජනතා විමුක්ති පෙරමුණේ නාමයෙන් දේශපාලනය කරන කණ්ඩායමත් අද ගොදුරුවෙලා තියෙන්​ෙන ඒ තත්ත්වයටයි.  

 


ප්‍රශ්නය:- පක්ෂය සන්ධානගත වෙන්න තීරණය කරනකොට මහින්ද රාජපක්ෂ දිනවන්න තීරණය කරනකොට ඔබලත් පක්ෂයෙ දේශපාලන මණ්ඩලයේ නායකයෝ. එදා ඒවට එකඟවෙලා අද කියනවා පක්ෂය සභාගවාදයට යටවෙලා කියලා.  
පිළිතුර:-
ඇත්තටම අපට බරපතළ ස්වයං විවේචනයක් තියෙනවා. ඒ ස්වයං විවේචනය සහිතව තමයි මේ සාකච්ඡාව කරන්නේ. ඒ තීන්දුවලදී මම පෞද්ගලිකව ගත් ස්ථාවරය ගැන නොවෙයි මම කියන්නේ. ඒ තීන්දුව ගත්ත පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ මම සාමාජිකයෙක්. ඒ නිසා ඒ සාමූහික වගකීමෙන් මට මිදෙන්න බෑ. ඒ නිසා 2004 සන්ධානය, 2005 ජනාධිපතිවරණය, 2010 නැවත ජනාධිපතිවරණය, ඊට අමතරව ගත්ත සන්ධාන උත්සාහයන් සියලුම දේවල් සම්බන්ධයෙන් පැහැදිලි ස්වයං විවේචනයක් අපට තිබෙනවා. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ආරම්භයේදීම 2012 පළමු සමුළුවේදී අපි ස්වයං විවේචනයක් ඉදිරිපත් කළා. මොකද ඒ වගකීමෙන් අපට මිදෙන්න බෑ. පෞද්ගලිකව මම කුමන ස්ථවරයක් දැරුවත්.  

 


ප්‍රශ්නය:- සෝමවංශ අමරසිංහ ජවිපෙ ප්‍රකාශිත නායකයා වුවත් ජවිපෙ තුළ සිටි ඇත්ත නායකයා ඔබයි?  
පිළිතුර:-
මම මේ ප්‍රශ්නයට උත්තර අවස්ථා ගණනාවකදීම දීලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. අපේ පක්ෂය 87-89 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලේ දැවැන්ත මර්දනයකට හසුවුණා. ඒ මර්දනයෙන් පස්සේ නැවත පක්ෂය ගොඩ නැගීමේ කාර්යභාරය ඉටු කිරීමේදී විවිධ සහෝදරවරුන්ට විවිධ දේවල් කරන්න වුණා. මමත් එතැනදී සුවිශේෂී කාර්යභාරයක් කළා. ඉතින් මෙන්න මේ වගේ ඉතිහාසමය මැදිහත්වීම් හරහා යම් යම් මත ගොඩනැගිලා තියෙනවා. නමුත් බොහොම පැහැදිලියි. බොහොම ස්ථීරයි. අභ්‍යන්තර නායකයෙක් පක්ෂය තුළ හිටියේ නෑ. සෝමවංශ සහෝදරයා මර්දනයෙන් පස්සේ පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යයේදී නායකත්වයේ කාර්ය භාරයක් ඉටුකළා.  

 


ප්‍රශ්නය:- 2010 ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සරත් ෆොන්සේකා දිනවන්න තීරණය කළා. එතැන දේශපාලන කාරණාවකට වඩා ඔබ හා ඔහු අතර තිබූ සමීප බව එයට හේතු වුණා කිව්වොත්?  
පිළිතුර:-
කරුණක් විදිහට ඒක වැරදියි. සමීප බව කිව්වම ඒකට පැහැදිලි තේරුමක් තියෙනවා. ඔබ ඔය කියන්නේ 1989 දී මාව අත්අඩංගුවට ගැනීම හා ඉන්පසු මාව ඝාතනය කරන්න දරපු උත්සාහයේදී ඒ හමුදා කඳවුර බාරව හිටපු අණදෙන නිලධාරියා සරත් ෆොන්සේකාවීම නිසා නම් ඒ අර්ථයෙන් ඒක හරි. ඒ හැරෙන්න වෙන සමීපකමක් නෑ.  

 


ප්‍රශ්නය:- 87-89 දී පෝස්ටරයක් අලවන්න ගිහින් අහුවුණොත් මැරුවා කියලයි සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් ඔබ දිස්ත්‍රික් නායකයෙක්. ඔබේ නමින් ලියැවෙච්ච වෙනම තිහාසයකුත් තිබුණා. එහෙම ඔබට අභය දානය ලැබෙන්නේ නිකම්ම වෙන්න බෑ.  
පිළිතුර:-
මං හිතන්නේ ජවිපෙටත් හුඟාක් දේවල් අමතකවෙලා තියෙන්නේ. මාව අත්අඩංගුවට ගත්තට මම කවුද කියලා අඳුරගෙන හිටියේ නෑ. මම කුමාර් ගුණරත්නම් කියලා දැනගෙන හිටියෙ නෑ. මම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොන වගකීමක්ද දරන්නේ කියලා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මම හිටියෙ ඝාතන ලැයිස්තුවේ. මාසයක පමණ කාලයක් මාව තියාගෙන හිටියා. මං මරණයට දින ගණන් කරමින් හිටියෙ. ඔය අතරෙදි තමයි ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා සර්වපාක්ෂික සම්මේලනයක් කැඳවන්නෙ. සියලු පක්ෂවලට ඒ සඳහා ආරාධනා කළා. ‘මර්දනයක් නෑ. අපි මේ තියෙන සිවිල් යුද තත්ත්වය සාමාන්‍ය කරන්න ඔයගොල්ලෝ සහාය දෙන්න.’ කියලයි ඉල්ලුවේ. ඒක ප්‍රේමදාස ජනාධිපතිවරයා පාවිච්චි කරපු උපක්‍රමයක්. සියලු පක්ෂ මේක වර්ජනය කළත් එවකට අපි ගනුදෙනු කරමින් හිටපු ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණේ ආරිය බුලේගොඩ මහත්තයා උපක්‍රමිකව ජනතා විමුක්ති පෙරමුණ විසින් මේ සමුළුවට සම්බන්ධ කළා. එතකොට ප්‍රේමදාස ජනාධිපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. අත්අඩංගුවේ කවුරු හරි ඉන්නවා නම් ඒ අයව නිදහස් කරනවා කියලා. එතකොට බුලේගොඩ මහත්තයා ලැයිස්තුවක් ඉදිරිපත් කළා. ඒ ලැයිස්තුවේ මගේ නමත් තිබුණා. මම පෙනී හිටපු ව්‍යාජ නම තමයි ඒ ලැයිස්තුවේ තිබුණේ. ඒ නමට තමයි මාව අරගෙන ආවේ. ජනාධිපතිවරයාගේ නියෝගයක් මත. බුලේගොඩ මහත්තයාට දීපු පොරොන්දුවක් මත.  

 


ප්‍රශ්නය:- ඔබව කොහාටද එක්කරගෙන ආවේ?  
පිළිතුර:-
කොළඹ ආරක්ෂක අමාත්‍යාංශයට. පස්සේ මාව ‘කුමාර් ගුණරත්නම්’ කියලා හඳුනා ගත්තා. ඒ නිසා මාව නිදහස් කළේ නෑ. නමුත් මගේ ජීවතය බේරුණා ඒකෙන් පසුව ආටිගල ආරක්ෂක ලේකම්වරයාට සතියකට වරක් ඉදිරිපත් කිරීමේ කොන්දේසියට යටත්ව මාව බුලේගොඩ මහත්තයාට බාර දුන්නා. ඕක තමයි කතාව.  

 


ප්‍රශ්නය:- ඔය වෙනවිට ඔබේ සහෝදරයා අන්තරේ කැඳවුම්කරු රංජිතම් ගුණරත්නම් ඝාතනය වෙලා. ඔබත් නොයෙක් වධ බන්ධනයන්ට ලක්වෙනවා. ඒත් ඔබ යළිත් තෝරා ගන්නේ ජනතා විමුක්ති පෙරමුණයි?  
පිළිතුර:-
ඔව්. පෞද්ගලිකව ගත්තොත් මගෙ සහෝදරයා වගේම මම ආදරය කරපු සහෝදරයන් විශාල ප්‍රමාණයක් වගේම අපි පෞද්ගලිකව ඇසුරු නොකරපු සහෝදර, සහෝදරියන් විශාල ප්‍රමාණයක් පක්ෂයේ නායකයන්, හිතවතුන්, ඒ වගේම පක්ෂයට කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය පුද්ගලයන් ....... සාමාන්‍යයෙන් කියනවා හැටදහසක් පමණ කියලා. ඒ තරම් ප්‍රමාණයක් ඝාතනය වුණා. ඒ විනාශය හා මර්දනය එහෙම්ම තියෙද්දීත් අනිත් පැත්තට ශ්‍රී ලාංකික සමාජයේ විමුක්තිය වෙනුවෙන් සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩනැගිය යුතුයි කියලා. ඒ නිසා මේක අපේ කැමැත්ත. ආශාව විතරක් නොවෙයි තාර්කික හා විද්‍යාත්මක තත්ත්වයක් ඒ සඳහා අඛණ්ඩව දේශපාලන කටයුතුවල නියැලීමම තමයි මගේ බලාපොරොත්තුව. අපේ පක්ෂයේ අනෙකුත් සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තුවත් ඒකම තමයි.   

 


ප්‍රශ්නය:- ඔබට අනුව ඔබ ජවිපෙට ද්‍රෝහියෙක්ද නැද්ද?  
පිළිතුර:-
මම හිතනවා අපේ ගමන ගත්තොත් සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය ගත්තොත් මේ රටේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමීන් වෙනවා වගේම එක මොහොතකදී 1960 දශකය වෙද්දී මහා විශාල පාවාදීම්වලට සම්බන්ධ වෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු පිරිස ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගන්නේ රැඩිකල් වාමාංශික ව්‍යාපාරයක් හැටියට. ඒ වගේම 2000 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණ බරපතළ පීලි පැනීම්වලට ලක්වෙනවා. සමාජවාදී ගමන අත්හරිනවා. මේ ක්‍රමය ධනේශ්වර පක්ෂත් එක්ක එකතුවෙලා ශුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් කියන විශ්වාසයෙ ඉඳන් කටුයතු කරනවා. නීති රීති ගෙන ඒම නිසා අණ පනත් සම්මත කිරීම මගින් ආණ්ඩුවලට වක්‍රව සහ සෘජුව සහාය දැක්වීම මගින් මෙම ක්‍රමය ශුද්ධ පවිත්‍ර කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා සමාජවාදී ගමන අත්හැරලා තියෙනවා. ඒ නිසා පැරණි වමෙන් නව වමක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගුණ වගේම ජනතා විමුක්ති පෙරමුණත් පැරණි වමක් බවට පත්වෙද්දී ඒ ගර්භාෂයෙන්ම බිහිවෙච්ච පෙරටුගාමි සමාජවාදී පක්ෂය නව වාමාංශික ව්‍යාපාරයක් හැටියට ගොඩ නැගිලා තියෙනවා.

 

  
ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ඔබට අනුව ඔබ ජවිපෙට ද්‍රෙ‌ා්හියෙක්ද?  
පිළිතුර:-
ස්ථීරවම නැහැ. මොකද ඒකට හේතුව මම තවමත් නියෝජනය කරන​්නේ ආරම්භයේදී. හිටපු ස්ථාවරයයි. රෝහණ සහෝදරයා ඇතුළු ආරම්භක සාමාජිකයන් ඒ වගේම 71 දී දිවි පුදපු සහෝදර සහෝදරියන් 88-89 දී දිවි පුදපු සහෝදර සහෝදරියන් හා තවමත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළේ සමාජවාදය ගැන විශ්වාසයෙන් වැඩ කරන සමහර සහෝදරියන්ගේ අභිලාෂ සහ ඒ අභිලාෂ මුදුන් පමුණුවා ගැනීමේ දේශපාලන වැඩපිළිවෙළ මට අනුව ජවිපෙ වර්තමාන නායකත්වයෙ යම් පිරිසක් අද වෙනකොට ජවිපෙ ආරම්භක අරමුණු පාවා දෙමින් ජවිපෙ ආරම්භක දේශපාලන දැක්මට ද්‍රෝහි වෙමින් කටයුතු කරනවා කියන ඒක තමයි මගේ අදහස.  

 


ප්‍රශ්නය:- ඔබ පක්ෂය ඇතුළේ කරපු අරගලය අවසානයේදී බරපතළ විදියට පුපුරලා ගියා. ඔබත් සමඟ නායකත්ව මණ්ඩලයේ විශාල පිරිසක් එළියට ආවා. හැබැයි අද ඔවුන්ගෙන් බහුතරයක් ඔබ එක්කත් නෑ. අනුර කුමාරටත් ඔබ ඔවුන් නැති කළා.  
පිළිතුර:-
දේශපාලන ව්‍යාපාරවල විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට අදාළව ගත්තොත් ජවිපෙ පීලි පැනීමට එරෙහිව කළ අරගලය සෑහෙන තරම් ඈතකට දිව යන්නක්. 2004 දී වගේ ආරම්භ වෙලා 2006-2007 කාලවලදී උච්චස්ථානයට පත්වෙලා 2010 දී වගේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයකට පත්වෙච්ච අරගලයක්. එතකොට ඒ අභ්‍යන්තර අරගලය පුරාම අපි හැම දෙනාම උත්සාහ කළේ පක්ෂය එක තැනක තියාගෙන පක්ෂය මොනම විදියකටවත් බිඳෙන්න නොදී පක්ෂයේ ගමන් මාර්ගය යළි වාමාංශික මාවතට ගෙනඑන්න. එතකොට ඒ උත්සාහයේදී තමයි විමල් වගේ ජාතිකවාදී දැක්මක් සහිත අය පක්ෂයෙන් වීසි වෙලා යන්නේ. නන්දන ගුණතිලක වගේ අය වීසිවෙලා යන්නේ. නමුත් මේ අරගලය අඛණ්ඩව තිබුණා. ඒ වුණත් මතවාදය අවසන් වුණේ නෑ. ඒක තමයි 2010 දී ෆොන්සේකාට සහාය දීම වගේ කරුණුත්. එක්ක නැවත උච්ඡස්ථානයකට පත්වුණා. ඒ වෙනකොට ජවිපෙ ප්‍රසිද්ධ තලයෙ හිටපු කීප දෙනෙක් පක්ෂය ගත්තු තීරණවලට විරුද්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පක්ෂය දෙකඩ වෙන තැනට කටයුතු සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම 2010 දී පක්ෂ අභ්‍යන්තරයෙ කරපු සම්මේලනයෙදි පක්ෂයෙ ගමන් මාර්ගය මුළුමනින්ම වැරදියි. යළි වාමාංශික මාර්ගයට ගන්න අවශ්‍යයි කියන මතය ජයග්‍රහණය කරලා තියෙන තත්ත්වයක් තුළ තමයි ප්‍රසිද්ධ තලයේ හිටපු කීප දෙනෙක් කළ කුමන්ත්‍රණකාරී ක්‍රියා නිසා තමයි මේ අර්බුදය මතුවුණේ. ඒ නිසා අපි මේ යමින් ඉන්නේ පක්ෂයේ අතීත ගමන තමයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙලා තියෙනවා. නමුත් වැඩපිළිවෙ​ෙළහි කිසි වෙනසක් වෙලා නෑ.  

 


ප්‍රශ්නය:- නමුත් ජවිපෙන් ඔබ ගෙනාව අය ඔබටත් නෑ. අනුර කුමාරටත් නෑ.  
පිළිතුර:-
ඉතාම පැහැදිලිව කිව්වොත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2012 දී ආරම්භක සම්මේලනය පවත්වනවා. ඊට පස්​ෙස් ගෙවිච්ච මේ වසර 6 ක කාලය තුළ පක්ෂය ඇතුළේ විවිධ දේශපාලන සංවාද සඳහා අපි දොරටු විවර කළා. ඒක අපි හිතනවා ඉතාම හොඳ ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවක් කියලා. දශක ගණනාවක් තිස්සේ ජවිපෙ තුළ ඒකරාශි වෙලා තිබුණු ප්‍රශ්න ගැටලු, මතවාද සියල්ල දිග හැරුණේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ. මොකද පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ සාමාජිකයාටත් ප්‍රජාතන්ත්‍රවාදය විවර වීමත් සමඟ සෑම සියලු දෙනෙක් තුළම තිබුණ ප්‍රශ්න ගැටලු මතවාදී සියල්ල කරළියට එන්න පටන් ගත්තා. ඒක හොඳ තත්ත්වයක්. පක්ෂයෙ පෝෂණයට ඒක හොඳ තත්ත්වයක්. නමුත් ඒ වෙද්දී ඒ සංවාදයට හොඳම සංස්කෘතික හා දේශපාලන මානයකින් මුහුණ දෙන්න අසමත් වුණ සමහර සහෝදර සහෝදරියන් දේශපාලනික වශයෙන් අකර්මන්‍ය වුණා. නමුත් මම හිතනවා පක්ෂයක් එහෙම තමා වර්ධනය වෙන්නේ කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන දැවැන්ත වෘක්ෂය සම්පූර්ණයෙන්ම තමන්ගේ දේශපාලන ගමන අත්හැරිය මොහොතකදී නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩ නගද්දී අනිවාර්යයෙන්ම විවිධ හැලහැප්පිලි මැද තමයි තමන්ගේ ස්ථාවර බව හොයා ගන්නේ. අපිටත් එහෙම කාලයක් තිබුණා. අපි දැන් ඒ යුගය පහුකරලා පහුගිය සමුළුවේදී ඒ සියලු ලේඛන සාමාජිකයන්ට ඉදිරිපත් කරලා ස්ථාවර ගමනක් ආරම්භ කරලා තියෙනවා.

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්