විශ්වාසභංගය ගේන්න අපි කලබල වුණා වැඩි බවයි මම හිතන්නේ


ඒකාබද්ධ විපක්ෂයේ අභ්‍යන්තර ගැටුම්ද? ඔවුන්ගේ ඉදිරි ක්‍රියා මාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා සමග කළ සාකච්ඡාවකි.  

 ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයත් දැන් පිපිරෙන්න පටන් අරගෙන?  


 පිළිතුර:- නෑ. එහෙම කිසිම දෙයක් නෑ. ඒකාබද්ධ විපක්ෂයෙ සමගිය, අධිෂ්ඨානය, අරමුණ ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒ වගේම ජනතාවගේ බලාපොරොත්තු මුදුන් පමුණුවන්න ඒකාබද්ධ විපක්ෂයේ අපි සියලුම දෙනා කැපවෙලා ඉන්නවා. පෞද්ගලික අපේක්ෂාවන් අද කා ළඟවත් නෑ, අපිට ඕනෑකම තියෙන්නේ මේ රටේ ජනතාවට නිදුක් නිරෝගී සෞඛ්‍ය සම්පන්න සෞභාග්‍යමත් රටක් නිර්මාණය කිරීමයි.  


 ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් ආණ්ඩුවෙන් එළියට ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ගැන ඒකාබද්ධ විපක්ෂය එක එක කතා කියනවා?  


 පිළිතුර:- එක එක කාරණා අපිට විග්‍රහ කර ගන්න වෙන්නේ එක එක ආකාරයට තමයි. පක්ෂයක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන කොට විවිධ මතවාද එළිදකිනවා. දැන් මේක සංධානයක්. නමම අරගෙන බලන්න. ඒකාබද්ධ විපක්ෂය. එතකොට අනිවාර්යයෙන්ම විවිධ මත තිබිය යුතුමයි. නමුත් අපි ඒ මතවාදී වෙනස්කම ගැටුමකට හරව ගන්නේ නැතිව සාකච්ඡා කරලා අවසානයෙ සම්මුතියකට එනවා. අරමුණක් කරා ගමන් කරන්න වෙන්නේ එහෙම තමයි  


 ප්‍රශ්නය:- දහසය දෙනා සම්බන්ධයෙන් ඔබේ අදහස මොකක්ද?  


 පිළිතුර:- ආවේ කවුද කියන එක නොවෙයි ප්‍රශ්නය. අපට අරමුණක් තිබුණ. මේ ජනතා ද්‍රෝහී ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ තිබුණා තුනෙන් දෙකේ බලය නැති කරන්න. ඒකට අපට හොඳ අවකාශයක් ඇති වුණා. ඉතින් ඒ ආපු පිරිස ගැන අධ්‍යයනය කරමින් ඔවුන්ගේ ක්‍රියාමාර්ග නිරීක්ෂණය කරමින් අපි ඉදිරියට යනවා. සමහර වෙලාවට ගමේ කතාවක් තියෙනවනේ ‘‘හරකා හැරෙන්නේ පොල් පැ​ෙළ් කන්න’’ කියලා. අන්න ඒ විදියට මොකටද එන්නේ.. මොකාටද එන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්​ෙන.  


 ප්‍රශ්නය:- දහසය දෙනා ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් කරන්න විපක්ෂයට ආවා කියලත් මතයක් තියෙනවා?  


 පිළිතුර:- මං ඒකයි කිව්වේ. විවිධ මත තියෙනවා. අපිට අරමුණක් තියෙනවා. දෙකෝටි විසි ලක්ෂයක් වෙච්ච ජනතාවගේ බලාපොරොත්තු සඵල කිරීමනේ අපේ කාර්ය භාරය විය යුත්තේ. ඒ නිසා පුංචි සිදුවීමක් වුණත් ඒ අරමුණ අවශ්‍ය පරිදි ගළපා ගන්න අපි සමත් විය යුතුයි. ජනතාවගේ අරමුණු ඉටු කරලා දෙන්න යකා එක්ක වුණත් එකඟතාවකට යන්න වෙනවා නම් අපි යා යුතුයි. විවිධාකාර අදහස් වගේම විවිධාකාර බලාපොරොත්තු තියෙන අය ඉන්නවා. නමුත් අපේ ප්‍රධාන අරමුණ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමයි.  


 ප්‍රශ්නය:- මන්ත්‍රී ප්‍රසන්න රණතුංග නම් ප්‍රශ්නය එළිපිට කතා කළා. ඔහු කියනවා දහසය දෙනා එන්නේ විපක්ෂයේ ඉඳගෙන ආණ්ඩුව රකින්න කියලා?  


 පිළිතුර:- එක එක අදහස් තියෙනවා. ප්‍රසන්න රණතුංග මැතිතුමා එක ප්‍රතිපත්තියක ඉන්නවා. එතුමාගෙම සොහොයුරු අර්ජුන රණතුංග තවත් ප්‍රතිපත්තියක ඉන්නවා. හැබැයි එක අම්මගේ දරුවෝ. නමුත් ප්‍රතිපත්ති වෙනස්. මම හිතන්නේ ප්‍රතිපත්තිගරුකව අරමුණක් කරා යනකොට එක එක්කෙනාට ඇඟිලි දික් කරනවාට වඩා අතරමග සන්ධානයක් හදාගෙන හරි ඉස්සරහට යන එක. ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය නැති කරන්න විපක්ෂයෙ ඉන්න අපිට මේ මොහො​තේ මොකක්ද කරන්න පුළුවන්? ඒක තමයි අපි කළ යුත්තේ.  


 ප්‍රශ්නය:- ඒකාබද්ධ විපක්ෂයේ බොහෝ දේවල්වලට බැසිල් රාජපක්ෂගේ ඒ තරම් මනාපයක් නැති බවයි පේන්නේ. විශේෂයෙන්ම අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරපු විශ්වාසභංගයටත් බැසිල් විරුද්ධයි?  


 පිළිතුර:- මෙහෙමයි විශ්වාසභංගය ගැන කතා කරද්දී ඒක ගැන මගේ මතය තරමක් වෙනස්.  


 ප්‍රශ්නය:- මොකක්ද ඒ වෙනස් මතය?  


පිළිතුර:- අපි එතනදි කලබල වුණා වැඩියි කියලයි මම හිතන්නේ. විශ්වාසභංගය ගේනව කියල ප්‍රකාශ කළේ ආණ්ඩුවේම ඉන්න එක්සත් ජාතික පක්ෂයේම ඉන්න රංගෙ බණ්ඩාර. ඒකට සහයෝගය දෙනවා කියලා කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒගොල්ලන්ට ඒක කරන්න දෙන්න තිබ්බා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. ඒක අපි අපේ අතට අරගෙන ක්‍රියාකරන්න ගියාම ආණ්ඩුව බයවෙලා සියලුම උපක්‍රම පාවිච්චි කරලා ඒක පරාජය කළා. නමුත් ඒ විශ්වාසභංගයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​ෙය දහසය දෙනා අපිත් එක්ක එකතු වුණේ.  


 ප්‍රශ්නය:- අගමැති රනිල් එක්ක ඩීල් දාගෙන තමන්ගේ නඩු හබ ගොඩ දාන්න අරමුණු කරගෙන සමහරු වැඩ කරනවා කියලත් කියනවා.  


 පිළිතුර:- අපි ඉන්නේ විපක්ෂයෙ නේ. එතකොට එක එක කයි කතන්දර කියන්න පුළුවන්නේ. මතක තියා ගන්න අපි 1996 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනුවා. එතකොට කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කරපු නිසා ඒ ජයග්‍රහණය ලැබුවා. තවත් අවස්ථා දෙකකදී අපි ලෝක කුසලාන අවසන් මහ තරගය දක්වා ආවා. නමුත් පැරදුණා. ඊට පස්සේ කිව්වේ මහේලගේ නායකත්වය වැරැදියි සංගක්කාරගේ නායකත්වය දුර්වලයි. ඔහොම කතානේ කියන්න පටන් ගත්තේ. ඒක තමයි පරාජය වුණාම තියෙන ස්වරූපය. අප ඒවාට සැලෙන්න හොඳ නැහැ. හිස කෙළින් තියාගෙන අපි අරමුණ කරා යා යුතුයි.  


 ප්‍රශ්නය:- ආණ්ඩුවෙන් ආපු දහසය දෙනා මහින්ද රාජපක්ෂ නායකත්වය පිළිගෙන ඒකාබද්ධ විපක්ෂයට ආ යුතුයි. කියලා ඔබ හිතන්නේ නැද්ද?  


 පිළිතුර:- අපිත් සන්ධාන ගත වෙලානේ ඉන්නේ. විමල් වීරවංශ සහෝදරයා ඒකාබද්ධ විපක්ෂයෙ පොහොට්ටුව සමග තමයි එකතු වෙලා ඉන්නේ. නමුත් වෙනම පක්ෂයක්. ඒ අය කියනවනේ ඒ අය ඉන්​නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ කියලා. එහෙමනම් ඉදිරියේදී ඔවුන්ට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට හරි එහි එක් පාර්ශ්වයක් හැටියට හරි අපිත් එක්ක සන්ධාන ගත වෙන්න. ඒකට බාධාවක් නෑ.  


 ප්‍රශ්නය:- ඔවුන් කියන්නේ අපේ නායකයා ජනාධිපති මෛත්‍රී. අපි වැඩ කරන්නේ එතුමාගෙන් අහල කියලයි. නමුත් ඒකාබද්ධ විපක්ෂය වැඩ කරන්නේ මහින්ද රාජපක්ෂගෙන් අහලා.  


 පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි සංවිධානගත වුණොත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගෙන් අහලා තමයි. මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනේ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති. අපි ඕවා කෑගහලා කියන්නේ නෑ. අදත් මධ්‍යම කාරක සභාවේ නිල බලය තියෙන පස් දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනා අතර මේ කතා කරන සී.බී. රත්නායකත් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පක්ෂයේ මහ ලේකම් වෙනකොට මේ කතා කරන සී.බී. රත්නායක උප ලේකම්. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උපන් දරුවෝ. හැබැයි අපිව එපා කියලා සංවිධායකකම් වලින් ඉවත් කරලා අතනින් මෙතනින් ඉවත් කරලා දැම්මනේ. අපි පනස් හයේ විප්ලවයේ දරුවන්ගේ දරුවෝ. එතකොට පක්ෂයක් හැටියට තීන්දුවක් ගන්න කොට ඒකට අපිට එකඟ වෙන්න බැරි නිසා අපට ඡන්දය දුන්න ජනතාවගේ හෘදය සාක්ෂියට ගරු කරලා අපි පොහොට්ටුවත් එක්ක හිටගත්තා.  


 ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ දහසය දෙනා මහින්ද රාජපක්ෂ නායකත්වය පිළිගත යුතුයි නේද කියලයි.  


 පිළිතුර:- මං හිතන්නේ ඉදිරියේදී ඒක වෙයි. දැන් මේ සියලු දේත් එක්ක ගත්තම කාලය විසින් සියලු දේ විසඳාවි. ඒගොල්ලන් විපක්ෂයට නම් එන්නේ විපක්ෂයෙ සමග කාර්ය භාරය කරන ඒකාබද්ධ විපක්ෂයක් එක්ක හිටගන්න වෙනවා නම් අද විපක්ෂ නායකයා ඉන්නේ කොහේද? විපක්ෂයෙ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහත්තයා ඉන්නේ කොහේද? මේවා විපක්ෂද? අපි නේ විපක්ෂයේ සැබෑ කාර්යභාරය කරන්නේ. මම ජීවත් වෙන්නේ නුවරඑළියේ. වතු කම්කරුවගේ දවසේ පඩිය රුපියල් 500යි. හැබැයි ලාම්පු තෙල් බෝතලය රුපියල් 100යි. හාල් කිලෝව රුපියල් 100 යි. පිටි කිලෝවක් කීයද අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කීයද? ඩොලරය අද රුපියලට සාපේක්ෂව කීයද? රටේ ආර්ථිකය විනාශයි. ජනතාවට ජීවත් වෙන්න හුස්ම ගන්නවත් බෑ. මේ තරම් භයංකාර පරිසරයක් තුළත් ඔය නිල විපක්ෂය මොනවද කරන්නේ? විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහත්තයා ගිරිය යටින් බොරුවට කෑ ගැහුවට ඒ අය කාටද කඩේ යන්නේ කියලා පැහැදිලියි.  


 ප්‍රශ්නය:- මේ පරිසරය ඇතුළේ ඒකාබද්ධ විපක්ෂය මොනවද කරන්නේ? ඔබ නිල විපක්ෂයට ඇඟිල්ල දිගු කරනවා. විපක්ෂ නායකකම ගන්න සටන් කරනවා හැරෙන්න ඒකාබද්ධ විපක්ෂය මොනවද කරන්නේ?  


 පිළිතුර:- සැබෑ විපක්ෂය අපි. සංඛ්‍යාත්මකවත් වැඩිම විපක්ෂ මන්ත්‍රී පිරිසක් ඉන්නේ අපිට. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුවත් විපක්ෂ නායකකම හිමිවිය යුත්තේ විපක්ෂයේ වැඩිම මන්ත්‍රීවරුන් ඉන්න පක්ෂයට හෝ කණ්ඩායමට. ඒක නොදී සිටීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවෙම උල්ලංඝනය කිරීමක්. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද නැද්ද කියල තීරණය වෙන්නේ පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවද නැද්ද කියන එකෙන්නේ. අපි අරගල කරන්නේ ඒ වෙනුවෙන්.  


 ප්‍රශ්නය:- නමුත් ඒ වෙනුවෙන් ජනතාවගේ දැවෙන සැබෑ ප්‍රශ්න යට ගැසීම?  


 පිළිතුර:- එහෙම දෙයක් නෑ. අපි තමයි අදටත් සටන් බිමේ ඉන්නේ. දේශපාලන උපක්‍රම තෝරන්නේ. ආණ්ඩුවේ හිතුවක්කාර මර්දනකාරී ගමන නවත්වන්න ඔවුන්ට පාර්ලිමේන්තුවේ තිබුණු තුනෙන් දෙකේ බලය නැති කරන්න උපාය උපක්‍රම ​තේරුවේ අපි. ආණ්ඩුවේ වැරදි නතර කරන්න නම් පළමුව ආණ්ඩුව දුර්වල කළ යුතුයි. අපි දවසෙන් දවස ගඩොලින් ගඩොල ගලවලා මේ ආණ්ඩුව දුර්වල කරනවා. නැත්නම් මොන තරම් මර්දනයක් මේ ජනතාවගේ හිසමතට පාත් වෙයිද? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කාලේ රටේ ආර්ථිකය මොනතරම් ස්ථාවරද? රටේ මොනතරම් සංවර්ධනයක් වුණාද? මුළු රටම වැඩ බිමක් බවට පත් වුණා. මොනතරම් භෞතික සංවර්ධනයක් වුණාද? අද ඒ කිසිවක් වෙන්නේ නෑ. රට දවසෙන් දවස ආපස්සට යන්නේ. අපි ඒ බව ජනතාව දැනුම්වත් කරමින් මේ ගමන නතර කිරීම සඳහා අවශ්‍ය අවස්ථා අපි නිර්මාණය කරමින් යන්නේ. කොයි මො​හොතේ ඒ ජයග්‍රහණය සම්බන්ධ ආස්වාදනීය ආරංචිය රටට දැන ගන්න පුළුවන් වෙයි. අපි ධජය අත නොහැර ජයග්‍රාහීව ජනතා අරගල බිමේ අපි ඉන්නවා.  


 ප්‍රශ්නය:- තව මාස 18 ක් යනකොට නොවැලක්විය හැකි ලෙසට ජනාධිපතිවරණය එනවා. ඔ​බේ අපේක්ෂකයා කවුද?  


 පිළිතුර:- අපි දැන්ම ඒ ගැන කතා කරන්න අවශ්‍ය නෑ කියල. තමයි මම හිතන්නේ. කාලය විසින්ම බොහෝ ප්‍රශ්නවලට උත්තර දෙයි.  


 ප්‍රශ්නය:- ප්‍රශ්නය මග හරින්න එපා. මට කෙළින් උත්තරයක් දෙන්න.  


 පිළිතුර:- ඔය ඔබ අහන්නේ ඔය ප්‍රශ්නය නිසා රාජපක්ෂ පවුලේ බෙදීමක් ඇතිවෙලා කියන එකනෙ. නෑ. එහෙම දෙයක් නෑ. ජනාධිපතිවරණයට මාස 18 යි නේ. මේ කාලය ගත කළ යුතුවන්නේ ජනතාව දැනුම්වත් කරන්න. ඒ වෙනුවෙන් අපේ සහයෝගයත් අරගෙන ‘‘වියත් මග” සංවිධානය හරහා රට ඉදිරිපිට තිබෙන අනාගතය ගැනත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙරටු කරගෙන අපම කරගෙන යනවා. පක්ෂය ගත්තොත් පක්ෂයෙ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.  


 ප්‍රශ්නය:- රාජපක්ෂවරුන් හැර වෙනත් කෙනෙක් ඔබලාට නැද්ද කියලත් අහන අය ඉන්නවා’’  


 පිළිතුර:- ආකර්ෂණී චරිතය රටේ ජනතාව ආදරය කරන චරිතය මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමත් එක්ක අපි මේ ගමන යනවා. එතුමා තීන්දු කරන දේත් එක්ක අපි අපේ වැඩේ කරගෙන යනවා.  

 

 

 

 

 

සාකච්ඡා කළේ,   
ප්‍රසන්න සංජීව ​ෙතන්නකෝන්