දැන් තමයි ආණ්ඩුව හැව ඇරලා හරි පාරට වැටිලා ගමන් කරන්නේ


 

ශපාලන කරළියේ උණුසුම් මාතෘකා  පිළිබඳව මේ සාකච්ඡාව ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සමඟයි.

 


• කොහොමද ඇමැතිතුමා රටේ තොටේ දේශපාලන තත්ත්වය එහෙම? 
ඉතාම හොඳයිනේ. 


• ඇමැතිවරුන්ට නම් ඉතිං කවදත් නරක නෑ තමයි. 
එහෙම නෙවෙයි. දැන් ආණ්ඩුවත් හොඳ තත්ත්වයකට ඇවිත්. දැන් තමයි ආණ්ඩුව හැව ඇරලා හරි පාරට වැටිලා ගමන් කරන්නේ. අවුරුදු දෙකක් විතර ඒකට ගතවුණා. කොහොමත් එහෙම තමයි. හොඳ අත්තිවාරමක් දාගන්න ටික කාලයක් යනවනේ. දැන් ඉතිං බයවෙන්න දෙයක් නෑ. ඇමැතිවරුන්ට විතරක් නෙවෙයි දැන් රටේ මිනිස්සුන්ටත් ​හොඳ වෙයි. යම් යම් වෙනස්කම් එහෙමත් එක්ක ආණ්ඩුව දැන් හරි තැනට ඇවිත් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් උනත් සතුටු වෙන්න පුළුවන් තැනකට රට ඇවිත් තියෙනවා. 

 


• යූ.එන්.පී. යට නම් දවසින් දවස ලෙඩ වැටෙනව නේ. 
 අපිට කිසිම ලෙඩක් වැටිලා නෑ. අපිට ලොකුම ප්‍රශ්නය වෙලා තිබුණෙ රටේ සංවර්ධනය ගැන දීපු පොරොන්දු ටික ඉටුකර ගන්න බැරිවීම. දැන් ඒවටත් අත ගහලා තියෙන්නේ. අපේ මැදිහත්වීම උඩ විවිධ පළාත්වල සංවර්ධන ව්‍යාපෘති පටන් අරගෙන යනවා. චීනය හම්බන්තොට වරාය සංවර්ධන කටයුතු පටන් අරගෙන තියෙනවා. විදුලි බලාගාර හතරක් 2020 වෙද්දී ස්ථාපිත වෙන්න නියමිතයි. තෙල් පිරිපහදුවත්, සිමෙන්ති කර්මාන්ත ශාලා දෙකක් එන්න නියමිතයි. මේවා තාම ජනතාව දැකලා නෑ. ඒකයි සංවර්ධනයක් පේන්නේ නෑ කියලා කියන්නේ. මේවා ඔක්කොම ඉවර කරලා වැඩ පටන් ගත්තම තවත් ඔය වගේ කතා කියන්න ඉඩක් නෑ. එතකොට ජේ.ආර්. ජයවර්ධන යුගයේ කෙරුණු යෝධ සංවර්ධන ව්‍යාපෘති ජනතාවට ආපහු මතක් වෙයි. 

 


• යෝධ සංවර්ධනය වැඩ කොහොම වෙතත් දවසෙන් දවස යූ.එන්.පී. එකේ ඇමැතිවරුන්ට ගෙදර යන්න වෙනවා වගේ. රවි ගියා. විජේදාස ගියා. තව කාට කාට යන්න වෙයිද දන්නේ නෑ. 
රවි කරුණානායකට එහෙම ආවෙ ලොකු චෝදනා නෙවෙයි. ඒවා පොඩි චෝදනා. ගෙදරක කුලියක් ගෙව්වා කියලනේ ඔය. ඔහොම චෝදනා එල්ල වුණා කියලා මීට කලින් ඉල්ලා අස්වෙච්ච ඇමැතිවරු හිටියද? 

 


• හැබැයි එ්ක යූ.එන්.පී. යට කළු පැල්ලමක්. 
කළු පැල්ලමක් නෙවෙයි. ඒක තමයි අපේ පක්ෂයේ හොඳකම. වෙන පක්ෂවල මෙහෙම චෝදනා ආපු අය යන්න කිව්වටවත් ගියාද? ඒ අතින් අපි හොඳ ආදර්ශයක් දීපු පක්ෂයක්. 

 


• ඉල්ලා අස්වෙලා ආදර්ශ දෙනවට වඩා හොඳ නැද්ද දූෂණ චෝදනා එල්ල වෙන්නෙ නැති විදියට වැඩ කරන එක. 
අපේ පක්ෂෙ අයට වඩා කොච්චර ලොකු චෝදනා අනිත් අයට තියෙනවද. රාජපක්ෂලට මීට වඩා කොච්චර ලොකු චෝදනාද තියෙන්නේ. ඒ අයගෙ ආණ්ඩුව කාලෙත් චෝදනා එල්ල වුණා. කවුද ඉල්ලා අස්වුණේ? රාජපක්ෂ පවුලෙ කාටද චෝදනා නැත්තේ? ඒත් තාම ඔය ඉන්නේ කිසිම දඬුවමක් නැතුව. ඒකාබද්ධ විපක්ෂෙ ඉන්න අනික් හැම දෙනාටමත් විශාල දූෂණ චෝදනා තියෙනවා. 

 


• එක්සත් ජාතික පක්ෂෙට ආපු සරත් ෆොන්සේකා ඇමැතිතුමා ආපහු ලෙඩක් දාගන්න වගේ හදන්නේ කියලා සමහරු කියනවා. 
ඒක නම් එතුමගේ පුද්ගලික කතාවක්. ඒක අපේ පක්ෂයේ අදහසක් නෙවෙයි. අනික එතුමාගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන ගිහින් හිරේ දානකොට දැන් ඔය කතා කරන කවුරුවත් කතා ක​ෙළ් නෑ ඒ ගැන. ඒවට හවුල් වෙච්ච ජගත් ජයසූරිය ගැන සරත් ෆොන්සේකාට කේන්ති එන එක සාධාරණයි. අනික වැරැද්දක් වෙලා තියෙනවා නම් ඒවට දඬුවම් ලබාදෙන්න ඕනැ කියල විතරයි නේ සරත් ෆොන්සේකා කියන්නේ. මේවා ඒ අය බේරාගනීවි. ඒකෙන් පක්ෂයට කිසිම බලපෑමක් නෑ. 

 


• පහුගිය දවසක තිනියාවල පාලිත හාමුදුරුවො කිව්වා ලබන මාසේ සුජීව සේනසිංහට කැබිනට් ඇමැතිකමක් හම්බවෙනවා කියලා. මොකක්ද මේකෙ ඇත්ත නැත්ත? 
ඔහොම කතාවක් තියෙනවා. ජනාධිපතිතුමාත් මට එහෙම ඇමැතිධුරයක් දෙන්න ඕනැ කියලා තිබුණා. අගමැතිතුමත් ඒකට කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා. ලබන මාස දෙක තුන ඇතුළත ඇමැතිධුර කීපයක වෙනසක් සිදුවෙනවා කියලා දැනගන්න තියෙනවා. අනික කොළඹට එක්සත් ජාතික පක්ෂෙන් දැන් කැබිනට් ඇමැතිවරයෙක් නෑනේ. කොළඹින් දෙවෙනි තැනට ආපු මට කැබිනට් ඇමැතිකමක් ලැබෙයි කියලා ගොඩක් අය හිතුවා. ඵල රහිත රාජ්‍ය අමාත්‍යධුරයක ඉඳගෙනත් මම මට පුළුවන් උපරිම වැඩ කොටස කරලා පෙන්නලා තියෙනවා. අපේ ආනයන අපනයන ප්‍රතිපත්ති හදන වැඩපිළිවෙළට මම ලොකු දායකත්වයක් දෙනවා. 

 


• බැඳුම්කර ගනුදෙනුව ගැන හොයපු කෝප් කමිටු වාර්තාව රටේ කතාබහට ලක්වුණු දෙයක්. ඒකත් එක්ක කෝප් කමිටු සාමාජිකයො විදියට ඔබලට ‘ෆුට්බෝල් කල්ලිය’ කියලා නමකුත් වැටුණා. ඒ ගනුදෙනුවට සම්බන්ධව සුජීව සේනසිංහටත් ගෙයක් තෑගි හැටියට ලැබුණ කියලත් කියවුණා. 
මට නම් කාගෙන්වත් ගෙවල් ගන්න ඕනැකමක් නෑ. මොකද අපේ තාත්තා අපිට හොඳ ගෙයක් හදලා තියෙනවා. අපි පොඩි කාලේ ඉඳලා හොඳ සැපට හැදුණේ. දේශපාලනය කරලා ගෙවල් වාහන ගන්න තරම් ඕනෑකමක් තිබුණේ නෑ. මම ඉපදුනෙත් කාමර දහයක් තියෙන ගෙදරක. 

 


• ඒ ගැන ප්‍රසිද්ධියේ සමහරු චෝදනා කළා. 
ඒ ගැන මම නීති මගින් කටයුතු කරන්න තීරණය කළා. ඔය කතාව කියපු සී.බී. රත්නායක උසාවියේදී ඒ ගැන සමාව ඉල්ලන්න කැමැත්ත පළ කළා. එයා පිළිගත්තා ඒක වැරදි ප්‍රකාශයක් කියලා. මම එයාට විරුද්ධව මිලියන පන්සීයක් ඉල්ලා අපහාස නඩුවක් දැම්මා. එතුමා කැමැති වෙලා තියෙනවා පොඩි දඩයක් ගෙවලා නඩුව සමථයකට පත්කර ගන්න. බොරු කතා කියලා මාත් එක්ක බේරෙන්න බෑ. අපිත් නීතිය දන්න අයනේ. මටත් ඕනෑකමක් නෑ ඕවා ඇදගෙන යන්න. එයාටත් වැරදිලා තමයි ඒ ප්‍රකාශය කරලා තියෙන්නේ. 

 


• කෑගහලා කෑගහලා කොහොම හරි විජේදාස රාජපක්ෂ ගෙදරම යැව්වා නේද? 
මම මුල ඉඳලම කිව්වා ඒ ඇමැතිකමට ඔහු සුදුසු නෑ කියලා. හේතු ඇතුවයි ඒක කිව්වේ. මම දිගින් දිගටම පක්ෂෙ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම්වලදීත් මේ ගැන කරුණු කිව්වා. මට ඔහු එක්ක කිසිම පුද්ගලික ප්‍රශ්නයක් නැ. මම මේ ප්‍රශ්නය පක්ෂය ඇතුළෙ කතා කළා මිසක් එළියට බැහැලා කෑගැහුවේ නෑ. පක්ෂ රැස්වීම්වලදී එහෙම මම කෙළින්ම එතුමට මේ ගැන චෝදනා කළා. මම එදත් කිව්වෙ එතුමා කොන්ත්‍රාත් එකක් කරන්නේ කියලා. ඒකෙන් ආණ්ඩුවටත් එක්සත් ජාතික පක්ෂයටත් ලොකු හානියක් වෙනවා කියලා මම පෙන්නලා දුන්නා. එතුමට ඇවැන්ගාඩ් සම්බන්ධයෙනුත් චෝදනා එල්ල වුණා. මේ හැමදේම හේතු වුණා එතුමට ඇමැතිකමෙන් අයින් වෙන්න. අපි බොරුවට කෑගහුවේ නෑ මේ ගැන. 

 


• විජේදාස රාජපක්ෂගෙන් ගැලවෙන අධිකරණ ඇමැතිකම බාරගන්න බලාගෙන කීප දෙනෙක්ම හීන මැව්වලු. ඔබත් ඒ අතර හිටියා නේද? 
මම නම් එහෙම හීන මැව්වෙ නෑ. මට ඒක බාර දෙනවා කියලා නම් කතාවක් ගියා. තලතා අතුකෝරලට ඒක තාවකාලිකව දීලා ඉදිරි මාසය දෙක ඇතුළත සිද්ධ වෙන ඇමැති මාරුවකදී ඒක මට දෙනවා කියලා ජනාධිපතිතුමත් කියලා තිබුණා. මට එහෙම ලොකු බලාපොරොත්තු නෑ. ලැබුණොත් මම බාර අරගෙන හරියට වැඩ කරලා පෙන්නනවා. 

 


• එතකොට අර පාලිත හාමුදුරුවො අනාවැකි පළ කරන්නේ මේ ගැනද? 
වෙන්න පුළුවන්. 

 


• එතකොට මීළඟ අධිකරණ ඇමැති සුජීව සේනසිංහ? 
සමහර විට ඒක විය හැකියි. 

 


• ලොකු සද්දයක් දාලා ශ්‍රීලනිප සම්මේලනය මේ පහුගිය දවසෙ පැවැත්වූවා. යූ.එන්.පී. එකේ සම්මේලනයේ තත්ත්වය කොහොමද? 
අපි අතිසාර්ථකව අපේ පක්ෂ සම්මේලනය පවත්වනවා. අපේ පක්ෂය 1994 ඉඳලා දුර්වල වෙන්න පටන් ගත්තා. ඒ දුෂ්කර කාලය පහු කරලා ආපහු අපි ස්වර්ණමය යුගයකට අද ඇවිත් ඉන්නවා. එතෙන්ට එන්න අපිට ගොඩක් අමාරු වුණා. 2020 වෙද්දී තනි පක්ෂයක් විදියට අති විශාල ජයග්‍රහණයක් ලබන්න පුළුවන් පක්ෂය විදියට අපේ පක්ෂය ගොඩනගනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවුරුදු දෙකකට වඩා රට කරන්න හම්බවුණේ නෑ මිට කලින්. එතුමාගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගතවෙනවා. රට ණය කරලා බොරු මවාපාන සංවර්ධන වැඩ එතුමා ළඟ නෑ. රනිල් වික්‍රමසිංහ එක්ක අපි හැමෝම මේ සංවර්ධනයට පෙළ ගැහෙනවා. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා එක්ක ප්‍රේමදාස, ලලිත් ගාමිණී වගේ මහත්වරු පෙළ ගැහුණා වගේ අපි අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක පෙරළියට පෙළ ගැහෙනවා. 

 


• පහුගිය කාලේ පක්ෂෙ ඇතුළෙ කැරලි ගහලා රනිල් නායක පුටුවෙන් එලවන්න ෆයිට් කරපු සුජීව සේනසිංහලා අද මාර විදියට වෙනස් වෙලා වගේ නේ? 
අපි පක්ෂය දිනා ගන්න තමයි හැමදේම කළේ. අපි ඒ වෙලාවෙ කිව්වේ පක්ෂය ජයග්‍රහණය කරවලා දෙන්න කියලා. ඒ අභියෝගය තමයි එතුමට එදා ලැබුණේ. එතුමා ඒ අභියෝගය බාර අරගෙන ජය අරගෙන පෙන්නුවා. ඉතිං ඒ අභියෝගය ජයග්‍රහණය කරලා දුන්නට පස්සේ එතුමා එක්ක අපිට ප්‍රශ්නයක් නෑ. දැන් අපේ යුතුකම එතුමා එක්ක ඒ ජයග්‍රහණය ඉදිරියට අරගෙන ගිහින් රට ගොඩනගන එක. 

 


• පක්ෂෙ ඇතුළෙ කැරලි නැද්ද දැන්? 
 කිසිම කැරැල්ලක් නෑ. දිනනකම් විතරයිනේ ඔක්කොම අභ්‍යන්තර ආරවුල් තියෙන්නේ. පක්ෂෙ දිනවන්න ඕනැ වෙනස්කම් කරලා ආණ්ඩු බලයක් ගන්න කියල විතරයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වේ. දැන් අපිට කැරලි ගහන්න දෙයක් නෑ. 

 


• ආණ්ඩුව 2025 පොහොසත් රටක දැක්ම කියලා එකක් එළිදැක්වූවා. 2025 වෙනකම් ආණ්ඩුව අල්ලලා යයිද? 
මොකද නැත්තේ. ඒක ගැන සැකයක් තියාගන්න එපා. වෙන කවුද ඉන්නේ? දැන් මේ කෙරෙන විශාල සංවර්ධනයත් එක්ක 2025 අපිට බලය ලැබෙන එක වළක්වන්න කාටවත් බෑ. 

 


• ආණ්ඩුවෙන් මැති ඇමැති පිරිසක් විපක්ෂෙ වාඩිවෙනවා කියලත් කියවෙනවා. 
ඕවා බොරු කතා. ඕවා සිද්ධවෙන වැඩ නෙවෙයි. එක්කෙනෙක් දෙන්නෙකුට යම් යම් ප්‍රශ්න ඇති. ඒවත් පුද්ගලික ප්‍රශ්න මිසක් පොදු ප්‍රශ්න නෙවෙයි. 

 

ප්‍රියන්ත කොඩිප්පිලි