කෝප් එකට බොරු කිව්වොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්


ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  

තවමත් කෙළවරක් නොවූ මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය ඇතුළු දේශපාලන වටපිටාව පිළිබඳ මේ අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්තිගෙන්. 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම් ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිහේන කියන්නේ අර්ජුන් ඇලෝෂියස් කෝප් කමිටුවට බොරු කිවුවා කියලා. එතකොට කෝප් කමිටු වාර්තාව බොරු කරුණු සහිත එකක් වෙලා.  


කෝප් කමිටුවට ඇවිත් ඕනෑම පුද්ගලයෙක් සාක්ෂි දෙනකොට දිව්රුමක් මත තමයි සාක්ෂි දෙන්නේ. ඒක තමයි සම්ප්‍රදාය. හැම මොහොතෙම උසාවියේදී වගේ මේ දිවුරුම අපි ගන්නේ නැති වුණාට ඒ හැමෝම අවබෝධයෙන් ඉන්නවා. දිවුරුමක් පිට තමයි ඒ සාක්ෂි ලබා දෙන්නෙ කියලා දිවුරුම් පිට සාක්ෂි දෙනවා කියන එකේ අදහස මොකක්ද? ඒකෙන් කියන්නෙ බොරුවක් කියන්නේ නෑ කියන එකනේ. ඒක සාක්ෂි දෙන අයගෙ හෘද සාක්ෂියත් එක්ක තියෙන ප්‍රශ්නයක්.  


හැබැයි මේ ප්‍රකාශ කරපු දේ සත්‍ය නෙවෙයි නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවට සත්‍ය තොරතුරු වසන් කිරීම යටතේ නීතිපතිවරයාගේ උපදෙස් අරගෙන ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග අරගන්න. මේ පරීක්ෂණය කටයුතු තාම යන නිසා අපි මේ ගැන අවධානයෙන් ඉන්නවා මේ පිළිබඳව. පාර්ලිමේන්තුවට වගකීමක් තියෙනවා පාර්ලිමේන්තුවට තොරතුරු වසන් කිරීමට විරුද්ධව මොන තරාතිරමේ පුද්ගලයෙකුට විරුද්ධව වුණත් නීතිමය ක්‍රියාමාර්ග ගන්න.  


බැඳුම්කර නාට්‍යයේ හොඳ හොඳ ජවනිකා දැන් තමයි ටිකෙන් ටික පේන්නේ.  


නීතිමය වාක්‍යවලින් සමහරු බේරිලා යන්න පුළුවන්. නමුත් සමාජය ඉදිරියේ අද ඔප්පු වෙලා ඉවරයි බැඳුම්කර වංචාවේ හොරු කවුරුන්ද කියන එක. නඩුව අහන්නත් කලින් ඒක ඔප්පු වෙලා. කෝප් කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කරපු කරුණුම තමයි අද ජනාධිපති කොමිසමෙනුත් වැඩිදුරටත් සනාථවෙන්නේ. වෙනසකට තියෙන්නේ ඊට වඩා කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් වෙලා තියෙනවා. එකම කරුණු තමයි සනාථවෙලා තියෙන්නේ. හිටපු මහ බැංකු අධිපතිවරයාගේ සහයෝගයෙන් ඔහුගේ බෑණාගේ සමාගම අයුතු ලාභ ලබාගෙන තියෙන බවත් ඒ අයුතු ලාභ ලබාගැනීමට දේශපාලන රැකවරණ සහ නිලධාරින්ගේ සහයෝගය ලැබී ඇති බවත් තමයි සනාථ වෙලා තියෙන්නේ.  
අපි හිතමු, සාමාන්‍ය බැංකු නිලධාරියෙක්. මේ වගේ දෙයක් කරලා ඔප්පු වුණොත් මොකද වෙන්නේ. බැංකු නිලධාරියාගේ බැංකුවෙ සල්ලි දවසෙ පොලියට තමන්ගේ ඥාතියෙකුට දීලා අහුවුණොත් මොනවා වෙයිද? මෙතන මහ බැංකුවෙ ප්‍රධානියා අතින් මේ වගේ වැඩක් වෙලා තියෙන්නේ. හිතන්නකෝ එතන තියෙන බරපතළකම. කසුන් පලිහේනට කියනවා එයාට කෝටි ගාණක් බෝනස් එකක් ලැබුණා කියලා. මේවා ඉබේ පහළ වෙච්ච ඒවද. මේ සමාගම මම දන්න තරමට ඔය කාලය තුළ ශ්‍රමිකයෝ යොදවලා ආදායම් උපයලා නෑ. ඉතාම පැහැදිලිව මුදල්වලින් මුදල් හොයපු වග ඔප්පු වෙනවා. මෙතන විශේෂත්වය වෙන්නේ මුදල් නැතුවත් මුදල් හොයලා තියෙනවා. මහ බැංකුවෙ මුදල් අර්ථසාධක අරමුදලේ මුදල් යොදවලා ඒ ගොල්ලො මුදල් උපයලා තියෙනවා. දැන් මේක ලිහලා බැලුවත් එකයි, ඔබලා බැලුවත් එකයි.  


කෝප් කමිටුවෙ හමුවෙ සාක්කි දීපු අයගෙන් තවත් අය බොරුකාරයො වුණොත් මොකද වෙන්නේ?  

මේ ක්‍රියාවලිය මෙතනින් ඉවරවෙන්නේ නෑනේ. මහ බැංකුව හෙටත් පාර්ලිමේන්තුවට වගකියන්න ඕන. එතකොට ඔය නිලධාරින් හෙටත් පාර්ලිමේන්තුවට කැඳවන්න වෙනවා. පුද්ගලික ආයතනවල මෙවැනි වංචා කරන්න ඉඩ හදලා දුන්නු රජයේ නිලධාරින් සියලු දෙනා පාර්ලිමේන්තුවට වගකියන්න වෙනවා.  


මේ ඇතිවෙන අලුත්ම තත්ත්ව ගැන කෝප් කමිටුව අවධානය කොහොමද?

තව නුදුරු දිනයකින් ජනාධිපති කොමිසමේ වාර්තාව ලැබෙයි. ඒ තුළ තියෙන නිර්දේශයක් කෝප් කමිටු නිර්​ේදශයන්ට පටහැනි වෙයි කියලා මං හිතන්නේ නෑ. ඊට පස්සේ තියෙන්නේ අධිකරණ ක්‍රියාවලියක්. ඉතා ඉක්මනින් අධිකරණ ක්‍රියාවලිය හරහා අවශ්‍ය චූදිතයන්ට අදාළ දඬුවම් ලැබේවි.  

 

එහෙම ඉතා ඉක්මණින් මේක කෙළවරක් වෙනවා කියලා පේන්න තියෙනවද ඇත්තටම?  

මම විශ්වාස කරනවා මේක ඉතාම ඉක්මනින් කෙළවරක් විය යුතුයි කියලා.

 
සිල් රෙදි නඩුවෙන් ඇතුළට ගිය දෙන්න ඇප පිට එළියට ආවා...  


ඔව්. එහෙම වෙන්න පුළුවන්. සිල් රෙදි බෙදනවා කියන එක පිංකමක්. ඒත් මෙතන බෙදුවෙ සිල් රෙදි නොවෙන එ්කයි වැඩේ. මේවා ඡන්ද රෙදි. අපේ හාමුදුරුවන්ට වැරැදිලා. බොරුවට පිණ්ඩපාතේ ගියේ. මේ සිල් රෙදි නෙවෙයි ඡන්දෙ ඉලක්ක කරගෙන මනාප ගන්න බෙදපු ඡන්ද රෙදි මේව. හිටපු ජනාධිපතිතුමා කියනවා කට්ටිය සිල් ගන්නෙ නැති නිසා රෙදි බෙදුවා කියලා. ඒක ඇයි ඡන්දෙ වෙනකම් මතක් වුණේ නැත්තේ. ඇයි ඒක බුද්ධශාසන අමාත්‍යාංශය හරහා කළේ නැත්තේ. ටී.ආර්.සී. ඒකේ සල්ලි ගත්තෙ මොකටද බුද්ධශාසන අමාත්‍යාංශයේ වැඩ ටී.ආර්.සී. එකට පැවරුව නම් ඉවරයිනේ ඔක්කොම, මොකටද බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකුට පඩි ගෙවලා නඩත්තු කළේ.  


දැන් එතකොට අර පිඬු සිඟා ගත්තු සල්ලි ටිකට මොකක් වෙයිද?  

පිණ්ඩපාතෙ වඩින සංස්කෘතිය අපිට පුරුදු දෙයක්. කාලයක් මේක අපි දැක්කේ නෑ. හොඳයි ඉතිං පංසල්වලම ඉඳපු හාමුදුරුවරු පාරට බැහැලා ටිකක් පයින් වැඩම කරපු එක.  


හැබැයි සිවුරට නම් ගල්මුල් එල්ල වුණා.  


පොලිස් නිල ඇඳුමෙ ගෞරවය රකින්න ඕන හොරු නොවෙයි පොලිසියමයි. නීතිඥයන්ගේ ඇඳුමෙ ගෞරවය රකින්න ඕන වැරදිකරුවො නොවෙයි නීතිඥවරුමයි. දොස්තරවරුන්ගේ ඇඳුමෙ ගෞරවය රකින්න ඕන ලෙඩ්ඩු නෙවෙයි. ඒ වගේම තමයි සිවුරු ගෞරවය රැකගන්න ඕන ගිහියො නෙවෙයි. ඒක රැකගන්න ඕන සිවුරු දරන හාමුදුරුවරුමයි. ඒකට කාටවත් දොස් කියලා වැඩක් නෑ.  


මේ සිදුවීමේදී බොහෝ අය කිව්වෙ මේවට ඕඩර්ස් දීපු අය සැපට ඉද්දී වැඩේ කරපු අයට හිරේ යන්න වුණා කියලා.  
ඒකට කරන්න තියෙන්නේ නියෝග දීපු නිලධාරියො හිරේ යවන්න පුළුවන් ආණ්ඩුවක් හදන එක. මේ ආණ්ඩුවෙන් කරන්නේ නියෝග ක්‍රියාත්මක කරපු අය හිරේ යවලා නියෝග දීපු අයට ඇමැතිකම් දීමනේ. නියෝග දීපු දේශපාලකයොත් හිරේ යවන්න ඕන. ඒක කරන්න පුළුවන් ආණ්ඩුවක් තමයි දැන් අවශ්‍ය. මේ ආණ්ඩුවෙන් ඒක වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ.  


ඔබ ඊයෙ පෙරෙයිදත් කියලා තිබුණා 2020 මේ ආණ්ඩුව වැටෙනවා කියලා. ඊට පස්සේ හදන ජවිපෙ ආණ්ඩුවකින්ද මේ ගොල්ලො හිරේ දාන්නේ?  

පැහැදිලිවම වෙන විකල්පයක් නෑ මේවට. උඳු වපුරලා තල බලාපොරොත්තු වෙලා වැඩක් නෑ. උඳු නම් උඳු. තල එනකම් බලන් හිටියට වැඩක් නෑ. මේ ආණ්ඩුවෙන් මහ හොරු අල්ලයි කියලා බලාගෙන ඉන්න එක විහිළුවක්. 2020 අපේ රටේ ජනතාවට අවස්ථාවක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාවක් දීලා බලන්න.  


අරුන්දිලත් විපක්ෂෙ වාඩිවෙලා මේ ආණ්ඩුව වට්ටලා ආණ්ඩුවක් හදන්න දිවිහිමියෙන් වැඩ කරනවලු. ඒ අය එක්කත් ජවිපෙට දැන් තරගයක් තියෙනවා.  


ගෙම්බො වගේ එහෙට මෙහෙට පනින අයට මොන ආණ්ඩු හැදිල්ලක්ද අප්පා. ශ්‍රී ලංකා එකයි යූඑන්පී එකයි දැන් අවුරුදු කීයක් ආණ්ඩු කෙරුවද. රටට වැඩක් වුණාද දෙගොල්ලො එකතු වෙලා දැන් කරනවා. ඊට හපන්නෙ මේ ආණ්ඩු.  


එහෙම වුණේ තුන්වෙනි තේරීමක් තිබුණෙ නැති නිසානේ?  

මෙච්චර කල් තිබුණෙ නෑ කියමුකො. දැන් නෑ කියන්න බෑනේ. දැන් විකල්පයක් තියෙනවා.  


මන්ත්‍රී හයදෙනෙක් එක්ක මොන ආණ්ඩු හැදිල්ලක්ද කියලා කෙනෙක් ජවිපෙන් අහන්න පුළුවන්...?  


අපි ඒක තමයි මේ සඳහා පුළුල් බලවේගයක් සූදානම් කරන්නේ. මේක ජවිපෙට තනියම කරන්න බෑ කියලා අපි දන්නවා. ඒ තක්සේරුව අපිට තියෙනවා. අපි එකතු කරගන්න පිරිස මේ රටේ ණය බර අඩු කරන්න කැපකිරීම් කරන්න පුළුවන් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරන්න පුළුවන් ආර්ථික කළමනාකරණය කරන්න පුළුවන් මිනිස්සු.  


ඔය කියන්නෙ රනිල් වික්‍රමසිංහලා කියපු තාලෙම පටි තද කරගන්න පුළුවන් මිනිස්සුද?  

අනේ නෑ. එහෙම කතාවක් නෙවෙයි මේක. වරද්ද ගන්න එපා. අපි ණය වෙලා තියෙන ඇත්ත හේතු තේරුම් අරගෙන ඒකට උත්තර හොයන්න ඕන. නාස්තිකාර වියදම් අඩු කිරීම හරහා මේකට විසඳුම් හොයන්න පුළුවනි. ණයට හිලව්වට ගෙදර බඩු විකුණන ක්‍රමය නේ මේ ආණ්ඩුව දැන් කරගෙන යන්නේ. එහෙම කරලා අන්තිමට ඉතුරු වෙන්නේ බිත්ති හතර විතරයි. අන්තිමට ඒකත් විකුණන්නද වෙන්නේ. අපි මේවට විසඳුම් හොයන්න ඕන. මේවට විසඳුම් හොයන්න පුළුවන්. හොරු එක්ක මේක කරන්න බෑ. ආණ්ඩු බලය ගත්තු දවසෙ ඉඳලා හොරකම් කරන්න බලාගෙන ඉන්න දේශපාලකයො එක්ක මේක කරන්න බෑ.  


ඔබලට තනියම බලය ගන්න බැරි නිසා පුළුල් පෙරමුණකට යනවා කියලනේ කියන්නේ. හැමදාම වාසි පැත්තට පනින අය මේකටත් එන්න බැරි නෑ. තත්ත්වය වාසිදායක වෙන බව දන්න මොහොතේ?  

එහෙම වෙන්න ඉඩක් නෑ. ඒ සම්ප්‍රදායික දේශපාලනය මේ බලවේගය තුළ නෑ. මේක වැඩකරන බලවේගයක්. මේක හොරකම් කරන බලවේගයක් වෙන්න දෙන්න බෑ. අද අපිට ආණ්ඩුවක් හදන්න පුළුවන් ජනතාවක් ඉන්නවා. තවත් ශ්‍රී ලංකා එකට හෝ යූඑන්පී එකට බලය දෙන්න එපා කියලයි අපි කියන්නේ.  


මේ පක්ෂ දෙකේම පහුගිය ආණ්ඩුවලට ජවිපෙ විවිධ ප්‍රමාණයෙන් සහාය දුන්නු වග අමතක කරන්න බෑ හැබැයි.  
හවුල් වෙච්ච අවස්ථා තියෙනවා. හැබැයි ඒ හොඳ දේවල්වලට. අපි ආණ්ඩුවක ඉඳලා ඇමැතිකම් කරපු කාලේ අපි අතින් වැරැද්දක් වුණේ නෑ. අපි ඒවට ඉඩ දුන්නේ නෑ.  


ඔබ පිරිසගෙන් උදවුවෙන් බලයට ආපු මහින්ද රාජපක්ෂ තමයි පස්සේ ඔබ පිරිසම කියපු විදියට ඒකාධිපති ස්වරූපයට යන්නේ. ජවිපෙටත් ඒකෙන් ගැලවෙන්න බෑ.  


ඔව්. අපි සහාය දුන්නු නිසා මහින්ද ඒකාධිපතියෙක් වුණා කියලා කියන්න බෑ. අපි දීපු සහාය වැරැදි විදියට පාවිච්චි වුණා කියලා අපිට කනගාටුවක් තියෙනවා.  


ජවිපෙ බැහැලාම වැඩ කරපු 2010 ජනාධිපතිවරණයෙන් බැරිවෙලාවත් සරත් ෆොන්සේකා ජනාධිපති වුණා නම්....?  
එහෙම වෙන්නෙ නැති බව අපි දන්නවනේ.

 

එහෙම දැන දැනමද වැඩේ හිටියේ?  

පැහැදිලිවම ඔව්. ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂ බැලට් එක වෙනුවට බුලට් එක ඡන්දෙට පාවිච්චි කරන්න හදන තත්ත්වයක අපිටත් ඒකට තරග කරන්න පුළුවන් බුලට් එකක් ඕන වුණා. ඒකටයි සරත් ෆොන්සේකා අපේ තේරීම වුණේ.  


එතකොට පරදින බව දැන දැන ෆොන්සේකාව ඇන්දුව...?  

ඇන්දුව කියන්න බෑ. දේශපාලන​ෙය් හැටි එහෙම තමයි. හැබැයි මැතිවරණයේ ආරම්භයට වඩා අවසන් කාලය වෙනකොට තත්ත්වය වෙනත් පැත්තකට ගියා. සරත් ෆොන්සේකා ඡන්ද කැම්පේන් එක හරියට කළා. සමහර විට දිනන්නත් තිබුණා. එයා අතරමගදී හමුදාවේ ක්‍රමේට වැඩ කෙරුවෙ නැත්නම් ප්‍රතිඵලය වෙනස් වෙන්න තිබුණා.එයාට මැතිවරණයේදීත් දේශපාලනඥයෙක් වෙන්න බැරි වුණා. ඒකයි සිද්ධ වුණු අවුල.  


ජවිපෙ ඩබල් ගේමක් ගැහුව කියලා මේ කතාව දකින සරත් ෆොන්සේකාට හිතෙන්න බැරි නෑ.  


අපි නැත්නම් එතුමට ජනාධිපති අපේක්ෂකයෙක්වත් වෙන්න බැරි වෙනවනේ. එයා කළගුණ දන්නවා නම් අපි කරපුව අමතක කරන්න බෑ.  


 සිල් රෙදි බෙදනවා කියන එක පිංකමක්. ඒත් මෙතන බෙදුවෙ සිල් රෙදි නොවෙන එ්කයි වැඩේ. මේවා ඡන්ද රෙදි. අපේ හාමුදුරුවන්ට වැරැදිලා. බොරුවට පිණ්ඩපාතේ ගියේ. මේ සිල් රෙදි නෙවෙයි ඡන්දෙ ඉලක්ක කරගෙන මනාප ගන්න බෙදපු ඡන්ද රෙදි මේව. හිටපු ජනාධිපතිතුමා කියනවා කට්ටිය සිල් ගන්නෙ නැති නිසා රෙදි බෙදුවා කියලා. ඒක ඇයි ඡන්දෙ වෙනකම් මතක් වුණේ නැත්තේ. ඇයි ඒක බුද්ධශාසන අමාත්‍යාංශය හරහා කළේ නැත්තේ. 


 

 

 ප්‍රියන්ති කොඩිප්පිලි