එජාපය හා අපට සම්බන්ධ සියලු දෙනාගේම අවශ්‍යතාව ජයග්‍රහණයයි


එජාප මහ ලේකම්   
අකිල විරාජ් කාරියවසම්

  • සජිත්ට අපේක්ෂකත්වය දුන්නේ එජාපය භේද භින්න වීම වළක්වා එක්ව ගමනක් යන්නයි
  • සිරිකොතේ කාර්යභාරය මහලේකම් ලෙස කිසිම අඩුවක් නැතිව කරනවා
  • රනිල් වික්‍රමසිංහ කියන්නෙ බොහොම පරිණත දැක්මක් තියෙන නායකයෙක්

එක්සත් ජාතික පක්ෂය භේදබින්න වීම වළක්වා, එක්ව ගමනක් යාම සඳහා සජිත් ප්‍රේමද‌ාස මහතාට අපේක්ෂත්වය ලබා දුන් බව අධ්‍යාපන ඇමැති එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා කීය.  


මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඒ මහතා ඉරිද‌ා ලංකාදීපය සමඟ පැවැත්වූ සාකච්ඡාව මෙසේය. 

• ප්‍රශ්නය:- මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කොහොමද?  


පිළිතුර:- මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු හොඳින් කෙරෙනවා. ආරම්භයට වඩා සෑහෙන්න ඉදිරියට පැමිණ තිබෙනවා. අපි පටන් ගත්තෙත් ටිකක් පහුවෙලා. ගාලුමුවදොර පිටියෙන් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පළමුවරට කොළඹට ගෙනාවා. එතැන් සිට දැන් රැස්වීම් 150ක් පවත්වනවා. ඒවා ප්‍රධාන රැස්වීම්. ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් තියෙනවා. මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට යනවා.  


• ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ මහත්තයත් ඒ රැස්වීම්වලට සහභාගි වෙනව ද?  


පිළිතුර:- සමහර ඒවට එතුමා සහභාගි වෙනවා. තෝරාගත් රැස්වීම්වලට සහභාගි වේවි. ඊට අමතරව උතුරු - නැගෙනහිර මැතිවරණ ප්‍රචාරක කටයුතුවලටත් එතුමා සහභාගි වෙනවා. කොළඹ හා තෝරාගත් රැස්වීම්වලට එතුමා සහභාගි වෙනවා. ඊට අමතරව වෙනම රැස්වීම් මාලාවක් ද පැවැත්වෙනවා.  


• ප්‍රශ්නය:- අගමැතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපො​ෙරාත්තුව ඉඳලා පසුව ඒක වෙනස් වීමට හේතුව?  


පිළිතුර:- නැහැ. අවසානයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දුවක් ගත්තා. පක්ෂය නොකැඩී පවත්වාගෙන යාමට ඒ තීරණය ​ෙහ්තු වුණා. එතුමා ප්‍රකාශ කළේ වඩා වැදගත් වෙන්නේ පක්ෂය හා රට බවයි. ඒ අනුව සජිත් ප්‍රේමද‌ාස මහතාට අපේක්ෂකත්වය ලබා දීමට තීරණය කළා. එතුමාට සහාය දෙන්න තීරණය කළා. විපක්ෂයේ සියලුදෙනා බලාගෙන හිටියේ එක්සත් ජාතික පක්ෂය භේද බින්න වෙනතුරු. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාගේ මුහුකුරාගිය බුද්ධිය, ප්‍රජාතන්ත්‍රවාදී බව, පක්ෂය ආරක්ෂා කර ගනිමින් කාලයක් තිස්සේ පක්ෂය අඛණ්ඩව ඉදිරියට ගෙන යමේ අවශ්‍යතාව මත මේ තීරණය ගත්තා.  


බොහෝමයක් පක්ෂ මේ වනවිට භේදබින්න වෙලා. එතුමා පක්ෂ නායකයෙක් ලෙස තමන්ගෙ යුතුකම ඉටුකර තිබෙනවා.  


• ප්‍රශ්නය:- අනෙකුත් දේශපාලන පක්ෂවලින් කැඩීගිය කොටස් එක්සත් ජාතික පක්ෂයට එකතු කර ගැනීමට විධිමත් වැඩපිළිවෙළක් නොමැති බවට චෝදනා තිබෙනවා.  


පිළිතුර:- නැහැ. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩීගිය පිරිස් සිරිකොතේදී හමුවෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තය විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය හමුවුණා. කණ්ඩායම් ගණනාවක් හමුවුණා. අරලියගහ මන්දිරයටත් ආවා. පක්ෂයේ මහලේකම් ලෙසට මාවත් හමුවුණා. ඊට අමතරව අපේක්ෂකත් හමුවුණා. රාජිත සේනාරත්න මහත්තය ඒ කටයුතු කරගෙන යනවා. මංගල සමරවීර මහත්තයත් ඒ කටයුතු කරනවා. විවිධ කණ්ඩායම් ඒ කටයුතුවල යෙදිල ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම් මට්ටමේ යාන්ත්‍රණය ඉන්නෙ අපිත් එක්ක. පහළ මට්ටමේ අති බහුතරය අපි එක්ක ඉන්නේ. ඊයේ පෙරේද‌ා විපක්ෂයේ ජනහමුවලදී හූ කියන්න ගත්තට පස්සේ අපිත් එක්ක තවත් විශාල පිරිසක් එකතු වී ඉන්නවා.  


• ප්‍රශ්නය:- ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට සූද‌ානමින් සිටින පිරිසකට මෙතෙක් නිසි මඟපෙන්වීමක් නැති බවට චෝදනා තියෙනවා.  


පිළිතුර:- අපිට විධිමත්ව දැනුම් දුන් සියලුදෙනා එක්ක සාකච්ඡා කළා. විශේෂයෙන් අම්පාර, අනුරාධපුර ප්‍රදේශවල පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැරල එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා. අපි දැනුම්වත් කළ සියලුදෙනා සම්බන්ධ කර ගත්තා. මේ වෙන විට විශාල පිරිසක් ඒ වගේ එකතුවෙලා ඉන්නවා. හැමද‌ාම සිරිකොතේ අපේ සංවිධායකවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යන අය එක්ක ඇවිත් අපි හමුවෙනවා. හමුවීමට දිනයක් වේලාවක් දීමට නොහැකි තරමට අපි හමුවෙන්න එනවා. දකුණු පළාතෙ එහෙම අපට එකතු වෙන්න කැමැති අය ඉන්නවා නම්, අපි බොහොම කැමැත්තෙන් ඔවුන් පිළිගන්නවා. ගැටලුවක් තියෙන්න බැහැ. ඒ පැත්තෙ අපේ ශක්තිමත් පිරිසක් ඉන්නවා. ඔවුන් හමුවෙලා ගැටලු නිරාකරණය කර ගන්න පුළුවන්.  


• ප්‍රශ්නය:- පක්ෂය ඇතුළෙන්ම සජිත්ගෙ ගමනට කකුලෙන් ඇදීමත් තියෙන බවට ජනතාව අතර මතයක් තිබෙනවා.  


පිළිතුර:- සම්පූර්ණ බොරුවක්. කාට හෝ පිරිසකට හෝ එවැනි මතයක් ගොඩනැගීමට අවශ්‍යතාවක් ඇති. පක්ෂය ඇතුළෙ එවැනි කිසිම දෙයක් නැහැ. පළමු ජනරැලිය ගාලුමුවදොර තියන්න. සංවිධානය කරන කාලයෙදි අගමැතිතුමා තමයි හැමද‌ාම කතා කරල සංවිධාන කටයුතු මෙහෙයවීම කළේ. ඔය කියනව වගේ කකුලෙන් ඇදීමක් තියෙනවා නම්, අගමැතිතුමාට ඒ තරම් මහන්සි වෙන්න අවශ්‍ය නැහැනේ.  


එතරම් සාර්ථක ජනරැලියක් කරන්න පුළුවන් වුණේ පක්ෂයේ සියලු දෙනාම එකා වගේ දැක්වූ ද‌ායකත්වය නිසයි. පක්ෂයේ ප්‍රධානීන් වැඩ බෙද‌ාගෙන කරමින් යනවා. කෑකෝ ගහ ගහා ඒව කියන්න අපට අවශ්‍ය නැහැ. වැඩේ යනවා. එච්චරයි. අපිට ආණ්ඩුවක් ගන්න ඕනෑ. එක්සත් ජාතික පක්ෂය හා අපට සම්බන්ධ වූ සියලු දෙනාගේම අවශ්‍යතාව ජයග්‍රහණයයි. ඒ සඳහා කැපවීමෙන් වැඩ කරනවා. අපි කාටවත් විපක්ෂය බලයට ගේන්න අවශ්‍ය නැහැ. රනිල් වික්‍රමසිංහ නායකතුමාටත් ඒ අදහස එහෙමමයි. සජිත් මහත්තයාගෙ කකුලෙන් අදිනවා කියන්නෙ පරාජය කරවනව කියලනේ? විපක්ෂය බලයට ගෙනැල්ල අපි මොනව බලාපොරොත්තු වෙන්න ද? මේ රජය කරගෙන යන සංවර්ධන කටයුතු හා ව්‍යාපෘති විපක්ෂය කරගෙන යාවි කියල බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඔය දේශපාලන වාසියට කියන කතා අපි ගණන් ගන්නෙ නැහැ. අපි සියලු දෙනාගෙම අප්ක්ෂාව සජිත් ප්‍රේමද‌ාස මහතා ජයග්‍රහණය කරවීමයි. අපිට අවශ්‍ය අපේම ජනාධිපතිවරයෙක්. අපි හැමෝම කැපවෙලා ඉන්නෙ සජිත් ප්‍රේමද‌ාස මහත්තයා ජයග්‍රහණය සහතික කරලා මේ රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමටයි.  

 

රනිල් වික්‍රමසිංහ මහත්තය කාගෙවත් කීමකට යටවෙන පුද්ගලයෙක් නෙවෙයි. කාගෙවත් අතකොළුවක් වෙන්නෙ නැහැ. ඒ නිසා හොඳ නායකයෙක්. රටක ආර්ථිකයක් හදන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගත් නායකයෙක්. මේ වගේ නායකයෙක් බිහිවීමට තවත් කොයිතරම් කාලයක් යාවි ද කියල හිතාගන්න බැහැ. ඒවා හැමෝටම තේරුම් ගන්න පුළුවන් කමකුත් නැහැ.

 


• ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වූ සිරිකොත තියෙද්දි සජිත් වොක්ෂෝල් වීදියෙ කාර්යාලයක් ආරම්භ කළේ ඇයි?  


පිළිතුර:- සිරිකොතෙන් සියලුම මෙහෙයුම් කටයුතු කරනු ලබනවා. පක්ෂ මූලස්ථානයෙන් ඒ හැම එකක්ම සොයා බලනවා.  


• ප්‍රශ්නය:- සජිත්ට සිරිකොත ගැන විශ්වාසයක් නැතුවාවත්ද?  


පිළිතුර:- එහෙම එකක් නැහැ. සියලු සොයා බැලීම් සිරිකොතෙන් කරනු ලබනවා. කණ්ඩායම් හමුවීම, වෘත්තිකයන් හමුවීම ආදී කටයුතු වොක්ෂෝල් වීදිය කාර්යාලයෙන් සිදුවෙනවා. හැම අපේක්ෂකයකුම තමන්ට කාර්යාලයක් පටන් ගන්නවා. අනෙකුත් සියලු සංවිධාන, ශාඛා සමිති, කාර්යාල දැමීම, ඡන්ද නියෝජිතයන් පත් කිරීම, රැස්වීම්, ගෙයින් ගෙට ගොස් ප්‍රචාරණය මේ සියල්ල මෙහෙයවන්නේ සිරිකොත මූලස්ථානයෙන් ඒකට වෙනමම මෙහෙයුම් මැදිරියක් ආරම්භ කර තිබෙනවා. තරුණ කටයුතු සම්බන්ධයෙන් වෙනම වැඩ පිළිවෙළක් සිරිකොතෙන් කරනවා. තරුණ සමුළු පැවැත්වීම, සංවිධානය කිරීම සිදුවෙනවා. ඊට අමතරව කාන්තා මෙහෙයුම් මැදිරියක් ද සිරිකොත මධ්‍යස්ථානයේ විවෘත කළා. කාන්තාවන් සම්බන්ධ කටයුතු ඒ මධ්‍යස්ථානයෙන් සිදුවෙනවා. සිරිකොත මන්දිරය ඇතුළෙ කිසිම භේදයක් නොමැතිව සජිත් ප්‍රේමද‌‌ාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය සංවිධාන කටයුතු සිදුවෙනවා.  


• ප්‍රශ්නය:- එක්සත් ජාතික පක්ෂයෙම අය සජිත්ට විරුද්ධ වුණා. රවි කරුණානායක, සරත් ෆොන්සේකා වැනි අය ඔහුට අපේක්ෂකත්වය දෙනවට විරුද්ධ වුණා. මේ අයට දැන් එක්ව ගමනක් යා හැකි ද?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයේ තිබෙන වෙනස අන්න ඒක තමයි. විවිධ මත තිබුණා. විවිධ අදහස් තිබුණා. අපේක්ෂකයා පිළිබඳව විවිධ මතවාද තිබුණා. සමහර අය විවේචනය කළා. නමුත් එක තීන්දුවක් ගත්තම ඒ තීන්දුව වෙනුවෙන් කැපවෙලා වැඩ කරනවා. අනිත් හැම පක්ෂයකටම වඩා අපේ පක්ෂයේ තියෙන විශේෂත්වය ඒකයි. විරුද්ධ අදහස් තිබුණ ඒ හැම කෙනෙක්ම එක මතයකට ගෙන ඒමට පුළුවන්වී තිබෙනවා. දැන් එතුමා වෙනුවෙන් මුල සිටම කතා කළ අයට වඩා ඔහු වෙනුවෙන් වැඩියෙන්ම වැඩ කරන්නෙ විරුද්ධව කතා කළ අය. සජිත් ප්‍රේමද‌ාස මහත්තයගෙ ජයග්‍රහණයට විශාල වැඩ කොටසක් ඔවුන් කරනවා.  


• ප්‍රශ්නය:- දැන් පක්ෂය ඇතුළෙ මතභේදයක් නැහැ කියල ද කියන්නෙ?  


පිළිතුර:- කිසිම මතභේදයක් නැහැ. පක්ෂයේ සියලුම දෙනාට අවශ්‍ය සජිත් මහත්තයගෙ ජයග්‍රහණයයි. මේක දිනුවොත් තමයි සියලු දෙනාටම අනාගතයක් තියෙන්නෙ. රටට සංවර්ධනයක් ලබා දෙන්න, යහපතක් ලබා දෙන්න අපි හැමෝගෙම අපේක්ෂාවයි. කිසිම මතභේදයක් නැහැ.  


• ප්‍රශ්නය:- සජිත් ප්‍රේමද‌ාස මහත්තය බලයට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තය නොසලකා හැරියොත්?  


පිළිතුර:- පක්ෂය තමයි තීරණ ගන්නෙ. මේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වන්නේ පක්ෂය මගින්. කිසිම ගැටුමක් ඇතිවෙන්නෙ නැහැ. ඉදිරියටත් තීන්දු තීරණ ගන්නෙ සාකච්ඡාවෙන් හා සම්මුතියෙන්.  


• ප්‍රශ්නය:- සරත් ෆොන්සේකා මහත්තය ආරක්ෂක ඇමැති වශයෙන් පත් කරන බවට කරන ලද ප්‍රකාශය සජිත්ගේ තීරණයක් ද? පක්ෂයේ තීරණයක් ද?  


පිළිතුර:- ඒක පක්ෂයේ පොදු තීරණයක්. ඒකෙන්ම පේනවානේ අපේක්ෂකයා නම් කිරීමට පෙර සරත් ෆොන්සේකා මහත්තය හිටියේ වෙනත් මතයක. එහෙම තිබියදීත් පක්ෂයේ හා ජනාධිපති අපේක්ෂකතුමාගේ මැදිහත්වීම මත සියලුදෙනා සාකච්ඡා කර තීරණයක් ගත්තා.  


• ප්‍රශ්නය:- දැන්ම ඔය තීරණය ගත්තේ ඇයි?  


පිළිතුර:- මේ රටේ ආරක්ෂාව පිළිබඳව විශ්වාසය, හැකියාව තියෙන කෙනකුට බාරදිය යුතු වෙනවා. ජනතාවගෙ මතයට සවන්දීල පක්ෂය විසින් ගන්නා ලද තීරණය සජිත් ප්‍රේමද‌ාස මහත්තය ප්‍රකාශ කළා. ඒක ජනතාවට හොඳ තීරණයක්. සුභවාදී පණිවිඩයක්. සරත් ෆොන්සේකා කියන්නේ මේ රටේ යුද්ධය දිනපු නායකයා. ඒක ගෝඨාභය රාජපක්ෂ මහත්තයත්, මහින්ද රාජපක්ෂ මහත්තයත් පිළිගත්තා. යුද්ධය දිනුවෙ කවුද කියල ඔවුන්ම කිව්වා. රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් හොඳම පුද්ගලයා පත් කිරීමට තීරණය කළා.  


• ප්‍රශ්නය:- ඔය විදියට අනිත් අමාත්‍යාංශ පැවරීම පිළිබඳවත් තීරණය කරල ඉවර ද?  


පිළිතුර:- අනිත් අමාත්‍යාංශ පිළිබඳව ජනතාවට බරපතළ ප්‍රශ්නයක් නැහැ. රටේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ආරක්ෂාවට මුල් තැන දිය යුතු බවයි ජනතාවගෙ අදහස. එ් නිසා ආරක්ෂක ඇමැතිවරයා කවුද යන්න පිළිබඳව කල් ඇතිව ප්‍රකාශයට පත් කළා.  


• ප්‍රශ්නය:- පක්ෂයේ පසුපෙළ ඇතැම් මන්ත්‍රීවරු තුළ යම් අප්‍රසාදයක් තිබුණා. දැන් ඒ තත්ත්වය මැඩ පැවැත්විලා ද?  


පිළිතුර:- අලුත් මන්ත්‍රීවරු අත්දැකීම් අඩුකම නිසා හෝ යම් යම් දේ ගැන බාහිරින් බලල විවිධ ප්‍රකාශ කළා විය හැකියි. නමුත් රනිල් වික්‍රමසිංහ කියන්නෙ බොහොම පරිණත, දැක්මක්, දර්ශනයක් තියෙන නායකයෙක්. ලෝකයත් එක්ක ගනුදෙනු කළ හැකි නායකයෙක්. ඒ නායකත්වය ජනතාව බලාපොරොත්තු වෙන ජනප්‍රිය තීන්දු තීරණ නොගන්නා පුද්ගලයෙක් විය හැකියි. ඒ නිසා යම් යම් විවේචනයන්ට ලක් වෙනවා විය හැකියි. රනිල් වික්‍රමසිංහ මහත්තය කාගෙවත් කීමකට යටවෙන පුද්ගලයෙක් නෙවෙයි. කාගෙවත් අතකොළුවක් වෙන්නෙ නැහැ. ඒ නිසා හොඳ නායකයෙක්. රටක ආර්ථිකයක් හදන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්. ප්‍රජාතන්ත්‍රවාදීව තීන්දු තීරණ ගත් නායකයෙක්. මේ වගේ නායකයෙක් බිහිවීමට තවත් කොයිතරම් කාලයක් යාවි ද කියල හිතාගන්න බැහැ. ඒවා හැමෝටම තේරුම් ගන්න පුළුවන් කමකුත් නැහැ. සාමාන්‍ය ජනතාව බොහෝ දේවල් ගැන තීන්දු තීරණ ගන්නෙ පරක්කුවෙලා. එළියෙ තියෙන මතවාදයන්, මාධ්‍යවලින් පෙන්වන හැඩයන් එක්ක තීන්දු තීරණ ගැනීමට පෙළඹෙන අවස්ථා තියෙනවා.  


• ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහ මහත්තය වටා සීමිත පිරිසක් සිටින බව කියැවෙනවා. ඒ අයට විශේෂ සැලකිල්ලකුත් අනෙක් අය නොසැලකීමකුත් තියෙන බවට ඇතැම් අය චෝදනා කරනවා. ඒකෙ ඇත්තක් තියෙනව ද?  


පිළිතුර:- එහෙම එකක් නම් නැහැ. ඕවා සමහරු කියන කතා. රනිල් වික්‍රමසිංහ කියන්නෙ කාටවත් පාලනය කළ හැකි කෙනෙක් නෙවෙයි. ඔහු හොඳට හිතල බලල තීරණ ගන්න කෙනෙක්. පසුගිය කාලෙ මොන තීන්දුවක් ගත්තත් ඒවා රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ එකවුන්ට් එකට යන්නෙ. එතුමාගෙ එකවුන්ට් එකට බැර වෙන ඇතැම් දේවල් එතුමා දන්නෙත් නැහැ. එතුමා නිදහසේ වැඩ කටයුතු කිරීමට අපට ඉඩදීල තියෙනවා. උද‌ාහරණයක් ලෙස මට අධ්‍යාපන ඇමැති වශයෙන් ස්වාධීනව තීන්දු තීරණ ගන්න ඉඩ දීල තියෙනවා. සමහර අවස්ථාවලදී මඟ පෙන්නුවා. අපි පසුගිය කාලෙ අධ්‍යාපනයෙ බොහෝමයක් වැඩ කළා. ළඟම පාසල හොඳම පාසල, සුරක්ෂා වැඩපිළිවෙල, වසර 13 ක අඛණ්ඩ වැඩපිළිවෙළ, විදුහල්පති 6000 ක් බඳවා ගැනීම, ගුරුවරු බඳවා ගැනීම, ගුරු පුහුණුව, ක්‍රීඩා අංශයට බඳවා ගැනීම, ප්‍රතිපත්ති තීන්දු ගැනීම් කළා. අපි ඒවා මාකට් කරන්න ගියේ නැහැ. පෞද්ගලිකව ප්‍රතිරූපය ගොඩ නගා ගන්න උත්සාහ කළේ නැහැ. දැන් තමයි ඔය සමහර දේවල් ගැන ජනතාව දැනුවත් කළේ. ඒ හැර පක්ෂයේ නායකයා ලෙස කවුරු වැරදි දෙයක් කළත් එතුමාගෙ එකවුන්ට එකට එකතු වෙනවා. හැම නායකයාටම විශ්වාසවන්ත පිරිසක් ඉන්නවා. ඒක ස්වභාවිකයි. මහින්ද රාජපක්ෂ මහත්තයටත් හිටියා. හැම නායකයෙකුටම විශ්වාසවන්ත පිරිසක් ඉන්නවා. එක එක කාලවලදී ඒ හිතවත් කණ්ඩායම් වෙනස් වෙනවා. මීට වසර 20 කට පෙර සිටි අය දැන් නැහැ. අලුත් අය එකතු වෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තය කාටවත් පාලනය කළ හැකි කෙනෙක් නෙවෙයි.  


• ප්‍රශ්නය:- සජිත් ජාත්‍යන්තරයටත් ගැළපෙන නායකයෙක් ද?  


පිළිතුර:- එතුමාටත් කාලයක් අවශ්‍ය වේවි. රනිල් මහත්තය 1977 දේශපාලනයට ඇවිත් විවිධ තරාතිරම්වල හිටියා. කාලයක් අත්දැකීම් එක්කත් සජිත් ප්‍රේමද‌ාස මහත්තයත් ඉදිරියට යාවි. එක එක නායකයන්ට ආවේණික වූ ගති ලක්ෂණ තියෙනවානේ.  


• ප්‍රශ්නය:- සජිත්ට අත්දැකීම් ලබාගෙන රට ගෙනියන්න කාලයක් තියෙනව ද?  


පිළිතුර:- එතුමාට අවශ්‍ය දැනුම තියෙනවා. කාලයක් දේශපාලනය කළා. හිටපු ජනාධිපතිවරයකුගෙ පුතෙක්. ගෝඨාභය මහත්තය එක්ක බැලුවොත් සජිත් ප්‍රේමද‌ාස මහත්තය බොහොම ඉහළින් ඉන්නෙ. සාකච්ඡාවලදී ඒක බොහොම පැහැදිලි කරුණක්.  


• ප්‍රශ්නය:- සජිත් ප්‍රේමද‌ාස මහත්තය කරන ඇතැම් ප්‍රකාශ නිසා ඔහු ස්වාධීන තීන්දු තීරණ අරගෙන කටයුතු කරාවිද කියන සැකය සමහරුන්ට ඇතිවී තිබෙනවා. 

 
 පිළිතුර:- මැතිවරණ ව්‍යාපාරයකදී හැම ජනකොටසක්ම ආකර්ශනය කර ගැනීමට ඔහුට සිදුවෙනවා. අවසානයේ පක්ෂයක් වශයෙන් එකට යනවා. එතුමා විශ්වාසයෙන් කටයුතු කරාවි. ඒකෙ සැකයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තය එතුමාට අපේක්ෂකත්වය ලබා දුන්නෙ විශාල කැප කිරීමක් කරල. හේමා ප්‍රේමද‌ාස මහත්මියගෙ අතින් අල්ලගෙන වේදිකාවට කැඳවාගෙන ගියේ රනිල් වික්‍රමසිංහ මහත්තය. ඒක සංවේදී අවස්ථාවක්. පක්ෂය ආරක්ෂා කිරීමට රනිල් වික්‍රමසිංහ මහත්තය ගත්ත ක්‍රියාමාර්ග විශිෂ්ටයි.  

 

 

 

 

පිළිසඳර 
දයාසීලි ලියනගේ