අපනයන ආදායම වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙනවා


මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල්   

  • සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වලට තමයි වැඩිම තර්ජනය ඇතිවුණේ. අපි ඒ අයව බලා ගත්තා.
 
රටේ ආර්ථිකය මොකද වෙන්නේ? ජනතාවට සහන සලසන්නේ කවදාද? මේ ඒ ගැන විමසමින් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි.  
 
ප්‍රශ්නය - රටේ ආර්ථික තත්ත්වය ගැන ඔබේ මූලික විග්‍රහය?   
 
පිළිතුර - රටේ ආර්ථික තත්ත්වය 2015 සිට 2019 දක්වා සෑම අංශයකින්ම පිරිහිලා තිබුණේ. විශේෂ පිරිහීමකුත් ඇතිවුණා. සාමාන්‍ය තත්ත්වයෙන් ඔබ්බට ගිහිල්ලා පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග අපි ආර්ථිකය බාරගත්ත ගමන් තවත් දැවැන්ත අභියෝගයක් ඇතිවුණා" කොවිඩ් 19 මාරාන්තික වසංගතයත් සමග. ඒ වසංගතයත් සමග රට සම්පූර්ණයෙන්ම වහලා දාන්න වුණා. දැන් ඒ තත්ත්වය සමනය කරලා අපි ඉදිරියට යමින් ඉන්නවා. ඒ ඇතිවෙලා තිබුණ දුෂ්කරතාවන් මගහරවා ගෙන ඉදිරියටයාම දුෂ්කර කාර්යයක්. අපි සමස්තයක් හැටියට බලද්දි ඔව්, ආර්ථිකය දුෂ්කර තත්ත්වයක තිබුණේ. දැන් අපි ක්‍රම ක්‍රමයෙන් අවශ්‍ය මෙවළම් පාවිච්චි කරලා යථා තත්ත්වයට යමින් ඉන්නවා. ඒකේ ප්‍රතිඵල අපිට දැනුත් පේන්න තියෙනවා.   
 
ප්‍රශ්නය -  මොනවද ඒ ප්‍රතිඵල?   
 
පිළිතුර - මූලික වශයෙන්ම පිටරටින් මුදල් ගලාඒම සිදුවිය යුතුයි. 
 
අපි දැක්කා අපේ රටේ අපනයනය කොවිඩ් එකෙන් පස්සේ දැවැන්ත ලෙස කඩා වැටුණා. ඊට පෙරත් ප්‍රගතියක් තිබුණේ නැ. නමුත් දැවැන්ත ලෙස කඩාවැටීමත් සමග අපේ රටේ මැද පෙරදිග හා අනික් රටවල් වල වැඩ කරන අය එවන ප්‍රේෂණ සියයට පනහකින් විතර අඩුවුණා. ඒ සමගම සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබුණ සම්පූර්ණ ආදායම අහිමිවුණා. ඒක රටේ ආර්ථිකයට ලොකු තර්ජනයක් වුණා. නමුත් ඉතාමත් කෙටි කාලයක් තුළදී අපට යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන් වුණා. අපේ ප්‍රේෂණ ඒ ගානටම ඇවිත් තියෙනවා. ඒ වගේම අපනයන ආදායම කොවිඩ් එන්න පෙර තිබුණ කාලයට වඩා වැඩිවෙලා තියෙනවා.   
 
ප්‍රශ්නය -  අපනයනය කොපමණ ප්‍ර්‍රමාණයකින් ද වැඩිවුණේ ?   
 
පිළිතුර - සීයට 2 කින් 3 කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. නමුත් ඒකත් වැඩිවීමක්. සමහර මාසවල ටිකක් වැඩියි. සමහර මාස වල ටිකක් අඩුයි. නමුත් සමස්තයක් වශයෙන් අපනයන ආදායම වැඩිවීමේ ප්‍රවණතාවක් තියෙන්නේ. ඒ වගේම තෙල් මිල අඩුවීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් අහිමිවූ මුදලෙන් කොටසක් අපට වක්‍රාකාරයෙන් පාලනය කර ගන්න පුළුවන් වුණා. ඒකත් එක්කම අපි දැන් දකිනවා, පිටරට ආයෝජන, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත් වලට නැවත ගලා ඒමක්. අපි 2014 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 3400 ක් විදියට තිබුණ ඒ ආයෝජන ප්‍රමාණය මිලියන 500 දක්වා අඩුවුණා. 2019 අග වෙන කොට දැන් තව දුරටත් අඩු වෙලා තියෙනවා. මේ මාසයෙ තමයි පළමු වතාවට මාස ගානකට පස්සේ වැඩි වීමක් වාර්තා කරලා තියෙන්නේ. ඒ අනුව පහුගිය සතියේ අපි මහ බැංකුවෙන් ඉදිරිපත් කරන මුල්‍ය මෙවලමක් ඉදිරිපත් කළා.   
 
ප්‍රශ්නය -  ඒක පැහැදිලි කළොත් ?   
 
පිළිතුර - මූල්‍යමය මෙවළමක් කියන්නේ රුපියලේ අගය අඩු නොවන වටිනාකමක් අපි දෙනවා විදේශීය අයෝජකයන්ට. විදේශ ආයෝජකයෙක් අද අරගෙන ආවොත් යම් ඩොලර් ප්‍රමාණයක් ඒ ප්‍රමාණයෙන් ලැබෙන රුපියල් ප්‍රමාණයක් නම් ඒ ප්‍රමාණයම ගැළපුණ විදේශ විනිමය අනුපාතයම අපි ඒ පුද්ගලයා මුදල් අරගෙන යන දවසටත් දීමට එකඟත්වයක් ඇති කරගෙන තියෙනවා. ඒ හරහා ඉදිරියේදීත් අපිට මුදල් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ විදියට අලුත් දේවල් හරහා ආර්ථිකය කඩා වැටීම අපි පාලනය කරලා තියෙනවා. පොලී අනුපාතය අඩු කරලා තියෙනවා. එයින් විශාල ඉතිරියක් රටේ අයවැයට එකතු වෙනවා. ඒක තමයි රටේ ලොකුම වියදම. ඒක අපි අඩු කරගෙන තියෙනවා. අපි දැක්කා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වලට ලබාදෙන පොලී අනුපාතය අඩු වෙලා තියෙනවා. ඒකත් වාසියක් හැටියට අපි දකිනවා. රුපියලේ අගය ස්ථාවර වුණොත් ඉදිරියේදී ගෙවන්නට තියෙන මුදලත් ස්ථාවර වෙයි. රුපියලේ අගය අධි ප්‍රමාණය වුණොත් අපිට ගෙවන්න තියෙන මුදල අඩු වෙනවා. එතකොට අපිට ණය ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන් වෙනවා.   
 
ප්‍රශ්නය - යහ පාලන ආණ්ඩුව ණය පොළියත්, ණය වාරිකයත් ගෙව්වා. ඔවුන් අසමත් කියලා ඔබ කිව්වත් එහෙම හපන්කමක් පාලා තියෙනවා. 
 
පිළිතුර - මොනවා කෙරුවත් බිලියන හත් දහසේ තිබුණ ණය ප්‍රමාණය යහ පාලන ආණ්ඩුව කාලේ මිලියන දා හතර දක්වා වැඩි කරලා තියෙනවා. ඒක තමයි කළේ. පොලී අනුපාතය දෙගුණ කර ගත්තා. රුපියලේ අගය සීයට 40 කින් අවප්‍රමාණය වුණා. ඉතින් ඒක සමත් කමක් නම් මම පිළිගන්නවා සමත් කමක් කියලා. ඇත්තටම කතාව ඒ යුගයේදී අපේ ආර්ථික වර්ධක වේගය බාගයක් කර ගත්තා. උද්ධමනය යම්තමින් බේරා ගත්තා. ණය ප්‍රමාණය දෙගුණ කර ගත්තා. පොලී අනුපාතය​ දෙගුණ කර ගත්තා. ඒ විදියට බලාගෙන යන කොට ඉතා විශාල පාඩුවක් අපේ රටට ඒ ආණ්ඩුව කළා කියලා තමයි මට කියන්න තියෙන්නේ.   
 
ප්‍රශ්නය - ඔබලා මොනවා කිව්වත් ඉදිරියේදී ආර්ථික අර්බුද සුළියක් එනවා. ආණ්ඩුව ඒක කෘත්‍රීමව හංගාගෙන ඉන්නේ කියලයි විපක්ෂය කියන්නේ.   
 
 පිළිතුර - ඒ ගොල්ලේ එහෙම කියන එක සාධාරණයි. විපක්ෂයේ ඉන්න කොට එහෙම කියනවා තමයි. ඒ වගේම ඒ අය රටේ ආර්ථිකයට කළ හානියත් සමග ඔවුන්ට එහෙම හිතෙනවා ඇති. මම මුලින්ම කිව්වනේ අද ආර්ථිකයට තියෙන අභියෝගය. අය වැය පරතරය මේ අවුරුද්දෙ වැඩි වෙනවා මයි. නමුත් අපි ඒකට මුහුණ දෙනවා. ආර්ථික පරතරයට මුහුණ දෙන කොට සිදු වෙන්නේ පොලී අනුපාතය වැඩිවීමයි. එයින් රුපියලේ අගයට ලොකු බලපෑමක් වෙනවා. අද අපි මේක පාලනය කරලා තියෙන හැටියට රුපියලේ අගයෙ වෙනසක් වෙලා නෑ. පොලී අනුපාතය අඩුවෙලා තියෙනවා. ලෝකයේ අනික් ඔක්කොම රටවල් වල වර්ධන වේගය සෘන 20, 30, 40 වෙනකොට අපේ රටේ වර්ධන වේගය සීයට 1 ක පමණ කර ගත හැකි බව තමයි මගේ විහ්වාසය. ඒ ඔක්කොම සිදුවෙලා තියෙනවා. එහෙම වුණේ අපි කොයිඩ් වසංගතය සාර්ථකව පාලනය කර ගැනීම. අපි අද ජේ.පී. මෝගන් මූල්‍ය සමාගම සමග වීඩියෝ තාක්ෂණයෙන් සාකච්ඡාවක් කළා. පන්සියයකට පමණ කතා කළා. සාමාන්‍යයෙන් අපි සමුළුවකදී හමුවෙලා කරන කතාවක් තමයි එහෙම කළේ. මම කතා කළේ මගේ කාර්යාලයේ ඉඳලා. නමුත් සම්බන්ධ වෙච්ච හුඟාක් අය හිටියේ කාර්යාල වල නොවෙයි, ගෙවල් වල. ඒ රටවල් වල අය තාම වැඩ කරන්නේ ගෙවල් වල ඉඳලා. නමුත් අපි එහෙම නොවෙයි, අපි මේ සාකච්ඡාව කරන්නෙත් මගේ ඔෆිස් එකේ. ඒ විදියට අපි කොවිඩ් වසංගතය පාලනය කර ගත්ත නිසා අපිට ආර්ථිකය නැවත විවෘත කර ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒ වාසිය තමයි අද රටට ලැබිලා තියෙන්නේ. අද ඉතාලියේ මේ තත්ත්වය නෑ. අද ඉන්දියාවේ කොව්ඩ් ආසාදිතයන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. ඇමෙරිකාවේ අනූ දහසකට ආසන්නයි. මරණ සංඛ්‍යාව වැඩිවෙලා. අපි ඒක පාලනය කරගත්ත නිසා රටට ආර්ථික වාසි ඉක්මණින් ලබා ගන්න පුළුවන් වුණා. ඒ නිසා තමයි අපි අපනයනය කරන්නේ. ඒ නිසා තමයි අපේ ගමනාගමන ක්ෂේත්‍රය වැඩ කරන්නේ. අද මුළු රටම යථා තත්ත්වයට පත්වෙලා තියෙනවා.   
 
ප්‍රශ්නය - කොවිඩ් 19 නිසා අපේ රටේ විශාල පිරිසකට රැකියා අහිමි වුණා. විදෙස් ගත ශ්‍රමිකයන් විශාල පිරිසකටත් ඒ ඉරණම අත්වුණා. කොහොමද මේ අභියෝගයට මුහුණ දෙන්නේ?   
 
පිළිතුර - ඒකත් අර්බුදයක් තමයි. සංචාරක ක්ෂේත්‍රයේ රැකියා වලට තමයි වැඩිම තර්ජනය ඇතිවුණේ. අපි ඒ අයව බලා ගත්තා. ඇඟළුම් කර්මාන්තය දැන් යථා තත්ත්වයට පත් වෙමින් තියෙනවා.නුමත් සංචාරක කර්මාන්තයේ තවමත් ප්‍රශ්නය තියෙනවා. ඒ නිසා අපි සංචාරක කර්මාන්තයෙ ඉන්න අයට කියන්නේ දේශීය සංචාරකයන්ට පුළුල් අවස්ථාව දෙන්න කියලා.   
 
ඒ වගේම ලංකාවේ හය ලක්ෂයක් පිටරටට ගියා. ඒ අය ටිකට් අරගෙන පිටරට සංචාර වලට ගියා. ඒ අයට අපි අවස්ථාව වැඩි වැඩියෙන් දිය යුතුයි. දැන් එකත් සිදුවෙමින් තියෙනවා. මම ගිය සතියේ කතරගම ගියා. මම එහෙ ලොකු හෝටලයකට ගියා. නුමත් හිස් කාමර තිබුණේ නෑ. ශ්‍රී ලාංකිකයෝ දැක් සංචාරය කරන්න පටන් අරගෙන තියෙනවා.   
 
ප්‍රශ්නය -  රාජපක්ෂ ආණ්ඩුව ආපු ගමන් ධනපතියන්ට බදු සහන දීලා රාජ්‍ය ආදායම විශාල වශයෙන් අහිමි කර ගත්තා. කියලා විපක්ෂය චෝදනා කරනවා? ඇත්තටම ඒක මෝඩ වැඩක්ද?   
 
පිළිතුර - ඇත්ත වශයෙන්ම නෑ. ඒක වුණේ මෙහෙමයි. යහ පාලන ආණ්ඩුව 2019 වසර වෙනුවෙන් ඒ අය ඇස්තමේන්තු කරලා තිබුණ බිලියන 2200 ක් එකතු කරගන්න. නමුත් ඒ වසරේ තිබුණු ආර්ථික සංකෝචනය නිසා බිලියන 1800 යි එකතු කර ගන්න පුළුවන් වුණේ. අපි ඒක දැනගත්තා. ආර්ථිකයක් වර්ධනය වෙන්නේ. නැත්නම් බදු වර්ධනය වෙන්නේ නෑ. ආදායමක් තිබුණොත් තමයි ආදායම් බදු එකතු වෙන්නේ නැ. යම් කිස් දෙයක් අලෙවි කළොත් තමයි වැට් බද්දක් එන්නේ. ඒවා ක්‍රම ක්‍රමයෙන් අඩු වෙනවා නම් බදු ප්‍රමාණයක් අඩු වෙනවා.   
 
2019 අග වෙන කොට අපි දැක්කා මේ බදු ප්‍රමාණය අඩු වෙනවා මයි කියලා. විශාල ප්‍රතිශතයක් දැම්මට බදු නැහැ. එහෙම නම් අපි මොකද කළ යුත්තේ? අපේ දැනුමේ හැටියට අපි හිතුවේ මේ ආර්ථිකයට උත්තේජනයක් ලබාදිය යුතුයි කියලා. එතකොට අලුත් ගැම්මක් එනවා. ඒ නිසා බදු අඩු කළා. පොලී අවපාතය අඩු කළා. රුපියල ස්ථාවර කළා. ඒකෙන් මොකක්ද වුණේ? එමගින් බිස්නස් කරන අයට විශාල ශක්තියක් ඇතිවුණා. ව්‍යාපාරික ලෝකයේ දැවැන්ත පිබිදීමක් ඇතිවුණා. ඒ පිබිදිම ඇති කිරීම අත්‍යවශ්‍යයි. හැමෝම ඉන්නේ බලාපොරොත්තු රහිත තත්ත්වයක නම් ආර්ථික පුබුදුවක් ඇති වෙන්නේ නෑ. වැට් බද්ද අඩුකළාම පාරිභෝගිකයාටත් වාසියක් සැලසුණා. ඒක ඉතාම සාර්ථක වෙනවා. කොවිඩ් වසංගතය ආවේ නැත්නම් දැන් යළිත් අපි සාර්ථක වෙමින් ඉන්නවා  
 
ප්‍රශ්නය - ආර්ථිකය හරි පීල්ලට ගත්තා කිව්වත් මිනිසුන් ජීවත් වෙන්නේ ආමාරුවෙන්. කවාදාද ජනතාවට සහනයක් දෙන්නේ?   
 
පිළිතුර - බඩු මිල සමහර තැන් වල වැඩි වෙලා කියලා මම පිළිගන්නවා. බඩු මිල මනින්නේ මිල දර්ශකයක් ඔස්සේ. පොල් ගෙඩිය වැඩිවෙනකොට පොල් ගෙඩිය පේනනලා කියනවා මෙන්න පොල් වැඩි වෙලා කියලා. නමුත් අඩු වෙන් දේවල් ගැන අපි කතා කරන්නේ නැහැ. අපි හිතමු කෙනෙක් ලක්ෂ 10 ක ණයක් අරගෙන තියෙනවා කියලා. ඒ වෙලාවේ ගෙවලු පොලිය තමයි සියයට 14 ක් නැත්නම් පහළොවයි. අද ගෙවන්නේ සියයට 9 යි. පොළිය එහෙම අඩු වුණාම ගෙවන ගාන කොච්චර අඩු වෙනවද? ඒවා ගැන සමහරු කතා කරන්නේ නෑ. ඒ සල්ලි අතේ ඉතරු වෙනවා. මිල අඩුවෙච්ච බදු තියෙනවා. නමුත් ඒවා ගැන කතා නොකර වැඩි වෙච්ච ඒවා ගැන කියනවා. බඩු මිල බලන දර්ශකය තමයි මිල දර්ශකය. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් වෘත්තිමය ආකාරයකට සකස් කරලා ඉදිරිපත් කරනවා. ඒක තමයි අපිට තියෙන මිම්ම. ඒ මිම්ම දිහා බලනකොට ගිය අවුරුද්දේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ අවුරුද්ද අගෝස්තු මාසය වෙනකොට සියයට 6 කින් වැඩිවෙලා කියලා තමයි කියන්නේ. ඒක උහුලන්න පුංවන් ගණනක්. මේ වගේ අවස්ථාවක ඒ වගේ ගාණකට පාලනය කර ගන්න පුළුවන් වීමක් ලොකු ජයග්‍රහණයක්. ඒක තවදුරටත් පාලනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ආර්ථිකය දැන් අයාලේ යන්නේ නෑ. ඒක අපි පාලනය කරනවා.   

 

සාකච්ඡා කලේ 
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්