අපට මේ ආණ්ඩුව පෙරළන්න බැරිනම් විෂඝෝර නාගයාගේ දළ කඩා ගැරඬියකු කළ යුතුයි


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී 
පිවිතුරු හෙළ උරුමය නායක 
උදය ගම්මන්පිල

පොහොට්ටුවේ අර්බුදය කුමක්ද? පුපුරා යාමට නොදී එය විසඳා ගැනීමට හැකි වේද? මේ ඒ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා සමග කළ සාකච්ඡාවකි.

• ප්‍රශ්නය - ආණ්‍ඩුවෙන් එළියට ආපු 16 දෙනා පිළිගන්නේ නැත්තේ දේශපාලනය දන්නේ නැති අය කියලා ඔබ කිව්වා?   


පිළිතුර - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය හැක්කේ 2019 නොවැම්බර් 9 වැනිදාත් දෙසැම්බර් 9 වැනිදාත් අතර පමණයි. ඊට කලින් පවත්වන්න හැකියාවක් නෑ. ඒ වගේම පාර්ලිමේන්තු මැතිවරණයක් ලබාගැනීමට නම් පාර්ලිමේන්තුව විසුරුවාලීමේ යෝජනාවකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 150ක් අත උස්සන්න ඕනෑ. මේක වෙයිද?   


ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න 54 දෙනා හරිම කැමැතියි ඡන්දයකට යන්න. ඔවුන් හැම දෙනාම දිනනවා. ගිය පාරටත් වඩා මනාපත් ගන්නවා. එජාපයට තියෙන 107, මන්ත්‍රී ධුර 65කට ඇද වැටෙනවා පුංචි ඡන්දයේ ප්‍රතිඵලවලට අනුව. මොන 65ද දිනන්නෙ කියල ඔය 107 දන්නේ නෑ.   


ඒ නිසා ඔය 107 සහාය දෙන්නෙත් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 39 ම ඉන්නේ අතිශයින්ම ඛේදනීය තැනක. රටේ ජනාධිපතිවරයත් එක්ක පුංචි ඡන්දෙට ගිහිල්ලා ලබාගත්තේ සියයට 12යි.   


දෙමළ ජාතික සන්ධානයත් ලැබූ ප්‍රතිඵලය අනුව මන්ත්‍රී ධුර 16 මන්ත්‍රී ධුර 10කට ඇදගෙන වැටෙනවා. ජනතා විමුක්ති පෙරමුණට කෝටි ගාණක් වියදම් කරලත් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයිටත් වඩා අඩු මන්ත්‍රී ධුර සංඛ්‍යාවක්. ඒ අනුව මේ 54 දෙනාට තව 96ක් හොයාගන්න ඕනෑ. 96ක් තියා තව එකක්වත් හොයාගන්න බෑ කියන එක තමයි අද දේශපාලන යථාර්ථය.   


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය වුණේ‍?   


පිළිතුර - පොඩ්ඩක් ඉන්න? මම කියාගෙන එන්නේ ඒක තමයි. ඉහත තත්ත්වයට අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු මාසයේ 03 වැනිදායින් මෙපිට ලැබෙන්නේ නෑ. එහෙම නම් අපි තව අවුරුදු දෙකකට ආසන්න කාලයක් අගමැති රනිල්ට රට කන්න දීලා බලන් ඉන්නවද? එහෙම දුන්නොත් 2020 දී අපට භාර ගන්න රටක් ඉතිරි වෙයිද? ලොකු ණය උගුලක රට හිර කරලා රටේ තියෙන මර්මස්ථාන ටික සුපිරි බලවතුන්ට විකුණලා රට නැත්තටම නැති වෙනවා.   


• ප්‍රශ්නය - මේ 16 දෙනා එහෙම නම් කොහොමද උත්තරයක් වෙන්නේ? 

 
පිළිතුර - මෙහෙමයි. මේකට තියෙන එකම උත්තරය තමයි වත්මන් පාර්ලිමේන්තුව ඇතුළේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න 113ක් සකස් කර ගැනීම.   


• ප්‍රශ්නය - එහෙම වැඩ පිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයට තියෙනවද?   


පිළිතුර - 113ට යන්න ඕනෑ පියවරෙන් පියවර. අමතක කරන්න එපා අපේ 54ට මේ 16 දෙනා එකතු වුණාම 70ක් වෙනවා. අපේ ඉලක්කම් හරි කියලා දැක්කොත් සුළු ජාතික පක්ෂ අපිත් එක්ක එකතු වෙනවා. එතැන තියෙනවා මන්ත්‍රීධුර 17ක්. ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගැන කලකිරුණු තරුණ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් අපිට කතා කරනවා. අපි එතැන 10ක් ගත්තොත් 27ක් වෙනවා.   


එතකොට අපේ මේ 70ට අර 27 එකතු කළාම 97යි. 97ක් පෙන්නුවොත් අපිට ශ්‍රී ලංකා එකේ 23 දෙනාගේ සහයෝගය ලබාගැනීම සරල දෙයක්. එතකොට 97යි 23යි කියන්නේ 119යි. ඒ කියන්නේ අපිට 113ටත් වඩා හදාගන්න පාරක් තියෙනවා. හැබැයි අපි 54න් නතර වුණොත් ඔය වැඩේ කරන්න බැහැ.   


• ප්‍රශ්නය - විශ්වාසභංගය වෙලාවෙදිත් ඔය විදියට ඉලක්කම් විජ්ජා පෙන්නුවා. නමුත් අන්තිමට මුකුත් නෑ.   


පිළිතුර - ඔව්! ජනාධිපතිතුමාගේ සහයෝගය මත වැඩ කරන්න ගිහින් තමයි අපිට වැරදුණේ. ඒ වගේම එදා අපේ අගමැති අපේක්ෂකයා ඒ තරම් ආකර්ෂණීය වුණේ නෑ. ජනාධිපතිවරයා තෝරා දුන්න අගමැති අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ආකර්ෂණය වුණේ නෑ.   


• ප්‍රශ්නය - ඔබ කියන්නේ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ගැන?   


පිළිතුර - ඔව්. හැබැයි, මේ පාර අපි අගමැති අපේක්ෂකයා කරන්නේ රටේම ජනප්‍රියම පුද්ගලයයි. අපිට වරදින්න පුළුවන්. නමුත් වරදිනවා කියලා රනිල්ට මේ රට කන්න ඉඩ දිය යුතු ද? අපේ උපායන් අලුත් කරගනිමින් ආණ්‍ඩු පෙරැළියට අරගල කළ යුතුයි. ඒ උපායේ දී තීරණාත්මක කාර්යභාරයක් මේ 16 දෙනාට තියෙනවා. අපි ඒක අමතක කරමු. අපිට මේ ආණ්ඩුව පෙරළන්න බැරි නම් අපි කළ යුත්තේ මේ විෂඝෝර නාගයාගේ දළ කඩා ගැරඬියකු බවට පත් කිරීමයි. දළ කියන්නේ තුනෙන් දෙකේ බලයයි.   


අපිට මේ 16 දෙනා එකතු කරගන්න පුළුවන් වුණොත් අපිට 70යි. තව පස් දෙනකු එකතු වූ ගමන් තුනෙන් දෙක ඉවරයි. එතකොට තව පස් දෙනෙක් එනවාද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ 16 දෙනාට අපි සලකන ආකාරය අනුවයි. මා දන්නා තරමින් ලංකා ඉතිහාසයේ නොවෙයි ලෝක ඉතිහාසයේවත් ආණ්ඩු පක්ෂයෙන් පිරිසක් විපක්ෂයට එකතු වෙන කොට මල් මාලා දමා පිළිගන්නවා වෙනුවට චෝදනාවලින් දමා ගසන අවස්ථා නෑ. මේ ඒ පළමු අවස්ථාවයි. ආණ්ඩුව පෙරළගන්න බැරි වුණත් තව පස් දෙනෙක් හොයා ගත්තොත් හරි.   

 

ඔබ නිකමට හිතන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එජාපය අවුරුදු 40ක් තිස්සේ දරුණු විදියට විවේචනය කරමින් හිටපු කෙනෙක්. එහෙමයි කියලා මෛත්‍රීපාල මැතිතුමාව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කරගත්තේ නැත්නම් අදත් එජාපය විපක්ෂයේ. ඉතින් ජයග්‍රහණ සඳහා කැපකිරීම් කළ යුතුයි. කැපකිරීම්වලින් තොර ජයග්‍රහණ නැත.​


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය එහෙම පුළුවන් ද කියන එකයි?   


පිළිතුර - හැමෝම දන්නවනේ පස් දෙනකුට වැඩියෙන් රනිල් විරෝධීන් එජාපයේ ඉන්නවා කියලා. ඒ නිසා අපිට තුනෙන් දෙක නැති කරන්න පුළුවන්. ෆෙඩරල් ව්‍යවස්ථාව, රටේ මර්මස්ථාන විකිණීම වගේ දේවල් සම්බන්ධයෙන් රතන ස්වාමීන් වහන්සේ, විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා වගේ අය ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන ප්‍රබල හඬක් නගනවා. ඒ පසුබිම තුළ අපිට මේ 16 දෙනා අපේ කර ගත්තොත් අනිවාර්ය‌යෙන්ම ආණ්ඩුවේ විෂකුරු දළ වන තුනෙන් දෙක නැති කරන්න පුළුවන්.   


• ප්‍රශ්නය - ඒකාබද්ධ විපක්ෂයේ අය අවුරුදු තුනක් තිස්සේ සී.අයි.ඩී. යනවා. එෆ්.සී.අයි.ඩී. යනවා. හිරේ යනවා. අවුරුදු තුනක් තිස්සේ ඇමැති කටු සූප්පු කරලා සියලු සැප විඳලා අන්තිම මොහොතේ එළියට ආවම ඔවුන් පිළිගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය සමහරු මතු කරනවා!   


පිළිතුර - අපේ පෞද්ගලිකත්වය බැලුවොත් ඔබ කියන කතාව හරි. මම මේ ආණ්ඩුවෙන් වැඩියෙන්ම බැට කාපු මිනිසා කියලයි හිතන්නේ. මගේ බිරියටත් දරුවන්ටත් ආණ්ඩුව බරපතළ විදියට වද හිංසා කළා. දුරකථනයෙන් මරණ තර්ජන කළා. බොරැල්ල පොලිසියට පැමිණිලි කළා. අවුරුදු තුනහමාරක් තිස්සේ ඒ පැමිණිලි විභාග කළේ නෑ. ඒ නිසා පවුලේ ආරක්ෂාව තකා බිරියට රැකියාවක් සූදානම් කරලා විදේශයකට යවන්න වුණා. අවුරුදු තුනක් තිස්සේ සියලු දේ කරගෙන මම ජීවත් වෙන්නේ තනියෙන්.   


වසර 19කට පෙර කූඨ ලේඛනයක් හැදුවා කියලා බොරු නඩුවකට මාව පැටලෙව්වා. මේ සියල්ල කර තිබිය දී ඒකට සම්බන්ධ වෙච්ච අය පිළිගන්න ඕනෑ කියලා මම කියන්නේ ඇයි?   


• ප්‍රශ්නය - ඔබ කියන්නේ මේ 16 දෙනා ගැනද?   


පිළිතුර - ඔව්! ඔවුන්ගේ ආණ්‍ඩුවෙන් කළේ. ඔවුනුත් ඒකේ කොටස්කාරයොනේ. හැබැයි මගේ පාසලේ ආදර්ශය පාඨය වුණේ, ‘‘තමාට පෙර රට’’ කියන එකයි. මට වෙච්ච දේ හිතුවා නම් මේ අය එනවට මම විරුද්ධ වෙන්න ඕනෑ. හැබැයි මේ අය එකතු කර නොගත්තොත් තුනෙන් දෙකේ බලයෙන් රට කෑලි 9කට කැඩුවට පස්සේ අපිට ඉන්න රටක් තියෙනවද?   


මේ රටේ තියෙන මර්මස්ථාන ටික විදේශ බලවතුන්ට විකුණුවාට පස්සේ මේ රට නිසැකවම ලෙබනනයක් සයිප්‍රසයක් කළාට පස්සේ අපිට රටක් තියෙනවද? අපි මේ මහ ලොකුවට කතා කරන ඊළඟ ඡන්දෙදි භාර ගන්නවා කියන රට ඉතිරි වෙලා තියෙයිද? ඒ නිසා මට හැම දේටම වඩා රට ලොකුයි. ඒ වෙනුවෙන් මට පෞද්ගලිකව සිදුවන ඕනෑම අවාසියක් දරා ගන්න මම සූදානම්. හැබැයි මම ඒ මන්ත්‍රීවරුන්ට දොස් කියන්නේ නෑ. මිනිස්සු හැඟීම්බරයි. මේ අය ජාතික වශයෙන් තියෙන වැදගත්කම සලකා පිළිගන්න කියලා ඉල්ලන්නේ පහුගිය කාලේ ඔවුන් වද හිංසා කරපු වේදිකාවේදී බැණ වැදුණු පිරිස. ඒ අය ගැන යම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අයට ඒ ප්‍රශ්න විසඳගන්න යම් කාලයක් අවශ්‍යයි.   


අපි දන්නවා ලෝකයේ තියෙන පුංචිම සංවිධානය තමයි පවුල. දෙන්නෙක් කසාද බැඳපු අලුත දෙන්න අතර නිතර ගැටුම් ඇති වෙනවා. සංස්කෘතීන් දෙකක හිටපු දෙන්නෙක් එක තැනකට ආවම තමන්ගේ තියෙන ආකල්පවල වෙනස අනුව ගැටුම් ඇති වෙනවා. ඉතින් මේකට යම් කාලයක් යාවි. ඒ කාලය අපි අපේ මන්ත්‍රීවරුන්ට දෙමින් ඒ 16 දෙනා පිළිගන්නා මට්ටමට මනස සාදා ගැනීම පක්ෂ නායකයන්ගේ වගකීමක්. අපි මේ කරුණු දක්වන්නේ ඒ මන්ත්‍රීවරුන් ගැන ද්වේෂයෙන් නොවෙයි. අපේ මේ මන්ත්‍රීවරුන්ට මේ යථාර්ථය පෙන්වන්නයි.   


• ප්‍රශ්නය - ඒ අය යථාර්ථය දකී ද?   


පිළිතුර - ඔබ නිකමට හිතන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එජාපය අවුරුදු 40ක් තිස්සේ දරුණු විදියට විවේචනය කරමින් හිටපු කෙනෙක්. එහෙමයි කියලා මෛත්‍රීපාල මැතිතුමාව එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කරගත්තේ නැත්නම් අදත් එජාපය විපක්ෂයේ. ඉතින් ජයග්‍රහණ සඳහා කැපකිරීම් කළ යුතුයි. කැපකිරීම්වලින් තොර ජයග්‍රහණ නැත. ජයග්‍රහණය නමැති දරුවා උපද්දවා ගැනීමේ විළිරුදාවයි අද ඒකාබද්ධ විපක්ෂයට දරන්න වෙලා තියෙන්නේ. දරුවා ඕනෑම නම් විළිරුදාවත් දරන්නම වෙනවා. කවුරුහරි කියනවා නම් 16 දෙනා නැතිව අපිට මහින්ද මැතිතුමා අගමැති කරන්න පුළුවන් කියලා.... ආණ්ඩුවේ තුනේ දෙක නැති කරන්න පුළුවන් කියලා. ඒ වැඩපිළිවෙළ දැන ගන්න මම කැමැතියි. ඒක ප්‍රායෝගික නම් ඒක ක්‍රියාත්මක කරන්න සම්බන්ධ වෙන්නත් මම කැමතියි.   


• ප්‍රශ්නය - 16 දෙනා ආවට ආවේ නෑ වගේනේ. ඔවුන් ප්‍රවෘත්ති සාකච්ඡා තියන්නේ පක්ෂ මූලස්ථානයේ ‘‘අපේ නායකය ජනාධිපති මෛත්‍රී’’ කියලා කියනවා. ඉතින් කොහොමද ආවා කියලා කියන්නේ?  


පිළිතුර - ඇත්තටම ඔය දේ ඒකාබද්ධය බිහිවුණු අලුතත් ඔය විදියටම අත්වින්දා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරුවත් පක්ෂයෙන් අයින් වුණේ නෑ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වෙලා මහින්ද සුළඟට එකතු වුණෙත් නෑ. මේ හැමෝම පක්ෂ සංවිධායකත්වයෙන් ඉවත් කරන තුරු පක්ෂ සංවිධායකකමේ හිටියා. මධ්‍යම කාරක සභාවේ හිටපු අය ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීම් ඉවර වෙලා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට ගියා. මුල් දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම්වලටත් ගියා. ඒ අය අවුරුදු තුනක් මේ ගමන ඇවිත් ඉවරයි. ඒ අය අවුරුදු තුනකට කලින් හිටපු තැන තමයි මේ 16 දෙනා ඉන්නේ. ඉතින් අපි 16 දෙනාගේ මානසිකත්වය තේරුම් ගන්න ඕනෑ.  


16 දෙනා මහින්ද - මෛත්‍රී කියන පාලමේ මැදට ඇවිත් තියෙනවා. මෛත්‍රී මේ අයගේ ගෙවල්වලට ගිහිල්ලා තේ බොනවා. පක්ෂයේ තනතුරු දෙනවා. ඇමැති තනතුරු ගන්න එන්න කියලා ආරාධනා කරනවා. මේ 16 දෙනා තමන්ගේ පැත්තට දිනා ගන්න ඒ විදියට බුලත් දෙමින් ඉන්නේ. අපි මේ 16 දෙනාට පොල්ලෙන් ගහනවා නම් අවසන් ප්‍රතිඵලය වන්නේ මේ 16 දෙනා නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගිහිල්ලා ආණ්‍ඩුව ශක්තිමත් කිරීමයි. එයින් දුර්වල වෙන්නේ රටයි. එහෙනම් අපි ඒ පැත්තෙන් බුලත් දෙනවා නම් මේ පැත්තෙන් මල් මාලා දාලා හරි මේ පැත්තට එකතු කරගන්න ඕනෑ. ඒක තමයි මේ මොහොතේ රටේ අවශ්‍යතාව. මේ අය කටයුතු කරන ආකාරය අනුව ජනතාව තීරණය කරාවි මේ අයව පාර්ලිමේන්තු යැවිය යුතුද නැද්ද කියලා.  


• ප්‍රශ්නය - මේ 16 දෙනා පිළිගන්න ඒකාබද්ධ විපක්ෂයේ කවුද අකමැති?  


පිළිතුර - මගේ වුවමනාව තියෙන්නේ මේ 54 දෙනාට මේ 16 දෙනා පිළිගන්නා තත්ත්වයට මනස සකස් කරවීමයි. ඒක අභියෝගයක්. ඒ අභියෝගය අපි කරට අරන් ඉන්නේ. ඒ නිසා මේ මොහොතේ කාවහරි නම් කරලා පැත්තකට කරනවා කියන්නේ ඒ සටනට බරපතළ බාධාවක් ඒ නිසා නම් නොකීම වැදගත්.  


• ප්‍රශ්නය - නමුත් දැන් හංගන්න දෙයක් නෑ. පොහොට්ටුව පුපුරලා ඉවරයි.  


පිළිතුර - මෙහෙමයි. ඒකාබද්ධ විපක්ෂයෙ විතරයි වාද විවාද තියෙන්නේ. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුද නැද්ද කියලා අපි ප්‍රසිද්ධියේ වාද කළා. 20 වැනි සංශෝධනයට සහාය දිය යුතුද නැද්ද කියලා අපි ප්‍රසිද්ධියේ වාද කළා. එහෙම වාද කරලා මහින්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තියලා අපි ඒකමතිකව තීන්දුවකට ආවා. නිතර වාද තිබුණත් තීන්දුව ඒකමතිකයි. ඒකම තමයි ඒකාබද්ධ විපක්ෂයේ ශක්තියේ රහස.  
ආණ්ඩුවට පුළුවන්ද ඒ වගේ ඒකමතිකව තීන්දුවක් ගන්න? ජනාධිපති එක පැත්තකට අදිනවා. අගමැති තව පැත්තකට අදිනවා. සම්බන්ධන් තව පැත්තකට අදිනවා. රාජිත, චම්පික, ෆොන්සේකා ඇමැතිවරුන් හිතා ගෙන ඉන්නේ ඒගොල්ලෝ වෙන වෙනම ආණ්‍ඩු කියලා. ඒගොල්ලෝ වෙන වෙන පැතිවලට අදිනවා. මේක එකම අච්චාරුවක්. නමුත් ඒකාබද්ධය තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක තිබිය යුතු හරවත් අභ්‍යන්තර සංවාදය තියෙනවා.  
‘‘එසේය මහරජ’’ කියලා මහින්ද මහත්තයා කියූ පමණින් අපි කිසි දෙයක් පිළිගන්නේ නෑ. අපි එතුමත් එක්ක වාද විවාද කරලා හරි දේ මොකද්ද කියලා බහුතරය පිළිගන්න දේ තමයි අපි පිළිගන්නේ.  


• ප්‍රශ්නය - පොදුජන පෙරමුණේ නායකත්වය ළඟදීම මහින්ද රාජපක්ෂට භාර දෙනවා කියලා වාර්තා වුණා?  


පිළිතුර - ඒක මට අදාළ නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒකාබද්ධ විපක්ෂයේ තියෙන විශාලතම සහෝදර පක්ෂය තමයි පොදුජන පෙරමුණ. එහි නායකයා කවුදැයි තීරණය කළ යුත්තේ පොදුජන පෙරමුණේ අයමයි. නායකයා කවුරු වුණත් අපිට ප්‍රශ්නයක් නෑ.  

 

ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන මැතිවරණවලට වියදම් කිරීමේ සංස්කෘතියක් තියෙනවා. මේ සංස්කෘතිය මම දැක්කා. 2009 දී තමයි මගේ පළමු මැතිවරණය ආවේ. මම දැක්කා කොච්චර සල්ලි එනවද? සල්ලි ගත්තට පස්සේ දේශපාලනඥයා ජාවාරම්කරුවාගේ ග්‍රහණයට හසු වෙනවා මම දැක්කා.


• ප්‍රශ්නය - බැඳුම්කරේ සල්ලි කාගේ කරේද කියන ප්‍රශ්නය තියෙනවා. ඔබටත් ඒ සල්ලි ලැබුණ ද?  


පිළිතුර - ඇත්තෙන්ම මුදල් නොලැබුණ බවට එවැනි දේවල් නොකරන බවට පාරම්බාන වීරයෝ තමයි මේ මුදල් ගත් බවට අධිකරණය ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් වී තිබෙන්නේ. ඒ වගේම ‘‘මම සල්ලි ගත්තේ නෑ’’ කියල කටින් කිව්වම ඒකත් බොරුවක් කියලයි මිනිස්සු හිතන්නේ. දේශපාලකයාගේ කීර්ති නාමය රැකගත යුතු නිසා මම ඒකට අපූරු විසඳුමක් ලබා දුන්නා. මම තමයි ප්‍රථම වතාවට දිවුරුම් ප්‍රකාශයකින් ‘‘ඇලෝසියස්ගෙන් කිසිම මුදලක් නොගත්ත බවත්, ඒ විතරක් නොවෙයි ඔහු අධ්‍යක්ෂ ධුර දරන වෙනත් සමාගමකින් එහි නිලධාරියෙකුගෙන් සේවකයකුගෙන් මුදල් නොගත් බවට පරිපූර්ණව රටට කිව්වේ මම. ඒ වගේම තව විශාල පිරිසක් දිවුරුම් ප්‍රකාශ දීලා තියෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්.  


• ප්‍රශ්නය - ගත්ත අය කියන්නේ ඒ මුදල් මැතිවරණ ව්‍යාපාරයට යෙදෙව්වා කියලා. ඡන්දයකට එහෙම සල්ලි ගන්න එක සාධාරණ ද?  


පිළිතුර - ඇත්තෙන්ම 2015 මාර්තු මාසය වෙනකොට පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනය මහ බැංකු බැඳුම්කර වංචාව කරලා කියලා රටට හෙළි වෙලා තිබුණේ. ඒ අනුව ඒ මුදල් ගැනීම වැරදියි. හොරකම් කළ මුදල් ලබාගැනීම හොරකම් කළ භාණ්ඩ ළඟ තබා ගැනීම නීතිය හැටියට වරදක්.  


• ප්‍රශ්නය - මගේ ප්‍රශ්නය ඡන්දෙට සල්ලි ගැනීම වරදක් නොවේද කියන එකයි?  


පිළිතුර - උත්තරය වරදක් කියන එක.  


• ප්‍රශ්නය - එහෙමනම් මුදල් ඉල්ලීම? මොකද ඔබ එක පාරක් එහෙම සල්ලි ඉල්ලුවා.  


පිළිතුර - ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන මැතිවරණවලට වියදම් කිරීමේ සංස්කෘතියක් තියෙනවා. මේ සංස්කෘතිය මම දැක්කා. 2009 දී තමයි මගේ පළමු මැතිවරණය ආවේ. මම දැක්කා කොච්චර සල්ලි එනවද? සල්ලි ගත්තට පස්සේ දේශපාලනඥයා ජාවාරම්කරුවාගේ ග්‍රහණයට හසු වෙනවා මම දැක්කා.  


මම ඒකට විසඳුම් 4ක් ඉදිරිපත් කළා. මම කිව්ව දේශපාලකයාගේ ඡන්ද ව්‍යාපාරයේ බරපැන දැරිය යුත්තේ ඡන්ද දායකයා කියලා. එතකොට මුදලාලිලාට වගනොකියන ජනතාවට වග කියන ජනතා සේවකයෙක් බිහි වෙනවා. ඒ වගේම මම කිව්වා කාගෙන්හරි විශාල මුදලක් ලැබුණොත් එය හෙළි කළ යුතුයි කියලා. ඒ අනුව මට රුපියල් දහ දහට වැඩියෙන් මුදල් දීපු අයගෙ නම් මම ප්‍රසිද්ධ කළා. එතකොට මම ඒ අයට විශේෂ වරප්‍රසාද දෙනවද කියලා ජනතාවට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම වත්කම් බැරකම් ප්‍රකාශය ඉදිරිපත් කළා. ඊළඟට මම මගේ සමස්ත මැතිවරණ අයවැය විගණනය කළ හැකි පරිදි සාක්ෂි සහිතව ඉදිරිපත් කළා. ලංකා ඉතිහාසයේ විතරක් නොවෙයි ලෝක ඉතිහාසයේ එහෙම අනාවරණයක් කළේ‍ මම විතරයි.

 

 

 

 

සාකච්ඡා කළේ - 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්