අධිකරණ තීන්දුව අනුව දැන් සියල්ල සිදුවිය යුතුයි


එක්සත් ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක

නවීන් දිසානායක

රටේ සිදුවෙන්නේ කුමක්ද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජාතික පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා සමග කළ සාකච්ඡාවකි.   


ප්‍රශ්නය:- අධිකරණ තීන්දුව ගැන සතුටුද?  


පිළිතුර:- අනිවා‌‌ර්‌‌යෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි, ව්‍යවස්ථා විරෝධි, අත්තනෝමතික බල ලෝභී කුමන්ත්‍රණයක් ගරු අධිකරණය විසින් පරාජයට පත් කරලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී අභිලාසයන්ගෙන් යුත් ජනතාව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක්. ඒ වගේම තමයි අපි කිව යුතුයි... මේ තීන්දුව මෙයාකාරයෙන්ම ලැබෙන බව ප්‍රජාතන්ත්‍රවාදයෙ නාමයෙන් අපි බලාපොරොත්තු වුණා කියන එක. දැන් ඒ අධිකරණ තීන්දුවට අනුව සියල්ල විය යුතුයි.  


ප්‍රශ්නය:- ඒ නිසාද හදිසියේම පාර්ල්මේන්තුවේදී රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගත්තේ?  


පිළිතුර:- හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117 කින් සම්මත වුණා. එහෙම වුණොත් නැවතත් ඔක්තෝබර් 26 වැනිදට පෙර තිබූ තත්ත්වය ඇති කිරීමට ජනාධිපතිවරයාට යුතුකමක් තියෙනවා.   


ප්‍රශ්නය:- නොවැම්බර් 9 වැනිද‌ා පාර්ලිමේන්තුව විසුරුවන කොට තිබුණේ මහින්ද රාජපක්ෂ අගමැතිව හිටපු ආණ්ඩුවක්. එතකොට කොහොමද ඔක්තෝබර් 26 වෙනකොට තිබුණ තත්ත්වයට යන්නේ?   


පිළිතුර:- අපි කියන්නේ ඔක්තෝබර් 26 වැනිද‌ා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරයෙන් ඉවත් කිරීමේ කටයුත්ත නීත්‍යනුකූල නෑ කියන කාරණය තමයි අපේ මතය. ඒ සම්බන්ධයෙන් දැන් උසාවියට ගිහින් තියෙනවා. නමුත් පැහැදිලිවම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නොවෙයි කියන තීන්දුව ශ්‍රේෂ්ඨකරණයෙන් ලැබුණට පසුව නැවතත් බහුතරය තියෙන පුද්ගලයා පත් කිරීමට ජනාධිපතිවරයට අවස්ථාවක් තියෙනවා.   


ප්‍රශ්නය:-ඔක්තෝබර් 26 න් පස්සේ රටේ අගමැතිවරයා මහින්ද රාජපක්ෂ කියලා කථානායකවරයත් පිළිගත්තා. ඒ අනුව ඔබ ගේන තර්කය වැරදියි?

   
පිළිතුර:- ඇත්තම කිව්වොත් මහින්ද රාජපක්ෂ අගමැති කියලා කථානායකතුමා පිළිගත්තේ නැහැ. එතුමාට කාර්යාල පහසුකම් ලබා දුන්නම කථානායකතුමා පැහැදිලිව හිටියේ බහුතරය පෙන්වන කෙනා තමයි අගමැති කියන ස්ථාවරයේ. විශ්වාසභංග දෙකකින්ම අපි පෙන්නුවා මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නෑ කියලා. ඉතින් විශ්වාසභංගයක් සම්මත වුණාට පසුව අගමැතිවරයටයි ඇමැති මණ්ඩලයටයි අයිතියක් නෑ. ඔවුන් ශුන්‍ය වෙනවා. ඒ විදියට තමයි රටේ නීතිය තියෙන්නේ. මේ කට්ටිය ඒක නොපිළිගෙන දිගටම කටයුතු කිරීම ගැන මගේ කනගාටුව මම ප්‍රකාශ කරනවා.   


ප්‍රශ්නය:- ඔබ ඔය කියන විශ්වාසභංග යෝජනා දෙකම සම්මත කරගත්තේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලා ප්‍රජාතන්ත්‍ර විරෝධි විදියටයි?   


පිළිතුර:- කිසිසේත්ම නෑ. අපි සාමාන්‍ය විදියට ඡන්දයක් ඉල්ලුවා. ඒකට අපිට අවස්ථාව ලබා දුන්නේ නෑ. ඊට පස්සේ සුමන්තිරන් මන්ත්‍රීතුමා නැගිටලා ස්ථාවර නියෝග අත්හිටුවලා කට හඬින් ඡන්දයක් තිබ්බා. ඒ වෙලාවේ වඩාත්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තමයි ඒක. කතානායකතුමා හිටියේ ඒ ස්ථාවරයේ. එතුමා පාර්ලිමේන්තුවේ වැඩ කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කියලා නිරන්තරයෙන්ම ඉල්ලුවා. ඊළඟ දවසේ මොකක්ද වුණේ කියලා ඔබතුමාත් දන්නවා. මගේ දේශපාලන ජීවිතයේ අශෝභනම දවස එදයි. එතැනදිත් කථානායකතුමා සැලුණේ නෑ. එතුමා එතැනදිත් ඡන්දයක් තිබ්බා. ද‌ාමරිකකම්වලටයි, මැර බලයටයි ප්‍රජාතන්ත්‍රවාදයේ හිස නැවිය යුතු නෑ. මමත් ඉන්නේ ඒ ස්ථාවරයේ. ඒ ස්ථාවරයේ ඉඳගෙන අපි කටයුතු කරලා තියෙන නිසා අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලා තියෙනවා.   

 

 19 වැනි සංශෝධනය අපි ගෙනාවේ. එකක් තමයි වසරකට පස්සේ පාර්ලිමේන්තුව විසුරවීමේ විධායකයකට තිබුණු බලය අපි අවුරුදු හතරාමාරක් කළා. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා. ‘රැගල්’ කියලා.


ප්‍රශ්නය:- කථානායකවරයත් වරින්වර තමන්ගේ ස්ථාවරය වෙනස් කිරීම මේ දේශපාලන වියවුලට හේතුවක්?   


පිළිතුර:- මූලික දේ තමයි මේ කට්ටියට බහුතරය නැතිවීම. බහුතරය නැතිව නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කරනවා. ඇත්ත වශයෙන්ම බහුතරය තියෙනවා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුර යන්නේ නැහැනේ. බහුතරයක් තියෙනවා නම් අපිටත් ඒකට විරුද්ධ වෙන්න සද‌ාචාරවත් අයිතියක් නෑ. මේ ගොල්ලෝ බලාපොරාත්තු වුණ සියලුම දේවල් වුණේ නෑ.   


ප්‍රශ්නය:- මොනවද ඒ බලාපොරොත්තු වුණ දේවල්?   


පිළිතුර:- ඒ ගොල්ලෝ හිතුවා අපේ පක්ෂයෙන් කොටසක් කැඩිලා එයි. අපේ පක්ෂය දෙකට කැඩෙයි. එන අයට ඇමැතිකම් දීලා 113 පහසුවෙන්ම හද‌ාගන්න පුළුවන් කියලා විශ්වාසයක් ජනාධිපතිතුමාටයි එතුමාගේ ගෝලයන්ටයි තිබුණා. ඇත්ත වශයෙන්ම ඒ ලණුව මහින්ද රාජපක්ෂ මැතිතුමත් කෑවා. 113 හද‌ාගන්න බැරිවීම තමයි මූලිකම ප්‍රශ්නය වුණේ.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රි කිව්වා මහින්ද රාජපක්ෂට 113 හද‌ාගන්න බැරි වුණේ මන්ත්‍රීවරුන්ගේ මිල ඉහළ ගිය නිසා කියලා?   


පිළිතුර:- ඒක එතුමාගේ මතය. ජනාධිපති කෙනෙක් එහෙම මිල ගණන් කතා කරන එකත් හාස්‍යජනකයි. සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ජනාධිපති කෙනෙක් කටයුතු කරනවා නම් මන්ත්‍රීවරුන් මිලට ගන්න එකයි ඒ ගැන කතා කරන එකයි ඇත්තටම වැරදියි. මිල ගණන් ගැන ඇත්තටම අපි කතා කරන්නවත් අවශ්‍ය නෑ. මහජන ඡන්දයෙන් ඇවිල්ලා ඉන්න මන්ත්‍රීවරයකු මිලට ගන්න හදනවා නම් ඒක බරපතළ තත්ත්වයක්. මිල වැඩිවීම හෝ එහෙම මිල වැඩි වුණේ ඇයි කියන එක නොවෙයි අපි කල්පනා කළ යුත්තේ. එහෙම හිතන එකත් වැරදියි. එහෙම තත්ත්වයක් ඇති වුණා නම් ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම වැටිලා කියලා තමයි අපිට කියන්න වෙන්නේ. 

 
ප්‍රශ්නය:- ඔබේ පක්ෂයේ වසන්ත සේනානායක මන්ත්‍රීවරයගේ ක්‍රියා කලාපයෙන් එද‌‌ා තිබුණු තත්ත්වය හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඇත්තටම අද ඔහු කොහේද ඉන්නේ?   


පිළිතුර:- ඔහු දැන් අපිත් එක්ක ඉන්නේ. එක් එක් පුද්ගලයාගේ ඕනෑ එපාකම් ආශාවන් ප්‍රශ්න මතවාද මේ වගේ වෙලාවකදී මතුවෙන්න පුළුවන්. වසන්ත දිගටම කිව්වේ පක්ෂයෙන් එයාට අසාධාරණයක් වුණා කියලයි. බාග වෙලාවට ඒ වේදනාවත් එක්ක එයා තීන්දු තීරණ ගන්න ඇති. හැබැයි ඉතින් එයා පෙරළීම් දෙක තුනකට ලක් වුණත් අන්තිමට හරි තීරණය අරගෙන පක්ෂයට ඇවිත් තියෙනවා. 

 
ප්‍රශ්නය:- මේ මොහොත වෙන විට විධායකය. ව්‍යවස්ථාද‌ායකය හා අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා. මේ තත්ත්වය ඇතිවෙන්න ඔබේ පක්ෂයේ ක්‍රියාකාරකම් බලපෑවා?   


පිළිතුර:- හරි එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒ තත්ත්වය ඇති කරපු පුද්ගලයාම ඒ තත්ත්වය නැති කරන්නත් කටයුතු කළ යුතුයි. බහුතරයක් තිබුණ ආණ්ඩුවක් පෙරළලා බහුතරයක් නැති පුද්ගලයකුට ආණ්ඩුව දීමෙන් විධායකය කටයුතු කිරීම නිසා එක පැත්තකින් පාර්ලිමේන්තුව හා අධිකරණය කෙළින් ක්‍රියා කිරීම නිසා මේ අර්බුදය නිර්මාණයවෙලා තියෙනවා. නමුත් අර්බුදය ඇතිවූ දවසේ ඉඳලම කරපු විදියට මේ ආයතන මර්දනය කිරීමෙන් මේ ප්‍රශ්නයට උත්තරයක් ලැබෙන්නේ නෑ. පාර්ලිමේන්තුව පැහැදිලිවම ස්වාධීනව කටයුතු කළා. අධිකරණයත් එහෙමයි. පුද්ගලයන් නොවෙයි ඒ අවස්ථාවේ පුද්ගලයන් හිටියට ඒ ගොල්ලෝ ශක්තිමත්ව ක්‍රියා කළා. ඒක රටට ඉතාම හොඳ යහපත් දෙයක් හැටියට මම දකිනවා. ඔය වගේ දේවල් මම මගේ ජීවිතයේ අත්දැකලා තියෙනවා. විශේෂයෙන්ම 1991 දී ආපු දෝෂාභියෝගයේදී. ඒ වෙලාවෙත් මන්ත්‍රීවරුන් බහුතරයක් දෝෂාභියෝගයට අත්සන් කළා. නමුත් ඊට පස්සේ ඔවුන් අත්සන් ඉවත්කර ගත්තා. ඒ දවසේ ඉඳලම මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි යම්කිසි ලේඛනයක් අත්සන් කරලා කොහොමද ඒක ඉල්ලා අස්කර ගන්නේ කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අත්සන් කරන්න කලින් කියවන්නේ නැද්ද? පාර්ලිමේන්තු රාමුව තුළ අපේ රටේ එහෙම දේවල් වෙලා තියෙනවා. අදත් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අපි කටයුතු කරනවා කියලා කිව්වම අපි තාම දියුණු වූ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විඳින්නේ නෑ. බාග වෙලාවට තව අවුරුදු 50 ක් 60 ක් ගියාම ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා ශක්තිමත් වෙයි. මේ අවස්ථාව වෙනකොටත් දකුණු ආසියාවේ අනෙකුත් රටවල් එක්ක සංසන්දනය කරන කොට අපි ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගොඩක් ඉහළ තැනක ඉන්නේ. මේ රටේ සර්වජන ඡන්ද අයිතිය ජනතාවට තියෙනවා. පරමාධිපත්‍ය තියෙන්නේ ජනතාවගේ අතේ. ඒ පරමාධිපත්‍ය ජනතාව පාර්ලිමේන්තුවට ලබාදෙනවා අවුරුදු පහකට. ජනතාවගේ ඡන්දය වලංගුයි අවුරුදු පහකට. ඒ අවුරුදු පහට යම් ස්ථාවර ආණ්ඩුවක් තියෙනවා නම් සමහර විට ඒ ආණ්ඩුව ජනප්‍රිය වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. නමුත් ඒක නැවත මනින්නේ අවුරුදු පහකින්. විශේෂ හේතුවකින් තොරව ජනාධිපතිතුමාට සදාචාර බලයක් නෑ ඒ ආණ්ඩුව පෙරළන්න.   


ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වත් 2000 දී රනිල් වික්‍රමසිංහ චන්ද්‍රිකා ආණ්ඩුව බිඳ ද‌ාන්න එස්.බී. ඇතුළු පිරිසක් යූඑන්පියට ගත්තා?   


පිළිතුර:- මම ඒකයි කියන්නේ ඒ ආණ්ඩුවට පැහැදිලිවම බහුතරය නැති වුණා. ඒ නිසා චන්ද්‍රිකා ජනාධිපතිනියට සිදුවුණා ආණ්ඩුව විසුරුවන්න.   


ප්‍රශ්නය:- ඔබම කිව්වා බලයට පත්වෙන ආණ්ඩුවකට වසර 5 ක් වලංගුයි කියලා. ඒත් 2000 දී?   


පිළිතුර:- ඒකම තමයි මගේ පොයින්ට් එක. අපිට මෙතන බහුතරය නැතිවෙලා නෑ. ඒක නැති කරන්න උත්සාහ කළා. ඒත් ඒක නැති වුණේ නෑ. බහුතරය තියෙද්දී විසුරුවීම සාධාරණ නෑ. මොකද 19 වැනි සංශෝධනය අපි ගෙනාවේ. එකක් තමයි වසරකට පස්සේ පාර්ලිමේන්තුව විසුරුවීමේ විධායකයකට තිබුණු බලය අපි අවුරුදු හතරාමාරක් කළා. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා. ‘රැගල්’ කියලා. අවශ්‍ය බහුතරය පාර්ලිමේන්තුවට හද‌ාගන්න. දැන් බැලුවොත් බහුතරය කියන්නේ මොකක්ද? මේ ක්‍රමය තුළ 113 ක් කාටවත් ගන්න පුළුවන්ද? දැන් අපිට 117 ක් ඉන්නවා. බහුතරය අපිට තියෙනවා. නොම්බර දිහා බලන්නේ නැතිව 113 හද‌ාගන්නේ නැතිව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ හානිය කළේ. මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නෑ 113 හද‌ාගෙන. ඒක කුමන්ත්‍රණයක් කියලා කියන්න පුළුවන්. සද‌ාචාරාත්මක නෑ කියලා කියන්න පුළුවන්. නමුත් 113 පෙන්වලා ආණ්ඩුවක් හදනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ. එහෙම නැතිව මෙතැන ලොකු වැරැද්දක් කළේ. රටටත් ලොකු වැරැද්දක් කළේ. ආර්ථිකයටත් ලොකු වැරැද්දක් කළේ. දේශපාලන සද‌ාචාරයටත් ලොකු වැරැද්දක් කළේ.   


ප්‍රශ්නය:- ඔය ඔබ කියන 117 තුළ ඉන්නවා දෙමළ ජාතික සන්ධානය. ඔවුන් පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය. අද ඔවුන් ආණ්ඩුවේම කොටසක් වෙලා. 

 
පිළිතුර:- ඇත්තටම ඔවුන් විපක්ෂ නායකද කියලා අපි යළිත් වරක් සලකා බැලිය යුතුයි. නමුත් දැන් ඔවුන් ආණ්ඩුවට අලුතෙන් සහයෝගය දෙන නිසා ඒ ප්‍රශ්නයට මට පිළිතුරක් දෙන්න අමාරුයි. කොහොම වුණත් ආණ්ඩුවට සහයෝගය දෙනවා නම් පැහැදිලිවම විපක්ෂ නායක තනතුර වෙනත් පක්ෂයකට යා යුතුයි.   


ප්‍රශ්නය:- ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔයතරම් විශ්වාසයි නම් ඇයි තානාපති කාර්යාලවල පිහිට පැතුවේ? අර්බුදය සංකීර්ණ වෙන්න ඒ බලපෑම් බලපෑවා.   


පිළිතුර:- මෙහෙමයි. අපිට අපේ මතය ප්‍රකාශ කරන්න ප්‍රචලිත කරන්න ප්‍රජාතන්ත්‍රවාදය තුළ කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. වි​ෙශ්ෂයෙන්ම මෛත්‍රිපාල සිරිසේන අවලංගු වූ විදේශ ඇමැතිතුමා අවලංගු වූ අගමැතිතුමා මේ සියලු දෙනාටම අවස්ථාව තියෙනවා තමන්ගේ මතය ලෝකයට කියලා ජාත්‍යන්තර ප්‍රජාව දිනාගන්න. ඒ ගොල්ලන්ට ඒක කරන්න බැරි වුණා. අපිට ඒක කරන්න පුළුවන් වුණා. සාධාරණය හා යුක්තිය තිබුණේ අපේ පැත්තට. ජාත්‍යන්තරයට යටවුණා කියන මතය පිළිගන්න බෑ. මේ විදියෙ ව්‍යවස්ථාමය අර්බුදයක් ඇති වුණාට පස්සේ ජයග්‍රහණයට ජාත්‍යන්තරයත් සාධකයක් වෙනවා. ඒක නෑ කියන්න බෑ.   

 

  • නොම්බර දිහා බලන්නේ නැතිව 113 හද‌ාගන්නේ නැතිව තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ හානිය කළේ. මට පෞද්ගලිකව ප්‍රශ්නයක් නෑ 113 හද‌ාගෙන ඒක කුමන්ත්‍රණයක් කියලා කියන්න පුළුවන්. සද‌ාචාරාත්මක නෑ කියලා කියන්න පුළුවන්. නමුත් 113 පෙන්වලා ආණ්ඩුවක් හදනවා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.
  • ජනාධිපති කෙනෙක් එහෙම මිල ගණන් කතා කරන එකත් හාස්‍යජනකයි. සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ජනාධිපති කෙනෙක් කටයුතු කරනවා නම් මන්ත්‍රීවරුන් මිලට ගන්න එකයි ඒ ගැන කතා කරන එකයි ඇත්තටම වැරදියි.


ප්‍රශ්නය:- රනිල් වික්‍රමසිංහට ඔය කියන ජාත්‍යන්තර සහයෝගය තියෙන්නේ ඕනෑම ජාතික සම්පතක් කුණු කොල්ලයට ඉල්ලන ගානට දෙන්න ඔහු සූදානම් නිසා කියලත් චෝදනාවක් තියෙනවා.   


පිළිතුර:- නෑ ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එහෙම කුණු කොල්ලයට කිසිම සම්පතක් දීලා නෑ. ඇත්ත වශයෙන්ම අපිට ඔය චෝදනාව ප්‍රබලව එල්ල කළේ හම්බන්තොට වරාය සම්බන්ධවයි. හම්බන්තොට ප්‍රශ්නය වෙනකොට හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති කෙනෙක්. කිසිම රාජ්‍ය දේපොලක් විකුණන්න අපි කටයුතු කරලා නෑ. ඔය අපිට ගහන්න හදන ලේබලයක්. ඔය ලේබල්වලට උත්තර දෙන්න අපේ පක්ෂයේ ප්‍රචාරක අංශය මීට වඩා ශක්තිමත් විය යුතුයි. අපේ මතය ජනතාවට ඒත්තු ගැන්විය යුතුයි. එහෙම කළොත් බුද්ධිමත් ජනතාව අපේ මතය ජයග්‍රහණය කරවාවි. 

 
ප්‍රශ්නය:- 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහට අගමැතිකම දෙන්නේ නෑ කියලා ජනාධිපති මෛත්‍රි කිව්වා?   


පිළිතුර:- ඒකත් ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රකාශයක්. 225 ම එක පැත්තක ඉන්නවා නම් එතුමට තනි තීරණයක් ගන්න බෑ. මේක ඇත්ත වශයෙන්ම විධායක බලතල, පාර්ලිමේන්තු බලතල හා අධිකරණ බලතල කියන්නේ බලතල වර්ග තුනක්. මේ බලතල මිශ්‍රවෙලා තමයි රට ඉස්සරහට යන්නේ. ඒ සහජීවනය ඒ ප්‍රතිපත්ති යම් අවස්ථාවකදී ගැටුණත් ඒ ආයතන පාලනය කරන ඒ නායකත්වය දෙන චරිත සාකච්ඡා මාර්ගයෙන් එකඟතාවකට ආ යුතුයි. කරු ජයසූරිය මැතිතුමාට පොහොට්ටුව පැත්තෙන් දැඩි විරෝධයක් තිබුණත් එතුමා හා ජනාධිපතිතුමා අතර හොඳ සම්බන්ධතාවක් තවමත් තියෙනවා. මම දන්න විදියට සතියකට තුන් හතර වතාවක් දෙන්නා කතා කරනවා. ප්‍රශ්න තිබුණත් කථානායකතුමා හිටියෙ වෙන මතයක. ජනාධිපතිතුමා හිටිය මතය එතුමා පිළිගත්තේ නෑ. නමුත් ඒ පුද්ගලයන් දෙදෙනාම කතා කරලා මේ ප්‍රශ්නය විසඳන්න තවමත් උත්සාහ කරනවා. එවැනි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒ නිසයි මම කියන්නේ කල් ගියත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අපි අපේ ජයග්‍රහණය ලැබිය යුතුයි කියලයි මම කියන්නේ. එහෙම නොවුණොත් අපේ රටට විශාල හානියක් වෙන්නේ.   


ප්‍රශ්නය:- ජනාධිපති මෛත්‍රිට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මේ තරම්ම වහකදුරු වෙන්න හේතුව වශයෙන් ඔබ හිතන්නේ?   


පිළිතුර:- ඇත්ත වශයෙන් මම හිතන්නේ එතුමාගේ මනස විකෘති කළා. එතුමාට නයි - සර්පයෝ ටිකක් වටවෙලා විශාල වශයෙන් විෂ පෙව්වා, රනිල් වික්‍රමසිංහ මහත්තයා සම්බන්ධයෙන්.   


ප්‍රශ්නය:- කවුද ඒ අය. යූඑන්පීයේම කට්ටියක්ද? 

 
පිළිතුර:- මම අද නම් ගම් කියන්න යන්නේ නෑ. මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා ඒ වටවෙලා හිටපු කට්ටිය රටේ ජනතාව දන්නවා ඒ අය කවුද කියලා. ඒ අය නායකයාට ළංවුණ හැටියේ ඒ නායකයා විනාශ කරලා තමයි යන්නේ.   


ප්‍රශ්නය:- කථානායක කරුට පහළොස් වතාවක් අගමැතිකම දෙන්න කතා කළා කියලා කියනවා. ඒ ඔබේ මාමණ්ඩි. ඔබ දන්නවද එහෙම කතා කළා කියලා.   


පිළිතුර:- විශ්වාසභංගයට කලින් කතා කළා කියලා දන්නවා. ඊට වඩා දෙයක් මම දන්නේ නැහැ.   


ප්‍රශ්නය:- එහෙම දන්නවා නම් පක්ෂය ඇතුළේ කතා කරලා මේ පිපුරුම වළක්වා ගන්න තිබුණා?   


පිළිතුර:- අපේ පක්ෂයේ අපි දිගටම හිටියේ අගමැතිවරයා පක්ෂයේ නායකයා විය යුතුයි කියන ස්ථාවරයේ, නමුත් පක්ෂ නායකත්වයෙන් යෝජනාවක් ඇවිත් යම්කිසි පුද්ගලයකුට අගමැතිකම දෙනවා නම් එතකොට ඒ නම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාවක් සම්මත විය යුතුයි. එහෙම නැත්නම් ඒක පක්ෂයේ ඇතුළේ කුමන්ත්‍රණයක් වෙනවා. ජනාධිපතිතුමා ලිපියක් එව්වානම් කබීර් හෂීම් අපේ පක්ෂයේ සභාපතිතුමාට.... ‘‘මෙහෙම ගැටලුවක් තියෙනවා’’ වෙන කෙනෙක්ගේ නමක් යෝජනා කරන්න’’ කියලා බාග වෙලාවට අපිටත් කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළේ කතා කරන්න තිබුණා. එහෙම නැතිව නිල නොවන විදියට පුද්ගලයන්ට කතා කරලා ‘‘ඔයා අගමැතිකම ගන්න’’ කියලා කියනකොට ඒක හරියට කඩයක් පාලනය කරනවා වගේ. ඕනෑම දෙයක් විය යුත්තේ නිසි ක්‍රම වේදයකට.   


ප්‍රශ්නය:- ඔබ මස්කෙළියේ දී කිව්වා ‘රනිල් වික්‍රමසිංහට ඇතුළේ ගේම් දිනන්න පුළුවන්. නමුත් පිට ගේම් දින්න බෑ’ කියලා.   


පිළිතුර:- මෙහෙමයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අර්බුදය කළමනාකරණය කරන විදිය ගත්තොත් සති පහක් හයක් තිස්සේ මමත් එතුමාව නිරීක්ෂණය කරනවා. එතුමා අතිදක්ෂයෙක් ඒකට. එතුමා ඉතා සන්සුන්ව කලබලයකින් තොරව මනසයි මොළයයි එකට කළමනාකරණය කරලා ප්‍රශ්නය අතට අරගෙන පක්ෂයේ නායකයන් හා පක්ෂයේ සෙසු නායකයන් සමග එක්වෙලා හොඳට ප්‍රශ්නය කළමනාකරණය කරලා තියෙනවා. ඒකට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන බලවේග ඔක්කොම එකතු වුණා. මේක අපේ පක්ෂයේ ප්‍රශ්නයක් විතරක් නොවෙයි. රටේ ප්‍රශ්නයක්. මම පක්ෂයේ ජාතික සංවිධායක හැටියට.... දැනුත් මම මේ ඔබ සමග සම්මුඛ සාකච්ඡාව කරන්නේ අපේ පක්ෂයේ මූලස්ථානයේ සිරිකොතේදී. මට ඉතාම පැහැදිලිව කියන්න පුළුවන් අපේ ගම් මට්ටම පුදුමාකාර විදියට අවදිවෙලා තියෙනවා. ඒක එතුමා හොඳට කළා.   


ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය වුණේ ඇතුළේ ගේම් ගොඩ දැම්මට පිට ගේම් බැහැ කියලා ඔබ කරපු ප්‍රකාශය ගැනයි?.   


පිළිතුර:- ඒ කියන්නේ මෙතැන පිට ගේම් කියලා කියන්නේ ජනතා බලවේග අවදි කිරීමයි. ඒ බලවේගවලට නායකත්වය ලබා දීම ගැනයි. මම විශේෂයෙන්ම කතා කරන්නේ මේ අවුරුදු තුන ගැනයි. ඒ ගැන මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපේ පාක්ෂිකයන් බලා ගන්නේ නෑ. පාක්ෂිකයන්ට හිත් වේදනා ඇති වුණා. ඔවුන් කලකිරුණා. මම බලන්නේ ඒ ගැන. නැවත ආණ්ඩුවක් පිහිටුවන්න අපට පුළුවනි. එහෙම වුණොත් ඒ සාධක දිහා අපි බැලිය යුතුයි. එහෙම නැත්නම් අපිට ඉදිරියට යන්න බෑ.  


ප්‍රශ්නය:- මේ මොහොතේදී අගමැතිකමට ඔබ ඔබේ සුදුසුකම් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැද්ද?  


පිළිතුර:- මේ අවස්ථාවේ එහෙම කරන එක හොඳ නෑ. පක්ෂය ඇතුළෙ විනයක් තිබිය යුතුයි. ඉතාම සතුටින් කියන්නේ පක්ෂයෙ දෙවැනි පෙළ නායකත්වය ඉතාම හොඳින් පක්ෂය ආරක්ෂා කළා. ඒක දිගටම පවත්වාගෙන යා යුතුයි.

 

 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්