19 සම්මත කරන්න මේ ඔක්කොම අත ඉස්සුවා


සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් 

  • අපේ විරෝධය පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තුවෙන් පිට පළ කරන්න අපි සූද‌ානමින් සිටින්නේ.

තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවකට එරෙහිව දේශපාලන පොරපිටිය සටන් වදින්නේ කෙසේ ද? මේ ඒ ගැන විමසමින් සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සමග කළ සාකච්ඡාවකි.  

 

ප්‍රශ්නය:- රටේ අලුත් දේශපාලන තත්ත්වය ගැන ඔබේ අදහස? 
 
පිළිතුර:- රටේ දේශපාලන තත්ත්වය අලුත් කියලා කියන්න බෑනේ. පොහොට්ටුව නියෝජනය කරන්නේ අවුරුදු විසිගාණක්. 94 ඉඳන්ම වැඩිම කාලයක් මේ රට පාලනය කරපු කණ්ඩායමක්. පරණ හැඟීම් ආකල්ප තියෙන ඇමැතිකම් කාලයක් පුරා කරපු අවුරුදු 20 ක රටේ වැඩිම ණය බරක් ඇති කරපු කණ්ඩායමක් තමයි රට පාලනය කරන්නේ. ඒ නිසා අලුත් කියලා දෙයක් නෑ. ඒ කාලයේ තිබුණ අර්බුද අලුත් වටයකින් ආරම්භ වෙලා. ඒක තමයි අලුත් තත්ත්වය.  
 
ප්‍රශ්නය:- පාස්කු කොමිසමෙන් හා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම්වලින් හෙළිවන කරුණු දිහා බැලුවම ඇත්තටම ඔබලාගෙ කාලයේ ආණ්ඩුවක් තිබුණ ද කියලා ඔබලාටම හිතෙන්නේ නැද්ද?  
 
පිළිතුර:- මම හිතන්නේ ඒ කාල පරිච්ඡේදය තුළ එක පැත්තකින් යම් අඩුපාඩුවක් වෙන්න ඇති. ඒකෙන් ආණ්ඩුවක් තිබුණේ නැහැ කියලා කියන්න බෑ. ජනාධිපතිවරයයි අගමැතිවරයයි අතර ඇතිවුණ අර්බුදය මත ඒ ආණ්ඩුවම ඒ ක්‍රමවේදයම අසාර්ථකයි කියලා කියන්න බෑ. එකක් මතක තියාගන්න ඕනෑ. 19 වැනි සංශෝධනය සම්මත කරන්න මේ ඔක්කොමලා අත ඉස්සුවා. ඒක එක්සත් ජාතික පක්ෂය සම්මත කළ එකක්​ නොවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි ඒකාබද්ධ විපක්ෂයි හැම දේශපාලන පක්ෂයක්මයි. එක පුද්ගලයෙක් හැර ඔක්කොම අය අත ඉස්සුවා. ඒ නිසා එතැන සාමුහික වගකීමක් තියෙනවා. ඒ නිසා 19 ප්‍රශ්නයක් නෑ. ඒ 19 ත් එක්කම තමයි වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා යූඑන්පී කැබිනට් මණ්ඩලයක් තියාගෙන සහ එයාගේ ආණ්ඩුවක් හරියට පිහිටුවන්නේ නැතිව කොරෝනා එක මර්දනය කළේ. ඒ නිසා 19 අඩුපාඩුවක් තිබිලා නෑනේ. ඉතාම සාර්ථක ලෙස ඒ බලය එතුමා ක්‍රියාත්මක කළා. අපේ ආණ්ඩුව තුළ යම් යම් අය ළඟ තිබුණ අඩුපාඩු නිසා ප්‍රශ්න මතුවෙන්න ඇති. නමුත් ඒ නිසා මුළු ආණ්ඩුවම අසාර්ථකයි කියලා කියන්න බෑ. ඒ ආණ්ඩුව කාලසීමාව තුළ තමයි කෙටිම කාලයක් තුළ වැඩිම සහන ප්‍රමාණයක් ජනතාවට දුන්නේ. මූල්‍ය ප්‍රතිපත්ති හරියටම ක්‍රියාත්මක කරමින් විවිධාකාර බාධක මැද රට ස්ථාවර කරගෙන ලොකුම ණය වාරිකය ගෙවෙන්නේත් 2019 දී 19 වැනි සංශෝධනය යටතේ. ඒ නිසා ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා. නමුත් පාස්කු ඉරිද‌ා ප්‍රහාරය වෙන වට ආරක්ෂක ඇමැති කවුද? ආරක්ෂක කවුන්සිලයට යන්නේ කවුද කියලා බරපතළ ප්‍රශ්න අපේ ආණ්ඩුව කාලය තුළ තිබුණා. ඒවා නැතුවා නොවෙයි.  
 
ප්‍රශ්නය:- ඔබත් ඒ වගකීම බාර ගන්නවා?  
 
පිළිතුර:- ඔව්. අනිවාර්යයෙන්ම, ආණ්ඩුවක් හැටියට අපි ඒ වගකීම බාරගත යුතුයි. ඒ නිසානේ ජනතාව අපිව පරාජය කළේ.  
 
ප්‍රශ්නය:- සහජීවනය ඉස්සරහට ද‌ාලා ත්‍රස්තවාදයට නිදැල්ලේ වැඩෙන්න යහපාලන ආණ්ඩුව ඉඩ දුන්නා කියලා චෝදනාවකුත් තියෙනවා?  
 
පිළිතුර:- මම ප්‍රශ්නය හරියට තේරුම් ගත්ත විදියට නම් ඒක ගැළපෙන්නේ නෑ. අදත් අපි සහජීවනය ගැන කතා කරනවා. ත්‍රස්තවාදී ප්‍රහාර, කවුද කොහොමද? ඇයි ජාත්‍යන්තර මට්ටමේ බලපෑමක් ද? ඔය ඉතාම සුළුතර කණ්ඩායමක් නොවෙයි ද? කියන ඒවාට උත්තර හොයා ගත්තානම් හොඳයි. ඒ වගේම ඒක යහපාලනෙන් ඇති වෙච්ච දෙයක් කියලා කොහොමද කියන්නේ? සහරාන් කියන පුද්ගලයා නිර්මාණය වෙන්නේ 2009 - 2010 විතර. 2011 - 2012 සහරාන්ගේ කල්ලියට වර්තමාන රජයෙ අය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පඩි ගෙවනවා. ඒ අයව නඩත්තු කරනවා. ඒ අයගේ කාල පරිච්ඡේදයේදී විවිධාකාර මුස්ලම් පාර්ශ්ව ගිහින් පැමිණිලි කරනවා. ‘මේ අය අන්තවාදීන්. මේ අය අල්ලන්න’ කියලා කියනවා. හැබැයි ඒ පැමිණිලිවලට ක්‍රියාමාර්ග ගන්නේ නැතිව ඒ අයව පෝෂණය කරනවා. ඒ වගේම තමයි අපිත් අසාර්ථක වුණා. අපේ ආණ්ඩුව කාලෙත් ගොඩක් පැමිණිලි කළාට ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. නමුත් සහජීවනයයි අන්තවාදයයි අතර සම්බන්ධයක් නැහැ. ලෝකයේම සහජීවනය වැදගත්.  
 
ප්‍රශ්නය:- හිටපු පොලිස්පතිවරයා පාස්කු කොමිසමේදී කියනවා ‘සහජීවනයට බාධාවක් වෙයි කියලා මේ මුස්ලිම් අන්තවාදය ගැන හොයන්න එපා’ කියලා කිව්වා කියලා?  
 
පිළිතුර:- කවුද නැවැත්තුවේ? මොන කාලයෙද? මේක තේරුම් කරලා මට කියන්න.  
 
ප්‍රශ්නය:- යහපාලන ආණ්ඩුව කාලේ වෙච්ච දෙයක් තමයි මම කිව්වේ?  
 
පිළිතුර:- එහෙම දෙයක් තිබුණා නම් ඒක ඔප්පු කරලා එහෙම බලපෑම් කරපු ඔක්කොම අය අත්අඩංගුවට ගන්න ඕනෑනේ. සහජීවනයට නොවෙයි රටේ ආරක්ෂාවට ඕක විශාල තර්ජනයක්. කිසිම මිනිහෙකුට එහෙම බලපෑම් කරන්න බැහැ. අපේ රටේ එහෙම දෙයක් වුණා නම් කවුද? කොහේදීද ඒවා හොයන්න පුළුවන්නේ. දැන් මේ ආණ්ඩුව ඇවිත් අවුරුද්දක් වෙනවනේ. ආණ්ඩුවට කාලය තිබුණනේ එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒකට ගන්න ඕනෑ ක්‍රියාමාර්ගය ගන්න. එයට දෙයක් වෙලා තියෙනවා නම් මමත් එකඟ වෙනවා. ඒක බරපතළ තත්ත්වයක්. මොන දේශපාලන නායකයා වුණත් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ නොදී බාධා කරල තියෙනවා නම් ඒකට එරෙහිව පියවර ගන්න ඕනෑ. ඒ බලපෑම්වලට යටත් වුණ දේශපාලන නායකයන්ටත් දඬුවම් කළ යුතුයි. මොකද අපි වගේ අය දුක් වින්ද‌ා මේකෙන්. ඒ නිසා ඔය ගැන විශේෂයෙන් සොයා බැලිය යුතුයි.  
 
ප්‍රශ්නය:- ආණ්ඩුව කියනවා 20 පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගන්නවා කියලා. ඔබේ අනුමානයට අනුව මොකක් වෙයිද?  
 
පිළිතුර:- අපි රට ආදරෙයි. මේ රජය ස්ථාපනය කරන්න බලන්නේ එක පුද්ගලයකුට හා තමන්ගේ අරමුණු ඉටු කරගන්න. එක කණ්ඩායමකගේ අවශ්‍යතා සපුරා ගන්න කියලා ඉතාම පැහැදිලියි. අපි අපේ යුතුකම ඉටු කරනවා. ජනතාව වෙනුවෙන් කළ යුතු දේ කරනවා. අපේ විරෝධය පාර්ලිමේන්තුව තුළ හා පාර්ලිමේන්තුවෙන් පිට පළ කරන්න අපි සූද‌ානමින් සිටින්නේ. අපි විශ්වාස කරනවා ප්‍රතිපත්ති ගරුක, රටට ආදරය කරන පුද්ගලයන් ආණ්ඩු පක්ෂය තුළ ඉන්නවා කියලා. ඒ වගේම ඔවුන් හරි තීන්දුවක් ගනී කියන විශ්වාසයෙන් අපි ඉන්නවා.  
 
ප්‍රශ්නය:- 20 ඔයතරම් භයානක නම් කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඔබලාට ලැබෙනවා?  
 
පිළිතුර:- අපි කොණ්ඩෙ බැඳපු චීන්නු නොවෙයි. අපිට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව යෝජනා ටික හරියට ගෙනාවා නම් හරිනේ. ආණ්ඩුවට ඕනෑ දේ කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා. මේ රටේ වෘත්තිකයන්, වෘත්තීය සමිති, ආගමික නායකයන් මේ රටට ආදරය කරන පිරිස් මේ විසිවැනි සංශෝධනයේ තියෙන භයානකකම ගැන කියනවා. ආණ්ඩුව තමන්ට ඡන්දය දුන්න ජනතාවට ඇහුම්කන් නොදී බබා ටෝක් දැම්මට අපි ඒ ‘ටොපිය’ කන මෝඩයෝ නොවෙයි. හැබැයි අපේ යුතුකම අපි හරියට කරනවා. 
 
ප්‍රශ්නය:- ආණ්ඩුව කියනවා ‘විපක්ෂයෙන් එන්න 20 ක් විතර ඉන්නවා.’ කියලා. ඔබ දන්නව ද එහෙම යන්න පිරිසක් ඉන්නවා කියලා.  
 
පිළිතුර:- ඒක ඉතින් ආණ්ඩුවෙන් තමයි අහන්න ඕනෑ. ආණ්ඩුව ඉතින් තමන්ගේ ජරා වැඩ ටික මුදල්වලින් තනතුරුවලින් කරගන්නවා නම් ආණ්ඩුවේ සද‌ාචාරය ඒකෙන්ම පේනවා.  
 
ප්‍රශ්නය:- 20 ගැන විපක්ෂය මොන බිල්ලෙක් මවන්න හැදුවත් ‘අලුත්ම ව්‍යවස්ථාවක් මාස හයෙන් ගේනවා.’ කියලා ආණ්ඩුව කියනවා.’  
 
පිළිතුර:- මම අහන්නේ ජේ.ආර්. මහත්තයා මේ ව්‍යවස්ථාව 1978 දී ගෙනාවට පස්සේ මේ පොහොට්ටුවේ ඉන්න කල්ලියම එද‌ා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඊට පස්සේ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැටියට හා දැන් පොහොට්ටුව හැටියට මේ කල්ලිය හැමද‌ාම ඡන්දෙ දිනන්න පාවිච්චි කරපු සටන් පාඨය තමයි ‘ජේ.ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව අහෝසි කරනවා, ජේ.ආර්ගේ විවෘත ආර්ථික ක්‍රමය නැති කරනවා.’ කියලා. නමුත් මේ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ජේ.ආර්.ගේ විවෘත ආර්ථික ක්‍රමයේ සීමා මායිම් ඔබ්බට ගිහිල්ලා ‘මගේම කලිසම අගේට ඇඳගෙන උගේ වගේ යනවා.’ කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ මේ රටේ තියෙන එහෙම වැඩියෙන්ම පෞද්ගලිකකරණය කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂගේ ආණ්ඩුව යටතේ. එතකොට ‘ජේ.ආර්. ගෙනාපු ව්‍යවස්ථාව භයානකයි ඒකනේ බලය අඩුකරන්න ඕනෑ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ කියලා බෙරිහන් දීපු මේ කල්ලියම තමයි විධායක බලයට තවත් බලය එකතු විය යුතුයි කියලා තියෙන්නෙ. 2010 දී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සල්ලි දීලා තනතුරු දීලා අනික් පැත්තට අරගෙන තුනෙන් දෙකක බලයක් තියාගෙන 18 වැනි සංශෝධනයෙන් විධායක බලය තවත් ශක්තිමත් කළා. පූර්ණ බලය තියාගෙන සහරාන්ලා බිහිවෙන කාලයේ ඒවාට එරෙහිව පියවර ගන්න බැරි වෙච්ච අයට තවත් බලයක් දීලා මොනවද කරන්න හදන්නේ? මෙතැන තියෙන්නේ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි. විධායක බලය ඔක්කොම දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙනවා. එතුමාට තුනෙන් දෙකක බලයකුත් තියෙනවා. එහෙම නම් තව මොනවද ඉල්ලන්නේ? දැන් ද‌ාන කතාව සාධාරණද? ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු එන්න හදන එකට අපි ඒකට එකඟ නෑ. ඒක කවුරු වුණත් අපි එකඟ නෑ. ඒ වගේම විගණන ක්‍රමය, ප්‍රසම්පාදන ක්‍රමය අහෝසි කරන්න. වගකීමක් නැති රජයක් පවත්වාගෙන යන්න අපි ඉඩ දෙන්නේ නෑ. ජනතා පරමාධිපත්‍යයේ බලය පාවා දෙන්න අපි ඉඩ දෙන්නේ නෑ.  
 
ප්‍රශ්නය:- සමගි ජනබලවේගය දෙදරනවා නේද? මුලින්ම මංගල සමරවීර ගියා, ඊයේ පෙරේද‌ා සුජීව සේනසිංහ ගියා. මේ මොකද වෙන්නේ?  
 
පිළිතුර:- මේක අලුත් පක්ෂයක්. පොහොට්ටුව වගේ අලුත් බෝතලයකට පැරැණි වයින් ද‌ාලා දුවන පක්ෂයක් නොවෙයි. මේ පක්ෂය අලුත් වෙනවා. මම අදක්ෂයි නම් මම අයින් වෙලා අලුත් දක්ෂ කෙනෙක් එයි. ඒක තමයි සමගි ජනබලවේගය. ජනතාව නියෝජනය කරන සියල්ලන්ට අයිතිය තියෙන පක්ෂයක් මේක. පවුලකට ලොකු මිනිස්සුන්ට අයිති පක්ෂයක් නොවෙයි මේක. ඒ නිසා අලුත් වෙන එකට අපි බය නෑ.  
 
 
සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව