​වෛද්‍ය උපාධියට විතරක් අපි කෑගහන්නේ ඇයි ?


වර්තමාන විශ්‍වවිද්‍යාල පද්ධතිය ආශ්‍රිතව පැන නැගී තිබෙන ප්‍රශ්න ගැන සාකච්ඡා කරන්නට වේදිකාවක් වුණු සරසවි සිසු හඬෙන් මින් ඉහත අදහස් දැක්වූයේ විශ්‍වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගම්වල හෝ ශිෂ්‍ය සංවිධානවල හෝ නියෝජිත ශිෂ්‍යයන්ය. නමුත් මෙවර සාකච්ඡාවට එක්වන්නේ ශිෂ්‍ය සංගම් නියෝජනය නොකරන ශිෂ්‍යාවකි. ඇය කොළඹ විශ්‍වවිද්‍යාලයේ කලා පීඨයේ දේශපාලන විද්‍යා විශේ‍ෂ උපාධියක් හදාරණ හිරුෂි ජයරෂිණි විජේසිංහ ශිෂ්‍යාවයි.  


ප්‍රශ්නය:- සයිටම් අර්බුදයත් එක්ක මතුවෙලා තියෙන නිදහස් අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාව ඔබ තේරුම් ගන්නේ මොන විදිහට ද?  


පිළිතුර:- මමත් නිදහස් අධ්‍යාපනයෙන් මේ තැනට ආපු කෙනෙක්. නිදහස් අධ්‍යාපනය තිබුණට වැඩක් නෑ, අපි ඒකෙන් නිසි ප්‍රතිඵල ලබාගන්නෙ නැත්නම්.  


නිදහස් අධ්‍යාපනය ලබපු අය විදියට අපි කරන්න ඕනෑ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවා කියලා එක එක අයට බැණ බැණ ඉන්න එක නෙවෙයි, නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න මොනව ද කළ යුත්තේ කියන එක ගැන සාකච්ඡා කරන එක. මම කියන්නේ අපි තනි තනි පුද්ගලයො විදියට නිදහස් අධ්‍යාපනයට වටිනාකමක් දෙන්න ඕනෑ කියලයි. සයිටම් අර්බුදය ගත්තොත් ඒකෙන් කියන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනවා කියලනේ. ඒත් අධ්‍යාපනය පෞද්ගලීකරණය වුණෙත් අද ඊයෙ නෙවෙයිනේ. එතනදි අපි උත්සාහ කරන්න ඕනෑ පෞද්ගලික අධ්‍යාපනයේ තියෙන ප්‍රමිතියට වැඩි ප්‍රමිතියක් නිදහස් අධ්‍යාපනය ඇතුළෙ තියාගන්නයි.  


ප්‍රශ්නය:- සයිටම් අර්බුදය ඇතුළෙ ප්‍රකාශ වෙන නිදහස් අධ්‍යාපනය කප්පාදු වෙනවා කියන කාරණය ඔබ දකින්නේ කොහොම ද?  


පිළිතුර:- ඇත්තටම සිද්ධ වෙන්න ඕනෑ නිදහස් අධ්‍යාපනයත් එක්කම අපේ ප්‍රමිතිය ඉහළ නංවන එක. මොකද අද අපිට රස්සා හම්බ වෙන්නේ අපි කරලා තියෙන උපාධියට වඩා අපේ පෞරුෂත්වයට. සයිටම් එකේ ඉගෙන ගන්න ළමයි ගත්තොත් ඒ අය අපට තර්ජනයක් වෙලා තියෙන්නෙ අපිට වඩා ඉහළින් ඉන්න නිසානේ. රැකියාවක් කරන්න අවශ්‍ය දැනුම වගේම මිනිස්සු එක්ක ක්‍රියා කිරීමේ හැකියාව තියෙන්නත් ඕනෑ.  


ප්‍රශ්නය:- නමුත් මෙතන ප්‍රශ්නය තියෙන්නේ සයිටම් ආයතනයේ ප්‍රමිතිය පිළිබඳව. විශේ‍ෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය කියන කාරණය තමයි සයිටම් වි​ෙරා්ධීන් මතු කරන්නේ. එහෙම ප්‍රශ්නයක් ඔබ දකින්නෙ නැද්ද?  


පිළිතුර:- සයිටම් ආයතනයේ වෛද්‍ය විද්‍යාව හදාරණ ශිෂ්‍යයෝ ඒ උපාධිය සම්පූර්ණ කරන්නේ කිසියම් ක්‍රමවේදයකට අනුවනේ. මොන උපාධිය ගත්තත් මම අර කලින් කිව්ව ප්‍රමිතීන් තියෙන්න ඕනෑ. මානුෂීය ගුණාංගත් වර්ධනය කරන්න ඕනෑ. අපි හැමවෙලේම බලන්න ඕනෑ අපි මනුෂ්‍යයොත් එක්කනෙ ගනුදෙනු කරන්නේ කියලා. රජයේ වෛද්‍ය ක්ෂේ‍ත්‍රයේ වුණත් ගුණාත්මකභාවය බිඳ වැටුණු අවස්ථා තියෙනවනේ. අපේ මවුපියො වුණත් කියන දෙයක් තමයි රජයේ රෝහල්වලට වඩා පෞද්ගලික රෝහල්වල ගුණාත්මක සේවා ලැබෙනවා කියලා. ඒ නිසා සල්ලි නැති මිනිහා වුණත් බලන්නේ පෞද්ගලික රෝහලකට යන්න. අනිත් කාරණය තමයි නිදහස් අධ්‍යාපනයෙන් බිහි වුණු වෛද්‍යවරු අද වැඩි අවධානයක් දෙන්නෙ පෞද්ගලික රෝහල්වල චැනලින් කරන්න. මේ සයිටම් විරෝධයේ වැඩි වශයෙන් ඉන්නේ රජයේ වෛද්‍ය පීඨවල ඉගෙන ගත්ත ළමයින්ගේ මවුපියෝ. සාමාන්‍ය මිනිසුන්ට මේ ගැන අවබෝධයක් නෑ.  


ප්‍රශ්නය:- ඔබේ පිළිතුරේ සාරාංශය වෙන්නේ ප්‍රමිතියත් එක්ක යන පෞද්ගලික අධ්‍යාපනයක් රටේ තිබිය යුතුයි කියන එක ද?  


පිළිතුර:- ඔව්. ක්‍රමවේදයක් ඉස්සරහට යන්න නම් ඝට්ටනයක් තියෙන්නෙ ඕනෑනේ. එතකොට තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අනික තමයි අපි ඔය කතා කරන ප්‍රමිතිය සකස් විය යුත්තේ රාජ්‍ය යාන්ත්‍රණයෙන්. රාජ්‍ය අධ්‍යාපනයයි, පෞද්ගලික අධ්‍යාපනයයි අතර ඇති වෙන ඝට්ටනයක් මගින් මේ ක්‍රමය ඉදිරියට යන විදියටයි ඒ ප්‍රමිතිය නිර්මාණය විය යුත්තේ. ඇත්තටම මේ සයිටම් ප්‍රශ්නෙදි අපි කරන්න ඕන ඒ ආයතනය අහෝසි කරනවා වෙනුවට මේ ප්‍රශ්නයේ ගැඹුර සොයන එක. යුද්දෙ ඉවර වුණත් තැනින් තැන ගිනි පුපුරු තියෙනවනේ. ඒ වගේ මේ ප්‍රශ්නෙත් තියෙන ඒ විදිහේ ගිනි පුපුරු අවුළුවනවා වෙනුවට අපි මේ ගැන බුද්ධිමය සාකච්ඡාවක් කළ යුතුයි. අපි බෙදිලා හරියන්නේ නෑ. මේ ප්‍රශ්නය තවදුරටත් ඇදි අැදී ගියොත් ඒක යුද්දෙටත් හපන් වෙනවනේ.  


ප්‍රශ්නය:- මුදලට පිරිනමන වෛද්‍ය උපාධිය සයිටම් විරෝධී අරගලයේ කේන්ද්‍රීය සාධකය වෙලා තියෙනවා. නමුත් ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, නීතිය වැනි උපාධිත් අද මුදලට ලබා දුන්නත් ඒවට එරෙහි විරෝධයක් ප්‍රබල ලෙස මතුවෙන බවක් අපි දකින්නේ නෑ. මේ පරස්පරය ගැන ඔබේ අදහස?  


පිළිතුර:- ඒවා බරපතළ කාරණා තමයි. ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ වගේ උපාධි මුදලට ලබාදෙන එක ගැන අපි ඇයි කෑගහන්නෙ නැත්තේ. ඇයි වෛද්‍ය උපාධියට විතරක් කෑගහන්නේ. ඇත්තටම මේ කාරණා ගැන අපි බුද්ධිමය සාකච්ඡාවක් කරලා ඒකට සාමාන්‍ය මිනිස්සුන්වත් ඇදලා ගන්න ඕන.  


ප්‍රශ්නය:- මේ ප්‍රශ්නෙදි ශිෂ්‍ය ව්‍යාපාරයේ මැදිහත්වීම ගැන ඔබ දරන ආකල්පය මොකක් ද?  


පිළිතුර:- ගැටුමක් තියෙනවා නම් අපි ඒකෙ මූලික අංශ හඳුනගන්න ඕනනේ. ගැටුමක් ඉස්සරහට ඇදි ඇදී එන්න නම් එතන ආතතිමය ප්‍රචණ්ඩත්වයක් තිබිය යුතුයි. මේ ප්‍රශ්නෙදි ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය ගත්තොත් එයාලා කියන සමහර දේවල් සමාජයට යන්නෙ නෑ. කෑගහනවට වඩා අපි මේ ප්‍රශ්නෙ ගැන බුද්ධිමය සංවාදයකුයි ගෙනියන්න ඕනෑ. සයිටම් ජනසතු කරන්න කියලා කෑ ගැහුවට වැඩක් නෑ. අපි බලන්න ඕනෑ ගුණාත්මක රාජ්‍ය වෛද්‍ය සේවයක්, අධ්‍යාපන සේවයක් තිබුණට ඒවා ඇත්තටම ජනසතුයි ද කියලා, ජනතාවට අයිතියි ද කියලා. පෞද්ගලික අධ්‍යාපනයට අභියෝගයක් කරන්න නම් අපි කළ යුත්තේ රාජ්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයක් ඇති කරන එක. එහෙම නොකර පන්ති වර්ජනය කිරීමෙන් අපි කරන්නේ සිස්ටම් එක හදන්න දායක වෙනව වෙනුවට තියෙන සිස්ටම් එක, එක තැන පල් කරන එක. එහෙම වුණහම ඉස්සරහට යෑමක් නෑ. අධ්‍යාපනය කියන්නේ දැනුම නිෂ්පාදනය කරන එකටනේ. දැන් තියෙන ප්‍රශ්නය තමයි දැනුම නිෂ්පාදනය කරනව ද එහෙමත් නැත්නම් තියෙන දැනුමත් නැති කරගන්නව ද කියන එක. අලුත් දැනුම නිෂ්පාදනය කරන්න නම් අපි හැමදෙයක් ගැනම අවබෝධයක් ගන්න ඕනෑ. මෙතනදි රාජ්‍ය ප්‍රතිපත්තිමය මැදිහත්වීම අවශ්‍යයි. නිදහස් අධ්‍යාපනය ගත්තත්, පෞද්ගලික අධ්‍යාපනය ගත්තත් ගුණාත්මකභාවය එක සමාන විය යුතුයි. පෞද්ගලික අධ්‍යාපනය හදාරණ අයට හොඳ පහසුකම් හම්බ වෙලා, නිදහස් අධ්‍යාපනය හදාරණ අයට අඩු පහසුකම් ලැබෙනවා නම් ඒක අසාධාරණයි. මම කියන්නෙ අපි හැම වෙලාවෙම පෞද්ගලික අධ්‍යාපනයේ තියෙන ප්‍රමිතිවලට වඩා හොඳ ප්‍රමිතියක් නිදහස් අධ්‍යාපනයේදි ඇති කරගන්න ඕනෑ. පෞද්ගලික අධ්‍යාපනයට වඩා නිදහස් අධ්‍යාපනයෙන් දෙයක් කරන්න පුළුවන් කියලා අපි ලෝකෙට ඔප්පු කරන්න ඕනෑ.  


ප්‍රශ්නය:- කොළඹ විශ්‍වවිද්‍යාලයේ මේ වෙනකොට තියෙන ශිෂ්‍ය සුබසාධන ප්‍රශ්න මොන වගේ ද? 

 
පිළිතුර:- රජයේ රැකියා කරන මවුපියන්ගේ ළමයින්ට මහපොළ ලැබෙන්නේ නෑ. ඒ වෙනුවට ලැබෙන්නේ ශිෂ්‍යාධාරය විතරයි. නමුත් පෞද්ගලික ව්‍යපාර කරන අයටත් ඒ ශිෂ්‍යාධාරය හම්බවෙනවා. අපි ඉගෙන ගන්නේ නිදහස් අධ්‍යාපනය වුණාට එතනම වෙන්නෙ වෙනස්කොට සැලකීමක්නේ. ඊළඟට ගත්තොත් අධ්‍යාපනයේ ගැටලු තියෙනවා. එ්ක කැම්පස් එකේ වැරැද්දක් නෙවෙයි. අධ්‍යාපන පද්ධතියේ වැරැද්දක්. අපේ කලා පීඨයේ බොහොමයක් අධ්‍යාපනාංශවල දේශන ශාලා පහසුකම් අඩුයි.  


ප්‍රශ්නය:- ශිෂ්‍යයන්ට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් ශිෂ්‍ය සංගම්වල මැදිහත්වීම මොන වගේ ද?  


පිළිතුර:- එහෙම මැදිහත්වීමක් නෑ. අපිට අරවා ඕනෑ, මේවා ඕනෑ කියලා කිව්වට ප්‍රධාන ප්‍රශ්න අඳුනගෙන නෑ.  


ප්‍රශ්නය:- හොස්ටල්, නන්​ෙහාස්ටල් භේදය (නේවාසිකාගාර ශිෂ්‍යයන් හා එසේ නොවන ශිෂ්‍යයන්) කොළඹ විශ්වවිද්‍යාලයේ කාලෙක පටන් තියෙන දෙයක්. වර්තමානයෙත් ඒ තත්ත්වය තියෙනවා ද?  


පිළිතුර:- මෙතන තියෙන්නේ මනුෂ්‍ය ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්නේ. මෙතන ඇති කරලා තියෙන මේ බෙදීමට ප්‍රධාන හේතුව තමයි ආකල්පවල තියෙන දුප්පත්කම. කැම්පස් එකට ඇවිල්ලා ආකල්ප දියුණු කර ගැනීමක් වෙනුවට මෙතන වෙන්නෙ එක එක ශිෂ්‍ය සංගම්වලින් ආකල්ප බලෙන් පටවන එක. මෙහෙම වුණහම එකතුවෙලා වැඩ කරන්න තියෙන හැකියාව නැති වෙනවා. කැම්පස් කාඩ් එක දෙන එකේදි වුණත් මේ හොස්ටල්, නන්හොස්ටල් භේදය තියෙනවනේ. නේවාසිකාගාරවල ඉන්න අයට විතරයි කාඩ් එක දෙන්නේ. එතැනත් වෙනස්කොට සැලකීමක්නෙ තියෙන්නේ.

 

 

 

 

 

 

 

 

සාකච්ඡා කළේ - උපුල් වික්‍රමසිංහ