​වෙඩි තියන්න ගිය ​පොලිසියේ සිය දෙනෙක්මරණයෙන් බේරා ගත් දෙමළ පොලිස් නිලධාරියා


​ෙපාලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ නැතැයි චෝදනා කර මන්නාරම ප්‍රාදේශීය ​කොටි නායකයාට දරුණු වධ හිංසා දී කොටින්ම මරා දමලා.   තව සුළු මොහොතකින් මරා දමන බව දැන ගත් මොහො​ෙත් සිට එය කෙනෙකුට කිසිසේත් උහුලාගෙන සිටීමට හෝ දරා ගැනීමට නොහැකි තරමේ අතිශය වේදනාකාරී එකක් බව දන්නේ එවැනි තත්ත්වයකට පත්ව සිටින අයෙකු පමණක් විනා වෙන කිසිවකුත් නොවේ.   


ඒ ​ෙව්දනාව කෙනෙකුට වචනවලට පෙරළා කීමට තියා ලීවීමටත් නොහැකිය.   


පොලිස් නිලධාරීන් එක්කෙනෙක් දෙන්නෙක් නොව සියයකට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් ඝාතනය කිරීමට කොටි ත්‍රස්තයින් අවි අමෝරාගෙන සිටියදී දෙමළ ජාතික පොලිස් පරීක්ෂකවරයෙකු නිසා ඒ සියලුම නිලධාරීන්ට ජීවත් වීමට තරම් භාග්‍යයක් වාසනාවක් ලැබුණේ අන්තිම මොහොතේදීය.   


මුරුක්කන් පොලිසියේ එවකට ස්ථානාධිපති තනතුර දැරූ පොලිස් පරීක්ෂක බාලසිංහම් මහතා නිසා පොලිස් නිලධාරීන් 100 කට වඩා වැඩි පිරිසකට ජීවිත ද‌ානය ලැබී ඇත.   


​ෙමසේ ජීවිතය බේරාගෙන ඇත්තේ සිංහල හා මුස්ලිම් ජාතික පොලිස් නිලධාරීන් පිරිසකි.   


අපට මේ කතාව කියන්නට යන කතානායකයාටද ජීවත් වීමට වරම් ලැබුණේ ඒ දෙමළ පොලිස් පරීක්ෂකවරයාට පින් සිද්ධ වෙන්නටය.   


පොලිසිය වට කර අල්ලා ගත් සිංහල හා මුස්ලිම් ජාතික පොලිස් නිලධාරීන් 100 දෙනා එකා පිට එකා වෙඩි තබා මරා දැමීමට රකුසු වෙස් ගත් කොටි ත්‍රස්තයන් අවි අමෝරාගෙන දත් විළිස්සා මාරයාගේ හෝරාව උද‌ාවෙනතෙක් බලා සිටි අතරවාරයේ පොලිස් පරීක්ෂක බාලසිංහම් මහතා එම කොටි කණ්ඩායම බාරව සිටි කොටි නායකයා ඉදිරියේ බැගෑපත් වෙමින් කියා ඇත්තේ තමා යටතේ රාජකාරි කළ නිලධාරීන් බේරා ඒ වෙනුවට තමන්ට ඕනෑම වධ බන්ධනයකට ලක් කර මරා දමන ලෙසය.   

 

 

තමා යටතේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමා ඕනෑම වධ බන්ධනයකට ලක්වී මිය යාමට කැමති බවත් පවසමින්​ පොලිස​් පරීක්ෂක බාලසිංහම් මහතා කොටි නායකයා හමුවේ දිගින් දිගටම බැගෑ පත් වීම නිසා අවසානයේ ඒ පොලිස් නිලධාරීන් සියලු දෙනාටම අභය ද‌ානය ලැබුණේ කිසිවකුත් නොසිතූ මොහොතකය.   


සීතල මරණයේ දොරකඩ අබියසට පැමිණ අඹුදරුවන් මව්පියන් ඥ‌ාති මිත්‍රාදීන් සිහිපත් කරමින් බියෙන් සංත්‍රාසයට පත්ව කිසිවක් කර කියා ගත නොහැකිව අන්ත අසරණව සිටි නිරායුධ පොලිස් නිලධාරීන් නැවත ප්‍රාණය ලැබුවේ ඔවුන්ට ජීවිත ද‌ානය ලබා දීමට කොටි නායකයා තීරණය කිරීමෙන් පසුවය.   


මුරුක්කන් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බාලසිංහම් මහතාගේ බැගෑපත්වීම් හමුවේ මෙල්ල වීම නිසා කොටි නායකයා කලින් ගෙන තිබූ තීරණය වෙනස් වීමට බලපා ඇත.

  
පොලිස් පරීක්ෂක බාලසිංහම් මහතාගේ ඉල්ලීම හමුවේ කලින් ගත් තීරණය වෙනස් කළේ කුමන හේතුවක් මතද කියන්න ජීවිත ද‌ානය ලැබූ පොලිස් නිලධාරීන් අදටත් දන්නේ නැත.   


නමුත් එය එසේම සිදුවී තිබිණි.   


මන්නාරම ප්‍රාදේශීය කොටි නායක සුභාෂ් අල්ලා ගත් සිංහල හා මුස්ලිම් පොලිස් නිලධාරීන් 100 කට වඩා වැඩි පිරිසක් හිතුමතේ ඉහළ නායකයන්ගේ නියෝග නොමැතිව මුද‌ා හැර ඇති බව දැන ගත් එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් නැවතත් ඔවුන් අල්ලා ගෙන එන ලෙස ඔහුට නියෝග කර ඇතත් ඒ වන විටත් ඔවුන් මැදවච්චිය ප්‍රදේශයද පසු කර ගොස් තිබියදී ඔවුන් අායෙත් අල්ලාගෙන ඒමට නොහැකි වී ඇත.   


සිංහල හා මුස්ලිම් පොලිස් නිලධාරීන් 100 කට වඩා වැඩි පිරිසක් මුද‌ා හැරීමේ වරදට මන්නාරම ප්‍රාදේශීය කොටි නායක සුභාෂ් අල්ලාගෙන ඝාතනයට රැගෙන ගොස් නිවාස අඩස්සියේ රඳවා කොටි ඔහුට දස වධ ලබා දී ඇත්තේ හිතුවාක්කාරී ලෙස වැඩ කිරීමේ වරදටය. ඉන් පසු සුභාෂ්ට වෙච්ච් දෙයක් ගැන දැන ගැනීමට ලැබී නොමැත.

  
මීට වසර 36 කට පමණ ඉහතදී එනම් 1990 වසරේ ජනවාරි මාසයේ දිනක මරණය පෙනි පෙනී සිටියදී දිවි බේරා ගැනීමට තරම් වාසනාව ලැබූ පොලිස් නිලධාරීන් අතරේ සිටි පොලිස් කොස්තාල් අමල් සුරංග ප්‍රනාන්දු (15575) මහතා එද‌ා සිදු වූ ඒ බිහිසුණු අත්දැකීම් වචනවලට පෙරළමින් කියන්නට පටන් ගත්තේ මෙසේය.   


මගේ ගම කළුතර මග්ගොන ප්‍රදේශයේ. මම පොලිස් සේවයට බැඳුණේ 1989 වසරේ අගෝස්තු මාසයේ 22 වැනිද‌ාය. එතකොට මගේ වයස අවුරුදු 18ක් විතර වෙනවා. මූලික පුහුණුවීම්වලට පස්සේ මට මුලින්ම පත්වීමක් ලැබුණේ වව්නියාව පොලිසියට. ඊට පස්සේ මා ඇතුළු පොලිස් අනුකණ්ඩයම වවුනියාව පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන මුරුක්කන් පොලිසිය වෙත මාරු කර යැව්වා. මුරුක්කන් පොලිසියේ ඕ.අයි.සී. පොලිස් පරීක්ෂක බාලසිංගම් කියා මහත්තයෙක් හිටියේ. දෙමළ වුණාට බොහොම ගුණයහපත් කෙනෙක්.   


​ෙම් සිද්ධිය වෙච්ච කාලය මට අදටත් හොඳට මතකයි. මම කියන්න යන මේ සිද්ධිය වුණේ 1990 ජුනි මාසයේ දිනක. ඒ වෙනකොට එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයයි, එල්.ටී.ටී.ඊ. එකයි සාම ගිවිසුමක් ගහලා තිබුණා. ඒ කියන්නේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරලා තිබුණ කාලයක්.   


ඔන්න 1990 ජුනි මාසයේ 13 දවසක හවස් කාලයේ මන්නාරම විදුලි බල මණ්ඩලයට අයත් ලොකු ලොරි රථ දෙකක් හා එල්ෆ් වර්ගයේ රථයකින් එල්.ටී.ටී.ඊ. එකේ 250ක් විතර පොලිසිය ළඟට ආවා. ඒ වෙන කොටත් අපි කට්ටියත් පොලිසිය වත්තේ වොලිබෝල් ගහලා ඉවර වෙලා ඇඟ පත සෝද‌ා ගෙන කෑමට යන්න සූද‌ානම් වෙමින් හිටියේ.

එල්.ටී.ටී.ඊ. එකේ එවුන් පොලිසිය අතුළට එකපාරටම කඩා පැන්නා. අපි ආමරිය ළඟට ගිහින් වේපන් අරගෙන වෙඩි තියමු කියා තීරණය කළා. අපි කල්පනා කළේ උන්ටත් වෙඩි තියා මරා ගෙන මැරෙන්න වුණත් සූද‌ානමින් තමා අපි කට්ටියම හිටියේ. ඕ.අයි.සී. මහත්තයා කිව්වා අපි ඉක්මණ් වෙන්න හොඳ නෑ. මොකද වෙන්නේ කියා බලමු කියා. අපි ඕ.අයි.සී. මහත්තයාගේ කැමැත්තට ඉඩ දුන්නා. ඔහු ගැන විශ්වාසය තිබ්බා.   


පොලිසිය ඇතුළට කඩා වැදුණු ත්‍රස්තයන් පොලිස් අාමරි එකේ තිබුණු අවි ආයුධ සේරම ඔවුන් ආපු වාහනවලට පටවා ගත්තා. පොලිසියේ වාහනත් සේරම උන්ගේ බාරයට ගත්තා. ආයුධ සන්නද්ධ කොටි සාමාජිකයෝ පොලිසිය වටා ඉදි කර තිබූ බංකර්වලට රිංගා ගත්තා. ​කොටි 35ක් විතර පොලිසිය ඇතුළේ අපි කට්ට්ය හිරකර ගෙන ඉද්දී අනිත් එවුන් වාහනවල නැගලා යන්න ගියා. මන්නාරම ප්‍රදේශ​ෙය් කොටි නායකයාව සිටි සුභාෂ් තමා ඒ කොටි කණ්ඩායමේ නායකයා. සුභාෂ් අවුරුදු 22 විතර කොල්ලෙක්.   


එ් වෙන කොට පොලිසියේ සිංහල හා මුස්ලිම් නිලධාරීන් 100 කඩ වැඩි පිරිසක් හිටියා. මේ සේරම කට්ටිය එතනට ගෙනැවිත් තබාගෙන තමා උන් හිටියේ. කොටි අපිට වෙඩි තියා මරා දමන්න සූද‌ානමින් ඉන්නා බව උන්ගේ කතා බහෙන් අපි තේරුම් ගත්තා. ඕ.අයි.සී. මහත්තයාගේ කීම අහන්න ගිහින් අපිට මැරුම් කන්න සිද්ධ වෙනවා කියා කතා වුණා. අපට දැන් කරන්න වෙන කිසිම දෙයක් නැහැ. කොටි අතින් මැරුම්කන්න වෙන බව විතරක් දැන ගෙන හිටියා.   
අපි කට්ටිය මරන්න යන බව දැන ගත්තාට පස්සේ ඕ.අයි.සී. බාලසිංගම් මහත්තයා සුභාෂ් කියන කොටි නායකයා ළඟට ගිහින් කිව්වා අපිව මරන්න එපා කියා. අපේ නායකයාගෙන් නියෝගයක් එනකම් ඉන්නේ. ඒ ආපු ගමන්ම සිංහල හා මුස්ලිම් පොලිස් නිලධාරීන් මරා දමනවා කියා සුභාෂ් සැර පරුෂ විදියට කියා සිටියා. මේ ඉන්නේ මගේ යටතේ රාජාකාරි කරන නිලධාරීන්. ඔවුන් කිසිම කෙනෙක්ව මරා දමන්න එපා. එ් නිලධාරී සියලු දෙනා නිදහස් කරලා, ඕනෑම වධ හිංසාවක් කරලා මාව මරා දමන්න කියා ඕ.අයි.සී. මහත්තයා කිව්වා. මහත්තයාගේ ඒ කතාව අහලා අපට පුදුම හිතුනා. දෙමළ පොලිස් නිලධාරියෙක් වෙලත් අපිව බේරා ගන්න මේ විදියට කතා කරයි කියා හිතුවේ නැහැ.   


බාලසිංහම් මහත්තයා දිගින් දිගටම අප වෙනුවෙන් කතා කළා. බැරිම තැන අපිව මරා නොදමන්න සුභාෂ් තීරණය කරලා තිබුණා. ඔහු එහෙම තනි තීරණයක් ගත්තේ ඇයි ද කියන්න අදටත් අපි දන්නේ නැහැ. කොහොම වුණත් ඒදේ සිද්ධ වෙලා තිබුණා. හෙට උදේට අපිව මුද‌ා හරින බව සුභාෂ් ඕ.අයි.සී. බාලසිංගම් මහත්තයාට පොරොන්දු වෙලා තිබිලා. ඒත් අපි උන්ගේ කතා විශ්වාස කළේ නැහැ.   


පහුවද‌ාට එළිවෙනකම් අපි ඇහැරිලා හිටියා. නින්ද ගියෙත් නැහැ. මරණ බය තිබුණා. මන්නාරම මූලස්ථාන පොලිසියේ නිලධාරීන්වත් තලෙයිමන්නාරම පොලිසියේ නිලධාරීන්වත් කොටි අල්ලා ගෙන ඉන්නවා කියා එද‌ා රෑ වෙනකොට දැනගන්න ලැබුණා. මන්නාරම කොටි නායක සුභාෂ් අපිට මේ බව දැනුම් දුන්නා. උතුරු නැගෙනහිර පළාත්වල හුඟාක් පොලිස් ස්ථානවලට කඩා වැදිලා පොලිස් නිලධාරීන් සිය ගණනින් මරා දමා ඇති බවත් අපි දැන ගත්තා. මේ කතා අහලා අපි තවත් බය වුණා.   


කිව්වා වගේම මුරුක්කන් පොලිසියේ අල්ලාගෙන හිටිය අපි කට්ටියම පහුවැනිද‌ා උදේම නිදහස් කළා. අපි කට්ටිය ලොරියක නැගලා මැදවච්චියට එනකම් ආවා. ඕ.අයි.සී. බාලසිංගම් මහත්තයාද අපිත් එක්කම පැමිණියා. පසුව ඔහු පොලිස් මූලස්ථානයට ගියා.   


අපි කට්ටිය නිදහස් කළ බව ප්‍රභාකරන්ට දැන ගැනීමට ලැබිලා තියෙනවා. ඊට පස්සේ ප්‍රභාකරන් සුභාෂ්ට නියෝග කර තිබෙනවා උඹ නිදහස් කරපු පොලිසියේ සේරම දෙනා ආපහු අල්ලාගෙන ඇවිත් වෙඩි තියලා මරා දමන්න කියලා.

කාගෙන් අහලද මේවගේ තීරණයක් ගත්තේ කියා. සුභාෂ්ට බැණලා. ප්‍රභාකරන්ගේ නියෝගයට අවනතවෙලා සුභාෂ් තව කොටි කල්ලියක් එක්ක අපිව අල්ලාගෙන යන්න පස්සේ පන්නගෙන ඇවිත් තිබුණත් ඒ වෙන කොටත් අපි මැදවච්චියත් පහු කරලා යන්න ගිහින්. ඒ නිසා උන්ට අපිව ආයෙත් අල්ලාගෙන යන්න බැරි වුණා, යැයි හිටපු පොලිස් කොස්තාපල් අමල් සුරංග මහතා කීය.   


මන්නාරම කොටි නායක සුභාෂ්ට වෙච්ච දේ ගැන විස්තර කරමින් හිටපු පොලිස් ​කොස්තාපල්වරයා පැවසුවේ මෙවැනි කතාවකි.   


අපිව හිතුමතේ ගත්ත තීරණයක් මත නිදහස් කළා කියා ප්‍රභාකරන් හොඳමට උරණ වෙලා මන්නාරම ප්‍රාදේශීය කොටි නායක සුභාෂ්ව අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් නිකුත් කරලා. ඒ නියෝගය අනුව කොටි කණ්ඩායමක් ඇවිත් සුභාෂ්ව අත්අඩංගුවට අරගෙන යාපනයට අරගෙන ගිහින් යාපනයේ කොටින්ගේ වධකාගාරයක සුභාෂ්ව හිර කරගෙන තබා දරුණු වධ හිංසාවලට ලක් කර තිබෙනවා. සමහර විට සුභාෂ්ව මරා දමන්න ඇති. මේ තොරතුරු යුද හමුද‌ා බුද්ධි අංශ මගින් හෙළිකර ගෙන පසුව අපට දැනුම් දුන්නා.   


දෙමළ උසස් පොලිස් නිලධාරියෙක් පොලිසියේ තිබුණ අවි ආයුධ කොටින්ගේ අතට පත් නොවී බේරා ගැනීමට කටයුතු කළ ආකාරය ගැන හිටපු කොස්තාපල්වරිය සිය මතකය අවදි කළේ මෙසේය.   


​ෙම් සිද්ධිය වෙන කාලයේ වවුනියාව කොට්ඨාසය භාරව සිටියේ ජ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරී නවරත්න රාජා කියන මහත්තයා. වවුනියාව පොලිසියේ අවි ආයුධ පැහැර ගෙන යන්න කොටි එනවා කියා කල්තියා ලැබුණු ආරංචියකට අනුව නවරත්න රාජා සර් පොලිසියේ තිබුණ සේරම අවි ආයුධ වවුනියාව යුද හමුද‌ා කඳවුරට ගෙන ගොස් බාරදිලා. සර් අරගත්ත ඒ කඩිනම් ක්‍රියා මාර්ගය නිසා කොටින්ට අවි ආයුධ පැහැර ගෙන යන්න බැරිව ගියා. කොටි වවුනියාව පොලිසියටත් කඩා වැදිලා තිබෙනවා. පස්සේ කොටි නවරත්න රාජා සර්වත් අරගෙන ගිහින් ප්‍රශ්න කරලා පසුව මුද‌ා හැර තිබෙනවා. දින 1 1/2ක් විතර පස්සේ තමා නවරත්න රාජා සර් මුද‌ා හැර තියෙන්නේ.   


ඔඩ්ඩිසුඩාන් මාන්කුලම් හා මුලතිව් පොලිස් ස්ථානවලටත් කොටි කඩා වැදිලා ඒවායේ තිබුණු සේරම අවි ආයුධ පැහැර ගෙන ඒ පොලිසිවල රාජකාරි කළ සිංහළ හා මුස්ලිම් පොලිස් නිලධාරීන් අත්අඩංගුවට අරගෙන යාපනය සුබාෂ් හෝටලයේ රඳවා තබා ගෙන ඉඳලා වසර 5 1/2 කට විතර පස්සේ තමා මුද‌ා හැරියේ යැයි හිටපු පොලිස් ​කොස්තාපල් අමිල මහතා පවසයි.   


මුරුක්කන් හිටපු පොලිස් ස්ථානාධිපති බාලසිංහම් මහත්තයා නිසා තමා අපේ ජීවිත බේරුණේ. කිසිම කරදරයකට හිරිහැරයකට ලක් නොවුණේ. බාලසිංගම් මහත්තයා පස්සේ කාලයක සහකාර පොලිස් අධිකාරි නිලයට උසස් වීමක් ලැබුවා. මේ මොහොතේ ඔහු ජීවතුන් අතර නැහැ. විශ්‍රාම සුවයෙන් ගත කරද්දී බාලසිංහම් මහත්තයා මිය ගිහින් තිබෙනවා. ඔහු යාපනයේ පදිංචි කෙනෙක්. එතුමාව මේ මොහොතෙත් සිහිපත් කරන්නේ ඉමහත්ම ගෞරවයකින්. අපිව කොටි අල්ලාගත්ත අවස්ථාවේ බාලසිංහම් මහත්තයාට කොටින්ගේ පැත්ත අරගෙන ඉන්න ඕනෑ තරම් ඉඩ තිබුණා, එත් ඔහු එහෙම කළේ නැහැ. තමන් යටතේ රාජකාරි කළ පොලිස් නිලධාරීන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළා.   


පොලිස් කොස්තාපල් අමිල් සුරංග මේ සිද්ධියෙන් පසුවද උතුරු නැගෙනහිර පළාත්වල එක දිගටම රාජකාරියේ නිරතව සිට ඇත.   


වසර 13ක සේවා කාලයකින් පසුව ඔහු පොලිස් සේවයට සමුදී තිබේ.   


පොලිස් සේවයෙන් ඉල්ලා අස් වුණාට පස්සේ මම 2003 වසරෙ ඉඳලා රජයේ මුද්‍රණාලයේ ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරි​ෙයක් ලෙස රාජකාරි කරනවා. අදටත් මා ඒ රස්සාව තමා කරන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මාත් එක්ක එකට රාජකාරී කරද්දී කොටින්ට අසුවී ජීවිතය බේරා ගත්ත සහෝදර නිලධාරීන් එක්ක කතාබහ කරන්න හරිම ආශාවක් තිබෙනවා. පුළුවන් නම් මගේ 0726705217 දුරකථන අංකයට කතා කරන්න කියා ඉල්ලීමක් කරනවා.   


කතාබහ නිමා කිරීමට මත්තෙන් අමිල එසේ පැවසීය.