වැඩි ලාබ ගන්න භූමිතෙ​ෙලන් දුවන වාහන


භූමිතෙල් රථවාහනවලට, ෆැක්ටරිවලට, බවුසර්වලට තොග වශයෙන් අලෙවි කිරීම තහනම් කරන්නට චක්‍රලේඛයක් නිකුත් කරන්නට අවසානයේ ඛනිජ තෙල් සංස්ථාවට සිදුවිය. භූමිතෙල් ගැන කරුණු විමසීමේ දී පෙනී යන්නේ භූමිතෙල් ප්‍රභේද දෙකක් වෙළෙඳ පොළේ ඇති බවය. ඒ ලංකා භූමිතෙල් හා කාර්මික භූමිතෙල් ලෙසය. ලංකා භූමිතෙල් රතු පැහැයෙන් යුක්තය. රජයේ සහනාධාර යටතේ අඩු ආදායම්ලාභීන් සහ ධීවරයින් ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ ලංකා භූමිතෙල්ය. ලංකා භූමිතෙල් සඳහා ලීටරයකට රු. 30 ක පාඩුවක් විඳින්නට සංස්ථාවට සිදුවී ඇති බව එකී වෙබ් අඩවියේ සඳහන්ය.


අවර්ණ භූමිතෙල් කාර්මික භූමිතෙල් ලෙස හැඳින්වේ. කර්මාන්තශාලාවලට සහ තොග වශයෙන් භාවිත කිරීමට යොදාගත යුත්තේ කාර්මික භූමිතෙල්ය. නමුත් සිදුවන්නේ කුමක්ද? ලංකා භූමිතෙල් අලෙවියේ ක්‍රමික වර්ධනය මාසික ගණන් බැලීමේදී දරා ගත නොහැකි ලෙස ඉල්ලුම ඉහළ යාමයි. 


ඛනිජ තෙල් සංස්ථා සමික්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඇතැම් පිරවුම්පළවල බෙදුම්කරුවන් අධික ලාබ ලැබීමේ අරමුණෙන් ව්‍යාපාරිකයා කර්මාන්තශාලා සඳහා සහනාධාර මත ලබාදෙන භූමිතෙල් බාධාවකින් තොරව මුදාහරින බවය. මෙම භූමිතෙල් සඳහා අධික ඉල්ලුමක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඩීසල්වලට භූමිතෙල් කලවම් කිරීම බව දැන් සොයා ගෙන ඇත. 


ලංකා ඛනිජ තෙල් සංස්ථාව සෘජුවම පවසා සිටින්නේ එය නීතිවිරෝධි කටයුත්තක් බවය. එවැනි වරදක් සිදුකළහොත් එවැනි බෙදුම්කරුවන්ගේ බෙදුම්කාර ධුරය අහෝසි කරන බවට ද ඛනිජතෙල් සංස්ථා චක්‍රලේඛයේ වැඩිදුරටත් දක්වා ඇත. 


ඩීසල් සඳහා භූමිතෙල් මිශ්‍ර කළ විට එම වාහනවලට සිදුවන්නේ කුමක්දැයි අද බොහෝ දෙනාට ගැටලුවක් වී ඇත. 


මේ ගැන සොයා යාමේදී අපට පෙනී ගියේ මෙරට වාහන ආනයනය බ්‍රිතාන්‍ය පාලනය තෙක් විහිදී ඇති අතීතයක් ඇති බවය. රටට මුලින්ම වාහනයක් ආනයනය කළ පුද්ගලයා ලෙස 1902 දී වාර්තා වන්නේ ඊ.එ්.එල්.එෆ්. ද සොයිසා මහතාය. ඔහු ආනයනය කළ වාහනය ඕල්ඩ්ස් මොබයිල් (Olds mobile) වර්ගයට අයත් එකකි. 


ඉංග්‍රීසි ආණ්ඩුව විසින් 1916 අංක 14 දරන පනත මගින් වාහන ලියාපදිංචිය හා රියදුරු බලපත් නිකුතුව ආරම්භ කරන ලද අතර 1927 අංක 20 දරන මෝටර් කාර් ආඥා පනත ගෙන එන ලද්දේ ඉන් පසුවය. අද දක්වා වාර ගණනකදී සංශෝධන එක්වූ 1951 අංක 14 දරන මෝටර් රථවාහන පනත ගෙන එන්නේ 1948 වසරේදී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබීමෙන් පසුවය. 


වාහන ලියාපදිංචිය ගැන මෙතරම් ඉතිහාසයක් සඳහන් කරන්නට අපට සිදුවූයේ වාහනයට අදාළ ලියාපදිංචි පොතේ වාහනයට භාවිත කරන ඉන්ධන වර්ගය ගැන එහි පැහැදිලිව දක්නට ඇති නිසාය. එමෙන්ම වාහන සඳහා අංක නිකුත් කිරීමේ දී එය ධාවනය සඳහා යොදා ගන්නා ඉන්ධන වර්ගය ද වෙසෙසින් සැලකිල්ලට ගන්නා කරුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 


මෙසේ තිබියදී ඩීසල්වලට භූමිතෙල් කලවම් කොට භාවිත කරන වාහන සඳහා අත්වන ඉරණම ද සැලකිල්ලට ගතයුතුය. 


මෙරට ඩීසල් බස්රථ විදුලි වේගයෙන් ගමන් කිරීම ගැන ප්‍රධාන චෝදනාවක් එල්ල වූයේ අනුරාධපුර-කොළඹ බස් මාර්ගයේ බස්රථවලටය. එම බස්රථවල සයිලන්සරයෙන් නිකුත් වූයේ සියුම් ගිනි පුලිඟුය. මෙසේ අධිවේගයෙන් යන බස්රථ ගැන බොහෝ මගින් කියා සිටියේ බස්රථයට ඩීසල් ගසන විට පෙට්‍රල් ලීටර් කීපයක්ද එයට ගසා ඇති බවය. මෙවැනි මතවාදයක සිටි බස් මගින් මෙන්ම පාඨකයන්ද පසුගියදා කරකවා අතැරියාමෙන් තත්ත්වයක් මතු වූයේ ඩීසල්වලට භූමිතෙල් කලවම් කරනා ප්‍රවෘත්තියත් සමගය. 


 ඩීසල් හා භූමිතෙල් සංසන්දනයේදී පෙනී යන්නේ භූමිතෙල් ගිනිගැනීමේ සම්භාවිතාවෙන් ඉතා ඉහළ අගයක් ගන්නා බවය. ඩීසල්වලට වඩා භූමිතෙල් දහනයෙන් පරිසරයට නිකුත්වන වායුව තද ගඳකින් යුක්ත බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඩීසල්වලට භූමිතෙල් මිශ්‍ර කළ ඉන්ධන යෙදූ වාහනවල එංජිම ගෙවී යාමේ ප්‍රවණතාව ඉතා ඉහළ අගයක් ගනී. එහිදී භූමිතෙල් නිසා එංජිමේ පිස්ටන්, සිලින්ඩර්වල දුම් බැඳීම නිසා එංජිමට වන හානිය අතිමහත්ය. 


එහෙත් භූමිතෙල් මිශ්‍ර ඩීසල් භාවිතය ගැන අප කතා කරත්දී බොහෝ දෙනා මතවාදයක් ඉදිරිපත් කරන්නේ කලකට ඉහත බූමිතෙල් වලින් ක්‍රියාකරන ශීතකරණ මෙන්ම ට්‍රැක්ටර්ද මෙරට භාවිත වූ බව කියමිනි. මේ ගැන කරුණු විමසීමේ දී පෙනී යන්නේ සෘජුවම පෙට්‍රල් භාවිත වාහන හෝ යන්ත්‍රෝපකරණ සහ ඩීසල් භාවිත වාහන හෝ යන්ත්‍රෝපකරණ ආදියේදී යාන්ත්‍රික වශයෙන් ඉඳුරා වෙනස් ක්‍රියාවලියක් සිදුවන බවය. 


භූමිතෙල් සෘජුවම භාවිත කරන වාහන හෝ යන්ත්‍රෝපකරණවලදී සිදුවන්නේ එම භූමිතෙල් අංශක 100 ගණනට උෂ්ණත්වයට ගෙන උණුසුම් කොට (Atamize) ගෑස් වශයෙන් භාවිතයට ගැනීමයි. තවමත් මෙවැනි භූමිතෙල් භාවිත කරන මැසි ෆර්ගියුසන් ට්‍රැක්ටර් ඉඳහිට දැකගත හැකිය. මේවාවල එන්ජින් හැඳින්වෙන්නේ විග්කොන්ෂි එන්ජින් ලෙසය (Wishconcy engine Air Cool System) 


සාමාන්‍ය ඩීසල් එන්ජිමක කාබලේටරය ඇත්තේ උඩුපැත්තටය. නමුත් භූමිතෙල් භාවිත එන්ජිමක කාබලේටරය ඇත්තේ ලම්භකවය. දැනට ද වොළෙඳපොළේ භූමිතෙලෙන් ක්‍රියාකරන ජෙනරේටර් දැකගත හැකිය. එහෙත් ඒවා පණගැන්විය යුත්ෙත් පෙට්‍රල් භාවිත කිරීමෙනි. භූමිතෙල් ප්‍රධාන වශයෙන් ​ෙයාදා ගන්නේ කෘෂිකර්මාන්තයේදී අඩු වියදම් කටයුතු සඳහාය. 


පසුගිය යුද සමයේදී යපනයේ බොහෝ පැරණි වාහන ධාවනය කෙරුණේ කපුරුබෝල මිශ්‍ර කළ භූමිතෙල් භාවිතයෙනි. 


ඩීසල්වලට භූමිතෙල් මිශ්‍ර කිරීම හා ඉන් සිදුවන හානිය ගැන කරුණු විමසීමට අප හමුවූයේ නයිජීරියාවේ වසර ගණනාවක් මෝටර් රථ වාහන විශේෂඥයෙකු ලෙස කටයුතු කළ නන්දසිරි සුරවීර මහතාය. 
ඔහු පවසන පරිදි භූමිතෙල්වලට කපුරු එක්කිරීමෙන් සිදුවන්නේ සයිලන්සරයෙන් නිකුත්වන දුර්ගන්ධය අවම වීම පමණී. රසායනික ප්‍රතික්‍රියාව අවමය. 


ලංකාවට භූමිතෙල් ආගමනය ගැන විමසීමේ දී පෙනී යන්නේ එය යටත් විජිත යුගය තෙක් විහිදී යන බවකි. ලංකා දුම්රිය ඉතිහාසය පිරික්සීමේදී පෙනී යන්නේ ඒවා වාෂ්ප බලයෙන් ධාවනය වන ස්ටීච් කෝච්චි බවය. මේ සඳහා යොදාගත්තේ ගල්අඟුරුය. ඉංග්‍රීසින් මෙරට මාර්ග පද්ධතිය ගොඩනැගීමේ දී යොදා ගන්නා ලද ගල්රෝල් සඳහා යොදා ගන්නා ලද්දේ ද මෙම ක්‍රමවේදයමය. 


පරණ එන්ජින් ඔයිල් සුද්ධ කර අලෙවි කරන ජාවාරමක් ගැන දැන් නිතර දැන්වීම් පළවනු දක්නට හැකිය. භූමිතෙල් මිශ්‍රිත ඩීසල් භාවිතයෙන් සිදුවන්නේ එන්ජිමට ඊටත් වඩා හානියකි. එන්ජිමක ඔයිල් රත්වීමේදී සිදුවනු රසායනික ප්‍රතික්‍රියාත් නිසා ඒවා නිසි කාලයේදී මාරුකිරීමේ අනිවාර්යයෙන් සිදුවිය යුත්තකි.

 
භූමිතෙල් මිශ්‍ර ඩීසල් භාවිත එන්ජිමක, තේරෙන භාෂාවෙන් කිව යුත්තේ තුන්වැනි ජියරයක යායුතු කන්දක් දෙවෙනි ගියරයේ ඇද්දිය යුතු බව කිව යුතුය. මෙය ගරාජයේ බාසුන්නැහේ හඳුන්වන්නේ පුලින් පවර් (Pulling -Power) අඩුවී කොම්ප්‍රෙෂර් අඩුවීමක් ලෙසය. 


පොදුවේ ගත්කල ඩීසල්වලට භූමිතෙල් මිශ්‍රිත ඉන්ධන භාවිත බස්වලින් සිදුවන්නේ දැඩි පරිසර දූෂණයකි. ඉන් පිටවන්නේ කාබන් ඩයොක්සයිඩ් හා කාබන් මොනොක්සයිඩ් වායුවය. ඒවා මනුෂ්‍ය ශරීරයට ඉතා අහිතකරය. මෙය වායුගෝලයට පිටවීමෙන් අභ්‍යවකාශයේ පටල හානි වී ඉන් පාරජම්බුල කිරණ (Ulterviolet) පෘථිවියට පතිත වී සතා සීපාවා පමණක් නොව ගහකොළ වලටද හානි පැමිණිය හැකිය. 


මෙම දුම් ආඝ්‍රාණයෙන් ඇදුම, පපුවේ මහන්සිය ඇතිවීම සිදුවේ. හෘදයාබාධ වලටද මෙය හේතුවිය හැකිය. පෙනහලුවල කාබන් බැඳීමෙන් සිදුවන හානිය ඊටත් වඩා අන්තරායක විය හැකිය. එමෙන්ම ස්වසනාළය හරහා මේ වායුත් ගමන් කිරීමෙන් හටගත හැකි රෝගාබාධ ද ගණනාවකි. 


භූමිතෙල් මිශ්‍රිත ඩීසල් ගැසූ බස්රථ සඳහා දුම් සහතිකයක් ගත්තේ කෙසේද අපට පැනනගුණු ඊළඟ ප්‍රශ්නයයි. මෙරට ආණ්ඩුවට සොච්චම් මුදලක් දී කෙරෙන මහා පරිමාණ ගැරිල්ලක් ලෙස විග්‍රහ කළ හැක්කේ ‘දුම් පරීක්ෂාවය’. මෙම බාධකය පැනීමට කළ යුත්තේ බස්රථ හිමියා දුම් පරිකෂක වෙත ගතමන්ට් එකක් අතමිට මෙලවීම පමණී. 


බල්ලෝ මරලා හරි සල්ලි හොයනවායි කියමනක් ජනවහරේ තිබේ. බලපත්‍ර ලාභී සුනඛ ඝාතකයා තමන්ට හිමි දීමනාව ලබා ගැනීමට දඩාවතේ යන මරා දැමූ සුනඛයාගේ වලිගය ඉදිරිපත් කළ යුතු විය. එකල බලු වෑන් එකේ බල්ලන් මරණ ලද්දේ එම වාහනයේ සයිලන්සරය වාහනයේ සිල් තැබූ බෝඩියට හැරවීමෙනි. ඒ බොඩිය තුළට දැමූ බල්ලා විනාඩි කීපයක දී එම දුමාරය ආඝ්‍රාණ​යෙන් මරුමුවට පත්වෙයි. 


ඩීසල්වලට භූමිතෙල් කලවම් කර දුවන බස්රථවලින් සිදුවන්නේ මෙවැනිම හානියකි. මෙම බස්රථවලින් පිටවන වායුවෙන් ළදරුවන්ට දරුවන්ට මෙන්ම වැඩිහිටි ජනතාවට ද අත්වන ඉරණම ඛේදජනකය. අඩුආදායම්ලාභීන් සහ ධීවර ප්‍රජාවට නිකුත් කරන භූමිතෙල් හරි හරියට ඩීසල්වලට කලවම් කොට දුවන බස්වලින් හම්බ කරන සල්ලි බල්ලන් මරා හොයාගත් සල්ලිවලටත් වඩා දුර්ගන්ධයකිත් යුතු විය යුත්තේ මේ නිසාමය.

 

 

 


වජිර ලියනගේ