ලංකාවේ අලුත් සිතියම නිකුත් වෙයි


 

රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව අලුතින් සකස් කරන ලද කොළඹ නගරයේ සිතියම ඉකුත් සතියක දී එළිදක්වන ලදී.   


කොළඹ වරාය නගරය හා අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අඩංගු මෙම සිතියමට අනුව කොළඹ නගරයේ සිතියම හෙක්ටයාර 474.5කින් පමණ වැඩි වී තිබුණි. ශ්‍රී ලංකාවේ අලුත් සිතියම මේ වසර අවසන දී නිකුත් කිරීමට නියමිත බව ද කියැවිණි.   


ශ්‍රී ලංකා නව සිතියම   


1998 වර්ෂයේ දී අවසන් වරට සම්පූර්ණව සකසනු ලැබූ ලංකා සිතියම විසි වසරක් යනතෙක් විවිධ හේතුන් මත සකස් කිරීමට නොහැකි විය. රටේ පළාත් දෙකක යුද වාතාවරණයක් පැවතීම, මෙයට බලපෑ ප්‍රධානම හේතුවක් විය. කෙසේ වෙතත් 2015 වර්ෂයේ දී පමණ නව සිතියම සැකසීම ආරම්භ කරන ලද අතර මේ වනවිට එහි කොටස් 74ක් සකසා අවසන්ය.   


දැනට සැකසීමට ඉතිරිව ඇත්තේ මධ්‍යම කඳුකරයට පහළ රත්නපුර, බදුල්ල, බණ්ඩාරවෙල, මොනරාගල ඇතුළු කොටස් දහ අටක්ය. සම්පූර්ණ සිතියම මේ වසර අවසන් වනවිට සකසා අවසන් කළ හැකි බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව දන්වා සිටියි. කොටස් 92කින් සමන්විත ලංකා සිතියම A 1 (one) කොළයකට මුද්‍රණය කෙරේ. වැඩ අවසන් කරන ලද කොටස් සිතියම් අලෙවි අංශයෙන් මිලට ගැනීමේ පහසුකම් ද මේ වනවිටත් යොදා අවසන්ය.   


ලංකාව මැනුම් කරන ආකාරය   


 

චන්ද්‍රිකා ඡායාරූප භාවිත කර තොරතුරු රැස් කිරීම මූලිකව සිදුකෙරේ. අවශ්‍ය තැන් හිදී පරීක්ෂා කිරීම් ද මැනුම් කටයුතු ද සිදුකෙරේ.   


එමෙන්ම ලේසර් තාක්ෂණය භාවිත කරමින් කඳුවල උස ගණනය කිරීම් සිදු කෙරේ. චන්ද්‍රිකා ඡායාරූප මගින් උස ගණනය කිරීම ගැටලු සහගත බැවින් මෙහිදී ලේසර් තාක්ෂණය වැනි විකල්ප යොදා ගැනේ. ඒවායෙන් ලබාගන්නා උස හා ගුවන් ඡායාරූප මගින් උස සම. සංසන්දනය කර බලා වෙනස්කම් පවතීද නැද්ද යන්න ගැන පරීක්ෂා කෙරේ. පොළොව මත මැනුම් කටයුතු සිදු කිරීම්වල දී ද උස හා ගැඹුර ගණනයට මෙම තාක්ෂණය යොදා ගනී.   


බොහෝවිට සිතියමක වැඩ අවසන් කිරීමට මෙකී හැම ක්‍රමයකම සංකලනයන් භාවිතා කර තිබීම දැකගත හැකිය.   


කඳුකර ප්‍රදේශවල මෙන්ම රට පුරා ඇති උස ගණනය කිරීම් සිදුකරන ස්ථානවලට ගොස් ඒවායේ උස ගණනය කිරීම සිදු කරයි. රට පුරා ඇති උස ගණනය කරන මධ්‍යස්ථානවලින් අවැසි දත්තයන් ලබාගෙන සිතියමට ඇතුළත් කෙරේ. මෙහිදී සමෝච්ච රේඛා ද සැලකිල්ලට ගනී.   


බොහෝවිට මෙම ලක්ෂ්‍යයන් නොවෙනස්ව පවතී. කැලෑ එළි කිරීම්, නායයෑම්, පස් කඳු කඩා වැටීම් යනාදිය ද මෙම කාර්යයේ දී සලකා බැලේ.   


පොළොවේ පවතින යථා ස්වභාවයන් සිතියම් මගින් දැක්වීමට මිනින්දෝරුවන් හැම විටම ක්‍රියා කරයි.   


මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය   


විශාල ජලාශයන් ඉදිකරන විට, අධිවේගී මාර්ග පද්ධති ආදී මාර්ග පද්ධති ඉදිකරන විට, ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන විට මිනින්දෝරු දෙපාර්තමේන්තුව සුවිසල් මෙහෙයක් ඉටු කරයි. ඒවායේ මූලික මැනීම් කටයුතු සිදු කර අවශ්‍ය තොරතුරු රැස් කිරීම, නිරීක්ෂණ කටයුතු සිදුකර, යෝග්‍යතාව පිරික්සීම යනාදිය ද සිදු කරයි.   


එමෙන්ම මාර්ග රක්ෂිත මිනුම් කටයුතු කිරීම. සලකුණු කිරීම, මාර්ගවල දුර ගණනය කිරීම්වලට ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව සිය දායකත්වය ලබාදෙයි. එමෙන්ම දුම්රිය මාර්ග ඉදිකිරීමේ කටයුතුවල දී ද මිනින්දෝරු දෙපාර්තමේන්තුව සිය දායකත්වය ලබාදෙයි. රටේ සිදුවන සෑම රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘතියකදීම මිනින්දෝරු දෙපාර්තමේන්තුව සිය දායකත්වය සපයයි.   


මහවැලි ව්‍යාපාරයේ සිට මෑතක ඇරඹි යාන්ඔය ව්‍යාපෘතිය දක්වා සෑම ජලාශයක් ඉදිකිරීමට ප්‍රථමව කැලෑවල්වලට ගොස් ඒවායේ මැනුම් කර ජලාශය ඉදිකළ යුතු තැන, බැමි බැඳිය යුතු තැන්, ඇළවේලි යනාදිය මෙන්ම කුඹුරු තිබිය යුත්තේ කුමන ස්ථානවල ද යන්න තීරණ ලබා දෙනුයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවයි. ඔවුන් ලබා දෙන තොරතුරු අනුව එම ඉදිකිරීම් සිදුවන අතර ව්‍යාපෘතිය අවසන් වනවිට එම තොරතුරු අනුවම ඉදිකිරීම් බොහෝවිට සිදුකෙරී ඇත. ඒවායේ පරස්පරතා ඇතිව තිබේ නම් ඒ සුළු වශයෙනි.   


මහවැලි ප්‍රදේශවල කැලෑ එළි කිරීම්වලින් පසුව ගම්මාන​ හෝ අනිකුත් භූමිවල විෂමතාවන් සිදුවී තිබුණහොත් ඒවා චන්ද්‍රිකා ඡායාරූප මගින් ලබාගැනීමත් සිදුකරයි. එමෙන්ම යෝජිත ව්‍යාපෘතිවල ද ඒවායේ සැලසුම් ද සිතියම්වල සටහන් කෙරේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත වනාන්තර පිළිබඳව මැනුම් කටයුතු සිදු කර තිබේ. සාමාන්‍යයෙන් වසර පහකට පසුව වනාන්තර පිළිබඳව සමීක්ෂණ කටයුතු කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියා කරයි. මෙවර සිතියමේ ද වනාන්තර හා භූමි පරිහරණය ගැන තොරතුරු ඇතුළත් වන අතර ඒවායේ තොරතුරු සියල්ල සිතියමේ වැඩ අවසන් වූ පසුව ඒවා ජාතික මට්ටමින් ගණනය කිරීමක් සිදුවේ.   


පසුගිය වසරේ දී කොළඹ, ගම්පහ, කෑගල්ල, නුවරඑළිය, බදුල්ල පහ ඇතුළත් වන පරිදි ලේසර් තාක්ෂණය භාවිත කර උස ගණනය කිරීමේ සමීක්ෂණයක් සිදුකරන ලදී. කඳුවල හැඩයන් වෙනස්වීම් නායයෑම් පවා මෙහිදී සැලකිල්ල යොමුකර ඇත.  


එමෙන්ම ඉකුත් වසරවලදී කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවලට ගංවතුර හා ජල ගැලීම්වලින් පසු සිදුව ඇති වෙනස්කම ද ගණනය කිරීම සිදුකර ඇත.  


ගුවන් ඡායාරූප තාක්ෂණය  


1800 වර්ෂයේ දී ආරම්භ කරන ලද මිනින්දෝරු දෙපාර්තමේන්තුවට මේ වනවිට වයස අවුරුදු 218කි. ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව වන මෙහි ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යන්නේ 1950 දී පමණ ඉදිකරන ලද පැරණි රෝහල් ගොඩනැගිල්ලකය.  


දෙවන ලෝක යුද සමයේ දී තොරතුරු එක් රැස් කිරීමේ සාර්ථක ක්‍රමයක් ලෙස භාවිතයට ගැනුණු ගුවන් මැනුම් තාක්ෂණය මුල් වරට ලංකාවේ භාවිත කර ඇත්තේ 1952 දීය. සාම්ප්‍රදායිකව ගිරිදුර්ග, හෙල්වැටි, ඝන වනාන්තර ආදිය තරණය කරමින් දහසකුත් බාධක හමුවේ ශ්‍රමයද, සම්පත් ද හිඟ කාලයන් හිදී ඉතා අනභිභවනීය මෙහෙවරක් කළ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මෙය සුවිසල් ත්‍යාගයක් හා සමාන විය.  
ගුවන් මැනුම් හා ඡායාරූප භාවිතය පිළිබඳව උපදෙස් හා ආධාර ලබා දෙන ලද්දේ කොළඹ ක්‍රමය මගිනි.  


ගුවන් මැනුම් විශේෂඥ පී.ජී. මොට් (P.G. Mott) මහතාගෙන් ලැබුණු උපදෙස් අනුව අප රටට ගැළපෙන පරිදි ගුවන් ඡායාරූපකරණය සඳහා අවැසි පිරිවිතරයන් සකස් කිරීම ද ඔහුට භාරව තිබුණි.  


1952 අප්‍රේල් මස දී මුල්ම ගුවන් ඡායාරූප ලබාගැනීම බ්‍රිතාන්‍ය හා ඉන්දීය සමාගම් දෙකක් සිදුකර තිබූ අතර ඒවා 1:10,000 හා 1:20,000 යන පරිමාණවලින් යුක්ත විය. අද වනවිට 1:50,000 පරිමාණය භාවිත වේ.  
මුල්ම ගුවන් ඡායාරූපවලට කොත්මලේ, නුවරඑළිය පාංශු රක්ෂණ ප්‍රදේශ, රත්මලාන හා රාගම යෝජිත උප නගර ප්‍රදේශ, කිරිඳිඔය හා මල්වතු ඔය ප්‍රදේශ, පදවිය, කොළඹ සංවර්ධන ප්‍රදේශ, කන්තලේ ආදී ප්‍රදේශයන් ද විය.  


මේ සඳහා අවැසි භූමි පාලන ලක්ෂ්‍යය දෙපාර්තමේන්තුව විසින් ලබාදෙනු ලැබූ අතර ඡායාරූපවල නිවැරදිභාවය බිම් මැනීම් මගින් තහවුරු කර ගන්නා ලදී. ඒවා සතුටුදායක මට්ටමක තිබුණි.


1953දී පදවිය වාරිමාර්ග ගවේෂණ මැනුම්වලදී මෙම ගුවන් මැනුම් සිතියම් භාවිත කර තිබේ.

ගුවන් යානයක පතුලට සවිකරනු ලැබූ විශේෂ ගුවන් කැමරාවක් මගින් භූමිය සිරස්ව ඡායාරූප ගත කරන අතර ඒවා ත්‍රිමාණව, මිනුම් ගැනීමටත්, සිතියම් කරණයටත් භාවිත කරන ක්‍රමවේදය වචනවලින් කෙටියෙන් විස්තර කළ නොහැකි තරම් සංකීර්ණය.


අඩි සිය ගණන් දිගැති ගුවන් සේයා පටල විකාශ කිරීම කරන ලද්දේ විදේශීය රසායනාගාර වලින් වීමද සුවිශේෂීය. මේ ක්‍රමය සාර්ථක වූ නිසා රජය මගින් 1955 දී එහි ප්‍රගතිය පිළිබඳව වැදගත් තීරණ රැසක් ගෙන ඇත.
ඒ අනුව කොළඹ ක්‍රමය යටතේ කැනේඩියානු ආධාර මත ගුවන් මැනුම් නියාමන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.  


ඒ අනුව මුළු දිවයිනේම ගුවන් ඡායාරූප ගෙන ඇති අතර ඇතැම් ස්ථානවල විශාල ප්‍රමාණයේ සේයාරූ ලබාගැනීමක් සිදුව ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ගුවන් යානා දෙකක ගුවන් කැමරා සවිකර යානා පැදවීම හා කැමරාකරණය පිළිබඳව නිලධාරීන්ට පුහුණුවක් ද ලබා දී තිබේ. එපමණක් නොව තාවකාලික රසායනාගාරයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටුවා සේයා පටල තිර කිරීමේ තාක්ෂණය පිළිබඳව නිලධාරීන්ට පුහුණුවක් ද ලබා දී තිබේ.  


මෙම සේයාරූවලින් සිතියම් සැකසීම 1957 සිට 1961 දක්වා සිදු කර තිබේ. එහිදී අඟලට සැතපුමක් පරිමාණයේ සිතියම් 72ක් පිළියෙල කරවා ඇත.  


එපමණක් නොව ඇ​ෙමරිකා එක්සත් ජනපදය විසින් ගුවන් මැනුම් අංශය සඳහා ගුවන් කැමරාවක්, සිතියම්කරණය සඳහා කැමරාවක්, මුද්‍රණ යන්ත්‍රයක් ආදී උපකරණ රැසක්ම ලබා දී ඇත. එපමණක් නොව ස්විට්සර්ලන්ත සමාගමක් විසින් සිතියම් සැකසීමේ යන්ත්‍රයක් ද පරිත්‍යාග කර තිබේ.  


ගුවන් යානා පරිත්‍යාගය  


සම්පත් හා තාක්ෂණයෙන් ගුවන් මැනුම් අංශය දියුණු වුවද ඒ වෙනුවෙන්ම සැදි ගුවන් යානාවක් නොමැති වීම බලවත් අඩුපාඩුවක් විය.  


1957 දී එම අඩුපාඩුව සපුරාලීමට ඉදිරිපත් වූයේ ඇ​ෙමරිකා එක්සත් ජනපදයයි. Beach Craft Super 18 S වර්ගයේ යානාවක් පරිත්‍යාග කර ඇති අතර එය ලංකාවට රැගෙන එනවිට ඉතාලියේ නේපල්ස් ආසන්නයේ දී අනතුරට ලක්ව තිබෙනුයේ නියමුවා ද මරුමුවට යවමිනි.  


අවාසනාවන්ත සිදුවීම වනුයේ මෙම නියමුවා ස්වකීය මනාලිය වූ සහායක නියමුවරිය සමග මධුසමය ගත කිරීමට මෙම ගමන යොදාගෙන තිබූ අතර ඔවුන් දෙදෙනාම එහිදී මියයෑමේ එම ශෝකජනක පුවත ජේ.ඩී. චන්මුගම් මහතා විසින් 1979දී මැනුම් සඟරාවට ලියා ඇත.  


එම යානය වෙනුවට තවත් යානයක් ලැබුණත් 1958 අගෝස්තු මස එය පුහුණු අභ්‍යාසවල නිරත වීමේදී අඟුලාන දුම්රිය ස්ථානය අසල දී කඩාවැටී අනතුරට ලක්වූවත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැත.  


අවාසනාවන්ත අයුරින් ගුවන් යානා දෙකක්ම පිට පිටම විනාශ වුවත් ඒවායේ රක්ෂණ ක්‍රමයන් නිසාම තවත් Beach Craft Super 18 S යානයක් ඇ​ෙමරිකාව විසින් ලබා දෙන ලද්දේය. ඒ 1959 ජුලි මාසයේ දීය. මෙය පැදවීම හා නඩත්තුව Air Ceylon Limited ආයතනයට පැවරී තිබූ අතර ගුවන් මැනුම් සඳහා කාර්ය මණ්ඩලය පුහුණුව කැනඩා ආධාර මත සිදු කෙරිණි. මේ මගින් පළමුව සේයාරූ ගෙන ඇත්තේ හම්බන්තොට ලුණු ලේවායයි.  


1980 දශකය වනවිට මැනුම් කටයුතු සඳහාම ඉතාලියේ නිෂ්පාදිත Cessna Golden 421 C යානයක් මිලට ගෙන තිබූ අතර පසුව එයට RC-20 වර්ගයේ ගුවන් කැමරාවක් ද සවිකර කෘෂිකාර්මික මූලික සිතියම් ව්‍යාපෘතියට යොදාගෙන ඇත. මෙම යානය 1995 දී හා 2001 දී අනතුරුවලට බඳුන් වූ අතර දෙවැනි අනතුරින් පසු එයට සේවා කිරීමට නොහැකි තත්ත්වයට පත් වූ නිසා එය ගුවන් හමුදාවට භාර දී ඇත. පසුව ගුවන් සේයාරූ ලබාගෙන ඇත්තේ ගුවන් හමුදාව විසිනි.  


චන්ද්‍රිකා තාක්ෂණය  


චන්ද්‍රිකා තාක්ෂණය 1970 සිටම ලංකාව භාවිත කර ඇත. ස්විස්ටර්ලන්තය විසින් මෙය හඳුන්වා දී ඇති අතර ඒකාබද්ධ දුරස්ථ ග්‍රහණ අංශයක් දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇත. මෙමගින් ලංකාවේ කැලෑ, හේන් හා ඉඩම් යනාදිය මුල් වරට සේයාරුවට නගා ඇත. තේ පර් ​ෙය්ෂණ ආයතනය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික වනජීවී ආයතනය, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ඒවා ද වසර ගණනාවක සිටම මෙම සේවාව මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් ලබාගනී.  


දක්ෂිණ අධිවේගී මාර්ගයේ මූලික මැනුම් කටයුතුවලට ද චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන ඇති අතර දැනට භූ ලක්ෂණාත්මක දත්ත පද්ධති සැකසීමට, විවිධ සංවර්ධන කටයුතුවලටත්, ජාතික ආරක්ෂාව සඳහා අවැසි ක්‍රියාමාර්ග වෙනුවෙන් දත්ත හා සේයාරූ ලබාදීමත් මෙම අංශ හරහා සිදුකරයි.  


මැනුම්පති පී.එම්. පාලිත උදය කාන්ත මහතා අපට මෙසේ අදහස් දැක්වීය.  


කොළඹ සිතියමේ වර්ග කිලෝමීටර 2.69 වැඩි වෙලා තියෙනවා. මේ ​ෙවනවිට වර්ග කිලෝමීටර දෙකක ගොඩ කිරීම් කරල නිසා කොළඹ සිතියමේ විශාලවීමක් තිබෙනවා. වැලිපර එකතුවීම්, මුහුදු ඛාදනය යනාදියත් සුනාමි බලපෑමත් නිසා රටේ අනිකුත් පෙදෙස්වලින් මෙවැනිම ප්‍රමාණයක් අඩුවිය හැකියි. අපේ නිලධාරීන් විස්සක් පමණ මේ සිතියම් සකසන දුරස්ථ ග්‍රාහණ අංශයේ සේවය කරනවා.  


ඒ හැර ක්ෂේත්‍ර නිලධාරීන් සමග 50ක් පමණ සිතියම් සැකසීමට දායක වෙනවා. එක සිතියමකට ඇතැම්විට මාස 10ක් පමණ ගතවන අවස්ථාත් තිබෙනවා. සිතියම් කොටස් සකසා අවසන් වාර්තාවට පෙර ඒවා ඒ ඒ කොටස් අයිති අපේ ප්‍රාදේශීය කාර්යාලවලට යවලා අඩුවැඩි කිරීම් එකතු කර ගන්නවා.  


චන්ද්‍රිකා තාක්ෂණයත්, ගූගල් වල සිතියමෙයි වෙනසක් නොවන ආකාරයට මෙවර සිතියම සකසන්නේ. කලින් අපේ සිතියමෙයි ගූගල් සිතියමෙයි වෙනස්කම් තිබුණා.  

 

 

 

 

 

සටහන 
පුෂ්පා වීරසේකර