රටට බරක් වූ ප්‍රභූවරුන් සහ ප්‍රභූ වාහන


 

 

ප්‍රභූ ආරක්ෂක අංශවල නියැළී සිටින පුද්ගලයන් වෙතින් සිදුවෙන අකටයුතුකම් ගැන නිතරම පාහේ ජනමාධ්‍ය වෙතින් දැනගන්නට ලැබේ. මෙම මාදිලියේ අලුත්ම සිදුවීම වාර්තා වෙන්නේ කොළඹ - නුවර පාරේ කළගෙඩිහේන ප්‍රදේශයෙනි. එම මාර්ගයේ ගමන් කරමින් තිබුණු වාහනයක් තමන්ගේ වාහනයට ඉඩ නොදීම නිසා කෝපයට පත් ප්‍රභූවරුන් ගමන්ගන්නා වාහනයක සිටි පිරිසක් පෙර කී රියැදුරාටත් එම වාහනයටත් පහර දී අලාභහානි කිරීම මෙම සිදුවීම වේ. ප්‍රභූ ආරක්ෂක අංශවල නිලධාරීන් නිතරම සිටින්නේ ආයුධ සන්නද්ධව බව නොරහසකි. එම අවි ආයුධ යොදා ගනිමින් රටේ අහිංසක හා නිරායුධ සිවිල් වැසියන් ඝාතනය, තුවාල කිරීම මෙන්ම තර්ජනය කර බිය ගැන්වීම ද කිසිම ආකාරයකින් යුක්ති සහගත කළ නොහැක. කළගෙඩිහේනේ සිදුවීමේ හරි වැරැද්ද පිළිබඳව අපි කිසිවක් නොදන්නෙමු. ඒ පිළිබඳව අදාළ අංශ මගින් විමර්ශන සිදුවෙමින් පවතින බව ද කියැවෙන නිසා අපි ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින්නෙමු. එසේ ද වුවත් අප මේ සූදානම් වෙන්නේ මෙම ප්‍රවණතාව සමාජගත වූ ආකාරය පිළිබඳව විමසුමක් කිරීමටයි.


නිදහස් ලංකාවේ ආරම්භයේ දීම ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධානම ප්‍රභූවරයා වූවේ අගමැතිවරයාය. ඔහු මහජන වරමෙන් තේරී පත්වූ අතර අග්‍රාණ්ඩුකාරවරයා මහරැජිනගේ/ රජුගේ බලය නියෝජනය කරමින් කිරීටයේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කළේය. මෙරට මුල්ම අගමැතිවරයා වශයෙන් සේවය කළේ‍ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාය. එතුමාගේ ජීවිතය සරල සුන්දර ගැමියෙකුගේ සාමාන්‍ය දිවි පෙවෙතම විය. ප්‍රතාපවත් දේහයකට උරුමකම් කී එතුමා සෑම අවශ්‍යතාවයක් සඳහාම ගියේ තනිවම බව සමකාලීනයෝ පැවසූහ.


කලිසමකින් සහ අත්දිග මේස් බැනියමකින් සැරසුණු අගමැතිතුමා අරලියගහ මන්දිරයෙන් නික්ම පාගමනින්ම ගොස් කොල්ලුපිටියේ (ගාලු පාරේ) පිහිටි ගේබ්‍රියෙල් අයියාගේ බාබර් සාප්පුවෙන් කොණ්ඩය කපා ගැනීම සිරිතක් විය. ගේබ්‍රියෙල් අයියා කොතෙක් පිංසෙන්ඩු වුවත් අගමැතිතුමා තම වාරය එනතුරු පෝලිමේ රැඳී සිටියි. කොණ්‍ඩය කපා ගැනීමට සිටින අය ද අගමැතිතුමාට කොච්චර රාජකාරි තියෙනවාද? ඒ නිසා කොණ්ඩය කපා ගෙන ඉක්මනට යන්න කීවත් මට උඹලා එක්ක ටිකක් වෙලා කතා කරන එකත් සනීපයක් යැයි කියනවා මිස කිසිදිනක පෝලිමෙන් පිට තම වාරය පිළිගත්තේ නැති බව එච්.ඒ.​ෙජ්. හුලුගල්ල මහතා ලියූ සේනානායක චරිතාපදානයේ සඳහන් වේ.


දිනපතා කරන ශාරීරික ව්‍යායාම සඳහා වූ අසුපිට ගමන් කිරීමේ දී අලුයම මද අඳුරේ වුවද ගමන් කළේ හුදකලාවේමය. එතුමා අසු පිටින් වැටුණු දිනයේ ඒ අවට අසෙකු පිට නැගුණු පොලිස්පති සර් රිචඩ් අළුවිහාරේ මහතා සිටියා වුවද ඔහු පැමිණ තිබුණේ පෞද්ගලිකව තමාගේ ශාරීරික ව්‍යායාමය සඳහා බව පොලිස්පතිවරයා අගමැති අභාවය පිළිබඳව පැවති පරීක්ෂණයේ දී දුන් සාක්ෂියේ සඳහන් කළ බව පුවත්පත්වල පළ විය.


සිය ගණන් ආරක්ෂකයන් පිරිවරාගෙන ගිනි අවි අමෝරාගෙන ජනතාවට පීඩා කරමින් ගමන් බිමන් යාමට එදා නායකයන් ක්‍රියා කළේ නැත. එදා රටේ තිබුණු සාමකාමී බව හා සරල බව කියාපාන එක්තරා කතාවක් මගේ සිහියට නැගේ. මෙම පුවත මා සමග පැවසුවේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා කෙනෙකු වූ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයෙකු ද වූ සෑම් විජේසිංහ මහතාය.


ඒ මහතා කියන හැටියට ඩී.ඇස්. සේනානායක අගමැතිතුමා විදේශ සංචාරයක නිරතවීම සඳහා රත්මලාන ගුවන් තොටුපොළට පැමිණියේය. මොලී දුනුවිල සේනානායක මැතිනිය ද එතුමා සමග වූවාය. ගුවන් තොටුපළේ මගීන් පිටව යන පර්යන්තයට ඇතුළුවීමට පෙර අගමැතිතුමාට සුබපැතීම සඳහා පිරිසක් පේළිය සෑදී සිටියහ. කැබිනට් ඇමැතිවරු, මන්ත්‍රීවරු, සේනානායක පවුලේ ඥාතීහු, මිත්‍රයෝ, තානාපතිවරු ආදීහු මෙසේ පේළි ගැසී සිටියහ. අගමැතිතුමා මේ සියල්ලන්ටම අතට අත දී සුබපැතුම් පිළිගනිමින් ඉදිරියට එද්දී එහි සිටි එක් සුවිශේෂී පුද්ගලයෙකු කෙරෙහි අවධානය යොමු විය. ඔහු ඩේවිඩ් නමැත්තෙකි. අගමැතිවරයාගේ ඉතා සමීප මිතුරෙකි. ඔහුගේ සුබපැතුම් පිළිගත් සේනානායක මහතා “ඩේවිඩ්, මම එනකල් ලංකාව බලාගනින්” යැයි කීවේය. “හොඳමයි අගමැතිතුමා මම එක කරන්නම්” යැයි පැවසූ ඩේවිඩ් මුදලාලි ලංකාව පාලනය කිරීම භාර ගත්තේය.
පසු දින උදේ නවයට අගමැති නිල නිවසේ අංගණයේ තිබුණු විශාල අරලියගස යටට පැමිණි ඩේවිඩ් මුදලාලි එහි සිට රට පාලනය කළේය. සවස පහට ඔහු නිවසට ගියේය. අගමැතිතුමා ආපසු දිවයිනට සැපත්වන තුරු ඒ දින ගණන එසේ “රට පාලනය” කළේය. ඩේවිඩ් අතින් රට පලානය වුවත් නැතත් එදා පැවති සාමකාමී සහ යහපත් ආකාරයේ ලංකාව ඩේවිඩ්ටත් පාලනය කිරීමේ හැකියාව තිබුණි. එනිසා මිනිසුන් බියවද්දමින් මරහඬ නංවමින් යන ප්‍රභූ ආරක්ෂක අංශ එදා අවශ්‍ය වූවේ නැත.


ඉන් පසු එළඹුණේ ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ යුගයයි. ජනරන්ජන ජනනායක යන විරුදාවලියෙන් ආදරයෙන් හඳුන්වන ලද එතුමා අතිශයින්ම ජනප්‍රිය, ජනතාවට සමීප නායකයෙක් වූවේය. එතුමා අගමැති ධුරය දරද්දී තම මෝටර් රථය තමාම පදවාගෙන කොළඹ වීදිවල ගමන් කරනු එකල සුලභ දසුනක් වූ බව එතුමාගේ සමකාලීනයෝ මා සමග කීපවරක්ම පැවසූහ. නිල රියදුරන් සිටියා වුවත් ඩඩ්ලි සේනානායක මහතාට එසේ කිරීමට ශක්තිය තිබුණේ රටේ පැවති සාමකාමී බව නිසාය.


1953 සිදු වූ මහා හර්තාලයෙන් ඇති වූ තත්ත්වය මත තනතුර හැරදා කේෂ්ත්‍රයෙන් ඉවත්වීමට ඒ මහතාට සිදු වූවා වුවත් වසර කීපයකට පසුව පාක්ෂිකයෝම සිය කර මතින් ආපසු දේශපාලනයට කැඳවාගෙන විත් නායකත්වය දෙපා මුල තබා පුද කළේ එතුමාට තිබුණු ජනතා ආකර්ෂණය නිසාය. එමෙන්ම එවැනි මහත්මා දේශපාලකයන්ට පාරේ යාමට බොඩිගාඩ්ලා අවශ්‍ය වූවේ නැත.


ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව එම තනතුර හිමි වූවේ සර් ජෝන් කොතලාවල මහතාටය. හමුදාවේ කර්නල් ධුරයක් ද දැරූ එතුමා හමුදා විනයෙන් හැඩ ගස්වා ගන්නා ලද චරිතයක් විය. පියාගෙන් උරුම වූවේ යැයි සිතිය හැකි නිර්භීත බවකින් ද යුතු වූ එතුමා නාහෙට නාහන පුද්ගලයෙකු ලෙස ප්‍රකටව සිටියේය. එනිසාම ඔහුට අමුතු ආරක්ෂාවක් යෙදිය යුතු නොවීය. කොතලාවල මහතා පහරදුන් අවස්ථා මිස ඔහුට ප්‍රහාරයක් එල්ල කිරීමට සමතෙක් මේ දිවයිනේ නොසිටි බව නම් සත්‍යයකි.


පනස් හයේ විප්ලවයෙන් ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා බලයට පත්වීමෙන් පසු රටේ බොහෝ ​ෙක්‍ෂ්ත්‍රවල පෙරළියක් සිදු වූ බව ප්‍රකට කරුණකි. එහෙත් ක්‍රියාත්මකව පැවති මරණීය දණ්ඩනය අත්හිටවීමට නීති සම්පාදනය කළ එම රජය බොහෝ ආරක්ෂක බැමි ලිහිල් කළේය. කිසිදු පරීක්ෂණයකින් තොරව තම නිවසට පැමිණ අගමැතිවරයා හමුවීමට රටවැසියන්ට ඉඩ සලසා දුන්නේය. අගමැතිවරයාට හිමි නිල නිවාසය වූ අරලියගහ මැදුරේ වාසය කිරීම ප්‍රති​ෙක්‍ෂ්ප කර රොස්මීඩ් පෙදෙසේ පෞද්ගලික නිවාසයේම පදිංචිව සිටි නිසා යම් යම් අවශ්‍යතාවන් ඉටු කරවා ගැනීමට අගමැති හමුවීමට එන කාටත් රොස්මීඩ් නිවසට පැමිණීමට අවසර ලැබුණි. එක් පොලිස් නිලධාරියෙකු පමණක් ප්‍රධාන දොරටුවේ රැඳී සිටි නමුදු පැමිණෙන අය පරීක්ෂා කිරීමක් සිදු නොවීය.


අගමැති බණ්ඩාරනායක ඝාතනය සිදුවූවේ මෙම පසුබිම පවතිද්දීය. ඝාතකයා වූ තල්දූවේ සෝමාරාම නමැති චීවරධාරියා පිස්තෝලයක් ද රැගෙන එම නිවස තුළට පිවිසෙනු කිසිදු ආරක්ෂක අංශයක පරික්ෂාවට ලක්වූයේ නැත. රුසියාවේ නායක ලෙනින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඒබ්‍රහම් ලින්කන්, ඉන්දියානු විමුක්ති සටනේ නායක මහත්මා ගාන්ධි වැනි නායකයන් වෙඩි තබා ඝාතනයන් සිදු කර තිබුණත් මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය නායකයෙකු ඝාතනයට ලක්වූයේ මෙවරය. එයින් රටම කම්පනයට පත් වූ අතර ආරක්ෂාව ලිහිල් කර තිබීම යෝග්‍ය නොවන බවට ද අදහස් ඉදිරිපත්ව තිබුණි.


බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති ධුරයට පත් වූවේ එම රජයේ අධ්‍යාපන ඇමැතිවරයාව සිටි විජයානන්ද දහනායක මහතාය. බණ්ඩාරනායක ඝාතනයට සම්බන්ධව සිටියේ දේශපාලන ​ෙක්‍ෂ්ත්‍රයේ සහ රටේම බලවත් පිරිසක් වූ නිසා එම පරීක්‍ෂණ සිදුකරන ආණ්‍ඩුවේ නායකයන්ට ද අනතුරක් සිදුවෙනු ඇතැයි බියක් පළ විය. එම තත්ත්වය මත ගත් ආරක්ෂක පියවර වූවේ අරලියගහ මන්දිරයේ තාප්පය අඩි හතරකින් උස් කිරීමය. පොලිස් පරීක්ෂකවරයෙකු යටතේ පොලිස් භටයන් කීප දෙනෙකුගෙන් යුතු අගමැති ආරක්ෂක ඒකකයක් ද පිහිටවනු ලැබීය. පෙර සිටි අගමැතිවරුන්ට ද මෙම පහසුකම ලබාගැනීමට නිල වශයෙන් හැකියාව තිබුණත් ඒවා පිළි නොගැනුණි.


හැටේ ජූලි මැතිවරණයෙන් සිරිමාවෝ බණ්‍ඩාරනායක මැතිනිය බලයට පත් වූවාය. මෙම යුගය වෙන විට බොහෝ දේ වෙනස් වෙමින් තිබුණි. 1962දී පොලිසියේ සහ යුද හමුදාවේ ඉහළ මට්ටමේ නිලධාරීහු කණ්ඩායම් රාජ්‍ය බලය අත්කර ගැනීම සඳහා කුමන්ත්‍රණයක් මෙහෙයවූහ. අගමැතිනිය ඇතුළු දේශපාලකයන් රැසක් අත්අඩංගුවට ගැනීමටත් රාජ්‍ය බලය උදුරා ගැනීමෙන් පසු මිලිටරි ජුන්ටාවක් මගින් රට පාලනය කිරීමටත් සැලසුම් කර තිබුණ බව කියැවුණි. මෙම බරපතළ තත්ත්වය හමුවේ ආරක්ෂක පියවරයන් දැඩි කිරීමට රජයට සිදු විය. මෙම කුමන්ත්‍රණ ප්‍රයත්නය පරාජය කිරීමෙන් පසුව වුවද බොහෝ ආරක්ෂක විධිවිධාන එලෙසින්ම පවත්වාගෙන යනු ලැබීය.


සිරිමාවෝගේ දෙවැනි රජය 1970දී බලයට පත් විය. එය පිහිටුවා වසරක් ගතවීමටත් පෙර එනම්, 1971 අප්‍රියෙල් මුලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආයුධ සන්නද්ධ අරගලයක් මෙහෙයවන ලද අතර එක් රැයක් තුළ පොලිසිවලට පහර දී ඒවායේ තිබෙන ආයුධ පැහැරගෙන එමෙන්ම රාජ්‍ය අණසක බිඳ හෙළා පාලනය තමන් වෙත නතුකර ගැනීම එම අරගලයේ අරමුණ විය. මෙයට පෙර ලංකාවේ සිදු නොවූ ආකාරයේ අත්දැකීමක් වූ මෙම සිද්ධිය නිසා විශාල ජීවිත හානියක් මෙන්ම දේපළ විනාශයක් ද සිදු විය. මෙම සටන මැඩ පැවැත්වීමට ආරක්ෂක අංශවලට ශක්තියක් නොතිබුණි. රජය ජාත්‍යන්තරයෙන් උපකාර පැතීය. ඒ අනුව ඉන්දියාව, බ්‍රිතාන්‍යය, යුගොස්ලෝවියාව ආදී රටවලින් ආධාර ලැබුණි. බොහෝ ප්‍රදේශවල ආරක්ෂක හමුදාවන් සහ කැරලිකරුවන් අතර මුහුණට මුහුණ සටන් පැවතුනි. අවසානයේ කැරැල්ල මැඩපවත්වන ලද නමුදු නැවතත් ත්‍රස්ත ක්‍රියාකාරකම් ඇතිවනු ඇතැයි රජය බියෙන් පසුවිය. අගමැතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තම ගම් පෙදෙස්වල ජීවත්වීම පවා අනාරක්ෂිත තත්ත්වයක පැවතුණි. එනිසා සමහරුන් කොළඹ ආරක්ෂිත ස්ථානවල රඳවා තැබීමට රජයට සිදුවිය. ඇමැතිවරුන්ට ද වැඩි ආරක්ෂක නිලධාරීන් ලබාදීම සිදු වූයේ මෙම සිද්ධියෙන් පසුවය.


සිරිමාවෝ බණ්‍ඩාරනායක රජය පරාජයට පත් කරමින් 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් රජයක් බිහිවූයේ අති විශාල ජනවරමක් සහිතවය. එහෙත් එම රජයේ බොහෝ ක්‍රියාකාරකම් නිසා දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද බලවත් ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට එම රජයට සිදු විය. ඉන්දියාවේ මැදිහත්වීම මත ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී කල්ලි ගණනාවක් විවිධ නම්වලින් උතුරු නැගෙනහිර පළාත් දෙකේ ක්‍රියාත්මක වීම ආරම්භ වූ අතර එම කල්ලිවලට අවි ආයුධ සහ මුදල් ආධාර ලබා දුන්නේ ඉන්දියාවයි. විශේෂයෙන්ම තමිල්නාඩු බලවතුන් වූ ඇම්. කරුණානිධි, ඇම්.ජී. රාමචන්ද්‍රන් සහ ජයලලිතා ආදීහු තරගවැදී එම ත්‍රස්ත කල්ලි පෝෂණය කළහ.


යාපනය හිටපු මන්ත්‍රී ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කිරීමෙන් ඇරඹුණු මෙම කොටි නැටුම කාගේත් අමනෝඥකම් නිසා මහා යුද්ධයක් බවට පත් විය. මෙම යුද උණුසුම නිසා පාලකයන්ගේ පමණක් නොව සිවිල් ජනතාවගේ ද ජීවිතය ආරක්ෂා සහිත නොවීය. කොළඹ නගරයේ ද නිරන්තරයෙන් මරාගෙන මැරෙන බෝම්බ පිපිරවුණි. විශේෂයෙන්ම ප්‍රභු ආරක්ෂාව වැඩි අවධානයට යොමු කිරීම සිදුවිය. යුද්ධයට විසඳුමක් වශයෙන් ඉන්දු - ලංකා රාජ්‍ය නායකයන් අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. එහි අංගයක් වශයෙන් ඉන්දියානු සාමසාධක හමුදාවක් ලංකාවට එවන ලද අතර එය බලවත් විවාදයට ලක්වූ කාරණයක් විය.


එම හේතුව නිසාම ලංකාවේ දකුණු ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් දෙමළ බහුතරයක් නොවෙසෙන සමස්ත ප්‍රදේශවල කැරලිකාරී කලබලයක් නිර්මාණය විය. මෙම සටන ගෙන ගියේ ජවිපෙ විසින් සංවිධානය කරන ලද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය බව ද ප්‍රකාශ විය. තංගල්ල එජාප මන්ත්‍රීව සිටි ජිනදාස වීරසිංහ, එක්සත් ජාතික පක්ෂයේ සභාපති හර්ෂ අබේවර්ධන, ලේකම් නන්දලාල් ප්‍රනාන්දු ආදී බලවතුන් රාශියක් ඝාතනය විය. මෙම බලවේගය අතින් හෝ කොටි අතින් හෝ රාජ්‍යාරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න මහතා ද මරාගෙන මැරෙන බෝම්බයකට ගොදුරු විය. සෑම තැනකම බෝම්බ බිය රජ කරනු දක්නා ලදී.


මේ නිසා ප්‍රභූ ආරක්ෂාව බරපතළ ලෙස දැඩි කරන්නට කටයුතු යෙදුණි. වසර තිහක් තිස්සේ උතුරේ යුද්ධය ඇදී ගියේය. කිසිම පුරවැසියෙකුගේ ජීවිතය ආරක්ෂිත නොවූවේය. අවශ්‍යතාවක් සඳහා නිවසෙන් බැහැර වෙන කිසිවෙක් පණ පිටින් ආපසු පැමිණේදැයි කිසිවෙකු තුළ විශ්වාසයක් නොවීය. සිවිල් පුරවැසියන්ගේ කෙසේ වෙතත් ප්‍රභූන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා පියවර ගැනීමට මුල් තැන දීම කවදත් කොතනත් සිදුවන්නකි. එනිසා ප්‍රභූ ආරක්ෂාව සඳහා ඒකක කීපයක්ම ඇති කෙරුණි. එයින් එකක් වූවේ ජනාධිපති ආරක්ෂක අංශයයි. ඇමැති ආරක්ෂක අංශයක් ද විය. මේ කුමන අංශ පිහිටුවන ලද නමුදු ඝාතනවල අඩුවක් නොවීය. ජනාධිපති ප්‍රේමදාස මහතා කොළඹ ආමර්වීදියේ දී ඝාතනය විය. ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරතුංග, ගාමිණී දිසානායක වැනි ප්‍රබලයෝ රැසක් මරු දුටහ. මෙම වාතාවරණය හමුවේ සමහර ප්‍රභූවරුන්ට සියය දෙසීය පමණ පිරිසක් ආරක්ෂකයන් වශයෙන් යොදවා තිබෙනු දක්නට ලැබුණි.


මෙය ලියන විට මගේ පෞද්ගලික අත්දැකීමක් ද සිහියට නැගේ. මගේ බාල දියණිය කලක් ඇමැතිවරයෙකුගේ කාර්ය මණ්‍ඩලයේ සේවය කළාය. දේශපාලන ක්‍රියාකාරීත්වය කෙරෙහි එකල ඇය යම් උනන්දුවක් දක්වමින් සිටියාය. ඒ වකවානුවේ ඇයගේ විවාහය යෙදුණි. සාක්ෂියට අත්සන් කිරීම සඳහා බලවතෙකුට ආරාධනා කරන ලෙස අදාළ ඇමැතිවරයා මගේ දියණියට උපදෙස් දී තිබුණි. එම යෝජනාව ගැන ඇසූ මම ප්‍රමෝදයට පත්වීමි. කාරණය ඉදිරියට ගෙන යාමේ දී පරහක් මතු විය. එකී ප්‍රබලයාගේ ආරක්ෂක භටයන් දෙසීයකට සංග්‍රහ කළ යුතු යැයි නියමයක් ලැබුණි. මගේ හතර වරිගයෙන්ම ආරාධනා කිරීමට සැලසුම් කළේ අමුත්තන් දෙසීයකටය. එසේ වූ විට ප්‍රභූවරයා වෙනුවෙන් ආරක්ෂකයන් දෙසීයකට සංග්‍රහ කිරීමට වූ යෝජනාව අතහැර දැමීමට මම දියණියට උපදෙස් දුනිමි. එය එසේම සිදු විය. එම සිදුවීම මට බරක් වූවා සේම මෙම ප්‍රභූ ආරක්ෂක බලඇණි රටටම බරක් යැයි මට සිතේ.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ