පාතාල උණ්ඩයට බිළි වූ අහිංසක කාන්තාව


වැලිගම්පිටිය දේවස්ථානයෙන් දේවාශිර්වාද ද ලබා තමන් අලුතෙන් අරඹන පෙර පාසලේ වැඩකටයුතු අවසන් කරගන්නට සිය දියණියත් සමඟ මගට බැස්ස ඈන් රසිකාට ඇගේ හීන සපුරාගන්න නරුම ලෝකය ඉඩ තැබුවේ නැත. ඇගේ පමණක් නොව ඇගේ දරුවන්ගේ සැමියාගේ හීන සියල්ල කුඩු පට්ටම් වී උඩු සුළඟේ ගසාගෙන ගියේ ඇසිල්ලකින් හඹා ආ මූනිස්සම් වරුසාවකින් ඇගේ සිරුර සිදුරුව රුහිරු ගංගාවක් මහ මග ගලා යද්දීය.   


 මේ කුරිරු අත්දැකීමට පසුගිය 30 වැනිදා දහවල් 12.30ට පමණ මුහුණ දුන්නේ ජා ඇළ, වැලිගම්පිටියේ, වැලිකුරුඳුවත්ත පෙදෙසේ විසූ 40 හැවිරිදි දෙදරු මවක වූ වර්ණකුලසූරිය ඈන් රසිකා රොවෙල්ය.   


 තම මව වෙඩි ප්‍රහාරයකට ලක්ව ලේ විලක වැසී යනු සියැසින් දුටු අට හැවිරිදි දියණිය එළීෂා තවමත් කම්පනය දරාගනු නොහැකිව සිටින්නීය. සිය පියා ඉතාලියේ සිටියදී මවට සිදු වූ මේ විපතෙන් දොළොස් හැවිරිදි වැඩිමල් පුතු ජුලියන් ද මහත් සේ කම්පාවට පත්විය. තම පාසල් කාලයේ මිතුරෙකු වූ ස්ටෙෆ්නිගෙන් හද කම්පා කරවන මේ පුවත සැල වූ වහාම ඈන් රසිකාගේ සැමියා වූ දීපාල් කොස්ටා ලංකාව බලා පැමිණියේය. සතුරෙකුටවත් මෙවන් විපතක් වන්නට නොපැතූ දීපාල් තම බිරිඳට අත් වූ මේ ඉරණම කෙසේ නම් දරාගන්නද?   


 දීපාල් කොස්ටා හා ඈන් රසිකා විවාහ දිවියට එළැඹුණේ 2004 වසරේදීය. ඉන්පසු දෙදෙනාම ඉතාලියේ පදිංචියට ගියහ. ඔවුන්ගේ කැදැල්ලට සිඟිති පුතු ජුලියන් හා දියණිය එළිෂා එක්වන්නේ ඉතාලියේ විසූ කාලයේදීමය. දරුවන් එහි පාසල්වලට ඇතුළත් කළද කලක් යද්දී ඈන් හා දීපාල් තීරණය කළේ දරුවන් දෙදෙනා ලංකාවේ පාසලකට ඇතුළත් කිරීම වඩාත් සුදුසු බවය. තම රටේ සිරිත් විරිත් සමඟ හැදෙන්නට වැඩෙන්නට ඉඩ දීම දරුවන්ගේ අනාගතයට වඩාත් සුදුසු බව ඈන්ගේත් දීපාල්ගේත් අදහස විය.   


ඒ අනුව පවුලේ ආර්ථිකය රැකගැනීම වෙනුවෙන් දීපාල් තවදුරටත් ඉතාලියේ සිටියදී ඈන් රසිකා හා දරු දෙදෙනා සමඟ ලංකාවට පැමිණියේ වසර කීපයකට පෙරය. ඉන්පසු දරුවන් දෙදෙනා සාන්ත තෝමස් ජාත්‍යන්තර පාසලට ඇතුළත් කර උගන්වනු ලැබීය. දරුවෝ පාසලට ඇරලවීමත් ඔවුන් පාසලෙන් රැගෙන ඒමත් ඈන් තම රාජකාරිය කරගත්තාය. ඇය තමන්ට ඉතිරි වන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට සිතුවාය. පෙරපාසලක් පටන් ගන්නට ඇය සිතුවේ ඒ අනුවය.   


 සිද්ධියට මුහුණ දුන් දවසේදී ද ඇය සිය දියණියත් සමඟ නිවසින් බැහැරව ගියේ වැලිගම්පිටිය දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබාගෙන අලුතෙන් පටන් ගන්නට යන පෙර පාසලේ නාම පුවරුව සකසන්නට දුන් ස්ථානයට ගොස් ඒ ගැන ද සොයා බැලීමේ අදහස ඇතිවය. ඇය ජා ඇළ දෙසට ගමන් කරමින් සිටියේ පෙර පාසල ගැන දියණිය සමඟ කතා කරමිනි. එසේම තවත් පුංචි පුංචි දරු දැරියන් රැසක් සමඟ පෙර පාසලේ ගෙවන ජීවිතය ගැන සිතමින් ඇය සිටියේ සතුටිනි. ඇය දීපාල් සමඟ ඒවා කතා කළේ බලාපොරොත්තු පොදි බැඳගෙනය. තම බිරිඳ මෙවැනි කටයුත්තක නියැලීම ඇගේ පාළුව කාන්සිය නැතිකරනු ඇතැයි සිතූ දීපාල් ද සතුටු විය.   
 එහෙත් බලාපොරොත්තු, සිහින සියල්ල වැල්ලේ තැනූ මාළිගා සේ එහි නටබුන් තබා දෙපා යට රැඳුණ වැලි බිඳ පවා එක රැල්ලෙන් සෝදාගෙන ගියා සේ දැන් දීපාල් දරු දෙදෙනා සමඟ මහසයුර ඉදිරිපිට තනිව සිටිති. ඔවුන් රැගෙන නැවත ඉතාලි යනවාද? තමනුත් යළි ලංකාවටම එනවාද? දරුවන්ට යහගුණ උගන්වන්නට ලංකාව තවදුරටත් සුදුසු තැනක්ද? මේ වගේ ප්‍රශ්න රැසක් දීපාල්ගේ සිතේ පැන නැගෙනවා විය හැකිය.   
 ඈන් රසිකාට මේ ඉරණමට මුහුණ දෙන්නට සිදුවූයේ ඇයි? මොකක්ද ඇය කළ වරද? මේ සිදුවීම පිටුපස පාතාලයේ සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැක පහළ කරනු ලැබිණ. ඒ එදින අපරාධ ගණනාවකට සැකකරුවෙකු වන වස්කඩුවේ අජිත් නමැත්තෙකු ඇප කොන්දේසි සපුරනු පිණිස කොළඹ අපරාධ කොට්ඨාසයේ හා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ පෙනී සිට ආපසු යමින් සිටියදී තමන් පසුපස කිසිවෙක් ලුහුබඳින බවට කඳාන පොලිසියට දුරකථනයෙන් දැනුම් දී තිබූ නිසාය. වස්කඩුවේ අජිත් ද එම අවස්ථාවේ මේ මාර්ගයේ ගමන් කරන්නට ඇති බවත් පසුපසින් ලුහුබඳින ලද තවත් පාතාල කණ්ඩායමක් ඔහු ඉලක්ක කර මේ වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් පැත්තක සිටි ඈන්ට එයට මුහුණ දෙන්නට සිදුව ඇති බවත් පොලිසියේ අදහස විය.   


 ඈන්ගේ වාහනය ජා ඇළ දෙසට ගමන් කරමින් තිබියදී ඒ පසුපසින් පැමිණි වාහනයක් වෙතින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ. එකපිට එක ඇසිල්ලේ දිව එන මූනිස්සම්වලින් බේරෙන්නට ඈන්ට හැකි වූයේ නැත. වාහනයේ පැති දොරත් එහි වීදුරුත් කඩා බිඳගෙන ආ මූනිස්සක් ඇගේ සිරුරට කිඳා බසිනු ලැබීය. දොර සිදුරුකරගෙන පැමිණි එක් මූනිස්සමක් ඇගේ උකුළු ඇටය පවා සිදුරු කරන්නට සමත්ව තිබිණ. එතරම්ම ඒ වෙඩි ප්‍රහාරය වේගවත් වී ඇත. ඈන් වෙඩි පහර කාගෙනම තවත් මීටර සීයක විතර දුරක් වාහනය පදවා පාර අයිනට වන්නට නවත්වා ගත්තාය. එහෙත් ඒ වන විටත් ඇගේ සිරුර සිදුරු කළ මූනිස්සම් නිසා ගලා ආ රුධිරයෙන් ඇය නැහැවී තිබිණ. මහත් සේ කම්පනයට පත් දියණිය හඬා වැළපුණත් කිසිවෙක් ඔවුන්ගේ පිහිටට නොආවේ පාතාලයන්ගේ ගනුදෙනුවලට මැදිවී තමන්ටද ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේය යන බිය නිසා වන්නට ඇත.   
 එහෙත් ඒ ආසන්නයේ සැලූනයක කොණ්ඩය කපමින් සිටි ජා ඇළ නාගරික මන්ත්‍රී (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ) විපුල ජයකොඩි මහතා නීතිමය ගැටලු, පාතාල තර්ජන පසෙක තබා වහාම ඉදිරිපත්ව ඈන්ව රෝහල කරා ගෙන ගියේය. ඒ ඈන් නොව මනුස්සකම කුමක්දැයි ඒ මොහොතේ දී හඳුනාගන්නට ඔහු සමත් වූ නිසාය. ජා ඇළ රෝහලට ඇතුළත් කොට මූලික ප්‍රතිකාර ලබා දී ඉන් අනතුරුව රෝහලේ ගිලන් රථයකින් රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කරන තුරුම විපුල මහතා ඇය ගැන සොයා බැලුවේ ඒ මනුස්සකම නිසාය.   


තම අත්දැකීම ගැන විපුල ජයකොඩි නාගරික මන්ත්‍රීවරයා මෙසේ අප සමග පැවසීය.   


 මම කොණ්ඩේ කපන්නයි ආවේ. හදිසියේම වෙඩි තුන හතරක් එකපිට පත්තුවෙන සද්දයක් ඇහුණා. ඒ එක්කම කලබලෙන් මිනිස්සු දුවනවා දැක්කා. මමත් එළියට ඇවිත් බැලුවේ මොකක්ද මේ සද්දේ කියලයි. කවුද කියනවා ඇහුණා කාර් එකකට වෙඩි තිබ්බා කියලා. මම දැක්කා වෙඩි වැදුණ කාර් එක අපි ඉන්න තැනට ටිකක් එහායින් නවත්තලා තියෙනවා. එතනට ගිහින් බලද්දි ගෑනු කෙනෙක් ලේ පෙරාගෙන වැටිලා හිටියා. පොඩි ගෑනු ළමයෙක් මරහඬ දීලා කෑ ගහනවා. මිනිස්සු එතනට වට වුණත් කිසිම කෙනෙක් ලෙඩාව රෝහලට ගෙනියන්න ඉදිරිපත් වුණේ නැහැ. මේ වෙලාවේ වෙන වෙන දේවල් ගැන හිතලා වැඩක් නැහැ. මනුස්ස ජීවිතයක්නේ. මම ඉක්මනටම ඒ ගෑනු කෙනාවත් අර දරුවාවත් උස්සලා වාහනයට දාගෙන රෝහලට ගෙනිච්චා. 

 
 රාගම ශික්ෂණ රෝහලේදී හදිසි ශල්‍යකර්මයක් ද සිදුකොට ඇයගේ ජීවිතය බේරා ගන්නට වෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගත්ත ද මරුවා ඇයටත් වෛද්‍යවරුන්ටත් ජය ගන්නට ඉඩ තැබුවේ නැත. ඈන් රසිකාට තම ආදරණීය දරු දෙදෙනා හා සැමියාගෙන් මෙන්ම දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාගෙන් සදහටම සමුගන්නට සිදුවිය. 

 
 මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ගුණදාස මහතා රෝහලට හා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළ අතර රාගම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඩබ්.එන්.එස්. ප්‍රනාන්දු මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළාය. එහිදී වෛද්‍ය නිගමනය වූයේ වෙඩි වැදීමෙන් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියවලට දැඩි හානි සිදුවීමෙන් හා තුවාලවලින් අධික ලෙස ලේ ගැලීමෙන් වූ කම්පනයෙන් මෙම මරණය සිදුව ඇති බවය.   


 වර්ණකුලසූරියගේ ඈන් රසිකා රොවෙල් ඉකුත් 3 වෙනිදා ජා ඇළ කපුවත්තේ සුසාන භූමියේදී විශාල පිරිසකගේ සෝ සුසුම් මැද යළි නොඑන ගමන් යන්නට සමුගත්තාය.   

 

ඈන් රසිකා පදවාගෙන ගිය රථය

 


 ඈන්ගේ සැමියා දීපාල්ට මෙය මහ දවල් දුටු නපුරු හීනයක් වැනිය. සිය නෙත්වලින් ගලන කඳුළු වළකාලන්නට ඔහු උත්සාහ කළේ නැත. ඈන් ලංකාවට ආවේ දරුවෝ දෙන්නා හදාගන්න. අන්තිමට එයාට අපි ඔක්කොම දාලා යන්න වුණා. අප තනි වුණා. පාතාලයන්ගේ ගැටුම්වලට අහිංසක ඈන්ට වන්දි ගෙවන්න වුණේ ඇයි? මොකක්ද එයා කරපු වරද? මේ පාතාල නැති කරන්න ඇයි පොලිසියට බැරි? දීපාල් සිය ඥාතීන්ගෙන් විමසන මේ ප්‍රශ්නවලට ඔවුන්ටද උත්තර නැත.   


 කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ මුණසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරීක්ෂක ගුණතුංග, උප පොලිස් පරීක්ෂක අලවත්ත, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ, සාජන් 30325 කරුණාරත්න, පොලිස් කොස්තාපල් 84045 ප්‍රදීප් යන නිලධාරීන් සිදුවීම පිළිබඳ මූලික විමර්ශන සිදුකළ අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත, කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපාලි ජයසිංහ සහ කැලණිය සහකාර පොලිස් අධිකාරී චන්දන ලියනගේ මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මේ වන විට වැඩිදුර පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.   


 මේ වන විට වෙඩි ප්‍රහාරය එල්ල කළ පාතාලයන් ගමන් ගත් වාහනය මහනුවර ප්‍රදේශයේ වාහන කුලියට දෙන ස්ථානයක තිබී සොයා ගෙන ඇත. සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ වෙ​ෙළඳ සැලක වූ ආරක්ෂක කැමරාවක සටහන් වූ දර්ශන ඔස්සේ කරන ලද පරීක්ෂණ අනුව මෙම වාහනය සොයාගෙන ඇත. ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිමින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම වාහනය කුලී පදනම මත ගෙන ගොස් නැවත භාර දුන් බව එම වාහනය අයත් ආයතනයේ හිමිකරු පොලිසියට පවසා තිබේ.   


 පාතාලයන්ගේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මියගිය පළමු පුද්ගලයා හෝ අවසන් පුද්ගලයා හෝ ඈන් රසිකා නොවේ.  


 මෙවැනි සිදුවීම් එකක් දෙකක් නොව පොලිස් පොත්වලින් පොත් ගණනාවක ලියන්නට හැකි පරිදි සොයා ගත හැකි වනු ඇත. අද ඈන් වගේම හෙට තවත් කවුරුන් හෝ පාතාලයන්ගේ වැරදුන කුරුමානම්වල ගොදුරු වනු ඇත. මෙයට තිත තබන්නේ කවදාද? පාතාලයන්ගෙන් ඵල ප්‍රයෝජන ගන්නා දේශපාලකයන්, ඔවුන්ගේ කරපිටින් බලයට එන දේශපාලකයන්, පාතාලයන්ගේ මුදල්වලින් මාළිගා හදාගන්නා, යාන වාහන මිලදී ගන්නා, පොලිස් නිලධාරීන්, නීතිඥයන් සිටිනා තාක් මේ ප්‍රශ්නය අවසන් නොවනු ඇත.

 

 

මුදිතා දයානන්ද සමඟ ජාඇළ විශේෂ තිස්ස කොටින්කඩුව