නත්තල් ගස මුලින්ම හඳුන්වාදුන් එස්ටෝනියාවත් වළපල්ලට ගිහින්


වළපල්ලට ගිය රටවල්

 

 

වළපල්ලට ගිය රටවල් තීරුව ඔස්සේ මා අද විමසන්නේ අඳුරේ ගිලී යමින් පවතින තවත් කුඩා රටක පැටිකිරියයි.   


එම රට හඳුන්වනු ලබන්නේ එස්ටෝනියාව (ESTONIA) යනුවෙනි. නැතහොත් එය උතුරු යුරෝපයේ පිහිටි එස්ටෝනියා ජන රජයයි. මෙය ලෝකයට නත්තල් ගස මුලින්ම හඳුන්වා දුන් රටයි. එය හුස්ම ගැනීමට හොඳම වාතාශ්‍රය ඇති රට බව සඳහන් කළහොත් නිවැරදිය. 

 
නැති බැරිකම හෙවත් අන්තදුගී අසරණභාවය හේතුකොට ගෙන බහුතර ජනතාවට ජීවන හුස්ම පිඹීමට පාලකයින් අපොහොසත් වී ඇති තවත් රටකි මේ කියන එස්ටෝනියාව.   


ඉපදෙනවාට වඩා මැරෙන රටක්   


මෙම රටේ බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.25 ක් පමණ වේ. දරිද්‍රතාවයෙන් පෙළෙන පුරවැසියන්ගේ ප්‍රතිශතය ජනගහනයෙන් සියයට 39 ක් පමණ වේ. රජයෙන් සහනාධාර ලබා ගන්නා අයගේ සංඛ්‍යාව තුන් ලක්ෂයකට අධිකය. වසරකට 13,646 දෙනෙකු මෙලොවට බිහිවෙද්දී 15,900 කට වැඩි පිරිසක් මියයන රටකි.   


ලොව කාන්තාවන්ගේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවන රටක් වශයෙන් හැඳින්විය හැක. දිළිඳු ජනතාවට ආහාර වර්ග සැපයීම සඳහා ආහාර බැංකු රටපුරා පිහිටුවා ඇත. රට ඉතා කුඩා වුවත් එය දූපත් 2222 කින් සමන්විතය. සෑම පුරවැසියන්  පස් දෙනෙකුගෙන් එක් අයෙක් දිළිඳු දිවි පෙවෙතක් ගත කරති.   


1991 අගෝස් 20දා සෝවියට් දේශයෙන් මිදී යුරෝපයේ නිදහස් රාජ්‍යයක් බවට පත්වුවත් පසුගිය වසර 29 තුළ රටේ කිසිදු දියුණුවක් සිදුවී නැත. 1949 වර්ෂයේදී සෝවියට් පාලකයින් විසින් කොමියුනිස්ට් පාලන ක්‍රමයට එරෙහි වූවන් වශයෙන් හංවඩු ගසා මේ රටේ පුරවැසියන් 20,000 කට වැඩි සංඛ්‍යාවක් සයිබීරියාවට පිටුවහල් කළ අයුරු ඉතිහාසයෙහි සඳහන් වේ.   


මේ රටේ ඉතිහාසය හාරා අවුස්සන විට ජර්මනියද මේ රට අතීතයේ අත්පත් කරගෙන සිටි අයුරු දැනගත හැක. බලයට පත්වූ පාලකයින් බොහෝ දෙනෙක් දසක තුනක් තිස්සේ රට පෙරට ගෙනයන බවට පුරසාරම් දෙසුවත් මේ රටද පෙරට ගියේ නැත.   


එස්ටෝනියාව පිහිටා ඇත්තේ බෝල්ටික් සමුද්‍ර තීරයේය. ෆින්ලන්තය, රුසියාව, ස්වීඩනය, ලැටිවියාව, යාබද රටවල්ය. විශාලත්වය ව.කි.මී. 45,227 ක් හෙවත් ව.සැ 17,462 කි. ජනගහනය 13,24,820 කි. වත්මන් ජනාධිපතිනිය කර්ස්ටි කල්ජුලේඩ්ය (KERSTI KALJULAID) අගමැති ජුරී රටාස් (JURI RATAS) මෙම ජනපතිනිය එම තනතුරට පත්වූණේ 2016 වර්ෂයේදීය.   


ළමයින් ගැහැනුන් විකුණන රටක්   


මෙහෙකාර සේවය සඳහා ධනපතියන්ට වෙනත් රටවලට කුඩා ළමයින් විකිණීමේ ජාවාරම් සිදුවන රටකි. මෙම ජාවාරම්වලට මෙහි දේශපාලකයින්ද සම්බන්ධ බව මාධ්‍ය වාර්තා දක්වයි. එමෙන්ම ලිංගික අවශ්‍යතාවන් සඳහා ස්ත්‍රීන් අලෙවි කිරීමේ කටයුතුවලට ද එස්ටෝනියාව ප්‍රසිද්ධය. රටේ මුළු භූමි ප්‍රමාණයෙක් සියයට 52 ක් තවමත් ඝන වනාන්තරය. එමෙන්ම භූමියෙන් සියයට 22ක් පමණ ගොවිබිම්ය.   


හරිත වර්ණයෙන් බැබළෙන, සරු සාර රටක් වුවත් මෙහි පිරිසිදු වාතය ආඝ්‍රාණය කරමින් අපවිත්‍ර දේ සිදු කරන දේශපාලකයින් නිසා රට ප්‍රපාතයට ඇද වැටී ඇත. සියලු සැප සම්පත් ඇත්තේ නගර තුළ පමණි.   


ගම්බද පරිසරය ඉතා කටුකය. දුෂ්කරය. නගරයෙන් ඈත ප්‍රදේශවලට ගමනාගමන, විදුලිය, සෞඛ්‍ය, ජලය, අධ්‍යාපන ආදී පහසුකම් නැති නිසා එහි ජනතාව ඉතා දුෂ්කර ජිවිත ගත කරන අයුරු දැකගත හැක.   


දේශපාලකයින් මුදල් උපයන හැටි   


සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව, ඇෆ්ගනිස්ථානය, යේමනය, උතුරු කොරියාව, වැනිසියුලාව, ඉරාකය, නයිජීරියාව, කොලොම්බියාව වැනි රටවල් මෙන්ම එස්ටෝනියාවද විනාශ මුඛයට පත්කර ඇත්තේ දූෂිත දේශපාලකයින් බව බෝල්ටික් ටයිම්ස් (THE BALTIC TIMES) පුවත්පත 2016 ජුනි 15 දා පළකළ විශේෂ ලිපියක සඳහන්වේ.   
එස්ටෝනියාවේද බලයට පත්වන පාලකයින් මුදල් උපයා ගන්නේ මහාමාර්ග, දුම්රිය මාර්ග, විදුලි උත්පාදන යෝජනාක්‍රම, තුළිනි. එමෙන්ම රාජ්‍ය දේපොළ හා ඉඩම් විදේශ රටවලට හා  පුද්ගලික ව්‍යාපාරිකයින්ට විකුණා දැමීමෙන් බව එම පුවත් වාර්තාවේ සඳහන්වේ.   


එමෙන්ම විදේශ ණය හා විදේශ ආධාරවලින් ගසාකන දේශපාලකයින් එස්ටෝනියාවේද සිටින බව එම වාර්තාව දක්වයි.   


බෝල්ටික් නිව්ස් නෙට්වර්ක් (බීඑන්එස්) 2018 අප්‍රේල් 20 දා සඳහන් කර තිබුණේ ​මේරටේ විටින් විට බලය ලබාගත් ලේබර් පක්ෂය සහ ලිබරල් පක්ෂය එම්.ජී. බෝල්ටික් නමැති දැවැන්ත වෙළෙඳ ව්‍යාපාරය සමඟ සබඳතා පවත්වමින් එම ව්‍යාපාරයට රජයේ ඇණවුම් හා හා කොන්ත්‍රාත් ලබාදී පක්ෂ අරමුදල්වලට හා පක්ෂ නායකයින්ට අරමුදල් ලබා ගත් අයුරු නීති විරෝධී බවය. මෙම දේශපාලන පක්ෂ විටින් විට රාජ්‍ය බලය ලබාගෙන එසේ ලබාගත් අරමුදල් මෙන් සිය ගුණයක් මුදල් උපයා ගැනීමට එම දැවැන්ත සමාගමට අවස්ථාව ලබාදුන් අයුරු යටකී මාධ්‍ය වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.   


මෙම වංචා සහගත ගනුදෙනුවලට පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව වූ 101 දෙනාගෙන් 50 ස් දෙනකුම සම්බන්ධ බව හෙළිකර ඇතත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය.   

 

 


මහදවල් අල්ලස් ගැනීම   


මුදල් මිටි ගෝනි ගණනින් එම දේශපාලන පක්ෂ කාර්යාලවලට ගෙනගිය අයුරු යටකී මාධ්‍ය වාර්තාවේ සඳහන්විය. දේශපාලකයින්ට හා දේශපාලන පක්ෂවලට විවිධ වෙළඳ ව්‍යාපාර හා ධනපතියන් විසින් මුදල් පොම්ප කිරීම බොහෝ රටවල ප්‍රසිද්ධියේ සිදුවන බවද මෙය මහ දහවල් සිදුවන අල්ලස් ගැනීමක් බවද ඊට නීතියෙන් ඉඩ ලබාදී තිබීම තුළින් රටකට අවැඩක් සිදුවන බවද බෝල්ටික් නිව්ස් නෙට්වර්ක්ස් (බීඑන්එන්) මාධ්‍ය ජාලය කියයි.   


එස්ටෝනියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වූ ආතර් ටල්වික් (ARTUR TALVIK) රාජ්‍ය දූෂණ සෙවීමේ පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයාය. ඔහු ඉකුත්දා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේ දේශපාලන සොරකම් පිළිබඳ සත්‍ය තත්ත්වය හෙළි කරනු ලැබුවත් පොලිසිය, අධිකරණය හෝ රාජ්‍ය ප්‍රධානීන් හෝ එම හෙළිදරව් කිරීම් හමුවෙහි ඇස් වසාගෙන සිටින බවයි.   


එස්ටෝනියාවේ මුදල් අමාත්‍යාංශය තුළ සිදුවූ මූල්‍ය වංචා සම්බන්ධයෙන් එහි නිලධාරීන් කීපදෙනෙකු සේවයෙන් පහකොට ඔවුන්ට සිරදඬුවම් ලබාදෙන ලදී. එහෙත් ඔවුන් මෙහෙයවූ දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීය.   


2019 නොවැම්බර් 5 දා ද නිව් රිපබ්ලික් (THE NEW REPUBLIC) සඟරාව පළකළ විශේෂ ලිපියක සිරස්තලයේ සිංහල පරිවර්තනය මෙසේය. දේශපාලකයින් සිදුකරන දූෂණ නිත්‍යානුකූල කරනුයේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. (THE POLITICAL CORRUPTION) LEGALIZED BY THE SUPREME COURT)   

 

 


ලෝකයේ දූෂිත දේශපාලන පක්ෂ   


ව්‍යාපාරිකයින්ගෙන් අරමුදල් ලබාගෙන දේශපාලකයින්ට සොරකම වංචාව දූෂණය අල්ලස හුරුපුරුදු කරන දූෂිතම දේශපාලන පක්ෂ පිළිබඳ සඳහන් කරද්දී පහත සඳහන් රටවල දේශපාලන පක්ෂ මුල්තැනක් ගනී. රුසියාව, චීනය සහ වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂ, ජර්මනියේ නාසි පක්ෂය, ඉතාලියේ එන්එෆ්පී හෙවත් ජාතික පැසිස්ට් පක්ෂය, චීනයේ කුමින්ටන්ග් පක්ෂය, කියුබාවේ පීඒපී පක්ෂය, උගන්ඩාවේ එන්.ආර්.එම්. පක්ෂය, ඉන්දියාවේ ඉන්ඩියන් ජාතික කොංග්‍රසය (අයි.එන්.සී.) සහ පකිස්ථානයේ පී.එම්.එල්.එන්. පක්ෂයයි.    


පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරිෆ්​ගේ පී.එම්.එල්.එන්. පක්ෂය ලොව දූෂිතම දේශපාලන පක්ෂය බව කියනු ලැබේ.   


2013 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ දූෂිත රාජ්‍ය නිලධාරීන් 22,000 ක් රාජ්‍ය සේවයෙන් නෙරපා ඔවුන්ට එරෙහිව දඬුවම් පමුණුවනු ලැබීය. එහෙත් එම දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ දේශපාලකයින්ට එරෙහිව පියවර ගත් බවක් වාර්තා නොවීය. ලොව බොහෝ රටවල සිදුවන්නේ මෙයයි.   


1995 දී දකුණු කොරියාවේ දැවැන්ත රජයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුකොටගෙන 502 දෙනෙකු මියගිය පුවත මම වාර්තා කළෙමි. මෙම ශෝකජනක පුවත තුළ සැඟවී ඇති සත්‍ය වන්නේ රාජ්‍ය දූෂණය හේතු කොටගෙන පුද්ගලයින් 502 කු අවාසනාවන්ත අයුරින් පොළොවට මිහිදන් වූ අයුරුයි. එහි දේශපාලකයින් විසින් අති විශාල මුදලක් සාක්කුවලට දමා ගනිමින් තම හිතවත් ව්‍යාපාරිකයකුට රජයේ කාර්යාල රැසකින් සමන්විත එම දැවැන්ත ගොඩනැගිල්ල ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවද සිමෙන්ති සුළු ප්‍රමාණයක් යොදවා වැඩිපුර වැලි වලින් එය ඉඳිකර ඇති නිසා මෙසේ ගොඩනැගිල්ල කඩා වැටී ඇතිබවය.   විවිධ රටවල සිදුවන රාජ්‍ය දූෂණය පෙන්වා දීමට මෙය හොඳම උදාහරණයක් නොවන්නේද?   


රාජ්‍ය දූෂණය තුරන් වනතෙක් රටක් ඉදිරියට යන්නේ නැත.

 

සිරි හීන්පැල්ල  නි‌ව්‌යෝර්ක් නුවර සිට ලියයි