නකල්ස් රක්ෂිතයේ ඉඩම් බහුජාතික සමාගම් අතට


 

ලෝක උරුමයට පත් දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් රක්ෂිත වනාන්තරයේ ඉඩම් විවිධ බහු ජාතික සමාගම් හා රජයට හිතැති ව්‍යාපාරිකයින්ට පැවැරීමේ ආන්දෝලනාත්මක පුවතක් ඇල්කඩුව වැවිලි සමාගමට අයත් මාතලේ ඇල්කඩුව වතුයායේ සෙම්බුවත්ත වන රක්ෂිතයේ පිහිටි සෙම්බුවත්ත ඉපැරැණි වැව කේන්ද්‍ර කොටගෙන ආරම්භ කිරීමට ගිය පානීය ජල බෝතල් කිරීමේ ව්‍යාපෘතියෙන් හෙළිි විය.  

ගම විසින් සිදුකිරීමට සැලසුම් කළ මෙම පානීය ජල බෝතල් කිරීමේ ව්‍යාපෘතිය ඇල්කඩුව වතුයායේ වතු සේවකයින් අවට ගම්වල ගම්මු සහ ප්‍රදේශයේ පරිසර සංවිධාන විසින් පසුගියදා සිදුකරන ලද දැවැන්ත විරෝධතාවක් නිසා මේ වනවිට අතරමග නතරකර තිබේ.  


දුම්බර කඳුවැටියේ ඇති වටිනාකම මුලින්ම හඳුනාගෙන ඇත්තේ ඉංග්‍රීසි ජාතිකයන්ය. මීට පෙරද රාවණා රජු දවස දක්වාද පුරාවෘත්තාන්ත පවතින බව පුරාවිද්‍යා පරීක්ෂණ හෙළිදරව් කරයි. මෙම වනාන්තරය දේශගුණික වනාන්තරයක් ලෙසට නම්කරන ලද්දේ 1873 වර්ෂයේදීය. අඩි 5000 වැඩි ඉහළ හෙවත් මීටර් 1500 වැඩි වලාකුළු වනාන්තර දේශගුණික වනාන්තරයක් ලෙසට මෙම නීතිමය රාමුවට ඇතුළත් කර ඇත.  


එහි ඉහළම මුදුනෙහි සෙම්බුවත්ත ඉපැරණි වැව පිහිටා තිබේ. මෙම වැව කේන්ද්‍රකොට විවිධ දේව ඇදහිලිද පුද පූජාද පවත්වනු ලබයි. පාරිසරික ආරක්ෂක වැවක් ලෙස ඉංග්‍රීසීන් විසින් පවා ආරක්ෂා කළ මෙම වැව ඇල්කඩුව වැවිලි සමාගම විසින් දැනට වසර කීපයක සිට සංචාරක ව්‍යාපෘතියක් ලෙස පවත්වාගෙන යනු ලබයි. වර්තමානයේ මෙම ස්ථානයේ දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණීය ස්ථානයක් බවට පත්ව පවතී.  


ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂක ප්‍රදේශයක් ලෙස 2007 වර්ෂයේදී නම්කරන ලද දුම්බර හෙවත් නකල්ස් කඳුවැටිය 2010 වර්ෂයේදී යුනෙස්කෝව මගින් ලෝක උරුම ප්‍රදේශයක් ලෙසද නම් කරන ලදී. අක්කර 52080 ක් හෙවත් හෙක්ටයාර් 21000 ක සංරක්ෂිත වනාන්තරයක් ලෙස නම් කර ඇති මෙම කඳුවැටිය මිනිපේ, දුම්බර, උඩුදුම්බර, පාතදුම්බර, පන්විල යන මහනුවර දිස්ත්‍රික්කට අයත් භූමි ප්‍රමාණයකත් රත්තොට, උකුවෙල, ලග්ගල, පල්ලේගම විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් දුම්බර කඳුවැටිය විහිදී තිබේ.  

 

මාතලේ දිස්ත්‍රික් පරිසර එකමුතුවේ මාතලේ ක්ලෝග්‍රෙන්ෂ් හෝටලයේ පැවැති මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුව.

නකල්ස් කඳුවැටියේ මාර්ග ඉදිකිරීම්  

 


වතු සේවකයින්ගේ අර්ථසාධක ඇතුළු දීමනා ගෙවීම පිණිස මාතලේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අයත් තේ වතු 36 කින් ගස් 67132 ක් කපා ඉවත් කිරීම 2013 වසරේ සිට සිදුවිය. මෙම ගස් කපා ඉවත් කිරීම නිසා වතුවල පස් සෝදාපාළුවට ලක් වී මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවල වතු 24ක් මේවනවිට නායයෑමට ලක්ව තිබෙන බව එම දිස්ත්‍රික්කවල ආපදා කළමනාකරණ සහ දිස්ත්‍රික් පරිසර කමිටු පෙන්වා දී තිබේ.  


රාජ්‍ය වතුවල දැව ජාවාරම් මෙලෙස සිදුවී ඉන් අනතුරුව ඉඩම් කොල්ලයක් මහා පරිමාණයෙන් සිදුවිය සංස්කෘතික, පාරිසරික සහ වන සම්පත් උරුමයන් උල්ලංඝනය කරමින් ලෝක උරුමයට පත් දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් රක්ෂිත වනාන්තරයේ මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් කඳු අද්දර පිහිටි රාජ්‍ය වතුවල දැව ජාවාරම් සහ ඉඩම් කොල්ලයක් සිදුවන බව පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල රැස්වීම් ශාලාවේදී මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති දිස්ත්‍රික් පරිසර කමිටු රැස්වීමේදී අනාවරණය වීය.  


මෙම කමිටු රැස්වීමේදී ලෝක උරුමයට පත් දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් වනාන්තරය, සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය දැනට වසර 30 ක් තිස්සේ අඩපණ වී තිබෙන බව අනාවරණය වීය. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කැලෑ හෙළි කිරීම දැව ජාවාරම්, ඉඩම් කොල්ලකෑම, වන සතුන් දඩයම, ජාන හොරකම් සහ කැලෑ ගිනිතැබීම බහුලව සිදුවන බවද මෙම කමිටු රැස්වීමේදී හෙළි විය.  


මේ සම්බන්ධව මාතලේ දිස්ත්‍රික්කයේ පරිසර සංවිධාන සහ සිවිල් සංවිධාන එකතුවී මාතලේ ක්ලොග්‍රේන්ජ් හෝටලයේදී මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක්ද පැවැත්විය. ‘‘මාතලේ දිස්ත්‍රික් පරිසර මිතු​රෝ’’ ‘‘දුම්බර අපේය’’ ‘‘මාවුස්සා පරිසර සංවිධානය’’ ‘‘ඕපල්ගල රක්ෂිත වනය සුරැකීමේ සංවිධානය’’ සහ ‘‘හපුවිද පරිසර පවුර’’ යන පරිසර සංවිධානවල නියෝජිතයෝ සහ සිවිල් සංවිධාන කීපයක නි​ෙය්ජිතයින් කීපදෙනෙක් මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.  
මාතලේ පරිසර මිතුරෝ පරිසර සංවිධානයේ සභාපති රවින්ද්‍ර කහඳආරච්චි මහතා මෙහිදී කියා සිටියේ 2017/81 දරන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඒ සම්බන්ධ වාර්තා තුනක් මගින් නකල්ස් රක්ෂිත වනාන්තරයේ ජෛව උරුමයේ මහා ඉඩම් කොල්ලය වෙනුවෙන් අක්කර 21000 ක පමණ භූමි ප්‍රදේශයක විවිධ ව්‍යාපෘති සඳහා පිඹුරුපත් සැකැසෙමින් පවතින බවය.  

 

යෝජිත නකල්ස් පිවිසුම

 


මෙම ඉඩම් වත්මන් රජයේ ප්‍රබල දේශපාලනඥයින් දෙදෙනෙකුගේ ඥාතීන්ට හා හිතවතුන්ට පවරා තිබෙන බව කියන මාතලේ පරිසර මිතුරෝ සංවිධානයේ සභාපති රවින්ද්‍ර කහඳආරච්චි මහතා, මෙම පිරිස අතර බහු ජාතික සමාගමක ව්‍යාපාරිකයකු සිටින බවට චෝදනා කළේය.  
දුම්බර අපේය, පරිසර සංවිධානයේ ලේකම් සහ රත්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී (ජවිපෙ) සිසිර කුමාර මහතා මෙහිදී මෙසේ පැවැසීය.  
‘‘ඇල්කඩුව වැවිලි සමාගමට අයත් හෙක්ටයාර් 3698 න් හෙ.යාර් 2363 ක් හොර රහසේ අත යටින් පෞද්ගලික අයිතියට පවරන්න දැනටමත් විධිවිධාන යොදා තිබෙනවා. ජල බෝතල් ව්‍යාපෘතියක්, කුකුළු ගොවිපළක් සහ හෝටල් ව්‍යාපෘති සඳහා සැලසුම් සකස් කරනවා. තෙල්ගමු ඔය, හීංගඟ, කළුගඟ, සුදුගඟ ආදී ගංඟා කේන්ද්‍රකොට සංචාරක ව්‍යාපෘති සැකසෙනවා.  


ජෛව විද්‍යාත්මක භූවිද්‍යාත්මක හා සම්ප්‍රදායික ජන උරුමයේ වටිනාකම් පවතින නකල්ස් රක්ෂිත වනාන්තරයේ මංමාවත් කීපයක් දැනට එළිපෙහෙළි කරගෙන යනවා. කටාරන්තැන්න වත්තේ, සංචාරක ව්‍යාපෘතියක් දැනට කරගෙන යනවා. නකල්ස් මුදුනේ රැඳවුම් මධ්‍යස්ථානයක් දැනට ඉදිවෙනවා. මේ මගින් නකල්ස් වනාන්තරය බහු ජාතික සමාගම්වලට අයත් වෙනවා.’’  


ඕපල්ගල රක්ෂිත වනය රැකගැනීමේ පරිසර සංවිධානයේ සභාපති පී.ජී. තිලකරත්න මහතා මෙහිදී මෙසේ පැවැසීය.  
‘‘ලග්ගල අඹංගඟ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඕපල්ගල වතුයායේ අක්කර 97 ක ගස් 6650 ක් කපා ඉවත්කිරීමට ගත්තේ 2012 වසරේ සිටයි. වතු සේවකයින්, අවට ගම්වල ගම්මු මේ ගස් කැපීමට විරුද්ධ වුණා. මේ ගස් කැපීම නිසා අද මේ වත්ත නිසරු බිමක් බවට පත්වෙලා.  
මොරගහකන්ද ජලාශය ජලපෝෂක ප්‍රදේශයක් වන මෙම ඕපල්ගල රක්ෂිතයේ මහා දැව ජාවාරමක් හා ඉඩම් කොල්ලයක් සිදුවෙනවා. වගකිවයුතු අංශවලට මේ ගැන දැනුම් දුන්නා. වගකිවයුතු අංශ මේ පිළිබඳව රාජකාරී කරන්නේ නැහැ. මුනිවත රකිනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මේ ගැන දැනුම් දුන්නා.

 

 

විස්තරය හා ඡායාරූප : මාතලේ 
ඇම්. ඩබ්ලිව්. සෝමරත්න