ත්‍රිරෝදය වෙනුවට ඉන්දියාවෙන් එන රෝද හතරේ වාහනයට විරෝධයක්


​ෙමරට සාමාන්‍ය ජනතාවගේ ප්‍රධාන තම පොදු ප්‍රවාහන සේවයක් වන්නේ ත්‍රිරෝද රථයයි. සාමාන්‍ය ජනයා එදිනෙදා ප්‍රවාහන පහසුකම් වගේම හදිසි අවස්ථාවක ගමන් බිමන් කටයුතුවලට ත්‍රිරෝද රථයක් භාවිතා කරන්නේ අඩු මුදලකින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහායි. අද බොහෝ දෙනාගේ ජනප්‍රියතම වාහනයක් ද වන්නේ ත්‍රිරෝද රථය බව නොරහසකි. සාමාන්‍යයෙන් ත්‍රිරෝද රථයක කිලෝ මීටරයක දුර ගමන් කිරීමට රුපියල් 40 ක් වැනි මුදලක් අය කෙරේ. ඊට අමතරව විනාඩියක කාලයක් රථ වාහන තදබදයකදී නවතා තැබූ විට අමතරව රුපියල් 2 ක මුදලක් එකතු වෙයි. අද වෙන විට බොහෝ ත්‍රිරෝද රථවල මීටර සවි කිරීම නිසා නියමිත ගාස්තුව පිළිබඳව එහි ගමන් ගන්නා මගියාට ද දැන ගත හැක.   


අද වෙන විට ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව ලක්ෂ 12 කට අධිකයි. වෘත්තිය වශයෙන් අට ලක්ෂ පනස් දාහක් පමණ ත්‍රිරෝද රථ සේවයේ නිතර වෙයි. වැඩිම පිරිසක් ලියාපදිංචි වී ඇත්තේ බස්නාහිර පළාතෙනි. එම සංඛ්‍යාව ලක්ෂ 5කට ආසන්නය. ලක්ෂ 30 කට වැඩි පිරිසක් ඉන් ජීවත් වෙන අතර ත්‍රිරෝද රථ කර්මාන්තය තුළින් ලක්ෂ 20 කට ආසන්න පිරිසක් සිය ජීවනෝපාය පවත්වාගෙන යයි. ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන්නන්, ඒවාට අමතර උපකරණ සපයන පිරිසක් මෙන්ම ඒවා ආනයනය කරන පිරිසද ඒ අතර වෙයි.   


අද වෙන විට ත්‍රිරෝද රථ කර්මාන්තයට කණ කොකා හඬන තත්ත්වයක් හට ගෙන ඇත. ඒ ඉන්දියාවෙන් නවතම රථයක් ගෙන ඒමට ක්‍රියා කිරීමෙනි. රෝද හතරක එම රථය ඉදිරියේදී කුලී රථ සේවාවක් ලෙස ක්‍රියා කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. මෙය දිවයින පුරා සිටින ත්‍රිරෝද රථ හිමියන් විරෝධය පළ කරන අතර මේ වන විට ඊට එරෙහිව අත්සන් ලබා ගැනීමේ ව්‍යාපාරයක් ද ආරම්භ කර ඇත. ඊට මූලිකව ක්‍රියා කරන්නේ සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයයි. අලුතින් හඳුන්වා දීමට යන ‘‘ක්වඩ්‍රිසයිකල්’’ නමැති නවතම රථය නිසා හට ගත් මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව එම සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගෙන් අප විමසීමක් කළෙමු.   


ප්‍රශ්නය - මොකක්ද මේ ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට යන ක්වඩ්‍රිසයිකල් රථය කියන්නේ?   


පිළිතුර - මෙය ත්‍රිරෝද රථයට සමගාමීව හඳුන්වා දීමට යන්නේ. ක්වඩ්‍රිසයිකල් හෙවත් බජාජ් කියුට් නමින් ගෙන්වන වාහනයක්. ප්‍රධාන වශයෙන් ත්‍රිරෝද රථ වෘත්තිකයන් වෙනුවෙන් හඳුන්වා දීමට රජය කටයුතු කළේ ඒ වාහනයක් නොවෙයි. අප මේ පිළිඳව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමග සාකච්ඡා කළා. එහිදී සාකච්ඡා වුණේ ත්‍රිරෝද රථයට සමගාමීව ඉලෙක්ට්‍රොනික වාහනයක් ත්‍රිරෝද රථ වෘත්තිකයන්ට ලබා දෙන බව. ලංකාවේ තිබෙන පරණ වාහන බංගලාදේශයට අලෙවි කිරීමට දැනට කටයුතු කරලා තිබෙනවා කියලත් එම සාකච්ඡාවේදී සඳහන් වුණා. ඒ වගේම ත්‍රිරෝද රථ අවශ්‍ය අයට ඉන්දියාවෙන් ත්‍රිරෝද රථයක් ගෙන්වීමට ක්‍රියා කරන බවත් එහිදී ප්‍රකාශ වුණා. මංගල සමරවීර මහතාගේ අමාත්‍යාංශයේ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා මේ පිළිබඳ අපත් සමග සාකච්ඡා කළා.   


නමුත් අද වෙන විට වසර 2012 ඉන්දියාවේ නිෂ්පාදිත ක්වඩ්‍රිසයිකල් හෙවත් මෙන්න මේ හඳුන්වා දීමට යන වාහනය 2015 දී තමයි ලංකාවට ගෙන් වූයේ. එවකට පැවති රජය. මේ රථ වාහනය ගෙන්වන විට එවකට සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ප්‍රකාශ කළා මේ වාහනය ලංකාවට ගෙන්වන්න එපා. මොකද ත්‍රිරෝද රථය නිසා අනතුරු බහුල වෙනවා. ඊටත් වඩා අනතුරු බහුල විය හැකියි මේ රථය ගෙන්වුවහොත් කියලා හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ප්‍රකාශ කළා. බරපතළ තත්ත්වයක් රට තුළ ඇති වෙනවා. මේ රථය ලියාපදිංචි කළහොත් කියලා ඔහු ප්‍රකාශ කර තිබුණා.   


අනික තමයි මෝටර් රථයක් නම් එහි තිබෙන ගුණාත්මක පැත්ත මේ ගෙන්වීමට යන ක්වාඩ්‍රිසයිකල් කියන මෝටර් රථයේ නැහැ. ත්‍රිරෝද රථයට සමාන ආම්පන්න තමයි මේ රථයට සවි කර තිබෙන්නේ. යතුරු පැදි ආම්පන්න වුවත් මේ රථයට සවි කරන්න පුළුවන් මේ වාහනය මගී සේවාවට ඉන්දියාව නිෂ්පාදනය කළාට ඉන්දියාවෙත් මේ වාහනය මගී සේවාවට සුදුසු නැහැ කියලා ප්‍රකාශ වෙලා තිබෙනවා. මේ වෙන විටත් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධව නඩුවක් විභාග වෙනවා. ඒ නඩුව පවරලා තිබෙන්නේ ඒ රටේ ත්‍රිරෝද රථ සංගම් කිහිපයක්. ඒ නඩු වාර්තාවත්‍ අපි ළඟ තිබෙනවා. ඒ වගේම මේ වාහනය ජාත්‍යන්තර පරීක්ෂණ වලදී පවා අසමත් වෙලා තිබෙනවා. පැයට කි.මී. 50 ක වේගයකින් ගොස් මේ වාහනය අනතුරු වුවහොත් දැඩි හානි සිද්ධ වෙනවා කියලා එ් පරීක්ෂණයේදී ඔප්පු වුණා. ඒ ඡායාරූප පවා අප ළඟ තිබෙනවා. මේ වගේ සමාජයට හානි ගෙන දෙන වාහනයක් ලෙසයි අපේ සංගමය මේ වාහනය පිළිබඳ හඳුන්වන්නේ.   


ප්‍රශ්නය - මේ වාහනය ගෙන්වන්නේ කාගේ උවමනාවටද?   


පිළිතුර - 2015 වසරේ හිටපු මෝටර් රථ කොමසාරිස්වරයාත් පිළිගෙන තිබෙනවා මෙය සුදුසු නැති වාහනයක් කියලා. එහෙනම් මේක ගෙන්වීම පිටුපස කුමක් හෝ මාෆියාවක් තිබෙනවා කියලා අපිට සැකයක් තිබෙනවා. ත්‍රිරෝද රථ ගෙන්වන සමාගම් කිහිපයක් හෝ මේ පිටුපස සිටිනවා කියලා අපට සැක කරනවා. මොකද වසර 2 කට පස්සේ ඇයි මේ වාහනය ගෙන්වන්න කටයුතු කරන්නේ කියලා. මේ වාහනය ගෙන්වන එකට මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතාත් විරෝධය පළ කර තිබෙනවා.   


ප්‍රශ්නය - මේ සම්බන්ධව විරෝධය පෑමට නැගී සිටින නිසා ඔබට බලපෑමක එල්ල වුණා නේද?   


පිළිතුර - මම මේ දේවල් සියල්ල හෙළි කළ නිසා මට ත්‍රිරෝද රථ ගෙන්වන ආයතන වලින් බලපෑම් එල්ල වුණා. මේකට මැදිහත් වෙන්න එපා කියලා දැනුම් දුන්නා. ඔවුන් ත්‍රිරෝද සංගම් වලටත් බලපෑම් කරලා ඔවුන්ගෙනුත් මට මීට මැදිහත් වෙන්න එපා කියලා බලපෑම් ආවා. ලංකාවේ තිබෙන ත්‍රිරෝද සංගම් 4 න්ම බලපෑම් කළා. මම ඒවාට යටත් නොවී තනිවම හෝ මේ සටන ඉදිරියට ගෙන යනවා කියලා මේ අත්සන් ව්‍යාපාරය ආරම්භ කළේ. අත්සන් සියල්ල ලබා ගත්තට පසු මම ජනාධිපතිවරයාවත් ඉන්දියානු මහ කොමසාරිස්වරයාවත් මේ පිළිබඳ දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා.   


ප්‍රශ්නය - මේ ගෙන්වීමට සූදානම් වෙන රථය නිසා අනතුරු වලට අමතරව පාරිසරික හානියකුත් සිදු වනවාද?   


පිළිතුර - හරිත අයවැයක් කියලා දෙයක් හඳුන්වලා දුන්නා. එහිදී අනතුරු බහුල වෙනවා කියලා ත්‍රිරෝද රථ රියැදුරන්ට බැණ වැදීම තමයි සිදු කළේ. මේ ත්‍රිරෝද රථ නිසා සමාජයට කරදරයක්. විශේෂයෙන් පාරිභෝගිකයන්ට හිරිහැරයක් පරිසරයට විශාල හානියක් ගෙන එනවා කියලා ප්‍රකාශ වුණා. පෙට්ට්‍රල් භාවිතය නිසා, එහෙම නම් අපට හඳුන්වලා දෙන මේ ක්වඩ්‍රිසයිකල් කියන එකත් පෙට්ට්‍රල් රථයක්. අපි ප්‍රශ්න කරන්නේ අර ඉලෙක්ට්‍රොනික වාහනයට මොකද වුණේ කියලා. පරිසරයට ගැළපෙන වාහනය කෝ. ඉදිරියේදී වසර 2020 හෝ 2025 දී වත් ඉලෙක්ට්‍රොනික වාහන භාවිතය සඳහා ගන්නා ක්‍රියාමාර්ගය යට ගහලා මේ ත්‍රිරෝද වෘත්තිකයන් බියට පත් කරලා ඊට වඩා දරුණු දෙයක් සමාජයට පරිසරය පැත්තෙනුත් හිංසනයක් ඇති කරලා තිබෙන්නේ.   


මේ සම්බන්ධව අප මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ජගත් චන්ද්‍රසිරි මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ ක්වඩ්‍රිසයිකල් කියා වාහනයක් ගෙන්වන බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවයි.   


මේ සම්බන්ධව ඔහු සඳහන් කළේ හිටපු මෝටර් රථ කොමසාරිස්වරයාගේ කාලය තුළ මේ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් නොවූ බවයි.   


ප්‍රශ්නය - මේ නවතව ක්වාඩ්‍රිසයිකල් වාහනය ලියාපදිංචි කිරීමේ ගැටලුවක් පවතිනවාද?   


පිළිතුර - එහෙම ගැටලුවක් නැහැ. මේ ක්වාඩ්‍රිසයිකල් කියලා රථයක් පිළිබඳ මෑත කාල​ෙය් තමයි අපටත් දැන ගන්න ලැබුණේ. ඒ වගේ රථයක් ගෙන් වනවා කියලා යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබෙනවා. මේ පිළිබඳ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ පනතේ සඳහන් වෙලා නැහැ. ඒ නිසා අපි ඒ ගැන වෙනමම අධ්‍යයනයක් කරනවා. ඒ වාහනය ලංකාවට උචිත නම් පමණයි අපි ලියාපදිංචි කරන්නේ. ඒක රෝද 4 කින් සමන්විත වාහනයක්. රෝද 3 කට වඩා රෝද 4 වාහනයක් ආරක්ෂිතයි. මේක මගී ප්‍රවාහන වාහනයක් නොවෙයි. නිවාසවල භාවිතයට තමයි ඒක ගෙන්වන්නේ. නමුත් ඇතැම් පිරිසක් මවා පාන්න උත්සාහ ගන්නවා මේ රථය මගී ප්‍රවාහනයට යොදා ගන්න හදනවා කියලා. ආයතන කිහිපයකින් මේ වාහනය සුදුසුයි කියලා යෝජනා කිහිපයක් ඉදිරිපත් වෙලා තිබෙනවා.   


එක ආයතනයක් එම වාහනය ලංකාවේ එකලස් කරන්නත්. යෝජනා කරලා තිබෙනවා. පසුගියදා සාකච්ඡාවක් පැවැත්වුණා. එහෙම පිරිසක් සිටිනවා එම රථය ලංකාවේ එකලස් කිරීමට ලංකාවේ නිෂ්පාදනයක් වෙනවා නම් ඒක විහාල වාසිදායක තත්ත්වයක් ලංකාවට.

ප්‍රශ්නය - එසේ නිෂ්පාදනය කළ වාහනයක් ලියාපදිංචි කිරීමේ හැකියාවක් තිබෙනවාද?   


පිළිතුර - ඒ පනතේ අවශ්‍යතාවලට අනුකූළනම් එහෙම ලියාපදිංචි කිරීමේ ගැටලුවක් පවතින්නේ නැහැ. ක්‍රමානුකූල නම් ලියාපදිංචියට එය බලපාන්නේ නැහැ.   


ප්‍රශ්නය - මේ රථය නිසා අනතුරු බහුල වෙනවා කියලා චෝදනා වෙනවා. ඒ පිළිබඳව ඔබගේ මතය කුමක්ද?   


පිළිතුර - මෙහෙමයි. දැනට ත්‍රිරෝද රථවලින් තමයි රථ වාහන අනතුරු බහුල වෙන බවට චෝදනා කෙරෙන්නේ. ඇත්ත වශයෙන් බැලුවහොත් ත්‍රිරෝද රථ වලින් හානියකුත් නැහැ. එය පදවන ආකාරය අනුවයි ගැටලුව තිබෙන්නේ නමුත් අපේ රියැදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය නිසා තමයි අනතුරු සිදු වෙන්නේ. අනික නොසැලකිල්ල නිසාත් සිදු වෙන අනතුරු බහුලයි.   


ඔය කුමන වාහනයක් හෝ මාර්ග නීතිවලට අනුකූල නම් ඒ අනුකූලතාව මත ධාවනය කරනවා නම් ඉවසීමෙන් මනා ශික්ෂණයකින් ධාවනය කරනවා නම් අනතුරක් ගැන සිතන්න බැහැ. කෙසේ වෙතත් ත්‍රිරෝද රථය සාමාන්‍ය ජනතාවගේ ජනප්‍රියතම වාහනය වුවත් දැන් ඔවුන්ට තවත් ගැටලුවක් මතු වී තිබේ. ඒ දැනට ත්‍රිරෝද රථවල සවිකර තිබෙන මීටරය ගැලවීමේ උත්සාහයක් පැවතීමයි.   


මේ තුළ මාෆියාවක් පවතින බවට ජනතාවගෙන් චෝදනා එල්ල වෙනවා. රාත්‍රී කාලයේ සිතු සිතූ ලෙස වැඩිපුර මුදල් අයකිරීමේ මාෆියාවක් දක්නට ලැබෙනවා.


මේ නිසා මගී ජනතාව දැඩි අපහසුතාවට පත් විය හැකියි. කෙසේ වෙතත් මීටර් සවි කිරීම නිසා එම තත්ත්වය යම්තාක් දුරට අඩු වී ඇත.  

 

 

 

සටහන : 
නිශාන්ත කුමාර බණ්ඩාර