ජීවිත දෙකක් බිලිගත් මාරක සෙල්ලම් උයන


මෙයට පෙර කුඩා දරුවකු පිහිනුම් තටාකයේ වැටී මිය ගියේත් මෙම උද්‍යානයේ

 

 

 

කුමන ආකාරයේ හෝ අමන වැඩක් කර මුදල් ඉපයීම ගමේ භාෂාවෙන් හඳුන්වන්නේ ‘‘බල්ලන් මරා හෝ සල්ලි ඉපයීම’’ යනුවෙනි. ඊටත් එහා ගොස් යමෙකු මිනිසුන් මරා හෝ මුදල් ඉපයීමට පෙලඹේ නම් එය කෙතරම් පාදඩ ක්‍රියාවක් දැයි සිතා ගැනීම පවා අපහසුය.  


වේයන්ගොඩ - නයිවල උඩුගම්පළ පාරේ පිහිටා ඇති මහා පරිමාණ පෞද්ගලික ළමා උද්‍යානයක ක්‍රියාකාරීත්වය කලක සිටම ක්‍රියාත්මක වන්නේ මිනිසුන් මරා හෝ මුදල් ඉපයීමේ ව්‍යාපාරයක් ලෙසය. අප එසේ කියන්නේ මේ වනවිට එහි විනෝදවීමට ගිය කිහිපදෙනෙකුගේ ජීවිත මෙම ළමා උද්‍යානයේ නොසැලකිල්ල නිසා විනාශ වී ඇති බැවිනි.  


ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් පවත්වාගෙන යනු ලබන මෙම උද්‍යානයේ කෙතරම් ළමුන් පිරිසක් මියගිය ද එය කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට හැකි වී තිබෙන්නේ ව්‍යාපාරිකයාගේ මුදල් බලයට පින්සිදු වන්නටය. කිසිදු ප්‍රමිතියක් හෝ නියාමනයක් නොමැති වුවද ප්‍රදේශයේ වගකිවයුතු රාජ්‍ය ආයතන හා දේශපාලනඥයින්ට හොඳට සලකන නිසා මිනිසුන් මරා හෝ තම ව්‍යාපාරය මගින් අධික ලාභයක් ලැබීමට ව්‍යාපාරිකයාට හැකි වී තිබේ.  


ඒකල - කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි වසන්ත ගුණසේකර තිදරු පියෙකි. ඔහුගේ වැඩිමහල් දියණිය විවාහ වී සිටි අතර අනෙක් දියණියන් දෙදෙනා පාසල් ගියහ. වසන්තගේ බිරිඳ වූයේ 48 හැවිරිදි දිස්නා ජානකී ගංගොඩවිලය. වෘත්තියෙන් කම්කරුවකු වන වසන්ත කළේ මේසන්වරුන්ට අත්උදව් දීමය. බිරිඳත් රැකියාවක් නොකළ නිසා තම පවුලේ බරපැන දැරීමට වසන්ත ඉරිදා, පෝය ඇතුළු නිවාඩු දිනවලද වැඩට ගියේය.  


පසුගිය නිදහස් දිනට පෙර දින වූ ඉරිදා වසන්තගේ පස් හැවිරිදි බාල දියණිය පියාට යෝජනාවක් කළාය. ‘‘තාත්තේ ඔයා හැමදාම වැඩට යනවා. ඔයා අපව කොහේවත් එක්කගෙන යන්නේ නෑ. හෙට නිදහස් දවසෙත් වැඩට යන්න එපා. අපිව කොහේ හරි එක්කගෙන යන්න’’ බාල දියණිය කළ යෝජනාව ස්ථිර කිරීමට බිරිඳ සේම 13 හැවිරිදි අරලිය රශ්මි ද ඉදිරිපත් වූවාය.  


‘‘අනේ තාත්තේ අපි හෙට නයිවල පාර්ක් එකට යමු’’  


දියණියන් දෙදෙනා හා බිරිඳ කරන මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට වසන්තට කිසිදු ඉඩක් නොතිබිණි. එහෙත් ඔහුට තිබූ ගැටලුව වූයේ අ​ෙත් කීයක්වත් නොතිබීමය. එහෙත් එය ප්‍රශ්නයක් කර නොගත් ඔහු ඉරිදා රෑම ගොස් තමා වැඩකරන තැනින් ණයට රුපියල් දෙදහසක් ඉල්ලා ගත්තේය. ‘‘හරි හෙට උදේ නයිවල යන්න ලෑස්ති වෙන්න’’ වසන්ත එසේ කී විට සතුටට පත් දරු දෙදෙනා දිවගොස් පියාගේ අත්දෙක අල්ලා ගත්තේය. නිදහස් දින උදෑසනින්ම අවදි වූ දිස්නා හා අරලිය ආහාර පිළියෙල කළහ. ඔවුන් ආහාර පාර්සල් සකස් කිරීමට සූදානම් වූ මොහොතේ වසන්ත කීවේ දවල්ට කන්න පාර්සල් කරන්න ඕනේ නෑ. අපි උදෙන්ම ගිහින් දවල් කෑමට ගෙදර එමු’’ කියාය. එහෙත් දියණිවරුන් දෙදෙනා ඊට අකමැති වූහ. ‘‘අනේ තාත්තෙ අපි යන්නේ අවුරුදු ගාණකින් අපි දවසම ගත කරලා හවස් වෙලා එමු’’ අරලිය කීවාය.  

 

 


උදෑසන ආහාරය ගෙන උදේ නවයට පමණ මේ හතර දෙනා කිලෝමීටර් දොළහක් පමණ දුරින් පිහිටි නයිවල ළමා උද්‍යානයට පිටත් වූයේ වසන්තට අයත් යතුරුපැදියෙනි. පළමුව එහි ඇති ක්‍රීඩා පැකේජයන් පිළිබඳ විමසිලිමත් වූයේ වසන්තය. ඊට හේතුව වූයේ ඔහු අත තිබුණේ හරියටම රුපියල් දෙදහසක් පමණක් වීමය.  


දරු දෙදෙනාටත්, බිරිඳටත් විනෝදවීමට රුපියල් හයසියයක හා රුපියල් තුන්සිය පනහක ටිකට්පත් මිලදී ගත් වසන්ත තම පස් හැවිරිදි දියණියට පාපැදියක් පැදීමට අවශ්‍ය ටිකට්පතක් තවත් රුපියල් දෙසීයක් දී ලබා ගත්තේය.  


උදෑසන 11.30 පමණ වනවිට පිරිස ගියේ ‘‘ඔක්ටපස්’’ හෙවත් බූවල්ලා නමින් හැඳින්වෙන කැරකෙන යන්ත්‍රයටය. වසන්ත තමා සඳහා මුදල් ගෙවා නොතිබුණු හෙයින් බිරිඳත්, දරු දෙදෙනාත් යන්ත්‍රයේ බක්කියකට නැග ගත්හ. වසන්ත පසෙකට වී බලා සිටියේය. බක්කි 11ක් තිබූ යන්ත්‍රයේ පිරී තිබුණේ 6ක් පමණි. යන්ත්‍රය පණ ගැන්වීමට පෙර බාල දියණිය එහි ගමන් කරන්නට බය බව පවසමින් යළි වසන්ත ළඟට දිව ආවාය. යන්ත්‍රය පණ ගැන්විණි. මවත්, දියණියත් එකම බක්කියේ වාඩි වී සිටියහ.  


යන්ත්‍රය මද වේගයකින් වට දෙකක් කැරකිණි. පසුව එහි වේගය වැඩි විය. වටයක් දෙකක් වේගයෙන් කැරකැවීමෙන් පසුව දෙදෙනා සිටි බක්කිය අසාමාන්‍ය ලෙස උස් පහත් විය. මද වේලාවකින් බක්කිය යන්ත්‍රයෙන් ගැල වී ගොස් බිම වැටිණි. අරලිය දියණියත්, මවත් වේගයෙන් විසි වී ගොස් බිම වැටී සිටියහ. වසන්ත මෙන්ම කුඩා දියණිය ද කෑගැසූහ.   
වසන්ත කෑගසා කීවේ යන්ත්‍රය අක්‍රිය කරන ලෙසය. එහෙත් ඒ වනවිටත් බියට පත් වූ යන්ත්‍ර ක්‍රියාකරු එම ස්ථානයෙන් පැන ගොස් සිටියේය. වේගයෙන් කැරකෙමින් තිබූ යන්ත්‍රයේ කැඩුණු කොටස බිම ඇදවැටී සිටි තම බිරිඳගේ හිසේ වදිමින් කැරකෙමින් තිබූ අතර ඒ මගින් ද ඇගේ හිසට තව තවත් හානි සිදුවනු දුටු වසන්ත තව තවත් කෑ ගැසීය. මද වේලාවකින් යන්ත්‍රය අක්‍රිය වුවද තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට වාහනයක් නොතිබිණි.  


‘‘මම කුඩා දියණියව පැත්තකින් තියලා මහ පාරටත් දිව්වා වාහනයක් හොයන්න. කවුරුවත් ආවේ නෑ. ළමා උද්‍යානයේ තිබුණු ගිලන්රථයේ යතුරු හොයාගන්න බැරුව බොහෝ වේලාවක් ගතවුණා.  


මම දුවලා ගිහින් බිරිඳගේ හිස ඔසවලා ගත්තා. ඒ වනවිටත් ඇය මිය ගිහින් තිබුණා කියලා මට තේරුණා. ඇගේ හිසේ කෑලි හැලෙන්නට පටන් ගත්තා. හිසේ පිටුපස අතදැමිය හැකි තරම් සිදුරක් තිබුණා. පස්සෙයි මට මතක් වුණේ දුවව. එයාට පණ තිබූ බව තේරුණා. පැය භාගයකට පමණ පසුව තමයි වාහනයක් ආවේ’’ වසන්ත කීවේය.  


ගම්පහ රෝහලට රැගෙන යනවිටත් බිරිඳ මියගොස් සිටි අතර දියණිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට යැවිණි. එහෙත් දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන්ට දැනගත හැකි වූයේ දැරියගේ මොළය මියගොස් ඇති බවය. ඒ අනුව දැරිය යළි ගම්පහ රෝහලට එවනු ලැබීය. වෛද්‍යවරු වසන්තට දන්වා සිටියේ දියණියගේ මොළය මියගොස් ඇති බැවින් වෙනත් අයෙකුට බද්ධ කළ හැකි ඇගේ ශරීරයේ ඇති අනෙක් අවයව ඉවත් කර ගැනීමට හැකිවූවහොත් තවත් දරුවකු ජීවත් කරවිය හැකි බවයි. වසන්ත ඊට කැමැති වී අත්සන් කළද දැරිය පරීක්ෂා කළ වෛද්‍යවරුන් යළි කියා සිටියේ කිසිදු අවයවයක් ලබාගැනීමට නොහැකි සේ දැරියගේ සිරුරට බරපතළ හානි සිදුව ඇති බවය.  


තම පවුලේ පිරිසට විනෝදය, සතුට ලබාදෙන්නට ගිය වසන්තට සිදුවූයේ තම පවුල් කැදැල්ල විනාශ වී යනු බලා සිටීමටය. එහෙත් කිසිදු ප්‍රමිතියකින් හා වගකීමකින් තොර මෙවැනි ස්ථානයකට නොගොස් වෙනත් ස්ථානයකට යාමට ඔහුට හැකිවුණි නම් තවමත් ඔහුගේ පවුල් කැදැල්ල අාරක්ෂිතය.  


මේ ප්‍රමිතියෙන් තොර ළමා උද්‍යානයේදී පසුගිය 2017 අගෝස්තු 07 වැනිදා ද කුඩා දරුවකු උද්‍යානයේ පිහිටි ජල තටාකයේ ගිලී මිය ගියේය. දරුවා දියේ ගිලෙනවිට බේරාගන්නට කිසිවෙකු හෝ මේ උද්‍යානයේ සිටියේ නැත. එම දරුවා ද රෝහලට රැගෙන යන්නට ළමා උද්‍යානයේ වාහනයක් හෝ ​ෙනාතිබුණු අතර අවසානයේ දී බොහෝ ප්‍රමාද වී මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථයකින් ගම්පහ රෝහලට රැගෙන යනවිටත් අටහැවිරිදි ඒ පිරිමි දරුවා මියගොස් සිටි අතර, ඒ දින කීපය ද තාවකාලිකව උද්‍යානය වසා තැබුවද යළිත් කිසිදු බාධාවකින් තොරව යළි උද්‍යානය විවෘත විය. එම සිදුවීමට අදාළ නඩුව අත්තනගල්ල අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතී.  


ඉතා අධික මුදලක් අයකර සුපිරි උද්‍යානයක් බවට සඳහන් වුවද මෙම උද්‍යානයේ ඇති බොහෝ යන්ත්‍ර සූත්‍ර කිසිදු නඩත්තුවකින් තොරව පවතින බවත් බොහෝ ඒවා දිරාපත් වී ගොස් ඇති බවද හෙළි වී තිබේ. ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා ප්‍රකාශ කළේ මෙහි ඇති යන්ත්‍ර සූත්‍ර පිළිබඳව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හා රජයේ රස පරීක්ෂකගේ වාර්තා කැඳවීමට අවශ්‍ය අධිකරණ නියෝගය ලබාගන්නා මෙන් තමා වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි.  


මේ අතර ළමා උද්‍යානය පිහිටි ප්‍රදේශයේ පිහිටි පළාත් පාලන ආයතනය වන මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව ද අයථා ලෙස මෙම උද්‍යානය සඳහා අවශ්‍ය බලපත්‍රය ලබාදී ඇති බව අප කළ විමර්ශනයේදී හෙළි විය.  


මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව මගින් වාර්ෂිකව වෙළෙඳ බලපත්‍රය ලබාදීමේදී ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් සෞඛ්‍යයට ගැටලුවක් නොමැති බවට නිර්දේශයක් ලබාගත යුතු වුවත් එම නිර්දේශය නොමැතිව වෙළෙඳ බලපත්‍රය ලබාදී ඇති බව පෙනී යන බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා අප කළ විමසීමක දී පැවැසීය.  


ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ මොනයම් හෝ බලවතෙකු ව්‍යාපාරිකයාගෙන් ලොකු ‘‘ජරාවක්’’ ගෙන බලපත්‍රය ලබාදී ඇති බව පැහැදිලිය. 


අප මේ පිළිබඳව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල මහතාගෙන් කළ විමසීමේ දී ඒ මහතා ප්‍රකාශ කළේ වෙළෙඳ බලපත්‍රය ලබාදීම හැර උද්‍යානයේ පවතින යන්ත්‍ර සූත්‍රවල තාක්ෂණය පිළිබඳව වගකීමක් හෝ ඒ සඳහා සහතික නිකුත් නොකරන බවය. කෙසේ වෙතත් මෙම උද්‍යානයේ යන්ත්‍ර සූත්‍රවල පවතින ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

  
කෙසේ වුවද මෙවැනි අනාරක්ෂිත ස්ථාන කරා තම දරුවන් රැගෙන යන මාපියන්ට ද වචනයක් කිව යුතුය. දරුවන් සමග විනෝදවන්නට මාරාන්තික හා අවදානම් ස්ථාන තෝරා නොගැනීමට දෙමාපියන් තීරණය කරන්නේ නම් අහිංසක දරුවන්ට මෙවැනි ඛේදනීය ඉරණම් අත් නොවනු ඇත. මෙම උද්‍යානය කාලයාගේ ඇවෑමෙන් යළිත් ක්‍රියාත්මක වූ පසුව සියල්ල අමතක කර එහි යාම කිසිදා නොකළ යුත්තකි.   


එවැනි තැන්වලට යාම වෙනුවට තම නිවස හෝ ගෙවත්ත තුළ විනෝදය, සතුට ළඟා කර ගතහැකි බවද ලියා තැබිය යුතුය. එසේම තම සිඟිති දියණිය සමග තනි වී ජීවිතය ගැටගසා ගැනීමට නොහැකිව සිටින වසන්තගේ දිවියට යම් උපකාරයක් කරන්නට හැකිනම් එය ද මහඟු පිනක් බවද කිව යුතුය.

 

 

ගම්පහ - තිලකරත්න දිසානායක
දොම්පේ - අජිත් මදුරප්පෙරුම, 
වාරණ - ආනන්ද ජයකොඩි සහ