චීනා ලෝකය අල්ලන්න හදන අලුත් සේද මාවත


 

2017 මැයි 14 සහ 15 යන දෙදින තුළ ලෝක නායකයන් චීනයේ බෙයිජින් නුවර විශේෂ සමුළුවකට සහභාගී වූහ. එහිදී සාකච්ඡාවට බඳුන් වූයේ ගෝලීය වෙළෙඳාම සම්බන්ධයෙන් චීනයට ඇති සැලසුම් පිළිබඳවය. මෙම දැවැන්ත යටිතල ව්‍යුහ ව්‍යාපෘතිය සඳහා රාජ්‍ය 70ක සහ ජාත්‍යන්තර සංවිධාන රැසක සහය හිමිවී ඇතැයි චීන ජනාධිපති ෂී ජින්පිං ප්‍රකාශ කළේය. නව සේද මාවතක් පිළිබඳ සංකල්පය ඉදිරිපත් කෙරුණු මෙම සමුළුව නම් කර තිබුණේ ‘එක් කලාපයක්  එක් මාවතක්’ නමිනි. මෙම කාර්යය ආරම්භ කිරීම සඳහා අවම වශයෙන් ඩොලර් බිලියන 113ක අමතර අරමුදලක් අවශ්‍ය වන බවත්, ගෝලීයකරණය සඳහා ලොව සියලු රාජ්‍යය චීනය සමඟ අත්වැල් බැඳගත යුතු බවත්, සමගියෙන් සහ සහජීවනයෙන් යුතු දැවැන්ත පවුලක් නිර්මාණය කිරීම තම අරමුණ බවත් සමුළුවේ  සමාරම්භක සැසියට සහභාගී වූ චීන ජනාධිපතිවරයා සඳහන් කළේය.


ප්‍රවාහන සහ බලශක්ති ක්‍රියාවලියට අයත්වන මාවත්, පාලම්, ගෑස් නළ, වරාය, දුම්රිය සේවා සහ බලාගාර අලුතින් නිර්මාණය කළ යුතු බවට ජනාධිපති ෂී ජින්පිං යෝජනාවක් ගෙන එනු ලැබුවේ 2013 වසරේදීය. එම වැඩසටහන සඳහා ඇස්තමේන්තුගත මුදල ඩොලර් ටි්‍රලියන පහකි. එම වැඩසටහන ආසියාව, මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකානු රටවල් ආවරණය වෙන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතය.  ජනාධිපති ෂී ජින්පිං එය නම් කර තිබුණේ ‘සියවසේ ව්‍යාපෘතිය’ ලෙසිනි. එම ව්‍යාපෘතිය චීනයේ ගෝලියකරණය පිළිබඳ ආඛ්‍යානය සමඟ මනාව සැසඳෙන්නක් වන අතර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘පළමුව ඇමෙරිකාව’ යන ප්‍රතිපත්තියෙන් වෙනස් වූවකි.


චීන ජනාධිපතිවරයාගේ ‘වන් බෙල්ට් - වන් රෝඞ්’ නොහොත් එක් කලාපයක්, එක් මාවතක් යන සංකල්පය අතීත සේද මාවත ඔස්සේ සිදුවූ වාණිජ කටයුතුවලට යළි පණ දීමට ගන්නා උත්සාහයකි. 21 වැනි සියවසේ සේද මාවත සමුද්‍රීය මාර්ග ඔස්සේ විහිද යන්නකි.


මෙම ව්‍යාපෘතිය සියල්ලන්ට විවෘත වූවකි. මෙම ව්‍යාපෘතිය පිළිබඳ මූලික යෝජනා ඉදිරිපත් වූ අවස්ථාවේ නව සේද මාවත විහිද යන කලාපයේ රටවල් 65ක් චීන ප්‍රමුඛතා ලැයිස්තුවට ඇතුළත් විය. එහෙත් මේ සියලු රටවල් යෝජනාවට එකඟත්වය පළ කර තිබේදැයි යන්න පිළිබඳව වාර්තා වී නොමැත. චීනය ඇතුළු මෙම රටවල් 65 තුළ ඇත්තේ ලෝක ජනගහනයෙන්  62%ක් සහ ලෝක ආර්ථිකයෙන් 30%ක් ආවරණය කරන කලාපයකි. 


ඇමෙරිකාව සහ උතුරු කොරියාව ඇතුළු රටවල් 52ක නායකයෝ මැයි 14 සහ 15 යන දෙදින පැවැති  සමුළුවට සහභාගී වන බවට දන්වා තිබුණද එයට සහභාගී වූයේ රටවල් 20ක නායකයන් පමණි.  මොවුන්ගෙන් වැඩි පිරිසක් චීනයෙන් යැපෙන කුඩා රාජ්‍යයන්හි නායකයන්ය. මෙම සමුළුව සඳහා පහළ මට්ටමේ වාණිජ දෙපාර්තමේන්තු නිලධාරින් කණ්ඩායමක් සහභාගී කරවීමට ඇමෙරිකාව මුලින් තීරණය කර තිබුණද චීනය සමඟ මහා පරිමාණ වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීම ට්‍රම්ප් පරිපාලනයේ අභිප්‍රාය වන හෙයින් ජාතික ආරක්ෂාව පිළිබඳ කවුන්සලයේ ආසියානු කලාපය භාර ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මැතිව් පොටින්ගර්  සමුළුවට සහභාගී කරවීමට ඇමෙරිකාව පියවර ගත්තේය. උතුරු කොරියානු දූත කණ්ඩායම අභ්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය කිම් යොං ජිගේ නායකත්වය යටතේ එයට සහභාගී විය.


බි්‍රතාන්‍ය අගමැති තෙරේසා මේ වැනි ඉහළ පෙළේ බටහිර නායකයන් මෙම සම`ුළුවට සහභාගී වනු ඇතැයි සමුළු සංවිධායකයන් අපේක්ෂා කළද බි්‍රතාන්‍යය ප්‍රංශය සහ ජර්මනිය වෙනුවෙන් සහභාගී වූයේ පහළ මට්ටමේ නිලධාරින් පිරිසකි. ඉන්දියාව එයට සහභාගී වීමෙන් වැළකී සිටියේය. ඔවුන් සම`ුඵවට සහභාගී වීම ප්‍රතික්ෂේප කරනු ලැබුවේ එක් කලාපයක් එක් මාවතක් ව්‍යාපෘතිය චීන පාකිස්තාන පිවිසුම සඳහා වැඩි අවධානයක් යොමුකිරීම හා නව සේද මාවතේ වැදගත් කොටසක් මතභේදයට ලක්වී ඇති කාශ්මීරය ඔස්සේ යොමු වී තිබීම හේතුවෙනි.


‘එක් කලාපයක්  එක් මාවතක්’ සංකල්පයට අයත් ව්‍යාපෘති පිළිබඳව හෝ ගනුදෙනු හෝ පිළිබඳව චීනය මෙතෙක් කිසිදු පැහැදිලි ප්‍රකාශයක් සිදු කර නොමැත.  මෙම සංකල්පය යටතේ ව්‍යාපෘති 1700ක පමණ ප්‍රමාණයක් සඳහා චීන රජයට අයත් සමාගම් 50ක් පමණ ආයෝජනය කර ඇතැයි වාර්තා වේ. චීන පාකිස්තාන පිවිසුම, චීනය සහ සිංගප්පූරුව යා කෙරෙන කිලෝමීටර 3000ත් දුරැති අධිවේගී දුම්රිය මාර්ගය, මධ්‍යම ආසියාව ඔස්සේ දිවෙන ගෑස් නළ ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති සඳහා ඩොලර් බිලියන 46ක් වෙන් කර තිබේ.


 21 වැනි සියවසේ නව සේද මාවත් සංකල්පය නවසීලන්තය, බි්‍රතාන්‍ය හා උත්තර ධ්‍රැවය දක්වාද ව්‍යාප්ත කෙරෙනු ඇත. මෙම සංකල්පය යටතේ යටිතල ව්‍යුහ අංශ හතක් තුළ විදුලි සන්දේශ හා උපයෝගිතා වැනි කාර්යයන් සඳහා ඩොලර් බිලියන 500ක අගයකින් යුතු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිත බැව් 2016 ප්‍රකාශ කෙරිණි. මෙය 2015 දී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් බැව් ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් නමැති විගණන ආයතනය පෙන්වා දී තිබේ. මෙම ව්‍යාපෘතිවලින් තුනෙක් එකක් චීනය මගින්ද, ඉතිරිය නව සේද මාවත සංකල්පයට සහය දක්වන අනෙකුත් රටවල් මගින්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. විගණන සමාගම සඳහන් කරන පරිදි පසුව ප්‍රකාශිත ව්‍යාපෘති සඳහා වැයවන මුදල පෙර වසරට වඩා 2.1%කින් ඉහළ ගොස් තිබේ. ඩොලරයේ උච්චාවචනය මත 2016දී බද්ධකිරීමේ සහ පවරාගැනීමේ ගනුදෙනු 49%කින් පහත වැටී තිබේ.


චීන වෙළෙඳ අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2016දී මෙම ව්‍යාපෘතියට සම්බන්ධ රාජ්‍යයන් සඳහා වූ සෘජු චීන ආයෝජන 2%කින් පහළ වැටී ඇතැයිද එය වසරින් වසර පහත වැටෙමින් පැවති අතර මේ වන විට එය 18%කින් පහත වැටී ඇතැයි ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත සඳහන් කර තිබේ.


 ඩොලර් බිලියන 113ක අමතර අරමුදලක් එකිනෙකට වෙනස් මූලාශ්‍ර තුනක් ඔස්සේ බෙදාහරින බවට ජනාධිපති ෂී ජින්පිං ප්‍රතිඥා දී තිබේ. රජය යටතේ ක්‍රියාත්මක නව සේද මාවත අරමුදලද මෙයට අයත් වූවකි. 2015දී එය නිල වශයෙන් ආරම්භ කරන විට ඩොලර් බිලියන 40 ආරම්භක ප්‍රාග්ධනයක් ඔවුන් සතු විය. එයට අනුග්‍රහය ලැබුණේ චීන සංවර්ධන බැංකුව සහ චීන ආනයන අපනයන බැංකුවෙනි. මෙම බැංකු යුගල මෙම ව්‍යාපෘතියට මුල්‍ය ආධාර සැපයීම මත විශාල වශයෙන් පාඩු ලැබීමට ඉඩ ඇතැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයෝ සැක පහළ කරති. මෙම ව්‍යාපෘතියට අනුග්‍රහය දක්වන තවත් ප්‍රමුඛ මූල්‍ය ආයතන දෙකක් වන්නේ බෙයිජිං නුවර පිහිටි ඩොලර් බිලියන 100ක ප්‍රාග්ධනයක් සහිත ආසියානු යටිතල ව්‍යුහ ආයෝජන බැංකුව සහ ෂැංහයිහි පිහිටි ඩොලර් බිලියන 50ක ප්‍රාග්ධනයක් සහිත නව සංවර්ධන බැංකුවය. ආසියානු යටිතල ව්‍යුහ ආයෝජන බැංකුව නව සේද මාවතේ ව්‍යාපෘති නවයක් සඳහා ඩොලර් බිලියන 1.7ක ණය පහසුකම් සපයා තිබේ.


නව සේද මාවත සඳහා වෙනත් රටවලට, ගතවූ වර්ෂ දෙක තුන තුළ චීන මූල්‍ය ආයතන ලබා දී ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 130ක් යැයි ඔක්ස්ෆර්ඞ් ඉකොනොමික්ස් ආයතනයේ ප්‍රධානී ලුවිස් කුජිස් සඳහන් කර තිබේ. මින් වැඩි ප්‍රමාණය චීන වාණිජ බැංකුවවලිනි.


බෙයිජිං සමුළුවට සහභාගී වූ චීන මහ බැංකු අධිපති ෂො ෂියාඕචුවාන් චීන අභ්‍යන්තර බැංකුවලින් ඉල්ලා සිටියේ නව සේද මාවත ව්‍යාපෘතිය සඳහා වැඩි වශයෙන් සහය දක්වන ලෙසටය. එමෙන්ම චීනය මෙම ව්‍යාපෘතියට සහය දක්වන අනෙකුත් රටවල මූල්‍ය සහය අපේක්ෂා කරන බවද සඳහන් කළේය.


රොයිටර් පුවත් ඇසුරිනි.


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා