ඇෆ්ගන් ගිනි කපොල්ලේ ට‍්‍රම්ප්ගෙන් තවත් අඩව්වක්


ඇෆ්ගන් යුද කරළියේ තව වටයක් ඇරැඹීමට ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සැරැසෙනු පෙනෙයි.   ඇමෙරිකන් හමුදාව තවදුරටත් එහි රඳවා තැබීමේ අදහසක් ඔහු විසින් ප‍්‍රකාශ කරන ලදැයි ගිය අඟහරුවාදා වාර්තාවූ හෙයින් ඒ බව කිව හැකිය.  


මේ වනවිටත් පටලැවී ඇති ඇෆ්ගන් නූල් බෝලයේ අවුල් ලිහා ගැනීමට ජනාධිපති ට‍්‍රම්ප් සමත්වේද, නැත්නම් ඔහු තවත් පටලැවිලි හදා ගනීවිදැයි කුකුසකුත් ඇතැම් විචාරකයන්ගෙන් පළවී තිබේ.  


ඇෆ්ගනයේ ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීමේ පිළිවෙතට තමා කැපවී සිටියත් එරට තුළ ත‍්‍රස්තවාදය තවත් දරුණු ලෙස ඉහළ යන නිසා එම පිළිවෙත තවදුරටත් ගෙනයා නොහැකි බව ඔහු පැවැසී යැයිද වාර්තා විය.  


මේ අනුව එරටෙහි දැනට ඉතිරිවී ඇති 8000ක් පමණ ඇමරිකන් භට සංඛ්‍යාව තවදුරටත් ඉහළ නංවනු ඇත.  


දහසය වසරක් ඇෆ්ගන් යුද්ධයේ අනාගතය ගැන ඉඟි කරමින් ඇමරිකන් හමුදාවල මහ ආඥාපති ලෙස ජනාධිපති ට‍්‍රම්ප් කළ ප‍්‍රථම විධිමත් ප‍්‍රකාශය අවඥාවෙන් බැහැර කරමින් තලේබාන් නියෝජිතයකු කීවේ ඔහු “ඇමරිකන් භටයන් තවත් බිලිදීමට” තීරණය කර ඇති බවය.   


ඇමරිකා එක්සත් ජනපදයේ දීර්ඝතම යුද්ධයට ගොදුරු වූ ඇෆ්ගනිස්ථානයේ යොදවා සිටි ලක්ෂයකට අධික ඇමරිකන් භට පිරිස දෛවයේ පියවර කාල සටහනක් අනුව අඩුකැර ප‍්‍රහාරක මෙහෙයුම්වලට යොදවන සිය භටයන් මුළුමනින්ම සියරට කැඳවාගෙන ඇෆ්ගන් රජයේ හමුදාවලට තාක්ෂණික සහ වෙනත් උපදෙස් දෙන හමුදා විශේෂඥයන්ගේ සීමිත පිරිසක් පමණක් එරට රැඳවීමේ පිළිවෙතකට මුල පිරුවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා ය.  

 

 

ඔහු එම තීරණයට එළැඹුණේ ඇෆ්ගන් යුද ගොහොරුවේ ඇමරිකාව දිගටම එරීමේත්, එහි සහායට පැමිණි උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සෙසු රටවල් තුළ බලවත් දේශපාලන ප‍්‍රශ්න මතුවීමේත් පීඩනයට හසුවීම නිසාය.  
ජනාධිපති ට‍්‍රම්ප් පෙන්වා දුන් පරිදි ඇෆ්ගනිස්ථානය තුළ ත‍්‍රස්තවාදී උවදුර භයානක මට්ටමක් කරා ඉහළ නගිමින් ඇති බව සත්‍යයකි. අගෝස්තු පස්වැනිදා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ සාරේ පුල් ප‍්‍රදේශයේ ගම්මානයට එල්ල කළ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මේ ගැන දැක්විය හැකි ඉතා බිහිසුණු නිදසුනකි. පළමුව රජයේ සහය ලබන ප‍්‍රාදේශීය ජන භට කඳවුරක් අල්ලාගත් ත‍්‍රස්තවාදීහු අනතුරුව ස්තී‍්‍රන් සහ කුඩා දරුවන්ද ඇතුළු සාමාන්‍ය ජනයා පනස් දෙනෙකු පමණ ඝාතනය කළහ. මෙය තලේබාන් සහ “අයිඑස්” ත‍්‍රස්තවාදීන් දෙපිරිසක් හවුලේ එල්ල කළ ප‍්‍රහාරයක් බව වාර්තා වූ හෙයින් ඇෆ්ගනිස්ථානය තුළ ත‍්‍රස්තවාදීන්ගේ “එක්සත් පෙරමුණ” මෙහෙයුම් පිළිබඳ අනතුරුදායක මුල පිරීමක් විය හැකි යයිද සැළකෙයි. එහි අනෙක් භයානක අංගය වූයේ රටේ ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව සුන්නි මුස්ලිම් අන්තවාදීන් ගෙනයන ප‍්‍රහාරක සැලසුමක කොටසක් ලෙස එය එල්ල වීමය.   


ත‍්‍රස්තවාදීන්ට බරපතළ හානි පමුණුවා ඔවුන්ගේ සමූලඝාතක ප‍්‍රහාරයට ගොදුරු වූ ගම්මානය යළි සියතට ගැනීමට තම හමුදාව සමත් වූ බව ඇෆ්ගනිස්ථාන් රජය පවසා තිබිණි. එහෙත් මෑතකදී රට තුළ සිදුවූ තවත් ප‍්‍රහාර කිහිපයක් සමඟ එකට ගත් විට අමිහිරි සහ කනගාටුදායක යථාර්ථයක් ඉස්මතු වෙයි.  


ඒ ඇමරිකන් හමුදාවල මෙහෙයුම්වලින් අතිරේක සහය ලබා ගැනීමකින් තොරව, තමන්ගේ තනි ශක්තියෙන් පැරැණි තලේබාන් සංවිධානයේ මෙන්ම අලුතින් මතුවෙන “අයිඑස්” සාමාජිකයන්ගේද ප‍්‍රහාරක අභියෝගය පරාජය කිරීමට ඇත්තේ රජයේ හමුදා සමත් නොවන බවය.  


ට‍්‍රම්ප් ජනාධිපතිවරයාගේ තීරණය නිසා ඇෆ්ගනිස්ථානයේ ත‍්‍රස්තවාදය විනාශ කළ හැකි වේද නැතිනම් ත‍්‍රස්තවාදය “පැටව් ගසන” තත්ත්වයක් යළි තියුණු වේ දැයි ගැටලුවකුත් ඇති වෙයි.  


ඉතිහාසයෙන් ඉගැන්වෙන පාඩම නම් ඇමරිකාව ආක‍්‍රමණශීලීව ඇෆ්ගනිස්ථානයට කඩා වැදීමෙන් අනතුරුව සිවූ තලේබාන් පසුබැසීම සමඟ අවට රටවලත් තලේබාන් විචාරයක් හට ගත් බවයි. මේ අනුව ලොව වෙනත් රටවල බිහිවූ ත‍්‍රස්තවාදී පෝතකයින් කාලයාගේ ඇවෑමෙන් විස දළ ඇති සර්පයන් බවට හැදී වැඩී ප‍්‍රධාන වශයෙන් ඇමරිකාවට සහ එහි බටහිර සගයන්ට දෂ්ට කරමින් අනෙක් රටවලටත් පෙනය පුප්පන බවය.  

 
ඇමරිකාවේ ඇෆ්ගන් පිළිවෙතට එරෙහිව ඉතා තියුණු විවේචන එලල් වුවත් එය “නැතිව බැරි නපුරක් ලෙස දැක ගත් බොහෝ රටවල්ද විය. අෆ්ගනිස්ථානය තුළ ඇමරිකාවේ යුදමය සහ දේශපාලන බලපෑම තහවුරුවීම නොරුස්සන ඇතැම් රටවල් වුවද තලේබාන් පාලනය බිඳ වැටීම ගැන සතුටු වූ බවක් පෙනිණි. “සතුරාගේ සතුරා මිතුරා” හෙයින් අැමරිකන් පිළිවෙත යටි හිතින් අනුමත කළ රටවල් බවට සිටින්නට ඇත.  


තලේබාන්, අල්කයිඩා මෙන්ම අයිඑස් ත‍්‍රස්තවාදීන්ද ඇමෙරිකාවට පමණක් නොව තව රටවලට ද තර්ජනයක් බව පිළිගන්නා රටවල් සතුරාගේ සතුරා මිතුරා ලෙස පිළිගැනීමට පැකිළෙන්නේ නැත. එයට අමතරව ඇමරිකාවේ දීර්ඝ කාලීන යුද මෙහෙයුම් නිසා රුසියාව වැනි රටකට පවා ආර්ථික වාසි සැලසී තිබුණ බව කිව හැකිය. බර යුද වාහන සහ මෙවලම් ගොඩ බිමෙන් ඇෆ්ගනිස්ථානයට යැවීම ලාභදායක දෙයක් වූයෙන් එම වාසිය රටවල් කිහිපයකට අත්විය.  
මෙම යුද්ධයේදී ඇමරිකාවට අවාසි වූ කරුණු කිහිපයක් විය. යුද්ධය වෙනුවෙන් වැය වූ අති විශාල ධනස්කන්ධයක් ඒ වෙනුවෙන් කැප කිරීමට සිදුවූ මිල කළ නොහැකි මිනිස් ජීවිතත් නිසා යුද විරෝධී ඇමරිකන් ජනමතය මුවහත් වෙමින් පැවතිණි.  


ඒ අතරම ඇමෙරිකාව යුද බිමේදී එරෙන විට රුසියාව ඇතුළු රටවලට රාජ්‍ය තාන්ති‍්‍රක පෙරමුණේදී ප‍්‍රචාරක වාසියක් අත්කර ගත හැකි විය.  


කෙසේ වුවද ඇෆ්ගනිස්ථානය නිකම්ම අත්හැර දමා එය තලේබාන් සහ එහි අනෙක් ත‍්‍රස්තවාදී සහචරයන්ට පැවැරීමෙන් රුසියාව, චීනය වැනි රටක බලපෑමට නිතරගයෙන් විවෘතව තැබීම ඇමරිකාවට කළ හැකි දෙයක් නොවේ. සිය ඇෆ්ගන් මෙහෙයුමේ මීළඟ උපායයික ක‍්‍රමවේදය සැලසුම් කිරීමේදී ඉන්දියාව සහ පකිස්ථානය සමඟ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමේ වැදගත්කමද ඇමරිකාවට අවබෝධ විය.   


තමන්ගෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක හිඩැස පිරැවීමේදී අභියෝගකාරී ඉස්ලාමීය බලාගාරයක් වන ඉරානය බලවත් අසල්වැසි රටක්ව පැවැතීමද ඇමෙරිකන් කනස්සල්ලට හේතුවකි. එකී ඉරාන සන්දර්භය අනුව බලන විට පශ්චාත් ඇමෙරිකන් ඇෆ්ගනිස්ථානය තුළ ඉන්දු සහ පකිස්ථාන් කි‍්‍රයාකාරිත්වය උග‍්‍ර තත්ත්වයකටන් පැවැතීම අයහපත් ප‍්‍රවණතාවකියි ඇමෙරිකාවට නොපෙනෙනු ඇත. තෙවැනි පාර්ශ්වයක් ලෙස මැදිහත්වීම් භූමිකාවක් පවරා ගැනීම උදෙසා එම තත්ත්වය ඇමෙරිකාවට රුකුල් දෙයි. ඉන්දු පකිස්ථාන් අඬු තිබියදී ඇෆ්ගනිස්ථානයේදී යළිත් අත පුච්චා ගැනීමට ඇමරිකාවට සිදු නොවනු ඇත.  


තව අතකින් බලනවිට ලෝක බලවතුන් දෙදෙනකු වන චීනය සහ රුසියාව, ඓතිහාසික සහ දේශපාලනික සාධක ද ඇතිව ඇෆ්ගනිස්ථානය දෙස නිරතුරුව ඇස ගසාගෙන සිටින බවද ඇමෙරිකාවට දැනෙයි. එම දෙරට සම්බන්ධයෙන් විශේෂත්වය නම් පැරැණි සෝවියට් දේශයට අයත් මධ්‍යම ආසියාවේ මුස්ලිම් සමූහාණ්ඩු තුනක් වන තර්කිමෙකිස්ථානය, උස්බෙකිස්ථානය සහ තජිකිස්තානය ඇෆ්ගනිස්ථානයේ අසල්වැසියන් වීමයි. එම තෙරට සමඟ මධ්‍යම ආසියාවේ රටවල් හතරක්ම චීන සහ සෝවියට් මෙහෙයුම ඇති ඉතා බලවත් කලාපීය සංධානය වන ෂැංහයි සහයෝගිතා සංධානයේ සාමාජික රටවල්ය. ඇමරිකන් හමුදා ඉවත් වූ පසු ඇෆ්ගනිස්ථානයේ අනාගත ඉරණම හැසිරීමේදී තමන්ගේම භූමිකාවක් අත්කර ගැනීමට එම ප‍්‍රබල කලාපීය සංවිධානය අති විශේෂ අවධානයක් දක්වයි.

මෙකී චීන සෝවියට් හවුල් සාධකය ගැන සැළකිළිමත් වීමටද ඇමෙරිකාවට බල කෙරෙන පසුබිමක් ගැන සැළකිලිමත් වීමට ද ඇමරිකාවට බල කෙරෙන පසුබිමක් පවතියි. කෙසේ වුවද ෂැංහයි සහයෝගිතා සංවිධානයේ අලුත්ම සාමාජික දෙරට ලෙස ඉන්දු පකිස්ථාන් රටවල් දෙකම බඳවාගෙන ඉඩ සලසනු ඇතැයිද ඇමරිකාවට පෙනෙනු ඇත. ඒ අතර එයට ඇතුළුවීමට ඉරානයත් අපේක්ෂා කරයි.   


ඇෆ්ගනිස්ථානයේ එදා පැවැති තලේබාන් පාලනයට සාපේක්ෂව බලන විට අද මෙරට පවතින පාලනය සාපේක්ෂ වශයෙන් යහපත් ඉදිරි පියවරකි. එහෙත් ඇමරිකන් යුද බලය නිසා එරට ත‍්‍රස්වාදය අවසන්වී නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ ත‍්‍රස්තවාදය ලෝක පරිමාණයෙන් පැතිරයාමයි. නියම ඇෆ්ගන් ඛේදවාචකය සහ එයින් ජනිත අනිටු ජාත්‍යන්තර පිටාරය එයයි.  


ඇෆ්ගනිස්ථානයේ අනාගතය කෙබඳු වුවද ලෝක දේශපාලනයේ තීරණාත්මක භූ දේශපාලන සාධකයක් ලෙස එහි වැදගත්කම හොඳට හෝ නරකට ලොවට දැනෙනු ඇත. ශ්‍රී ලංකාවද අයත් වන දකුණු ආසියා කලාපීය සහයෝගිතා සංගමයේ (සාක්) අට වැනි සාමාජික රටවන ඇෆ්ගනිස්ථානයේ පිහිටා ඇත්තේ දකුණු ආසියාව, බටහිර ආසියාව, මධ්‍යම ආසියාව සහ නැගෙනහිර ආසියාව ගොඩබිම් දේශ සීමා ඔස්සේ එකට මුසුවෙන ගිනි කපොල්ලක් වැනි උපාය මාර්ගික සිව් මං සන්ධියකටය. එහි ඕනෑම සසළ වීමක් මුළු ලොවටම ලොකුවට දැනෙන්නේද එහෙයිනි.  


ලෝක ඉතිහාසයේ පහළ වූ සුවිශේෂ යුදපතියකු වූ මහා ඇලෙක්සැන්ඩර් වරෙක කීවේ ඇෆ්ගනිස්ථානයට ඇතුළුවීම විදේශ හමුදාවකට ලෙහෙසි වුවත් එයින් පිටවීම අමාරු දෙයක් බවයි. විසිවැනි ශත වර්ෂයේ 1979 දී එයට ඇතුළු වූ සෝවියට් හමුදාව 20 වැනි ශත වර්ෂයේදී එම ඇෆ්ගන් පාඩම උගත් අවසාන විදේශ බලවතාය. 21 වැනි ශත වර්ෂයේදී එම පාඩම උගත් ප‍්‍රථම විදේශීය බලවතා ඇමරිකාවයි.  


ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මේ සැරැසෙන්නේ ඇෆ්ගන් ගිනි කපොල්ලේ අලුත් අඩව්වක් ඇල්ලීමටද?

 

 

 

සරත් කුරේ